More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 36

    Hima Mal Renu හිම මල් රේණු – 36

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    පන්තිය නිම වී අපි පිටතට පැමිණෙන විට මෙතෙක් වේලා ඇද හැලෙමින් තිබු වර්ෂාව සිහින් පොදයක් බවට පරිවර්තනය වී තිබිණි. අද කොළඹ, නුවරඑළියක සිරි ගෙන ඇත. එය සිතේ අමුතු හැඟීමක් ඇති කළේය. ප්‍රසාද් තවම පැමිණ සිටියේ නැති නිසා අපට මඳ වේලාවක් පිටත රැඳී සිටීමට සිදු විය. මාත් නදීරාත්, තෙෂාරාත් පසෙක කතා බස් කරමින් සිටි අතර අවීශ් මිතුරන්ද සමඟ නුදුරින් කතා බහක නිරතව සිටියෝ ය. නිවසට ඉක්මනින් යාමට වුවමනාවක්ද අද මට නොවීය. තෙෂාරා සමඟ නංගී පිළිබඳව කතා බහට අවස්ථාවක් මට තවම උදා වී නොතිබූ නිසා මේ එයට සුදුසුම අවස්ථාව බව මට වැටහිණි. එයට අවස්ථාවක් ඉබේම මතු වූයේ අවීශ් නදීරා අමතන විට ඈ ඔහු අසළට ගිය නිසාය. අවීශ් පැවසූ යමකට නදීරා අතින් මුව වසාගෙන සිනහසෙන හැටි මම් දුටිමි.

    “තෙෂා…”

    මම ඈ අමතන විට ඇයද ඔවුන් දෙස බලා හිඳ වහා මවෙත හැරුණාය. ඇගේ මුවේ වූයේ ශෝකී බවකි.

    “ඇයි මේ…මූණ අමුතු වෙලා…?”

    “දුක හිතුණා…”

    සුසුමක් වා තලයට මුදා හරිමින් ඈ කීවාය.

    “ඇයි…එකපාරම…?” පුදුමයෙන් මම ඇසීමි.

    “අනේමන්දා ආරණ්‍යා…පහු ගිය කාලේ මං හැසිරුණ විදිය ගැන හිතද්දී…මට මං ගැනම ලැජ්ජයි…මට ගොඩාක් දේවල් මඟ හැරිලා ආරණ්‍යා…අවීශ් මොන තරම් හොඳ යාළුවෙක්ද…? මං කාවවත්ම හරියට ආශ්‍රය කළේ නැහැ කියලා හිතද්දී…මට මං ගැනම කළකිරීමක් ඇති වෙනවා…”

    මම ඇගේ අතක් දැඩිව අල්ලා ගතිමි.

    “ගිය දේවල් ගැන දැන් හිතලා දුක් වෙලා වැඩක් නැහැ තෙෂා…දැන් ඔයා හැමෝම එක්ක යාළුයි නේ…”

    “හ්ම්ම්…” ඈ හූ මිටි තබමින් මඳහසක් පෑවාය.

    “ඔයා මොනවා හරි කියන්නද හැදුවේ ආරණ්‍යා…?”

    ඈ වුවමනාවෙන් මදෙස බලමින් ඇසුවාය.

    “ඔව්…තෙෂා…ගොඩාක් දවස් ඉඳන් මම ඔයාට මේ ගැන කියන්නමයි හිටියේ…”

    “මොකක්ද…?” මම දිගු හුස්මක් ඇද්දෙමි.

    “ඔයා තාම ටෙලාන් ගැන අදහසක් තියනවද තෙෂා…?”

    ඈ තිගැස්මෙන් මදෙස බැලුවාය.

    “නැහැ…මට දැන් ඌව පේන්න බැහැ…මට පුදුම කේන්තියක් එන්නේ ආරණ්‍යා ඌව මතක් කරන කොටත්…”

    ඇගේ මුහුණෙන් පවා කෝපය පිටාර ගලන්නාක් මෙනි.

    “ඔයා දන්නවද දැන් ටෙලාන් යාළුවෙලා ඉන්නේ කා එක්කද කියලා…?”

