Pini Muthu Palasa පිනි මුතු පලස
උදෑසන ආහාරයෙන් අනතුරුව මාත් නිරෝෂාත් පූජිතත් එකතුව මිදුල අස්පස් කොට දැමුවෙමු. එය යකුන් නැටූ සොහොන් පිටියක් මෙන් දිස් විය. අම්මා දෑත් බැඳගෙන එහෙටත්, මෙහෙටත් කැරකෙමින් විධි විධාන දුන්නා මිස අපට සහයක් නොදැක්වූවාය. සෑම දෙයකම අඩුපාඩු මිසක් හොඳක් නොදකින මෙම ගැහැණිය කෙරෙහි මා සිතේ ඇති වූයේ අප්‍රසාදයකි. එය අවසන මම වහා වහා මුළුතැන්ගෙයට පැමිණියේ දහවල් කෑම පිසීමටය. නිරෝෂාද මට සහය වූ අතර දිවා ආහාරයෙන් පසු පූජිත කොහේ හෝ පිටව ගිය අතර අම්මාද කෙටි නින්දකට පිවිසියාය. මාත් නිරෝෂාත් පිටුපස අඹ ගස සෙවනේ වූ බංකුව මත හිඳ ගෙන කතා බහක නිරතව සිටියෙමු. ඈ මට හිතවත් බව මසිතට දැනටමත් දැනෙමින් තිබුණේ ඇගේ යම් යම් ක්‍රියාවන් නිසාය.
“අක්කේ…”
ඈ මා ඇමතුවේ වැදගත් යමක් අසන්නට බව මට ඉවකින් මෙන් වැටහිණි. මෙතෙක් වෙලා අපි ඔහේ කතා බහ කරමින් සිටියේ නොවැදගත් දේය.
“මං මෙහෙම අහනවට ඔයා කලබල වෙන්නවත් මා එක්ක අමනාප වෙන්නවත් එපා…හොඳද…?”
මම දෑස් හයා ඈ දෙස බලා සිටියෙමි.
“මොකක්ද නිරෝෂා…?”
මැඩගත් කුහුළින් මම ඇසීමි.
“ඇයි අක්කේ…අක්කා මෙච්චර ඉක්මනට කසාඳ බඳින්න හිතුවේ…?”
මා කුමක් පැවසිය යුතුද…? ඈ හා මට මුසාවක් පැවසිය නොහැකිය. සුසුමක් සුළඟට මුදා හළ මා සත්‍ය සත්‍ය ලෙසම ඈ හා පැවසුවෙමි. ඈ අසා සිටියේ පුදුමයත් ශෝකයත් මුසුව බව මට පෙනිණි.
“අනේ දෙවියනේ…! මොනතරම් නපුරු කමක්ද ඔයාට කරලා තියෙන්නේ…පව් අක්කේ ඔයා…”
ඇගේ හඬ අනුකම්පාවෙන් පිරී තිබිණි.
“මොනවා කරන්නද නංගී…මේක මගේ කරුමේ…”
යළිත් සුසුමක් ගිළිහී ගියේ මාද නොදැනුවත්වමය. හද ඇවිළුණේ අලුත් වූ ශෝකයකිනි.
“පූජිතයියාත් ඔයාට කරදර කරලා නේද…? මං දැක්කා අක්කේ…හැම තැනම සීරීලා. තුවාල වෙලා…ඔය බෙල්ලෙත් පාරවල්…”
ඔහුගේ සපා කෑම් වලට ලක් වූ ගෙල පෙන්වා ඈ කියන විට මගේ දෑත් ගෙල කරා ඇදීගියේ නිතැනිනි. ගෙවුණු රාත්‍රීන් පිළිබඳව කතා කිරීමට මා තුළ කැමැත්තක් නොවීය. ඇරත් එවන් දෙයක් කතා කිරීමට තරම් නිරෝෂා වයසින් මුහුකුරා ගිය එකියක නොවූවාය. දෙවියනේ…! එවන් අත්දැකීමක් ලබන්නට මාද ළාබාල වැඩි නොවේද කියා අනෙක් අතට මට සිහි විය.
