More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 36

    Pini Muthu Palasa පිනි මුතු පලස – 36

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    නිරෝෂාගේ වුවමනාවට කෑම බෙදාගෙන පැමිණියද මට කෑමට පිරියක් නොවීය. මගේ දෑස් සෙවූයේ රජිව්වය. මෙතෙක් වෙලා ගී ගැයූ ඔහුගේ ගී හඬින් පරිසරය පිරී තිබිණි. ප්‍රේම ගීත කීපයක්ම ඔහුගේ මුවින් ගැයෙන විට තටු සැළුවේ මා සිතය. ඒ ගී ගයන්නේ මා වෙනුවෙන් යැයි කියා මසිත මට රහසේ කොඳුරන්නාක් මෙනි. මා සිතේ සතුටක් නොවූවා යැයි කියා මම නොකියමි. ඔහු නැවත වරක් දැක ගන්නට ලැබීමෙන් මට කිව නොහැකි සතුටක් දැනෙන්නට විය. ඒ සතුට මා මුහුණින් පෙනේවි යැයි කියා මම බිය වූයෙමි. කෑමට පිරියක්ද නොවූයේ සිත මෙතෙක් කලක් නොපිරුණු හැඟීමෙන් මෙදින පිරුණු නිසා වන්නට ඇත. ගීත කීපයක් ගායනා කළ නිසාදෝ රජිව් මඳ විවේකයක් ලබමින් තරුණයන් කිහිප දෙනෙකු සමඟ නුදුරින් හිඳ සිටිනු මම දුටිමි.

    “කවුරු වුණත් ලස්සනට සිංග් කළා නේද අක්කේ…අපි කාලා ගිහින් එයා එක්ක ටිකක් කතා කරමුද…අර ගිටාර් එක ප්ලේ කර, කර කියපු හිංදි සිංදුව නම් මාර ලස්සනයි නේද අක්කේ…?”

    නිරෝෂා එසේ කියනු ඇසී මා හද ගැස්ම වේගවත් වන්නට විය. ඈ එසේ කීවේ විහිළුවට නම් නොවන බව ඇගේ මුහුණින්ම මට පෙනිණි. මම ඔහු සමඟ කතා බහට යන්නේ කෙසේද..? ඇරත් නිරෝෂා ඔහු සමඟ කතා බහට ගොස් තොරතුරු විමසන විට ඔහුද පුත්තලමේ බව කිවහොත් නිරෝෂා හරස් ප්‍රශ්න අසනු ඇතිවාට සැක නැත. එවිට මා ගිය පාසලටම ගිය බවත් දැන ගනු ඇත. අපි හඳුනන්නේ නැතිදැයි ඇය ප්‍රශ්න කරනු ඇත. එයින් සිදුවන්නේ අමතර ගැටළුවක් මතු වීම නොවේද…?

    “අක්කේ එයා අන්න අතන වාඩි වෙලා ඉන්නවා…අපි කාලා ගිහින් කතා කරමුද…?”

    නිරෝෂා නුදුරින් සිටින රජිව් පෙන්වමින් මගෙන් අසයි. මමද ඔහු දෙස බලන විටම ඔහුද මදෙස බැලූ අතර මම වහා දෙනෙත් බිමට නැඹුරු කොට ගතිමි.

    “එතන කොල්ලෝ ගොඩක් අනේ…මට නම් බැහැ…”

    මම අදිමදි කළද සිත කීවේ ගොස් ඔහු හා කතා බස් කරන ලෙසය. යළිත් ඔහු හමුවන්නට කවදා නම් අවස්ථාවක් උදා වනු ඇතිද කියා කාට කිව හැකිද…?

    “කමක් නැහැ අනේ..යමු…එයාලා අපිව ගිළින එකක් නැහැනේ…”

    නිරෝෂා සිනහසෙමින් කීවාය. ඒ අතර මා දෑස් කීප වතාවක්ම රජිව් ලුහුබැඳ ගිය අතර මට එය නවතා ගන්නට නොහැකි විය. නිරෝෂා කෙරෙහිද යම් ඊර්ෂ්‍යා මුසු හැඟීමක් ම සිතේ ඇති වූයේ ඈ රජිව්ට වසඟව ඇතැයි සිතන විටය. ආදරය වූ කලී ආත්මාර්ථකාමී හැඟීමක් කියා මට සිතුණේ ඒ නිසාය. කිසි දිනක හිමි නොවන බව දැන දැනත් ඔහු මගේ යැයි කියා සිතෙන්නේ ඒ ආත්මාර්ථකාමී සිතුවිල්ල නිසාය.

