More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 53

    Hima Mal Renu හිම මල් රේණු – 53

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    නැන්දා දිගු කළ පුවත් පත මම අතට ගත්තේ මැඩගත් කුහුළිනි. එය මීට වසරකට පෙර පළ වූ කතෝලික පුවත් පතකි. නැන්දා පෙරළා තිබූ මරණ දැන්වීම් පිටුව නෙත ගැටෙන මොහොතේ මා ගත වෙව්ළන්නට විය. නදීරාත් එයට එබුණාය.

    “හදිසි අනතුරකින් අප අතරින් වියෝ වූ අවීශ් ශමින්ත දැරණියගල දෙව් මවුන් තුරුළේ සැතපේවා! ”

    ඔහුගේ ජායාරූප රූපයක්ද සහිතව පළ කර තිබූ දැන්වීම මට පෙනුණේ බොඳවය. දෙවියනේ…! මට එය තවමත් අදහන්නට නොහැකිය. අනේ…අවීශ්…දෑස් වල කඳුළු අලුත් වෙවී කම්මුල් තෙමා ගළා ගියේ සිත් පිත් නැති ලෙසිනි. පපුව සිරවී මා මිය ගියා නම් කියා මට යළි යළිත් සිතිණි.

    “මං ඕක අහම්බෙන් දැක්කේ…ගුණතුංග මාමා කෑම ඔතන්න කියලා ගෙනාපු පත්තර ටික මං අරන් තියන් හිටියේ හිමින් හිමින් බලන්න…ඒ බලන අතරේ තමා ඕක දැක්කේ…”

    නැන්දා කියනු මා අසා සිටියේ හිස් හැඟීමෙනි. නැන්දා කාමරයෙන් පිටව ගියේ සුසුමක් හෙළමිනි. නදීරා මුවින් කිසිත් නොකියා මා අසළම රැඳී සිටියාය. මගේ ආත්මයම මා හැර දමා ගියාක් මෙන් මට දැනේ. අවීශ් සිහි වන මොහොතක්, මොහොතක් පාසා හද පිරී යන දැවෙන ශෝකය මේ ආකාරයේ යැයි පැවසිය නොහැකිය. එය එතරම් වේදනාවකි. නදීරා මා කෙරෙන් සමුගෙන ගිය පසුව මා සිත තව තවත් පාළුවකින් තනිකමකින් පිරී ගියේය. මම ශ්‍රීමාට ඇමතුමක් ගතිමි. ඈ එයට පිළිතුරු දෙන විටම මට මහා හඬින් හැඬිණ.

    “අවීශ් යන්න ගිහින් ශ්‍රීමා…අනේ…මට ඒක දරා ගන්න බැහැ…” මට මහා හඬින් කෑ ගැසිණි.

    “අනේ…ආරාණ්‍යා…” එහා පසින් ඇගේ හඬ මා සවන් වැකිණි.

    “කොහොමද එහෙම දෙයක් වුණේ ශ්‍රීමා…? එයා අපි හැමෝමවම දාලා ගිහින්…මං දැන ගත්දී හොඳටම පරක්කුයි ශ්‍රීමා…මට සිහියවත් තිබුණා නම්…? මට එයාගේ මූණවත් බලා ගන්න බැරි වුණානේ…”

    දුරකථනය පසෙක දමා මම කොට්ටයේ මූණ ඔබාන හැඬුවෙමි. කිසිවෙකු මා හිස පිරිමදින බව දැනී මම හිස එසවූයෙමි. ඒ චන්ද්‍රම්මාය.

    “ඔහොම අඬන්න එපා මයේ මැණිකේ…අපිටත් දුකයි නේන්නම්…මතක් වෙත්දීත් පපුව පිච්චෙනවා…ඒත්…ඇඬුවා කියලා අවීශ් මහත්තයා ආයේ එන්නේ නැහැනේ…”

    ඈ මා සනසන්නට කීවා වන්නට ඇති මුත් කවුරුන් කුමක් කීවද තුවාළය ඇති කෙනාට මිස අන් අයෙකුට එහි වේදනාව දැනෙනු ඇතැයි කියා සිතිය හැකිද.?

