Pini Muthu Palasa පිනි මුතු පලස
කාලය විදුලි වේගයෙන් ගෙවී ගිය අතර සියල්ල කෙමෙන් කෙමෙන් යථා තත්වයට පත් විය. පූජිත ක්‍රමයෙන් නිවසට වන්නට වූ අතර යළි තනිවම නිවසින් බැහැරක නොගියේය. මා විවාහ වී වසරකුත් ඉක්ම ගොසිනි. සියල්ල අද ඊයේ සිදු වූවාක් මෙනි. පූජිතත් මාත් අතර දිනෙන් දිනම ඇති වූයේ දුරස්ථ භාවයකි. නිතර නිතර බහින් බස් වීම් නොමනාකම් සමඟ මට ගෙවන්නට සිදු වූයේ සුව පහසු ජීවිතයක් නොවේ. බොහෝ රාත්‍රීන් වල පූජිත සිය කාමුක හැඟීම් සතපා ගත්තේ මා හිංසනයට පීඩනයට ලක් කරමිනි. මේ අතර මා තවමත් ගැබිණියක නොවීම පිළිබඳව අම්මා නිතර නිතර මට ඇනුම්පද එල්ල කරන්නට වූයේ මා සිත තව තවත් කලකිරීමට පත් කරවමිනි.
“ඔහොම ගිහින් කවදා දරුවෙක් හම්බෙයිද කවුද දන්නේ…නරකද දොස්තර කෙනෙක්ට හරි පෙන්නුවොත්…”
පූජිත සමඟ කරන අම්මාගේ කතා බහ මා සවන් වැකීමෙන් මෙතෙක් දිනක් සිතේ සිරකරන් සිටි කෝපය පුපුරා හැළෙන්නට විය.
“මාව නෙවේ දොස්තර කෙනෙක් ගාවට එක්ක යන්න ඕන ඔහේගේ පුතාව…”
කාමරයෙන් පිටතට පැමිණි මම කෑ ගසන විට පූජිත හිඳ සිටි අසුනින් නැඟිට මගේ කම්මුලට ගැසූ අතුල් පහරින් මම විසී වී ගොස් ඇද වැටී ස්ටූලයේ දාරයේ නලලත වැදී පුපුරා ලේ ගලන්නට විය.
“මාව එකපාරම මරපං…”
වේදනාවෙන් මම කෑ ගසන විට පූජිත පුටුවට පයින් ගසා නිවසින් පිටව ගියේය.මල්ලිකා නැන්දාගේ නිවසට ගොස් මම නළලතට කෝපි කුඩු දමා ගත්තේ ඇයට කියාය.
“මේකා නම් අමු තිරිසනෙක්…කලින් තුවාල වෙච්ච තැනමයි ළමයෝ ආයේම තුවාල වෙලා තියෙන්නේ…”
කෝපයෙනුත් ශෝකයෙනුත් යුතුව මල්ලිකා නැන්දා කීවාය.
“මං නම් මහ කරුමයක් නැන්දේ ගෙවන්නේ…”
මට හැඬිණි.
“ඒක ඉතින් අපිට නොපෙනනවා කියලා නෙවේනේ ළමයෝ…”
සුසුමක් හෙළමින් මල්ලිකා නැන්දා කීවාය. පූජිතගේ ඥාතියෙකු නිවසට පැමිණි නිසා මම කාමරයට වී සිටියේ ඔවුනට මුහුණ දීමට පිටතට යෑමට නොහැකි නිසාය. නළලතේ තුවාලයට දැමූ කෝපි කුඩු තවමත් එලෙසය. තුවාලයද තවමත් සුව වී නොමැත. මෙසේ තිබියදී කිසිවෙකු මුණගැසෙන්නේ කෙසේද.? මීට සතියකට පමණ පෙර ඔහු නිවසට පැමිණියේ විවාහ මංගල්‍යයකට ආරාධනා කිරීමටය. ඔහු පිටව යන තුරුම මම කාමරයට වී සිටියෙමි. පූජිත නිවසට පැමිණියේ ඔහු පිටව ගොස් බොහෝ වේලාවකට පසුවය. ඔහු අම්මා සමඟ ආලින්දයට වී කරන කතා බහ මා සවන් වැකිණි.