    “කවුද කියන්න නම් මං දන්නේ නැහැ…ඒත් මං ඒ දෙන්නව ඕන තරම් දැකලා තියනවා…එදා දෙන්නම මගෙන් ගුටි කෑවනේ හොඳට…මට දැන් ඕවා වැඩක් නැහැ ආරණ්‍යා…මං ඒ හැමදේම අමතක කරලා රිලෑක්ස් එකේ ඉන්නවා…”

    ඈ පැවසුවේ සැහැල්ලු ලෙසය.

    “ඒක නම් හොඳයි…ඒත් තෙෂා…එයා දැන් යාළුවෙලා ඉන්නේ මගේ නංගී එක්ක…”

    මගේ හඬේ ශෝකී බවකුත් කළකිරීමකුත් එක ලෙස රැඳී තිබෙන්නට ඇත. තෙෂාරා ගේ මුවේ වූ සැහැල්ලු බව පහව ඈ මා දෙස බැලුවේ අදහාගත නොහැකි යමක් සවන් වැකුණාක් මෙන් කම්පනයෙනි.

    “මොනවා…! ඔය ඇත්තමද ආරණ්‍යා…අර මගෙන් ගුටි කෑවේ එයා…එයා…ඔයාගේ නංගීද…?” ඈ කෑ ගැසුවාය.

    “ඔව්…එයා තමා…”

    “ඒත් ආරණ්‍යා…මේ හැමදේම කොහොමද වුණේ…? ඔයාගේ නංගී…ටෙලාන් එක්ක! ඒක වෙන්න බැහැ…”

    ඈ එය අදහාගන්නට නොහැකිවාක් මෙන් කීවාය. මම කෙටියෙන් ඇයට එම විස්තර පැවසුවෙමි. ඈ අසා සිටියේ මවිතයෙනි.

    “අනේ…ඔයා එයාට කියලත් එයා පිළිගත්තේ නැත්තෙ එයාත් මං වගේම මෝඩ නිසා වෙන්නැති…”

    “කියන්න ඕන හැම විදියටම එයාට කිව්වා…තෙෂා…එයා පිළිගන්න කැමතිම නැහැ…”

    “මං කතා කරන්නද…?” මම පුදුමයෙන් ඈ දෙස බැලීමි.

    “අවීශ් ෆොටෝත් එව්වා…ඒවා දැකලාවත් පිළිගන්න කැමති නැති වුණ කෙනා…ඔයා කිව්වා කියලා අහන එකක් නැහැ…”

    “කරුමයක් තියනවා නම් ගෙවන්නම වෙනවා…”

    “තාත්තා හදන්නේ එයාව පිටරටකට යවන්න…මට බය ඒ වෙනකොට මේවා තව දුර යයිද කියලා…”

    ඈ මා අත යළිත් වරක් තදින් අල්ලා ගත්තේ සිතේ වූ යමක් පිට කර ගන්නට නොහැකි බැල්මකින් මදෙස බලා කියා මට සිතිණ. පසුව ඈ කුලී රථයක නැඟී පිටව යන විට මමද නදීරලා වෙත පැමිණියේ ප්‍රසාද් පැමිණ රථය නැවතූ නිසාය. අවීශ් නදීරාට දොර හැර දී ඇයව අතින් අල්ලාගෙනම රථයට නංවන විට මා මුවට සිනහ නැඟිණි.

    “අද අවීශ් හරි රොමෑන්ටික් වෙලා…ඔයාට ජෙල වගේ නැහැනේ…මෙයා…?”

    “මට ඇති ජෙලක් නැහැ…වැඩේමයි…” මම බොරු අමනාපෙකින් කීවෙමි.

    අවීශ් ප්‍රසාද්ට යමක් රහසින් පවසනු මා දෑසට හසු වුවද මම ඒ පිළිබඳව තැකීම්ක් නොකළෙමි. ප්‍රසාද් පසුපස බලන කණ්නාඩියෙන් බලමින් මුව කොණින් සිනහාවක් පානු ද මම දුටිමි.

    “ප්‍රසාද් අයියාගේ හිනාව නම් මට ඇල්ලුවේ නැහැ…” අවීශ් දෙසත් බලමින් මම කීවෙමි.

