Hima Mal Renu 03 හිම මල් රේණු
මා සිත නොසන්සුව තිබුණේ හේතු කාරණා කීපයක්ම නිසාය. ගම හැරදා කොළඹ යෑමට සිදුව තිබීම ඉන් එකක් වූ අතර ප්‍රධානම කාරණය නම් තාත්තා පුංචි අම්මා විවාහ කරගත්තේ මන්දැයි යන්නය. එය මා සිත නිතරම දැවූ පැනයක් විය. ඒ පිළිබඳව වැඩිදුර සිතීමට යෑමෙන් මා සිතේ ඈ කෙරෙහි වූ නොපහන් බව වැඩි විය. කොතෙකුත් මා එය නොසිතා සිටීමට උත්සාහ දැරූවද, දිය යට සඟවන්නට වෙර දරන රබර් බෝලයක් මෙන් වරින් වර උඩට මතු විය.
“තාත්තේ….”
රාත්‍රී ආහරයෙන් පසු තාත්තා විවේකයෙන් පසුවන මොහොතක් බලා මම ඔහු ඉස්තෝප්පුවේ හිඳ සිටි අසුන ළඟම අසුනක හිඳ ගනිමින් අමතන විට, රාත්‍රී අඳුරට නෙත් යොමා සිටි තාත්තා මගේ හඬින් හැරී මදෙස බැලුවේය. සවස ඇද හැළුණු වර්ෂාව නිසා මේ මොහොතේ පරිසරයේ වූයේ තුනී සීතලකි. රාත්‍රී අඳුර තුළින් දැල්වෙන කණ මැදිරියන්ගේ එළි දිස්වූයේ අවතාරවල දෑස් දිලිසෙන්නාක් මෙනි. කුඩා කළ එම එළිවලට බියවූ අවස්ථා නම් අපමණය.
“ඇයි ලොකු දුව..? ”
තාත්තා ගේ හඬින් මම ඔහු වෙත හැරුණෙමි.
“අපි කොළඹ ගියාම මට මගේ පරණ කොලේජ් එකටම යන්න ඕන…”
මා එසේ කියන විට තාත්තාගේ මුවේ ඇඳුණේ මඳහාසකි.
“ඔයා කැමති ඒකට නම් ඉතින් ඒක මහා ලොකු දෙයක් නෙවේනේ…මං දාලා දෙන්නම්…”
ඔහු කියන විට මා සිතේ ඇති වූයේ සියුම් සතුටකි.
“අපෝ ලොකූ..ඊට වඩා හොඳ ස්කූල්ස් ඕන තරම් තියනවානේ…”
නංගීගේ හඬින් මම තිගැස්මෙන් වහා හැරී පිටුපස බැලීමි. ඇයත් පුංචි අම්මාත් උළුවස්සට බරදී සිටගෙන අපේ කතාවට සවන් යොමා ඇති බව දැන මා සිතේ ඇති වූයේ කෝපයකි.
“ඔයාගේ ඔය කැත පුරුද්ද නම් හොඳ නැහැ…හොරෙන් අනිත් අයගේ කතා වලට කන් දෙන එක…”
නංගී වහා හිස බිමට නැඹුරු කොට ගත්තේ ලැජ්ජාවෙනි.
“අනික මම යන්නේ මට ඕන ඉස්කෝලෙකට…”
“හරි..හරි ළමයෝ..ඔයා කැමති එකකට යන්නකෝ…අපි එපා කිව්වද..? ”
පුංචි අම්මාද මැදට පනිමින් කියන විට මම වහා හුනස්නෙන් නැඟී සිටියෙමි.
“ඔයා එපා කිව්වත් මම අහයි කියලා හිතන් ඉන්නවා නම් ඔයාට වැරදිලා…”
මම ඇයට හිස ගස්සමින් ගෙතුළට ආවෙමි.
“මේ බලන්නකෝ මෙයාගේ ගෑස්…”
ඈ එසේ කීවේ තාත්තට වන්නට ඇත.
