More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 03

    Pini Muthu Palasa පිනි මුතු පලස – 03

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 03

    පාසල නිම වී මම නිවසට ගොඩ වූයේ තෙහෙට්ටු ගතිනි. අයියා සිටින බවක් මම දැන සිටියේ නැත. අක්කාත් ඔහුත් ආලින්දයේ හිඳගෙන කතා බහ කරමින් සිටි අතර ඔහු මදෙස බැලුවේ නෙරවා ගත් බැල්මකිනි. මම එය නොදුටුවා සේ වහා කාමරයට වැදුණේ නොරිස්සුම් මුසු වූ හැඟීමෙනි. ඔහුගේ රැවිළි, එරවිළි මට දැන් හොඳට පුරුදුය.

    “අම්මා මේ මාසෙවත් සල්ලි එවයිද දන්නැහැ…”

    අයියාගේ හඬ මා සවනට ගළා ආයේය.

    “අනේමන්දා චූටි මල්ලි…අපිත් හරි අමාරුවෙන් මේ ටිකේ ජීවත් වෙන්නේ…කොහෙද ඉතින්…මේ මිනිහා හම්බ කරන තුට්ටු දෙකෙනුත් කරන්නේ බොන එකමනේ…”

    අම්මා සල්ලි නොඑවන කතාව කෙසේ වුවද සුමිත් අයියා බීගෙන නිවසට පැමිණෙන එක ගැන අක්කා කී කතාව නම් සත්‍යයකි. ත්‍රී රෝද රථ රියදුරෙකු වූ ඔහු සවසට නිවසට පැමිණෙන්නේම කට ගොන්නක් බී ගෙනය. අම්මා සල්ලි නොඑවුව්වා නම් ඈ මටත් ඇසෙන්නට ඇනුම්පද කියමින් ළඟක නොමැති අම්ටමා ද දොස් පවරන බව මම හොඳාකාරවම දැන සිටියෙමි. අම්මා අක්කාගේ නමට බැංකුවට කොපමණ මුදලක් එවනවාද කියා හෝ මම දැන නොසිටියෙමි. එසේ දැන ගැනීමට හෝ වුවමනාවක්ද මට නොවීය. ඒ මුදල් පරිහරණය කළේත් ඇයත් අයියාත්ය.

    “අනේ මන්දා…එයා මොනවා කරනවද කියලා…තමුසේ ලියුමක් දානවකෝ සල්ලි එවන්න කියලා…”

    අයියා එසේ කියනු ඇසුණද අක්කා දුන් පිළිතුර නම් මට නෑසිණි. ඇඳුම් මාරුකරගෙන මම කිළිටි රෙදි ටිකත් රැගෙන පසුපස දොරින්ම මිදුලට බැස වැටෙන් රිංගා වැව දෙසට පා තැබුවේ රෙදි ටික සෝදාගෙන ඒමටය. මෙවන් වෙලාවට වැව අසළ කිසිවෙකු නොගැවසෙයි. ඒ නිසා නිදහසේ රෙදි සෝදා ගත හැක. ඊට වැඩිමනත්ම මම නිවසින් බැහැර වූයේ අයියා සිටි නිසාය. ඔහු මා දැකුමට දක්වන අකමැත්තට වඩා මම ඔහු දැකුම අප්‍රිය කළෙමි.

    “ගිය ආත්මේ හතුරෝ වෙන්නැති…” මම මටම කියා ගතිමි.
    ——————————————————————————————————
    විවේක කාලය අවසන් වීමට ළංව තිබූ නිසා මම පුස්තකාලයේ සිට ඉක්මනින් පන්තිය දෙසට ආවෙමි. උමයංග දොර මඟ අවුරා සිටගෙන සිටි නිසා මම පිටත හිඳ ඔහු දෙස බැලුවේ නොසතුටත් කෝපයත් සිත පුරා වැඩෙන විටය. ඔහු මා සමඟ කෝපයෙන් හෝ නොමනාපයෙන් සිටින බව මම දැන සිටියෙමි. ඔහුගේ ආදරය මෙන්ම ඔහු දුන් සිහින පෙරණයත් මම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු මෙසේ සියුම් ලෙස මගෙන් පළි ගනිමින් හිඳී.

