NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 46

Pini Muthu Palasa පිනි මුතු පලස – 46

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

“මංදාකිණි…”

ඔහු මා අමතන විට මසිත අලුතින් ගැහෙන්නට විය.

“එන්න…මං අම්මට කිව්වා ඔයා ගැන…එයා අහන් හිටියා…එන්න…ඇවිත් කතා කරන්න….එයාට කතා කරන්න බැරි වුණත් අපි කියන දේ ඇහෙනවනේ…”

මා සිත පසුබාන්නට වුවද මම ඔහු සමඟ දෙගිඩියාවෙන් චිත්‍රා මිස් සිටි කාමරය දෙසට පැමිණියෙමි. දොර රෙද්ද මෑත් කරමින් රජිව් මට ඇතුළට යෑමට ඉඩදී පසෙකට වී සිටියේය. මම කාමරයට ඇතුළු වූයේ දෙගිඩියාවෙනි. මෙතෙක් බියෙන් චකිතයෙන්, ගැහෙමින් තිබූ මා සිත යහන මත වැතිර හිස් දෑසින් සිවිලිම දෙස බලා සිටින රුව දකින විට අනුකම්පාවෙනුත් දැඩි වේදනාවකිනුත් පිරී ගියේය. මා දකින්න බලාපොරොත්තුවෙන් සිටියේ පෙර කලෙක මා පාසලේදී දුටු චිත්‍රා මිස් වුවද යහන මත වැතිර සිටියේ කෘෂව ගිය වඩා වියපත් වූ කාන්තාවකි. සැබෑවටම මේ පෙර දිනක පිරිපුන් අඟ පසඟින්, අභිමානයෙන් හිස ඍජු කරගෙන උඩඟු ලෙසින් සිටි ඇයමද කියා මට සිතා ගන්නට නොහැකි විය. මේ ඇයමද කියා මම යළිත් යළිත් සිතුවේ මවිතයෙනි. ඇගේ යහන අසල බිම දණ ගසා ගත් මා දර කෝටුවක් සේ වූ ඇගේ දුබල අතක් අල්ලා ගෙන ඒ ගිලී ගිය දෑස් තුළට එබුණෙමි. මා ඇගේ අතින් අල්ලා ගත් බවක් ඇයට දැනුණා කියා මම නොසිතමි. ඈ දෑස් කරකවා ම දෙස බැලුවේ මම ඇගේ මුහුණට නැඹුරු වූ නිසාය. මුව මඳක් විවර කළ ඈ යමක් පවසන්නට තැත් කරන බවක් පෙනිණි.

“මිස්…”

මෘදු හඬකින් මම ඇයව අමතන්නට උත්සහ කළද මගේ හඬ බිඳී කඳුළැල් මා කම්මුල් මතින් ගලා ගියේය. ඇගේ දෑසින්ද ගිළිහී ගිය කඳුළු බිඳු කීපයක් කොට්ටය මතට වැටී බොඳව ගිය බව මම දුටුවේ බොඳ වුණ දෑසිනි. මම ඇඟිලි තුඩින් සෙමෙන් ඇගේ කඳුළු පිස දැමුවෙමි.

“මිස්…මිස්ට ඉක්මනින් සනීප වෙයි…”

ඇගේ හිස පිරිමදිමින් මම කීවෙමි. වෙන මා කුමක් කියන්නද..? ඈ මා දෙසම බලා සිටියා පමණි. ඒ දෑස්වල වූයේ අසරණ බවකි. අනුකම්පාවෙන් මසිත බර විය. සුළු මොහොතක් ඈ අසළම දණ ගසාගෙන සිටි මා නැඟිට ඉවතට පැමිණියේ ඇගේ දෑස් නිදි බරව පිය වෙන විටය. මා බලාපොරොත්තුවෙන් පිටතට වී සිටි රජිව්ගේ දෑස් තුළ වූයේ ශෝකය මුසු බවකැයි කියා ඔහු දෙස බලන විටම මට වැටහී ගියේය. ගැහැණු අප පුංචිම දෙයටත් සිතේ ඇතිවන දුකට ඉකිගසා හඬන්නට හුරුව සිටියද, පිරිමින් මෙවන් දුකක් වේදනාවක් පපුව තුළ සිරකරගෙන තනිව දරා ගනිමින් කෙලෙස ජීවත් වනවාදැයි සිතන විට රජිව් කෙරෙහි අලුත් වූ අනුකම්පාවකින් මසිත පිරී ගියේය. නොසිතන, නොපතන දුක් කරදර අපේ ජීවිත වලට එල්ල වන විට කෙලෙස ඒවාට මුහුණ දෙන්නද…? චිත්‍රා මිස් වුවද මෙවන් දෙයක් සිදු වේයැයි කියා කිසිදිනක සිතන්නට නැතුවාට සැක නැත.