“මොනවා බලන්නද මනෝරි…කතාව මැද්දට පැනලා මදිවට තව මොනවාද මට බලන්න කියන්නේ…? ”
තාත්තාගේ උස් හඬ ඇසෙන විට මා සිතේ ඇති වූයේ කුරිරු සතුටකි. සැටිය මත හිඳගෙන මම රූපවාහිනිය ක්‍රියාත්මක කළේ වුවමනාවට නොවේ.
“හරි වැඩේ මැද්දට පනින්න…”
පුංචි අම්මා එකටෙක කියන්නට වූවාය.
“මේ මනෝරි කෑවා නම් බිව්වා නම් තමුන්ට වෙන වැඩකුත් නැත්නම් ගිහින් නිදා ගන්නවා..මට පව් නොදී…”
තාත්තා ගේ හඬ පෙරට වඩා උස් විය.
“කවුද අනේ ඔයාට පව් දුන්නේ…මොකද මේ කේන්තියෙන්…? අපි යමු දුව…”
ඈ නංගීවත් අතින් ඇදගෙන යනු මම නෙත් කොණින් දුටිමි. මම රූපවාහිනී තිරය දෙස බලා සිටියේ හිස් දෑසිනි. මේ ලෙසින් තව කොපමණ කාලයක් ඇයත් සමඟ එක නිවසක කෙසේ ජීවත් වන්නදැයි සිතන විට මා සිතේ ඇති වූයේ බලවත් කළකිරීමකි.
පසුදින උදෑසනම මම නිවසින් පිටව ශ්‍රීමා සොයා පැමිණියෙමි. ඒ භාෂිත ගේ නිවස වෙත යන අදහසිනි. තාත්තා උදෑසනම ව්‍යාපාර කටයුත්තකට පිටව ගොස් සිටි නිසා මෙලෙස පැමිණීමට බාධාවක් ඇති නොවීය. ශ්‍රීමා ගේ නිවසට යන බව කීවේ ආච්චි අම්මාට පමණි. භාෂිත ගේ නිවසට එන විට ඔහුත් අවදි වූවා පමණය. ඔහු පැමිණෙන තුරු අපි මිදුලේ වූ බංකුව මත හිඳ ගෙන සිටියෙමු.
“දෙන්නා උදේම බැහැරක්ද..?”
ප්ලාස්ටික් පුටුවකුත් ඔසොවාගෙන ආ භාෂිත අප අසළ හිඳ ගනිමින් ඇසුවේ කමිසයේ උඩ බොත්තම් පියවමිනි.
“උදේම කොහෙද අනේ…දැන් නවයත් පහු වෙලා…මෙයා ඉතින් දවල් වෙනකල් නිදා ගත්තට අපි මොනවා කරන්නද…? ”
“ඊයේ ඕලෙවල් ළමයින්ට පන්තියක් කළා…එද්දී ඉතින් දහයත් පහු වෙලා..කාලා, බීලා නිදා ගද්දි ඉතින් දොළහට කිට්ටුයි…ඒකයි මෙච්චර වෙලා නින්ද ගියේ…”
ඔහු එක දිගටම කියවන් යන විට මා සිතේ ඇති වූයේ අනුකම්පාවකි. සා/ පෙ ළමුන්ට ගණිතය උගන්වා ඔහු සුළු ගානක් උපයා ගන්නා බව අපි දැන සිටියෙමු.
“දන්නවා නම් තව ටිකක් පරක්කු වෙලා එනවා නේද ශ්‍රීමා..” පසුතැවිලි හඬින් මම කීවෙමි.
“හරි..හරි ඒකෙන් කමක් නැහැ.කොහේද ඇත්තටම මේ දෙන්නම උදෙන්ම…? ”
“වෙන කොහෙවත් යනවා නම් මෙහෙට ගොඩ වෙන්නේ නැහැනේ…මීට කළින් දැකලා නැති නිසා දැක ගන්න ආවේ..ඔය සුදු වත කමල දුටුවම දවස සුබලු… ”
ශ්‍රීමා ඇද පැද තාලයට කියන විට මා මුවට සිනහා නැඟිණ.
