Hima Mal Renu හිම මල් රේණු
අපි අතර වූයේ නිහැඬියාවකි.මට ඔහුගෙන් අසන්නට බොහො දෑ තිබුණද ඒවා විමසන්නට මැළි බවකුත් දැනේ.
“අපේ තාත්තා ඔයාව මුණගැහුණාලු නේද…?”
මඳ නිහැඬියාවකට පසුව මම අසන විට ඔහු පුදුමයෙන් මෙන් මදෙස හැරී බැලුවේය.
“ඔව්…”
“එයා මගෙන් ඈත් වෙලා ඉන්න කියලා ඔයාට තර්ජනය කළාද…?”
මම අසන විට ඔහුගේ මුව මත ඇඳුණේ අමුතු සිනහවකි.
“ඔයා හිතනවද මං ඒවට බය වුණා කියලා…?”
මම එසේ නොසිතූ බව මම කීවෙමි.
“ඔයා එයා කියපු ඒවා පිළිගත්තා වගේ ඇඟෙව්වා…?”
“මං ඔයාගෙන් ඈත් වෙනවා කියලා එයාට කිව්වා..හැබැයි මං ඒ පොරොන්දව කඩ කළේත් නැහැ…එතකොටමනේ ඉතින් මෙහෙම දෙයක් වුණේ…ඒත් ඔයා දන්නවද ආරණ්‍යා…මං ඇඳට වෙලා නැඟිට ගන්න බැරිව, කතා කරගන්න බැරිව, ඔහේ වැතිරිලා ඉද්දී මට මතක් වුණේ ඔයාව…එදා ඒ ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ…ඔයා අවීශ්…කියලා කතා කරනවා මට යාන්තමට මතකයි…මට සිහි නැති වෙන්න ඇති…මට මතක නැහැ ඊට පස්සෙ මොකුත්…මට සිහිය ආවේ දවස් ගාණකට පස්සෙලු…මගේ මූණවත් අඳුනගන්න බැරි තරම් විරූපී වෙලා තිබිලා තියෙන්නේ…කටට ප්ලේට් දාලා බට දාලා…බෙල්ලට කොලර් දාලා තිබුණ හැටි මං දැක්කේ ෆොටෝ වලින්…මං ඒ ඇඳේ වැතිරිලා හිතුවේ…ඔයාට මොකද වුණේ කියලා…මං හැම වෙලේම හිතුවේ මට මොනවා වුණත් ඔයා ජීවත් වෙන්න ඕන කියලා…මං ඔයාව අමතක කරලා හිටියේ නැහැ…”
ඔහු දිගටම කතා කරගෙන යන විට මා සිත අලුත් වූ දුකකින් ඉරි තළා යන විට දෑස් මතින් උණු කඳුළැල් ගළා යන්නට විය.
“මට එක පාරක් හරි ඔයාව බලන්න ඇත්නම් කියලා සිය දහස් වාරයක් හිතුණා…මට ඒක කියා ගන්න බැරි වුණත් ප්‍රසා ඒක තේරුම් ගත්තා…ඌ ඔයා ගැන හෙව්වා…ඔයාගේ ඇස් පේන්ත්නෙ නැහැ…මතකෙත් නැති වෙලා කියලා දැන ගත්තාම මං සතුටු වුණා…”
මම තිගැස්මෙන් ඔහු දෙස බැලුවේ බොඳව ගිය දෑසිනි.
“ඒ…ඇයි…?”
“ඔයාට මතකේ තිබුණා නම්…ඔයා මං ගැන හොයන්න ගනියි..මං නැහැ කියලා දැන ගත්තා නම්…ඔයාට ඒක මීට වඩා දරුණු කම්පනයක් වෙයි කියලත් මං දන්නවා…”
“අනේ…අවීශ්…” මම ඔහුගේ අතක් දැඩිව අල්ලා ගතිමි.
