රත් දෝතළු – 60
අහස්ගේ මුහුණ දකින විට මා සිතේ ඇති වූයේ බියකි. ඔහු බලා සිටියේ විශාකා මහත්මිය දෙසය. රොසෑන්ගේ පැමිණීමට ඇගේ සම්බන්ධයක් ඇති බවට ඔහු අනුමාන කළා වන්නට ඇත.
“රෙද්දක් ඇඳන් ආවානේ හැබෑට…”
විනිෆ්‍රීඩා මහත්මිය කී දේ ඇසුණේ මට පමණක් යැයි කියා මම සිතුවෙමි.
“අහස්… කොච්චර කාලෙකින්ද… එන්නකෝ අපි ටිකක් ඩාන්ස් කරන ගමන් කතා කරමු…”
ඇයට සැළකිල්ලක් නැති බවත් හොඳාකාරවම දැන ඈ ඔහු වෙත ළංව පැවසුවේ තොදොල් හඬකිනි.
“නටපු නැටිළි මදි වෙලාද ආයේ ආයේ නටන්න හදන්නේ…?”
අහස් කෑ ගසනු ඇතැයි කියා මා සිතුවද මේ මොහොතේ විනිෆ්‍රීඩා මහත්මිය කතා කළේ කෝපයෙනි.
“මෙයාව ගෙන්නගත්තේ තමුන්ද විශාකා…?”
“අක්කා… මේක පාර්ටියක්…”
විශාකා මහත්මිය වටපිට බලමින් කීවේ ලැජ්ජාවට පත් ලෙසිනි.
“මං එදත් කිව්වා මෙයාට මෙහෙ පස් පාගන්න බැහැ කියලා… මෙච්චර වෙලා මේක පාර්ටියක් වගේ තිබුණා… දැන් නම් මට මෙතන ඉන්න එකත් අප්‍රසන්න වුණා…”
“ආන්ටි… රිලෑක්ස්…”
ඒ රාඝවය. අහස් කෝපය පාලනය කරගැනුමට යත්න දරමින් සිටින බවක් මම දුටිමි.
“කළබල නොවී කොහොමද ළමයෝ… කොහෙවත් යන උඩැක්කියන්වත් මෙතන්ට වැද්දගන්නවා කියලා දන්නවා නම් මං මේ ගෙදර පාර්ටි දාන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ… ලැජ්ජාව මේ එකෙක්ටවත් ගෑවිලා නැහැ…. ඒකයි හේතුව… බාගෙට හෙළුවෙන් ආවේ තව පිරිමි කීයක් දැළේ දාගන්න හිතාගෙනද දන්නැහැ… අපි යමු අරවින්දි…”
රොසෑන්ගේ මුහුණ ලැජ්ජාවෙන් අඳුරුව ඇති සැටි මම දුටිමි. විනිෆ්‍රීඩා මහත්මිය සමඟ මමද අසුනින් නැඟිට ඇයත් කැඳවාගෙන කුඩා ගේට්ටුවෙන් අනෙක් පසට පැමිණියෙමි.
————————————————————————————————————————————————————-
සංගීත රාවය පෙරට වඩා උස් හඬින් ඇසුණද නිවස තුළ නම් වූයේ නිහැඬියාවකි.
“මේ ගැණී අදත් ආවානේ රෙද්දක් ඇඳගෙන… ලැජ්ජාවක් නැතුව…”
බොහෝ වේලාවකට පසුව විනිෆ්‍රීඩා මහත්මිය කීවේ තවමත් පහව නොගිය කෝපයෙනි.
“රෙදි කෑල්ලක් මැඩම්…”
එසේ කීමට උපන් සිතුවිල්ල මම මැඩගතිමි. ඈ කුමක් හැඳගෙන ආවත් මට ඇති කාරිය කුමක්ද.? එය එසේ මුත් මේ සියල්ල මට මහත් ප්‍රහේලිකාවකි. මේ රොසෑන් කවුද කියා මට තවමත් සිතා ගන්නට නොහැකිය. සමහරවිට ඈ අහස්ගේ හිටපු පෙම්වතිය වන්නට ඇත. කෙසේ නමුත් ඔහු දැන් ඇයව මෙතරම් පිළිකුල් කිරීමට හේතුව කුමක්ද? විනිෆ්‍රීඩා මහත්මිය ඈ කෙරෙහි මෙතරම් කෝපයෙන් පසුවන්නේ මන්ද? විශාකා මහත්මිය රොසෑන්ට කුළුපඟ බවක් පෙන්වන්නේ කුමක් නිසාද ?
“මැඩම් කේන්ති ගන්න එපා…”
සිතේ දහසකුත් ප්‍රශ්න පෙරළි කළද මම කීවේ විනිෆ්‍රීඩා මහත්මියගේ සිත සන්සුන්කරන අදහසිනි.
“කේන්ති එනවා මට… අපේ එකීට තමා ලැජ්ජා නැත්තේ… උඩදාගෙන එක්ක ආවා…”
“ඒ රොසෑන් කියන්නේ කවුද මැඩම්… අහස් සර් මැරිකරන්න හිටියේ එයාවද…?”