“දැන් ඔය තුවාල පිටින් මඟුල් ගෙවල් වල ගිහෑකිද…?”
“කොහොම හරි යන්න ඕනනේ…නොගිහින් බැහැනේ…”
ඔවුන් කතා කරන්නේ මා ගැනය.
“මිනිස්සු අහයි මොක්ද කියලා…”
“අහපුදෙන්…ළිඳ ගාව වැටිලා තුවාල වුණේ කියනවා…”
පූජිත කාමරයට එන විට මම ඔහු නොදුටුවා සේ ඉවත බලාගෙන සිටියෙමි.
“මේ බ්‍රහස්පතින්දා මඟුල් ගේ…මතකනේ…?”
ඔහු එසේ පවසා වහා පිටව ගියේ මා කිසිත් කීමට පෙරය. මගේ අත නළලේ වූ තුවාලය වෙත ගියේ ඉබේමය. ලේ සමඟ කැටි ගැසුණු කෝපි කුඩු මා අතට අසු විය. තුවාළය තවම වියළී නැත. සියුම් වේදනාවක් එයින් නැඟේ. මේ කැළැල් මෙසේ තබාගෙන විවාහ මංගල්‍යයකට තබා මිනිසුන් සිටින තැනකට වුවද යන්නේ කෙසේද.? තුවාළය සුවවී කැළල මැකෙන්නට නම් ප්‍රාතිහාර්‍යක් සිදුවිය යුතුය. මෙයට සහභාගී නොවී සිටිය හැකිනම් කියා මම සිතුවෙමි.
——————————————————————————————————
“තමුසේ තාම ලෑස්ති වුණේ නැත්ද…?”
පූජිතගේ හඬින් මම තිගැස්සී ගියෙමි. මංගල උත්සවයට යෑමට සූදානම් වී ඔහු පාරට ගියේ තවම වෑන් රථය නැත්තේ මන්ද කියා බලන්නටය. ඔහු යළි කාමරයට එබෙන විටත් මා සිටියේ යහන මත හිඳගෙන එහි අතුරා තිබූ කෙසෙල් දළු කොළ පැහැති සාරියේ රටාවකට ඇල්ලූ රිදී පබළු ඇට දෙස හිස් බැල්මකින් බලානය. ඒවාද දුක් මුසුව මා දෙස බලා සිටින්නාක් මෙනි. පූජිතගේ පියවර හඬින් මම හිස ඔසවා කැඩපතින් පෙනෙන ඔහුගේ රුව දෙස බැලීමි. ඔහු මට රවාගෙන කාමරය මැද සිටගෙන සිටි අතර මම නෙතු ඉවතක රඳවා ගන්නට සිතූ ඇසිල්ලේ මා නෙතු නැවතුණේ කැඩපතින් පෙනෙන මගේම රුව දෙසය. නළලතේ තුවාළය තවම සුව වී නැත. එහි කැළලත් ඉදිමිමත් එලෙසමය. සෙනඟ මැදට කෙසේ යන්නදැයි මා සිතමින් සිටින මොහොතේය පූජිත මෙසේ පැමිණියේ.
“මං එන්නම ඕනද…?”
මම ඇසුවේ පූජිතගේ නෑයින් මුණ ගැසීම මම කෙසේවත් ප්‍රිය නොකළ නිසාය. තාත්තාගේ මරණින් පසු ඔහුගේ ඥාතීන් සියළු දෙන ඔවුන් අත්හැර තිබූ අතර දැනට ඇසුරක් පවත්වන්නේ අම්මාගේ පවුලේ ඥාතීන් පමණි.
“එන්නම ඕනද…?”
ඔහුද එයම ප්‍රතිරාවය කළේය.
