NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 48

Pini Muthu Palasa පිනි මුතු පලස – 48

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

පරිසරයේ වූයේ නිහඬ බවකි. රජිව්ට කතා කිරීමට ඉඩ හැර මම නිහඬව සිටියෙමි. ඔහු සිතේ ඇති වේදනාව කළකිරීම වටහා ගැනීමට මට අපහසු නොවිණි.

“උදව්වක් ඉල්ල ගන්න කියලා නෑයෙක් හිටියේ නැහැ…ප්‍රේමා නැන්දගේ මාලේ උකස් කරලා අම්මට ඒ වෙලේ බෙහෙත් කළේ…පොල් ටිකෙන් හම්බෙන සල්ලි වලින් තමා මේ ටිකේ හැමදේම කරගන්නේ…තාත්තාට හම්බෙන්න තියන සල්ලිත් තවම නැහැ…අම්මාගේ අක්කා…ලොකු අම්මා ඉන්නවා…මහම මහ කුණු ගෑනියෙක්…අම්මා අසනීම වුණ වෙලේවත් නිකමට හොයලා බැලුවේ නැහැ…තාත්තගේ තුන් මාසෙ දානෙට ඇවිල්ලත් සේරම වාහනේ පටවන් ගියේ…මළ ගෙදරදා රත්තරන් බඩු ටිකට විද්දා…මං පස්සෙනේ ඕවා දන්නේ…”

ඔහු කතා කළේ කළකිරීමෙනුත් කෝපයෙනුත් පිළිකුළෙනුත් යුතුවය.

“මිනිස්සු ඔහොම තමා…අපිට හතුරු කම් කරන්නේ තමුන්ගෙම උන්…පිට මිනිස්සු හොඳයි…”

“ඒ වෙලේ කමල්ලා තමා මා එක්ක හිටියේ…ඔයාවත් ළඟ හිටියා නම් කියලා මට අනන්තවත් හිතුණා මංදාකිණි.”

ඔහු එසේ පවසන විට මා සිත රිදිණි. මා මේ කිසිත් දැන සිටියේවත් නැත.

“මම මේ මොකුත් දැනන් හිටියේ නැහැනේ…”

“දැන් හරි ඔයා මා ළඟ ඉන්න එක මට සැනසීමක් මංදාකිණි…”

මා කුමක් කියන්නද….? මා පැමිණියේ සැමදා මෙහි ඉන්නට නොවන බවක් කියා ඔහු සිත පාරන්නට මට නොහැකිය.

“මිස්ව බලා ගන්න මං ඔයාට උදව් කරන්නම් රජිව් අයියේ…අපි කොහොම හරි මිස්ව සනීප කර ගමු…”

අනාගතයේ කුමක් වේද කියා මම නොදනිමි. දිගු කලක් මට මෙහි නැවතී සිටින්නට නොහැකි බව මම නොදැන සිටියා නොවේ. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි. ජනේලය හැර දමා තිබූ නිසා මිදුල දිගේ කිසිවෙකු නිවස දෙසට ඇවිද එනු මා දුටුවේ යාන්තමනි.

“රජිව් අයියේ…කවුරු හරි එනවා…”

එසේ කියා මම වහා අසුනින් නැඟිට පිටුපසට පැමිණියේ කිසිවෙකු මා සොයා වත් පැමිණෙනවා දැයි සැකයෙනුත් තැති ගත් සිතිනුත්ය. පැමිණියේ අක්කා වත්ද..? නමුත් ඈ රජිව් ගැන කිසිවක් නොදනියි. කාමරයට වැදී මම ගැහෙන සිතින් බලා සිටියෙමි. තත්පර විනාඩි බවට හැරී කෙටි වේලාවක් ගෙවී යන්නට ඇත.

“මංදාකිණි…”

විනාඩි කීපයකට පසුව ඇසුණු රජිව්ගේ හඬින් මම කාමරයෙන් පිටතට ආවෙමි. දොර අසල රජිව් සමඟ සිටි රුව දැකීමෙන් මා සිත පුදුමයෙනුත්, තිගැස්මෙනුත් ගැහෙන්නට විය.