    “ඔතනින් අයින්ට වෙනවද…? මට ඇතුළට යන්න ඕන…”

    උස් හඬින් මම ඇසුවද ඔහු දෑත් බැඳගෙන ඉවත බලා සිටියේ එය නෑසුණාසේය.

    “දොරටු පාලකද…මුර කරන් ඉන්නේ…?”

    පෙරට වඩා උස් හඬින් මම අසන විට ඇතුළත සිටි ළමුන් සියල්ලෝ හැරී මදෙස බැලූහ.

    “ඔව්…දොරටු පාලක තමා…පුළුවන් යමුකෝ බලන්න…”

    ඔහු කීවේ අභියෝගයට මෙනි. ඔහුගේ මේ නොමනා හැසිරීම් නම් දුර දිග ගියා වැඩි යැයි කියා මම සිතුවේ කෝපයෙනි. ඔහු දැන් දැන් මට මහත් මානසික පීඩාවක් වෙමින් සිටියේය.

    “මේ මොන කෝළමක්ද උමයංග…? විකාර නොකර ඔතනින් අයිනට වෙන්න මේ ළමයට ඇතුළට එන්න…”

    දුලානි විත් ඔහුව පසෙකට තල්ලු කරමින් මගේ අතින් අල්ලා පන්ති කාමරයට ඇද ගත්තාය.

    “මෙයා හිතාගෙන ඇති මෙයා මහ ලොකු කුමාරි හාමි කියලා…”

    උමයංග කියන විට මම වහා ඔහු වෙත හැරුණේ සිත පුරා වූ කෝපය ඔඩු දුවන විටය. දුලානිගේ අත ගසා දමා මම උමයංග ඉදිරියේ ඔහුට මුහුණලා සිට ගතිමි.

    “මං කුමාරි හාමි හරි…කවුරු හරි…වුණාම තමුන්ට මොකක්ද තියන අමාරුව…?”

    “හිතාගෙන නම් ඇති…ඒත් ඉතින් තමුන් ගැන අපි නොදන්නවද…? අම්මාත් පිට රට ඉඳන් නටන නැටිළි නොදැන වෙන්නැති අපිට ලොකු ටෝක් දාන්නේ…?”

    ඔහුගේ එම කතාවෙන් මා තුළ ඇති වූයේ තැති ගැන්මක් මෙන්ම උත්සන්න වූ කෝපයකි.

    “මොකක්ද තමුසේ කිව්වේ…?”

    මම කෑ ගසන විට ඔහු උපහාසයට මෙන් සිනහසුණේය.

    “කිව්වෙද…? ඔයාගේ අම්මා…ලංකාවට නෑවිත් ඉන්නේ එහේ මිනිහෙක් ඉන්න නිසා…හොර මිනිහෙක්…”

    මා ගත වෙව්ළන්නට වන විට මම වැර යොදා ගැසූ අතුල් පහරින් ඔහු බියපත්ව බලා සිටියේ කම්මුලට අත තබාගෙනය.

    “තමුසේ මට මොනවා කිව්වත් කමක් නැහැ…මගේ අම්මාව ඇදලා ගන්න එපා…”

