NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 52

Tharu Mal Viyan තරු මල් වියන් – 52

-

spot_img

Tharu Mal Viyan තරු මල් වියන්

ශාමින්ද ලංකාවට පැමිණියේ හුදෙක් අංජලී සොයා ගන්නට මිස වෙනත් කාරණයක් නිසා නොවේ. නිවැසියන්ට පවා නොදන්වා පැමිණි මේ ගමනින් ඔවුන් පවා මවිතයට පත් වූහ. ගයානි සිතේ නම් සියුම් සැකයක් ඉපදුණේ සොයුරා මෙවර පැමිණියේ නම් විශේෂ අරමුණක් ඇතිව බව සිතුණු බැවිනි. එකත් එකටම ඔහු පැමිණියේ අංජලී සොයා බවට සැකයක් නැත. මවිපියන් ඉදිරියේ ඇයට ප්‍රශ්න අසන්නට නොහැකි නිසා ඈ නිහඬව සිටියාය.

“පුතා එනවා කියලා කිව්වෙවත් නැහැනේ…”

අප්පච්චී කීවේ සතුටක් දැනුණත් එය සඟවාගෙන බව ගයානි වටහා ගත්තාය.

“මොකුත් ආරංචියක් නැත්ද…?”

අප්පච්චීත් මවත් ගෙතුළට යන තුරු සිටි ශාමින්ද වහා ඇසුවේ ගයානිගෙනි. ඒ කුමක්ද කියා අසන්නට වුවමනා නැත. ඈ දැන සිටියාය. ඔහු පැමිණියේ ඒ නිසාය.

“නැහැ…දන්නේ නැහැ කොහේ ඉන්නවද කියලා…”

එවර ගයානිගේ දෑසට කඳුළක් නැඟිණි. ශාමින්ද ඇයව ළඟට ඇද සිය පපුවට තුරුළු කරගෙන හිස පිරිමැද්දේය.

“අපි කොහොම හරි හොයාගමු…මං ආවෙත් ඒ නිසාමයි…මීට කළින් එන්න පුළුවන් වුණා නම් මං මේ වෙනකොට හරි අංජලීව හොයාගෙන…”

සොයුරාගේ උණුසුමෙන් මිදුණු ගයානි කඳුළු පිසගෙන ඔහු දෙස වඩා වුවමනාවෙන් බැලුවාය. ඔහු ඇයට ආදරය කරන බව නොරහසකි. පහුගිය කාලයේ එය එසේ බව හොඳින්ම පෙනුණා නොවේද.? අංජලීත් ඔහුට ආදරය කරනවා නම් ඈ තවමත් මෙසේ සැඟව සිටින්නේ මන්ද…? කොතනින් මේ සියල්ල ඇරඹිය යුතුද කියා ඔහුටම සිතා ගන්නට නොහැකිය. පළමුව අංජලීගේ නිවැසියන් හමුවිය යුතු යැයි ඔහු සිතුවේය.

“ඔයාලා දෙන්නට අමතරව අංජලී ළඟින්ම ආශ්‍රය කරපු කවුරු හරිම ඉන්නවද…?”

ගයානි හිස සැළුවාය. එවන් කිසි කෙනෙකු සිටින්නට ඉඩක් නැත.

“හොඳටම ෂුවර්ද…?”

ඇයට සැකයක් නැත. රැකියාවෙන් ඉවත් වී ගියේ නව රැකියාවක් සොයා ගෙනම බවට සැකයක් නැත. ඇයට වෙනත් මිතුරියන් සිටියේ නැත. තුෂරට පවා ඈ යන තැනක් පවසා නොතිබුණාය.

“ඔව්…”

ඈ කෙටියෙන් කීවාය.

“හරි අපි බලමුකෝ…”

ශාමින්ද එසේ කීවේ සුසුමක් පිට කරමිනි.

“අයියා…”

ගයානි කිසිවක් අසන්නට තැත් දරන සෙයකි. ශාමින්ද එය ඉවකින් මෙන් වටහා ගත්තේය. ඈ විමසන්නට පෙර ඔහුම ඇයට ඒ බව කීවේය.

