Tharu Mal Viyan තරු මල් වියන්
අහස අඳුරු වී තිබුණේ මහා වැස්සක පෙර නිමිති කියා පාමිනි. මාලක කිසිත් නොකියාම රිය පදවන විට අංජලීට තවත් බලා සිටීමට නොහැකි විය. කතා කරන්නට පැමිණි කෙනා දැන් කිසිත් නොකියාම නිහඬවම රිය පදවයි.
“මාලක….ඕක නවත්තනවද…දැන් ඔයා ආවේ කතා කරන්නනේ…කොහෙද මේ යන්නේ…?”
එවර කෝපයෙන් යුතුව ඈ ඇසුවේ ඔහු රථය හයිලෙවල් පාරට දමන විටය. මාලක මෙතෙක් සිටියේ අසිහියෙන් මෙනි. සිහි එළවා ගත් ඔහු රථය පාරේ පසෙක නවතා ගෙන සුක්කානම මත දෑත් තබා ගත්තේය.
“මට කියන්න ගොඩාක් දේවල් තියනවා අංජලී…”
ඔහු ඉවත බලාගෙනම කියන විට ඈ වටපිට බලන්නට වූයේ ඔවුන් මේ සිටින්නේ කොහිද කියාය. මහරගමට ආසන්න බව දැක ඈ සිතේ ඇති වූයේ කෝපය මුසු තැතිගැන්මකි.
“කතා කරන්න දෙයක් තිබුණා නම් ඒක එතන ඉඳන් කියන්න තිබුණානේ…මෙච්චර දුර එන්න ඕන නැහැනේ…”
නොමනාපයෙන් ඈ කීවාය. මාලක ඈ වෙත හෙළුවේ රළු බැල්මකි.
“මේ හැමදේම ඔයාගේ වැරදි…අපි මැරි කරමු කියත්දිත් ඔයා බැහැ කිව්වා…”
ඔහු හැමදාම කළේ චෝදනා කිරීමය. ඈ තිගැස්මෙන් ඔහු දෙස බැලුවාය.
“මොකක්ද…ඔයා කියන්න හදන්නේ මාලක…?”
මාලක පිළිතුරක් නොදී කළේ දිගු සුසුමක් හෙළීමය. අහස පුරා එකතු වන යෝධ කළු වළාකුළු දෙස අංජලී බියපත් දෑසින් බලා සිටියේ මේ මොහොතේ අසුභ පෙර නිමිත්තක් කියා පාමින් වඩින යම දූතයන් පිරිසක් දකින කළෙක මෙනි. ඈ සිත වටා අඳුරු වළාවක් එතී යන්නට වූයේ ඇයටද වටහා ගත නොහැකි ලෙසිනි. මාලක කතා කරන්නට පැමිණියේ නම් සුබ දෙයක් නොවන බව ඇයට ඉවකින් මෙන් වැටහිණි. තද සුළඟක් හස් වැල් අඹරවාගෙන හමා ගියේ පරිසරයම දුහුවිල්ලකින් වසාගෙනය.
“අම්මායි තාත්තායි කවදාවත් අපිට කැමති වෙන්නේ නැහැ…”
මාලක කියනු ඇසී ඈ ඔහු දෙස දෑස් දල්වා බැලුවාය.
“ඒක මං මුළිනුත් ඔයාට කිව්වා…ඔයා ඇහුවේ නැහැ…ඔයා මාමායි නැන්දයි එක්ක කතා කළාද…?”
ඔහු හිස සැළුවේ නැතැයි යන්න හඟවන්නටය.
“එහෙනම්…?”
“මං මැරි කරනවා…”
ඔහු ඉන් අදහස් කරන්නේ මාමාගේත් නැන්දාගේත් අනුමැතියකින් තොරව ඔහු තමාව මැරි කරන්නට යන බවද…?
“මං සංචලාව මැරි කරනවා…”
ඒ වචන ඇසුණේ ඇයට අකුණු සරයක් සවන් අසලම පතිත වූවාක් මෙනි. පපුව මතින් නැඟී ආ ගිණි ජාලාවක් මුළු සිරුරම දවා දමන්නාක් බඳු වේදනාවක් දැනෙන විට ඇගේ අගින් කඳුළු ගලා යන්නට විය. අහස ගුගුරා මහා වැස්සක් ඇද හැළෙන්නට වූයේ එවිටමය. ඇගේ තනියට අහසද විළාප තබමින් හඬන්නාක් මෙනි.
“ඈ…ඇයි…මෙච්චර කල් මට බලාපොරොත්තු…දීලා මාව අසරණ…කළේ මාලක…?”