“තමුසෙව නැතුව මට අල්ලපු ගෙදර ගෑණිව එක්ක යන්නද කියන්නේ…? ඉක්මනට ලැහැස්ති වෙලා එනවා…මගේ යකා අවුස්සන්නේ නැතුව…”
ඔහු කාමරයෙන් පිටව ගියේ පුපුරා යමිනි.
“අල්ලපු ගෙදර ගෑණි මොකටද…? හොර එකියක් ඉන්නේ…ඒකිව එක්ක යනවකෝ…”
මහ හඬින් එලෙස කෑ ගැසීමට නොහැකියාවෙන් මසිත ළතැවෙයි. පූජිතට අනියම් සබඳකමක් ඇති බවත් දරුවෙකුද සිටින බවත් මා හා කීවේ මල්ලිකා නැන්දාය. අම්මා මල්ලිකා නැන්දා හා මට දරුවෙකු නැති වීම පිළිබඳව දොස් පවරා තිබිණි. මේ කතාව ඈ මා හා පැවසුවේ එවිටය.
“අපේ එකාගේ වරදක් නම් අනික් ගෑණිට ළමයෙක් ඉන්න විදියක් නැහැනේ මල්ලිකෝ…මේකිට දරුවෝ නැහැ…”
අම්මා එසේ මල්ලිකා නැන්දා හා පවසා තිබිණි.
“ඒ ළමයාට දැන් අවුරුදු එකහමාරක්ලු දුවේ…ඒ කෙල්ලත් ඔය රාජකරුණා ළඟ වැඩට ආව කෙනෙක්ලු…දරුවා නම් පූජිතගේ කියලා මං හිතන්නේ නැහැ…”
ඈ එසේ මා හා පවසන විට මා ගත පිළිකුළෙන් හිරි වැටී ගියේය.
“ඉතින් එහෙනම් දරුවා පූජිතගේ කියලා කවුද කියන්නේ…?”
“හැමෝම කියන්නේ එහෙම තමා…ඒත් ඇත්ත සිද්ධිය නම් අර මිනිහා මේ කෙල්ලව අනාථ කරලා පූජිතගේ කරේ ගැහැව්වා…මේකත් ඉතින් අමු හරකනේ…දැන් ඒ ගෑණිව බලන්නෙත් මෙයා…”
නැන්දා කියූ දේවල් සිහිපත් කරමින් මම සාරිය දවටා ගත්තේ ඕනවට එපාවටය. හැඩ වැඩ බැලීමට මට වුවමනාවක් නැත. නිරෝෂා කාමරයට දිව ආවේ මා හිස පීරමින් සිටින විටය.
“ෂා…!අක්කාගේ ලස්සන…”
ඈ මා වටා කැරකෙමින් හැඩ බලන්නට වූවාය.
“අනේ…ඉන්න…බොරු නොකියා…මොන ලස්සනක්ද…? පේන්නැත්ද නළලත් තුවාල වෙලා…”
නොසතුටෙන් මම කීවෙමි.
“ඔව් ඉතින්…ඒ වුණාට අද ලස්සනයි අනේ…අද නම් අක්කාට කොල්ලෙක් සෙට් වෙනවා ෂුවර්…”
ඈ කළ විහිළුවට මම ඇගේ බාහුවට පහරක් ගැසීමි.
“ඇහුණා නම් ගුටි කන්න වෙන්නේ…”
පහත් හඬින් මම කීවෙමි. නිරෝෂා දොතොල මත ඇඟිල්ල තබා වහා නිහඬ වූවාය. නළලත වූ තුවාලය නොපෙනෙන සේ මම කෙස් රොදක් මුහුණ වැහෙන සේ දමා ගෙන ඉතිරි කෙස් ටික පිටු පසට කර කොණ්ඩ කටුවක් ගසා ගතිමි.
“දැන් නම් පේන්නේ නැහැ නේද තුවාලේ…?”
නිරෝෂා මගේ සාරි පොට සකසමින් මදෙස බැලුවාය.
“නැහැ…නැහැ…දැන් ෂේප්…”
වෑන් රථයේ හඬ ඇසෙන විට අපි දෙදෙන වහා පිටතට පැමිණියේ පූජිත යළිත් අප ඇමතීමට පෙරය. රථයේ පිටුපසම අසුන කරා ගොස් අපි දෙදෙන හිඳ ගතිමු.