    දින ගතවන බවක් මට නොදැනිණි. එසේත් නැත්නම් එය ගෙවී ගියේ ඒකාකාරී ලෙසින් වන්නට ඇත. මම කාලය ගෙවා දැමුවේ කාමරය තුළටම වීය. යහන මත හිඳගෙන කොට්ටයක් තුරුළට ගෙන මම බිත්තියේ එල්ලා ඇති අවීශ් ඇඳි සිතුවම දෙසම බලා සිටින්නට හුරුව සිටියෙමි. නිවාඩුවක් ලද සැමවිටකම මිතුරු මිතුරියන් නිවසට පැමිණ ගියද මට දැණුනේම මහා හුදකලා බවකි. නිවැසියන් සමඟ හෝ කතා බහ නොකර මම කාමරයටම වී කාලය ගත කළේ ඔහේ බලා ගත්වනම බලාන හෝ අවීශ් ගේ සිතුවම දෙස බලානය. කිසිවක් කිරීමට හෝ මට සිතක් නොවිණි. කාලය ගෙවී ගියේ නිකරුණේමය. තාත්තා සමඟ වුවද මම කතා බහ නොකළ තරම්ය. නැන්දා නිතර, නිතර මා අසළට පැමිණ මා කතාවට අල්ලා ගැනීමට කුමක් හෝ කතාවක් ඇදගෙන කළ කතා බහ මම අසා සිටියේ නිහඬවමය.

    “මට ජොබ් එකක් කරන්න ඕන තාත්තේ…”

    දිනක් මම තාත්තා සමඟ කීවේ රාත්‍රී කෑම මේසයේදීය. මම කෑවාට වඩා කළේ අතගෑමය. කෑමට ප්‍රියතාවයක්ද මට නොවූ තරම්ය. තාත්තා වහා මදෙස හැරී බැලුවේ පුදුමයෙන් මෙනි.

    “ඒකනේ මාත් කියන්නේ…දුවට ජොබ් එකක් හොයලා දෙන්නකෝ…මේ ළමයා ඉගෙන ගත්ත දේකින්වත් ප්‍රයෝජනයක් නැහැනේ…”

    නැන්දාද වහා කීවාය.

    “මං බලන්නම් අද හෙටම…”

    “ඉක්මනටම බලන්න එහෙනම්…”

    නැන්දා තාත්තා උනන්දු කරමින් කීවද මට ඒ ගැන එතරම් විශ්වාසයක් නොවූයේ තාත්තා මා රැකියාවක් කරනවාට අකමැති වූ නිසාවෙනි. ඔහුගේ වුවමනාව වී තිබුණේම මා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කරගැනීමට මුත් මා සිතේ ඊට කැමැත්තක් නොවීය. ඉන් ටික දිනකට පසු තාත්තා මා සමඟ මෙහෙරා ආයතනය පිළිබඳව පවසන විට මම පුදුම වූයේ ඔහු ඉක්මනින් මට රැකියාවක් සොයා බැලීමට උනන්දු වූ බව දැනය.

    “මේක ලංකාවේ අලුතින් දාපු ඉන්දියන් කම්පැණි එකක්…මෙහේ බ්‍රාන්ච් එකක් ඕපන් කරලා දැන් අවුරුද්දක් විතර ඇති…ඉන්දියාවේ තමා මදර් කම්පැණි එක… මෙහෙරා කම්පැණි එකේ ඕනර් තමා අනුරාග් මෙහෙරා…මම අනුරාග්ව මීට් වෙන්න එක්ක යන්නම්…ඔයා කතා බහ කරලා හොඳ නම් වැඩ කරන් යන්න…නැත්නම් අපි වෙන තැනක් බලමු…”

    තාත්තා මට කෙටි විස්තරයක් ද කරමින් එසේ කීවේය. මම උනන්දුවකින් නොවූවත් එයට එකඟ වූයේ නිවසට වී සිටීමත් දැන් මහත් හිසරදයක් වෙමින් තිබූ නිසාය. එදින සවස මම කාමරයට වී සිටින විට නැන්දා මා සොයා පැමිණියාය. ඇගේ අතේ අලුතින් ගන්නා ලද සාරියක්ද වූ නිසා මම සිතුවේ ඈ කොහේ හෝ උත්සවයකට යාමටවත් සූදානම් වනවා ඇතැයි කියාය.