“මම අංජලීට ආදරෙයි…මෙච්චර දෙයක් මං දැනන් හිටියා නම්…මං එයාව මැරි කරලම යනවා…”

පසුතැවිලි හඬකින් ඔහු කීය. ගයානි පුදුම නොවූවාය. ඇගේ සිත එක් පසෙකින් සතුටු විය. සියුම් දුකක් තවමත් හදවතේ විය. ඇය ඉන්නා තැනක් සොයා ගත නොහැකි වුවහොත් කියා බියකුත් ඈ සිතට දැනිණි.
——————————————————————————————————
ඉන්ද්‍රාණිත් හේෂානුත් මේනක සහ ගිම්හානිත් ශාමින්ද කිවූ දේවල් අසා සිටියේ මවිතයෙනි. ඔහු ඇයට ආදරය් කරනවා නම් අංජලී ඔහුටවත් කිසිත් නොකියාම සැඟව ගියා කියන්නේ ඈ ඔහු හෝ දකින්නට අකමැති නිසාද…?

“එයා හිතන්න ඇති මේ ගැන දැනගත්තාම මාත් එයාව අතෑරලා දාවි කියලා…”

ශෝකී හඬකින් ශාමින්ද කියන විට ගයානි ඔහුගේ අතක් තරයේ අල්ලා ගත්තාය.

“අයියා එයාට කැමැත්තකින් ඉන්නවා කියලවත් අපිටවත් කියලා තිබුණා නම්…”

සුසුමක් හෙළමින් ඈ කීවාය.

“අවුරුද්දකුත් වුණානේ…කෙල්ල හොඳින් ඉන්නවද කියලවත් දැනගන්න තිබ්බනම්…”

ඉන්ද්‍රාණි යළිත් වරක් කඳුළු සළමින් කීවාය.

“අංජලීගේ තාත්තාවත් මොකුත් දන්නේ නැත්ද දන්නැහැ…”

ශාමින්ද යළිත් ඇසීය.

“නැහැ පුතේ…අන්තිම පාර දුව එහෙ ගිහින් එයාට දොස් කියලා ඇවිත් තියෙන්නේ…නංගිට වෙනස්කම් කළා කියලා…”

ඉන්ද්‍රාණි එම සිදුවීම දැනගත්තේ සුනේන්ද්‍රගෙනි. ඈ ඒ සියල්ල මේ මොහොතේ ශාමින්ද හා කීවාය.

“එහෙනම් එයා එහේ යන්නෙ නැහැ කොහොමවත්…”

කෙටි සුසුමක් හෙළමින් ඔහු කීය.

“එදා අංජලී එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා…හොඳ වෙලාවට ලොකු අනතුරක් නම් නෙවේ…”

ගයානි කියන විට සියළු දෙනම ඈ දෙස බැලුවේ මවිතයෙනි.

“ඇක්සිඩන්ට් එකක්…?”

ශාමින්දත් මේනකත් එක්වරම ඇසූහ.

“ඔව්…ඒත් ලොකු අනතුරක් නෙවේ…කාර් එකක් වංගුවෙන් දාලා එකපාරම…”

“ඉතින්…?”

“ඒ මනුස්සයා එක්ක ගිහින් බෙහෙත් දැම්මා කිව්වා…වෙන මොකුත් නම් කිව්වේ නැහැ…ඊට පස්සෙත් එයා වැඩට ගියානේ…”

“එයා කොහේ ඉන්නවද කියලා නිකන් හරි ගෙස් කරන්න බැහැ නේද මේනක…?”

ශාමින්ද යළිත් අසන විට මේනක කල්පනාකාරි ලෙස දෙවුර සැළීය.

“අපි කොහෙන්ද පටන් ගන්නේ…?”

ශාමින්ද යළිත් ඇසීය.