“මට මතකෙ එද්දි අවුරුද්දකට වඩා ගෙවිලා ගිහින් අවීශ්…ඒ වෙලත් හුඟ කාලයක් ගියාට පස්සෙ මම මේ ගැන දැන ගත්තෙ…කවුරුත් මට ඒ ගැන කිව්වේ නැහැ…ඒත් දැන ගත්තදා ඉඳන් මං මැරී මැරී ඉපදුණා…”
“හ්ම්ම්…ඔයා මට වඩා ගොඩාක් දුක් විඳලා ආරණ්‍යා…අඩුම තරමේ ඔයා හොඳින් කියලවත් මං දැනන් හිටියා…”
“ඒත් අවීශ්…මං දැන් සතුටින්…ඔයා ජීවත් වෙනවා…මට දැන් මැරුණත් කමක් නැහැ…ඔයා මෙහෙම ඉන්නවා මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සෙත්…”
කම්මුල් තෙමා ගළා ගිය කඳුළක් පිසිමින් මම කීවෙමි. නදීරලා අප වෙත පැමිණියේ එවිටමය.
“මේ, කෙල්ලව අඬවන එක දැන්වත් නවත්තනවද අවීශ්…මෙච්චර කල් මේකි හිටියේ අඬ අඬා…”
නදීරා අමනාපය මුසු හඬකින් කීවාය.
“එයාව සනසන්න උඹලා සේරම එයා එක්ක හිටියා…මං ළඟ කවුද හිටියේ…? අම්මායි තාත්තයි..ප්‍රසයි විතරයි…”
ඒ කතාවට මා සිත වඩාත් රිදිණි. එය මා මෙතෙක් සිතා නොතිබූ දෙයකි. ඔහු මේ සියල්ල කෙසේ දරා ගන්නට ඇතිද…?
“අපි දැනගෙන හිටියනම්, උඹව අතෑරලා දායි කියලද හිතන්නේ…?”
තේෂාන් නොසතුටෙන් අසන විට අවීශ් නිහඬ විය. ඒ අතරේ අනුරාග් මා ඇමතූ බව කීවේ නදීරාය. මම ඔහුට ඇමතුමක් ගැනීමට මඳක් ඉවතට ගොස්, අපි පැමිණි ගමන ගැන කෙටියෙන් පවසා කතා බහ ඉක්මනින් අවසන් කළේ පැමිණ සියල්ල පවසන බව ඔහු හා පවසමිනි. මම ඔවුනතරට ඇවිද එන විට
“අප්…ප…ත්…තී…අප්…පත්..තී…” යන හඬ ඇසී අපි සියළු දෙන හැරී බැලීමු.
“අනේ අවීශ්…මෙයා ඉන්නේ නැහැ…අප්පච්චී කිය කියා අඬනවා…”
තරුණිය එසේ කියමින් පුතු ඔසවා ගෙන අප දෙසට ඇවිද එන විට මට බැලුණේ අවීශ් දෙසය. ඔහුගේ මුව මත ඉහිරී ගිය සිනහවකි.
“කෝ…එන්න…එන්න…චූටි පුතා…අප්පත්තී ළඟට…”
ඔහු දෑත් දිගු කරන විට පුතු ඔහු තුරුළට පැන ගත්තේය. එම දසුනෙන් මා සිත අමුතු ලෙස පෑරී ගිය බව මම දනිමි. නදීරා දෙස බලන විට ඈ අනුකම්පා මුසු දෑසින් මා දෙස බලා සිටින බව මම දිටිමි. ඈ පමණක් නොව අනෙක් අයද එවන්ම වූ බැලුම් වලින් මා දෙසම බලා සිටින බව දැක මා සිතේ ඇති වූයේ අසරණ හැඟීමකි.
අපි යළි පැමිණෙන අතරේ බොහෝ දුරක් යන තුරු කිසිවෙකු කතා බහ නොකළෝය. මෙවන් අත්දැකීමකට අපට මුහුණ පාන්නට වනු ඇතැයි කියා අප කිසිවෙකු සිතා තිබුණේ නැත. කොටින්ම කිව හොත් අපි කිසිවෙකු අවීශ්ව මෙහිදී දකින්නට බලාපොරොත්තුව නොසිටියෙමු.
“අවීශ්කයා නැති වුණා කියලා දැන ගත්ත දාට වඩා දුකක් දැනුණා…ඌ මැරි කරලා කියලා දැන ගත්ත එක…යකෝ ළමයෙකුත් ඉන්නවනේ…”
බොහෝ වේලාවකට පසු ටිරෝන් පවසන විට මම යටි තොළ සපාගෙන හිස බිමට නැඹුරු කොට ගත්තේ සිත සියුම් ලෙස රිදුම් දුන් බැවිනි. නදීරාත් තෙෂාරාත් මගේ දෑත් තරයේ අල්ලා ගත්තේ මා සිත වේදනාවට පත් වන්නට ඇති බවට සැක කළ නිසා වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.
