Hima Mal Renu හිම මල් රේණු
තාත්තාට බොරුවක් පැවසීමට සිදු වීම පිළිබඳව නම් මා සිතේ සියුම් කණගාටුවක් ඇති විය. සත්‍ය පැවසුවා නම් ඔහු මේ ගමන යෑමට කෙසේවත් ඉඩ නොදෙන බවත් මම ඉඳුරාම දැන සිටියෙමි. තාත්තාට සත්‍ය නොපැවසුවද මම නැන්දා හා අප යන තැන පැවසුවෙමි. ගුණතුංග මාමා අප හා එක්වන නිසා ඈ තහංචි දමන්නට ගියේ නැත.
“කමක් නැහැ…කට්ටියම යනවානේ… පරිස්සමෙන් ගිහින් එන්න…අපිත් දැන ගන්න ඕනනේ මේ දේවල් ගැන… ඒ ළමයට සිද්ද වුණු දේට අපිත් වග කියන්න ඕන… මං එහෙම කිව්වේ ඔයාට නෙවේ දුව…”
නැන්දා මා සිත රිදවා ගනී කියා සිතාදෝ එසේ කීවාය.
“නිරංගාන්ටි එහේ නොහිටියාත් අපිට එයා ඉන්න තැනක් ගැන හරි දැන ගන්න පුළුවන්නේ…” මම කීවෙමි.
“පරෙස්සමින් ගිහින් එන්නකෝ…”
අපි සියළු දෙනටම යෑමට පහසු වන සේ ගුණතුංග මාමා වෑන් රථයක් කුළියට ගත්තේය. රථයට නැඟුණු මොහොතේ පටන් මම සිටියේ බලවත් වූ සිත් කැළඹීමෙනුත් නොසන්සුන් වූත් සිතින් යුතුවය. උදෑසනම මිතුරන් අවදි කර මේ ගමන පිළිබඳව පවසන විට ඔවුන් සියළු දෙනම උද්‍යෝගයෙන් යුතුව එයට සූදානම් වූහ.
“ආන්ටි නොහිටියත් අපිට නම්බර් එකක් හරි ඉල්ල ගන්න බැරියැ…”
අපි යන ගමන තේරුමක් නැතැයි කියා කිසිවෙකු කීවේ නැත. ඔවුන් සැවොම සිටියේ උද්‍යෝගයෙනි. අවීශ් ගැන කුමක් හෝ දෙයක් දැනගන්නට ඔවුන් තුළ උනන්දුවක් ඇති බවට සැකයක් නැත. අවසන් දින කීපයේ හෝ ඔහු කතා බහ කළ දෙයක් වුවද දැන ගැනීමට මා මෙන්ම ඔවුන්ද ආසාවෙන් සිටින්නට ඇති බව මට සහතිකය. මා සිතුවේ මා නිරංගා ඇන්ටිට කෙසේ මුහුණ දෙන්නද කියාය. මේ සියල්ලටම වරදකාරී මමය. එදින මා අවීශ් කැඳවා නොගන්නට මේ කිසිත් සිදු නොවේ. හෘද සාක්ෂිය පවා මා බලවත් වරදකාරියක කර අවසන්ය. මට එයින් මිදෙන්නට නොහැකිය. එක් අතකින් මට ඉන් මිදීමටද වුවමනා නැත. මේ විඳවීම, මේ වරදකාරී හැඟීම මෙලෙස මට දැනිය යුතුය. එයින් ඔහු මා හද තුළ ජීවත් වෙන බව මට නිතර දැනෙන නිසාය. නිතර මට ඔහු සිහිවන නිසාය. මට කිසිම දිනක ඔහුගේ මතකයෙන් මිදෙන්නට වුවමනා නැත. එය මා මිය යන මොහොත දක්වා මා සමඟ රැඳෙනු ඇත. මට එසේ වනු දැකීමට වුවමනාය. නිරංගා ඇන්ටි මේ සියල්ල කෙලෙස දරා ගත්තාදැයි කියා සිතන විට මා හද අලුත් වූ වේදනාවකින් දැවෙයි. හැඬුම් ආ නිසා මම දෙතොල් සපාගෙන අතේ ගුළිව තිබූ ලේන්සුවෙන් දෙනෙත් පොඩි කළෙමි. නදීර මා කලවය මත අත තැබුවේ මා හඬනු දුටු නිසා වන්නට ඇත.