මම වචන හැසිරුවේ ප්‍රවේශමටය. අහස්ට නම් ඇයව කිසිසේත් ගැළපෙන අයෙකු නම් නොවේ.
“මැරිකරන්න… බැන්දා නම් අපේ එකා ඉවරයි…”
ඈ එසේ කියා දිගු හුස්මක් ඇද්දාය.
“අහස් ඔය ගෑණිගෙම් බේරුණේ අනූනවයෙන්… දෙවියන් වහන්සේ මගේ එකාව බේරුවා… ඔය මඟුල පංගාර්තු කරන්න හැදුවෙත් විශාකාම තමයි… මහ ලොකු කාන්තා සමිතියේ එකියක්ගේ දුවෙක්… තාත්තාටත් වටේම ගෑනු… දුව ගැන ඉතින් මොකට කියනවද… තාත්තාගේ වයසේ තාත්තාගේ යාළුවෝ එක්ක යාළුවෙන ගෑණියෙක් ගැන මොන හොඳක් කතා කරන්නද අරවින්දි…?”
“දෙවියනේ…! ඈ එවන් ගැහැණියක්ද?”
මම සිතුවෙමි.
“රොසෑන් නැටුවේ සේරම හොඳ සල්ලිකාරයෝ එක්ක… අම්මායි දුවයි දෙන්නාම එකතුවෙලා හොඳට ගැරුවා…”
මා ගත හී ගඬු නැංවුණේ පිළිකුළ නිසාය.
“විශාකා මැඩම් මේවා දන්නේ නැත්ද ඒ වෙනකොට…?”
පුදුමයෙන් මම ඇසීමි.
“මොකද නොදන්නේ… හොඳටම දන්නවා… රොසෑන් සල්ලි වලට ඕනම ජරා වැඩක් කරන ගෑණියෙක්… ගහේ කටු උල් කරන්න ඕනද… රොසෑන් අහස්ට එක පයින්ම කැමති වුණා… එකක් ලස්සන… අනික දේපල… ලස්සනට වඩා දේපල වලට කෑදර කමට තමා… ඒත් අහස් එයාට කැමතිවුණේ නැහැ… අම්මාගේ වදෙන් බේරෙන්න ටිකක් කතා බහ කරලා අකමැතියි කියලා කියන්න තමා එයා හිතන් උන්නේ… දෙන්නාට දෙන්නා මුණ ගස්වපු දවසේ ඉඳන් රොසෑන්ගෙන් කරදරේ… අරහෙ යන්න මෙහෙ යන්න… ෂොපින් කරන්න… මේ ළමයට ඒවා කරන්න කොහෙද වෙලාවක් තිබුණේ… ඒ අස්සෙත් මෙන්න ගෑණි තව උන් එක්ක නටනවාලු… අහස්ට ඕන වුණේ මේ මරාලෙන් ගැලවෙන්නනේ… කොහොම හරි අහස් දවසක් හොටෙල් එකකදි රොසෑන්ව අතටම අල්ලාගත්තා… රොසෑන්ගේ තාත්තගේ යාළුවෙක් එක්ක ඉන්නකොට…”
“මොනවා…?”
විනිෆ්‍රීඩා මහත්මියගේ මුවේ වූයේ අවඥා සහගත සිනහවකි.
“ඔය වගේ ගොඩ දේවල් එළි වුණේ ඊට පස්සේ තමා… ඔප්පු කරන්න සාක්ෂි ඕන තරම්… අහස්ව අල්ලේ නටවන්න පුළුවන් වෙයි කියලායි මෙයා හිතුවේ… පස්සේ ඉතින් වෙන වයසක මිනිහෙක් මැරි කරලා රට ගියා…”
මොනවා එවන් දෙයක්.! ඈ මේ තරමට පහත් ගැහැණියක්ද.?
“මේ හැමදේම මෙහෙම වෙලත්… විශාකා මේ හැපින්නව තාම කරේ දාගෙන ඉන්නේ ඇයි කියලායි මට හිතාගන්න බැරි…”
සුසුමක් හෙළමින් කී ඈ නිහඬ වූවාය. අහස් සමඟ රාඝව එහි පැමිණියේ අපටත් සමඟ කෑම රැඟෙනය. ඒ මොහොතේ වේලාව රාත්‍රී නවයට ආසන්න විය.
“හරි වැඩේනේ ආන්ටි වුණේ… නේද… ඔන්න අපි කෑම මෙහාට අරන් ආවා… අපි කාලා ඉමු…”
ඔහු යෝජනා කළ අතර මම ගොස් කෑම මේසය සූදානම් කරන විට ඔවුන්ද එහි පැමිණියේය. අහස් පිඟන් සෝදා මේසයට තැබුවේය. මම වතුර වීදුරු කීපයක් පුරවා තැබීමි.