    “ලස්සනද…?”

    ඈ පෙට්ටියේ පියන විවර කර සාරිය පිටතට ගනිමින් විමසුවාය. තද රෝස පැහැයකට හුරු රතු පැහැයෙන් යුත් එම සාරියේ රිදී පැහැති බෝඩරයක් විය. බැලූ බැල්මට නම් එය ඉතා අලංකාරය.

    “ලස්සනයි…ඔයා කොහෙ හරි යන්නද…?”

    මම නොසැළකිලිමත් ලෙස අසන විට නැන්දා මා අසළින් හිඳ ගත්තේ පුදුමයෙන් මා දෙස බලමිනි.

    “අනේ…අනේ…ඔයාත් අහන ඒවා…මං කොහේ යන්නද අප්පා…මේක තාත්තා ඔයාට ගෙනත් තියෙන්නේ…”

    මම පුදුමයෙන් නැන්දා දෙස බැලුවෙමි.

    “මට….ඒ ඇයි…මට සාරියක් ගෙනත් තියෙන්නේ…?”

    “ඇයි අහන්නේ…? ඔයාට ඉන්ටර්වීව් එකට යන්නනේ…”

    ඒ ඇසූ මම සාරිය දෙස වඩාත් වුවමනාවෙන් බැලීමි. මා මුවට නැඟුණු උපහාසය මුසු සිනහව නැන්දාද දකින්නට ඇත.

    “තාත්තා ඉන්ටර්වීව් කියලා මාව මඟුල් ගෙදරක එක්ක යන්න හදනවාද දන්නැහැ…”

    නොසතුට මුසුව මම කීවෙමි. නැන්දා ගේ මුවේ ඇඳුණු සිනහව සරදම් සහගත වූවකි.

    “මාත් මේ නොකියා හිටියේ දුව…මේක හොඳයි මඟුල් ගෙදරකට…”

    “ඔයා ඕක තියාගන්න…”

    “මං කොහේ අඳින්නද ළමයෝ…?”

    සුසුමක් හෙළමින් ඈ කියන විට මා සිතේ ඇති වූයේ කණගාටුවකි.

    “කොහාට හරි අඳින්න බැරියැ…”

    “හ්ම්ම්…ඉන්ටර්වීව් එකට අඳින්න සාරියක් ගමුද ගිහින්…? ඔයාලාගේ තාත්ත කවදාවත් ඇඳුමක් තෝරන්න දන්නෙ නැහැනේ…”

    ඇඳුමක් ගන්නට යාමට තරම් සිතක් මා හට නොවූ මුත් සම්මුඛ පරීකෂණයට යාමට සුදුසු ඇඳුමක්ද මා හට නොවීය. මම ඒ අදහසට එකඟ වූයේ ඒ නිසාය.
    සවස තාත්තා පැමිණි විට ඔහු මා විමසුවේ සාරිය හොඳද කියාය.

    “ඒ පාට සාරි අඳිනවද ඉන්ටර්වීව් එකකට…? අනික මට තද පාට අඳින්න බැහැ…”

    දෑසට ඉනූ කඳුළු සඟවාගෙන මම කාමරයට පැමිණියෙමි.

    පසුදින නැන්දා මා කැඳවාගෙන පැමිණියේ රැකියාවට යෑමට සුදුසු ඇඳුම් කීපයක් මිලට ගැනීමටය. ඇයට ඇඳුම් තේරීමට ඉඩ හැර මම නිහඬව සිටියෙමි.

    “මට ඇඳුම් ගන්න ආවා වගේනේ…”

    නැන්දා වරෙක කීවේ නොසතුටෙනි. සාරියක් තෝරන අවස්ථාවේදී නම් ලා කහ පැහැති සාරියක් දැක මම එය තෝරා ගත්තේ අවීශ් සිහි වීමෙනි. ඒ ඔහු ප්‍රියතම පැහැය විය. මා දැස් අලුත් වූ කඳුළින් බොඳව යන විට ඇසි පිය ගසමින් මම ඒවා වහ, වහා වළකා ගතිමි.

