රත් දෝතළු – 59
විහඟ මේ දින කීපයේම සිටියේ නිවසේමය. මම හැකිතාක් ඔහු මඟහැර සිටීමට උත්සාහ කළෙමි. කුමක් හෝ කියාගෙන ඔහු මා සොයා පැමිණෙන විට විනිෆ්‍රීඩා මහත්මිය කීවේ ඒ ළමයාට පාඩුවේ ඉන්න දෙන්නැයි කියා වුවද ඔහු එය කනකට ගත් බවක් හෝ නොපෙනිණි.
“ඔයා මොකක්ද අරවින්දි පාර්ටි එකට අඳින්නේ…?”
දිවා ආහාර සකසමින් සිටින විට ඔහු මා සමීපයට විත් ඇසුවේ විනිෆ්‍රීඩා මහත්මිය අසලක නොමැති බව දැනය.
“ඔය තියන එකක් අඳිනවා සර්… මං මොකක් ඇන්දාම මොකද…”
මම කීවේ නොසැළකිලිමත් ලෙසය. මා දැනටමත් එයට සහභාගී නොවන්නට සිතා සිටියේ විශාකා මහත්මියගේ දෝෂාරෝපණෙයෙන් තුවාල වූ මා සිත තවමත් සුවපත් වී නොතිබූ නිසාය.
“එහෙම හොඳ නැහැනේ ළමයෝ…”
විහඟ කීවේ මවාගත් හඬකිනි.
“මොකක්ද හොඳ නැත්තේ සර්… බර්ත් ඩේ එක මගේ නෙවේනේ… සර්ගේනේ…”
“ඒ වුණාට ඔයත් ලස්සනට ඉන්න එපැයි…”
“කොහොමත් හොඳ ඇඳුමක් තමා අඳින්නේ… නැත්නම් මැඩම්ට හොඳ නැහැනේ…”
උපහාසයෙන් මම කීවෙමි.
“ඔයත් හොඳට හින්ට් ගහන්න දන්නවා නේද…?”
“හින්ට් නෙවේ… මං ඇත්තනේ කිව්වේ… හිඟන්නෝ වගේ පාර්ටිවලට යන්නේ නැහැනේ කොහොමත්…”
“මං කිව්වේ එහෙම අදහසකින් නෙවේ… ඔයා ලස්සනට ඉන්නවනේ… මොකක් ඇන්දත් ඔයාට ලස්සනට තියෙයි…”
“විහඟ සර් මාව අන්දන්න හදනවද…?”
“හිතන්නේම වැරදියටනේ…”
“හරි දෙයක් කියලාම නැහැනේ… ඒකයි…”
“හරි…හරි… ඒකෙන් කමක් නැහැ… ඔයා මොනවද මට දෙන්නේ…?”
“මම…?”
“ඔව්… ඔයා තමා…”
“අනේ මන්දා සර්… මං මොනවා දෙන්නද… සුබ පතනවා ඇරෙන්න…”
“ඒකවත් ඉතින් හරියට කළායැ…”
එහි අරුත වටහාගන්නට බැරිව මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.
“ඒ කිව්වේ…?”
“නිකන්ම හැපි බර්ත් ඩේ කිව්වා විතරනේ…”
“ඉතින් ඒ මදිද…?”
“හග් කරලා… කිස් එකෙක් දීලා එපැයි විශ් කරන්න…”
මම තිගැස්සී ගියෙමි. ඒ ඔහු විහිළුවට කියූ කතාවක් නොවේ.
“ඒවා පාර්ටි එක දාට ඕන තරම් ලැබෙයිනේ සර්…”
පිළිකුල් හැඟීමකින් මම කීවෙමි. ඔහුට වුවමනා මා ලව්වා එවැනි දෙයක් කරගැනීමටද.? ඔහු නම් කවදාවත් හැදෙන අයෙකු නම් නොවේ.