“අනේ…ඇයි ආරණ්‍යා මේ…?”
ඈ මා වෙත නැඹුරුව ඇසුවේ අනුකම්පා මුසු හඬකිනි. තෙෂාරා මා මුහුණට එබුණාය. කිසිත් නැතැයි කිමට මම හිස සැළුවෙමි. මාධව මෙන්ම භාෂිතත් හැරී මා දෙස බලා සිටිනු මම දුටුවේ පසුවය. රියදුරු අසුන පසෙක අසුනේ සිටි ටිරෝන්ද හැරී බලා සිටියේ අනුකම්පා මුසු බැල්මකිනි. එකිනෙකා තේරුම් ගන්නා මිතුරු මිතුරියන් පිරිසක් ලැබීම වාසනාවකි. නොඑසේ නම් මේ යන ගමනත් ඔවුන් විනෝද චාරිකාවක් කර ගන්නවාට සැකයක් නැත. අවීශ් ඔවුන්ගේද මිතුරාය. ඔවුන්ද මෙතෙක් දුරක් නිහඬවම පැමිණියේ එකිනෙකාගේ සිත් තුළ වූ වේදනාව බලවත් වූ නිසා වන්නට ඇත. සැබෑවටම අප අතර එතරම් කතා බහක්ද නොවූ තරම්ය.
“හරිම ලස්සන පැත්තක්…”
නිහඬ බව බිඳිමින් තෙෂාරා පවසන විට මමද හිස ඔසවා කවුළුවෙන් පිටත බැලීමි. පරිසරයේ වූ සුන්දරත්වය මා දෑසට හසු වූයේ ඒ මොහොතේදීය. බලන බලන අත නිලට නිලේ දිලෙන කුඹුරු යායවල්ද රබර් වතු සහ කුඩා කුඩා කඳු බිම්ය. නිල්වන් කඳු හිස් මතින් සුදෝ සුදු වළාකුළු පාව යයි. ගොවියෙකු කුඹුරේ වල් නෙළමින් හෝ පොහොර ඉසිමින් සිටින දසුනක් ඉඳහිට දක්නට ලැබිණි. ගුරු පාරේ ඉඳහිට ඇදෙන පා පැදියක් හෝ යතුරු පැදියක් හැරුණු කොට වෙනත් රථයක් දක්නට නොවූ තරම්ය.
“ඇඩ්‍රස් එකේ හැටියට නම්…අපි දැන් කිට්ටුවටම ඇවිත්…”
ගුණතුංග මාමාගේ හඬ ඇසී මා හද ගැස්ම වේගවත් විය.
“මාමේ අතන කඩයක් තියනවා…අපි අහලා බලමු…”
ටිරෝන් එසේ කීවේ රුක් සෙවණක වූ කඩයක් පෙන්වමිනි. එය දුර තියා අපටද පෙනිණි. ගුණතුංග මාමා ඒ අසළම රිය නවතන විට ටිරෝන් සහ මාධව ඉන් බැස ගෙන කඩය තුළට ගොඩ වනු අපි දුටිමු. සුළු මොහොතකින් දෙදෙනම යළි විත් රථයට නැගුණහ.
“තව ටිකක් ඉස්සරහාට ගියාම පාලමක් හම්බෙනවලු…ඒක පහුකරලා වමට තියන පාරේ…ඒ පාරේ තියෙන්නේ ඒ ගේ විතරමලු…”
මම අවීශ් සිතුවම ඇඳ තිබූ සී. ආර් පොත දිග හැරියෙමි.
“මට මහා අමුතු ෆීලින් එකක් එන්නෙ බං…කියන්න තේරෙන්නේ නැහැ…”
තේෂාන් අප වෙත හැරී කියන විට මා සිත හිරිවැටී ගියේ එවන් වූ හැඟීමක් මටද දැනුණ නිසාය.
“අපිටත් එහෙම තමා මචං…අපිට ඌව අන්තිමට බලන්න බැරි වුණාට…අපි මේ යන්නේ ඌ ඉන්නවා කියලා හිතාගෙන ඌව බලන්න වගේ…කියලා හිතෙනවා…නැත්නම් මේ අපි යන්නේ උගේ මළගමට…කියලත් හිතෙනවා…”
භාෂිත කියන විට මා හද සියුම් ඉඳිකටු තුඩුවලින් අනින්නාක් මෙන් වේදනාවක් ඇති වූ අතර ඉකිබිඳුමක් මා මුවින් පිට විය. නදීරාගේ උකුළ මත හිස තබාන මම හැඬුවේ සිත තුළ වූ වේදනාව තවත් සිරකර ගත නොහැකිවය.
