Mandaramen Eha – 06 මන්දාරමෙන් එහා
පපුවේ ගැස්ම තමන්ටම ඇසෙන තරමට වේගවත් වෙද්දී,සමන්තී දොර පොල්ලට අත තැබුවාය. ඒ අතරවාරයේම ඇසෙන,නෑසෙන ගානට “කවුද” කියා තොල් මැතිරූ නමුත් වියලි උගුරෙන් හඬක් මතුව ආවේ නැත. කෝකටත් කියා දොර පොල්ලද කිටි,කිටියේ දෑතට සිරකරගත් ඈ,දොර පියන මදක් විවර කොට ගොළුබෙල්ලෙකු මෙන් හිස එළියට එබුවාය. දුටු දසුනෙන් තිගැස්සුන ඈ අතින් හඬ නඟමින් දොර පොල්ල අතෑරිණි.
“ලක්මාල්”
“මං දන්නවා සමන්තී..අවේලාවේ මෙහෙම ආ එක වැරදියි..ඒත් මට එහෙම කරන්න වුණා.. එදා ඔයාගේ අයියා…….”
තමන් නිදහසට කාරණා කීවද,සමන්තීගෙන් ප්‍රතිචාර නොලද හෙයින් ලක්මාල් සිය කතාව අතරමග නවතාලීය. තුෂ්නිම්භූතව තමන් දෙසම බලා සිටිනා සමන්තී දුටු ලක්මාල්ගේ හිතට දැණුනේ වරදකාරී හැඟීමකි. එයින් මිදෙනු වස් කුමක් හෝ කිව යුතුයැයි සිතූ ලක්මාල් නැවත මුව ඇරියේය.
“මේ මොකෝ.. ගෙට ගොඩවෙන්න හදන මිනිහට දොර හරස් කරගෙන..”
“ඔයා ගොඩවෙන්න හදන්නෙ වැරදි ගෙදරට ලක්මාල්..”
තදින් මුවහත් ආයුධයකින් ඇති කළ කැපුම් වේදනාවකින් මෙන් ලක්මාල් පිටුපසට වීසිවී ගියේය. හිස කිහිප වරක් දෙපසට සැලූ ඔහු බමන ගතිය මග හැරගන්නට වෙහෙසීය.
“මං ආවේ දරුවව බලලා යන්න සමන්තී..අවලමේ ආව එකෙක් ගානට මාව පාච්චල් කරන්නෙපා..”
සමන්තී දෙසවත් නොබලා ඔහු කියූයේ ශෝකයෙනි. සමන්තී හුන් ඉරියව්ව දශමයකුදු වෙනස් කලේ නැත.
“මං දන්නවා ලක්මාල්…ඒත් මට ගමේ මිනිස්සුන්ට ඔය කතාව පැහැදිලි කරන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද..”
“අපේ හිත් දන්නවනම් අපි වැරැද්දක් කරන්නෙ නෑ කියලා, මොකටද අපි කාටවත් ඒක පැහැදිලි කරන්නෙ..”
“මේක ගම ලක්මාල්..පේන දේට පදයක් හදනවා ඇරෙන්න,හැමදේම කිරලා,මැනලා ගණන් හදන්න ගමේ මිනිස්සු දන්නෙ නෑ..”
“එහෙනම් විනාඩි පහකට දොර ගාවින් අයින් වෙන්න..මම දරුවගෙ මූණ බලලා යන්නම්..”
“තරහවෙන්නෙපා ලක්මාල්..මේ වෙලාවේ තප්පරේකටවත් මට ඔයාව ගෙට ගන්න බෑ..”
වැරෙන් බිත්තියට පහරක් ගැසූ ලක්මාල් ආපසු හැරුණේය. තමා අත ඇති පාර්සලය දොර අසල අත හැරිය ඔහු,මිදුලට බැස්සේය.
“මේ අහන්න ලක්මාල්..”
සමන්තීගේ හඬින් ලක්මාල් මිදුළ මැද නතර වූවද ආපසු හැරී බැලුවේ නැත.
“මතකද..ඔයාම දවසක් කීවා..වසන්ත කොහේ හරි ඉඳන් අපි දිහා බලන් ඇති කියලා.. එයාගේ හොඳම යාලුව විදිහට වසන්තට අපි දිහා පිරිසිදුව බලන්න ඉඩ දෙන්න ලක්මාල්…”
ලක්මාල් ගිය දුර ආපසු සමන්තී වෙතට ආවේය. ඇගේ මුහුණට සමාන්තරව සිටගත් ඔහු තදින් හුස්මක් ගත්තේය.