    “අක්කා ඔයා කනවද භාවනා කරනවද අනේ ඔය…?”

    නිරෝෂා අසන විට මසිත පුරා ඉහිරී ගියේ ලැජ්ජා මුසි හැඟීමකි.

    “කන ගමන් භාවනාව…”

    මම වහා කියා ගත්තේ සැහැල්ලු සිනහවක් පාමිනි.

    “අනේ…බලන්න අක්කේ ඔයා හිනා වෙනකොට ලස්සන…දැන් ඉතින් ආයේ අප්සට් ගන්න එපා හොඳේ…හිනා වෙලා ඉන්න…”

    නිරොෂා එසේ කීවේ යළි මගේ මුහුණේ හැඟීම් වෙනස් වනු ඇතැයි බියෙන් මෙනි. එම සිනහව සුළු මොහොතක් මා මුවේ රැඳී තිබෙන්නට ඇත. එවන් සැහැල්ලු සිනහවක් හෝ මා මුවට නැගුණේ අහම්බෙන් හෝ හමු වූ රජිව් නිසා නොවේද කියා මට නොසිතා බැරි විය. පූජිත සමඟ රජිව් සංසන්දනය කර බැලීමට මසිත පෙළඹුණේ නිතැනිනි. ඒද පළමු වතාවටය. මෙතෙක් කලකට එවන් සිතුවිල්ලක් හෝ මසිතේ ඉපිද නොතිබිණි. පූජිතත් රජිව්ත් අතර ඇත්තේ කෙතරම් නම් පරතරයක්ද…? රජිව් තුළ වූ කඩවසම් බව, ප්‍රියමනාප පෙනුම මෙන්ම සිත් ගන්නා සුලු කතා බහ, සංයමය පූජිත ළඟ අංශු මාත්‍රයක් හෝ නොමැත. ඔහුගේ හැඩි දැඩි, රළු, දාමාරික පෙනුම මෙදින අන් කවරදාටවත් වඩා මට ඉස්මතුව පෙනෙන්නට විය.

    නිරෝෂා මගේ අතින් බලෙන් මෙන් ඇදන් එන විට මම ඈ සමඟ පැමිණියේ බියෙනුත් චකිතයෙනුත්ය. මට සිහි වූයේ මා රජිව් සමඟ කතා බහ කළ පළමු දිනයය. එදිනත් මා ගැහෙමින් සිටියේ මෙසේ නොවේද….? නමුත් කාලය කෙතරම් වෙනස් වී ඇතිද..! එදා මා යුවතියකය. අද මා විවාහක ගැහැණියක වෙමි.
    මා අතින් ඇදගෙන රජිව් හුන් අසුන අසලට යන විට ඔහු පුදුමය රැඳි දෑසින් අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලීය.

    “ඔයා නේ සිංදු කිව්වේ…? හරි…ලස්සනයි අයියා..අපේ අක්කාට ඕන කිව්වා ඔයා එක්ක කතා කරන්න…මෙන්න මං එක්ක ආවා…”

    මා තිගස්සවමින් නිරෝෂා කියන විට මම ඇගේ අතක් කෙනිත්තුවේ බියෙනි.

    “ඌයී…රිදුණා…” ඈ කෑ ගැසුවාය.

    “මං කිව්වේ නැහැ…මේ බොරු…”

    හිස දෙපසට සොළවමින් මම රජිව් ගේ දෑස් දෙස බලා වහා කීවෙමි. ඔහු එයට සිනහසුණේ දඟකාර ලෙසය.

    “අක්කටද නංගීටද කතා කරන්න ඕන වෙලා තියෙන්නේ දැන්…?”

    ඔහු වහා අසන විට මසිතට දැනුණේ සැහැල්ලුවකි. පූජිත හෝ අම්මා පෙනෙන මානයක සිටීද කියා සෙවීමට මම දෙනෙත් දිවවූයෙමි. පෙනෙන මානයක ඔවුන් නොමැති වීම වාසනාවකි.

    “දෙන්නටම…නේ…අක්කා…?” ඈ මා පාවා දී අසයි.

