NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 02

Pini Muthu Palasa පිනි මුතු පලස – 02

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස – 02

එළඹෙන සති අග යෑමට යොදා ගෙන තිබූ අධ්‍යාපන චාරිකාව පිළිබඳව ළමුන් සිටියේ මහත් උද්‍යෝගයෙන් යුතුවය. මම ඒ පිළිබඳව එතරම් උනන්දු නොවූයේ මුදල් ඉල්ලා ගැනීමට සිදුව තිබුණේ අක්කාගෙන් නිසාය. පාසල් අවශ්‍යතාවයකට වුවද ඇගෙන් මුදල් ඉල්ලා සිටියහොත් ඈ මැසිවිළි නගන්නට වූයේ අම්මාද දැන් මුදල් නොඑවන නිසා නිවසේ කටයුතුද කර ගැනීමට අපහසු බවට කන්කෙඳිරි නඟමිනි. මුදල් ප්‍රශ්නය මෙන්ම උමයංගත් චාරිකාවට එකතු වන බැවින් මා සිතේ ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් ඇති නොවීය.

“මංදාකිණි…ඔයා එනවා නේද ට්‍රිප් එක යන්න…?”

මා සමීපයට විත් උමයංග විමසන විට මම ඔහු දෙස බැලුවේ අප්‍රසාදය මුසු බැල්මකි.

“ඔයා රැව්වත් ආසයි…මංදාකිණි…”

මම නෙරවා ගත් දෑසින් ඔහු දෙස බලන විට ඔහු කීවේය. මම ඔහු අසළින් මෑත් වූයේ අපුළකින් යුතුවය.

“කියන්නකෝ අනේ…එනවා නේද…?”

ඔහු පිංසෙණ්ඩු වන්නට විය.

“පිස්සු හැදිලද…? මං එන්නේ නැහැ…”

කෝපයෙන් මම කියන විට ගැහැණු ළමුන් කීප දෙනෙකුම ඔහුට සම්ච්චලයට මෙන් සිනහසුණ අතර පිරිමි ළමුන් “ෂූ…” හඬක් නැඟූහ.

“අයියෝ..ඒඇයි අනේ…? ඔයා නැත්නම් මං යන්නෙත් නැහැ…”

“මට පාඩු වෙයි…”

හිස ගස්සමින් මම කීවෙමි. ඔහුට වෙනත් යමක් කීමට අවස්ථාවක් උදා නොවූයේ මාලිංග සර් පන්තියට පැමිණි නිසාය. විසිරී සිටි ළමුන් සැවොම තම තමන්ගේ ආසන කරා දිව ගියේ කළබලයෙනි.

“මොකෝ මේ තමුසෙලාගේ සද්දේ…? ෆ්‍රී පීරියඩ් එකක් නම් පොතක් පතක් බලා ගන්නවාලකෝ…වට වෙලා කියව කියව ඉන්නේ නැතිව…තමුසෙලා කෑ ගහද්දී කොහොමද අනෙක් ළමයින්ට පාඩමක් උගන්වන්නේ…?”

මාලිංග සර් කෝපයෙන් කෑ ගැසුවේ පන්තිය සිසාරා දෙනෙත් දුවවමිනි. මා සිටියේ බිත්තිය අයිනේ සිටගෙනය. ඔහුගේ දෑස් මා වෙත එල්ල වන විට මා සිතේ තැති ගැන්මක් ඇති වූයේ මටද දොස් අසන්නට වනු ඇතැයි සිතාය. පන්තිය මීයට පිම්බාක් මෙන් නිහඬය.

“මංදාකිණි…මොකද ඔය හිටගෙන…? වාඩිවෙලා පොතක් බලා ගන්නවා…ආයේ සද්දයක් එහෙම ආවොත් මුළු පන්තියම එළියේ දණ ගස්සනවා…”

සර් ඒ කළේ අනතුරු ඇගැවීමකි. මම වහා විත් මගේ අසුනේ හිඳ ගත්තේ සර් යළි පිටතට යන ඇසිල්ලේමය. විවේක කාලයට සීනුව නද වන තුරුම අපි කිසිවෙකු කිසිම හඬක් නොනැඟීමට ප්‍රවේශම් වූයෙමු.