“ඔයා කියල ඉවරනම් මේ ටිකත් අහගන්න..ඔව්..වසන්ත කොහෙ හරි ඉඳන් අපි දිහා බලන් ඇති…මං ඒක කිව්වෙ හදවතින්..ඒත් මං ඔයාට නොකිව්ව කතාවක් තියනවා..වසන්තව මං අවසානෙට දැක්ක දවසෙ එක ඉල්ලීමක් කළා. කිසිම යාලුවෙක් තවත් යාලුවෙක්ගෙන් ඉල්ලන්නෙ නැති ඉල්ලීමක්…මම පොරොන්දු උනා.. මගේ අවසාන හුස්ම පොද යනකං..මං ඒ පොරොන්දුව කඩන්නෑ සමන්තී..මං කරන දේවල් කාට කැතට පෙනුනත්,වසන්ත ඉන්න තැනෙක ඉඳන් ඒවා පිරිසිදුව දකින බව මට ස්ථීරයි…ගිහිං එන්නං..දරුවව හොඳින් බලාගන්න…”
ලක්මාල්ගේ තියුණු වදන් සමන්තීව නිවසේ එළිපත්ත දක්වා රැගෙන ඒමට සමත් විය. කතාකොට ඔහුව නවතන්නට යටිහිත කෑගසද්දී,ඒ හිත බලෙන්ම මරාගෙන සමන්තී බිත්ති කණුවක් බදාගත්තාය. වන සතුන් එළිබහින මැදියමේ තමන් මේ මිනිසාව එලියට ඇද දැමුවා නොවේදැයි සිතී සමන්තීට මහ හයියෙන් ඉකිගසා හැඩිණි.
ගිරාතලාන වෑකන්දට පහළින් ඇති වෙල් යායේ හරි මැදට වෙන්නට පිහිටි පොල් වත්තකි. ඉඩෝරයට මුහුණ පෑමෙන් බොහොමයක් පොල් ගස් කරටි මුලින් බිඳී තිබේ. පොල් ගස් සියයකට වඩා වැඩි යැයි බැලූ බැල්මට කිව හැකි වත්තේ,ගස් අතර මයියොක්කා ගස් ඉන්ඳවා තිබේ. ඒවාහිද බොහෝ ගස්වල ඇත්තේ අගිස්සේ දළු පමණෙකි. අනෙක් ගස්වල දඬු පමණක් ඉහළට විහිඳී තිබෙයි. හීන් බංඩාරමැණිකේ පොල් ගස් අතර ඔබ,මොබ සක්මන් කරමින් පැමිණ,බිම වැටී ඇති අතු,ගෙඩි සහ හනසු වෙන,වෙනම ගොඩවල් ගසයි. ගස් මුල වවා ඇති ගොටුකොල ,වැලෙන් සූරාගන්නා ඈ නෙරියෙහි මල්ලක හැඩයට තනාගත් ඉඩෙහි ඒවා ඔබා ගනී.
“නැන්දම්මා..”
ඒ හඬට හිස නඟා බැලූ හීන් බංඩාරමැණිකේ තමා දෙස පිරීගිය සෙනෙහසින් බලා හිඳිනා තාරුකා දුටුවාය. කරමින් සිටි වැඩය නතර කළ ඈ තාරුකා වෙත ඇවිද ආවාය.
“පොඩි දූ..”
“නැන්දම්මා උදේම පොල්වත්ත බලන්ඩ ආවය..”
“හ්ම්ම්ම්….දූලයෙ මාමණ්ඩිගෙ පුරුද්ද මට බෝ වෙලා ඕං..”
ආදරණීය මදහසකින් ඇරඹි ඒ වාක්‍යය මැදදී බිඳී අගදී කෙඳිරියක ස්වරයක් ගත්තාය. සැණෙන් තාරුකාගේ මතකය මාමණ්ඩිය සොයා ගියාය. තම පියාගේ මතකය තරමක් ළදරු වූවද,සිය මාමණ්ඩිය වූ “බංඩාර මහත්තයා” පිළිබඳ පැහැදිලි මතකයක් තාරුකා සතුව තිබෙන්නීය. අද සිය නැන්දණිය මේ පොල් වත්තේ හැසිරෙන්නේ කෙසේද,එලෙසම සිය මාමණ්ඩියද මෙහි හැසිරුණු අයුරු නැවත මනසේ ඇඳගන්නට මෙන් තාරුකා පොල් ගස් අතර දෑස් දිවෙව්වාය.