    “ආරණ්‍යා මිස්ට දැන් ඉතින් එක හිනාවක් හොඳට හිතට අල්ලලානේ තියෙන්නේ…”

    ප්‍රසාද් කල් යල් බලා ඇනුම්පදයක් එල්ල කරන විට යටි තොල සපාගත් මා නිහඬ වූයේ සිත ඉහිරී ගිය ලැජ්ජා මුසු හැඟීමෙනි. නදීරා ඔලොක්කුවට මෙන් මට සිනහසුණාය.

    “කන පුරා ඇහුණේ එච්චරයි…ප්‍රසාද් අයියා…”

    “මම හිනා වුණේ වෙන දේකට නෙවේ… ආරණ්‍යා මිස්…අපේ නදීරා මිස්ට ඉණිමඟක් ඕන වෙයිද දන්නැහැ කියලා හිතලා…”

    “ඒ ඇයි…ප්‍රසාද් අයියා…?”

    එහි අරුත වටහාගන්නට නොහැකිව මම වහා ඇසීමි.

    “ඇයි ඉතින්…අපේ සර්…නදීරා මිස්ව අතින් අල්ලන් ඇවිත්නේ වාහනේට නැංගුවේ…ඒකට උඩ ගිහින් ඇති…දැන් බහින්න ගියාමනේ අමාරු…”

    එවිට මා මුවින් සිනහව පිට පැන්න අතර නදීරා මා කලවයට පහරක් ගැසුවාය.

    “ඕන නැහැ…මං හිමින් බැහැ ගන්නම්… ඕකට උඩ යන්නම වැඩේ…”

    මුහුණ සත පහ කරගෙන නදීරා කීවාය.

    “අපිව ෆලෝ කරනවා…”

    ප්‍රසාද් අවීශ් වෙත හැරී කියන විට මාත් නදීරාත් මුහුණින් මුහුණ බලාගෙන වහා පසුපස හැරී බැලුවද අපට ඒ පිළිබඳව කිසිත් සිතා ගන්නට නොහැකි විය.

    “ෂේප් එකේ යමන් ප්‍රසා…”

    අවීශ් පහත් හඬින් කියන විට මා සිතේ ඇති වූයේ සැකයකි.

    “ඇයි ප්‍රාසද් අයියා…මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

    මම අසන විට ප්‍රසාද් ඉක්මන් බැල්මක් අවීශ් වෙත හෙළීය.

    “තාත්තා හිටිය නදීරා ක්ලාස් එක ළඟ…මං ඔයාට අර කතා කළෙත් වැඩිපුරම ඒ නිසායි…අතින් අල්ලන් ඇවිත් වාහනේට නැංගුවෙත් පේන්නමයි…”

    අවීශ් ඒ පවසන්නේ අපේ තාත්තා පිළිබඳව බව අපි දෙදෙනාටම වැටහිණි. පුදුමයක් මෙන්ම ලැජ්ජාමුසු බවක්ද මා සිතට දැනිණි. තාත්තා මෙවන් දෙයක් කරාවි යැයි කියා මා කිසි විටෙක සිතුවේ නැත.

    “අපිව ෆලෝ කරන්නේ එතකොට අංකල්ද අවීශ්…?”

    නදීරා අසන විට පිළිතුරු ලෙස ලැබුණේ “ඔව්”යන්නය.

    “එතකොට එහෙනම් ඒ ඩ්‍රාමා එක ඒ නිසයි…ඒත් මං හිතුවේ අවීශ්ට කෙල්ලෙක්වත් ලයින් කරන නිසා එයාට පේන්නද කියලා…”

    නදීරා සැහැල්ලුවෙන් සිනහවී කීවාය.

    “විකාරද උඹට…?” අවීශ් ගිගුරුවේය.

    “අර කියපු ඉණිමඟ නම් දැන් ඕන වෙයි වගේ ප්‍රාසද් අයියා…”

    එය කෙතරම් අසීරු මොහොතක් වුවද නදීරා කියූ දෙයට අප අතර පැතිර ගියේ සිනහවකි.

    “ගෙදර ගිහින් ප්‍රශ්න ඇති කරගන්න එපා කියන්න නදීරා…මොකුත් දන්නේ නැති විදියට ඉන්න…”

    අවීශ් නදීරා රථයෙන් බසින්නට පෙර මට ඇසෙන සේ කීවේය.

    ***** ***** ***** ***** ***** ***** ***** ********** ***** ***** ***** *****
    නැන්දා මා එනතුරු ඉස්තෝප්පුවට වී පෙරමඟ බලා සිටියේ සුපුරුදු ලෙසමය.

