රත් දෝතළු – 55
අම්මා කියූ දෙයට නිර්මාණි කුමක් කියනු ඇතිද කියා මම බලාසිටියෙමි. මා කරන රැකියාව පිළිබඳව ඔවුන් තවම කිසිත් නොදනියි. නිවසක රැකියාව කරන බවක් කීවා නම් අම්මා අකමැති වනු ඇතිවා පමණක් නොව මාව නැවත නොයවන්නටද ඉඩ ඇත.
“ඕවා නම් මොනවද නැන්දේ… අපි ඉතින් පොඩි කාලේ ඉඳලාම යාළුවෝනේ… නැත්ද අරවින්දි…”
ඈ එසේ කියා මගේ අතක් කෙනිත්තුවේ රිදෙන්නටමය. මට කෑ ගැසිණි.
“මේ වෙලේ හැටියට නම් ඒකත් ලොකු දෙයක් දුවේ…”
අම්මා එසේ කියා ගෙතුළට ගියේ අපට කතා බස් කිරීමට ඉඩහැරය.
“අම්මට බොරුවක් කරලා මං කළේ වැරැද්දක්ද නිරූ…?”
ඈ යන දෙස බලා මම ඇසුවේ සිතේ උපන් ශෝකයෙනි.
“මොකක්ද ඔයා කරපු බොරුව… ෆැක්ට්‍රියක වැඩ කරනවා කියපු එකද…? ගෙදරක වැඩ කරනවා කියපු ගමන් එයාලා හිතන්නේ කුස්සියේ වැඩ කියලා… වළං පිඟන් හෝදනවා කියලා… ඒක මදි පුංචිකමක් විදියට හිතන්නේ… ඒ මේ රටේ නිසා… ඔයා කිව්වා වගේම ඕක පිටරට ගිහින් කළා නම්… ඒක මරු… එහෙ ගිහින් අපේ ගෑණු මැරිලා, මැරිලා මොනතරම් දුක් කන්දරාවක් විඳිනවද සල්ලි හොයන්න… කිසිම ආරක්ෂාවකුත් නැහැනේ… එහෙම බලනකොට අරවින්දි… ඒ මිනිස්සු මාරම හොඳයිනේ… අපි වරදක් නොකර හම්බ කරනවා නම් කාටවත් මොකද අපේ රස්සාව… මුලින්ම නැතිකරගන්න ඕන අපි හිතන විදිය… ඒකයි වැරැද්ද… ඔච්චරම ගිල්ටි වගේ නම්… අම්මට ඇත්තම කියන්න… ඉවරනේ… ඊට පස්සේ එයාලා අකමැති නම් අපි හිමින් වෙන ජොබ් එකක් බලමු…”
තිගැස්සුණු බැල්මෙන් මම නිර්මාණි දෙස බැලීමි.
“පිස්සුද… මට බැහැ මැඩම්ව දාලා යන්න…”
මම වහා කීවෙමි.
“මැඩම්වද… අහස් සර්වද…?”
නිර්මාණි එසේ කියා සිනහසෙන විට මම නොසතුටෙන් ඈ දෙස බැලීමි.
“පිස්සූ…”
හිස ගස්සමින් මම කීවෙමි.
“ඔව්…ඔව්… පිස්සු කියලා මටත් පේනවා… හරි… ඒක නෙවේ… දැන් කීපාරක් කෝල් කළාද ඔයාගේ ප්‍රින්ස් අහස්…?”
“මගේ මොකා…?”
“අහස් කුමාරයා…”
“විකාරද… ආවටම එක පාරක් කෝල් කළා… ආවා කියන්න…”
“එහෙනම් අද කතාකරයි…”
“ආහ්… දිවැස් කියන්නත් දන්නවද… මං මේ හෙන අවුළෙන් ඉන්නේ…”
“ඇයි ඒ… අහස් කතා කළේ නැති නිසාද… අවුල ලිහෙයි… කෝල් කළා නම්…”
මම ඇගේ උරමතට පහරක් ගැසීමි.
“විකාරද…?”
නොමනාපයෙන් මම කීවෙමි.
“හරි…හරි… මොකෝ අවුල…?”
ඈ යළිත් මා විමසුවාය. මා මුවින් සුසුමක් ගිළිහිණි.
“අවුල අම්මාලාට බොරුවක් කියන්න වුණ එකද…?”
