Hima Mal Renu හිම මල් රේණු
සෙනසුරාදා දහවල මම ආලින්දයට වී රූපවාහනිය නරඹමින් සිටින මොහොතේ තාත්තා නිවසට පැමිණියේ වෙනදා මෙන් නොවේ. ඇරත් ඔහු වේලාසනම නිවසට ගොඩ වන විට මා තුළ පුදුමයක්ද ඇති විය. ඔහු කෙරෙන් පළ වූයේ ඉතා වෙහෙසකර බවකි.
“තාත්තේ…මොකද…මූණත් අමුතු වෙලා…?”
කළබලයෙන් මම ඇසීමි. පිළිතුරක් නොදුන් ඔහු දෑත් දෙපා දිග හැරගෙන අසුනක් මතට ඇද වැටුණේය.
“තාත්තේ…ඇයි මේ…?” මම ඔහු අසළට දිව ගියෙමි.
“ම…ගේ…ප…පු…”
ඔහු වේදනාවෙන් කෙඳිරි ගෑ අතර අපි ඔහුව වහා රෝහලට ගෙන ආවෙමු. භීතියක් මා සිතේ ඇති විය. ඔහුට කවදාවත් හිසරදයක තරමටවත් අසනීපයක් නොතිබූ බව අපි දැන සිටියෙමු. ඉතින් මේ හදිසියේ සිදු වූයේ කුමක්ද…? සිදු වූයේ අප කිසිවෙකු කිසිවිටක බලාපොරොත්තු නොවූ දෙයකි. තාත්තාගේ මොළේ ලේ කැටියක් සිරවී නහරයක් පුපුරා යෑමෙන් ඔහු මඳ අංශභාග තත්වයකට පත්ව තිබූ අතර හෘදයාබාධයක්ද ඇති බව වෛද්‍යවරයා පැවසීය. එදින ඒ මොහොතේම අපි ඔහුව රෝහලට රැගෙන නොඒමට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීමට ඉඩ තිබිණි. දින කිහිපයක් ඔහුට රෝහලේ නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදු වූ අතර ඒ දින කීපයේ අනුරාග් ඇතුළු සියළු මිතුරු, මිතුරියන් මා සමඟ සිටිමින් මට විශාල සහයක් වූහ. අනුරාග් දිනකට කීප වරක් තාත්තා බැලීමට රෝහල පැමිණි අතර අවීශ්ද රෝහලට පැමිණියද තාත්තා අසළට නොපැමිණියේ ඔහු දැකීමෙන් තාත්තා කළබල වනු ඇතැයි සිතාය. අවීශ් පැමිණි සෑම විටකම මට සිතුණේ ඔහුට මා හා යමක් පැවසීමට වුවමනා බවය. දිනක් නිරංගා ඇන්ටි සමඟ දැරණියගල අංකල්ද රෝහලට පැමිණියේ අප පුදුම කරවමිනි. ඔවුන් අප සමඟ කතා බහ කර ගියද තාත්තා බැලීමට නම් නොආවෝය. මා අවීශ්ගේ තාත්තා මෙතරම් සමීපව දුටුවේ මෙදිනය. ඔහු කෙරෙන් පළවූයේ මහා ගාම්භීර බවකි. කාන්තාවන් ඔහුට ආකර්ෂණය වීම අරුමයක් නොවේ යැයි කියා මට ඒ මොහොතේත් සිතිණි. ඔහු මා හිස මත අත තබා මා සමඟ ඉතා සුහදව කතා බහ කළේ මා බොහෝ කාලයක් පටන් දැන හඳුනාගෙන සිටියාක් මෙනි. මට පුදුම නොවී සිටිය නොහැකි විය. මෙතෙක් කලක් මා සිතා සිටියේ ඔහු ඉතා රළු පරළු අයෙකු කියාය. නමුත් ඔහු ඉතා ගුණයහපත් මිනිසෙකු බව මට ඒ මොහොතේ අවබෝධ විය. මිනිසුන් ඔහු පිළිබඳව පවසන ලද කට කතා බොරු යැයි කියා පවා මට එක් මොහොතකට සිතිණි.
“නිරංගාක්කා ආව එක නම් හරි කියමුකො…මට මේ මනුස්සයා ආව එක ගැන නම් හරිම ප්‍රශ්නයක්…”
ඔවුන් පිටව ගිය පසු නැන්දා මට රහසේ කීවාය.
“හිතන තරම් යකා කළු නැහැලුනේ නැන්දා…”
මඳහසක් මවා ගන්නට උත්සාහ කරමින් මම කීවද මාද සිටියේ පහව නොගිය මවිතයකිනි.