ඇගේ මුවින් වචන පිට වූයේ කඩින් කඩය. ඒවා මාලකට ඇසුණාද කියා හෝ ඈ නොදත්තාය. ඇගේ සිත වඩ වඩාත් රිදුණේ තමා නැන්දාටත් මාමාටත් ද්‍රෝහී වී අවසන මාලක මෙවන් දෙයක් කිසිදිනක පවසනු ඇතැයි කියා නොසිතුව නිසාය. මේ ඇයට එයට ලැබුණු දඬුවමය. ඔහු මේසා දිනක් තමා සමඟ කළේ සෙල්ලමක් නොවන්නේද…? කිසිවක් නොවූ ලෙසින් දැන් වෙනත් එකියක හා විවාහ වන්නට සැරසෙයි. මහා හඬින් හඬන්නට ඇයට වුවමනාය.
“අංජලී…මේ අහන්න…”
“මට මොකුත් අහන්න ඕන නැහැ…තමුන් බොරු කාරයෙක්…වංචාකාරයෙක්…මා එක්ක වගේම තමුන් සංචලා එක්කත් කළේ සෙල්ලමක් මාලක…කවදාහරි තමුන්ට මේකට වන්දි ගෙවන්නම වෙයි…අද මට දුන්න වේදනාව දවසක ඔයාටත් ලැබෙයි…”
ඈ රථයෙන් බැස ගත්තේ මහ වැස්සක් ඇද වැටෙන බවද නොතකමිනි. මාලක කිසිවක් කීවද ඇයට එය නෑසිණි. පාර නොපෙනෙන තරමට තදින් වැසි ඇද වැටේ. ඇය කොහේ ගියේද කියා හෝ මාලකට පවා සොයා ගත නොහැකි විය. කෑ ගසා නොහැඬුවද ඇගේ දෑස් වලින් කඳුළු ගලා ගියේ සිත් පිත් නැති සේය. තමන් හඬන බව කිසිවෙකුට නොපෙනේ. වැසි දියෙන් ඈ හොඳටම තෙත් වී සිටියාය. හැඳ සිටි සාරිය සිරුරටම ඇළී ගොසිනි. සීතලට ගත වෙව්ළන බවක් හෝ ඇයට නොදැනේ. ඈ පාර මැද ඇවිද ගියේ ඉවක් බවක් නොමැති උමතු වූවෙකු පරිදිය.
වැස්ස නිසාදෝ පාරේ වාහන අඩුය. තුෂර රථය පැදවූයේ සෙමිනි. පාර නොපෙනෙන තරමට මහා තදින් වැසි ඇද වැටේ. ඔහු හොරණින් පිටත් වන විට වැස්සක ලකුණක් හෝ නොවීය. දැන් මේ ඇද හැළෙන වර්ෂාව දකින විට ඔහුට පුදුම නොවී බැරි විය. හිටි අඩියේ වැටුණු වැස්ස හිටි අඩියේම නැවතිණි. ඉවක් බවක් නැතිව පාර දිගේ ඇවිද ආ අයෙකු පාර මාරුවන්නට යන විට තුෂර රථය නවතා ගත්තේ මුවින් පිටවූ පරුෂ වදන් රැසක් සමඟය.
“මුනුත් මැරිලා අපිවත් මරන්න යනවා…”
ඔහු එසේ කියා රථය යළි ඉදිරියට ධාවනය කරමින් පැති කන්නාඩියෙන් බැලුවේ කෝපය තවමත් පහව නොගිය සිතිනි. යාන්තමට ඒ රුව දැක තුෂරට කෑ ගැසිණි.
“අංජලී…”
නමුත් ඒ අංජලී වන්නේ කෙසේද? ඈ සිටින්නේ කාර්යාලයේය. ඔහු වහා රථය හරවාගෙන පැමිණි දෙසටම පැදවීය. එය සැක හැර දැන ගත යුතුය. පාර දිගේ ඇවිද යන අය දැන් ඔහුට පෙනේ. ඔහු රථයේ වේගය් බාල කර ඈ ආසන්නයෙන්ම පදවමින් හැරී බැලීය. ඒ ඇයමය. වහා රථය නැවතූ තුෂර ඉන් බැසගෙන ඈ වෙතට දිව ගියේ ඈ අමතමිනි. උමතුවෙන් මෙන් සිටි අංජලී තිගැස්සී බැලුවේ තමා සිටින්නේ කොහිද කියා නිනව් නැතිවය. මහා හඬින් අකුණු සැරයක් පුපුරා ගියේ එවිටමය. බියපත් ඈ තුෂරගේ දෑතට මැදිව මහ හඬින් හඬන්නට වූවාය.