නිර්මාණි යළිත් අසන්නට ඇත්තේ මා පිළිතුරක් නොදුන් නිසා වන්නට ඇත. මම හිස සැළීමි.
“පිස්සු… විකාර හිතන්න එපා… ඔයා වැරදි දෙයක් කරනවා නෙවේනේ… ඔයාට ඕක වැරැද්දක් වගේ දැනෙනවා නම් මට කොහොම දැනෙනවා ඇතිද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද…?”
ඇගේ හඬේ වූ ශෝකය මුසු බව මා සිතේ ඇති කළේ තිගැස්මකි. මට එය සිහි නොවීම අරුමයකි.
“අනේ… සොරි නිරූ…”
පසුතැවිළි හඬකින් මම කීවෙමි. දිගු සුසුමක් හෙළූ ඈ වුවමනාවෙන් මදෙස බැලුවාය. කුමක් හෝ තවත් යමක් කීමට ඇති බවක් ඇගේ මුහුණින් මට පෙනී ගියේය.
“ඇයි නිරූ… මොකෝ…?”
ඇගේ මුහුණේ හැඟීම් කියවන්නට උත්සාහ දරමින් මම ඇසීමි.
“මට ඔයාට දෙයක් කියන්න තියනවා…”
මා සිතේ ඇතිවූයේ දැඩි කුහුළකි.
“මොකක්ද නිරූ…?”
“අපේ අම්මලා මට ප්‍රොපෝසල් එකක් ගෙනත්…”
එය නම් තරමක අසීරු සහගත ප්‍රශ්නයකි.
“නෑ… ඉතින්…?”
“නිවාඩු දාලා ගෙදර ආවේ නිදහසේ ඉන්න… මේ මනුස්සයා අද හෙට ගෙදර එනවලු…”
“මොකක්… කවද්ද…?”
“හෙටම එන්නත් බැරි නැහැ… මං දන්නේ නැහැ මං මොනවද කරන්නේ කියලා… අපේ අම්මලාටත් පිස්සු… මෙහෙම දෙයක් දන්නවා නම් මං ගෙදර එන්නේත් නැහැ…”
“ප්‍රශ්න වලින් පැනලා යන්න බැහැ නිරූ…”
ඈ මා දෙස බැලුවේ උපහාසය මුසු සිනහවක් මුව කොණේ නංවාගෙනය.
“මං කවදාවත් ප්‍රශ්න වලින් පැනලා ගිය කෙල්ලෙක් නෙවේ අරවින්දි… එහෙම පැනලා ගියා නම් ගඟක මුහුදක හරි… රේල් පාරක හරි… නැත්නම් ගහක අත්තකින් හරි කෙළවර වෙන්න තිබ්බා…”
ඈ වෙන මොහොතක මෙවන් දෙයක් කීවා නම් මට සිනහ නැඟෙනු නොඅනුමානය. නමුත් මේ එවන් මොහොතක් නොවේ. මම ඇගේ අතක් දැඩිව අල්ලාගතිමි.
“ඔව්… මට ඒක හිතාගන්න බැරි කමක් නැහැ… ඒත් දැන් කරන්න නම් තියෙන්නේ එක දෙයයි…”
ඈ ඒ කුමක්දැයි විමසන දෑසින් මදෙස බලා සිටියාය.
“ඔය එන කෙනාට එන්න කියන්න… හෙට කසාඳ බඳින්න නෙවේනේ එන්න කියන්නේ… ඊට පස්සේ අම්මලාට කියන්න හිතලා බලලා කියන්නම් කියලා… ගිහින් කෝල් එකක් දෙන්න කැමති නැහැ කියලා… මොකද එයාලා ඔයාව කුදලන් ඇවිත් බන්දන්න යන්නේ නැහැනේ…”
එවර ඈ මුවට නැඟුනේ සැහැල්ලු සිනහවකි.
“අම්මෝ… බං… මට දහ අතේ හිතලවත් ඕක කල්පනා වුණේ නැහැනේ… උඹේ මොළේ තමා මොළේ…”
“ඒකට තමා අපි ඉන්න ඕන කියන්නේ… ඒක නෙවේ… සංජීව් දන්නවද මේ ගැන…?”