————————————————————————————————————————————————————-
විවිධ වර්ණ වලින් යුත් විදුලි බුබුළුවලින් මුළු ගෙවුයනම ආලෝකවත්ව තිබිණි. කුඩා සාදයක් යැයි කීවද මෙය එසේ බවක් නොපෙණිනි. ගෙවුයන පුරා තැනින් තැන සිටුවා තුබූ විසල් කුඩ යට හිඳගෙන පැමිණි අමුත්තන් සතුටු සාමිචියේය. පැමිණි බොහෝ දෙනෙකු විහඟගේ සම වයසේ අයය. මාත් විනිෆ්‍රීඩා මහත්මියත් තාප්පය අයිනේම වූ අසුන් පෙළක් තෝරාගෙන අසුන්ගතිමු. අනෙක් පසට පිවිසීමට තිබූ කුඩා ගේට්ටුවද වූයේ අප හිඳ සිටි තැනමය. වැඩි වෙලාවක් මෙහි රැඳී සිටීමේ අරමුණක් විනිෆ්‍රීඩා මහත්මියට නොමැති බව ඈ පැවසුවේ ඒමට පෙරමය.
“නොයා හිටියොත් හොඳ නැහැ නේ… මං මේ ඒකමයි මූණ පෙන්නලා එන්න හදන්නේ… අපි ඉක්මනට එමු…”
ඈ කීවාය. මමද එක පයින්ම එම අදහසට එකඟවූයෙමි.
“ඉස්සර නම් ඉතින් හැමදාම මේ ගෙදර පාර්ටි තිබුණා…”
පසුබිමින් ඇසෙන සංගීතයෙන් සවන් මුදවා ගනිමින් මම විනිෆ්‍රීඩා මහත්මිය කී දෙයට සවන් දුනිමි. ඇයට සැමියා සිහිවූවා වන්නට ඇත.
“දැන් තියෙන්නේ පාර්ටි නෙවේනේ… ඩ්‍රින්ක්ස් අරන් නටන ජෝගි…”
අප්‍රසාදයෙන් ඈ කීවාය.
“ඒක් නම් ඇත්ත මැඩම්…”
ගමේ පැවැත්වෙන එවන් සාද කීපයක් මාද දැක තිබුණෙමි. තරුණියන් පැමිණෙන්නේ නැතැයි කීවද පැමිණි අයගෙන් බොහෝමයක්ම තරුණියන් බව පෙනිණි. ඔවුන් ඔහුට සුබ පතමින් සිප වැළඳගනු මා දෑසට හසු විය. විශාකා මහත්මියද පැමිණ ඇති බව මා නෙත ගැටුණේ ඒ මොහොතේදීය. ඈ නුදුරු අසුනක හිඳගෙන කිහිප දෙනෙකු හා සතුටු සමාගමේය. ඈ දුටු මතින් මා සිත පසුබා ගියේ මා දුටුවෝතින් ඈ කුමක් කියනු ඇතිදැයි සිතුවිල්ලක් සිතේ උපන් නිසාය. නොපැමිණ සිටියා නම් හොඳයැයි කියා මට ඒ අතරේ සිතිණි. විනිෆ්‍රීඩා මහත්මිය දුටු කිහිප දෙනෙකු විත් ඇය සමඟ කතාබස් කර ඉවතට ගියේය. අහස් අප සිටි දෙසට පැමිණියේ ඔහුගේ මිතුරකු සමඟය.
“හෙලෝ… ආන්ටි… කොහොමද…?”
ඔහු ඈ පසෙකම වූ අසුනේ හිඳගනිමින් විමසුවේ මා දෙසට බැල්මක් හෙළමිනි. අහස් මා පසෙක හිඳගත්තේය.
“අපි හොඳින් ළමයෝ… ඔයා මෙහෙ ආවෙත් නැහැ කාලෙකින්…”
“එන්න කෝ වෙලාවක්… මේ මනුස්සයාගේ වැඩත් මට කරන්න වෙලා…”
ඔහු කීවේ අහස් පෙන්නමිනි. ඔහුද අහස් සමඟ කාර්යාලයේ සිටින අයෙකු යැයි කියා මම අනුමානකළෙමි.
“අද ඉතින් පාර්ටිය නිසාම නිවාඩුවක් ගන්න ඇති…”
විනිෆ්‍රීඩා මහත්මිය ඇනුම්පදයක් එල්ල කළාය.