“ඉතින් ගෙදර ගිහින් තියා ගන්න එකනේ ඇත්තේ..සුබ නම් හැමදාම බල බල හිටියෑකිනේ…”
“අනේ හරි වැඩේ…බලන්නකෝ ආරණ්‍යා මෙයා ගිය උඩ…ඉණිමඟක් ගේන්න වෙයි වගේ පහළට ගන්න…”
ශ්‍රීමා කීවේ මා මුවේ සිනහාවක් නංවමිනි.
“අනේ..අනේ මේ ඒවා ඕන නැහැ…මං හිමීට බැහැ ගන්නම්…”
මවාගත් නොමනාපයක් පළ කළ භාෂිත කීවේය.
“හිමින් බහින්න සුදූ..වැටෙයි පරිස්සමට…”
“හා..හා.බටරුත් ගානවා… දැන් මොකද තත්වේ ආරාණ්‍යා..? ”
භාෂිත කතාව වෙනතකට යොමුකරමින් මා විමසුවේය.
“ඒකම තමා භාෂිත මම මේ ආවේ…”
“ගමන ස්ථීරයිද..?”
“ඔව්…”
“තාත්තට කතා කළේ නැද්ද…? ”
“වැඩක් නැහැ…රණ්ඩු වෙන්න බැහැනේ…නැන්දත් අපි එක්ක යනවලු…නැත්නම් මම කීයටවත් යන්නේ නැහැ….”
“ඒක නම් හොඳයි…එයානේ ඉතින් ඔයාව බලා ගත්තේ…” මම දිගු සුසුමක් හෙළුවෙමි.
“භාෂිත…මම ඔය දෙන්නව හම්බෙන්න ආවේ ඔයාලා හොඳින් එක්සෑම් පාස් වෙන්න ඕන… අනික් අයවත් උනන්දු කරවන්න…ක්ලාස් වලට යන වියදම් බලා ගන්නම්…ශ්‍රීමා ගැන ආච්චි අම්මා බලාගනියි…මාධව ව උනන්දු කරවන්න භාෂිත…”
ඔහු කල්පනාකාරී ලෙස හිස වනා එයට එකඟ විය.
“ඔයා නිසා සේරම උනන්දුවෙන් ඉගෙන ගත්‍තා…ලොකු මැඩමුත් ළමයි ගැන උනන්දුවෙන් හොයලා බැලුවානේ…”
“ආච්චි අම්මා තමා ගොඩාක්ම භාෂිත. එයා ඉතින් හිටපු ප්‍රින්සිපල් විදියට අදටත් ළමයි ගැන හොයලා බලනවානේ. ”
අපි අතර මොහොතක නිහඬතාවයක් ඇති විය. කියා ගන්න බැරි වේදනාවක් මා හදවතේ තෙරපිණ. නොහඬා සිටින්නට උත්සාහ කළද මා දෑසින් කඳුළු වැල් රූරා වැටුණේ මට මාවම පාලනය කර ගත නොහැකි ලෙසිනි.
“අනේ..ආරණ්‍යා ඔයා අඬනවද…?”
ශ්‍රීමා මගේ අත තරයේ අල්ලාගෙන ඇසුවේ බිඳුණු හඬිනි. ඇයත් හඬන්නට වූවාය. සුළු මොහොතකින් අපි දෙදෙනම කඳුළු පිස ගෙන භාෂිත දෙස බලන විට ඔහු දුකක් තැවරුණ සිනහවක් මුවේ රඳවාගෙන අප දෙදෙනා දෙස බලා සිටියේය.
“අපිට හැමදාම කතා කරන්න පුළුවන්නේ…ගෲප් එකක් හදලා හැමදාම රෑට ටිකක් වෙලා කතා කරමු…”
ඔහු පැවසූ දෙයින් මා සිතට දැනුණේ යම් අස්වැසිල්ලකි.
