NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 11

Hima Mal Renu හිම මල් රේණු – 11

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක් ගත වන තැන එය යථා තත්වයට පත් විය. යළි සීනුව හැඬ වෙන විට ළමුන් එකා දෙන්නා පන්තිය දෙසට ඇදෙන්නට විය. ඊළඟ කාල පරිච්ඡේදයට අදාළ ගුරුතුමිය තරමක් සැර පරුෂ අයෙකු වූවාය. තෙෂාරා සටහන් පොත පෙරළා ගෙන සිටියද ගුරුතුමිය දෙන සටහන් ලියා ගන්නා බවක් පෙනෙන්නට නොවීය.

“තෙෂාරා මොකද…මං කියන දේවල් ලියා ගන්නේ නැද්ද..?”

වින්ද්‍යා මිස් කෝපයෙන් එසේ අසන විට සියළු දෙනාගේ අවධානය යොමු වූයේ තෙෂාරා වෙතය.

“මි…මි…ස්…ම…ම්…පස්සෙ ලියා ගන්නම්…”

“පස්සේ….පස්සේ….ලියා ගන්න බැරි නම් ටැටූ ගහ ගත්තාත් මට කමක් නැහැ…දැන් මං කියන ඒවා පොතේ ලියා ගන්නවා…”

ඇගේ හඬ කෝපයෙනුත් උපහාසයෙනුත් පිරී තිබූ අතර සියළු දෙනා අතර පැතිර ගියේ උස් සිනා හඬකි. තෙෂාරා ලැජ්ජාවෙනුත් කෝපයෙනුත් රතුව වටේටම රවන්නට වූවාය.

“මිස්…මගේ අත අමාරුයි…ඒකයි…ලියන්න බැහැ…”

“ඇයි…මොකද වුණේ අතට…මොකද ලියන්න බැරි…?”

“මිස්…ඇඟිල්ල නැමුණා…දැන් ඉදිමිලා වගේ…පෑන අල්ලන්න බැහැ…”

ඈ කීවේ බොරුවක්ද කියා නම් මම නොදනිමි. නදීරා ඉක්මන් බැල්මක් මවෙත හෙළුවාය.

“පෑන තමා අල්ලන්න බැරි…ඉදිමුණා… තමුසෙලාගේ ඇඟිලි විතරක් නෙවේනේ ඉදිමිලා තියෙන්නේ….ඔළු ගෙඩිත් ඉදිමිලා නේ…ඇඟිල්ලේ තරමට ඉදිමුණා නම් ඔහො ම වෙන්නේ නැහැ…”

යළිත් සිනා හඬක් පැතිරෙණ විට තෙෂාරා මවෙත හැරී නපුරු බැල්මක් හෙලුවාය.

“තමුසෙලා ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න නෙවෙයිනේ…නටන්න…අනෙක් ළමයිගෙත් කාලේ කනවා…මහ උන්ගේ රැස් පෙන්නන්න ඉස්කෝලේ එන්න එපා…එහෙම පෙන්නන්න ඕන නම් ප්‍රයිවට් ස්කූල් වලට යනවා…”

වින්ද්‍යා මිස් එක දිගට දොස් පවරන්නට වූ අතර තෙෂාරා ලැජ්ජාවෙන් බිම බලා සිටියාය. ඈ ඒ සියල්ල කීවේ අවීශ්ටත් වදින ලෙසදැයි සැකයක් මා සිතේ ඇති විය. ඔහු දෙස හැරී බලන්නට මට වුවමනා වුවද සිත තුළ වූ තිගැස්ම නිසා මම එසේ කිරීමට මැළි වූයෙමි. අවීශ් වෙනදාට වඩා උනන්දුවෙන් පාඩම් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබුණ නිසා මම සැබෑවටම ඒ පිළිබඳව සතුටු වූයෙමි.

*************************************************************************
“ආරණ්‍යා…මේ…මට පොතක් ගන්න තියනවා…අපි යන ගමන් ගියොත් ඔයාට ලේට් වෙයිද…?

පාසල නිම වී අපි පිටතට එන අතරේ නදීරා හදිසියේ සිහි වූවාක් මෙන් මා විමසුවාය.

