NovelsMandaramen EhaMandaramen Eha - 07 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 07 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – 07 මන්දාරමෙන් එහා

ගිරාතලානේ සිට පැමිණෙන විට මැදින්නෝරුව හන්දිය ඉංග්‍රීසි ටී අකුරක හැඩය ගනී. ටී හැඩයේ දෙපසින් එක් පසෙක මැදින්නෝරුව ප්‍රාථමික විද්‍යාලයත්,අනෙක් පසින් මැදින්නෝරුව වැවේ එක් අන්තයකුත් දිස්වේ. ටී හැඩයේ අගිස්සෙන් වමට ගමන් කළහොත් ගල්ගමුව නගරය වෙතත්,දකුණට ගමන් කළහොත් මීගලෑව නගරයටත් යා හැකිය. මැදින්නෝරුව හන්දිය කුඩා බාබර් සාප්පුවකින්,තේ කඩයකින් සහ තරමක් විශාල ඉඩ ප්‍රමාණයක පැතිරුණ වෙළෙඳ සලකින් සමන්විත වේ. ගම්මුන් මේ වෙළෙඳසල හඳුන්වනුයේ ” මහ කඩේ” යනුවෙනි.

ගිරාතලාන දෙස සිට පැමිණි සමන්ති මැදින්නෝරුව හන්දියෙන් පාර පැන මහ කඩය තුළට රිංගුවාය. ඇය කෙලින්ම ගොස් නතර වූයේ කැෂියර් කූඩුව අසළය. එහි උන් තරුණයා ඈ දෙස සිනාමුසුව බැලූයේ ඇයව කලක සිට දන්නා හඳුනන පරිද්දෙනි.

” මට මේ නොම්බරේට ටෙලිපෝං කෝල් එකක් ගන්න ඕනෑ…”

යැයි ඇය තරුණයාට කීයේ අතේ ගුලි කොට රැගෙන ආ කඩදාසි කොල කැබැල්ලක් ඔහු වෙත දක්වමිනි. තරුණයා එය ඒ මේ අත හරවා බලා මහපටැඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් අල්ලා ඉහළට එසවීය.

“දාඩියටද කොහෙද නොම්බර ටිකත් එක්ක දියවෙලා ගිහින් අක්කා..”

“අනේ ඇහැක් විදිහකට කියවලා විගහට අරන් දෙනවද මලේ හදිසියකට..”

තරුණයා දුරකථනය මතින් රිසීවරය ඔසවා අංකනය කරන්නට විය. මොහොතක් ඊට සවන් යොමා හිඳ සමන්තීට අතින් සන් කොට අසළ තනා ඇති දුරකථන කුටිය පෙන්වීය. ඇය දිව ගොස් ඊට රිංගා ගත්තීය. තරුණයා කිහිප වරක් නැවත,නැවත දුරකථනය අංකනය කොට අවසන රිසීවර ඒ මත තැබුවේය. එකෙණෙහිම සමන්තීද කුටියෙන් එළියට ආවේ අඳුරු කරගත් මුහුණෙනි.

“ෆෝන් එක උස්සන්නෑ නේදක්කා…”

තරුණයා එසේ ඇසූවද එය සමන්තීගේ කණේ වැකුණේ නැත. ඇය ගිලී උන් කල්පනාවෙන්ම වෙළෙඳසල තුළ සිට එළියට ගමන් කළාය. මේසය මත ඇති කඩදාසි කැබැල්ල සමන්තීට දෙන්නට කැෂියර් කූඩුවෙන් එළියට ආ තරුණයා දුටුවේ ඇය පාර පැන ගිරාතලාන ගම දෙසට ඇවිද යන අයුරුය.