“ආන්ටිත් දෙනවා නේද හොඳ ටෝක්… ඒක නෙවේ… මේ අරවින්දි නේද…?”
ඔහු මා පෙන්වමින් අසනවිට මට බැලුණේ අහස් දෙසය. ඔහු මේ කතාබහට සවන් දෙන පාටක් පෙනෙන්නට නොවීය.
“ඔව්… මේ අරවින්දි…”
ඈ මා හඳුන්වාදෙමින් කීවාය.
“මේ රාඝව… අපේ අහස්ගේ හොඳම යාළුවා…”
“අහස් කියනවා… අරවින්දි ගැන… ඔයා හොඳට ආන්ටිව බලාගන්නවාලු…”
එය පැසසුමකි.මම මඳහසක් පෑවෙමි. පසුබිමින් නික්මෙන සංගීත නාදයට අනුව පැමිණ සිටි කිහිප දෙනෙකු රිද්මයට නැටුම් පටන් ගත් අතර මා දෑස් ඒ වෙත යොමු වූයේ විනිෆ්‍රීඩා මහත්මියත් රාඝවත් කතාබහක නිරතවන අතරය. සේවකයකු පැමිණ අප මේසය මත කටගැස්ම තසිම් කීපයක් තබා ඉවත ගියේය.
“දැන් කවදා ඉඳන්ද අරවින්දිගේ පාර්ට් ටයිම් ජොබ් එක පටන් ගන්නේ අහස්…?”
ඒ අතරේ රාඝව අසන විට අහස් එක්වරම බැලුවේ මා දෙසය.
“ඉක්මනටම…”
ඔහු කීය. විහඟ අප අතරට පැමිණ මොහොතක් කතාබහ කර වහා වෙනතක ගියේ බොහෝ කාර්යබහුල බවක් පෙන්වමිනි. විශාකා මහත්මිය අප සිටි දෙසට එනු දැක මසිත ගැස්සිණි.
“ඕහ්… ෂිට්… ආන්ටි…”
රාඝවගේ මුවින් නික්මෙනු ඇසී මට බැලුණේ විනිෆ්‍රීඩා මහත්මිය දෙසය.
“රොසෑන්…”
විනිෆ්‍රීඩා මහත්මියගේ මුවින් පිට වූ අතර මම තිගැස්මෙන් බැලුවේ විශාකා මහත්මිය සමඟ සිටි යුවතිය දෙසය. පසුව අහස් දෙසය. ඔහු හිස ඔසවා ඈ දෙස බැලුවේ ගිනිදළු පිටවන බැල්මකිනි. කුමක් හෝ අමිහිරි වාතාවරණයක් මෙහි පැන නගිනු ඇතැයි කියා මා සිතේ බියක් ඇති විය. එකත් එකටම ඇයට ආරාධනා කරන්නට ඇත්තේ නම් විශාකා මහත්මිය වන්නට ඇත. මම වුවමනාවෙන් රොසෑන් දෙස බැලීමි. උසට සරිළන ඇඟ පසඟින් යුත් ඈ පියකරු පෙනුමකින් යුත් වුවද දුටු මතින්ම ඈ මගේ නම් සිත් ගත්තේ නැත. ඈ කෙරෙන් පළවූයේ සරාගී බවකි. ඒ ඈ හැඳ සිටි විනිවිද පෙනෙන සුලු කළු පැහැති කෙටි ගවුම නිසාද නැතිනම් එය ඇගේ සිරුරෙන්ම විහිදෙන නිසාද කියා මට සිතා ගන්නට නොහැකිවිය.
“පුතා… මේ බලන්නකෝ… කවුද ඇවිත් තියෙන්නේ කියලා…”
විශාකා මහත්මිය අහස් අමතා කීය.
“හායි… අහස්… හායි ආන්ටි…”
විනිෆ්‍රීඩා මහත්මිය නොසතුටු මුහුණ ඉවතට හරවාගත් අතර අහස් කෝපයෙන් නැඟී සිටින විට මා සිත අලුතින් තැති ගැණිනි.
-හෙටත් හමුවෙමු-