“මොකෝ පොඩි දූ..”
“මාමණ්ඩිව මතක් වුණා නැන්දම්මේ..”
” එයැයිගෙ මතක මේ පොල් ගස් තරං උසයි..ඒ වගේම දුරයි පොඩි දූ…ඒ මත්තෙම දුවලා මාත් දැන් මේ කණාටු පොල් ගස් තරමට දිරලා…”
තාරුකා පුදුම වූවාය. සිය නැන්දණිය කිසි දිනෙක තමා සමඟ මෙතරම් සෘජුව කතා කොට නැත. තම මව සමඟ කෙතරම් විහිළු,තහළු කලද තාරුකාට එදා පටන්ම සිය නැන්දණිය කෙරේ තිබුණේ ගරුත්වය පිරි ආදරයකි. හීන් බංඩාරමැණිකේගේ නිවුණු,නිහඬ කරුණාබරිත චරිතයට එදවස පටන් ඈ බොහෝ සේ ඇළුම් කළාය. සිය මාමණ්ඩිය ගැන මතකය අලුත් වීම ඇයව තමා සමඟ මෙතරම් කුළුපග කරවීමට හේතුවන්නට ඇතැයි තාරුකාට සිතිණි.
“අන්න ලොකුත් මේ අහ එනවා…චූටි කෑම ටිකවත් මේසෙට බෙදලා නැති හැඩයි මයෙ හිතේ..”
එසේ කියාගෙනම හීන් බංඩාරමැණිකේ වෑකන්ද බැස තමන් දෙසට එන ශාරිකගේ පෙරමඟට ගියාය. අතරමඟදී ඇයට ශාරිකව මුණ ගැසෙනුත්,ඔවුන් දෙදෙනා යමක් කතාබස් කරනුත් තාරුකා හුන් තැන සිටම නිරීක්ෂණය කළාය. අවසන ශාරික පමණක් තනිව තමන් දෙසට ඇවිද එනු දැක ඇගේ මුවට ප්‍රේමණීය මදහසක් නැගුණාය.
“මයෙ අම්මේ..මූණෙ තියන සිරියාව බැද්දට හඳ පායලා වගේ..”
ශාරික තාරුකා අසළට පැමිණියේ එසේ කියාගෙනය.
“පුංචි නිළමෙට ඉතිං අපි හිනා උනත් පේන්නෙ ඇදේට..”
“මං ඇදයක් කිව්වයැ.. ලස්සනයි කියන එකනෙ කීවෙ..”
“ලස්සන ගැන ඔයිට වඩා ආදරෙන් කියන්ඩ ඕනෙ..”
තාරුකා කීයේ ශාරික අසළට පැමිණ,ඔහුගේ කමිස කොළරය දෙපසින් ඇද සකසමිනි. ශාරික ඇගේ ඉණ දෙපසින් අල්වා තමන් වෙතට ළං කර ගත්තේය. ඒ දිගටි මුහුණේ වටකුරු ඇස් දෙසම බලාගෙන මුහුණට පාත් වූයේය. ක්ෂණයකින් තාරුකා ශාරිකගේ පපු පෙදෙසට දෑත් ගසා ඔහුව පිටුපසට තල්ලු කළාය. පිටුපසට විසිවී ගිය ශාරික පොල්වත්තේ ඉදිරියට දුවන තාරුකාව හඹා ගොස් අල්ලා ගත්තේය.
“ලස්සනට ආදරේ කියන්න තනද්දී මොකෝ ඉතිං දුවන්නෙ..”
“ඒ ආදරේ ඕනාවට වැඩියි..”
“ආදරේ වැඩිවෙන තරමට හොඳයිනෙ ඉතිං..”
“කතාවක් තියනවනෙ වැඩි හොඳ දබරෙට කියලා..”
තාරුකා සිය දිගු වරලස අගිස්සෙන් ශාරිකගේ මුහුණ කිති කැව්වාය. එයින් බේරෙන්නට ඔහු ඇගේ කොණ්ඩ කරල් දෙක ගෙන පිටුපසට වීසි කළේය.