සමන්තී කල්පනාවේ නිමග්නවම පාර දිගේ ඔහේ ඇවිද ගියාය. හැතැප්ම් තුන හතරක් පයින්ම මෙතරම් දුරක් ඇවිද ආයේ ලක්මාල්ට කතා කොට සමාව ඉල්ලන්නේ යැයි සිතාය. එයද නිශ්ඵල වූ තැන ඇගේ හිස තෝන්තුවාවෙන් බර විණි. පෙරදා රැයෙහි සතෙකු මෙන් ඔහුව ගෙයින් දොට්ට දමා එළිවනතුරු සිටියේ නිදි වර්ජිතවය. වරක් දෙවරක් නොව කිහිපවරක්ම තම හිතට තරවටු කොට අවසන ඇය මේ ගමනට හිත හදා ගත්තේ අඩුම තරමේ එයින් හෝ තමන් කළ පාප කර්මයේ පව් සේදී යාවි යැයි සිතුන බැවිනි. වසන්ත හිඳිනා කාලයේ ලක්මාල් නිතර දෙවේලේ ඔහු සමඟ නිවසට ගොඩ වැදී ඇතත්,ඔහු කාගේ කවුදැයි සිය සැමියාගෙන් අසා දැනගැනීමට තරම් විශේෂයක් සමන්තීට නොවිණි. “මේකා මගේ බොක්කෙ යාළුවා” යැයි එදවස වසන්ත උජාරුවෙන් පවසද්දී,සිනාවකින් ප්‍රතිචාර දැක්වූවා මිස ඉන් එහා යමක් සිය සැමියාගෙන් ඇය අසා තිබුණේද නැත. “ඕකා මේ අපේ අගු පිල්වල රිංගුවට හොඳ වැදගත් පවුලක එකෙක්..” වසන්තගේ මුවෙහි ලක්මාල් ගැන තිබූ මේ වචන කිහිපයට වසන්ත නොමැතිව ගෙවුණු පසුගිය වසර දෙකක කාලය තුළවත් අබැටක තරම් පළුද්දක් ලක්මාල් අතින් සිදුව නොමැති බව පමණක් සමන්තී හිස් මුදුනින් පිළිගන්නීය.

“කවී.. පාරට දුවන්නෙහෙම නෑ හරිද..මට ඔයා එක්ක ඔට්ටු අල්ලන්න බෑ..”

සරලා එසේ කීයේ මිදුලේ දුව පනින සමන්තීගේ කුඩා පුතු කවිරූටය.

“මාමා…මාමා…”

කියූ පුතු එක්වරම කඩුල්ල තෙක් දිව යද්දි සරලාද ඔහු පසුපස මඟ දුරක් දිව ගියේ ඔහුව අල්ලා ගැනීමටය. පාරෙන් කඩුල්ල පනින කාලිංග දුටු ඇය අතරමගදී නතර වූවාය. තමන් වෙතට දිව එන පුතුව අත්දෙකින් ඔසවා වටයක් කරකැවූ කාලිංග කකුල් දෙක ඉදිරියෙන් පහළට වැටෙන සේ කර මත තබා ගත්තේය. අනතුරුව තමන් දෙස බලා හිඳිනා සරලා වෙත ඇවිද ආවේය.

“කෝ මුංගෙ අම්මා..”

“ඇයි නංගි කියලා කතා කරොත් කටේ ගෙඩි දානවද..”

“උඔ පැහෙන්නැතිව අහපු දේට උත්තර දීපංකෝ..”

“උත්තර දෙන්නෙ හරි හමන් විදිහට ඇහුවොත් තමා..”

“පොඩි එකා ළඟ නොහිටියනම් දෙනවා බොට මං හරි හමන් උත්තරේ..”

කාලිංග කීයේ දරුවාව කරෙන් බිම තබන අතරවාරයේය. බිම තැබූ සැනින් කවිරූ නැවතත් ගේ දෙසට දිව ගියේය. කාලිංග දෙස මුකුළු හිනාවක් නඟා යටැසින් බැල්මක් හෙලූ සරලා, දෑත් එකට බැඳ ඉඟ නටවන්නට වූවාය.

“ඒ ගමන මොකෑ උඔ මෙතන කොකං පාන්න තියාගත්තෙ..”

“නෑ.. මං මේ කල්පනා කලේ මගෙ මස්සිනා පොඩ්ඩට කහට ඩිංගක් වක්කරලා දෙනවද, කොහිල මාළුවක් තනලා දෙනවද කියලා..”

“මොන ඉළව්වකටද යකෝ මට කොහිල මාළු..”

“වෙන මොහොකටද ඔය මූලග්ගාය බැහැලා යන්ඩ..”

එසේ කියා දුවන්නට ගිය සරලාගේ අතින් කාලිංග දැඩිව අල්ලා ගත්තේය. සරලා ඔහුගෙන් තම අත මුදාගන්නට වෙහෙසුනද දඬු අඩුවකට හසුවූවාක් මෙන් කාලිංගගේ ග්‍රහණය දැඩිව පැවතිනි. ක්‍රමයෙන් තම මුහුණට සමීප වන කාලිංගට බියෙන් සරලා නිදි කුම්ඹා පතක් මෙන් පසුපසට හැකිළී ගියාය.

“ගායෙ තරම බොට පෙන්නන්ඩ විගහට ඔය ඉස්කෝල කෙරුවාව අහවර කොරහංකෝ..”