“දෙවියනේ…තරූ…”

සුළු මොහොතකට පසුව අපි දෙදෙනා සිටියේ එකිනෙකා වැළඳගෙනය.

තරුෂි හදිසියේ මෙහි පැමිණි කාරණය ඈ මා සමඟ කියන විට මම අසා සිටියේ මවිතයෙනි.

“අද ඉස්කෝලේ ඇරිලා එළියට එනකොට ඔයාලගේ අක්කා ගේට්ටුව ළඟ හිටියා…”

“ඉතින්…?”

මම ඇසීමි. පූජිත මා සොයාගෙන නිවසට පැමිණ ඇතිවාට සැක නැත.

“අක්කා ඇවිත් තියෙන්නේ මාව හොයාගෙනමයි…පන්තියේ යාළුවන්ගෙන් එයා දැනන් හිටියේ මාව විතරනේ…ඔයා මැරි කරපු මුල් දවස් වල මම ගියා එයාලගේ ගෙදර…ඔයා ගැන විස්තර අහන්න…”

ඈ එසේ කියා රජිව් දෙසට බැල්මක් හෙළුවේ ඒ ඔහුගේ වුවමනාවට ගිය ගමනක් බව කියන්නාක් මෙනි.

“ඉතින්…?”

“මං ගියේ ඔයාගෙ ඇඩ්‍රස් එකක් හරි ෆෝන් නම්බර් එකක් හරි තියනවද අහන්න… එයා ගාව ඒ එකක්වත් තිබුණේ නැහැ…මං එදත් එයාට බැනලා ආවේ…නංගිව බන්දලා දුන්න ගෙදර ඇඩ්‍රස් එකක්වත් නොදන්න ඔයා මොන සහෝදරියක්ද කියලා…”

මා මුවට නැගුණු උපහාසය මුසු සිනහව මම ආයාසයෙන් සඟවා ගතිමි.

“ඉතින් අද මොකටද එයා ඔයාව හොයන් ඇවිත් තියෙන්නේ…?”

හේතුව දැන දැනත් මම එසේ ඇසීමි.

“ඔයා ගෙදරින් පැනලා ඇවිත් කියලා මහත්තයා ආවලු ඔයාව හොයන් ගෙදර…ගම දෙක කරලා ගිහින් තියෙන්නේ…ඔයා වෙන කෙනෙක් එක්ක සමබන්ධයක් තියනවා කියලා දැනගෙන ඒකට රංඩු වුණා කිව්වා…ඔයා ඒ කොල්ලා එක්ක පැනලා යන්න ඇති කියලා තමා අක්කා හිතන් ඉන්නේ…මං ඒ ගැන මොනවා හරි දන්නවද කියලා දැනගන්න තමා ඇවිත් තියෙන්නේ…”

“ඔයා මොනවා දන්නවද…?”

නොමනාපයෙන් මම කීවෙමි.

“මම කිව්වා…ඔයා යාළු වෙලා හිටිය කොල්ලා දැන් ඉන්නේ මාතර පැත්තේ කියලා…එයා මෙහෙ ආවද දන්නැහැ එහෙනම්…නම උමයංග කියලා…ඒත් උමයංග කොහොමද ඔයා ඉන්න තැන දන්නේ…ඒක වෙන්න බැහැ කියලා…”

තරුෂි එසේ කියන විට මා මුවට සිනහවක් නැඟිණි.

“අක්කා ඒ කියපු දේවල් පිළිගත්තද…?”

“මං කියපු විදියට නම් එයා ඒක පිළිගන්න ඕන…මං ඒ වෙලෙත් එයාට හොඳට කිව්වා…ඔයාගේ ජීවිතේ මේ විදියට විනාශ කරලා කවදාවත් ඔයාට සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ කියලා…ඉගෙන ගන්න වයසේ කසාදයක් කරලා දීලා දැන් පේනවනේ වෙලා තියන දේ කියලා…”

තරුෂි කතා කළේ කෝපයෙනි.