“අනේ සොරි අක්කේ…ඔයාගේ හිත රිදුණා නම්…”
ඈ මගේ අත මිරිකා කීවේ පසුතැවිළි හඬකිනි.
“අනේ නැහැ නිරෝෂා…රිදෙන්න තරම් හිතක් දැන් මට නැහැ…ඒත් මට එක දෙයක් නම් ඉර හඳ වගේ විශ්වාසයි…”
“ඒ මොකක්ද අක්කේ…?”
නිරෝෂා කුහුළින් මා විමසුවාය.
“මේ ගෙදර මිනිස්සු එක්කත් මට සැනසීමෙන් ජීවත් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා…”
දෑස් තෙත් වීගෙන එන බව දැනී මම වේගයෙන් ඇසිපිය සැළුවෙමි.
“අනේ අක්කේ…”
නිරෝෂා අනුකම්පාවෙන් කීවාය.
“නැන්දා නම් නපුරු ගෑණි තමා…ඒත් ඔයා එයාට බයේ ඉන්න එපා…මාත් ආස නැහැ එයාට…”
නිරෝෂා එසේ කීවේ සිතා මතා නොවන බව ඇගේ මුහුණේ ඇදී ගිය වරදකාරී හැඟීමෙන් මට වැටහිණි.
“අනේ…අක්කේ…මම මෙහෙම කිව්වා කියලා පූජිතයියා එක්ක කියන්න එහෙම එපා…අපි දෙන්නට මෙහෙමවත් කතා කරන්න දෙන එකක් නැහැ…මාවත් මරයි…”
මම තිගැස්සුණු බැල්මෙන් ඈ දෙස බැලීමි. ඈ එසේ කීවේ ඇයි…? පූජිත සැබෑවටම එතරම් රුදුරු පුද්ගලයෙකුද…? මා සිතේ කුතුහලයකුත් බියකුත් එකසේ ඇති විය. මේ මිනිසාගේ ජීවිතය පිළිබඳව මා කිසිත් නොදනිමි. මා නොදන්නා බොහෝ දේ, උපන්දා සිට පූජිතලා සමඟ ඇසුරු කරන නිරෝෂාගේ පවුලේ අය දැන සිටින බව නොරහසකි. ඈ බියට පත්වූයේ ඒ නිසාය. නිරෝෂාගෙන් මේ සියල්ල දැන ගැනීමට නම් මුලින් ඇගේ විශ්වාසය දිනා ගත යුතුය.
“ඔයාලගේ පූජිතයියා එච්චරටම දරුණුද…?”
මඳහසක් පාමින් මම ඇසුවේ ඈ කීදේ ගැන මම බරපතළ සේ නොගත් බව හඟවමිනි. මා බිය වූ බවක් පෙන්වූවා නම් ඇගෙන් කිසිත් දැන ගත හැකි නොවනු ඇත.
“අම්මෝ…ඔයා දන්නේ නැහැ…ගමේ වලියක් කොතනද…පූජිතයියා එතන…දහයකට පහළොවකට නෙලලා තමා එන්නේ…වැඩ කරන්නේ ඉතින් නොම්බර එකේ මැරයෙක් ළඟනෙ…”
ඈ අවසන් වැකිය පහත් හඬින් වුවද මා සිත වෙව්ලා ගියේය.