“මිස් ඉන්න විදිය දකින කොට නම් හරිම දුකයි…”

වෙනත් යමක් නොකියා මම නිහඬ වූයේ ඉන් රජිව්ගේ සිතේ දුක තවත් වැඩි වෙනු ඇතැයි සිතාය. මුවින් නොකීවද ඔහුගේ සිතේ ඇති වේදනාව මට වටහාගන්නට අපහසු නොවීය. ඔහුගේ මුවින් පිට වූ සුසුමේ බර දැනුණේ මගේ පපුවටය. කැබිනෙට්ටුව මත වූ ඡායාරූප සමූහය කෙරෙහි මගේ දෑස් දිව ගියේය. එහි රජිව්ගේ තාත්තාගේද ඡායාරූපයක් විය. ඔහු තරුණ වියේ රජිව් මෙන් කඩවසම් බවකින් යුතු විය. ඉන් එහා පස වූයේ රජිව්ගේ උඩුකය ඡායාරූපයකි. ගිටාරයක් කරේ එල්ලාගෙන නළල මත රඳවා ගත් අව් කන්නාඩියක්ද සමඟ ඔහු එහි සිටියේ මුහුණේ වූ සුන්දර සිනහවක්ද සමඟය. එම ඡායාරූපය ඉතාමත් මෑතකදී ගත්තක් බව පෙනෙන්නට තිබුණේ රජිව්ගේ කෙස් වැවී තිබූ නිසාය. ඔවුන් තිදෙන එකට හිඳ ගත් ඡායාරූපයක්ද එහි විය.

“ඔය ෆොටෝ ගත්තේ තාත්තා නැති වෙන්න සතියකට විතර කලින්…එයාම තමා එන්ලාර්ජ් කරලා ෆ්‍රේම් එක ගහලා ඔතන ගෙනත් තිබ්බේ…”

ශෝකී හඬකින් ඔහු කීවේය. තාත්තාගේ වියෝව ඔහුට තවමත් දරා ගන්නට නොහැකි වන්නට ඇත. තමන්ගේම අයෙකුට විපතක් හිරිහැරයක් සිදුවන තුරුම එහි වේදනාව යම්කිසි අයෙකුට නොතේරේ. මවෙත හැරුණු රජිව් දුක්බර සිනහවක් පෑවේ මා ඔහුගේ ඡායාරූපය දෙසම දෑස් දල්වා බලා සිටි නිසා වන්නට ඇත. සියුම් ලැජ්ජාමුසු හැඟීමක් මා සිතේ ඉහිර ගියේ ඔහු එය දකින්නට පෙර නෙත් ඉවතකට ගන්නට නොහැකි වූ නිසාවෙනි.

“ඒක හරි ලස්සනයි…”

අපහසුතාවයෙන් මිදෙන්නට තැත් දරමින් මම කීවෙමි.

“ඒ ඉන්නෙත් මමම තමා…”

එවර ඔහුගේ හඬේ වූයේ සැහැල්ලු දඟකාර බවකි.

“ඇයි ඉතින් කොණ්ඩේ වවන්න හිතුවේ…?”

යළිත් ඒ මුහුණ පුරා ශෝකී බවක් තැවරිණි. මා ඇසුවේ නුවුමනා ප්‍රශ්නයක්ද…?

“අන්තිමට කොණ්ඩේ කැපුවේ තාත්තා නැති වෙන්න කලින්…ඊට පස්සේ ඉතින් කොණ්ඩේ කපන්න වෙලාවක් ආවේ නැහැ…ඔහොමම වැවෙන්න ඇරියා… මෙහෙම හොඳ නැත්ද…?”

“ඉස්සර හිටියාට වඩා වෙනස්…කොටට කපලා හොඳයි වගේ…”

“හ්ම්ම්…”

කෙටි සුසුමක් හෙළූ ඔහු මට කීවේ ඇඳුමක් මාරු කරගෙන විවේක ගන්නා ලෙසය. නමුත් මා කිසිත් රැගෙන නොආ බව මටත් සිහි වූයේ එවිටය.

“අනේ…මම මොකුත් අරගෙන නෙවේ ආවේ…”

අසරණ හඬකින් මම කීවෙමි.

“හරි…ඒකට කමක් නැහැ…දැනට අම්මගේ ඇඳුමක් ඇඳ ගන්න…අපි ගිහින් ඇඳුම් ටිකක් අරන් එමු…”

“අපි…?”