“හිතා ගන්න බැහැ මචං…කොහේ කියලා හොයන්නද…හැමතැනම ඉන්න යාළුවන්ට නංගිගේ ෆොටෝ එක යවලා කොහෙදි හරි දැක්කොත් කියන්න කියලා ඉන්ෆෝර්ම් කරලා තියෙන්නේ…කිසිම අප්ඩේට් එකක් නැහැ…”

“උන්ට දැන් මතකත් නැතුව ඇති…”

ඉන්ද්‍රාණිද එය අනුමත කළාය.

“පුතේ…ඔයාගේ හිතේ මොකුත් අදහසක් තියනවද…ඔයා කියනවනම් මාත් ඔයා එක්ක යන්න එනවා ඕනෑම තැනකට…මට දුවව හොයගන්න ඕන…මේ හැමදේම අපේ වරද…”

ඉන්ද්‍රාණි යළිත් හඬන්නට වූවාය.

“නැන්දා තමන්ටම දොස් කියා ගත්තට වැඩක් නැහැනේ…කවදාහරි මේ හැමදේම අංජලීත් දැනගන්නවානේ…”

ශාමින්ද කීවේ ඇගේ සිත සනසන අදහසිනි.

“දැනගත්ත විදියයි වැරදි…”

මේනක කියූ දෙයින් ඉන්ද්‍රාණිගේ සිත අලුතින් පෑරිණි.

“අපි බලමුකෝ…”

ශාමින්ද එසේ කීවේ ඔහු සිතේ යම් අදහසක් ඇති නිසා නොවේ.

“කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැහැ…”

සුළු මොහොතකට පසුව ශාමින්ද කීය.

“ආහ්…අමතක වුණානේ…අපි මීට මාස කීපෙකට කලින් නුවර ගියානේ…එදා අපි මාළිගාවෙදි නංගිව දැක්කා…අපි එයාව හෙව්වත් හොයා ගන්න බැරි වුණා…”

ගිම්හානි හදිසියේ එය සිහි කරන තුරුම මේනකටද එය සිහි නොවීය.

“මාළිඟාවෙදි…ඒ කියන්නේ එයා නුවර ඉන්නවා කියලද…?”

ගයානි වඩාත් උනන්දුවකින් ඇසුවාය.

“එහෙම කියන්නත් බැහැ…මාළිඟාවට ආවා වෙන්න පුළුවන්….ඒත් නුවරම ඉන්නවා කියලා කොහොමද කියන්නේ…?”

ගිම්හානි කීවාය.

“ඒක ඇත්ත…ඒත්…අපිට බැරිද නුවරින් පටන් ගන්න…?”

මේනක ඇසීය.

“පිදුරු ගොඩේ ඉඳිකටුවක් හොයනවා වගේ…මං නම් කියන්නේ පත්තරේ ඇඩ් එකක් දාමු…මේක දැකපු ගමන් කෝල් එකක් දෙන්න කියලා…”

ඉන්ද්‍රාණි යෝජනා කළාය.

“කී දෙනෙක් බොරුවට කතා කරයිද දන්නැහැ…අනික ඉතින් අංජලී කවද්ද පත්තර බැලුවේ…කමක් නැහැ කොයි එකටත් දාලා බලමු…නැන්දා කියන නිසා…”

ගයානි කීවේ එයින් වත් යම් සෙතක් වෙනු ඇතැයි සිතාය.
——————————————————————————————————
ගීසරට වෙනත් ප්‍රදේශයකට මාරුවීමක් ලැබී තිබූ බැවින් ඔහු වික්‍රම හමුවීමට පැමිණියේ ඔහුට මෙන්ම අංජලීටත් ඒ බව දැන්වීමටය. තම සිතේ ඈ කෙරෙහි හැඟීම තවමත් එලෙසමය. ඒ බව ඇයට දැන්වීමට ඔහුට වුවමනා විය.

“දැන් කොයි පළාතටද ට්‍රාන්සර් එක ඇවිත් තියෙන්නේ…?”