“දැන් යක්කුත් එන්නේ වෙස් බැඳන්නේ…ඒකයි බය…”
“අනේ මන්දා…” මම සුසුමක් හෙළමින් කීවෙමි.
“දෙන්නා දැන් කිරිපැණි වගේ වෙලා…”
ඈ යළිත් කීවාය. සමහරවිට ඒ අවීශ් මුහුණ පෑ අනතුරෙන් පසුව වන්නට ඇතැයි කියා මම සිතමි.
තාත්තා අසනීප වූ බව අපි ආච්චි අම්මා හා කීවේ ඔහුව නිවසට කැඳවාගෙන පැමිණි පසුවය. ඈ පසුදිනම නිවසට පැමිණියාය. ඒ වන විට තාත්තා ගොත ගසමින් වචනයක් දෙකක් පමණ අපහසුවෙන් කතා කරගන්නට සමත් වී සිටියද අපට එය තේරුම් ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමට සිදු විය. මේ අතර මම සේවයෙන් අස්වන්නට ගත් තීරණය ගැන ආච්චි අම්මා හෝ නැන්දා කිසිත් නොකීවද අනුරාග් නම් එයට විරුද්ධ විය.
“තාත්තට සනීප වුණාම ඔයා වැඩට එන්න…අනික තාත්තා බලන්න ගෙදර අයත් ඉන්නවනෙ…ජොබ් එකෙන් අයින් වෙන්න වුවමනා නැහැ…”
ඒ මොහොතේ ඔහු පැවසුවේ එවැන්නකි. මේ අතර තාත්තා අකුරෙන් අකුර අමුණමින් කතා කර කීවේ ව්‍යාපාර කටයුතු පිළිබඳව අනුරාග්ට සොයා බලන ලෙසය.
“ඔයා ඒව කල්පනා නොකර සනීප වෙන්න බලන්න…” ආච්චි අම්මා කීවේ නොමනාපයෙනි.
“තාත්තට මොකුත් අසනීපයක් නොතිබිලත් මෙහෙම වුණ එකනේ පුදුම නැන්දේ…”
මම නැන්දා හා කීවේ ඈ තාත්තාට සුප් එකක් සාදන්නට සූදානම් වන විට එයට එළවළු කපන අතරය. චන්ද්‍රම්මා ළූණු සුද්ද කරමින් පසෙක සිටියාය.
“දුව දන්නවද…ඩොක්ටර් කිව්වේ මොකක්ද කියලා…?” ඒ කුමක්ද කියා කුහුළින් මම නැන්දා දෙස බැලීමි.
“ඩොක්ටර් කිව්වේ…එයාව එක පාර ෂොක් වෙන මොනව හරි දෙයක් වෙන්න ඇතිලු…ඒකලු මෙහෙම වුණේ…”
“ඒත් නැන්දා…එයා මොනවට ෂොක් වෙන්නද…?”
“ඒකනේ මාත් කල්පනා කළේ…”
නැන්දා ඒ මොහොතේ කීවේ කල්පනාකාරී හඬකිනි. තාත්තා කම්පනයට පත්වන්නට තරම් දෙයක් නිවසේ නම් සිදු නොවීය. එසේ නම් එදින ඔහු වේලාසනම නිවසට පැමිණියේ එසේ යම් දෙයක් සිදුවූ නිසාද….? එය දන්නේ ඔහුම පමණය.
අනුරාග් සමඟ එකතුව මට අපේ ව්‍යාපාර කටයුතු පිළිබඳව සොයා බලන්නට යැයි යෝජනා කළේ නැන්දාය. ඒද තාත්තාගේ වුවමනාවටය. මම එයට එකඟ වූයේ එතරම් කැමත්තකින් නොවේ. මේ නිසා මම මඳක් කාර්ය බහුල වීමි. භාෂිතට හා මාධවට ඉහළ තනතුරක් පිරිනමා ඔවුන් දෙදෙනා මෙයට යොමු කරමු යැයි යෝජනා කළේ අනුරාග්ය. මම ඊට එක පයින් එකඟ වූයේ හුදෙක් මගේ පහසුව තකා නොව ඔවුන් දෙදෙනාටද ඉන් යම් සෙතක් සැළසෙන බැවිනි. අනුරාග් සිටීම කෙතරම් පහසුවක් විණිද….? ඔහු තාත්තා බැලීමට නිතරම නිවසට පැමිණ ගියා සේම ව්‍යපාර කටයුතු වලටද මට සහායක් විය. නිවසට පැමිණ ගිය එවන් සමහර අවස්ථාවක නදීරා හෝ තෙෂාරාද නිතර ඔහුට හමු විය. ඔවුනතර මේ වන විටත් ඉතා සමීප මිතුරු කමක් ඇතිව තිබිණි.