    “ඔය බොරු…මෙයා තමා මාවත් ඇදන් ආවේ…ලස්සන කටහඬ…සිංදු ටික ලස්සනයි කිය කියා…”

    නිරෝෂා ලැජ්ජාමුසුව සිනහසුණේ බිමට යොමා ගත් හිසිනි.

    “ඇත්තටම ලස්සනයි අයියා…”

    ඈ කීවේ ඔහු දෙස හිස ඔසවා බලමිනි.

    “තැන්ක් යූ…”

    “ඔයාලා කොහෙද අයියේ…?”

    ඈ අසන විට මම තිගැස්සී රජිව් දෙස බැලීමි. ඔහුට මා දෑසින් කියූ දේ වැටහුණා වන්නට ඇත.

    “අපි නංගී මදුරන්කුලියේ…”

    ඔහු පැවසුවේ මා සිතට සහනයක් එක් කරමිනි.

    “ඔයාලා කොහෙද…?”

    ඔහුත් නිරෝෂාත් දැන් කතාවට වැටී ඇත. මම නිහඬව අසා සිටියෙමි. මේ වන විට නිරෝෂා ඔහුට නිවස පිහිටි ඉසව්ව පවා කීමට සෑදී පැහැදී සිටියාය. රජිව් එසේ ප්‍රශ්න කරන්නට වූයේ මා ගැන දැන ගැනීමට බව නිරෝෂා සැකයක් නොසිතුවාය. මල්ලිකා නැන්දා නිරෝෂා සොයා පැමිණියෙන් අපට ඔහුගෙන් සමුගන්නට සිදු විය. ඈ නිරෝෂා කැඳවාගෙන ගෙතුළට යන විට මම පෙර අසුනටම විත් හිඳ ගතිමි. මනමාල යුවල පිටත්ව යාමට ආසන්න වේලාව ළංව ඇත. සැවොම නිවස දෙසට ඇදෙන විට මම එහිම හිඳ සිටියෙමි.

    “මංදාකිණි…”

    ඒ ඇසිල්ලේ මා අසළට පැමිණි රජිව් පහත් හඬින් මා අමතන විට මම තිගැස්මෙන් හැරී බැලීමි.

    “මට ඔයාව මුණ ගැහෙන්න ඕන…”

    පහත් හඬින් ඔහු කීය. කුමක් කිව යුතුද කියා මට සිතා ගන්නට නොහැකිය. ගැහෙන සිතින් මම වටපිට බැලීමි.

    “කියන්න…”

    ඔහු නැවත කීවේය. මා ඔහු හමුවන්නේ කෙසේද..? මා නිවසින් බැහැරක යන්නේම නැත. කුමක් කිව යුතුද කියා මට සිතා ගන්නට නොහැකි විය.

    “ඉරිදා හවස පොළට එන්න…මං එන්නෙ තුනට විතර…වළං කඩේ ළඟ ඉන්න…”

    හදිසියේ සිහි වූ බැවින් මම කීවේ බියෙනි. කිසිවෙකු අහළ, පහළ නැත. රජිව් ඉවත ගියේ සැහැල්ලු සිනහවක් මුවේ රඳවාගෙන මුත් මා සිටියේ දෙගිඩියාවෙන් මෙන්ම ගැහෙන සිතිනි.

    මගේ ළමැද සුව යහනක්…
    ඔබට තනා දෙන්න කියා…
    භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා…

    මනමාල යුවළ පිටව යන්නට යන මොහොතේ ඔහුගේ මියුරු හඬින් ගැයුණේ එම ගීයයි. ඒ ගයන්නේ මා වෙනුවෙන් යැයි කියා මට නොසිතා බැරිය. එම මියුරු නද හීසරයක් වී මා හද පත්ළේ ඇනිණි. සිත හිරි වැටී ගිය අලුත් හැඟීම ඔඩු දුවන්නට ඉඩක් නොවූයේ කෙදිනකවත් යළි මට ඔහු හිමි නොවන බව මසිත මට ඒත්තු ගැන් වූ බැවිනි. මා පූජිත හා විවාහ නොවී සිටියා නම්…!