    මා ගත වෙව්ළන්නට වූයේ කෝපය නිසාය. පන්ති කාමරයෙන් පිටව මම දිව ආවේ අරමුණක් නැතිවමය. කිසිවෙකු මා අමතමින් මා පසු පස දිව එනු දැනුණද මම නොනැවතී දිව විත් මාර ගහ යට වැටෙන් රිංගා පාර දිගේම දිව ආවේ මා හද වේදනාවෙන් කකියන විටය. දෑසින් ගළා යන කඳුළු ගැන මට වගක් නොවීය. මගේ හැඬුමත් දිව යාමත් නැවතුණේ නිවස පෙනෙන මානයේදීය. පොත් බෑගය මට සිහි වූයේ මම මිදුල දිගේ නිවස දෙසට එන විටය. මට ඒ පිළිබඳව හෝ හැඟීමක් නොවීය. ඒ ඇසූ කතාවෙන් මා සිටියේ කම්පනයට පත්වය. කඩ කාමරයේ සිටි අක්කා මා අවේලාවේ නිවසට එනු දුටු නිසාදෝ වහා දොරකඩට දිව ආවාය.

    “මොකෝ චූටි නංගී…මොනවා හරි අමතක වෙලා ගියාද…?”

    මම කාමරයට පැන ගැනීමට සූදානම් වන විට අක්කා මඟ හරස් කරමින් ප්‍රශ්න කරන්නට වූයෙන් ඈ කෙරෙහිත් මා සිතේ ඇති වූයේ කෝපයකි.

    “නැහැ…අනේ…මගේ ඔළුව රිදෙනවා… ඒකයි ආවේ…”

    නොරිස්සුමෙන් කී මම ආලින්දයට ගොඩ වූයේ සපත්තු දෙක ගළවා දොරකඩ දමමිනි.

    “ඉතින් තනියම ආවේ…යාළුවෙක් එක්ක එන්න එපැයි..මඟදී ක්ලාන්තයක්වත් වුණානම්…කෝ බෑග් එක…?”

    අක්කාගේ ප්‍රශ්න කෙරිල්ලේද කෙළවරක් නැත.

    “ඒක ගෙනත් දෙයි…?”

    නොරුස්සුමෙන් කී මම කාමරයට වැදී දොර වසා ගෙන යහන මත වැතිර කොට්ටයේ මුහුණ ඔබා යළිත් හැඬුවෙමි. උමයංග ගේ කුරිරු වදන් සිහි වන විට මා සිත අලුතින් පෑරිණි. ඔහු එවන් කතාවක් කීවේ කුමන පදනමක් මතද…එහි සත්‍යතාවයක් තිබිය හැකිද..අම්මා මෙතෙක් කල් යළි නොආවේ එම හේතුව නිසාද…? මුහුණට නොකීවද සමහරවිට ගමේ අයද මේ පිළිබඳව කතා බහ කරනු ඇතැයි සැකයක් මා සිතේ ඇති විය. මේ වසර ගණනාව පුරාම ඈ නොපැමිණියේ මේ හේතුව නිසාද.? මටත් නොදැනීම මට නින්ද යන්නට ඇත. යළිත් අවදි වන විට සැඳෑ වී තිබූ අතර අක්කා කාමරයේ දොරට ගසා මා අමතන හඬින් මම තිගැස්සී ගියෙමි. සිතේ වූ කළකිරීම වේදනාව තවමත් පහව ගොස් නැත. යහනින් බිමට බැසගත් මා ගොස් දොර හැරියේ තෝන්තු වූ හිසිනි.

    “දැන් මොකද චූටි නංගී…? කෑම කාලා මේ පැනඩෝල් දෙක බොන්න…”

    ඈ මා අත පැනඩෝල් පෙති දෙකක් පත් කරමින් මා දෙස වඩා වුවමනාවෙන් බලමින් කියන විට මම එය නැසූණා සේ විත් යළිත් යහන මත හිඳ ගතිමි. පැනඩෝල් බොන්නට මට ඇති හිසේ රුදාවක් නැත. සිත නම් වුවමනාවටත් වඩා රිදී තිබිණි. පැනඩෝල් බීවාට එය සුව වන්නේ නැති බව අක්කාට කෑ ගසා කීමට මට වුවමනා වුවද මා මුව ගොළුව ඇති සෙයකි.