මෙරිටා ඇසුවේ උණුසුම් කෝපි කෝප්පයකින් ඔහුට සංග්‍රහ කරමිනි.

“බදුල්ලට…”

මෙරිටා පිළිගැන්වූ කෝපි කෝප්පය දෝතින්ම පිළිගනිමින් ගීසර කීවේය.

“ඒ පැත්ත නම් හොඳයි…දුෂ්කරයි නේද? ”

මෙරිටා යළිත් ඇසුවාය.

“ඔව්…ඒත් මං කැමතියි…ඒ පැත්තේ මිනිස්සුන්ටත් අපෙන් සේවයක් වෙන්න ඕන නේ…”

ඔහු කීවේ අංජලී දෙසටත් බැල්මක් හෙළමිනි. ඈ සිටියේ වෙනතක බලාන බැවින් ඔහුගේ බැල්ම නොදුටුවාය.

“ඒක ඇත්ත…”

මෙරිටාද එය අනුමත කළාය.

“කොහොම වුණත් කමක් නැහැ…තමන්ගේ සේවය හරියට කරන එකයි වටින්නේ…”

වික්‍රම දුන්නේ අවවාදයකි.

“පුළුවන් උපරිමයෙන්…”

ගීසර මඳහසක් පාමින් කීය. ඔහුට අංජලී සමඟ තනිව කතා බහ කරන්නට අවස්ථාවක් උදාවූයේ වික්‍රම දුරකථන ඇමතුමකට ඇමතීමට මඳකට ඉවත යන විටය. මෙරිටාද මුළුතැන්ගෙයි කටයුත්තකට කියා වහා දිව ගියාය.

“ඉතින් අංජලී…කොහොමද…?”

ඇයත් සමඟ කතා බහට මුළ පුරමින් ඔහු ඇසීය.

“හොඳින් ඉන්නවා…”

මඳහසක් පාමින් ඈ කීවාය.

“මට ඔයාව මතක් වෙයි ගියාම…කතා කරන්න නම්බර් එකක් වත් දුන්නේ නැහැනේ…”

ඔහු නෝක්කාඩුවක ස්වරයෙන් කීය.

“මතක් කරන්න තරම් ලොකු දැන ඇඳුනුම්කමක් අපි අතර තිබුණේ නැහැනේ…”

ඈ වහා කියා දැමුවාය. ඔහු දුර්මුඛ බැල්මකින් ඈ දෙස බලා සිටියේය.

“දැන ඇඳුනුම්කමක් ඇති කරගන්නනේ ඉතින් නම්බර් එක ඉල්ලුවේ…”

අනික් පසෙට ඔහු කීය.

“කතා කරා කියලා එහෙම දැන ඇඳුනුම්කම් ඇති වෙන්නේ නැහැනේ…”

ඈ කතා කරන්නේම හරහටය.

“ඔව් ඉතින්…ඒත් මං තාමත් ඔයා ගැන හිතනවා…”

ඈ තිගැස්සුණාය. තම සිතේ වෙනත් කිසිවෙකුට ඉඩක් නැත. එය සින්නක්කරම හිමිකරුවා ශාමින්ද මිස වෙනත් අයෙකු නොවේ.

“මං ආදරේ කරන්නේ වෙන කෙනෙකුට…සොරි…මම මුළිනුත් ඔයාට කියලානේ තිබුණේ…මං හිතුවා එහෙම අදහසක් දැන් නැතුවත් ඇති කියලා…”

ඈ කීවේ සැබෑවටමය.

“මට ඒක නැති කරගන්න බැරි වුණා…”

“කාලයක් යනකොට හරි යයි…දැන් ඔයා මෙහෙන් යනවනේ…වෙන කෙනෙක්ට හිත යයි…”

එසේ කී ඈ අසුනින් නැඟී සිටියේ වික්‍රම යළි ඔවුනතරට පැමිණි බැවිනි. ඈ සමාව යදිමින් පිටුපසට ගියාය.

-හෙටත් හමුවෙමු-

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you