කාලිංග එසේ කීයේ සරලාගේ මුහුණේ ගෑවෙන,නොගෑවෙන තරමට සමිප වෙමින් ය.

“අක්කේ… මේ බලන්ඩකෝ..”

සරලා කඩුල්ල දෙසට ගෙල දිගු කොට එසේ කියද්දී,කාලිංග ක්ෂණයකින් ඇගේ අත හැර කඩුල්ල දෙසට හැරුණේය. එහෙත් කිසිවෙකු පෙනෙන්නට නොවුනේය. ඇය තමාව රැවැට්ටුවාය යන හැඟීමෙන් ඔහු සරලා වෙත හැරෙද්දී ඇය උන්නේ නිවසේ එළිපත්ත මතය. දෙකන් වලට ඉහළින් දෑත් වල ඇඟිලි තබා සොලවා දිව එළියට දමා කාලිංගට ඇද කෙරූ සරලා,

“කහට ඩිංගක් වක්කරං එනකං කොල්ලව බලාගන්ඩෝ…”

යැයි කෑගසා කාලිංගට ඇසෙන සේ කියූ සරලා ගෙට රිංගුවාය. කාලිංගගේ මුහුණට ප්‍රසන්න හිනාවක් නැගිණි. ඒ හිනාවෙන්ම සමන්තීගේ පුතු අසළට ගිය ඔහු පුතු අසල බිම වාඩිවිය. මිදුලේ පස් එකතු කොට පොල් කටු වලට පුරවන කවිරූට කාලිංග කෝම්පිට්ටු කිහිපයක් තනා එක පෙලට තබා පෙන්වූයේය. සිනහවෙන් උතුරා ගිය පුතුගේ කම්මුල් දෙපසින් මිරිකා සෙලවීය.

“අම්මා…..”

කියා හඬ තලමින් පොල් කටු කිහිපයද වීසිකර එක පිම්මේ පාර දෙසට දුවන කවිරූ අනුව යමින් කාලිංගද එදෙසට හැරිණි. කඩුල්ලෙන් ගෙවත්තට ඇතුළු වන සමන්තී දුටුවනම මෙතෙක් කාලිංග තුළ වූ සැහැල්ලුව බිඳිණි. ඔහු දෑතේ වු පස් ගසමින් හුන් තැනින් නැගී සිටියේය.

“මං අප්පච්චිව හීනෙන් දැක්කා අම්මෙ..”

දුවගොස් සමන්තීගේ දෙපා බදාගත් කවිරූ පැවසීය. සමන්තීද ඔහුව තුරුළු කරගනිමින් ඔහු අසළට පාත් වූවාය.

“ඇත්තද මයෙ අම්මෙ..මොනායි මයෙ අම්මට අප්පච්චි කීයෙ..”

“මොකුත් නෑ….මෙතනට ලොකූ උම්මා එකක් දුන්නා…”

පුතු කීයේ සිය කම්මුලක් සමන්තීට දක්වා දෑතින් එහි තරමද පෙන්වමිනි. පපුව මත බරැති යමක් පතිත වූවා වැනි රිදීමකින් සමන්තීගේ පපුව දෙදරා ගියාය. ඇය දෝතින් පුතුගේ මුහුණ ගෙන තදින් සිම්ඹාය. කාලිංග ඔවුන් දෙදෙනා අසළ නතර විය. සමන්තී පුතුද ඔසවාගෙන නැගී සිටියාය. කාලිංග සමන්තීගේ දෑසේ නළියන කඳුලු දෙස වරක් බලා අහක බලා ගත්තේය.

“අම්මව ඉස්පිරිතාලෙන් ඇන්න ආවා….කොල්ලත් එක්ක ඇවිත් ගෙදරට වෙලා හිටපං..”

ඉවත බලාගෙනම එලෙස කියූ කාලිංග බිම බලාගත්වනම කඩුල්ල පැන පිටව ගියේය. සමන්තී ඔහු නොපෙනී යනතුරුම විශ්මය දනවන දෙනෙතින් එදෙස බලා උන්නාය.