“ඇමති ගැන ඉතින් හැමෝම දන්නවනේ…”
“ඒ වගේම තමා එයාගේ ගෝලයොත්…ඔයා පව් අක්කේ…මේ වගේ මිනිහෙක්ට අහු වෙලා මුළු ජීවිතේම නැතිකර ගත්‍තා…”
නිරෝෂා කීවේ මා ගත සළිත කරවමිනි. අලුත් වූ බියක් මා සිතේ ඇති වුවද දැන් පමා වූවා වැඩිය. වෛරයක් මා සිතේ ඉපදුණේ අක්කා කෙරෙහිය. ඈ දැන් සුමිත් සමඟ සතුටින් වෙසෙනවා ඇත.ඇයට වුවමනා වූයේ මා පන්නා ගැනීමටය.දැන් එය සිදුව ඇත. නිරෝෂා මා කෙරෙන් සමු ගත්තේ මල්ලිකා නැන්දා ඇයව අමතන හඬිනි.
“අක්කා ඕවා හිතන්න එපා…අපි ඉන්නවනෙ ඔයාට…”
ඈ සමුගත්තේ එසේ කියමින් වුවද මා නොසිතා ඉන්නේ කෙසේද…? මගෙන් නිදහස් වන්නට කියා අක්කා මා ඇද දැමුවේ කිනම් නරකාදියකටද..? පූජිත ගේ මුහුණින් පවා දිස් වන්නේ මැරයෙකුගේ පෙනුමකි. අක්කාට වුවද එය නොවැටහී නොපෙනී තිබෙන්නට හැකියාවක් නොමැත. සුසුමක් මා මුවින් ගිළිහෙන විට මමද බංකුව මතින් නැඟිට ගෙතුළට පැමිණියෙමි.
——————————————————————————————————
සතියක් ඉක්ම ගියේ කුරුළු වෙස් ගෙනය. මේ දින කීපයේ උදෑසනින් නිවසින් පිටව ගිය පූජිත නිවසට පැමිණියේ රෑ බෝ වූ පසුවය. අම්මාද ඕපා දූප කියවමින් ගෙයින් ගෙට ඇවිද ගොස් දහවල් කෑම වෙලාවට නිවසට පැමිණියාය. ඉන්පසු ඈ සවස් වන තුරුම නිදා ගත්තාය.මේ ඇගේ දින චර්‍යාව බව මට දැනටමත් වැටහී හමාරය. මා පැමිණීමට පෙර නිවසේ වැඩ කටයුතු කෙසේ සිදු කළාදැයි කියා පුදුමයක් මා සිතේ ඇති විය.
“දැන් ඉතින් ලේලි ඉන්නවනේ…මගේ වැඩ වලින් මම නිදහස්…”
ඈ මල්ලිකා නැන්දා සමඟ එසේ පවසා තිබූ බවක් මල්ලිකා නැන්දා මා හා කීවේ පසුවිටකය. එදින පොහෝ දිනකි. සවස පන්සල් යමුදැයි නිරෝෂා පැමිණ මා විමසුවාය. නිවසටම සිර වී සිටි මමද සිතුවේ පන්සලට හෝ යෑමට තිබුණා නම් කියාය. මම පූජිතගෙන් ඒ පිළිබඳව විමසන විට ඔහු කළේ උස් හඬින් සිනහසීමය. අම්මාගේ මුවේද ඇඳි ගියේ උපහාසය මුසු සිනහවකි. ඒ දුටු මා සිතේ ඇති වූයේ නොරිස්සුම් මුසු වූ කෝපයකි.
“පන්සල් යන්න…! මම…?”
පූජිත ඇසුවේ අමුතු යමක් ඇසුණු කලක මෙනි.
“අවුරුදු ගානකින් මං පන්සලකට ගොඩ වෙලා නැහැ…”
මහ කෙරුම් කාරකමක් මෙන් ඔහු පවසන විට මා සිතේ ඇති වූයේ නොමනාපයක් නොව දැඩි පිළිකුළකි.
“අවුරුදු ගාණකින් නොගිය නිසා නේන්නම් යන්න ඕන…”
කෝපය සඟවාගෙන මම කීවෙමි.
“බලමුකෝ…”
ඔහු කීවේ ඕනෑවට එපාවටය.
“නිරෝෂලා එක්ක මම යන්නද…?”