“අපෙ අම්මා මොනායි කියන්නෙ..”
“මාමණ්ඩිව මතක් කළා.. ඔය දෙන්නා මොනායි මගට වෙලා කුටු,කුටු ගෑවෙ..”
” කෙල්ලො එක්ක තනිපංගලමෙ ගැවසෙද්දි පරෙස්සමෙං කීවා..”
“අනේ…පව්..නැන්දම්ම හිතුවද දන්නෑ මං පුංචි නිළමෙව ගිලීවි කියල..”
දෙදෙනා අතර සිනහවක් පැන නැගිණි.
“නැන්දම්මගෙ ටිකට් කපන්නෙ කවදද..”
“හෙට”
“එහෙනම් මට මෝටර් බයිසිකලේ ගිහින් එක්ක එතෑකි නේ….”
“ඕන්නෑ.. අපි බස් එකේ යං..”
“අපි කිව්වෙ..”
“වෙන කවුද..පුංචි නිළමෙයි,මායි..”
“දීගතලා යන්න කලියෙන් ගෑණු ළමයි ජෝඩු දාලා එහෙ,මෙහෙ යන්නෑ..”
“දීග ගියායින් පස්සෙ කොහොමත් යැවෙන්නෑ.. මම ඔයත් එක්ක එනවමයි..”
පිටුපසින් ඇසුණු ශබ්දයක් නිසා එකවරම දෙදෙනා පිටුපසට හැරුණහ. පොහොර උරයක්ද අතැතිව ඔවුන් පිටුපස සිටියේ ජිල්බුය.
“මොකද උඔ හොල්මන වගේ ඔතන හිටං ඉන්නෙ..”
ශාරික ජිල්බුගෙන් ඇසුවේ මඳක් උස් හඬිනි. ජිල්බු පුරුදු බයාදු ගතිය දක්වා ශාරිකට සිනාසිණි.
“මැණිකෙ කීවා පොල් ගෙඩි ටික අහුලං එන්ඩය කියල..”
“ඉතිං..ඔතන හිටං හිටියම ඉබේ පොල් ඇහිලෙනවද..ගිහිං අහුලපං..”
මුහුණ බිමට නැඹුරු කරගෙන,ශාන්ත ලීලාවෙන් තමන් පසු කර යන ජිල්බුව දුටු තාරුකාට සිනාව පාලනය කරගත නොහැකි විය. ඇය දෑතින් මුව තද කරගත්තාය. ශාරිකද සිනාමුසුව තාරුකා දෙස බැලුවේය.
වෙල් යාය මැදින් වැටී ඇති ගුරු පාරේ සිය “මේට් ෆිෆ්ටි” වර්ගයේ යතුරු පැදියෙන් එමින් සිටි කාලිංගට වෙල් යාය පසෙක වූ පළු ගසක් අසළ පොදි කන ගම්මුන් පිරිසක් දක්නට ලැබිණි. ඊට වඩාත් සමීප වද්දි,ඔවුන් එහි කිසියම් දෙයක් විපරම් කරන බව හැඟුන නිසාවෙන්,යතුරු පැදිය පසෙක නවතා එදෙසට ආවේය.
“මොනවයි උඔලා මෙතන එබිකං කරන්නෙ..”
කාලිංග අසද්දී,ගැමියන් ඔහුට ඉඩදී දෙපසට වූහ.
“ඊයෙ රෑ ජාමෙ මොකෙක් හරි මේ පළු ගහේ හැපිලා තියනවා..”
ගැමියෙකු එසේ කියද්දී කාලිංග සෙමෙන් පළු ගස සමීපයට ගියේය. යමක් තදින් වැදීම හේතුවෙන් පළු ගසේ කඳේ බාගයක් පොතු ගැලවී ගොස්ය. යතුරු පැදියක යැයි කිව හැකි වීදුරු සහ රබර් කොටස් කිහිපයක් ගස මුලය. තිරිංග පහරක සළකුණු පාරේ සිට ගස තෙක් පැහැදිලිව දක්නට තිබේ. කිසිවෙකු වේගය පාලනය කරගත නොහැකිව ගසේ හැපෙන්නට ඇතැයි කාලිංගට සිතිණි.