“අවීශ් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැහැනේ…ඒකයි මට පුදුම…” තෙෂාරා කීවාය.
“මොනවා කතා කරන්නද…? ලැජ්ජ හිතෙන්න ඇති අපිව එක පාර දැක්කාමත්…මට නම් ඒ ගැන කතා කරන්නවත් හිතුණේ නැහැ…”
තේෂාන්ගේ හඬේ වූයේ තවමත් පහව නොගිය කෝපයකි.
“ඔව් බං…අපිටත් ඒකට නම් මාරම අප්සට්…ආරණ්‍යා මේක කොහොම දරා ගන්න ඇත්ද කියලයි මට එවෙලේ හිතුණේ…”
මාධව කීවේ මවෙත හැරෙමිනි. එය හඬන්නට ළංව ඇති ඇසකට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. දෑස් තෙත්වීම මට වළකා ගන්නට මම අපොහොසත් වූයෙමි.
“ළඟදි ආවා කිව්වට මට හිතෙන්නේ එයාලා ඇවිත් ටික දවසක්…දැන් ඔය කකුලට සිංහල බෙහෙත් කරන්නනේ ගිහින් තිබුණේ…අපි මෙහේ නාවනම් මේ මොකුත් දන්නේ නැහැනේ…ඌ මැරි කළා කියලා දන්නේත් නැහැ…”
තේෂාන්ගේ සිතට වඩා දුකක් ඇත්තේ අවිශ් ඔහුගේ හොඳම මිතුරා නිසා වන්නට ඇත.
“ඒක නම් මොකක්ද බං…ඌ ජීවත් වෙනවා කියලත්…අපි දන්නේ අදනේ…” භාෂිත කීය.
“ඒක නම් ඇත්ත…” ටිරෝන්ද එය අනුමත කළේය.
“මෙහෙම දෙයක් නම් හිතුවෙම නැහැ…ඒ ගැන හිතත්දීත් පුදුමයි…” තෙෂාරා යළිත් කීවාය.
“අම්මේ…ඉතින්….අද දවසේ අපි පුදුම වෙච්ච දේවල් මදෑ…”
අසුනේ පිටු පසට බර දෙමින් නදීරා කීවේ දිගු සුසුමක් හෙළමිනි. සියල්ල මුළ පටන් සිහි කරන්නට මට වුවමනා විය. මේ සියල්ල පුදුමාකාරය. අවීශ් ජීවත් වීම කෙතරම් සතුටක්ද…? ඒ නිසා දැන් සැනසිය හැකිය. මහා හඬින් සිනහසී එම සතුට විඳීමට හැකි වූවා නම් කියා සිතුණද, ඔහු විවාහ වී ඇති බව දැන එයට අලුත් සිත් වේදනාවක් එක් කර තිබිණි.
“අනුරාග් ගෙන් කෝල් එකක් ආවා කියලා ඔයාට ෆෝන් එක දෙත්දී දැක්කද අවීශ්ගේ මූණ බෙරි වුණ හැටි…?”
දහවල සිදු වූ සිදුවීමක් සිහි කරමින් නදීරා කීවේ උපහාසයෙන්ද කියා මට එක්වරම සිතා ගන්නට අපහාසු විය. අපි පැමිණි ගමන ගැන නැන්දා ඔහුට දන්වා තිබිණි.
“මාත් දැක්කා…මිනිහාගේ මූණ නිකන් කජු ලෙල්ල වගේ වුණා…අනුරාග්ගේ ප්‍රොපෝසල් එක ගැන කියත්දී…”
තේෂාන් කීය. ඔවුන් අවිශ් සමඟ එවන් කතා බහක් කළ බවක් මා දැන සිටියේ නැත.
“මැරි කළාට තාම ජෙල වගේ ඇති…” ටිරෝන් කීවේ උපහාසයෙනි.
“වයිෆ් නම් හරි අහිංසක පාටයි…” භාෂිත පිටු පසට හැරී කීවේ නදීරා අවුස්සන්නට මෙනි.