“ලාදුරු හැදුණු උන්ට මොනව කීවත් දැනෙන්නේ නැහැ තරූ…”

කෝපයෙන් මම කීවෙමි.

“මට නම් එයා ගැන තියෙන්නේ හරිම අප්පිරියාවක් මංදි…ඔයාගේ අක්කා වුණත් මම එයාට චුට්ටක් වත් ආස නැහැ…මංදි ගියාට පස්සේ ඔයා සතුටින් ඉන්නවා ඇති නේද කියලාත් මං එයාගෙන් ඇහුවා…”

“ඒ සහෝදරකම් ඉවර වෙලා ගොඩාක් කල් තරූ…ඒත් මට බය පූජිත මාව හොයා ගනියිද කියලා…”

මා සැබෑවටම ඒ පිළිබඳව සිටියේ බියකිනි.

“හරි හමන් තොරතුරක් නැතිව එයා කොහොමද එහෙම හොයා ගන්නේ…හරි ඊට කළින් මට කියනවද ඔයා කොහොමද මෙහෙ ආවේ කියලා…”

ඈ අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවාය.

“ඒක අහම්බෙන් සිද්ධ වුණු දෙයක් තරූ නංගී…”

එසේ කී රජිව් අප මංගල උත්සවය දා හමු වූ තැන් පටන් සියල්ල තරුෂි හා පැවසුවේය. මෙතෙක් මා පූජිත හා ගත කළ ජීවිතය ගැන තරුෂි හා පවසන විට ඈ අසා සිටියේ මවිතයෙනි.

“ඔයා මෙච්චර කල් ඔය මනුස්සයා එක්ක හිටියා කියනකොටත් මට නම් පුදුමයි මංදි…මං වගේ නම් දාලා ඇවිත්…”

දමා විත් මා කොහේ යන්නද කියා ඇයට අමතක වූවා වන්නට ඇත. අසරණ වූ සිතින් මම හිස බිමට නැඹුරු කොට ගතිමි. රජිව් නැඟිට ඉවතට ගියේ අප දෙදෙනාට නිදහසේ කතා කිරීමට ඉඩහරිමිනි. මාත් තරුෂිත් පිටතට විත් පෝටිකෝවේ කෙටි බැම්ම මත හිඳ ගතිමු. රජිව් ඉදිරියේ කීමට අපහසු දේවල් තරුෂි හා පවසන විට මට යළිත් හැඬිණි.

“අනේ කෙල්ලේ…මෙච්චර දේවල් වෙලත් උඹලාගේ අක්කා හොයලාවත් බැලුවේ නැත්ද…? ඌ මහ තිරිසනෙක්නේ…”

ඈ මා හිස පිරිමදිමින් කීවේ කෝපයෙනි.

“මං රජිව් අයියාව හොයන් ආවේ බයටමයි තරූ…නැතුව මෙහෙ නවතින්න නෙවේ…ගාර්මන්ට් එකක හරි රස්සාවක් හොයන් යන්න ඕන තරූ…මං නිසා රජිව් අයියට කරදරයක් වෙනවට මං කැමති නැහැ…”

“මොනදේටවත් හදිසි නොවී ටික දවසක් මෙහෙට වෙලා ඉන්න මංදි…අනික රජිව් අයියා ඔයාට ගාර්මන්ට් යන්න දෙයි කියලා හිතන් ඉන්නවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් කියලා මතක තියා ගන්න…මෙහෙ ඇරෙන්න ඔයාට ආරක්ෂාවක් තියන වෙන කොහෙවත් තැනක් නැහැ…අක්කා ගාවට ගියා නම් අර මිනිහා ඔයාව ඇදගෙන ගිහින්…පුළුවන් වෙලාවට මාත් ඇවිත් යන්නම්…ඒත් මේ ටිකේ නම් මං නෑවිත් ඉන්න එක තමා හොඳ…නිතර නිතර මෙහෙ යන එන එකත් හොඳ නැහැ…”