“දැන්ම අඬන්න එපා බං…එතන ගිහිල්ලාත් අඬන්න ඔය කඳුළු ඉතුරු කර ගනින්…කොහොමත් ආන්ටිලා හිටියා නැතා…අපි අවීශ්ගේ යාළුවෝ කියලා දැන ගත්ත ගමන් ඒ ගෙදර මිනිස්සුත් අඬන්න ගන්නවා…ෂුවර්…”
ටිරෝන් පවසනු මා සවනට ගළා ආවේය.
“අනේ මන්දා…බං…මට ඌ නැහැ කියලා හිතන්න බැහැ…” ඒ මාධවය.
“අපිට එහෙම නොහිතෙන්නේ…ඌ අපේ හිත් වල ජීවත් වෙන නිසා බං…” භාෂිත කියන්නේ සැබෑවකි.
“අන්න පාලම…”
ටිරෝන් කෑ ගසන විටම මම වහා හිස එසවූයෙමි. පාර දෙපස උස්ව නැඟුණු කුඹුක් ගස් පේළියකින් වට වී තිබූ අතර ගළා යන දොළ පහරක් මතින් එම පාලම වැටී තිබිණි.
“මාමේ…මාමේ…පාලම ළඟ නවත්තන්න…”
මම කළබලයෙන් කීවේ අවීශ් ඇඳි සිතුවමට අදාළ එම පැරණි පන්නයේ වළව් පැළැන්තියට සෑදූ නිවස ගස් අතරින් පෙනුණ නිසාය. ගුණතුංග මාමා කුඹුක් සෙවණක රථය නවතන විට අපි ඉන් බැස ගතිමු. අවට වූයේ සිසිල් බවකි. මේ මොහොතේ උදෑසන එකොළහ පසුව තිබිණි. මම සී. ආර් පොතේ ඇඳි සිතුවමට අවධානය යොමු කරන විට තෙෂාරාත් එයට එබුණාය.
“අර තියෙන්නේ ගේ…අවීශ් මේක අඳින්න ඇත්තේ…මෙතන්ට පේන විදියට හිතේ මවාගෙන…”
මම කීවෙමි. සජීවී දර්ශනයත් සිතුවමත් අතර වෙනසකට වූයේ නිවස වසාගෙන උසට නැඟුණු තුරු ලතාය.
“ඔව්මයි…”
තේෂාන් මා අතින් පොත රැගෙන තම දෑස් මානයෙන් අල්ලන් කීවේය.
අපි දැන් ඔහුගේ නිවස ඉදිරිපිටය. වෙල් යාය සිප හමා ආ සුළඟේ වූයේ සිසිලසකි. දොළ පහර සෙමින් ගළ යන හඬ අපට ඇසිණි. වෙන දිනක පැමිණියා නම් අපට මේ දොළ පහරට බැස විනෝද වීමට තිබිණි. නමුත් මේ අප විනෝද වීමට පැමිණි ගමනක් නොවේ.
“මේ අහන්න ආරාණ්‍යා…” ටිරෝන් කියන විට අපි ඔහු දෙස බැලීමු.
“මොකක්ද ටිරෝන්…?”
මම ඇසුවේ කුහුළිනි. ඔහු කුමක් හෝ කීමට සැරසෙන සෙයකි.
“අපි ඔක්කොම එක රොත්තට එහෙ යන එක හරි නැහැ…මුළින් ඔයාලා තුන්දෙනා මාමා එක්ක යන්න…අපි එතකල් මෙහෙට වෙලා ඉන්නම්…ඔතන එයාලා අඬන්න ගත්තොත් එහෙම ඒක තවත් අවුලක්… මොකද කියන්නේ මචංලා…?”
ටිරෝන්ගේ යෝජනාව හොඳ බව අපටද වැටහිණි.