මිතුරියන්ගෙන් මිදී මම පුස්තකාලයට පැමිණියේ පොතක් රැගෙන යන අදහසිනි. ගිම්හානද එහි පොත් තෝරමින් සිටිනු දැක මම සෙමෙන් ඔහු වෙතට ළං වූයෙමි.

“ආහ්…ඔයාත් ආවද…?”

ඔහු පහත් හඬින් මා විමසුවේ ඉක්මන් බැල්මක් මවෙත හෙළා යළි තම අත වූ පොතට අවධානය යොමු කරමිනි.

“හ්ම්ම්…මාත් පොතක් ගන්න ආවා…මොකක්ද අනේ ඔය පොත…?”

ඔහු අත රැඳි පොතට ඉව අල්ලමින් මම එය ඔහුගෙන් ඉල්ලා ගතිමි.

“වෘකයන් අතර නග්නව…ඔයා කියවලා තියනවද…මේක…?” ඔහු මා විමසුවේය.

” අනේ නැහැ…ඒ මොකක්ද ගිම්හාන…? මම අදමයි දැක්කේ…මොන වගේ කතාවක්ද…?”

කුහුල් සිතින් මම ඇසුවේ එහි නමද තරමක් අමුතු නිසාය. එය පාසල් ළමුනට කියවීමට තරම් සුදුසු නොවන්නක් යැයි කියා මට සිතිණි.

“ඕක දෙවන මහ යුද්ධ කාලේ නාසි වධ කඳවුරක සිද්ද වෙච්ච ඇත්ත කතාවක් ඇසුරෙන් ලියලා තියෙන්නේ…ඒ ලේඛකයාත් හිරකාරයෙක් විදියට ඒ කඳවුරේ ඉඳලා තියනවා…”

ගිම්හාන පැහැදිලි කරන විට මම මවිතය රැඳි දෑසින් ඔහු දෙස බලා පොත යළි ඔහු අත පත් කළෙමි.

“ඉතින්…මේකේ වධ හිංසා කරපු ඒවත් තියනවද…?”

“ඔව්…කියවත්දී ඇඬෙනවලු…”

“අනේ…ඉතින් ඔයා කියවලා නැත්ද…?”

“නැහැ මංදි…මට අපේ අයියා කෙනෙක් ඔය පොත ගැන කිව්වේ…මං මේ පොත හැමදාම අතට අරන් ආයෙම තියනවා…මොකද මට හිතුණේ මේ නම නිසා පොත කියවන්න හොඳ නැතුව ඇති කියලා…”

එසේ නම් ඔහුටද සිතී ඇත්තේ මා සිතේ ඇති වූ සිතුවිල්ලමය.

“මටත් ඒකම හිතුණා..” මමද කීවෙමි.

“ඔව්…මං කළින් දැනන් හිටියා නම් මීට කළින් පොත කියවනවා…”

ඔහු එසේ පවසා පොත් රාක්කයේ යළි ඒ පොත තැන්පත් කරන විට මම පුදුමය ඇඟවීමි.

“ඉතින් ඔයා ඕක කියවන්නේ නැත්ද…?”

“බැහැ…මේ දවස්වල මේ වගේ ලොකු පොතක් කියවන්න බැහැනේ…පාඩම් කරන්න තියනවා…අම්මා දැක්කොත් මේ පොත…මං නරක පොතක් කියවන්නේ කියලා හිතලා බැනුම් අහගන්න වෙන්නේ…”

පහත් හඬින් කී ඔහු සිනහව තද කරගෙන සිටින විට මමද සිනහව නවතා ගෙන සිටියේ අසීරුවෙනි. අපි දෙදෙන කියවීමට පහසු පොත් කීපයක් තෝරාගෙන යළි පන්ති කාමරයට පැමිණියේ එකටමය.

“අම්මටසිරි…මෙන්න අලුත් කපල් එකක්…”

අප දෙදෙන එකටම පන්තියට ගොඩ වන විට උමයංග උපහාසයට කෑ ගසන විට මාත් ගිම්හානත් මුහුණින් මුහුණ බලා ගතිමු.