ඈ කියන්නේ සත්‍යයකි. රජිව් පැවසූ සේම අක්කා මා ගැන තොරතුරක් දැන ගැනීමට තරුෂි සොයා පැමිණියාය. ඇයව පාසල ළඟදී මුණ නොගැසුණා නම් ඇගේ නිවස සොයාගෙන ඒමට ඉඩ තිබිණි. තරුෂි මෙසේ මේ තොරතුර රජිව් හා පැවසීම මොනතරම් හොඳද. මා වඩාත් ප්‍රවේශම් විය යුතුය. පූජිත වෙඩි කෑ ඌරකු සේ මා සොයා ඇවිදිනවා වන්නට ඇත. ඔහු යළිත් වතාවක් අක්කා සොයා නොඒ යැයි කියා ස්ථීරවම කිව නොහැකිය.

“යාළුවෝ හම්බුණේ නැත්ද…?”

සුළු මොහොතක නිහැඬියාවකින් මම ඇසීමි.

“මාලිකාලා, විදුර, දුලා, ඒ කට්ටිය ඉස්කෝලේ එනවා…ගිම්හාන හලාවත කෝස් එකක් කරනවා…”

“ගිම්හාන පව්…එයාලා ගෙදර ප්‍රශ්න නේද…?”

“හැමෝටම ප්‍රශ්න තමා මංදි…අපිට නොපෙනුණාට…අපි නොපෙන්වුවාට… නොකීවට…හැමෝම ඉන්නේ ප්‍රශ්න වල හිර වෙලා…දැන් බලන්න රජිව් අයියට තියන ප්‍රශ්න…ඔයාගේ ප්‍රශ්න…”

එය සැබෑවක් වූ නිසා මා මුවින් සුසුමක් පිට විය.

“කමල් අයියා හොඳින් නේද…?”

ඇගේ මුහුණ ලා රෝස පැහැයට හැරෙන අපූරුව මම පැහැදිලිවම දුටිමි.

“රිසාල්ට්ස් ආවානේ…මේ ටිකේ බෑන්ක් එකේ වැඩ…හලාවත…”

“ආහ්…එහෙනම් හොඳයිනේ…”

“තාම ට්‍රේනින්…”

මට සිහි වූයේ රජිව්ය. විභාගය ලීවානම් ඔහුද කමල් සමඟම රැකියාවක් කරනු ඇත. මගෙන් සමුගත් තරුෂි පිටව ගිය පසු මමද ගෙතුළට ආවෙමි.

නිවස තුළ වූයේ දැඩි පාළුවකි. රජිව් චිත්‍රා මිස් කැඳවාගෙන වෛද්‍යවරයා වෙත ගියේ ප්‍රේමා නැන්දා සමඟය. මා දන්නා හඳුනන අය සිටිනු ඇතැයි කියා ඔහු මට නිවසේ නවතින ලෙස පැවසුවේය. නිවස අස් පස් කොට දමා මම කිළිටි රෙදි කීපයත් සෝදා දමා විත් කෙටි නින්දකට පිවිසියෙමි. මා යළිත් අවදි වූයේ නිවසේ විදුලි සීනුව නද වන විටය. ඒ වන විටත් පැය කීපයක් ගෙවී තිබිණි. නිවසේ දොර හරින්නට යෑමට බියක් මා සිතේ ඇති විය. පැමිණියේ කවුරුන්ද කියා හෝ නොදැන මට දොර හැරිය නොහැක.

“මංදාකිණි…දොර අරින්න…”

මා දෙගිඩියාවෙන් පසුවන විට මට ඇසිණි. ඒ රජිව්ගේ හඬය. මම වහා දිව ගොස් දොර විවර කළෙමි.

“මට ටිකක් නින්ද ගියා…”

“හ්ම්ම්…හිතුණා…”

රජිව් එසේ කියා රෝද පුටුව ගෙතුළට තල්ලු කරගෙන පැමිණියේය. චිත්‍රා මිස්ට ශාරීරික ව්‍යායාම් වල නිරත කරවන ලෙස වෛදයවරයා උපදෙස් දුන් බවක් රජිව් මා සමඟ කීවේය. කළයුතු ක්‍රියාකාරකම් වල රූප සටහන්ද සහිතව විස්තරාත්මක පත්‍රිකාවක්ද දී තිබූ අතර මම එය කීප වතාවක්ම කියවූයෙමි.

