Pini Muthu Palasa පිනි මුතු පලස
“ඔයා බලන්න ආව එකට ඇයි ඔයා මට මෙහෙම කතා කරන්නේ…?”
හැඬුම් මුසු හඬකින් ඈ නැවත ඇසුවාය.
“එහෙම නැතුව ඉතින් මම තමුසෙට කොහොමද කතා කරන්න ඕන…? මාව බැන්දුවේ මොන වගේ මිනිහෙක්ටද කියලවත් තමුසේ දන්නවද.? දැන් එනවා මගේ දුක සැප බලන්න…මාව මරලා දාලා කියලා ආරංචි වුණත් ආයේ මේ පැත්තටවත් එන්න එපා…තමුසෙට ඕන වුණේ මාව එළියට දාලා අර පාහර මිනිහව ගෙට දාගෙන සැපට ඉන්නනේ…දැන් ඒක වුණානේ…ඒකනේ එක එක හේතු කියලා මාව බන්දලා දුන්නේ…මට අම්මා අප්පා තියා සහෝදරයෙක් වත් නැහැ කියලා මං හිතාගෙන ඉවරයි…තේරුණාද…?”
අක්කා හඬන්නට වුවද මා සිතේ ඈ කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොඉපදිණි. ඒ කිඹුල් කඳුළු බව මම හොඳාකාරවම දනිමි.
“බොරුවට කිඹුල් කඳුළු හළන්නැතිව ඉන්නවා…තමුසෙට මාව එළියට දාලා කරගන්න ඕන දේ වුණානේ…දැන් මොකටද අඬන්නේ…?”
කිසිත් නොකී ඈ කඳුළු පිස ගත්තේ අම්මා එන හඬ ඇසීමෙනි.
“මං තේ ටිකක් හැදුවා…කෝ අර ළමයා…?”
අම්මා සුමිත් අයියා සොයන විට අක්කා ඔහුව ගෙතුළට කැඳවූවාය. ඔහු මා දෙස බලන විට මම ඔහු දෙස හෙළුවේ කෝපය මුසු බැල්මකි.
“අද මල්ලි නැත්ද…?”
සුමිත් අයියා අක්කා පසෙක අසුන් ගනිමින් ඇසුවේය.
“නැහැනේ…ඇමති තුමා එක්ක කොළඹ ගිහින්…එයාටත් ඉතින් හැම එකටම පුතා නැතුව බැහැ…”
අම්මා කතා කළේ මවා ගත් උජාරු ලීලාවකිනි. මම සිත යටින් පිපිරෙමින් සිටියෙමි. ඈ සුමිත් අයියා හා තව තවත් පුරාජේරු දොඩවන විට මා සිතේ ඇති වූයේ නොඉවසිළිමත් බවකි.
“අපිත් ගිහින් එන්නම්…”
හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමින් අක්කා කියන විට සුමිත් අයියා ඈ දෙස බැලුවේ මවිතයට පත්වය. ඔහු වැරදීමකින් හෝ නැවත මදෙස නොබැලුවේය.
“මේ මොකද මේ ආ පයින්ම…යන්න හදන්නේ…? දවල්ට කෑම ටිකක් කාලාම යමු…”
අම්මා එසේ කියන්නේ මූණිච්චාවට බව මම දැන සිටියද අක්කා එය සැබෑවට කියා සිතුවා වන්නට ඇත. මම ඇය දෙසම බලා සිටියේ නෙරවා ගත් දෑසිනි.
“අනේ කමක් නැහැ…අපි වෙන දවසක එන්නම්…සුමිත්ට හයර් වගයක් තියනවා දවල්ට…”
ඈ එසේ කියා අසුනින් නැඟී සිටියාය. අම්මා ඇයත් සමඟ මිදුලට බැස්සද මම දොරකඩ සිටගෙන බලා සිටියේ ඔවුන් පිටව යන තුරු නොඉවසිළිමත් සිතිනි.
අම්මා ආපසු හැරී ගෙතුළට ඒමට සූදානම් වන මොහොතේ මමද වහා කාමරයට පැමිණියේ ඈ කුමක් හෝ දෙයක් විමසාවි යැයි සැකයෙනි. අක්කා කෙරෙහි කිසිදු අනුකම්පාවක් මා සිතේ නොඉපදිණි. මගේ ජීවිතය නැති කිරීමට මූලිකව දායක වූයේ ඇයයි. මම ඇයට කිසි දිනක සමාව නොදෙමි. අක්කාත් අයියාත් දෙදෙනම මට සැළකුවේ මා පිට එකියක කොට සළකා ය. මා කළ වරද කුමක්ද…? අක්කාට වුවමනා වූයේ සිය පවුල රැක ගැනුමට පමණි. නමුත් රන් දම් වැල් දමා බැඳ දැමුවත් සුමිත් අයියා වැනි සළෙලුන් නවතා ගත හැකිද….? ඈ මට කළ මේ දෙයට යම් කලෙක ඇයටම වේදනා විඳින්නට සිදුවනු ඇත.
