More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 61

    Pini Muthu Palasa පිනි මුතු පලස – 61

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    පූජිත නවගත්තේගම යනවා යැයි කියා පිටවගොස් දැන් පැයකට ආසන්නය. අම්මා මැසිවිළි නඟමින් සිටියේ ඔහුගේ ගමන් බිමන් ගැනය.

    “කොච්චර කිව්වත් අහන එකෙක්යැ…”

    ඈ මට ඇසෙන්නට මෙන් කීවාය.

    රාජකරුණාගේ පණිවිඩයකට කියා ඔහු හමුවීමට රළු පෙනුමැති මිනිසෙකු පැමිණියේ මාත් නිරෝෂාත් මිදුලට වී කතා බහ කරමින් සිටින විටය. ඔහුගේ පෙනුම මා තුළ බියක් ඇති කළේය. පූජිත නිවසේ නොමැති බවත් කොහේ ගියාද කියා මා නොදන්නා බවත් මම කීවෙමි. රාජකරුණාගේ කියා කවුරුන් කුමකට ඔහුව සොයා එනවාද කියා කවුරුන් දනීද….? ඔහු පිටව ගියේ නොකමැත්තෙන් මෙන් කියා මට සිතිණි.

    “කවුද අනේ ඒ මිනිහා…? දකිත්දිත් බයයි…අක්කා එහෙම කියපු එක නම් හොඳයි…”

    නිරෝෂා කීවේ සැබෑවටම බියකිනි.

    “අනේමන්දා…ඒ මනුස්සයා දැක්කාම බය හිතෙනවා නේන්නම්…පූජිත රාජකරුණා ළඟින් අයින් වෙන එක නම් හොඳයි තමා…ඒත් මට බය ඒ මිනිහා පූජිතට පාඩුවේ ජීවත් වෙන්න දෙයිද කියලා…පූජිත ඔය මිනිහට ඒක නොකියා ඉන්නයි තිබුණේ…දැන් වෙනදට වඩා මිනිස්සු එයාව හොයන් එනවා…”

    “ඒ මිනිහා බොරුවට මිනිස්සු එවනවද දන්නැහැ නේද අක්කේ…?”

    “ඒක තමා නිරෝෂා…මේවා කොහෙන් ගිහින් කොහෙන් කෙළවර වෙයිද මංදා…ඒක නෙවේ…අර ශ්‍යාමලී ගැන ආරංචියක් නැත්ද…?”

    “ආහ්…එයාද…? එයා රට ගිහින්…ඔයා මෙහෙන් ගිය කාලේම වගේ එයා මෙහෙන් ගිහින් තියෙන්නේ…පූජිතයියා තමා එයාව එයාර් පොර්ට් එකටත් ඇරළවලා තියෙන්නේ…”

    “එතකොට ළමයා…?”

    “දරුවව අම්මා ගාව තියලා ගිහින්…”

    “ඒ අම්මා බලනවලුද…එයා ගෙදරටවත් එනවට අකමැත්තෙන් නේද ඉඳලා තියෙන්නේ…?”

    “හ්ම්ම්…ඔව්…රට යනවා කියපු නිසා කැමති වෙන්න ඇති…සල්ලි කඩා ගන්න පුළුවන්නේ…”

    “ඇයි ඉතින් පූජිත නොගියේ එයා එක්ක…දෙන්නාම යන්න නේද හිටියේ…?”

    “එයා ඉතින් ඒ දවස්වල වෙනම මෙහෙයුමකනේ හිටියේ…ඒ නිසා වෙන්නැති…”

    නිරෝෂා සියුම ඇනුම්පදයක් එල්ල කළාය. පූජිත ඒ මොහොතේ පැමිණියේ සතුටකින් මෙනි.

    “ගිය වැඩේ හරිද…?”

    ඔහුගේ සතුටින් බබළන මුහුණ දෙස වඩාත් වුවමනාවකින් බලමින් මම ඇසීමි.

    “ඔව්…ලබන සතියේ දිහාට ලොරිය ගන්නවා…”

    “ෂා…මරුනේ…! අපි මුලින්ම ශ්‍රී මහා බෝධියට යමු පූජිතයියා…”

    සතුටින් අත්පුඩි ගසමින් නිරෝෂා කීවාය.

    “යමු…දැන් ඉතින් අපේ කියලා දෙයක් කරගන්න ඕන කාලේ…”

    ඔහු මගේ කරවටා දෑත යවමින් කීවේ දිදුලන දෑසින් මදෙස බලමිනි.පූජිත සිටින්නේ සතුටිනි. එම සතිය පුරාම පූජිත මිතුරන් කිහිප දෙනෙකු සමඟ එකතුව පොල් ගස් වටා සුද්ද පවිත්‍ර කොට පොහොර දමා වළවල් කපා අලුතින් පැළද සිටවූවේය. මාත් නිරෝෂාත් ඔවුනට අපේ සහාය ලබා දුන්නෙමු. අම්මාත් මල්ලිකා නැන්දාත් එකතුව දිවා ආහාර පිළියෙළ කළෝය.