“මම මේ ටික කරවන්නම්…”

මම කියන විට ඔහු මඳහසක් පෑවේය .

පසුදින උදෑසනම රජිව් මාරවිල බලා පිටත් වූයේ එහි වැඩ කටයුතු සොයා බලා එදිනම නැවත පැමිණෙන බව පවසමිනි. මාත් ප්‍රේමා නැන්දාත් එකතුව වතුර උණු කොට චිත්‍රා මිස් නෑව්වෙමු. පසුව රෝද පුටුවේ තබාගෙන ඇයව මිදුල වටේ ගෙන ගියෙමි. පෙර තිබුණාට වඩා දැන් ගෙමිදුල පිළිවලය. මාත් රජිව්ත් එකතුවී වල් පැල ගළවා දමා ගස් වල අතු ඉති කප්පාදු කොට මනාව සකස් කළේ පෙරදින උදෑසනය. දැන් මිදුල බලන්නට ලස්සනය. පසෙක වූ ගල් පඩියක් මත හිඳගෙන මම චිත්‍රා මිස් දෙස බැලීමි. ඇගේ දෑස් වල අමුතු දිස්නයක් ඇති සැටි මට පෙනිණි. ඈ සිටින්නේ සතුටින්ද….?

“මිදුල දැන් ලස්සනයි නේද මිස්…?”

මම අසන විට ඇගේ දෑස් එහා මෙහා දිවිණි. ඒවායින් කියා පෑවේ මා කී දේ පිළිගන්නා බවක් මෙනි. බට්ටිච්චන් ජෝඩුවක් ක්‍රෝටන් ගසේ දඟ කරන දෙස ඇගේ දෑස් නැවතී ඇති සැටි මම දුටිමි. ඇගේ උකුළ මත වූ දෑත ගෙන මගේ කම්මුලට තෙරපා ගන්නා විට ඈ පුදුමයෙන් මෙන් දෑස් විසල් කොට ගත් සැටි මම දුටිමි. ඇසිල්ලකින් ඒ දෑස් වල ගොඩ ගැසුණු කඳුළු ගුළි කම්මුල් සිපගෙන ගලා ගියේ මා මවිත කරමිනි. මම වහා ඇගේ කඳුළු පිස දැමුවෙමි.

“මිස්…ඇයි අඬන්නේ…?”

මා හඬද බිඳී ගොසිනි.

“මං දන්නවා මිස්…මිස් අසනීපෙන් ඉද්දී මම මෙහෙ ආව එක වැරදියි…මං යන්නේ කොහෙද…මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්න කොට…රජිව් අයියා මාව මෙහෙ එක්ක ආවා…මිස් මේ තත්වෙන් ඉන්නවා දකින්න වෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ…හැමෝම මිස්ලව අතෑරලා දැම්මා කියලා රජිව් අයියා කිව්වා…මං මිස්ව සනීප කරගන්න උදව් කරන්නම් කියලා රජිව් අයියාට පොරොන්දු වුණා…මිස් බය වෙන්න එපා…මං කවදාවත් රජිව් අයියාට ළං වෙන්න හදන්නේ නැහැ…මම කොහොමවත් ඒකට සුදුසු කෙනෙක් නෙවේ…මගෙ අතින් කිසිම වරදක් සිදුවෙන්න මං ඉඩ තියන්නේ නැහැ…ඒත් මිස් හිතට අරන් ඉක්මනට සනීප වෙන්න බලන්න…රජිව් අයියට ඉන්නේ මිස් විතරයි…”

මගේ වචන නිකම්ම නිකන් සුළඟට හසුව ගලා නොගිය බව මට දැනුණේ චිත්‍රා මිස් සිය ප්‍රාණවත් අතින් මගේ සුරත තද කළ නිසාය. මා සිතේ මෙතෙක් වූ බර පහව සිතට සැනසුමක්  දැනිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you