NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 65

Hima Mal Renu හිම මල් රේණු – 65

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

බට්ටිච්චි රාවයක් ඉඳ හිට පරිසරයෙන් ඇසී ආ අතර ඒ හැරුණු කොට පරිසරය පුරාම වූයේ නිහැඬියාවකි. පුතුට අවීශ් ගේ තුරුළේම නින්ද ගොසිනි. නිරංගා ඇන්ටි ඔහු ඔසොවාගෙන කාමරයට ගෙන ගියාය.

“ඔයාලා සේරම එකතු වෙලා ගහපු ප්ලෑන නම් මරු…ඔයාලා කොච්චර හොඳට ඒක කළාද කියනවා නම් පත්තරේ මරණ දැන්වීමකුත් දැම්මා…”

නදීරා කීවේ ඇනුම්පදයක් ලෙසිනි. ප්‍රසාද් සහ අවීශ් නිහඬය. ඔවුන් කතා කරන තුරු මම බලා සිටියෙමි. නිරංගා ඇන්ටි ආපසු විත් පෙර අසුනේම හිඳ ගත්තාය. නදීරා එක දිගටම දොස් පවරන විට මම පුදුම වූයේ ඈ මීට පෙර කිසිවෙකුට මෙසේ කතා කර තිබූ බවක් හෝ සිහි නොවූ නිසාය. මම ඒ අතර අවීශ් දෙස හොරෙන් හොරෙන් බැලුම් හෙළුවේ ඔහු දෙස එක එල්ලේ බලනු නොහැකිවාක් මෙනි. මට ඔහු දැනුණේ ආගන්තුකයෙකු ලෙස නොවේ නම් මා පාසල් ගිය පළමු වරට ඔහු දුටු විට ඇතිව තිබූ හැඟීමට සමාන හැඟීමකින් මෙනි. අනතුර නිසා ඔහුගේ සිරුර තරමකට වැහැරී ගිය බවක් දිස් වුවද කඩවසම් බවට නම් කිසිදු හානියක් වී නොමැත. දෙවියනේ…! ඔහු ජීවතුන් අතර බව සිතන විට මට දැනෙන සැනසුම අපමණය. වරෙක ඔහු මදෙස බලන විට මම වහා දෑස් බිමට යොමා ගතිමි.

“අපි කවදාවත් හිතුවේ නැහැ…අපිට මෙහෙම දෙයක් කරයි කියලා…ආන්ටිලාට මෙහෙම කරන්න හොඳ හේතු තියෙන්න ඇති…හැබැයි ආන්ටි යාළුවෝ විදියට අපි හිටියේ මළ නොමළ ගානට…”

නදීරාගේ හඬට අද ආවේගයක් එකතු වී ඇත. නිරංගා ඇන්ටි දිගු සුසුමක් හෙළුවාය.

“ඒ හැමදේම අපිත් පිළිගන්නවා දුව…ඔයාලා දන්නේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ පුතාව පිටරට අරන් ගියා කියලා විතරනේ…ඒත් ඒ හැමදේම ඇතුළේ තව කතා හොඩාක් තියනවා…අපිට එහෙම නොකර බැරි වුණා…”

“ඒත් ආන්ටි…ඔයාලා කොහොමද මේ තරම් බොරුවක් කළේ…?”

“තේෂා…මචං…අපි ටිකක් කන් දෙමු…අපිට කියනවද මේ හැමදේම මුළ ඉඳන් අගට…”

එවර ටිරෝන් තේෂාන්ට බාධා කරමින් කියන විට නිරංගා ඇන්ටි ප්‍රසාද් දෙස බැලීය. හරියට ඒ කතාව මුළ පටන් ඔහුට පවසන්නට කියන්නාක් මෙනි.

“එදා මම නංගිව එක්කන් එයාර්පෝර්ට් ගියානේ…මං පස්සෙ දන්නේ…මගේ ෆෝන් එක වාහනේ කියලා…කළබලේට ඒක වාහනේ දාලා ඇවිත්…”

ඒ බව අපිද දැන සිටියෙමු.

“වැඩ ටික ඉවර කරන් මං එනකොට තමා මං ඇක්සිඩන්ට් එක දැක්කේ…ඒ අපේ වාහනේ…ඒ වෙනකොටත් ඒක එතන…ඊට පස්සෙ වුණ දේවල් කතා කරලා වැඩක් නැහැ…මං ගෙදරට එනකොට එතනත් කළබලයක්…හොස්පිට්ල් එකට ගියාම සර් මාව එළව ගත්තා…මාව රස්සාවෙන් අස් කරනවා කිව්වා…ඕන දෙයක් වෙච්චදෙන් කියලා මං හිටියා…ගෙදර සිද්ද වුණු දේ නිසා තමා හොස්පිට්ල් එකටත් ගාර්ඩ් එකක් දැම්මේ…කාටවත් එන්න දුන්නේත් නැහැ…මටත් අල්ලන් ගැහුවා…සර්ව දාලා ගිය එකට…”

“මේ හැමදේම මං නිසා…” බිඳුණු හඬින් මම කීවෙමි.