මම මවිතයෙන් ඇසීමි.

“ඔව්…ඇයි…?”

“ඒත්…අපි දෙන්නා…එකට ටවුමේ ඉන්නවා කියලා කවුරු හරි දැක්කොත්…?”

“ආහ්…ඔව්නේ…මට ඒක අමතක වුණා… හරි බලමුකෝ…”

හිස කසමින් ඔහු කීවේ මඳහසක් පාමිනි.

“මං හිංදා ඔයාට තවත් කරදරේ නේද…?”

“විකාරද…මං ගැනනේ ඔයා කරදර වුණේ…ඒකට මාත් වග කියන්න ඕන…නේද…? ඒ නිසා මං කරදර වුණා කියලා ඔයා ඒ ගැන කරදර වෙන්න එපා…”

ඔහුගේ හඬේ වූ සැහැල්ලු බව නිසා මසිතටද දැනුණේ සහනයකි. රජිව් ගෙනවිත් දුන් චිත්‍රා මිස්ගේ ඇඳුම් අතරින් එකක් තෝරාගෙන මම ඇඟපත සෝදාගෙන එන විට ප්‍රේමා නැන්දා කාමරය අස්පස් කොට යහනද සකසා තිබුණාය. මම යහන මත හිඳගෙන කොට්ටය ඇඳ විට්ටමට තබා සුව පහසුව හිඳගෙන ජනේලයෙන් එපිට බැලීමි. සැඳෑ අඳුර හාත්පස ගලා එමිනි තිබිණි. තව සුළු මොහොතකින් අඳුර වැටෙනු ඇත. පූජිත දැන් නම් නිවසට පැමිණ ඇතිවාට සැක නැත. ඔහු සිය සහචරයන් සමඟ මා සොයා ඇවිදිනවා වන්නට පුළුවන. ඔහු මා සොයා අක්කාගේ නිවසට පැමිණියා නම් අක්කාද කලබල වී ඇතුවා විය හැකි යැයි සිතන විට මා සිතේ ඇති වූයේ කුරිරු සතුටකි. මා දෑස් නිදිබරව පියවෙන විට මම කොට්ටය මත හිස තබා ගතිමි.
——————————————————————————————————
“නෝනා….නෝනා…”

කිසිවෙකු අමතන හඬින් මම තිගැස්සී අවදි වූයෙමි. හාත්පස අඳුරේ ගිලී තිබිණි. මා සිටින්නේ කොහිද කියා හෝ මට එක්වරම සිතා ගන්නට නොහැකි විය. කාමරයේ පහන දල්වන විට මම දෑස් පොඩි කළේ එම එළියට දෑස් හුරු නොවූ බැවිනි.

“නෝනට නින්ද ගියානේ…එන්න කෑම කන්න…පුංචි මහත්තයා බලන් ඉන්නවා…”

මා සිටින්නේ කොහිද කියා මට සිහි වූයේ ප්‍රේමා නැන්දාගේ හඬ යළි ඇසෙන විටය. මම සෙමෙන් දෑස් විවර කර නැඟී සිටියෙමි.

“මට නින්ද ගියා…ප්‍රේමා නැන්දේ…”

අවුල් වූ හිස කෙස් අතින් සකසමින් මම කීවෙමි.

“ඒකනේ…මාත් ඇවිත් බැලුවා…නෝනා නිදි නිසා කතා කළේ නැහැ…”

මම ප්‍ර්‍රේමා නැන්දා සමඟ කෑම කාමරයට එන විට රජිව් මා එනතුරු බලා සිටියේය.

“නින්ද ගියා නේද…?”

ඔහු අසන විට මම ලැජ්ජාමුසු සිනහවක් පා හිස සැළීමි.

“වාඩිවෙන්න…කාලා ඉමු…”

මම ඔහු ඉදිරියේ අසුනක් ඇද හිඳ ගත්තේ ඔහුගේ ආරාධනයෙනි.

“මිස් කෑම කාලද ඉන්නේ…?”

“අම්මට තවම හරියට හපලා කන කෑම දෙන්නේ නැහැ…කැඳ වර්ග සුප් වර්ග තමා…දැන් මම සුප් ටිකක් පොවලා ආවේ…ආයේ ටිකකින් සුප් ටිකක් දෙනවා…රෑට පිටි එකක් හදලා දෙනවා…මොනව දුන්නත් එයා බොන්නේ ටිකයි…ඒකයි මේ ඇඟ බැහැලා තියෙන්නේ…”

රජිව් මා හා දිගු විස්තරයක් කළේය.