    යළි පිටව ඒමට සූදානම්ව මම රජිව් සෙවූවද ඔහු පෙනෙන්නට නොසිටියේය. හොඳ හැටි මත්ව සිටි පූජිතව රථයට ගෙනවිත් දැමුවේ මත්ව නොසිටි තරුණයන් කිහිප දෙනෙකු විසිනි. මට ඔහු පිළිබඳව වද වීමට වුවමනා නැත. මා සිතුවිලි වටකොට ගෙන සිටියේ රජිව්ය. සුළු මොහොතකට හෝ මා ලද සැනසුම අති මහත්ය. නිවසට ගිය පසුව යළිත් සුපුරුදු ඒකාකාරී පරිසරය තුළ මා සිරගත වනු ඇත.
    ——————————————————————————————————
    ගොර අදිමින් නිදන පූජිත දෙස මා බලා සිටියේ කලකිරීමෙන්ද නැතිනම් පිළිකුළෙන්ද කියා මට සිතා ගැනීමට අපහසු විය. රජිව්ගේ මතකය මා සිතට එබිකම් කලේ මිහිරි වූ හැඟුමකින් මසිත පුරවාළමිනි. ඒ ගෙවී ගිය සුළු මොහොතට වුවද මම ආදරය කරමි. එයත් මට මහ මෙරක් තරම්ය. මෙතෙක් කලකට මා ඔහු අමතක කර දමා හෝ ඔහුට ආදරය කිරීම නවතා දමා තිබුණාද කියා මම නොදනිමි. සිත තුළ එය යටපත්ව ඔහු දැකුමෙන් එය නැවත වරක් ඉස්මතු වූවා වන්නට ඇත. එම හමුවෙන් මම තව තවත් ඔහු කෙරෙහි වඩාත් බැඳී ගිය බවක් මට දැනෙනට විය. සිතේ සැඟව ගිය හැඟුමන් පිබිද යළිත් ආදරයේ වෘක්ෂය දළු ලා වැඩෙන්නට විය. යහනින් බැස මම මිදුලට පැමිණියෙමි. පරිසරය තුළ වූයේ නිහැඬියාවකි. මිදුල දිගේ ඇවිද මම පිටුපසට පැමිණියෙමි. දෙමලිච්චන් රංචුවක් මහ හඬින් නද කර දිවුල් ගසේ අතු මත ලැග්ගෝය.

    “අක්කේ…”

    නිරෝෂාගේ හඬ ඇසී මා මෙන්ම දෙමලිච්චන්ද තිගැස්සී ගියාක් මෙන් උන් වහා ඉවත ඉගිළ ගියෝය. මම ආපසු හැරී බැලීමි. ඈ වැටෙන් පැන මවෙත දිව ආවේ දෑත පිටුපසට කර සඟවාගෙනය.

    “මොනවද හංගන් ඉන්නේ…?” කුහුළින් මම ඇසීමි.

    “ආහ්…කියන්න බලන්න…මොනවාද කියලා…”

    “කන දෙයක්ද…?”

    “ඔව්…”

    “මොනාද අනේ…කියන්නකෝ අගේ නොකර…”

    “දම්මි සුගත්ට දුන්නේ…”

    ඈ කියන විට මා මුවින් සිනහව පිට පැන්නේය.

    “වෙරළු…”

    ඈ පසුපසට කරගෙන සිටි දෑත මවෙත දිගු කළාය. ඇගේ අතින් මම වෙරළු ගෙඩි කිහිපය අතට ගත්තේ ඒ කොහෙන්දැයි අසමිනි.

    “අපේ වත්තේ ගහක් තියනවා…”

    නිරෝෂා කීවාය. මම වෙරළු ගෙඩියක් මුවේ දමා ගතිමි.

    “මොනවද කෙල්ලේ…?”

    අම්මාගේ හඬ පිටුපස දොර අසළින් ඇසී අපි දෙදෙනම හැරී බැලීමු.

    “වෙරළු, …නැන්දේ…”

    “වෙරළු…?”

    “ඔව්…නැන්දාටත් ඕනද…?”

    “වෙරළු කන්න මට ඇති දොළ දුකක් නැහැ බං…”

    අම්මා කීවේ නොසතුටෙන් මෙනි.

    “අනේ නැන්දේ…වෙරළු කන්න දොළ දුක් හැදෙන්නම ඕනද…?”

    නිරෝෂා ඇසුවේ සිනහසෙමිනි.