“දැන් ඕවා ගැන හිතලා වැඩක් නැහැ දුව…” නිරංගා ඇන්ටි කීවාය.

“අපිට හිතන්න තිබුණේ පුතා ගැන…මේ හැමදේකම සුළ මුල හොයා ගන්න කල් අපිට ඕන වුණේ පුතාව ආරක්ෂා කරගන්න…ඒකයි අපි එයා මැරුණ විදියට මේ හැමදේම ප්ලෑන් කළේ…එයාව මරන්න ඕන වුණේ කාට වුණත්…එයා මැරුණා කියලා දැන ගන්න තමා ඒක නිව්ස් පේපර් එකකත් දාන්න ඕන වුණේ… එතකොට සැකයක් ඇති වෙන්නේ නැහැනේ..මොන අම්මා කෙනෙක්ද දරුවා ජීවත් වෙලා ඉන්නකොටම මරණ දැන්වීමක් දාන්නේ…ඔයාලාට තේරුණාද…?ඔයාලගෙන් වුණත් මේක හැංගුවේ ඒ නිසායි…”

ඒ බව දැන් අපට වැටහේ.

“මූට එහෙම ප්‍රශ්න තිබුණා කියලා අපි දැනන් හිටියේ නැහැ…ඒ හැමදේම එහෙම වුණත් ආන්ටිලා නිකමටවත් ආරණ්‍යා ගැන හොයලා බැලුවද…?”

තේෂාන් අසන විට මම නිරංගා ඇන්ටි දෙසට ඉක්මන් බැල්මක් හෙළීමි.

“අපි හොයලා නොබලා හිටියේ නැහැ… අපිට දුව ගැන විස්තර ලැබුණා…ඒ කොහොමද අහන්න එපා…එයාට ඇස් නොපෙනී…මතකයත් නැතිව හිටියා කියලා අපි දන්නවා…මෙහෙට ආව ගමනුත් මේ දෙන්නා කළේ ඔයාලා ගැන හොයපු එක තමා…නේද ප්‍රසාද්…?”

නිරංගා ඇන්ටි එසේ අසන විට ප්‍රසාද් එයට හිස සැළීය.

“ඒ කොහොමද…?” නදීරා පුදුමයෙන් ඇසුවාය.

“සුදු වෑන් එක…” ප්‍රසාද් මඳහසක් පාමින් කියන විට අපි උනුන් මුහුණින් මුහුණ බලා ගතිමු.

“මොනවා…!” මා මුවින් පිට විය.

“අම්මෝ…එදා නම් අපිව අතේ මාට්ටු වෙනවා…පාර පැනලා වාහනේ දිහාට එන්න යත්දී…”

ප්‍රසාද් කියන විට මා සිතට ලැජ්ජා මුසු හැඟීමක් ඇති විය.

“බය හිතුණේ නැත්ද ආරණ්‍යා මිස්..? ඔයාව කිඩ්නැප් කරන් යන්නත් තිබුණා…”

ප්‍රසාද් මා විමසන විට මට බැලුණේ අවීශ් දෙසය.

“මට බයක් නෙවේ තිබුණේ…කුතුහළයක්…කිඩ්නැප් කරන්න එන කෙනෙක් එහෙම ආවා නම් ඒක මේ වෙත්දීත් කරලා…එයාලා එන්නේ ඔත්තු බලන්න කියලා මට හිතුණා…ඒත් ඒ මොකටද කියලා තමා මට නොතේරුණේ…”

“හොඳ වෙලාවට…නම්බර් ප්ලේට් නොතිබුණේ…නැත්නම් අපි ලෝක අමාරුවක වැටෙනවා…ඒක හම්බුණ නිසා අපි ආයේ ආවේ නැහැ…”

ප්‍රසාද් පැවසුවේ මහා හපන් කමක් කළාක් මෙනි.

අවීශ්වත් මාවත් ආලින්දයේ තනිකර දමා ඔවුන් පිටතට ගියෝය. ඔහු අසළට ගොස් මම ඔහු සමීපයේ හිඳ ගෙන පහත් හඬින් ඔහු ඇමතීමි.

“අවීශ්…” ඔහු මා දෙස දෑස් දල්වා බලා සිටියේය.