අරසන් වැවේ බැම්ම මතින් ඇදෙන තාර පාරේ බොහෝ තැන් ගල් සහ තාර ගැලවීමෙන් වලවල් හෑරී තිබෙයි. නිතර ඒ මතින් එහා,මෙහා ඇදෙන යතුරු පැදි,අත් ට්‍රැක්ටර්,ලොරි රථ සහ බස්‍ රථ වල හඬ යකඩ ගොඩක් සොලවනවාක් මෙන් කනට අමිහිරිය. මීගලෑව,කටුගම්පලගම,ඇහැටුවැව,මොරගොල්ලාගම,දිවුල්ගනේ සහ රැස්වෙහෙර වැනි ප්‍රදේශ වල සිට පැමිණෙන මේ බොහෝ වාහනවල ගමනාන්තය ගල්ගමුව නගරයයි. කුරුණෑගල සිට ඇල්ල හරහා පාරේ පැමිණෙන විට හමුවන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවසන් නගරය වන්නේ ගල්ගමුවයි. අවට බොහොමයක් ගම්වල අවශ්‍යාතා සපුරන ප්‍රධාන වාණිජ නගරය ලෙස ගැමියන්ගේ ජනාදරය දිනා ඇත්තේ මේ නගරයයි.අරසන් වැවේ දියට මුහුණලා එක පෙලට පිහිටි දැවැන්ත කුඹුක් ගස් රාශියකි. වැව් දිය අඩක් වසා ගත් ජපන් ජබර ශාකය මත දම් පාට මල් පිපී තිබේ. කුඹුක් ගස් මුල දිය මංකඩවල දිය නාන පිරිස් බැම්ම මතින් ගමන් ගන්නා ඕනෑම අයෙකුට දැකිය හැකි සුලභ දසුනකි. වැව් බැම්මේ යටි පෙදෙසින් කුඹුක් ගස් උසටම නැගී පෙනෙන හින්දු කෝවිල,ඉපැරණි ගොඩනැගිලි ශිල්පයේ විස්කම් මනාව පිළිඹිබු කොට තිබේ. වැවේ එක් අන්තයක දුම්රිය ස්ථානය දිස්වේ. වැව් බැම්ම හරහා නගරයට ප්‍රවිෂ්ට වීමට පැමිණෙන ඕනෑම අයෙකු දුම්රිය මාර්ගය හරහා යා යුතුය. පදිකයන්ගේ සහ වාහනවල ආරක්ෂාව උදෙසා දුම්රිය මාර්ගය දෙපස ආවරණය වන පරිදි උණ බම්බු ගේට්ටුවක් තනා තිබේ. ගේට්ටුවෙන් වැව පසට වන්නට වම් පැත්තේ නොතාරිස් කාර්යාලයක් සහ ගරාජයක් පිහිටා තිබේ. දකුණු පස වැවට යාබදව තේ,බුලත් විට,බොම්බෙ මොටයි,වඩේ,බඩඉරිඟු යනාදිය අලෙවි කරන තාවකාලික වෙළෙඳසලකි.

ගල්ගමුව නගරය දෙසින් ආ තරමක් නවීන පන්නයේ යතුරු පැදියක් ගරාජය අසළ නතර කෙරිණ. ප්‍රියමනාප පෙනුමෙන් යුතු,හොඳින් හැඳ පැළඳගත් තරුණයයෙකු එයින් බැස ගරාජය තුළට ඇතුල් විය.

“ආං….සුදු මහත්තයා.. මතක් කරා විතරයි..එමු..එමු ඇතුළට..”

මැදිවියේ ගරාජ හිමිකරු ඔහුව ගරු සරුව පිළිගෙන ඇතුළට කැඳෙව්වේය.

“කොහොමද බන්ධු අයියා බයික් එකේ තත්වෙ..”

“ඔහොම එමුකෝ මං පෙන්නන්ඩ….”

ගරාජ හිමිකරු තරුණයාව අලුත් වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින යතුරු පැදි කිහිපයක් වෙත කැඳවා ගියේය.

“මේ තියෙන්නෙ ගේනකොටම තිබුණු තත්වෙ තමා සුදු මහත්තයා..”

ඉදිරිපස පොඩිපට්ටම් වී ගිය යතුරු පැදියක් තරුණයාට දක්වමින් ගරාජ හිමිකරු පැවසීය.

“බයික් එක ගන්න දෙයක් නෑනෙ බන්ධු අයියා….කොහොමද මේක ගෙනාවෙ..”

“සුදු මහත්තයා කෝල් කරලා පොට් එක කියද්දී මට හිතුණා ටිපර් එකේම ගියොත් ගොඩ කියලා..”

“ඇති මේ ගොං වස්සා නොමැරී බේරුණා..”

“කොහෙ ගිහින්ද ඒ රෑ දෙගොඩ හරි ජාමේ..”

“කොහෙද මලාට කටින් වචනයක් ගන්න බෑ..”

“මං දන්න කාලෙ ඉඳලා ලක්මාල් මහත්තයා ඔහොමමයි…කීවොත් කියපු දේ කරන්න ඕනෑ..”

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you