    “තාම යුනිෆෝර්ම් එක පිටින්නේ…ඔළුව රදේ අඩු නැත්ද…? උණ ගැනෙන්නද දන්නැහැ…කෑම කාලා ඕක බොන්න…ආයේ නිදාගන්නේ නැතුව…”

    මා අසළට ආ අක්කා මගේ ගෙළටත් නළලතටත් පිටි අත්ල තබා බලමින් කියන විට මම හිස ඔසවා ඈ දෙස බැලීමි.

    “අම්මා ඇයි ලංකාවට එන්නේ නැත්තේ…?”

    කාමරයෙන් පිටව යාමට සූදානම් වූ අක්කා යළිත් හැරී මදෙස බැලුවේ විමතියට පත් දෑසිනි.

    “ඒ මොකෝ චූටි නංගී…එකපාරම එහෙම අහන්නේ…?”

    “එයා එහේ වෙන මිනිහෙක් තියන් ඉන්නවලු නේද…? ඒකනේ නේද එයා මෙහේ නොඑන්නේ…ගමේ මිනිස්සුත් ඒක දන්නවාලු…පන්තියේ උන් මට හිනා වෙනවා…”

    මට යළිත් හැඬිණි. අක්කා මා සමීපයේ හිඳ ගන්නා බව මට දැනිණි.

    “ඔයාට ඕවා නොකීවේ මොකුත් නිසා නෙවේ…ඔයාගේ හිත පෑරෙයි කියලා…”

    “එතකොට ඔයාත් දැනන් හිටියා…දැන් මගේ හිත පෑරිලා නෙවේද තියෙන්නෙ…?”

    මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “මටත් ආරංචි වුණ නිසා…මං අම්මාගෙන් ඒ ගැන ඇහුවා…එයා මට දන්නලා එව්වේ එතකොටයි…”

    “එතකොට එහෙනම් එයා ඔයාට දිගටම ලියලා තියනවා…ඔයා මට කිව්වේ එයා ලියුම් එව්වෙත් නැහැ කියලානේ…”

    උපහාසය මුසු හඬකින් මම මතක් කළෙමි.

    “දිගටම එව්වේ නැහැ චූටි නංගී…ඒත් එයා එවපු ලියුම් වල ඔය ගැන කියලා තිබුණා..මම ඔයාට ඒ ලියුම් නොපෙන්නුවේ ඒ නිසයි…”

    අක්කා නිදහසට කරුණු කියන්නට වන විට මා සිතේ ඇති වූයේ කෝපයට වඩා කළකිරීමකි.

    “ගමේ අයත් දන්න දේ…මං දන්නේ අන්තිමට…”

    නොරුස්සුමෙන් කී මම යහනින් නැඟී සිටියෙමි. සවස වැවට ගිය මොහොතේ කිසිවෙකු පොත් බෑගය ගෙනවිත් දී තිබූ අතර ඒ කවුද කියා මම අසන්නට නොගියෙමි. අක්කාද මා සමඟ කිසිත් නොකීවාය.