    “ඒක නම් ලස්සනයි තමා…ඇති යාන්තම් ඒකවත් තෝරා ගත්තා…අනික් ඒවා ගත්තේ මගේ වුවමනාවටනේ…”

    අපි යළි එන අතරේ නැන්දා නෝක්කාඩු කියන්නට වුවද මම ඒ නෑසුණා සේ රිය කවුළුවෙන් ඉවත බලා සිටියෙමි. මගේ සිතුවිළි නිතරම අවීශ්ගේ මතකය තුළ සැරි සැරුවේය. ඔහු මිය ගියා යැයි සිතීම අපහසු තරම්ය. මට එසේ සිතීමටවත් වුවමනා නොවීය. ඔහු මේ ලෝකයේ කොහේ හෝ තැනක ජීවත් වනවා යැයි විශ්වාස කරන්නට මට වුවමනාය.

    “ඔයා අවිශ්ට ආදරේ කළාද ආරණ්‍යා…?”

    එක් සැඳෑවරුවක මාත් නදීරාත් කතා බහ කරමින් සිටින විටෙක ඈ ඇසූ දෙයින් මම තිගැස්මට පත් වූයෙමි. මා සිත තුළ ඇති වූ කැළඹීම දෑස් වලිනුත් පෙනුණා වන්නට ඇතැයි කියා මට සිතුණේ නදීරා මා දෙස බලා සිටි බැල්ම නිසාය.

    “ඇයි එහෙම අහන්නේ නදීරා…? මං විතරක් නෙවේ…ඔයාලත් එයාට ආදරේ කළා නේද…?”

    “ඔව්…හොඳම හොඳ යාළුවෙක් විදියට…” දිගු සුසුමක් හෙළමින් ඈ කීවාය.

    “එතකොට මගේ ආදරේ ඊට වඩා වෙනස් කියලාද හිතන්නේ…? මගේ හිතට දුකක් වේදනාවක් දැනෙන්නේ එයාට මෙහෙම වුණේ මං නිසා කියන හැඟීම නිසා නෙවේ…එයා මට හුඟාක් ළං වුණ කෙනෙක් නිසා…ඔයාලා හැමෝම වගේ අවීශුත් මට හොඳම යාළුවෙක්…හැබැයි… ඊට වඩා දෙයක් නිසා මං අවීශ්ට කැමති වුණා…ඒක ආදරේම නෙවේ නදිරා…”

    ඈ මගේ අතක් තරයේ අල්ලා ගත්තාය.

    “මට තේරෙණවා කෙල්ලේ…මං ඒක නිකමට ඇහුවේ…ඔයා එයාට ආදරේ කළා වුණත්…ඒකේ ඇති වැරැද්දක් නැහැනේ…එයා ගැන හිතත්දී පුදුම තරම් දුකයි…”

    අලුතින් තෙත් වූ මගේ දෑස් වලින් කඳුළු පිට පනීවි යැයි බියෙන් මම වහා වහා ඇසි පිය සළමින් ඒ වළකා ගතිමි. නදීරාත් පැමිණ සිටි නිසා මම හදිසියේ උපන් සිතුවිල්ලට ඉඩ දී ගුණතුංග මාමාද සමඟ අවීශ්ගේ නිවස අසළට යෑමට තීරණය කළෙමි. නැන්දා සිටියේ සම්මුඛ පරීක්ෂණයට හැඳගෙන යාමට මගේ සාරිහැට්ටය මසමිනි. මම නදීරාවත් ඇදගෙන පැමිණියේ නැන්දාට හෝ යන තැනක් නොකියාය. නදීරා සිටියේ දැවෙන කුතුහළයෙනි.

    “කෙහේද දැන් මේ තකහනියේ දුවන්නේ…?”

    ගුණතුංග මාමා රථය පණ ගන්වා ගන්නා විට ඈ ඇසුවාය.