“යමු එහෙනම්…යන ගමන් අරන් යමු…අද නංගීට ක්ලාස් දවස නිසා අපි ලේට් වුණත් අවුලක් නැහැ…”

මම කීවෙමි.

“අනේ…එහෙනම් හොඳයි…”

නදීරා එසේ කියා අපි එනතුරු ගේට්ටුව අසළ පමා වෙමින් සිටි තේෂාන් පෙන්වූයේ මට ඉඟිමරමිනි.

“අවීශ් එයා එක්ක ආයෙම යාළු වුණ එක ගැන…පොර ඉන්නේ ෆුල් හැපි මූඩ් එකේ…”

සැබෑවටම එය මාත් දැන සිටියෙමි.

“ආරණ්‍යා මම ඔයාලා එනකල් බලන් හිටියේ…”

ඔහු අප දුටු සැණින් කීවේය.

“අපි දන්නවා…ඕකට ඉතින් තෑන්ක්ස් කරන්න ඕන නැහැ….”

ආරූඞ කර ගත් උඩඟු බවක් පෙන්වමින් නදීරා කීවාය.

“ඇත්තටම…තෑන්ක්ස් කරලා මදි ආරණ්‍යා…මට නම් අද අවීශ්ව දකිද්දී හිතා ගන්න බැරි වුණා…ඔයා කියපු හැමදේම මෑන්ට හොඳට හිතට වැදිලා…මෙච්චර කාලයක් මා එක්ක වුණත් කතා කළේ නැහැනේ…”

ඔහු එක දිගට කියවගෙන ගියේය.

“දැන් ඉතින් හැමදේම හරිනේ…?” මම කීවෙමි.

“අනේ ඔව් ආරණ්‍යා….තැන්ක්‍ යූ…”

ඔහු අපෙන් සමුගෙන යන්නට ගියේ අත වනමිනි. අපිද විත් රථයට නැඟුණෙමු. ගුණතුංග මාමා පොත් සාප්පුවක් අසළ රථය නවතන විට මාත් නදීරාත් ඉන් බැස ගෙන පොත් සාප්පුවට ගොඩ වූයෙමු. ඇයට වුවමනා පොත සොයා ගැනීමට අපට තරමක වෙලාවක් ගත විය. අපි එයත් රැගෙන මුදල් කවුන්ටරයට එන විට ටිරෝන්ද සිටිනු දැක මම නදීරාට ඔහුව පෙන්වූයෙමි. ඔහුද එසැණින් අපව දුටුවද නොදුටුවා සේ ඉවත බලාගත්තේ මා සමඟ තිබෙන අමනාපය නදීරා පිටින්ද යවමිනි. අපි මුදල් ගෙවා පිටතට පැමිණෙන විටම ටිරෝන්ද පිටතට පැමිණි අතර ඔහු අපව පසු කර යමින් අවිධිමත් ලෙස පාර මාරු වීමට යාමේදී යතුරු පැදියක ගැටී බිම ඇද වැටෙනු දැක මට කෑ ගැසිණ. කිසිත් සිතන්නට පෙර මම ඔහු වෙත දිව ගියෙමි. එය සම්පූර්ණයෙන් ඔහුගේ වරද වුවද සැවොම වටවී, යතුරු පැදි කරුට දොස් පවරන්නට විය. මම ඔහුට නැඟී සිටීමට සහාය වන විට නදීරාත් තවත් කිහිප දෙනෙකුත් විසිර ගිය ඔහුගේ පොත් ටික එකතු කරනු මම දුටිමි.

“ටිරෝන්…ඔයාට කොහොමද…?”

“අවුලක් නැහැ….මම හොඳින්…”

ඔහු පවසන විට යතුරු පැදි කරුද අප වෙත පැමිණියේ වටවූ අය ඔහුට පහර දෙනු ඇතැයි බියෙන් මෙනි.

“මල්ලී…ඔයාට අවුලක් නැහැ නේද..?”

ඔහු සැබෑවටම බියට පත්ව සිටියේය.

“හප්පලා ඉවර වෙලා අවුලක් නැද්ද අහනවාද අයිසේ..?”