බොහෝ කලකින් මම කිසිදු උත්සවයකට සහභාගී වී නොතිබුණෙමි. මා මෙයට සහභාගී වී කරගත්තේ මහා ගොන් කමකැයි කියා මට වැටහුණේ එහි පැමිණි විගසමය. නමුත් අසරණ මා කුමක් කරන්නද..? නිරෝෂා හෝ මා අසල සිටීම වාසනාවකි. නන්නාඳුනන අය අතර මා තනි වූ බවක් මට හැඟිණි. පූජිතගේ නෑදෑයින් වරින් වර අප අසලට විත් කතා බස් කර ගියෝය.
“අපිට වෙඩින් එක නොකීවට ඔන්න අපි නම් ඔයාලව අමතක කළේ නැහැ…”
පූජිතගේ මාමාගේ දියණිය විත් ඇනුම්පදයක් එල්ල කළේ මුව ඇද කරගෙනය.
“ඒක හදිසියේ කළේ ළමයෝ…”
අම්මා කීවේ ඇ වෙත සිනහවක් පාමිනි.
“හදිසියේ කළා වගේ නෙවේ ඔව්වා…පස්සෙ ඉතින් පසු තැවෙන්න වෙයිද කවුද දන්නේ…”
මා වෙත එල්ල කළ ඇනුම්පදය මම නෑසුණා සේ සිටියෙමි.
“මොනාට පසු තැවෙන්නද…?”
මල්ලිකා නැන්දා මා වෙනුවෙන් කතා කළාය.
“නැහැ…නැහැ…මං ඒක නිකන් කිව්වේ…පූජිතයියලා ඉතින් නිකමටවත් මේ පැත්තේ එන්නේ නැහැනේ…බැන්දාට පස්සේ සේරම අමතකයි…”
ඈ යළිත් නෝක්කාඩු කීවේ එයත් මගේ වරදක් සේ සිතා මා දෙස බලමිනි. නිරෝෂා මට වැලමිටෙන් ඇන්නාය. මා පසුබිමින් වාදනය වන චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ගීතයට සවන් යොමුකළේ ඔවුන්ගේ කතා බහ මඟ හරිමිනි. ඒ මා කවදත් ආශා කළ කටහඬකි.
මංගල නැකැතේ චූටි නංගි මගේ…
පෝරුව මත නැඟිලා…
ලැජ්ජා හිතිලද තරහ වෙලා වගේ…
අහක බලා ඉන්නේ…
ඇගේ හඬට මම කුඩා කාලයේ පටන් දැක්වූයේ මහත් ආදරයකි. මම ගීතය අවසන් වන තුරුම ආසාවෙන් එයට සවන් යොමා සිටියෙමි. ඉන්පසු ඇගේම තවත් ගීතයක්.
මල් මල් මල් මාල බැඳ නගා…
නිල් නිල් නිල් දෙනෙත රතු වෙලා…
යනවා…අපව දාලා…
මට සිහි වූයේ පූජිතගේත් මගේත් විවාහ දිනයයි. උත්සව නැත, නෑදෑ පිරිවර නැත. අඩුම තරමේ මෙවන් ගීතයක් හෝ වානදනය නොවිණි. එය සිහි වී මා සිත අලුත් වූ ශෝකයකින් වැසී ගියේය. හදිසියේම මේ මොහොතේ මට රජිව් සිහි විය. මේ ගෙවුණු දෙවසර පුරාවට මට ඔහු සිහි නොවූවා යැයි කියා මම නොකියමි. නමුත් ඔහුගේ මතකයට හිස ඔසවන්නට මම කොයි මොහොතක හෝ ඉඩ නොදුන්නෙමි. එයින් සිදුවන්නේ මා සිත මා විසින්ම පාරා ගැනීමක් බව මම දැන සිටියෙමි. නමුත් මේ මොහොතේ මට ඔහු සිහි වූයේ මන්ද කියා මම නොදනිමි. ඔහු අවසන් වරට හමු වී දැන් දෙවසරකි. යළිත් වතාවක් ඔහු දකින්නට හෝ ලැබේද කියා විශ්වාසයක් මා තුළ නැත. සියල්ල දැන් සිහිනයක් මෙන් බොඳව ගොසිනි. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි. වාදනය වෙමින් තිබූ ගීතය නැවතී සිහින් සංගීත රාවයක් ඇසෙන්නට විය. මංගල උත්සවයට ගීත ගැයීමට පැමිණ සිටි සංගීත කණ්ඩායමේ අයෙකු රූකාන්ත සහ චන්ද්‍රලේඛා මහත්මියගේ ගීතයක් ගයන්නට වූයේ ඉතා මධුර වූ හඬකිනි. ගීතයට සවන් යොමා ගෙනම මම ඒ හඬ නැඟෙන ඉසව්ව සෙවීමට අවට සිසාරා දෙනෙත් දිවෙවුවද මට ඔවුන් සිටින තැන නම් නොපෙනිණි.