ඔහු කෙළින් පිළිතුරක් නොදුන් නිසා මම යළිත් ඇසීමි.
“හිතුවක්කාර වැඩ නොකර ඉන්න…”
කතා බහ මැදට පනිමින් අම්මා කියන විට මා සිතේ මෙතෙක් වෙලා දරා සිටි කෝපය පිට පැන්නේය.
“පන්සලකට පල්ලියකට යන එක කොහොමද හිතුවක්කාර වැඩක් වෙන්නේ…එහෙම නොකර හිටියොත් තමා හිතුවක්කාර…අනික අද පෝය…ඔය වයසෙදිවත් නරකද බණ පදයක් අහන එක…”
තරමක සැරෙන් මම ඇසීමි.
“හහ්!…පෙනේද මෙයාගේ කට…”
අම්මා පූජිත අවුස්සන්නට මෙන් ඇසුවාය. ඇයට වුවමනා වන්නට ඇත්තේ මුළ පටන් මා යටපත් කරගෙන සිටින්නට වන්නට ඇත. එවැන්නකට මා ඉඩ දිය යුතු නැත. ඇරත් අප කතා බහට ඈ මැදිහත් වෙන්නේ මන්ද…?
“කට දැනගෙන නෙවේද බන්දලා දුන්නේ…?”
“මංදාකිණි…”
පූජිත උස් හඬින් මා ඇමතුවේය.
“ඔයාගේ අම්මාට කියන්න අපේ කතා වලට පනින්නැතුව ඉන්න කියලා…”
අම්මාට රවමින් මම හිස ගස්සාගෙන කාමරයට පැමිණියෙමි.
“අම්මාටත් ඕනනැති මඟුලක් නැහැනේ…කිව්වත් වගේ පාඩුවෙ ඉන්න…”
පූජිත කෑ ගසනු මට ඇසිණි. ඈ කොහොම අම්මා කෙනෙකුද..? දරුවෙකු පන්සලකට පල්ලියකට යනවාට විරුද්ධ වන මව්වරුන් සිටීදැයි කියා මම සිතුවේ
කළකිරුණු සිතිනි. කෙසේ නමුත් පූජිත සවස පන්සල් යෑමට අප සමඟ එකතු විය.
“ඔන්න අක්කේ…ඔයා නම් අද කරගත්තේ ලොකු පිනක්…”
අප පන්සලට පැමිණි සැටියේම නිරෝෂා කීවාය. හේතුව මට පැහැදිළි වුවද පූජිත නිරෝෂා දෙස බැලුවේ තරමක මවිතයකිනි.
“ඒ කොහොමද…පන්සලට එන්න කළින්ම පින් ලැබෙනවද…?”
“ඔයා මේ පින්බිමට අඩිය තිබ්බ ගමන්ම අක්කාට ඒ පින ලැබුණා…නැතුව ඉතින් කවදා නම් පන්සලකට ගිය කෙනෙක්ද අයියේ ඔයා…?”
විහිළුවට වුවද නිරෝෂා කීවාය.
“උඹට මම…!”
පූජිත සැර විය.