සැර පරුෂ පෙනුමක් තිබූ අයෙකු ඔහුගේ කමිස කොලරයෙන් අල්ලා ගන්නට සැරසෙමින් විමසුවේය.

“එයාව අතාරින්න…මට අවුලක් නැහැ…ඒක මගේ වැරැද්ද…මම බලන්නැතුව පාර පැන්නා…අයියා ඔයා යන්න…”

ටිරෝන් එසේ තම වරද භාර ගෙන තරුණයා පිටත් නොකළා නම් එතන විශාල අකරතැම්බයක් ඇති වීමට ඉඩ තිබිණ. මම තවමත් ටිරෝන්ගේ අතින් අල්ලා ගත් ගමන්මය.

“තෑන්ක්ස්…ඔයාලාත් යන්න…මම යන්නම්…”

ඔහුට සිදු වූ අනතුර අපි දුටු නිසාදෝ ඔහු ලැජ්ජාවෙන් පැවසුවේ මා දෙස හෝ නොබලමිනි. ඔහුගේ වැළමිටෙන් ලේ ගලන බව මා දුටුවේ එවිටය. හැපී ඇද වැටෙන විට එය බිම වදින්නට ඇත. දකුණු දණහිසද තුවාල වී ඇති බව පෙනුණේ සුදු පැහැ කලිසමේ ලේ තැවරී ඇති නිසාය.

“ඔයාව තුවාල වෙලා ටිරෝන්…අපි ගිහින් බෙහෙත් ටිකක් දා ගමු…” මම කෑ ගැසීමි.

“නැහැ…නැහැ…මම ගිහින් බෙහෙත් ටිකක් දාගන්නම්…ඒක අවුළක් නැහැ…”

ඔහු මුරණ්ඩු ලෙස කීවේය.

“යමු…යමු පුතේ…එන්න…ඔයාට දැන් අමාරු නොවුණාට පස්සේ තමා කැක්කුම අල්ලන්නේ…”

ගුණතුංග මාමා එසේ කියන විට ඔහු විරුද්ධ නොවීය. ඔහු ටිරෝන් කැඳවා ගෙන විත් රථයට නංවා ගත්තේය. අපි පෞද්ගලික රෝහලකට පැමිණ ටිරෝන්ට බෙහෙත් දමා ගෙන ඔහුව නිවසට ගෙනවිත් හැරළුවෙමු. ඔහු ලැජ්ජා මුසුව අපට ස්තුති කළේය.

පසු දින ටිරෝන් මෙන්ම තෙෂාරාද පාසල් නොපැමිණියෝය. ටිරෝන් නම් ඔහුගේ තුවාල වේදනාව නිසා වන්නට ඇතැයි කියා මම අනුමාන කළද, තෙෂාරා නොපැමිණියේ ලැජ්ජාව නිසාද..? ටිරෝන්ට සිදු වූ අනතුර ගැන මම තේෂාන් හා පවසන විට අවීශ්ද අප අසළය. පාසල් නිම වී ඔහු බලන්නට යන ලෙස මම ඔහුට පැවසුවෙමි.

“උඹත් එනවද අවීශ්…?”

තේෂාන් ඔහුගෙන් විමසීය.

“මට අද ක්ලබ් එකේ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් මචං…උඹ යමන්…මම හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා යන්නම්…”

අවීශ් දැල් පන්දු ක්‍රීඩකයෙකු බව මා දැන සිටියේ නැත. ඔහු ක්‍රීඩා කරන හැටි බලන්නට ආසාවක් එක්වරම මා සිතේ ඉපදිණ.

“ඕක කිව්වොත් තව ගණන් උස්සයි…”

අනික් අතට මම තනිව සිතුවෙමි. නමුත් දවසක ඔහු ක්‍රීඩා කරන සැටි නම් බැලිය යුතුමය. ඔහුගේ උසත් සමඟ එම ක්‍රීඩාව මැනවින් ගැළපේ.