——————————————————————————————————
පූජිත නිවසට පැමිණියේ මධයම රාත්‍රියේදීය. එදිනත් ඔහු හොඳ හැටි බීමත්ව සිටි අතර ඔහු කෙරෙන් වහනය වූ එම සැර මත් පැන් ගන්ධය මට අප්‍රසන්න පිළිකුල් හැඟීමක් ඇති කළේය. රාත්‍රිය බියකරු විය. ඇඟ පත සෝදා ගෙන කාමරයට වන් සැටියේ ඔහු මා යහනට පෙරළා ගත්තේය. මෘගයෙකු සේ ඔහු මා ගෙලත් ළැමැදත් සපා කන විට වේදනාවට මට කෑ ගැසිණි. ඉන් ඔහු විනෝදයක් ලද බව මට සහතිකය.
“දර කොටයක් වගේ නොඉඳ අන්න එහෙම ඉන්නවා මංදාකිණි…මිනිහෙක් සතුටු වෙන්නේ එතකොට…”
වේදනාවට මට හැඬිණි. ඔහුගෙන් මිදෙන්නට තැත් දරන විට ඒ හැඩි දැඩි දෑත් වල මම තව තවත් සිර වුණෙමි.
“ඔහොම දඟලනකොට මං ආසයි…මංදා..කිණි…”
බීමතින් ඔහු කියවන්නවට වූයේ ගොත ගසමිනි. සිතක් පපුවක් නැති අධමයෙකු සේ ඔහු මා තලා පෙළා පොඩි කළේය.
පූජිත උදෑසනින්ම බැහැරක ගියේ යන තැනක් නොදන්වාමය. පෙර දිනක ඔහු හමුවීමට කිසිවෙකු පැමිණි බව හෝ මට ඔහුට කීමට අවස්ථාවක් උදා නොවීය. දහවල ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ඔහු සොයා නිවසට පැමිණ අම්මා සමඟ බොහෝ වේලා ආලින්දයේ හිඳ කතා බස් කරමින් සිටි අතර ඈ මට තේ සෑදීමට පැවසූ නිසා මම මුළුතැන්ගෙයට පැමිණියෙමි. මෙදින නිරෝෂාටද අමතර පන්ති ඇති දිනක් නිසා ඇය තවම පාසල් නිමා වී පැමිණ සිටියේ නැත. තේ සාදා ගෙන මම ආලින්දයට යන විට අම්මා ඔවුන් සමඟ මහ හඬින් සිනහසෙමින් කතා බහකය.
“අක්ක තේත් හදලා…බොන්න පුළුවන් වෙයිද දන්නැහැ…කසාය නෙවේනේ…”
එහි සිටි කටකාර තරුණයෙකු විහිළු කළේය. ඔහු මටත් වඩා වයසින් වැඩි අයෙකු බව බැලූ බැල්මට පෙනෙන විට මා සිතේ ඇති වූයේ නොමනාපයකි.
“අවුරුදු හැටක් වගේ…මට අක්කා ලු…”
මම සිතින් ඔහුට දොස් පැවරුවෙමි.
“කසාය නෙවේ…පස් පංගුව…”
තේ බන්දේසිය ස්ටූලය මත තබා මම ඔහු කළ විහිළුවට පෙරළා පවසමින් යළි පිටුපසට පැමිණියේ ඔවුන් එක්ව යළිත් උස් හඬින් සිනහසෙන විටය.
අම්මා බොහෝ වේලාවකට පසුව එහි පැමිණියේ මා රාත්‍රී ආහාර සූදානම් කිරීමට සැරසෙන මොහොතේය. පැමිණි අය පිටව ගොසින් කියා මා සිතුවේ නිවස තුළ ඇති වූ නිහඬ බව නිසාය.
“හරි යසයි..කොල්ලෝ එක්ක කරපු මුකුළුව…”
අම්මා නොරුස්සුමෙන් මෙන් කියන විට මම ඈ දෙස බැලුවේ කිසිත් වටහා ගත නොහැකිවය.