“අපි හිතන දේවල් නෙවේ නේද ආරණ්‍යා අපට සිද්ද වෙන්නේ…?”
“එහෙම වුණා නම් කොයිතරම් හොඳද නදීරා…?” ඈ හා එකඟ වෙමින් මම කීවෙමි.
“ඔයා තාමත් අවීශ් ගැන හිතනවා නේද…?”
ඈ සුළු මොහොතකට පසුව අසන විට මම තිගැස්සී ගියෙමි. කොයි මොහොතකවත් මම ඔහු පිළිබඳව සිතීම නවතා තිබුණේ නැත.
“එක පාරම එහෙම අහන්නේ මොකද…?”
ඇගේ පැනය මඟ හරිමින් මම පැනයක් නැඟීමි.
“එක පාර නෙවේ…මං හොඳට බලලා ඇහුවේ…තාම අනුරාග් එක්ක වුණත් කතා බහ යාළුවෙක් විදියටනේ…ටිකක් වෙනස් විදියට එයා දිහා බලනවා දැන්වත්…”
“වෙනස් විදියකට කිව්වේ…ඇස් වපර කරලාද…? එතකොට ඩබල් වෙලානේ පේන්නේ…”
ඈ කී දේ සැහැල්ලුවට ගෙන මම කීවේ සිනහසෙමිනි. මට එලෙස සිනහසීමට හැකිද කියාත් මට අනික් පසට සිතිණි. නදීරා එකවරම කිසිත් නොකියා මොහොතක් මා දෙස රවාගත් බැල්මකින් බලා සිටියාය.
“අනේ මෝඩි…කමක් නැහැ…අපි කාලයට ඉඩ දෙමු…ඔයා දැන් සැහැල්ලුවෙන් ඉන්න එකත් ලොකු දෙයක් ආරණ්‍යා…ඔයාගේ ජීවිතේ…ඔයාට සිද්ද වුණ දේවල් මට වුණා නම්…මං නම් දරා ගන්නම බැරිව මැරිලා ඉඳියි…”
නදීරා සුසුමක් හෙළමින් කියන විට මම ඇගේ අතක් තරයේ අල්ලා ගතිමි.
“එහෙම වෙන්නෙ නැහැ නදීරා…ප්‍රශ්න එන්න එන්න අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා හොයා ගන්නවා…ඒකෙන් අපි ශක්තිමත් වෙනවා…තාත්තගේ අසනීපේ වුණත් මට දරා ගන්න ශක්තියක් වුණේ…පහුගිය කාලේ මං ලබපු අත්දැකීම් වෙන්නැති…”
“ඔයා මාර විදියට පහු ගිය ටිකේ ඒ හැදේටම මූණ දුන්නා ආරණ්‍යා…”
ඈ මා අගය කරමින් කියන විට මම සුසුමක් වා තළයට මුදා හැරියෙමි.
අනුරාග් පැමිණෙන සෑම විටකම තාත්තා ඔහුට අප විවාහය පිළිබඳව සිහිපත් කළේය. එය අනුරාග් අපහසුතාවයට පත් කළාදෝ කියා සැකයක් මා සිතේ ඇති විය.
“අපි හෙමින් ඒ ගැන කතා කරමුකෝ…මිස්ටර් මාවන් සනීප වෙන්න බලන්නකෝ…”
එවන් විටක අනුරාග් කීවේ මා ආරක්ෂා කර ගැනීමේ වුවමනාවෙනුත් වන්නට ඇතැයි කියා මට සිතිණි.
“මේ වෙලේ මිස්ටර් මාවන්ගේ හිත රිද්දන එක හොඳ නැහැ…”
අනුරාග් මා හා කියන විට මම ඔහුට ස්තූති කළෙමි.
“ස්තූති මොකටද ළමයෝ…අපි යාළුවෝ නෙවේද…?”
ඔහු ඇසුවේ මඳහසක් මුව මත රඳවාගෙනය. අපිට යහළුවන් පමණක්ම වී සිටිය හැකි නම් කියා මට ඒ මොහොතේ සිතිණි.