එදින රාත්‍රියේ මම ගමේ මිතුරන් සමඟ සුපුරුදු සංවාදයේ යෙදී සිටින විට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබිණ. මම එය මඟහැරියේ අපේ කතා බහට බාධා වන නිසාය. පසුව මම ඇමතුමක් ගන්නටද නොසිතුවේ එම අංකය මගේ දුරකථනයේ නොවූවක් වූ බැවිනි. පසුව නින්දට යාමට සූදානම් වන මොහොතේ එම අංකයෙන්ම කෙටි පණිවිඩයක් ලැබුණ අතර ඒ ටිරෝන්ය.

“ස්තූතියි…සොරි…ටිරෝන්…”

එය කියවූ මා හට සිනහා නැඟිණ. ඒ සමඟම මම ඔහුට ඇමතුමක් ගතිමි.

“හෙලෝ…ආරණ්‍යා…”

ඔහුගේ හඬේ වූයේ මෙතෙක් නොවූ ලෙංගතු බවකි.

“දැන් කොහොමද…ඔයාට..?”

“දැන් තමා පේන් එක වැඩි…දණ හිස නම් නවන්නම බැහැ…”

“බෙහෙත් ටික බොන්න වෙලාවට…තුවාළේ නිසා වෙන්නැති පේන් එක…”

“තෑන්ක්ස්…මං වෙනුවෙන් මහන්සි වුණාට…”

“අපි යාළුවොනේ…ඒක මහන්සියකුත් නෙවේ…මොකටද අර සොරි කියලා තිබුණේ…?”

ඔහු එයට පිළිතුරක් දීමට වෙලා ගත්තේය.

“එදා…මම ඔයාට කතා කරපු විදිය වැරදියි…අවීශුත් මට හොඳටම දොස් කිව්වා ඒකට…”

ඒ ඇසූ මම පුදුමයටත් සතුටටත් පත් වූයෙමි. එසේ නම් අවීශ්ගේ සිතේ මා ගැන අහිතක් තිබී නැත. ඔහු ටිරෝන්ට දොස් පවරා ඇත්තේ ඒ නිසාය.

“ඒක අමතක කරලා දාන්න ටිරෝන්…දැන් අපි යාළුවොනේ…”

“ඔව්…අනිවා…අපි යාළුවෝ…ඔයා එක්ක කතා කරන්න බැරි ලැජ්ජාවෙන් මං හිටියේ…අවීශයාත් දැන් වෙනස්ම එකෙක් වෙලා…මේ හැමදේම ඔයා නිසයි…”

“අවීශ් එහෙම වෙනස් වෙයි කියලා හිතාගෙන නම් නෙවේ…මං අර විදියට කිව්වේ…ඒත් මං සතුටු වෙනවා…ඒකට…අද තේෂාන් ආවද…?”

“ඔව්…ඔව්…ආවා…හවස අවීශුත් ආවා… මං කෝල් කළේ ඒ වෙලේ…ඌ දැන් ටිකකට කළින් ගියේ…”

මා සිතට සියුම් වේදනාවක් දැනිණ.

“අනේ…සොරි…..මං ඒ වෙලේ ගෲප් කෝල් එකක හිටියේ…අනික නම්බර් එක දන්නෙත් නැති නිසා ආන්සර් නොකළේ…”

“ඔව්…මට හිතුණා…අවීශයා ඒත් කිව්වා ඔයාට මෙසේජ් එකක් දාලා…කෝල් ගනින් කියලා…ඔයා ආන්සර් කරන එකක් නැහැ කියලා…”

ඔහු එසේ නම් එසේත් පැවසුවාද.? මා සිත තව පිම්මක් ඉදිරියට පැන්නේය.

“ඒකනේ…ඉතින්…කොහොමද ඔයා නම්බර් එක හොයා ගත්තේ…?”

“නදීරාගෙන් ඉල්ල ගත්තේ…තේෂාන් ගාව නදීරාගේ නොම්මරේ තිබ්බා හොඳ වෙලාවට….මං ඔයා ගැන හිතන් හිටපු විදිය වැරදියි ආරණ්‍යා…”

ඔහු පසුතැවිළි හඬකින් කියන විට මම පුදුම වූයෙමි.

“ඒ කිව්වේ ටිරෝන්…ඔයා කොහොමද මං ගැන හිතන් හිටියේ…?”