    “කෝ තාත්තා දුව…?”

    ඈ අසන විට මම පුදුම වූයේ සැබෑවටමය.

    “තාත්තා…? ඇයි…එයා ගියාද මාව එක්ක එන්න…? මම ගුණතුංග මාමටත් කියලානේ ගියේ එක්ක යන්න එන්න එපා කියලා…”

    “එයා ගියේ ඔයාව එක්ක එන්න යනවා කියලා…”

    එසේ නම් තාත්තා පැමිණියේ මගේ රහස් හොයන්නටය. අල්ලා ගන්නට තරම් රහසක් මා හට නැත. ඒ මොහොතේ අවීශ්ගේ ක්‍රියා කලාපය අගය කළ යුතුමය. එය සිහිවී මා මුවට සිනහවක් නැඟුණේ නිරායාසයෙන් වුවද තාත්තාගේ ක්‍රියාව නම් සිනහවෙන් සේදිය නොහැකිය. නැන්දා හා කිසිත් කතා කිරීමට අවස්ථාවක් උදා නොවූයේ තාත්තා පැමිණි නිසාය.

    “ආහ්…දුව දැන්ද ආවේ..?”

    කිසිත් නොදන්නාක් මෙන් රියෙන් බට තාත්තා මා විමසුවේය.

    “ඔව්…තාත්තා…මේ ආවා විතරයි…”

    මමද ඔහු මෙන්ම රඟපාමින් පැවසුවේ ඔහු පන්තිය අසළට පැමිණියා නම් එය මේ මොහොතේදී පැවසිය යුතු බව සිතමිනි.

    “අයියා ගියේ දැන් දුවව එක්ක එන්න යනවා කියලනේ…”

    මම තාත්තාගේ මුහුණ දෙසම බලා සිටියේ ඔහු එයට දක්වන ප්‍රතිචාරය කුමක්ද කියා දැන ගැනීමේ වුවමනාවෙනි.

    “ආහ්…මට වෙන වැඩක් වැටුණා…ඒ පැත්තට ගියේ නැහැ…”

    ඔහු එම බොරුව පැවසුවේ කටේ තොලේ නොගෑවෙන ලෙසනි. මේ සා බොරුවක් පැවසිය හැකිද කියා මා සිතුවේ කළකිරුණු සිතිනි. ඔහු ගෙතුළට යන විට මමද නැන්දා සමඟ ගෙතුළට පැමිණියේ තාත්තා පිළිබඳව අලුතින් උපන් ශෝකයත් කළකිරීමත් සිත කොනහමින් තිබෙන විටය.

    ***** ***** ****** ****** ***** ***** ************ ***** ****** ****** *****
    කෑම මේසය මංගල සිරි ගෙන තිබුණද කෑමට පිරියක් මා සිත තුළ නොවූයේ සිතේ පැවති කනස්සල්ල බලවත් වූ නිසාය.

    “තාත්තා නිකමට එන්න ඇති බලන්න…මොකුත් හිතන්න එපා…තාත්තනේ….”

    අවීශ් කෙටි පණිවිඩයක් එවා තිබුණේ මීට සුළු මොහොතකට පෙරය. ඔහුට මා සිත සැනසීමට වුවමනා වූවා වන්නට ඇත. ඔහු නම් පුදුමාකාරය. මා සිත සියුම් තැන් පවා ඔහු හොඳින් හඳුනයි.

    “ඔයා ආසම කජු මාළුව…”

    කලාතුරකින් දකින්නට ලැබෙන කජු මාළුව සහිත දීසිය මවෙත ළං කරමින් නැන්දා කියන විට මම ඒ දෙස බැලුවේ උදාසීනවය.

    “ඇයි දුව කන්නේ නැද්ද…?”

    මම එය පසෙකට කරන විට තාත්තා ඇසුවේ පුදුමයෙනි.

    “මට බඩගිනි නැහැ…අද අපි එක එක ජාති ගොඩාක් කෑවා…හවස කිරි කෝපිත් බිව්වනේ…”

    සිතා මතා තාත්තා රිදවීමට මට වූවමනා විය.

    “ඒ හවසනේ ළමයෝ…දවල්ටත් හරියට කන්නේ නැති එකේ රෑටවත් කන්න…”

    නැන්දා ඇවිටිළි කරන්නට වූවාය.