    “මීට කලින් ඔය මොළේ නොපෑදුණ එකයි මට දුක කෙල්ලේ…”

    මල්ලිකා නැන්දා මා හා කීවාය.

    “හැමදේටම වෙලාව එන්න ඕන කියනවනේ නැන්දේ…අනික ඉතින්…මොන දෙයක් කරන්නත් තමුන්ගේ හිතට එන්න ඕනා…කවුරු කොහොම උපදෙස් දුන්නත් වැඩක් නැහැ…”

    “ඒක හරි…වත්තේ එළවළු ටිකකුක් දාගත්තා නම් ඒ ආදායම ඇති ජීවත් වෙන්න…”

    “ඔව් නැන්දේ…එහෙම තමා හිතන් ඉන්නේ…”

    සියළු වැඩ නිම වූදා රාත්‍රියේ වැස්සක් ඇද හැළුණේ ආශිර්වාදයක් ලෙස කියා මට සිතිණි.

    “බලන්නකෝ…වැස්සකුත් වැටුණා…අපි හෙටම එළවළු ඇට ටික හිටවමු…”

    පූජිත මගේ බඳ වටා දෑත යවා මා තුරුළට ගනිමින් කීවේය.

    “හ්ම්ම්…”

    මම කෙඳිරුවෙමි. ඔහු මෘදුව මා කම්මුලක් සිප ගත්තේය. පූජිත සැකසූ පාත්ති වල මාත් ඔහුත් එකතුව මෑ ඇට සිට වූයෙමු. පෙර දින අපි කොමඩු ඇටත් දඹලත් සිටවා මඤ්ඤොක්කා දඬුත් පැල කළෙමු. අම්මා පැමිණියේ අප නිවැසියන් පැමිණ ඇති බව දැනුම් දෙන්නටය. මම පූජිත දෙස බැලුවේ ඔවුන් පැමිණි කාරණය ඔහුගේ මුහුණේ ලියැවී ඇතැයි සිතා ය.

    “ඔයා ගිහින් කතා කරන්න…මං මේ ටික හිටවලාම එන්නම්…”

    මම දෑත් දෙපා සෝදාගෙන ගෙතුළට ආවේ ඊටත් බොහෝ වේලාවක් ගනිමිනි. නිවැසියන් පිළිගැනීමට කියා මට කිසිදු හදිසියක් නොවීය. පැමිණ සිටියේ අම්මාත්, අක්කාත් ඇගේ චූටි පුතාත්ය. සුමිත් අයියාගේ ත්‍රීරෝද රථය මිදුලේ නවතා තිබෙනු දැක මා සිතේ යටපත්ව තිබූ වෛරය ඉස්මතු විය.

    “චූටි නංගී…”

    අක්කා මා දැක මා ඇමතුවේ ඈ මා සමඟ වඩා සෙනෙහසකින් සිටියාක් මෙනි. මම ඈ නොතකා ඇගේ තුරුළේ සිටි පුතා දෙස බැලුවෙමි. ඔහුට වූයේ අක්කාගේම මුහුණුවර යැයි කියා මට සිතිණි. මා ඔහු දුටුවේ පළමු වරටය. දැන් ඔහුට දෙවසරකට ආසන්නව ඇතැයි කියා මම සිතුවෙමි.

    “පුතේ…මේ පුංචි…මේ බලන්න…”

    ඔහු මා දුටු සැණින් අක්කාගේ ගෙලේ හිස සඟවා ගත්තා මිස නැවත හිස ඔසවා බැලුවේ නැත.

    “අඳුනන්නේ නැහැනේ…අදමනේ දැක්කේ…”

    ඈ එයට හේතු කියන්නට වුවද මම කිසිදු තැකීමක් නොකළෙමි.

    “නාඳුනන තරමටම හොඳයි…අද මොකෝ අම්මලා, දූලා මේ පැත්තේ…?”

    පපුව මත දෑත් බැඳ ගත් මම බිත්තියට බරදී සිටගෙන උපහාසය මුසු හඬකින් අසන විට අම්මාත්, අක්කාත් එකිනෙකාගේ මුහුණු බලා ගත්තේ නොමනාපය මුසුව මෙනි.

    “අනේ…අනේ ළමයෝ…ගෙදරට ආපු මනුස්සයෙක්ගෙන් එහෙම අහනවද… හරියට නිකන් පොල්ලෙන් ගහන්න වගේ… සිරිත් විරිත් දන්නේ නැත්ද..?”