“අනුන්ගේ ඒවට හොට දාන…මෝඩ, උද්දච්ච කෙල්ලෙක් කියලා…” ඒ ඇසූ මට සිනහා නැඟිණ.

“එච්චර දෙයක් හිතන් හිටියා කියලා හිතන්න බැහැනේ…දැන් එහෙම හිතන්නේ නැහැනේ…?”

“නැහැ…නැහැ…මං ඒක ඉල්ලා අස්කරගන්නවා…අවීශය වෙනස් එකෙක් කරපු එකටත් ආයේ..ආයේ තැන්ක්ස්…”

“ඒවා ඔයාලා කරන්න තිබුණු දේවල්…”

“හ්ම්ම්…ඒක මටත් හිතුණේ හුඟක් පහු වෙලා…එදා ඔයාගේ කතාව ඇහුවට පස්සෙ…කොල්ලො සෙට් එක ඔයාට මූණ දෙන්න බැරිව ඉන්නෙ දැන්…”

“අනේ…විකාර…ඔයා හෙට ස්කූල් එනවද…?”

“අනේ මන්දා…පුළුවන් වුණොත්.. එනවා…”

“අමාරු නම් එන්න එපා…මං නෝට්ස් ටික ඔයාට වට්සප් කරන්නම්…”

“තෑන්ක් යූ…තෑන්ක් යූ…”

“අද ටිකත් දාන්නම් ලියා ගන්න…එහෙනම් මං තියනවා…ගුඩ් නයිට්!..”

මම ඔහුට සුබ පතමින් කතා බහ නිම කළෙමි. මා සිතට සියුම් සතුටක් දැනේ. මා පන්තියේ ළමුන් සියළු දෙනාගේ සිත් දිනා ගෙන ඇත…ආහ්!…තෙෂාරා….? එය නම් තරමක් අසීරු කටයුත්තකි.

*********************************************************************
මේ දින කිහිපයේම තෙෂාරා පාසල් නොආවාය. ඈ නොපැමිණෙන්නේ ලැජ්ජාව නිසාද නැතිනම් ඇගේ ඇඟිල්ල තවම සුව වී නැති නිසාද..? රොසෙටා ගෙන් හෝ ශලිනි ගෙන් මට එය විමසන්නට බැරිය. මිතුරිය නොපැමිණියා කියා හෝ ඔවුනට වගක් නැත. ටිරෝන් යළි පැමිණියේ සිකුරාදාය. ඒ වන විට ඔහුගේ තුවාළ සුව වී තිබිණ.

“දැන් හොඳයි නේද…? තව පොඩ්ඩෙන් අර අහිංසක මනුස්සයාත් ගුටි කනවා…මෙයා අඩ තියන්න ගිහින්…”

සිනහාසෙමින් මම කියන විට ටිරෝන්ද ලැජ්ජාමුසුව සිනහාසුණේය.

“අපිට ඉතින් නෝට්ස් ලියලා…පොටෝ දාන්න කවුරුත් නැහැනේ මචං….”

නිරෝධ ඒ ඇනුම්පදයක් එල්ල කළේ මා හටය.

“ඔයත් එහෙනම් වාහනේකට අඩයක් තියලා බලන්න…කවුරු හරි නෝට්ස් ටික ලියලා වට්සප් කරයි…”

මම සිනහාසෙන විට අනෙක් අය අතරද එය පැතිර ගියේය.

“සේරම හරි….තාම අවීශ් තමා කතා නැත්තේ…”

නදීරා පසුව මගේ කනට කර රහසේ කෙඳුරුවාය. මම එවිට ඔහු දෙස බැලීමි. ඔහු සිටියේ මට පිටුපාය.

“කතා නොකරන එකෙත් අමුතු ගතියක් තියනවා…”

මමද නදීරාට රහසින් කීවෙමි.

“අනේ…අනේ…මට තේරෙන්නේ නැහැ ඕවා…”

අපි කතා කරන්නේ ඔහු ගැනදැයි සිතීදෝ අවීශ් අප දෙස බලන විට මම බිමට නෙත් නැඹුරු කොට ගතිමි.

-පුරුදු ලෙසින් හෙටත්-

1 COMMENT

Comments are closed.

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you