    “මාමේ අවීශ් ලාගේ ගේ ළඟට යමු…”

    මම කියන විට ඔවුන් දෙදෙනම පුදුමයෙන් මදෙස බැලූහ.

    “ගියාට වැඩක් නම් නැහැ දුව…ඒත්…ඔයා කියන නිසා මම එක්ක යන්නම්…”

    ගුණතුංග මාමා එසේ කියන විට මම ඒ ඇයිදැයි ඇසුවේ පුදුමයෙනි.

    “එහෙ කවුරුත් නැහැ…ගේ රෙන්ට් කරලා…මම ඔයාට දවසක් කිව්වේ…” නදීරාද කීවාය.

    “ඔව් දුව…කමක් නැහැ…අපි ගිහින් එමුකෝ…”

    ගුණතුංග මාමා එය දන්නේ කෙසේද කියා මම පුදුම වීමි. මම ඒ ගැන ඔහුගෙන් අසන විට ඔහු දුන් පිළිතුරෙන් මම තවත් පුදුම වූයෙමි.

    “මම මාවන් එක්ක මේ ළඟදි ආවා…කෝලිත මුණ ගැහෙන්න…එතකොට දැන ගත්තේ…”

    “තාත්තා එක්ක…ඒ ඇයි මාමේ…?”

    “මං දන්නෙ නැහැ…මාවන් මට කිව්වෙ නැහැ හේතුව…නොකියන එව්වා හාර හාර අහන සිරිතක් මට නැහැ…”

    ගුණතුංග මාමා ඒ එල්ල කළේ ඇනුම්පදයක්ද කියා සිතුණද ඒ ඔස්සේ මම වැඩිදුර නොසිතා සිතුවේ තාත්තා කුමට දැරණියගල හමුවීමට පැමිණියාද කියාය.
    අපි ඔවුන්ගේ නිවස ඉදිරියට වී විනාඩි කීපයක් එලෙස බලා හිඳින්නට ඇත.

    “ගෙදර වෙන කට්ටියක් ඉන්නේ…එයලා දන්නේ නැහැ මේ මිනිස්සු කොහේ ඉන්නවද කියලාවත්…මාසෙ රෙන්ට් එක අකවුන්ට් එකට දානවලු…ඒ ඇරෙන්න කාලෙකින් කෝලිත මුණ ගැහුණේ නැතිලු…”

    නිවසට ගොස් තොරතුරක් සොයා බලන්නට මා සිතේ උපන් අදහස මා වෙනස් කර ගත්තේ ගුණතුංග මාමා එසේ කී පසුවය.

    “හොටෙල් එකට අවිල්ලත් නැත්ද මාමේ…?”

    “නැහැ…”

    ඔහු දුන් පිළිතුරෙන් මා සිතේ ඇති වූයේ බලාපොරොත්තු සුන් භාවයකි. නිරංගා ඇන්ටි කොහි සිටිනවා ඇත්ද…? යළි එන අතරේ මා සිතුවේ එයය. නිවසට පැමිණෙන විට තාත්තාද පැමිණ සිටි අතර ඔහුත් නැන්දාත් ඉස්තෝප්පුවේ හිඳ ගෙන පෙර මඟ බලා සිටියෝය.

    “කොහෙද ගියේ දුව…?”

    නදීරාගේ අතින් අල්ලාගෙන මම ඉස්තෝප්පුවට ගොඩ වන විට තාත්තා මා විමසුවේය. නදීරා ගෙතුළට යන අතරේ මම එළෙසම නැවතුණෙමි.

    “අවීශ්ලාගේ ගෙවල් ළඟට ගියා…”

    එක එල්ලේ මා කියූ දෙයින් තාත්තා තිගැස්මට පත් වූ අතර නැන්දා මට රැව්වේ මා ඇයට හෝ යන තැනක් නොකියූ නිසා වන්නට ඇත. තාත්තා නොසතුටු දෑසින් මා දෙස බලන විට නැන්දා තරවටු බැල්මක් හෙළුවාය. දැන් මා දොස් අසන්නට සූදානමින් සිටිය යුතුය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page