    “දොළදුකට කන්නත් ඉතින් දොළදුක් හැදෙන එකෙක් ඉන්න එපැයි බං…ඒකටත් පින තියෙන්න ඕන…”

    අම්මා ඇනුම්පදයක් එල්ල කළේ මා ඉලක්ක කොටගෙනය. හදිසි කෝපයක් මා සිතේ ඇති විය. මුව තුළ වූ වෙරළු ඇටය ඉවතට විසි කොට මම අම්මා අසළට ගියේ අඩියට දෙකටය.

    “මොකක්ද කිව්වේ…පින නැහැ…මගේ පින හිංදා තමා මගේ බඩට තාම දරුවෙක් නාවේ…මැරයෙක්ගේ දරුවෙක් මගේ බඩින් ආවොත් කවදාහරි අහගන්න වෙයි අර මිනීමරුවගේ පුතානේ කියලා…ආයේ ඔය ගැන කටක් ඇරලා තිබුණොත්, කටින් කතා කරලත් ඉවරයි කියලා හිතා ගත්තොත් හොඳයි…”

    අම්මා බියපත්ව බලා සිටියදී මම නිරෝෂාත් අතින් ඇදගෙන වත්ත පිටුපසට පැමිණියෙමි. කෝපය නිසා මම සිටියේ වෙව්ලමිනි.

    “අනේ මංදා අක්කේ…මේ මිනිස්සු නම් මොන විදියේ මිනිස්සුද මංදා…”

    නිරෝෂාගේ හඬේ වූයේ කලකිරීම් මුසු බවකි. ආත්මානුකම්පාවෙන් මසිත බර විය. දෙවියනේ…! හදිසියේ හෝ මා කුසේ දරුවෙකු පිළිසිඳගතහොත් මා කුමක් කරන්නද….? මා මෙන්ම මගේ දරුවාද අසරණ වෙනු ඇත. නැත. නැත. එවන් දෙයක් නම් සිදු නොවේවායි කියා මම සිතින් පැතුවෙමි.

    “මේක මගේ කරුමේ නිරෝෂා…ලබා උපන් හැටි…නැත්නම් ලැබීම…ඔය මොකක් හරි වෙන්නැති…”

    සුසුමක් හෙළමින් මම කීවෙමි.

    “කවදා වෙනකල් මෙහෙම ජීවත් වෙන්නද අක්කේ…මං වගේ නම් මෙලහකටත් දාලා ගිහින්…”

    “දාලා යන්න නම් මටත් හිතුණෙ අද ඊයේ නෙවේ…බැඳපු දාම තමා නිරෝෂා…ඒත්…මං කොහේ කියලා යන්නද…? මගේ කියලා කවුරුත්ම නැහැ මට…ගෙදර උන්ට මාව බරක් වෙච්ච නිසානේ මාව බන්දලා දුන්නේ…”

    ශෝකී හඬකින් මම කීවෙමි.

    “එහෙම කියලා ඔයා කවදා වෙනකල් මේ දුක විඳින්නද…?”

    එය මාත් නොදනිමි.

    “අනේ මන්දා නංගී…”

    මිනිස්සු බැඳලා දික්කසාඳ වෙන්නේ මේ වගේ මානසික පීඩා නිසා වෙන්නැති නේද අක්කේ…”

    “ඔයා ඕවා කල්පනා නොකර පාඩම් කරන්න…”

    “අනේ මංදා අක්කේ…අපිත් මේවා දැනුවත් වෙලා ඉන්න එක හොඳයිනේ…”

    “ඉස්සර කාලේ නම් බඳින්න කලින් ඔය කුලේ ඉඳන් හෙව්වා. දැනුත් එහෙම හොයන්නැතුව නෙවේ…හොයන්න ඕන කුල මල නෙවේ…එකට ජීවත් වෙන්න පුළුන්වද කියන එකයි…මිනිහගේ කල්කිරියාව ගැනයි…නැත්නම් ඉතින් පස්සේ පසුතැවී තැවී තමා ජීවත් වෙන්න වෙන්නේ…”

    “”ඒක නම් ඇත්ත අක්කේ…”

    සුසුමක් හෙළමින් නිරෝෂා කීවාය. අප දෙදෙන නිවස දෙසට පා තැබුවේ සතර වටින් ඇඳිරි වැටී එන විටය.

    -හෙටත් හමුවෙමු-

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>