“මුකුළුව…! කා එක්කද මං මුකුළු කළේ…?”
“කා එක්කද…? අහන ලස්සන…ආවදෙන්කෝ අද පූජිත ගෙදර…”
“ඇයි…ආවාම කේළම් කියලා ඒ මිනිහගේ ඔළුද කන්නද ලෑස්තිය…?”
“පෙනෙද මේකිගේ කට…”
අම්මා මුහුණ රකුසු කරගෙන කෑ ගැසුවාය.
“පෙනේ පිප්පුවෙ නැති නිසා තමා වැරැද්ද…පුතණ්ඩියා බන්දලා දුන්නා නම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එකයි…”
“හහ්…මෙයාගේ කට..හිටපන්කෝ අද…”
ඈ කෑ ගසා යළි ගෙතුළට ගියේ මට හිස ගස්සමිනි. ඈ බොරු කේළම් කියා පූජිතගේ හිසට විෂබීජ වපුරනු ඇති බවට සැකයක් නැත. සවසත් ඔහු නිවසට පැමිණියේ බීමත්වය.
“මං…දා…කිණී…”
අඩ නින්දේ හුන් මා එම හඬින් තිගැස්සී අවදිව යහනින් බැස සාලය දෙසට ඇදුණේ කාන්දමකට ඇදී යන්නාක් මෙනි. ඔහු කෝපයෙන් කෑ ගසා ඇමතීමට තරම් සිදු වූ කාරණය කුමක්දැයි කියා මට සිතා ගන්නට නොහැකිය. ඔහු සාලය මැද වැනී වැනී සිටගෙන සිටි අතර අම්මා ඔහු පසුපස විය. එසේනම් ඈ ඔහු නිවසට ගොඩ වීමට පෙර කුමක් හෝ බොරුවක් පවසා ඔහුගේ කෝපය අවුළුවා ඇත.
“මං…දා…කිණි…මො…කා…ද…උම්… බ..ව… හ..ම්බෙ..න්න…ආව….එකා…මං නැති…වෙලේ…?”
අම්මා කියා ඇත්තේ මීට දින කීපයකට පෙර පූජිත සොයා පැමිණි අය ගැන බව මට වැටහුණේ මෙවිටය. මම ඈ දෙස බැලුවේ දවා හළු කරන බැල්මකිනි.
“මාව හම්බෙන්න ආව එකෙක් නැහැ… එයාලා ආවේ ඔයාව හොයාගෙන…”
මම ද කීවේ කෝපය මුසුවය.
“ඈ…යකෝ…මා…ව හම්බෙන්න…එන්…නේ ම…මං…නැති වෙලා..වටද…මං ඉත්දී එපැයි…එන්න…”
බීමත් මිනිසෙකු හා මම කුමක් කතා කරන්නද…? අම්මා කෙරෙහි මා සිතේ වෛරය ඔඩු දුවන්නට විය.
“ඒක ඉතින් ආව අයගෙන් එපැයි අහන්න..මං දන්නේ කොහොමද…?”
“මං අහන්නේ…කොහොමද…එතකොට උඹ දන්නේ…මෙතන්ට එන උන් එක්ක මුකුළු කරන්නනේ….නේද…?”
අම්මා තවත් බේගලයක් ඇද දමා ඇත. ඇගේ මුහුණට දමා ගසා දැමිය හැකි යමක් තිබුණා නම්..! ඇගේ ගෙල සිඳ මරා දමන්නට තරම් කෝපයක් මා සිතේ විය.
“මොකෝ උම්බ…කතා නැත්තේ…?”
මා නිහඬව සිටි නිසාදෝ ඔහු යළි කෝපයෙන් ගිගුරුවේය.
“අල්ලලා දාන්න පුතා…දැන් ඕවා වැඩක් නැහැනේ…”
අම්මා ඔහුගේ අතින් අදිමින් කෝපය නිවන්නට මෙන් බොරුවට මවා පෑමක් කළාය. කෝප ගින්න මා ගත අවුළුවා දමන්නට විය.
“මේ මනුස්සයා ගෙට ගොඩ වෙන්නත් කළින් බොරු කේළම් කියලා අවුස්සලා…දැන් කියනවා අල්ලලා දාන්නලු…මං මොකා එක්කද මුකුළු කළේ කියනවාකෝ…”
මම කෑ ගැසීමි. අම්මා ගේ අත ගසා දැමූ පූජිත විත් මගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේ වියරු වැටුණ ලෙසිනි.