“අංජලී ඇයි මේ…දෙවියනේ…ඔයාව වෙව්ළනවා…එන්න…අපි යමු…”
ඔහු ඇගේ උර වටා දෑත යවමින් ඇයව රථය වෙත කැඳවාගෙන විත් එහි හිඳ ගැනීමට ඇයට සහාය විය. එන අතර තුරේ වුවද ඈ හඬනවා හැරුණු කොට කිසිත් නොකීවාය. තුෂර සිටියේ සිදු වූ කිසිත් නොදැන අන්දමන්ද තත්වයකය. ගයානිට ඇමතුමක් ගත් ඔහු ඉක්මණින් නවාතැනට පැමිණෙන සේ දැන්වීය. කුමක් හෝ වරදක් සිදුව ඇතැයි වටහාගත් ගයානි බිය වූයේ අංජලීට අනතුරක්ද කියාය. නමුත් තුෂරගෙන් දැනගත් තොරතුරෙන් ඈ යම්තාක් දුරට සහනයට පත් වූවාය.
තෙත බරියම් වී ඇඟටම ඇළුණු සාරිය පිටින්ම ගෙතුළට දිව ගිය අංජලී නාන කාමරයට වැදී දොර වසාගෙන යළිත් හඬන්නට වූවාය. සීතලෙන් සිය සිරුර වෙව්ළන බවක් වත් ඇයට නොදැනේ. ඊට වඩා ගින්නකින් සිය සිත දැවෙන් බැවිනි. තවත් වරක් තමා ජීවිතයේ අනාථයෙකු බවට පත් වුණා වැනි හැඟීමක් ඇයට දැනිණි. සියලු දෙනාගේම අකමැත්තෙන් මාලක හා සබඳවී තමා කරගත් මෝඩකමට ලැබුණු දඬුවම මෙයයි. දැන් ඔහු සංචලා හා විවාහ වන්නට යන්නේය.
තුෂර ආළින්ද පුරා එහෙ මෙහේ සක්මන් කරන්නට වූයේ නොසන්සුන් වූ සිතිනි. පුංචි අම්මා අසන ප්‍රශ්න ඔහුට නෑසේ. අංජලීට සිදු වූයේ කුමක්ද කියා ඔහු සිතුවේ ශෝකී සිතිනි. ඔහු කාර්යාලයෙන් එන විටත් ඈ සිනහමුසුව සිටියා නොවේද…? ඉතින් හදිසියේ…? රථයක් නවතින හඬින් තුෂර දොර වෙත දිව ගියේය. පැමිණියේ ගයානිය. ඔහු සිතට සහනයක් දැනුණේ ඈ දැකීමෙනි.
“තුෂර…කෝ අංජලී…?”
ඔහු අතින් කාමරය පෙන්වූයේ මුවට වචන නොආ බැවිනි. ගයානි කාමරයට දිව ගියේ සැණෙකිනි.
“අංජලී…”
ගයානිගේ හඬ ඇසී අංජලී වහා හුන් තැනින් නැඟිට දොර හැරගෙන පිටතට පැමිණියාය. මිතුරියගේ හඬින් පවා ඈ සිතට දැනුණේ සහනයකි.
“දෙවියනේ…හොඳටම තෙමිලනේ…ලෙඩක් හදාගන්නද හදන්නේ…? ඉස්සල්ලා ඔය ඇඳුම් මාරු කරන් ඉන්න…පස්සෙ මට මොනවද වුණේ කියන්න…”
අංජලී ඇයට කීකරුව තෙත බරියම් වූ සාරිය උණා දැමුවාය. රේණුකා දුම් දමන කෝපි සාදාගෙන කාමරයට පැමිණියේ තුෂරගේ කීමටය. ඈ සිටියේද මහත් වූ සන්තාපයකින් මෙනි. තුෂර පිටව ගියේ ගයානි පැමිණි නිසා සහනයකට පත්වය. ඔහු සිතේ සැබෑවටම වූයේ ශෝකී හැඟීමකි. අංජලී බුද්ධිමත් යුවතියකි. ඉවක් බවක් නැතිව පාරේ ඇවිද යෑමට තරම් සිදු වූයේ සුළු පටු කාරණයක් නොවන බව ඔහුට වැටහිණි. පිරිමියෙකු නම් ප්‍රශ්නයක් පැමිණි කල දුක තුනී කරගන්නේ මත්පැන් බෝතලයකින් වුවද ගැහැනියක් කරන්නේ හැඬීම පමණය. ඇගේ සිතට ඉක්මන් සහනයක් අත් වනු ඇතැයි සිතමින් තුෂර කාර්යාලයට රිය පැදවීය.
-21 වෙනි සඳුදා නැවත හමුවෙමු-