    අම්මා නොසතුටෙන් අසන විට මා මුවට නැගුණේ සාවඥ සිනහවකි.

    “පොල්ලක් තිබුණා නම් සළකන්නත් තිබුණා…හැබැයි ඉතින් ගෙදරට එන හැම මිනිහගෙන්ම එහෙම අහන්නෙත් නැහැ…සිරිත් විරිත් උගන්වන්න මට අම්මා කෙනෙක් හිටියෙත් නැහැනේ…”

    නිරුත්තර වූ අම්මා අක්කා දෙස බැලුවේ මුහුණ අඳුරු පටලයකින් වැසී යන විටය.

    “ඔහොම කතා කරන්න එපා චූටි නංගී… අම්මාගේ හිත රිදෙනවානේ…”

    “හරි අනුකම්පාව නේද අම්මා ගැන…රට ඉඳලා කුට්ටි පිටින් සල්ලි අතට නොලැබුණා නම්…මෙයා කොහොමද අද කතා කරන්නේ කියලා බලා ගන්න තිබුණා…එහෙනම් ඉතින්…ඒ හිත රිදිල්ලට මෙයාගේ පපුව පැළිලා…රට ඉඳගෙන වෙන ගෑනුන්ගේ මිනිස්සු තියන් ජවුසන් නටත්දී…අපි මෙහෙට වෙලා මොන හිත් වේදනාවකින් ජීවත් වුණාද කියලා නොහිතපු කෙනාගේ හිත රිදෙන්නේ දැන් මං කතා කරන ඒවා ඇහෙනකොට විතරද…?”

    ඔවුන් දෙදෙනම නිහඬව සිටියේ මේ පිට තැනක් යැයි සිතූ නිසා වන්නට ඇත.

    “දැන් ඕවා කතා කරන්න එපා චූටි නංගී…”

    “මට කතා කරන්න වුණේම නැහැනේ…දැන් ඒ මඟුල ඉවරද…?”

    “දැන් ඒවා නැහැ…”

    හිස ගස්සමින් අම්මා කීවේ කිසිදු ලැජ්ජාවක් නැතිවා වාගේය. පිළිකුලක් මා සිතට දැනිණි.

    “අර පවුලට ගින්දර දීලා ඒ මඟුලත් කඩලා දාලාද ඉවරයි කියන්නේ…? ඒ කෙල්ල හරියට විභාගේ ලිව්වෙත් නැහැ…ඒ කරපු අපරාදෙට නම් හොඳක් වෙයි කියලා හිතන්න එපා…”

    “චූටි නංගී…ඇති…නවත්ත ගන්නවා…”

    අක්කා මට සැර වූවාය.

    “තමුසෙටත් එක්ක තමා මම කිව්වේ…මගෙත් ඉගෙනීම කඩා කප්පල් කළේ තමුසෙනේ…ඒවාටත් එක්ක දවසක ඔය සාප වදියි…”

    මම කෑ ගසන විට ඇගේ මුව ඉබේම වැසී ගිය අතර අම්මා හඬන්නට වූවාය. ඇගේ කිඹුල් කඳුළු වලට උණු වීමට තරම් සිතක් මට නොවීය.

    “උඹ කතා කරන්නේම මගේ හිත රිද්දලා චූටි දුව…”

    “හිත රිද්දලා…! හිතක් පපුවක් තිබුණා නම් ඔහොම කරයිද…එහෙම හිතක් තිබුණා නම් මෙච්චරකල් එහෙට වෙලා ඉඳියියැ..?”

    “උඹ නම් මගේ කුසින් ඉපදිච්ච එකෙක්ද කියන්නත් සැකයි…”

    “ඔව්…ඔව්…ඒක නම් මටත් සැකයි තමා…ඒකනේ තුන්දෙනාම එකතු වෙලා මට වෙනස්කම් කළේ…තාමත් කරන්නේ…?”

    “අපි මොනවද අනේ ඔයාට කරපු වෙනස්කම්…?”

    “අනේ…ඔයා බබා…තමුසේ මට කරපු අපරාදෙම ඇති…පව් නොදී කටවහන් ඉන්නවා…”

    “මම ඔයාව බලා ගත්තේ නැත්ද චූටි නංගී…?”

    හැඬුම් මුසුව අක්කා ඇසුවාය.