“ආහ්…ඇත්තද…දැන් ඒකත් බැලුවද…?” ඈ නොසතුටෙන් කෑ ගැසුවාය.
“අමුතුවෙන් බලන්න දෙයක් නැහැ…පෙනුණේ නැත්ද…පින් පාට උතුරනවා…”
“අපරාදේ…උතුරනවා නම් සාක්කු දෙකේ හරි පුරවන් එන්න තිබ්බේ…”
“ඇත්තටම…දැන්නේ ඒක මතක් වුණේ…ඇයි කළින් නොකීවේ…?”
“ඉන්නවකෝ…මං ගිහින් අල්ලා ගන්නම්…”
නදීරා නොසතුටෙන් කෑ ගසන විට සැවොම අතර පැතිර ගියේ උස් සිනහවකි. එය මේ මොහොතේ වූ අඳුරු, ශෝකී වාතාවරණය යම් තරමකට හෝ මකා දැමීමට සමත් වූවා කියා මට සිතිණි.
“ඒක නෙවේ…ආරණ්‍යා…අනුරාග් ගැන මොකද කියන්නේ…? පොර නම් පට්ටම හොඳ එකෙක්…දැන් ඉතින් ඒ ගැන හිතන්න බැරි කමක් නැහැනේ…”
භාෂිත ඒ අතරතුරේ ඒ ගැන ඇසීය.
“අනේ…ඔව්…ඒ ගැන හිතන්න…එයත් බලන් ඇතිනේ…” තෙෂාරාද එය අනුමත කළාය.
“මේ…මේ…සේරම කට වහන් ඉන්නවද…තාම හුස්මක් ගන්න ලැබුණේ නැහැ…ඒ… පාර අනුරාග් ඇදලා ගත්තා…”
නදීරා වහා මැදිහත් වෙමින් කියන විට මම ඇයට සිතින් පිං දුනිමි.
“හොඳම වැඩේ කියන්නේ අනුරාග් ගැන අවීශ් මගෙන් ඇහුවානේ…ඔයා අර කෝල් එක ගන්න යත්දී…මං කිව්වා ඔයාට ආව ප්‍රොපෝසල් එක ගැන…ඒ කෙල්ලත් කවුරු හරි ගැන හිතන්න එපැයි කියලා…”
“ඉතින් ඌ මොකද කිව්වේ…?” ටිරෝන් පසුපසට හැරී ඇසුවේ මා අසන්නට අදි මදි කළ පැනයම ය.
“මොකුත් නැහැ…මෝඩයෙක් වගේ බලන් හිටියා…ඇත්තටම අවීශ්ගේ කකුළ ඩැමේජ් වෙලා නොතිබුණා නම් ඒ කකුළ කඩන්නේ මම…”
නදීරා එසේ කියන විට නම් මා මුවෙන් සිනහව පිට පැන්නේය.
“මෙයා චණ්ඩියා වෙලා…භාෂියා…ඔන්න පරිස්සමෙන්…කෝකටත් කියලා මං උඹේ වෙඩින් ගිෆ්ට් එකට වීල් චෙයාර් එකක් දෙන්නම්…”
මාධවගේ කතාව අප අතර සිනහවක් නංවන්නට සමත් විය.
“ඒ කිරීමට යන මහත් පින් බලයෙන්…ඔබට ගුණ යහපත්, අවිහිංසක, සුවච, කීකරු භාර්‍යාවක් ලැබේවා යි කියා මම පතනවා…”
භාෂිත දොහොත් මුදුන් දී මාධවට වඳින විට අපි උස් හඬින් සිනහසුණෙමු. සැම දෙනගේ සිත් තුළ වූ දොම්නස් සහගත හැඟීම් පහව සිත් තුළ යම් සැනසුම් මුසු හැඟීම් ඇති වූවා කියා මට සිතේ.
“අවීශ් පුතා ජීවත් වෙලා ඉන්න බවක් කා එක්කවත් කතා බහ කරන්න යන්න එපා…තවම මේ ප්‍රශ්න විසඳිලා නැහැනේ…එහෙම නොවුණොත් ඒක එයාට තවත් තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා…”
මෙතෙක් නිහඬව සිටි ගුණතුංග මාමා කල් යල් බලා දුන් අවවාදය අපි එළෙසම පිළිගතිමු.