“අනේ එහෙම කරමු…” මම කීවේ ඒ යෝජනාවා ගැන උපන් සතුටිනි.
******* ******* ******** ******** ******* *********** ******* ********
මම සිටියේ සතුටිනි. අනෙක් අයද එසේමය. දුක් වන්නට දෙයක් නැත. අප මහන්සියේ ප්‍රථිඵල සාර්ථකව නෙළාගෙන සිටියෙමු. සියළු දෙනම ඉතා හොඳින් විභාගය සමත් වී තිබිණ. ගමෙන් යාමත් විභාගය සමත් වීමත් නිසා නිවසේ කුඩා සංග්‍රහයක් සූදානම් කිරීමට මම සැළසුම් කළෙමි. නැන්දාත්, ආච්චි අම්මාත් එයට උපරිම සාහාය ලබා දුන්හ.
“ඔයා නැති අඩුව නම් අපිට පිරිමහා ගන්න බැරි වෙයි ආරණ්‍යා..”
පන්තියේ මිතුරු මිතුරියන් සියළු දෙනම කීවේ එකම කතාවය. මා ඔවුනතරේ සැබෑ මිතුරියක වී සිටියා යයි යන සතුට මා හදේ විය.
“ඔව්, ඔයා නැති එක නම් අපිට හරි පාඩුවක් වෙයි…” සුමින්ද ද කීවේය.
“පාඩුවක් වෙන්නේ නැහැ භාෂිත…ශ්‍රීමා ඉන්නවානේ…කොහොම හරි ඒ ලෙවලුත් ගොඩ දා ගන්න බලන්න…”
“භාෂිතටත් පාළුවෙයි ඔය කිව්වාට…”
මාධව කියන විට සෙස්සෝ උස් හඬින් සිනහාසුණෝය. මම ඔහුට පහරක් ගැසුවද, ඔහු එයින් බේරි ඉවත පැන්නේය. ඔවුන් ගෙන් සමුගැනීමට සිදුවීම ශෝකී අත්දැකීමක් විය. මිතුරියන් මා වැළඳ සමුගන්නා විට මිතුරන් අතට අත දී සමු දුන්හ.
“වැළඳ සමු දෙන්න නම් අපිට වරම් නැහැ…” මාධව කියන විට අපි කඳුළු අතරින් සිනහාසුණෙමු.
********** ******* ******* ******** ******************* ******* *******
අලුතින් ආලේප කරන ලද තීන්ත සුවඳින් මුළු නිවසම පිරී ඇත. මේ අම්මාගේ නිවසයි. මෙහි මා ගත කළ කාලය පිළිබඳව විශාල මතකයක් මා මනසේ රැඳී නැත. අම්මා පිළිබඳව වුවද මගේ මතකයේ ඇත්තේ ඈ අවසන් වරට නිවසින් පිටවන විට මම ඇයට අත වනමින් සමුදුන් හැටි පමණය. මා මුවින් සුසුමක් පිට විය. නිවසට වුවමනා බඩු භාණ්ඩ පවා අලුතින්ම මිලදී ගෙන තිබුණේ පැරණි ඒවා බොහෝමයක් ගමේ යෑමට පෙර තාත්තා විසින් විකුණා තිබූ නිසාය.