“මොනා…ද උම්බ කියන්නේ…?”
ඔහු කෙස් වැටියෙන් අදින විට මට කෑ ගැසුණේ වේදනාවටය.
“මාව අතාරිනවා…”
“උඹ කාටද කත්…තා කරන්නේ…ආහ්…”
ඔහු මා තල්ලු කළ වේගයට මම විසිවී ගොස් බිම ඇද වැටුණෙමි.
“අනේ…පුතා…ඕක නවත්තන්න…”
අම්මා කෑ ගසමින් පූජිත ගේ අතේ එල්ලුණාය.
“ඇයි නවත්තන්න කියන්නේ…ගහන්න කියපන්…බොරු කේළම් කියලා අවුස්සලා මදිවට නවත්තන්නලු…”
මම කෑ ගසන විට මවෙත පිනූ පූජිත කෙස් වැටියෙන් ඇද ඔසවන විට මට ඉබේම නැගිටවුණි. ඔහු එක පිට එක ගැසූ කම්මුල් පහරවල් නිසා මා දෑස් නිලංකාර වන බව මට දැනුණා සේම තොල් පුපුරා ගලන ලේ රසද දැනුනේ සිහිනෙන් මෙනි.
“හොර මිනිහද ආවේ උඹේ…මුකුළු කරන්න…?”
ඔහු කෑ ගසන්නට විය. මා තවමත් සිහිසුන් නොවීම පුදුමයකි. අම්මා විත් ඔහුගේ අතින් අදිනු මට පෙනී ගියේය. පූජිතගේ පහර දීම නැවතුණේ එවිටය.
“මරපන් මාව…ඇයි උඹ නැවැත්තුවේ…මරන්න දීමන් මාවත්…උඹලා මිනීමරුවෝ…හොර මිනිහෙක් හිටියා නම් උඹ එක්ක ඉන්නේ නැහැ…ඌ එක්ක යනවා මිසක්…මරපන් මාව…”
මම වියරුවෙන් මෙන් කෑ ගැසීමි.
“මොකක්ද උඹ කිව්වේ…උඹට මැරෙන්න ඕනද…? වරෙන්…”
ඔහු මා අතින් ඇදගෙන මිදුලට බැස මිදුල මැදින් මා පිටුපසට ඇද ගෙන ආවේ මට කිසිත් සිතා ගන්නට ඉඩක් නොතබාමය. ඔහු කුමක් කිරීමට සැරසෙනවාද කියා මට සිතා ගන්නට නොහැකි විය.
“අනේ පුතේ…ඕක නවත්තපාන්…බං…”
අම්මා විලාප තබමින් අප පසු පස දිව ආවාය. ඔහු කුමක් කිරීමට සැරසෙනවාද කියා හෝ නිනව්වක් මා තුළ නොවීය. සිතන්නට සිතක්, කල්පනා කරන්නට ශක්තියක් හෝ නොමැති මා කයින් ජීවත්ව සිටියද මගේ ආත්මය මියගොස් බොහෝ කලකැයි කියා මට සිතිණි. පොල් ගස් අතරින් මා ඇදගෙන ආ පූජිත මාව ළිඳ අසලට තල්ලු කරා දමන විට මා ඇද වැටී ළිං පඩියේ වැදී නළලත පුපුරා ලේ ගලන්නට විය. මා හිස වේදනා දෙමින් කැරකෙන්නට විය.
“මැරියන්…පැනපන් ළිඳට…පැනලා මැරියන්…”
ඔහු කුමක් හෝ බරැති යමකින් මගේ දෙපා වලට පහර පිට පහර දෙන්නට විය. කෑ ගැසීමට හෝ මා තුළ ශක්තියක් නැත. මේ සියල්ලේ අවසානයක් දැකිය යුතුය. මා මියගියා නම් මේ සියල්ල නිමා වනු ඇත. දෙපා වලට ශක්‍තිය ගෙන මම අපහසුවෙන් නැඟී සිටියෙමි. මා මේ කුරිරු වද හිංසා වලින් මිදිය යුතුය. මා ළිඳට පැන දිවි නසා ගනිමි.
“පූ…ජිත…නවත්තපන් ඕක…ඔය කෙල්ලව අතෑරපන්…”
මල්ලිකා නැන්දාගේ හඬ මට ඇසුණේ ඈත ලොවකින් මෙනි.
“අනේ…අයියේ…අක්කාව අල්ලන්න…”
නිරෝෂාගේ හඬ මා සවන් වැකෙනු මට යාන්තමට මතකය.