“ඔයා ජීවත් වෙලා ඉන්නවා දකින්න ලැබෙන්න තරම් මං වාසනාවන්තයි…මට ඊට වඩා සතුටක් මේ ලෝකේ නැහැ…මං තාමත් බයයි අවීශ්…මං මේ දකින්නේ හීනයක්ද කියලා හිතෙනවා…හැමෝම ඔයා නැති වෙලා කියලා කියත්දීත් මං කොයි මොහොතකවත් එහෙම හිතන්න කැමති වුණේ නැහැ…”

මට හැඬිණි.

“අඬන්න එපා ආරණ්‍යා …දැන් ඒ හැමදේම ඉවරයි…”

ඔහු මා හිස මත අතක් තබමින් කියන විට මට දැනුණේ මහා උණුසුමකි.

“අ…වී…ශ්…”

මෙහි සිටින යුවතියගේ හඬින් මම හිස එසවූයේත්, ඔහු අත අහකට ගත්තේත් එකවරමය. ඈ ඔහුගේ බිරිඳ බව මට කෙමෙන් පසක් විණි.

“ඔයාගේ බෙහෙත් ටික…”

ඈ එසේ පවසමින් අප අතරට එන විට මම හුනස්නෙන් නැඟී සිටියෙමි. ඇගේ දෑස් තුල වූයේ නොසන්සුන් බැල්මක් කියා මට සිතිණි. මුල් වරට ඈ මා දුටු මොහොතේ බියටත් තිගැස්මටත් පත් වූ හේතුව දැන් මට පැහැදිලිය. මා පැමිණියේ ඔහුව ඇයගෙන් උදුරා ගන්නට යැයි ඈ සිතුවා වන්නට ඇත. දෙනෙත් වසා මෙතෙක් බැදී පැවති මිහිදුම් පටලය වියැකී යන්නට වන විට මම ඔවුන් අසළින් මෑත්ව මිදුලට පැමිණියෙමි. මිතුරන් පෙනෙන මානයක නැත. ඔවුන් කොහේ ගියා වන්නට ඇත්දැයි සොයමින් මම මිදුලේ කෙළවරක වූ කාමරංගා ගසක් යට තනා තිබූ ලී බංකුව මත හිඳ ගතිමි. පරිසරය නිහඬය. ඔවුන් කිසිවෙකුගේ හඬවල් ඇසෙන මානයේ හෝ ඔවුන් කිසිවෙකු පෙනෙන මානයේ නොවූහ. ජීවිතයේ අන් කවරදාකවත් දැනී නොතිබූ තනිකමක් පාළුවක් මා සිත වෙලා ගන්නට විය.

“අප්…ප…ත්…තී…”

ඇතුළතින් යළිත් වරක් ඇසුණු කුඩා පුතුගේ කටහඬින් මම අලුතින් තිගැස්සී ගියෙමි. එය මා හිස මත පතිත වූ අකුණු සරයක් මෙනි. මසිත මෙතරම් කඩා වැටීමට හේතුව එය විය. මා මෙතෙක් කලක් ජීවත් වූයේ ඔහු පිළිබඳව සිත තුළ ඇති කරගෙන සිටි බලාපොරොත්තු සහිතවද කියා මට තේරුම් බේරුම් කර ගත නොහැකිය. ඔහු මිය ගියා යැයි කියා ඇසූ මොහොතේ දැනුණ හැඟීමට වඩා ඔහු අහිමි බවක් දැනුණ මොහොත වඩා සංවේදී වූත්, සිත් රිදවූත් වේදනාවක් වූවා යැයි කියා මට හැඟේ. මේ සියළු සිදුවීම් හමුවේ මා හැසිරෙන්නේ බොළඳ මෝඩ එකියක සේ කියා හදිසි සිතුවිල්ලක් මා සිතේ ඇති විණි. මින් පෙර කිසි දිනක මම කිසිවක් ඉදිරියේ මෙලෙස හඬා, දොඩා වැළපී නොතිබුණෙමි. තව දුරටත් මම නොහඬමි. අවීශ් ජීවත් වෙයි. මා බලාපොරොත්තු වූයේ එයම නොවේද…? එයම මා සිතට සැනසීමක් නොවේද…? අපි හැමදාමත් මිතුරන්ය. එය කිසිදාක වෙනස් නොවනු ඇත. මා සිතට සැහැල්ලුවක් දැනුණ අතර දෑස්වල කඳුළුද මේ වන විට වියළී ගොසිනි. දිගු හුස්මක් ඇද ගත් මා ළය පුරවා ගත්තේ සැහැල්ලු මනසකිනි. කිසිවෙකුගේ දෙපයට පෑගෙන බොරළු කැට වලින් නැගුණ හඬින් මම ආපසු හැරී බැලීමි. සැරයටියට වාරු දෙමින් අවීශ් සෙමෙන්, සෙමෙන් මා දෙසට පියවර තබනු දැක මම නැඟිට ඔහු වෙතට දිව ගියේ ඔහුට සහාය වීමටය. දොරකඩ සිටගෙන සිටි යුවතිය පුතු ඔසවාගෙන වහා ගෙතුළට නොපෙනී ගියේ බිමට නැඹුරු කොට ගත් හිසිනි. ඇයට අයිති යමක් මා උදුරා ගැනීමට පැමිණියා කියා ඈ සිතුවා වන්නට ඇත. ඈ එවන් බියක් ඇති කර ගත යුතු නැත. අවීශ් අතින් අල්ලා ගෙන මම ඔහුව බංකුව වෙත කැඳවාගෙන පැමිණියද ඔහුට එහි හිඳ ගැනීම පහසු නොවන බව මට වැටහිණි.

