රත් දෝතළු – 22
මා කතා කරන හඬ ඔහුට නොඇසුණා විය යුතු යැයි කියා මම සිතුවද, ඔහු හිස නොඔසවාම මට ඇතුළට එන්නැයි පැවසුවේ මුවින් නොව ඉඟියෙනි. මම ඔහු ඉදිරියට ගොස් හිට ගන්නා විටත් ඔහු අත දිගුකර අසුන් ගන්නැයි පැවසුවේද පෙර ඉරියව්වෙන්ම අතිනි.
“ගොළුවෙක්ද කොහෙද…?”
මම මටම කියාගත්තේ නොසතුටෙනි. මට එහි හිඳගෙන ඔහු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට වුවමනාවක් නොමැති බැවින් මම සිටියේ සිටගෙනමය. මා එනතුරු ත්‍රී රෝද රියද නවතාගෙන බලා සිටී. ඔහු නම් මහා ආඩම්බරකාරයෙකු යැයි කියා මට සිතිණි.
“නළුවෙක් නිසා වෙන්නැති…”
මම යළිත් සිතුවේ නොමනාපයක් සිතේ හටගත් බැවිනි. ඔහු තවමත් හිස එසෙව්වේ නැත. සිය කාර්යයේ නිරතව සිටින්නේ කිසිවෙකු පැමිණි බව හෝ නොතකාය. පෙරදින මා හා කතා බහ කළ කාන්තාව මොහුගේ අම්මා නම් මට ඈ හමු වී පසුම්බිය දී යෑමට තිබිණි. නමුත් මට ඇයගේ නම හෝ අසාගන්නට අමත විය. මේ ආඩම්බරකාරයාගේ රැස් බලමින් මම මෙහි පමා විය යුතු නැත.
“වාඩිවෙන්න…”
මා තවමත් සිටගෙන සිටි නිසාදෝ හෙතෙම පැවසුවේ ගැඹුරු හඬකිනි. මම තිගැස්මෙන් එයට අවනත වූයේ වෙන කළ හැකි යමක් නොවූ බැවිනි. අසුන සෙමෙන් පිටුපසට අදිමින් මම එහි හිඳගතිමි. ඔහු තවමත් සිය කාර්යයේ නිරතව සිටින විට මම නොසන්සුන් සිතින් වට පිට බලන්නට වූයෙමි. තරමක විශාල කාමරයක් වූ එහි බඩු භාණ්ඩ එතරම් නොවීය. ඔහු හිඳ සිටි මේසයට අමතරව තව කුඩා මේසයකුත් ලිපි ගොනු ඇසිරූ වීදුරු සහිත වානේ අල්මාරියකුත් පුටු කීපයකුත් හැරුණු කොට වෙනත් කිසිත් නොවීය. මෙය කාර්යාල කාමරය ලෙස භාවිතයට ගන්නක් බව මට වැටහිණි.
“ඉතින්…”
ඔහුගේ ගැඹුරු හඬ යළිත් සවන් වැකීමෙන් තිගැස්සී ගිය මා වහා ගෙළ හරවා ඔහු දෙස ඍජුව බැලුවේත් ලිපි ගොනුව වසා ඔහු මා දෙස බැලුවේත් එක වරමය. මා සිතේ අලුත් තිගැස්මක් ඇති වූයේ ඒ මුහුණ දුටු සැනිණි. මනා කඩවසම් බවකින් යුත් මොහු නම් ඉපිද ඇත්තේම රංගන ශිල්පියෙක් වීමටම විය යුතුයැයි කියා මට නොසිතා බැරි විය. මගේ විෂයෙහිලා මම එතරම් පිරිමින් හමු වී නොතිබුණෙමි. මොහු නම් කඩවසම් බවින් හිණි පෙත්තේම සිටින්නෙකි. නිර්මාණි මුව හයා බලා සිටීමේ වරදක් නැත. දිගැටි මුහුණත් ඝනැති කළු දෙබැමත් තද දුඹුරු වන් දෑසත් කියා පෑවේ ඔහු නම් මහා ආඩම්බරකාරයෙකු බවය. හැඳුනුම්පතේ සිටින කේඩෑරි ගැටවරයාත් මා ඉදිරියේ හිඳ සිටින මුහුණේ සිනහා පොදක් වත් නැති මේ ආඩම්බරකාරයාත් අතර ඇත්තේ අහසට පොළව තරම් පරස්පර බවකි. එම ඡායාරූපය සිහිවී මා මුවට නැඟෙන්නට ගිය සිනහව වහා වියැකී ගියේ ඒ නපුරු මුහුණ නිසාය. ඒ කඩවසම් රුව ඉදිරියේ මා සිත දියාරු වී යන්නාක් මෙන් මට දැනී සිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඉහිරී ගියේය.
“ම…ම… ආවේ…”
හඬ අවදි කරමින් මම කීවේ කුඩා අත් බෑගයේ දමාගෙන සිටි පසුම්බිය එළියට ගන්නට සැරසෙමිනි.
“කොහේ ඉඳන්ද ආවේ…?”
මට කීමට ඉඩ නොදී බාධා කළ ඔහු විමසීය.
“ගෙදර ඉඳන්…”
දෙවරක් නොසිතාම මම කීවේ ඔහු දෙස යළිත් බලමිනි. ඒ දෑසේ ඇති වූයේ නෙරවීමකි.
“ගෙදර නැතුව…”
කෝපය මුසුව මෙන් ඔහු කියන්නට ගිය දේ නොකියා වහා නිහඬ විය.
“කොහෙද ගෙවල්…?”