“දැන් ආන්ටි මෙන්න මෙයාව බන්දලා දෙන්න කෙනෙක් බැලුවා නම් හරි… මැරි කළාමත් ඔහොම වළන් පිඟන් සෝදලා වයිෆ්ට සප් එකක් දෙන්නැතෑ…”
රාඝව කීවේ අහස් පෙන්වමිනි. ඔහු එය නැසුණා සේ මට ඉඟියෙන් කීවේ හිඳගන්නා ලෙසය. මමද අසුනක් ඇද හිඳගතිමි.
“ඕක ඉතින් මම කවදා ඉඳන්ද කියන්නේ පුතේ…”
“මාත් කීයක් කියලා බැලුවද… කොහෙද මේ මනුස්සයා කැමති වුණේ නැහැනේ…”
රාඝව දොස් පැවරුවේය.
“මං කියලා තියනවානේ… මං මැරි කරන්නේ නැහැ… මං ඒක තීරණය කරලා ඉවරයි…”
තිගැස්මෙන් මම ඔහු දෙස හිස ඔසවා බැලීමි. ඔහු බත් කටක් අනා මුවේ දමාගත්තේ හිස ඔසවා නොබලාමය. ඔහු එවන් දෙයක් කීවේ විහිළුවට නම් නොවන බව මට පැහැදිළිය. ඔහු එවන් තීරණයක් ගත්තේ රොසෑන් නිසාද.?
“එහෙම කොහොමද… උඹ ෆාදර් කෙනෙක් වෙන්නත් දැන් කල් ගියා වැඩියි… නැත්ද ආන්ටි…?”
රාඝව කීවේ උපහාසයෙනි.
“අනේ මන්දා ළමයෝ… තනියම කොහොමද මෙයා ජීවත්වෙන්නේ… වයසට ගිය කාලෙක කවුද ළඟ ඉන්නේ…?”
අහස් එවිට සිනහවක් පාමින් විනිෆ්‍රීඩා මහත්මිය දෙස බැලුවේය.
“දැන් සුදු මම්මා හිතන්නේ අපි කාව හරු මැරි කරන්න ඕන… දරුවෝ හදන්න ඕන… අපි වයසට ගිය කාලෙක අපිව බලාගන්න කවුරුහරි ළඟ තියාගන්න ඕන නිසා කියලද…?”
මුව කොණින් පෑ සිනහවකින්ද යුතුව ඔහු විමසුවේය.
“ඔයා එක්ක කතාකරලා කාටද දිනන්න පුළුවන්…”
නොසතුටු හඬකින් විනිෆ්‍රීඩා මහත්මිය කීවාය.
“කාවහරි නෙවේ… තමුන් ආදරේ කරන… තමුන්ට ආදරේ කරන කෙනෙක්ව මැරි කරපං…”
රාඝව කීය.
“කසාදයක් කියන්නේ දෙන්නෙක්ට ලිංගිකව එකතුවෙන්න කියලා නීතිමය වශයෙන් දීපු අවසරයක් විතරයි. මිනිස්සු අයාලේ යන එක නවත්තන්න ගෙනාපු නීතියක්… ඔය කඩදාසි කොලේ අත්සන් කරලා ඔය නීතිය හරියටම පිළිපදින මිනිස්සු ඉන්නවද… නැහැනේ… වරදක් නොකරන… තමන් මැරි කරපු කෙනා එක්කම සතුටින් ජීවත් වෙන මිනිස්සු හරි හිඟයි… අනික තමා… අපි මැරි කරලා… දරුවෝ හදලා… එයාලට උගන්වලා… අපිව බලාගන්න කියලා හිතාගෙනද අපි මැරි කරන්න ඕන… දරුවෝ හදන්න ඕන… මං නම් එහෙම අදහසකින් නම් කවදාවත් මැරි කරන්නේ නැහැ… දරුවෙක් හදන්නෙත් නැහැ… අනික දරුවෝ ගැන වුණත් එහෙම අපිට බලාපොරොත්තු තියන් ජීවත්වෙන්න පුළුවන්ද… මේ කොළඹ අවටම කොච්චර ඉන්නවද එහෙම දරුවෝ ඉඳලත් තනිවුණ මිනිස්සු… ළමයි පිටරට… ලේලිලා බෑණලා සළකන්නේ නැහැ… කවුද ඒ මිනිස්සු ළඟ ඉන්නේ… ගෙදර සර්වන්ට්ලා… නැත්ද…”
විනිෆ්‍රීඩා මහත්මිය දිගු හුස්මක් ඇද්දාය. ඇයද තනිවුණ අයෙකුය. අහස් හෝ නොසිටියා නම් ඇයටද කිසිවෙකු නැහැ නොවේද කියා මම සිතුවෙමි.
“හැමකෙනාටම ඔහොම අත්දැකීම්ම් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ ළමයෝ…”
නොසතුටු හඬකින් ඈ කීවේ අහස් විවාහයක් නොකරගෙනම හිඳීවි යැයි බියකින් මෙනි.
-හෙටත් හමුවෙමු-