“අනේ…ඔයාට ඔතන ඉඳගන්න අමාරුයි නේද…? ඉන්න මං ඉක්මනට පුටුවක් අරන් එන්නම්…”

ඔහු මා දෙස බලන්නට ඇත්තේ පුදුමයෙන් වන්නට ඇත. එතරම් සැහැල්ලු බවක් මගේ හඬේ විය. ඔහු කිසිත් කීමට පෙර මම ගෙතුළට දිව විත් ප්ලාස්ටික් පුටුවක් රැගෙන වහා පැමිණ ඔහුට එහි හිඳ ගැනීමට සැළසුයෙමි.

“අද උත්තර බඳින්න තෝල්කයෝ නැහැ…ඒ නිසා කියන දෙයක් මට කියන්න වෙයි… නදීරාත් කොහේ ගියාද මන්දා…?”

ඔහු අසළම බංකුව මත හිඳ ගනිමින් මම කීවේ ඔහුගේ සැරයටිය ගෙන පසෙක තබමිනි. දකුණු කකුළ දිගු කරගෙන ඔහු සුව පහසුව හිඳ ගන්නා විට අනුකම්පාවක් මා සිතේ ඉපදිණි.

“තවම කකුළ නවන්න අමාරුද අවීශ්…? අනේ මේ හැමදේම මං නිසයි…”

මම යළිත් වරක් කීවේ ශෝකී හැඟීමකිනි.

“හ්ම්ම්…හිතේ හැඟීම් හංගන්න ඕනවට ඔය තරම් කතා කරන්න ඕන නැහැ… ආරාණ්‍යා…”

ඔහු කියන විට මා මුවට මඳහසක් නැඟිණි. පුදුමය..! ඔහුට මා සිතුවිළි තවම හොඳින් වැටහේ.

“ඔයා ඔහොම කතා කරනවා අහන්නත් ආසයි අවීශ්…මගේ හැඟීම් මට හංගන්නඕන වුණේ නැහැ…ඒත් දැන් නම් මගේ හිතට දැනෙන්නේ පුදුම තරම් සැහැල්ලුවක්…සැනසීමක්…ඔයාව මෙහෙම දකින්න ලැබුණු එකම මොන තරම් සැනසීමක්ද…?”

මම එක දිගටම කියවගෙන ගියෙමි.

“මම වරදක්ද කළේ ඔයාට මේ කිසි දෙයක් නොදන්වපු එක…?”

“නැහැ අවීශ්…සමහරවිට ඒක තමා වෙන්නැති…කරන්න තිබුණු හොඳම දේ…ඒත් ඒ හැමදේම වුණේ මං නිසා කියන හැඟීමෙන් මිදෙන්න මට මුළු ජීවිත කාලේම බැරිවෙයි…එදා මම ඔයාට කතා නොකළා නම් අවීශ්…”

“නැහැ…ආරාණ්‍යා…” මට බාධා කරමින් ඔහු කීය.

“එදා…ඔයා මට කතා නොකළා නම්…මං අර වෙඩි වැදිලා ඇත්තටම මැරිලා…මං මෙහෙම හරි හුස්ම ගන්නේ ඔයා නිසයි… ”

“අනේ අවීශ්…”

“ඔව්…ඒක තමා ඇත්ත…”

“ඒත් කවුද අවීශ් ඒ දේ කරලා තියෙන්නේ…?”

“ඒ හැමදේම අද හෙටම හොයා ගන්න පුළුවන් වෙයි…”

“ආටිගලගේ මිනිස්සුද…?”

එවිට ඔහු නිහඬවම මා දෙස බලා සිටි අතර ඒ කවුද කියා ඔහු දැනටමත් දැන සිටිනවා කියා මට සිතුණා වුවද මම ඒ පිළිබඳව වැඩි යමක් අසන්නට නොගියෙමි. ඔහුම එය අප හා පවසනු ඇත.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you