“අලුත් නෙවේ…අපි ගොඩක් කල් ඉඳන් කපල් වුණේ…”

මම සමච්චලයෙන් එසේ කියා විත් මගේ අසුනේ හිඳ ගතිමි.

“ඒත් ඉතින් දැන් නම් පේන්නේ අලුත බැඳපු කපල් එකක් වගේ කියලා…”

නෙරවා ගත් බැලමක් ඔහු වෙත හෙළා මම ඉවත බලා ගත්තේ ඔහු සමඟ කතා කර ඵලක් නැති බැව දැනය.

“ඔය හිතේ අමාරුවට කියන ඒවා මංදි… ගණන් ගන්න එපා…”

තරුෂි උමයංංගට ඇසෙන්නට කීවාය.

“බල්ලො බිරුවට කඳු හෙළවෙන්නේ නැහැ මංදි…”

සමන්මලීද එයටම එක් කරන විට උමයංග නිහඬ වූයේ ඔවුන් දෙදෙනාටද රවමින් බව මා දෑසට හසු විය. පසු විටක ඔහු මාත් උමයංගත් ඇඳාගෙන නොයෙකුත් කතා පවසන්නට වන විට මා සිතේ ඇති වූයේ බලවත් වූ කළකිරීමක් මෙන්ම ඔහු මරා දමන්නට තරම් කෝපයකි. පාසල් යෑම මට එපා කරවූයේ උමයංගය.

“ඕවා ගැන හිතන්න එපා මංදි…ඵල ඇති රුකටලු ගල් මුල් වදින්නේ…”

ගිම්හාන එසේ කියන්නට ඇත්තේ මා සිත සනසන අදහසින් වන්නට ඇත.
——————————————————————————————————
එදින සිකුරාදාය. මම පාසල් නොගියේ එදින අධ්‍යාපන චාරිකාව යන දිනය වූ බැවිනි. සඳුදා ද පෝය නිවාඩු දිනක් නිසා එක දිගටම දින හතරක නිවාඩුවක් ලැබී තිබිණි.මේ දින සතරම ගෙවී ගියේ නිවසේ වැඩ කටයුතු කරන්නටමය. මා සිටියේ විඩාබරව මෙන්ම බලවත් වූ කළකිරීමෙනි. අක්කා කඩයටම වී සිටියා මිස නිවසේ කළ කිසිත් නැත. ඈ කෙරෙහි බලවත් වූ කෝපයකින් මම ඉවසා සිටියේ කළ හැකි කිසිත් නොවූ බැවිනි. අම්මා ළඟ සිටියා නම් මේ කිසිත් නැහැ නොවේදැයි කියා මට යළි යළිත් සිතිණි. අයියා පවසන්නාක් මෙන් මා අවාසනාව තුරුළු කොටගෙන ඉපදුණු එකියක වූ බව නම් සත්‍යයකි. අඟහරුවාදා උදෑසනම මම පාසලට පැමිණියේ මෙතෙක් දිනක් කූඩුවක සිර කරන ලදුව හිඳ නිදහස ලැබූ කිරිල්ලයක් තටු සළා පියඹා යන තරම් සැහැල්ලුවකිනි.
තවම පන්තියේ කිසිවෙකු පැමිණ සිටියේ නැත. පොත් බෑගය මේසය මත තබා මම පිටතට පැමිණියේ සාංකූල සිතිනි. වැට අයිනේම වූ විසල් මාර ගස යටට වී මම පාර බලා සිටියේ පන්තියේ කවුරුන් හෝ පැමිණෙන තුරුය. ළමුන් එකා දෙන්නා පාසලටපැමිණෙති. සුළු මොහොතකට පසුව මා දුටුවේ දුර තියා එන තරුෂිත් දුලානිත්ය. මා දුටු නිසාදෝ දෙදෙනාගේ ගමන ඉක්මන් වූ අතර ඔවුන් මට අත් වනන විට මමද එයට ප්‍රතිචාර දක්වමින් ගේට්ටුව දෙසට ඇවිද ආවේ ඔවුන් පිළිගැනුමටය.