    “අපෝ නැහැ…අපි දවල්ට හොඳට කනවා…අවීශ් අපිට අද ලන්ච් ඕ(ර්)ඩර් කරා…”

    “කොහෙන්ද…එයාලගේ හොටෙල් එකෙන්ද…?” නැන්දාද මා කැමති ලෙසින් ප්‍රශ්න අසයි.

    “නැහැ..නැන්දා…වෙන තැනකින්…”

    “ඔය ළමයා වෙනදාටත් ඔහොම කෑම බීම අරන් දෙනවද…?”

    පුංචි අම්මා මේ මොහොතේ හරස් ප්‍රශ්නයක් නැඟීම ගැන අහිතක් මා සිතේ ඇති නොවීය.

    “අපෝ…ඔව්…සමහරදාට හොටෙල් එකෙනුත් අරන් එනවා…කොහොමත් ඉතින් ගෙදරට හොටෙල් එකෙන් කෑම එනවමනෙ…”

    “ඇයි ඒ ගෙදර උයන්නේ නැද්ද…?” තාත්තා ඇසුවේ උපහාසයෙනි.

    “අවීශ් සමහරදාට උයනවලු…අම්මාට උයන්න බැරි නිසා…”

    “ඇයි එයාගේ අම්ම උයන්න දන්නේ නැද්ද…?”

    නංගීත් පුංචි අම්මාට දෙවෙනි නැත. නොසතුටක් මා සිත පුරා ඔඩු දුවන්නට විය.

    “අපෝ..නිරංගාන්ටිට හොඳට උයන්න පුළුවන්…ඔයාගේ අම්මට වගේ නෙවේ..ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයාට වැඩ කරන්න බැහැ…ඒකයි හේතුව…”

    මම නොමනාපයෙන් කියන විට පුංචි අම්මා තිගැස්මෙන් තාත්තා දෙස බලනු මා දෑසට මඟ හැරී ගියේ නැත.

    “ඇක්සිඩන්ට් එකක්…ඒ කොහොමද… නිරංගා කොහොමද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ…?”

    තාත්තා ඇසුවේ කළබලයෙනි. ඔහු සැබෑවටම එය නොදැන සිටින්නේද…?

    “නිරංගක්කා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ අනූ අක්කා ඇක්සිඩන්ට් වෙච්ච දවස්වලමයි…එයා අනූ අක්කා නැති වුණා කියලා දැනන් තියෙන්නෙත් හුඟාක් පරක්කු වෙලා…”

    නැන්දා මා වෙනුවට දුන් පිළිතුරෙන් පුදුමයට පත් තාත්තා නැන්දා දෙස බැලුවේ විදහා ගත් දෑසිනි.

    “ඔයා කොහොමද ඒක දන්නේ…ඔයා එහේ ගියාද…?”

    “ඔව්…මං ගියා…මට එහේ යන්න ඕනම වුණා…” තාත්තා නිහඬ විය.

    “නිරංගාන්ටියි අම්මායි දෙන්නම ඇක්සිඩන්ට් වුණේ එකම දවසේ කියලයි මට හිතෙන්නේ…”

    මම කියන විට තාත්තා අත සෝදාගෙන නැඟිට ඉවත ගියේ ශෝකී හැඟීමකින් කියා මට සිතිණි.

    “අනවශ්‍ය කතාවක් ඇදලා අරන් එයාට කෑමත් එපා කෙරෙව්වා…”

    මමද අත සෝදාගෙන නැඟී සිටින විට පුංචි අම්මා දොස් පවරන්නට වූවාය. තාත්තා නැඟිට යෑම මා සිතේ කනස්සල්ලක් ඇති කළද පුංචි අම්මාගේ කතාව මා සිතේ ඇති කළේ කෝපයකි.

    “ඒක අනවශ්‍ය කතාවක් නෙවේ…අම්මා මතක් වුණ නිසා එයාට දුක හිතෙන්න ඇති…ඔයා මෙතන වාඩි වෙලා ඉන්නේ අම්මා නැති නිසා කියලා අමතක කරන්න එපා…”

    දැඩි හඬින් පැවසූ මම, තාත්තා සොයා ඉදිරිපසට ආවෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page