**** ***** ***** **** ***** ***** ***** ********** ***** ********** *********
පිටත ඇද හැළෙන පොද වැස්ස මහා වැස්සක් බවට පරිවර්තනය වන්නට එතරම් වෙලාවක් ගත නොවිණි. තාත්තා ගේ දහවල් ආහාරය ඔහුට කවා මම ඔහු අසළම හිඳ ගෙන සිටියේ ඔහුට නින්ද යන තුරුය. ඒ මොහොතේ වේලාව එක පසු වී තිබිණි. සුළු මොහොතකට පසු ඔහු නින්දට වැටුණ අතර මම පිටතට යෑමට සූදානම් වන විට කුඩා ටීපෝව මත වූ තාත්තා ගේ ජංගම දුරකථනය හැඬ වෙනු දැක මම එවෙත අවධානය යොමු කළෙමි. ඔහු අසනීප වූදා සිට දුරකථනය තැබුවේ ඇමතුම් නද නොවන සේ නිහඬ කොටය. ඒවාට පිළිතුරු දුන්නේද මා හෝ නැන්දාය. මුහුණතේ සටහන් වූ නම දැක මා සිතේ තිගැස්මක් ඇති විය. දුරකථනයත් රැගෙන මම පිටතට විත් එයට පිළිතුරු දුනිමි. වැසි හඬ නිසා මා කතා බහ කරන හඬ කිසිවෙකුට නෑසේ. ඇරත් අසළ කිසිවෙකුද නැත.
“ල්…ලොකූ ඔයා…?”
නංගීගේ හඬ විමතියෙන් පිරී තිබූ සේම මමද එසේම වූයේ ඈ තාත්තා සමඟ කතා බහ කරන බවක් මා දැන නොසිටි නිසාවෙනි.
“ඔව්…මම තමා ඇයි…ඔයාට පුදුමද…?”
නොමනාපයෙනුත් නොසතුටෙනුත් මම ඇයට වචන වලින් දමා ගැසීමි. ඈ තාත්තා සමඟ නිතර කතා බහ කළාද නැතිනම් හදිසියේ ඔහු සමඟ කතා බහ කිරීමට වුවමනා වූවාද කියා මම නොදනිමි. එය දැන ගන්න වෙන්නේ ඇයගෙන්මය.
“අනේ…ලොකූ…මට බනින්නෙපා…මට සමාවෙන්න…මට ඔයාට කතා කරන්න ඕන වුණා…ඒත් මට ඒකට ඉඩ දුන්නේ නැහැ…”
“ඔයාව බලෙන් අල්ලන් හිටියද කවුරු හරි…?” මම ඇනුම්පදයක් එල්ල කළෙමි.
“අනේ…ලොකූ…මං කියන දේ ටිකක් අහන්නකෝ…” ඇගේ හඬ බැගෑබරය.මම කන් දුනිමි.
“එදා සිද්ද වෙච්ච කිසි දෙයක් මං දැනන් හිටියේ නැහැ ලොකූ…මෙහෙ ආවට පස්සෙ මගේ ෆෝන් එකත් වැඩ නැහැ…ඒක හදා ගන්න සතියකට වඩා ගියා…ඔයාගෙ නම්බර් එකට කෝල් ගත්තට ඒක වැඩ කළේ නැහැ…තාත්තා මට කෝල් කළාට ඔයාට වුණ කිසි දෙයක් මට කිව්වේ නැහැ…අම්මවත්…ඔයා දන්නවනේ එයා ගැන…අනේ ලොකු මට ඔයාට කියන්න ගොඩාක් දේවල් තියනවා…මට දැන් ඒවා කියන්න වෙලා මදි…අම්ම ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ඉන්නේ…මම ඒක තාත්තාට කියන්න ගත්තේ…”
ඒ ඇසූ මම පුදුම වීමි.
“ඇක්සිඩන්ට් වෙලා…ඉතින් ඒක මොකටද තාත්තාට කියන්නේ…?” නොමනාපයෙන් මම ඇසීමි.
“ලොකූ….මේ අහන්න…මේ ඕවා ගැන කතා කරන්න වෙලාව නෙවේ…මං ඔයාට හැමදේම කියන්නම්…මං ඔයාට කතා කළා ගෙදර ලෑන්ඩ් නම්බර් එකට කීප සැරයක්ම…ඒත් ඒ හැමවෙලේම නැන්දා ආන්සර් කළේ…මම නෙවේ…මෙහෙ ඉන්න මගේ යාළුවෙක්ට කියලා මං ගත්තේ… ෆෝන් එක රින් වෙවී කට් වුණා නේද…? ඒ මම ලොකූ…”
එසේනම් මා අසා දුරකථන ඇමතුම් දී තිබෙන්නේ නංගිද….?
“ඒ පිරිමි කෙනෙක්ද…කට හඬ ගොරෝසු…?”
“ඔව් ලොකූ…අම්මායි තාත්තායි සෙපරේට් වුණේ නැහැ ලොකූ…එයාලා නිතරම ෆෝන් එකෙන් කතාකරා…තාත්තා තමා අම්මව මෙහෙට එව්වේ…එයාලා දෙන්න අපිව රැවැට්ටුවා ලොකූ…”
දෙවියනේ…! මේ මා අසන්නේ කුමක්ද..? මා හිස කැරකෙන සෙයකි. මෙය මට අදහාගත නොහැකි දෙයකි.