“හායි…මංදි..ගුඩ් මෝර්නින්…අම්මෝ කොච්චර දවසකට පස්සෙද…?”

තරුෂි මා අතින් අල්ලා ගනිමින් කීවේ ප්‍රීතිමත් හඬකිනි.

“මාසයක් ගෙවුණා වගේ…”

මම කීවේ සැබෑවටමය. නිවසේ සියළු රාජකාරී වල නිරතව මම සිටියේ හෙම්බත්වය. ඉතින් එසේ තිබියදී මට මේ දින සතර දැනුණේ එසේය.

“ඔව්…අනේ…ඔයා ඉතින් ට්‍රිප් එක යන්න ආවෙත් නැහැනේ…”

ශෝකී හඬකින් තරුෂි කීවේ අප පන්තියට ගොඩ වන විටය.

“ඔව්…මංදි…එන්න තිබුණේ…හරි ෂෝක්… හැබැයි තාම කකුල් රිදෙනවා සීගිරි නැඟලා…”

දුලානි කියන විට මම නිහඬව සිටියෙමි.

“ගිම්හාන ආවෙත් නැහැනේ…මං ඔය දෙන්නට බූන්දි ගෙනාවා…”

තරුෂි බෑගය හැර බුන්දි පාර්සලයක් මා වෙත දිගු කරන විට මම පුදුම වූයේ ගිම්හානද චාරිකාව නොගිය බවක් දැන නොසිටි නිසාය.

“ඒ ඇයි…ගිම්හාන ආවේ නැත්තේ…?”

මම අසන විට දුලානි දෙවුර සැළුවාය.

“අනේ මන්දා…” තරුෂි කීවාය.

ඔවුන් දෙදෙන චාරිකාවේ තොරතුරු පවසන්නට වන විට මම නිහඬව අසා සිටියේ ගිම්හාන චාරිකාවට සහභාගී නොවූයේ මන්ද කියා සිතමිනි. ඔහු පැමිණියේ පාසල ආරම්භ වන මොහොතේම වාගේ නිසා මට ඔහු සමඟ කතා බහ කරන්නට අවස්ථාවක් ලැබුණේ විවේක කාලයේදීය.

“ඇයි ගිම්හාන ට්‍රිප් එක නොගියේ…?”

මාර ගස යට සෙවනේ හිඳ තරුෂි ගෙනා බූන්දි කමින් මම ඇසුවෙමි.

“මම කොහොමත් යන්නෙ නැහැ කියලා හිතාගෙන හිටියේ…”

සුසුමක් වාතළයට මුදා හළ ගිම්හාන කීවේ ශෝකී හඬකින් බව මට වහා වැටහිණි.

“ඇයි…ගිම්හාන මොකක් හරි ප්‍රශ්නයක්ද…?”

මම අසන විට ඔහු මවෙත හැරී බැලුවේ ආයාසයෙන් මුව මත ඇඳගත් සිනහවක්ද සමඟය. පැවසිය නොහැකි යම් ගැටළුවක් ඔහු සිතේ ඇතැයි සිතූ මා යළිත් ප්‍රශ්න අසා ඔහුව අපහසුවට පත් කරන්නට නොසිතුවෙමි.