ඔහු එසේ අසන්නේ මා ඔහුගේ නැති වුණු පසුම්බිය සොයා ගෙන ආ නිසා හිතවත් කමට වන්නට ඇතැයි සිතූ මම ගමේ නම කීවෙමි.
“එච්චර දුර ඉඳන්….”
“න්න්… නැහැ… මං ඉන්නේ කොල්ලුපිටියේ… එහෙදි තමා…”
“හරි… හරි… මීට කලින් කොහෙද හිටියේ…”
“ගෙදර…”
“හරි… කලින් ජොබ් එක කළේ කොහෙද…?”
එය මට අපහැදිළිය. නැති වූ පසුම්බියත් මා කළ රැකියාවත් අතර ඇති සම්බන්ධය කුමක්ද? මා ගැට කපන්නියක සේ ඔහු සිතුවාද කියා සිතන විට මම වෙව්ළා ගියෙමි.
“ම..ම…”
මට ගොත ගැසිණි. මට කතාකිරීමට ඉඩ නොදී ඔහු දිගටම කතාකරන්නට විය.
“හරි… මෙහෙමයි… ඔයා වැඩ කරනවා නම් නැවතිලා තමා වැඩකරන්න වෙන්නේ… වැඩක් කිව්වට කරන්න ඒ තරම් ලොකු දෙයක් නැහැ… සුදු මම්මාගේ තනියට ළඟ ඉන්නයි එයා එක්ක කතා කර කර ඉන්න එකයි තමා මූලිකම දේ… ඊට අමතරව එයාව පොඩ්ඩක් ඇවිද්දවන්න ඕන….”
ඔහු නොනවත්වා කතාකරගෙන යන්නට වන විට මම අන්දුන් කුන්දුන් වූ සෙයින් බලා සිටියෙමි. මගේ උගුර කට පවා වියළී ගිය සෙයකි. මා කතා කිරීමට යන විට ඔහු මා නිහඬ කරවමින් දිගටම කතාකරන්නට විය.
“කකුල් කැක්කුම වැඩි වුණ දාට සුදු මම්මා ඇඳෙන් බහින්නවත් කැමති නැහැ… ඒ දවස්වලට එයාට කෑම එක ළඟට ගෙනිහින් දෙන්න ඕන… ඒ වගේ දවස් වලට එයා ටිකක් සැරයි… කෑ ගහනවා… ඒත් ඒවා ඉවසන් ඉන්න වෙනවා… නැතිනම් එයා හරිම හොඳයි… විහිළුවෙන් තහළුවෙන් තමා ඉන්නේ… රෙදි සෝදන්න… ගෙදර අනික් වැඩ වලට වෙනම කෙනෙක් ඉන්නවා… හැබැයි මේ ටිකේ එයත් නිවාඩු ගිහින්…”
මා සුදානම් වූයේ මා මෙහි පැමිණියේ රැකියාවක් සොයාගෙන නොවන බව ඔහුට කීමටය. ඒ සමඟම මට සිහි වූයේ මාද රැකියාවක් සොයමින් සිටින බවය. එය එසේ මුත් මෙවන් රැකියාවක් පිළිබඳව නම් මම සිහිනෙන් හෝ සිතා නොතිබුණෙමි. හදිසියේ හිස මතට කඩාපාත් වන්නට යන්නේ මොන කුළුගෙඩියක්ද කියා සිතමින් මම යළිත් මුව විවර කළෙමි.
“ම..ම… මේ…”
“හරි… මං දන්නවා… ඔයා අහන්න ගියේ සැලරි එකනේ… මුල් මාස කීපයේ අපි තිස් දාහක් ගෙවනවා… කෑම බීම… අනෙකුත් අවශ්‍යතා… බෙහෙත්… හැමදේම එක්ක… හැබැයි ඉතින් පුළුවන් තරම් ලෙඩ නොවී ඉන්න බලාගන්න ඕන… ඔයා.අසනීප වුණොත් ඔයාව බලාගන්න තව කාවහරි වැඩට ගන්න වෙනවා…”
ඔහු පැවසුවේ විහිළුවට නම් නොවේ. යම් තරමක අවධාරණයකින් යුතුවය. මා සිටියේ වික්ෂිප්තවය. ඔහු සිටින්නේ වැරදි අවබෝධයක බව පැවසීමට ඔහු මට ඉඩ නොදුන්නේය. හීන් දාඩිය නළල පුරා නැඟුණේ මාසික වේතනය ගැන කිව් මොහොතේය. මා වැන්නෙකුට නම් එය විශාල මුදලකි. රැකියාව පිළිබඳව කැමැත්තක් මා සිතේ ඇති වීම අරුමයක් නොවේ. කෑම බීම සමඟ මෙවන් රැකියාවක් ලැබේනම් ඉඩමේ උකස මාස කීපයකින්ම ගෙවා දැමිය හැකිය. නමුත් ඊට පෙර මා පැමිණි කාරණය ඔහුට පැවසිය යුතුය.
“සර්… මම ආවේ ජොබ් එකක් හොයන් නෙවේ… ඒත්…”
එවර මම වහා කීවේ ඔහු තව දුරටත් කතාව කරගෙන යනු ඇතැයි කියා සිතාය. ඔහු කතා කළා මිස මට කතා කරන්නට අවස්ථාවක් නොදුන්නේය.
“වට්…?”
ඔහුගේ දෑස් නළලත මත රැඳුණු අතර විසල් කර ගත් දෑසින් මා දෙස හෙළුවේ කෝප දීප්ත බැලමකි. ඒ නපුරු බැල්මට මා සිතේ උපන්නේ බියකි.
-හෙටත් හමුවෙමු-