“එහෙම හොඳයි තමා…ආන්ටිලා ඉන්නවා නම් අපි හිමින් එන්නම්…නැත්නම් ඉතින් නොම්බරයක් හරි ඉල්ලන් එන්න…අපි එන්න ඕන නම් කෝල් එකක් ගහන්න…ටිරෝන් කියන්නා වගේ කට්ටිය අඬන්න ගත්තොත් ඒක පට්ට අවුලක් වෙනවා…”
තේෂාන්ද එසේ කීවේය. අපි වෙළ දිගේ සෙමෙන් පියවර තබන විට වෑන් රථය පාරේ ඉහළට ඇදී යන අයුරු අපි දුටිමු.
“එයාලා කොහෙද අනේ යන්නේ…?” තෙෂාරා මවිතයෙන් ඇසුවාය.
“අනේමංදා…” නදීරා පැවසුවාය.
****** ***** ***** ****** ****** ****** *********** ****** *********** *****
පරිසරය පුරා වූයේ නිහැඬියාවකි. හතර වටින් තුරු ලතා වලින් සෙවන වූ නිසාදෝ මෙහි අව් රශ්මියක් නොවූ තරම්ය. නිවසේ ගේට්ටුව තිබුණේ සම්පූර්ණයෙන්ම විවර කර දමාය. නිවැසියන් එහි සිටින බවට එය සළකුණකි. නගරයේ මෙන් මෙහි සොර සතුරන් ඇතැයි බිය වීමට දෙයක්ද නැත. ගුණතුංග මාමා පසුපස අපි සෙමෙන් පියවර තැබීමු. යුවතියක් අපට පිටුපා ගෙමිදුල අමදිමින් සිටි අතර අප පයට පෑඟෙන බොරළු කැට වලින් නැඟුණු හඬ නිසාදෝ ඈ වහා හැරී බැලුවාය. ඇගේ මුහුණේ පුදුමයකුත් බියකුත් එකසේ ඇති වූ බව මා දෑසට හසු විය. ඇගේ අතින් ඉදල ඇතෑරිණි. ඈ අප දෙසට ඉක්මන් ගමනින් විත් නැවතී මා දෙසම මොහොතක් බලා සිටියේ පහව නොගිය බියකින් මෙනි.
“කා…කාව හම්බෙන්නද…?” ඈ ගොත ගසමින් විමසුවාය.
“මේ ලියනවඩුගේ මහත්තයාලාගේ ගෙදරද…?”
ගුණතුංග මාමා විමසුවේ ඈ බියෙන් සිටින බව දැනය. ඇයට බිය වීමට හේතු කාරණා ඇත.
“ඔව්…ඔව්…ඒත් ඔයාලා…?”
“අපි අවීශ්ගේ යාළුවෝ…”
නදීරා කියන විට ඈ මුව හයා මොහොතක් බලා සිටියාය.
“තාත්තා ඉන්නවද ගෙදර දුව…?”
ඈ තවමත් පහව නොගිය පුදුමයෙන් බලා සිටින විට ගුණතුංග මාමා ඇසුවේය.
“අ….අම්…මා…”
ඈ බියෙන් කළ කෑ ගැසීම නිසාදෝ ගෙතුළේ සිටි කාන්තාවක් පිටතට දිව ආවාය.
“ඇ…යි දුව…මොකද…?”
ඈ අප දෙසත් තම දියණිය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය.
“මේ…මිසිස් ලියනවඩුගේද…?”
ගුණතුංග මාමා යළිත් විමසන විට තරුණිය මවගේ අතේ එල්ලුණේ තවත් බියෙන් මෙනි.
“ඔව්…මම තමා…ඔයාලා කවුද…මොකක්ද වුවමනාව…?”
ඈ ඇසුවේ තරමක නොසන්සුන් තාවයට පත්වය. ඔවුන් බියට පත්ව ඇති බවට සැකයක් නැත.
“නැන්දා…බය වෙන්න එපා…අපි අවීශ්ගේ යාළුවෝ…අපි ආවේ නිරංගාන්ටි ගැන තොරතුරක් දැන ගන්න…”
දෙදෙනාම එවිට පිළිතුරක් නොදී එකිනෙකා දෙස සැකමුසු බැලුම් හුවමාරු කරගත්හ. අපි මෙහි පැමිණ කළේ වරදක්ද කියාත් ඒ අතරේ මට සිතිණි.
“බය වෙන්න එපා නැන්දා…නිරංගාන්ටියි, අපේ අම්මායි හොඳ යාළුවෝ…අවීශ් ඇක්සිඩන්ට් වුණේ මා එක්ක යත්දී…”
දෑසට අලුතින් ඉනූ කඳුළු වැල් වළකා ගැනීමට වේගයෙන් ඇසි පිය සළමින් මම කීවෙමි.