“හා, හා ළමයිනේ…මේ පන්සල…”
මල්ලිකා නැන්දා සිහි කළාය. අවට වූයේ නිහැඬියාවකි. ගමේ බොහෝ දෙනෙක් පන්සල් පැමිණ ඇති බව මම දුටිමි. මා ඔවුන් හඳුනන්නේ නැති මුත් කිහිප දෙනෙකු පූජිතත් මල්ලිකා නැන්දාත් දැක ඔවුන් සමඟ කතා බස් කළෝය. පූජිත මා සමඟ එකතුව මල් පූජා කොට බුඳුන් වැන්දේය. බුදුන් වැඳ මා පැතුවේ එකම දෙයක් පමණි. කෙදිනක හෝ අමා මහ නිවන් සුව පමණි. ජීවිතයෙන් මා ලද කිසිත් නැත. මා කිසිත් බලාපොරොරොත්තු වූයේද නැත. සැපට වඩා ලැබුණේ දුක්මය. සුවපත් මරණයක් හෝ ලැබුවා නම් එය සහනයකි. අක්කාගේ නිවසේද මා සිටියේ සිරකාරියක ලෙසිනි. මෙහි කියාද වෙනසක් නැත. පන්සලට හෝ පැමිණීමට ලැබීම සුළු මොහොතකට හෝ මා සිතට සහනයක් ගෙනාවේය. අහස් කුසම ඒකාලෝක කරමින් සඳ පායා තිබිණි. මල්ලිකා නැන්දාත් මාත් නිරෝෂාත් එකතුව බෝධිය අසල හිඳ ගෙන ගාථා කියන අතරේ පූජිත එහෙ මෙහෙ ඇවිද සක්මනක යෙදී සිටිනු මම දුටිමි.
“අයියා කොහෙද ඇවිද ඇවිද හිටියේ…? ගාථාවක් කියන්න ආවේ නැහැ…”
නිරෝෂා ගතු කියන්නට වූවාය. අපි එකතුව පහන් දැල්වීමු.
“මොන ගාථාද බං…මං පන්සලකටවත් ගොඩ වුණේ අවුරුදු ගාණකින්…”
පූජිත කීවේ උපහාසයෙන් මෙනි. වරද ඇත්තේ ඔහු තුළ නොව ඔහු හැදූ වැඩූ අම්මාගේය. ඔහුට යහපත් පරිසරයක් ලබා දීමට ඈ අපොහොසත් වී ඇතිවා සේම ඒ යුතුකම ඈ පැහැර හැර ඇත.
අප යළි නිවසට පැමිණෙන විට රාජකරුණා මන්ත්‍රීවරයා නිවසට පැමිණ සිටි අතර ඔහු දැකුමෙන් පූජිත තරමක් කලබළ විය. මේ තරම් කළබල වන්නේ පැමිණ ඇත්තේ දෙවියකුදැයි අසන්නට මා මුව පොපියෑවද මම මුනිවත පිරීමි. කලින් කලට විවිධ වෙස් මුහුණු බැඳගෙන ජනතා ජන්දයෙන් බලයට පැමිණ ඒ ජනතාවම රවටා ඔවුන්ගේම මුදලින් සුර සැප විඳිමින් වැඳුම් පිදුම් ලබමින් ජීවත් වන හිඟන දේශපාළුවන්ට මම එදත් අදත් වෛර කරමි.
“පූජියා දැන් පින් දහමුත් කරනවා වගේ…හොඳයි…හොඳයි…ඕවා ඉතින් ලෝකෙට පේන්න විතරනේ…”
කෑදර බැල්මක් මවෙත හෙළමින් රාජකරුණා උපහාසය මුසුව පවසන විට මම පිළිකුළෙන් ඔවුන් මඟහැර කාමරයට පැමිණියෙමි.
“අපි ආවේ කියන්න හෙට උදේම කොළඹ යන්න ලැහැස්ති වෙන්න ඕන…”
ඔහු නියෝග නිකුත් කරන සැටි මා හට ඇසිණි. දොර අඩවන් කර මම යහන මත හිඳ ගත්තේ කාමරයේ පහන් නොදල්වාමය. සඳ එළිය ලෝභ නැතිවම කාමරයට ගලා ආවේය. මුළු අහසම බැබළෙයි. මම ගොස් ජනේලය අසල සිටගෙන පිටතට දෑස් යොමු කළෙමි. පන්සලට යනෙන අය කිහිප දෙනෙකු මා නෙතට හසු විය. පිටත උස් සිනා හඬින් සහ කතා බහින් පරිසරයේ වූ නිහඬ බව බිඳී ගොසිනි. අම්මා කාමරයට එබී මා ඇමතුවේ තේ සාදන්නටය. නොසතුටින් මම පිටතට පැමිණියෙමි.