“මිස් ළඟ නිතර කවුරු හරි ඉන්න එපැයි රජිව් අයියේ…”

බත් කටක් අනමින් මම කීවෙමි.

“අම්මාව බලා ගන්න කියලා කෙනෙක් වැඩට ගත්තා…ඒත් එයා හරියට බැලුවේ නැහැ…වෙලාවට කන්න දෙන්නෙ නැහැ…මං එයාව යැවූවා…බොරුවට පඩි ගෙව ගෙව තියා ගන්න පිස්සූයැ…මායි ප්‍රේමා නැන්දායි දැන් කොහොම හරි බලනවා…ප්‍රේමා නැන්දා තමා හුඟාක් මහන්සි වෙන්නේ…”

රජිව් ඈ ගැන කතා කළේ සෙනෙහසකිනි. ප්‍රේමා නැන්දා පැමිණියේ කෑම මේසයේ අඩු පාඩු බලන්නටය.

“ප්‍රේමා නැන්දාත් නැත්නම් මං තනියම මේවා කොහොම කරගන්නද මංදා…”

ඇයව අගය කරන බැල්මක් හෙළමින් රජිව් යළිත් කීවේය.

“හැමදේම වෙන්නේ හොඳටයි කියනවනෙ පුංචි මහත්තයා…අපි කොහොම හරි ලොකු නෝනව සනීප කර ගමුකෝ…දැන් ඉතින් මංදාකිණි නෝනාත් අපි එක්ක ඉන්නවනේ…නේද පුංචි මහත්තයා…?”

ඈ මා දෙසත් බලමින් රජිව් විමසන විට මම තිගැස්සී ගියෙමි. මම මෙහි නැවතී සිටින්නේ කෙසේද…? එය කළ නොහැකිය.

“ඔව්…ඔව්…ප්‍රේමා නැන්දේ…මංදාකිණි නෝනත් දැන් මෙහේ තමා ඉන්නේ…”

ඔහුද එසේ පවසන විට මම තවත් තැති ගතිමි.

“දැන් එහෙනම් පුංචි මහත්තයට මාරවිල වත්තට ගිහින් එන්න පුළුවන්…මාස ගාණකින් ගියෙත් නැහැනේ…”

“හ්ම්ම්…ඔව්…ගිහින් එන්න ඕන තමා…පොල් කඩපු සල්ලි නම්…ගුණදාස බැංකුවට දාලා තිබුණා…”

“ඒකට කමක් නැහැ…පුංචි මහත්තයා ගිහින් එන්න…”

ප්‍රේමා නැන්දා එසේ පවසා පිටුපසට ගියාය. ඔවුනට මාරවිල පොල් වත්තක් ඇති බවක් මම දැන ගත්තේ මේ මොහොතේය. මා සිතුවාට වඩා රජිව් පොහොසතුන්ය. වනාතවිල්ලුව පෙදෙසේත් ඔවුනට පොල් සහ කජු ඉඩම්ද ඇති බවක් මම දැන ගත්තේ පසුවය. චිත්‍රා මිස් අප සම්බන්ධය දැන ගත් විට බැන වැදුණු එක් හේතුවක් ලෙස මට පෙනී ගියේ මගේ දුප්පත් කමය. නමුත් දැන් නම් මා සිතේ ඈ කෙරෙහි කිසිදු අමනාපයක් ඇත්තේම නැත.

“තරුෂි ඉන්නේ මේ ළඟ නේද රජිව් අයියේ…?”

හදිසියේ සිහි වූ නිසා මම ඇසීමි.

“ඔව්…තව ටිකක් ඇතුළට යන්න ඕන…”

“හ්ම්ම්…එයා ඉස්කෝලේ යනවා ඇති…”

“ඔව්…දැන්ම එහෙ යන්න හදිසි වෙන්න එපා…ගෙදර අය ඔයා ගැන හොයන්න යාළුවන්ගේ ගෙවල් වලට එන්න පුළුවන්…ඒ නිසා ගේ ඇතුළටම වෙලා ඉන්න…”

ඔහු අවවාදයක් ලෙස කීවේය.

“න්…නැහැ…මං කොහෙවත් යන්නේ නැහැ…ඇරත් ඉතින් යාළුවන්ගෙන් මං ගැන මොනවා කියලා දැනගන්නද…? මං කවදාවත් යාළුවෙක්ගේ හෙදරකටවත් ගිහින් නැහැනේ…අවුරුදු දෙකකින් මං ඒ කවුරුවත් දැකලාවත් නැහැ…”

සුසුමක් හෙළමින් මම කීවෙමි. රජිව් මා දෙස බලා සිටියේ අනුකම්පා මුසු වූ බැල්මකින්ද…?

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you