“බය නොවී බැහැ ළමයෝ…වෙච්ච දේවල් වල හැටියට…යමුකෝ අපි ඇතුළට ගිහින් කතා කරමු…”
ඈ එවර අපට ආරාධනා කළේ කල්පනාකාරී බවක් පළකරමිනි. තේෂාන්ලා අප සමඟ නොපැමිණීම හොඳ යැයි කියා මට මේ මොහොතේ සිතිණි. එසේ පැමිණියා නම් ඔවුන් මීට වඩා බිය වීමට ඉඩ තිබිණි. අපි ඈ පසුපස නිවසට ගොඩ වුණෙමු.
“ඉඳගන්න…” ඈ කළ ඇරයුමෙන් අපි එහි අසුන් ගතිමු.
“කොළඹින් උදෙන්ම පිටත් වුණාද…?” ඈ එවර සුහදව ඇසුවේ ගුණතුංග මාමාගෙනි.
“ඔව්…ටිකක් උදෙන්ම ආවා…”
“මෙහෙ ඇඩ්‍රස් එක හොයා ගත්තේ කොහොමද…කවුරුත් ඒක දන්නේ නැහැනේ…?”
එවර ඈ යළිත් පැනයක් නැඟුවේ මවිතයෙනි. තරුණියගේ දෑස් තිබුණේ මා වෙතම දැල්වීගෙන බැව් දැක මට දැනුණේ අපහසුතාවයකි. අවීශ්ට මෙවන් දෙයක් වූයේ මගේ වරදින් යැයි යන චෝදනාත්මක බැල්මක් එහි විනැයි කියා මට නොසිතා බැරි විය. මම සී. ආර් පොතේ ඇඳි සිතුවම පෙරළා ඇයට පෑවෙමි. තරුණියද එයට එබිකම් පෑවාය.
“අවීශ් ඕක ඇන්දේ ඉස්කෝලේ යන දවස් වල…”
ඔවුන් දෙදෙනම එදෙස බලා සිටින විට මම කිවෙමි. පසුව නැන්දා එය මවෙත දිගු කළේ සුසුමක් හෙළමිනි.
“අපි ආවේ ඔයාලට කරදරයක් අවහිරයක් කරන්න නෙවේ…නිරංගා නංගී ගැන තොරතුරක් දැන ගන්න…අපිට තේරෙනවා මිසිස් ලියනවඩුගේ…ඔයාලා තවම ඉන්නවා ඇත්තේ ගින්දරකින්…මේ මගේ ඥාතී දුව…ඒ දෙන්නාව තමා එදා ආටිගලගේ පුතා හැප්පුවේ…අවීශ් පුතාට වුණ දේ ගැන අපිටත් දුකයි…දුවත් ඇස් පෙනෙන්නේ නැතුව…මතකේ නැතුව ඉඳලා යාන්තම් සනීප වුණේ මෑතකදී…අවීශ් නැති වුණ එක වුණත් එයා දන්නේ ඊටත් හුඟාක් පහු වෙලා…එදා ඉඳන් මෙයා ඉන්නේ ගින්දරෙන්…එයා විතරක් නෙවේ…යාළුවෝ හැමෝම…මේ ළමයි හැමෝම අඬනවා… ඊයේ අවීශ්ගෙ උපන්දිනේ…යාළුවෝ සේරම එකතු වෙලා ඊයේ කේක් කැපුවා…”
අපි තිදෙනම යළිත් කඳුළු සැළීමු.
“අපි මෙහෙ ආව බවක් කවුරුත් දන්නේ නැහැ…අපි කාටවත් මේ ගැන කියන්නේත් නැහැ…අපිට කරුණාකරලා පුළුවන් නම් නිරංගා නංගීගේ ෆෝන් නම්බර් එකක් දෙන්න…අපි යන්නම්…”
ඔවුන් දෙදෙන යළිත් වරක් මුහුණින් මුහුණ බලා ගත් අතර එය මා සිත නොසන්සුන් කරවන්නක් විය. ඔවුන් අපට එය නොදේවිදැයි සැකයක් මා සිතේ ඇති විය. එසේ නොදුනහොත් කුමක් කරන්නද….?