ඇයිදෝ නොහැඟේ…ලෙංගතු වූයේ
ඔබ මා ළංවීලා මෙසේ…
එම හඬ සොඳුරුය. මම අසා සිටියේ දැහැනකට සම වැඳුණාක් මෙනි.
“ෂා…අක්කේ මාර ලස්සනයි නේ ඒ කටහඬ…”
නිරෝෂා මවෙත නැඹුරුව අසන විට මම මඳහසක් පාමින් හිස සැළුවෙමි.
“පූජිත එන්නකෝ වෙලාවක අපේ ගෙදර…”
කිසිවෙකු පවසනු මා සවන් වැකිණි. මම එයට සවන් දුනිමි.
“කොහේ එන්නද නැන්දේ…වැඩ වැඩ…ඉවරයක් නැහැ…”
“අනේ…ඔයාගේ වැඩ…තව කොහෙද මෙයාට දරු මල්ලො හිටියා නම්…”
ඔහුගේ නැන්දා නම් එසේ කියන්නට ඇත්තේ විහිළුවටය.
“මොන දරුවොද නංගී…මේ ආත්මේ නම් අපිට දරුවෙක්ගේ මූණක් බලා ගන්න වෙන එකක් නැහැ…”
මුව ඇද කරගත් අම්මා එසේ කියන විට සියළු දෙනම වහා හැරී මදෙස බලනු දැක මා සිතේ ඇති වූයේ නිම් නොවූ කෝපයකුත් වේදනාවකුත්ය. සිතේ උපන් ලැජ්ජාවෙන් යුතුව මම වට පිට බැලුවේ කිසිවෙකු මේ කතා බහට සවන් දී සිටිනවාදෝ කියා සිතමිනි.
“අම්මේ…කට වහන් ඉන්නවද…මෙතන ඇවිල්ලත් පටන් ගත්තා…”
පූජිත ඇයට පහත් හඬින් තර්ජනය කළේය.
“නැන්දාත් අනේ මන්දා…මෙතන ඇවිල්ලාවත් කට වහන් ඉන්න බැහැනේ…”
නිරෝෂා ද ඇයට දොස් පැවරුවාය. තරුණයන් කිහිප දෙනෙකු පැමිණ පූජිත ඉවතට කැඳවාගෙන ගියේ බීමට ඇරයුම් කරමිනි. ඒ ඇසිල්ලේ මමද හුනස්නෙන් නැඟී සිටියේ අම්මා කෙරෙහි උපන් කළකිරීමෙන් මෙන්ම මා පිළිබඳව උපන් ආත්මානුකම්පාවෙනුත් යුතුවය. දෑසට උනන කඳුළු කැට නිදහසේ දියකර හැරීමට මට වුවමනා විය. නිරෝෂා මා සමඟ ඒමට සූදානම් වුවද කිසිවෙකු ඇයව ඉවත කැඳවාගෙන ගියේ බීම සංග්‍රහ කිරීමට කියාය.