    දින දෙකක්ම මම පාසල් නොගියෙමි. සිත තුළ වූ බලවත් කළකිරීම මෙන්ම මෙවන් දෙයක් අසන්නට බලාපොරොත්තුව නොසිටි මට තවමත් එය මහත් කම්පනයක් විය. සිතන්නට කල්පනා කරන්නට මට බොහෝ දේ විය. ජීවිතය පිළිබඳව වුවද මට වූයේ මහත් කළකිරීමකි. අම්මා පිළිබඳව වුවද පෙර මා සිතේ තිබූ හැඟීම දැන් නම් නැත. උමයංගට මම ශාප කරමි. පාසල් ගමන මට එපා කළේ ඔහුය. ගැහැණියකගේ ආත්ම ගරුත්වය පිළිබඳව පවා හැඟීමක් දැනීමක් නැති ඔහු වන් අයෙකු ප්‍රේමය කුමක්දැයි හඳුනාවිද.? ඔහු තුළ ප්‍රේමයක් තිබුණා නම් කෙදිනකවත් එවන් අපහාසයක් කරනු ඇතිද.? ඔහුට දෙවියන් විසින්ම දඬුවම් කරනු ලැබේවායි මම සිය දහස් වාරයක් පැතීමි.එය වේදනා විඳින මා සිතට යාන්තමින් හෝ සහනයක් විය. ඔහු ගිම්හානත් මාත් ඈඳාගෙන නොයෙක් කතා පැතිරෙව්වේ හුදෙක් ඊර්ෂ්‍යාව නිසාය. මා මුවින් සුසුමක් ගිළිහිණි. හූල්ලමින් සිටිනවා හැරුණු කොට මට වෙන කළ හැකි කිසිත්ද නොවීය.
    ——————————————————————————————————
    රාත්‍රී අහසේ අඩ සඳක් දිස් විණි. පෝය ගෙවී දින ගණනාවකි. මේ සතිය පුරාම මම පාසල් නොගියෙමි. යන්නට සිතක් නොවූ සේම බලකරන්නටද කිසිවෙකු නොවීය.මා පාසලේ දමා ආ පොත් බෑගය එදින නිවසට ගෙනවිත් දී තිබුණේ කවුද කියා මම නොදනිමි. අක්කා කිසිවක් ඒ ගැන මගෙන් නෑසුවේ පැමිණියේ කවුරුන් වුවත් ඒ අයගෙන් සියල්ල පිළිබඳව හාරා හාරා අවුස්සා දැන ගන්නට ඇතිවාට සැකයක් නැත. පාසල් යන්නැයි ඈ මට බල නොකරන්නට හේතුව එය විය හැකි වූවා සේම මා නිවසේ සිටීම ඇයගේ වැඩ කටයුතු වලටද පහසුවකි.

    “දැන් ඉස්කෝලේ නොයාම ඉන්නද කල්පනාව…?”

    රාත්‍රී ආහාර ගන්නා අතරේ අක්කා මා විමසුවාය. පිළිතුරක් දීමට මම ඉක්මන් නොවූයෙමි. සුමිත් අයියා අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ කිසිවක අගක් මුලක් වටහා ගන්නට නොහැකි වූ නිසා වන්නට ඇත.

    “යනවා…”

    මම වහා පිළිතුරු දුන්නේ ඒ මොහොතේ ගැළවීමට සිතා මිස එවන් තීරණයක සිටි නිසා නොවේ. සුමිත් අයියා තෙපර බාමින් කුමක් හෝ කීමට සූදානම් වනු දැක මම වහා අසුනින් නැඟිට පිටුපසට පැමිණියෙමි.

    පසු දින සෙනසුරාදාය. උදෑසනම නිවසේ වැඩ කටයුතු සියල්ල අවසන් කළ මා කාමරයට වී සිටියේ අළසකමිනි.

    “චූටි නංගී…”

    අක්කා මා අමතන හඬ ඇසුණද මට පිටතට යාමට සිතක් නොවීය. ඈ කාමරයට එබුණේ මම යහන මත නිහඬවම බලා සිටින විටය.

    “කන ඇහෙන්නේ නැත්ද අනේ…කී පාරක් කතා කළාද…?”

    ඈ එසේ කීවද ඈ කතා කළේ එකම වරක් පමණකි.

    “ඇයි ඉතින්…?” නොමනාපය මුසුව මම ඇසීමි.

    “අන්න යාළුවෝ ඇවිත්…”

    ඈ දොර රෙද්ද පහත හෙළා නොපෙනී ගියේ නොරිස්සුම් හඬකින් එසේ පවසමිනි. මම යහනින් බිමට පැන පිටතට දිව ආවේ පැමිණ සිටින්නේ කවුද කියා සිතේ වූ කුහුළකිනි.

    -හෙටත් මුණ ගැසෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page