“දුවගෙ නමට නොතිබුණා නම් එයා ඔය ගේත් විකුණාලා දානවා…”
මීට දින කීපයකට පෙර නැන්දා, ආච්චි අම්මා සමඟ පවසනු මා සවන් වැකිණ. අම්මාගේ කියා එහි ඉතිරිව තිබුණේ වියන් සහිත යුගළ යහනත් දොර තුනේ අල්මාරියත්, කන්නාඩි මේසයත් පමණය. ඒවා කුළියට නිවසේ සිටි අය ඉතා හොඳින් ආරක්ෂා කර තිබීමත් ලොකු දෙයකි. තාත්තාගේ ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකු කැඳවා තිබූ නිසා ඔවුන් බඩු භාණ්ඩ පිළිවෙලකට තබා ගැනීමට සහාය වූහ. පුංචි අම්මා ඔවුන්ට උපදෙස් දෙමින් එහෙට, මෙහෙට දුව පනිමින් සිටියේ බොහෝ කාර්‍යබහුල බවක් පෙන්වමිනි. නමුත් ඈ කළ දෙයක් නැති අතර මම සිත යටින් සිනහාසෙමින් උඩු මහලේ මට වෙන් කර ගන්නා ලද කාමරයට පැමිණියෙමි. අස්පස් කර ගැනීමට කියා මට විශාල දෙයක් නැත. ඇඳුම් කීපය අලමාරියේ අඩුක් කර ගැනීමටත් පොත් මේසය අස්කර ගැනීමත් හැරුණු කොට වෙනත් විශේෂ දෙයක් නොවූ නිසා මම සඳළුතලයට පිවිසෙන දොර හැරගෙන එහි පිවිසියෙමි. බැලූ බැලූ අත තාප්ප වලින් වට වූ විසල් නිවෙස්ය. මට ගම සිහි විය. එහි කෙතරම් නිදහසක් තිබුණිද? මුවින් ගිළිහීමට ගිය සුසුම මම ආයාසයෙන් වළකාගෙන අත්වැටට බර දී සිට ගතිමි. ඉඳහිට ඇදී යන රථ වාහනයක හඬකින් නිහඬ බවට බාධාවක් වුණා යැයි සිතිය නොහැක. තාප්පය දිගට, සිටුවා තිබූ උස්ව නැගුණ විලෝ ගස් වල කොණ්ඩ කුරුළු ජෝඩුවක් කූඩු සාදා තිබූ නිසාදෝ වරින් වර ඉඟිළ විත් වසමින් නැවත ඉවත ඉඟිළෙමින් හඬ නැගූහ.
“මොකෝ කල්පනාව….ඇඳුම් ටික අස්කර ගන්නේ නැද්ද..? ”
නැන්දා ගේ හඬින් මම ආපසු හැරුණෙමි. ඈ දොරකඩ සිට මදෙස බලා සිටියාය.
“හිමීට කරගන්නවා…මහන්සියි…”
“කුස්සියේ බඩු ටික අස් පස් කරගන්නකල් තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැහැ…”
“අනේ දැන් මොකටද තේ..? දැන්නේ බීම බිව්වේ…ඔයා මහන්සි වෙන්නේ නැතුව ටිකක් විවේක ගන්න…”
පුංචි අම්මාට වඩා දෙයක් නැන්දා ඉටු කළාය. ඈ ගැන අනුකම්පාවෙන් මම කීවෙමි.
“ඔව්…ඇඟ පත සෝදන් ටිකක් නිදා ගන්න ඕනා…”
ඈ පිටතට ගිය පසු මමද කාමරයට පැමිණ යහනට වැටුණෙමි. තෙහෙට්ටුව නිසා මට නින්ද යන්නට ඇත. මා නැවත අවදි වූයේ නැන්දා තේ සාදා කතා කරන හඬිනි. එවිට සැඳෑ අඳුර ගලා එමින් තිබිණ. මම පහළට එන විට ඔවුන් මා බලාපොරොත්තුවෙන් සුව පහසුව හිඳ ගෙන තේ පානයට සූදානමින් සිටියෝය.
“එන්න..එන්න ඔයා එනකල් තමා හිටියේ…”
නැන්දා කියන විට මම ඈ පසෙක හිඳ ගතිමි.
“දැන් තමා හිතට නිදහසක් දැනෙන්නේ…” පුංචි අම්මා හරි බරි ගැසෙමින් කීවාය.
“මහා ලොකු වැඩක් කළා වගේ ”
උපහාසය මුසු හඬකින් තාත්තා කියන විට මා මුවටද සිනහාවක් නැඟිණ.