    “තමුසේ බලාගත්තේ මාවද…නැත්නම් අර බේබදු වනචරයාවද…තුට්ටු දෙකේ මිනිහෙක් නිසානේ මාව එළවා ගත්තේ ගෙදරින්…මිනිහාවනේ කවලා පොවලා බලා ගත්තේ…මාවද…කන්න බොන්න දීපු ඒවා ගැන නම් කියන්නේ…මං ඒවට ණය නැහැ…මං උදේ ඉඳන් රෑ වෙනකල් තමුසෙගේ කුලී වැඩ කළා…තමුසේ මාව ඒ ටිකේ හරි ගෙදර තියන් හිටියේ මෙයා සල්ලි එවපු නිසා…නැත්නම් මං අද මහ පාරේ…”

    “ඕවා අහගන්න නෙවේ අපි ආවේ…”

    “කවුද උඹට එන්න කිව්වේ…මං එන්න කියලා නෙවේනේ ආවේ…”

    “මංදාකිණි…”

    පූජිතගේ හඬ පිටුපසින් ගලා ආ නිසා මම නිහඬ රැවුමක් අක්කා වෙත හෙළමින් පිටුපසට ඇදුණෙමි. පූජිත කුරුම්බා වල්ලක් කපා ගෙන විත් එය සුද්ද කරමින් සිටියේය.

    “කවුද ඇවිත් ඉන්නේ…මං කුරුම්බා වල්ලක් කැපුවා…කී දෙනෙක් ඉන්නවද…?”

    ඔහු අසනවිට මා සිතේ අනුකම්පාවක් ඇති විය.

    “තුන්දෙනයි…”

    තවමත් පහව නොගිය කෝපය ඔහු පිටින් යවා පළක් නොවන බව දැන මම කීවේ පහත් හඬිනි.

    “එහෙනම් වීදුරු ටිකක් සෝදලා ගන්නකෝ…මේ වෙලේ තේ බොන්නත් බැහැනේ…”

    “තේ තියා වතුර උගුරක් වත් නොදෙන්නයි වටින්නේ…”

    එසේ කීමට මුවට ආ මුත් මම නිහඬවම වීදුරු කීපයක් සෝදා තැබුවෙමි. කුරුම්බා කපා එය වීදුරු වලට පිරෙව්වේ ඔහුමය.

    “අරන් යන්න…මං අත් සෝදන් එන්නම්…”

    අකමැත්තෙන් වුවද මම ඔහු කී දේට කීකරුව බන්දේසියත් රැගෙන ඉදිරිපසට පැමිණියෙමි. ඒ සමඟම පූජිතද පැමිණියේය.

    “බොන්න…මේ දැන් ගහෙන් බාපුවා…මං පොඩි වැඩ වගයක් කර කර හිටියේ…”

    ඔහු ඔවුන් දෙදෙනා වෙත සිනහවක් පුද කරමින් කීවේය. අක්කා වීදුරුවක් රැගෙන පිටතට ගියේ සුමිත් අයියාට දීමටය. දෑත් බැඳගෙන මම ඉවත බලාගෙන සිටියේ නොසතුටෙනි. පූජිත සුමිත් අයියාව නිවසට කැඳවූවද ඔහු ඇතුළට නොයා සිටියේ “එළියේ සනීපයි…” කියමිනි. ඒ සනීපයක් නිසා නොව මට මුහුණ දෙන්නට නොහැකි නිසාය. ඔහු දකින විටත් මා සිතේ වෛරය කැකෑරිණි.

    “ඉතින් කොහොමද ළමයෝ…?”

    අම්මා පූජිතගෙන් ඇසුවේ බර වූ නාසය අත රැඳි ලේන්සුවෙන් පිසගනිමිනි.

    “අපි ඉතින් හොඳින් ඉන්නවා…මොකද අම්මාට සනීප නැත්ද…?”

    ඔහු මදෙසත් බලමින් අසන විට මම ඉවත බලා ගතිමි.

    “නැහැ….මේ ත්‍රීවීල් එකේනේ ආවේ… දූවිල්ලටද කොහෙද…නහය බර වෙලා…”

    “ඔය පාරේ නම් ඉතින් දූවිල්ල තමා…ඊයේ පෙරේදා වැස්සද කියන්නත් බැහැ…”

    අක්කා යළිත් ගෙතුළට පැමිණියේ සුමිත් අයියා බී හිස් කළ වීදුරුවත් රැගෙන පුතා ඔහු සමඟ තබාය.

    “ඉතින් ඕක බොන්නකෝ…”

    පූජිත නැවත කියන විට අම්මා වීදුරුවක් අතට ගත්තාය.

    “අපි අද ආවේ මල්ලිලාට ආරාධනාවක් කරලා යන්න…”

    අක්කාද අම්මා අනුගමනය කරමින් කුරුම්බා වීදුරුව අතට ගනිමින් කීවේ ආරුඪ කරගත් සිනහවක් මුවේ තවරාගෙනය.

    “ඒ මොකක්ද අප්පා ඒ…?”

    පූජිත වුවමනාවෙන් ඇසුවද මම එය දැනටමත් අනුමාන කර සිටියෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page