“නැහැ අනේ… මං කිව්වේ නැහැ… එයාව මැරිකළේ නැතත්… මං ඒ මනුස්සයාට ආදරෙයි අරවින්දි… මං ගැහැණියක් වුණේ සංජීව් නිසා…”
ඈ සුසුමක් හෙළුවේ සහනයෙන්ද ශෝකය නිසාද කියා මට සිතා ගත නොහැකි විය.
“එයත් ඔයාට ආදරෙයි…”
“ඔව්… එයා මාව පුදුම විදියට පරිස්සම් කරනවා… කොච්චරවත් මට කියන්නේ රස්සාවෙන් අයින් වෙන්න කියලා… එයා වියදම් දෙන්නම් කියලා… එහෙම ඉල්ලන්න පුළුවන්ද… අනික හැමදේටම කොහොමද ඒ මනුස්සයාගෙන් සල්ලි ඉල්ලන්නේ… ගෙදර වියදම් දරන්නෙත් මං… නංගියි මල්ලියි තාම ඉගෙන ගන්නවා…”
“ඔයා ඔය ගැන සංජීව්ට කියලා තිබ්බොත් තමා හොඳ…”
“දැන් ඕක කියන්න ගියොත් කියයි… දැන්ම කොළඹ එන්න කියලා…”
යළිත් ඇතිකරගත් සැහැල්ලු හඬකින් ඈ කීවාය. සංජීව් ඇයව විවාහකරගත්තා නම් කොතරම් අපුරුද කියා ඒ අතරේ මම සිතුවෙමි.
————————————————————————————————————————————————————-
දින කීපයක නිවාඩුවෙන් පසුව මම යළි විනීෆ්‍රීඩා මහත්මියගේ නිවසට පැමිණියේ සති අන්තයේය. නිර්මාණිද මා සමඟම පැමිණිය නිසා මා සිතට සහනයක් විය. මා තවමත් මෙහි මංමාවත් හඳුන්නනේ නැත.
“කැලෑ මල නැතුව අපි හරි පාළුවෙන් හිටියේ… නේද සුදු මම්මා…?”
විහඟ එසේ කීවේ අම්මා විසින් සාදා දුන් පැණි අලුවා කැබැල්ලක් සපමිනි. මම තේ සාදා ඔවුන් දෙදෙනාට පිළිගැන්වූයෙමි.
“අපි කිව්වේ කාටද චූටි පුතා… මට නම් එහෙම පාළුවක් දැනුණේ නැහැ… ඔයාට එහෙම දැනුණද…?”
මා මුවට නැඟි සිනහව මම ආයාසයෙන් සඟවාගෙන සිටියෙමි. විහඟගේ මුහුණ ඇදව ගියේ බලා සිටියදීමය.
“අන්න… අන්න… සුදු මම්මා බොරු කියනවා… කොයි වෙලෙත් කිය කියා හිටියේ අරවින්දි නැතුව පාළුයි කිය කියා… හා නැත්ද…?”
විනිෆ්‍රීඩා මහත්මිය මවෙත හැරී ඇසක් ඉඟි කළාය.
“අලුවා නම් හරිම රසයි අරවින්දි… කවුද අම්මද හැදුවේ…?”
“ඔව්, මැඩම්…”
“අද නම් දෙයියනේ කියලා කටට රහට බත් කටක් කෑවෑකි… ශීලගේ කෑම කාලා එපා වෙලා හිටියේ…”
අහස් පැමිණියේ ඒ මොහොතේදීමය. ඔහු දුටු මතින් මසිත ගැස්සුණේ මන්දැයි කියා මම පුදුම වීමි.
“ආහ්… අරවින්දි කොයි වෙලේද ආවේ…?”
ඔහු අසන්නට ඇත්තේ නිකමටය. මා පැමිණෙන විටත්, පැමිණි පසුවත් ඔහුට කෙටි පණිවිඩයකින් ඒ බව දන්වා යැවූවෙමි.
“හවස ආවේ සර්… හතරට විතර…”
මම කීවෙමි.
“ආහ්… අද බිග් බ්‍රෝ කලින්ම ආවේ කැලෑ මල ආවා කියලා දැනගෙන නේද…?”
අසුනක් ඇද අහස් හිඳගත්තේ විහඟට රවමිනි. මමද ඔහු දෙස බැලුවේ රැවුමක් පා කරමිනි. ඔහුගේ කට නම් වුවමනාවටත් වඩා වැඩිය.
-හෙටත් හමුවෙමු-