“ඔයා ඉතින් කිව්වොත් ඇනුම්පදයක්නේ….”
මුව ඇද කරගෙන ඈ කිවේ මවා ගත් අමනාපයකිනි.
“නැතුව ඉතින්…බොරුවට එහෙට මෙහෙට දුව දුව හිටියා මිසක් ඔයා මොනවද කළේ..?”
ආච්චි අම්මා සාදා දුන් පැණි අලුවා කැබැල්ලකුත් රස බලමින් මම මිදුලට පැමිණියේ ඔවුන්ගේ කතා බහ නීරස නිසා ශ්‍රීමාට ඇමතුමක් ගන්නා මුවාවෙනි. ආච්චි අම්මාට දවාලට නම් පාළුවක් නැත. ජයවතී නැන්දා සිටියි. භාෂිතද නිතර පැමිණ ඈ ගැන සොයා බලන බවට පොරොන්දු විය. රාත්‍රියේ ශ්‍රීමා ඇයත් සමඟ හිඳිනු ඇත. එසේ සිතමින් මම ශ්‍රීමාට ඇමතුමක් ගතිමි.
“රෑ වෙලා ගන්න හිටියේ…ගෙදර වැඩ ඉවර නැතුව ඇති කියලා හිතුවා..” මා ඇමතුම ගන්නා විටම ශ්‍රීමා කීවාය.
“නිදහසට කරුණු කියනවා නේද ? ” ඇයව ඇවිස්සීමට සිතා මම ඇසුවෙමි.
“අනේ ඇත්තමයි…ලොකු මැඩම් එක්කත් කිය කිය හිටියේ මේ දැනුත්…”
“හරි ,හරි මම විහිළුවක් කළේ…ඔයා ඉන්නේ ආච්චි අම්මා එක්කද..?”
“හ්ම්ම්…හවස ආවේ…කොටුවට වතුර දාන්න ගියා…”
“ඔයා ඉන්න එක ලොකු දෙයක් ශ්‍රීමා…ආච්චි අම්මා ඔයා ගැන බලාගන්නම් කියලා කියද්දී මට ඇත්තටම සතුටු හිතුණා…”
“ලොකු මැඩම්ව බලාගෙන ඉන්න එකට නම් මටත් සතුටුයි තමා..ඒත් ඉතින් එයාගෙන් සල්ලි ගන්නේ කොහොමද..? ඒක හොඳ මදි නේ..”
“ගන්න එපා ආච්චි අම්මා දෙයි…” මම උස් හඬින් සිනහාසෙමින් කීවෙමි.
“කිව්වොත් ඔය වගේ කතාවක් තමා…” මවාගත් නොමනාපයක් පළකළ ශ්‍රීමා කීවාය.
“මට ඔයාලව මතක්වෙනවා…” මම කීවෙමි.
“හෙට ඉඳන් අලුත් ඉස්කෝලේ, අලුත් යාලුවෝ හම්බෙද්දී ගමේ අපිව අමතක වෙලා යයි…”
“ඔව් ඉතින් ඒවා කියන්න බැහැ…”
“ආහ්, බලමුකො එහෙම වුණොත්…” ඈ එය කී ආකාරයට මා මුවට සිනහා නැඟිණ.
“මං විහිළුවට කිව්වේ මැට්ටෝ…අලුත් යාළුවොත් හම්බෙයි…ඒ අලුත් යාළුකමුත් තියාගෙන පරණ යාළුකම් අලුත් කරගෙන යමු…”
“ඔව්..ඔව්..නැතුව…”
ශ්‍රීමාද කීවාය. මා සිතට සැහැල්ලු සතුටක් දැනිණ. නමුත් ඒ සැහැල්ලුව, සතුට මා ජීවිතයේ වැඩි කලක් රැඳී නොතිබෙනු ඇතැයි කියා මම ඒ මොහොතේ නිකමට හෝ නොසිතුවෙමි.
-හෙටත් හවස 5ට මුණගැහෙමු-