ගිම්හානගේ තාත්තා රැකියාවක් නොකරන බව මම දැන සිටියෙමි. අම්මා පවුල් බර කරට ගෙන ජීවිතය ගැට ගසා ගැනීමට මහත් වෙහෙසක් දරන බව දිනක් ඔහු මා හා පවසා තිබිණි. එසේ නම් ඔහුට ඇත්තේ මුදල් ප්‍රශ්නයක් වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. විදුර ඔහු අමතන විට ඔහු මා කෙරෙන් ඈත්ව එදෙසට පිය මැන්නේය. මමද යළි පන්ති කාමරයට පැමිණියද එය මුළුමනින්ම හිස්ව තිබිණි. මම විත් මගේ අසුනේ හිඳ ගෙන කෙටි බිත්ති කණ්ඩියට උඩින් පිටතට බැල්මක් හෙළීමි. කුඩා ළමුන් එහේ මෙහේ දුව පනිමින් සෙල්ලම් කරන හැටි දැක මා සිත සියුම් ශෝකී හැඟීමකින් වැසී ගියේ අතිතය සිහි වීමෙනි. ජීවිතයේ කිසිදු බරක් පතළක් නොදැනී ගෙවුණු අතීතය කෙතරම් සොඳුරු වීද…? අපි එකල සිටියේ සැහැල්ලුවෙනි. දැන් මහ මෙරක් තරම් බරක් සිත් තුළ තබාගෙන අනාගතය කුමක් වේවිදැයි නොදැන බියකින් පසුවෙමින් මේ ගෙවන්නේ පීඩාකාරී ජීවිතයක් නොවේද.? මගේ සිතුවිළි වලට බාධා කරමින් කිසිවෙකු මා පසෙක සිටිනු දැනී මම හැරී බැලිමි. ඒ අන් කිසිවෙකු නොව උමයංග බව දැක මා සිතේ ඇති වූයේ තිගැස්මකි. සිනහවක් මුව මත රඳවාගෙන ඔහු මදෙස බලා සිටියද මම වහා ඉවත බලා ගතිමි.

“මංදාකිණි…”

ඔහු යළි මා ඇමතුවද මම ඒ නැසුණා සේ සිටියෙමි.

“මේ බලන්නකෝ…ටිකක්…”

එවර මම ඔහු වෙත හැරුණේ නොසතුටෙනි. ඔහු අතින් එල්ලා ගෙන සිටියේ ගිනි රත් පැහැයෙන් යුත් සිහින පෙරණයකි. එය මා ඉදිරියේ අල්ලාගෙන ඔහු මදෙස බලා හිඳියි. සැබෑවටම එය ඉතා අලංකාර විය. එහි හිදැස් අතරින් මට උමයංගගේ මුහුණ පෙනෙයි.ඔහු සිනහ මුවෙන් බලා සිටියද එම දසුනින් මා සිතේ ඇති වූයේ සතුටක් නොව තැති ගැන්මකි. පසුගිය දිනවල අපහාස උපහාස එල්ල කළ ඔහු දැන් ඒ කිසිත් මතක නැති ගානට මා ඉදිරියේ සිටින්නේ සිනහ මුවෙනි. ඔහු කළ තර්ජන පවා මා සිතින් ඇකී මැකී ගොස් නොතිබිණි. හිස් බැල්මක් ඔහු වෙත පුද කළ මා ඉවතක නෙතු රඳවා ගතිමි.

“ලස්සන නැත්ද…? ඔයාට ගෙනාවේ…”

ඔහු කියන විට මම තිගැස්මෙන් හැරී බැලීමි.

“ඒ මොකටද…?”

“ආදරේ නිසානේ…”

“විකාර…”

“මගේ ආදරේ ඔයාට විකාරයක් වගේද මංදකිණි…?”

“මං ඒක කළිනුත් කියලා ඇතිනේ…”

නොසතුටෙන් මම කීවෙමි.

“මං ඔයාට ආදරෙයි මංදාකිණි…”

ඔහු එසේ කීවේ ඔහු අත වූ සිහින පෙරණයටය.

“විකාර නොකියා ඉන්න උමයංග…ඕවා කියන්න කළින් ඉගෙන ගෙන ඉන්න…”

“මට ඉගෙන ගන්න ඕන නැහැ…”

ඔහු කීවේ මුරණ්ඩු ලෙසය.

“එහෙනම් මට ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්න…”

නොරුස්සුමෙන් මම කීවෙමි. දුලානිත් තක්ෂිලාත් පන්ති කාමරය දෙසට පැමිණියේ අප වෙත දල්වා ගත් දෑසිනි. සිදුවන්නේ කුමක්දැයි ඔවුන් කුහුළින්
පසුවන්නට ඇත. උමයංග සිහින පෙරණය මගේ මේසය මත තබා ඉවත යන විට මම එය යළිත් ඔහුගේ මේසයට දැමුවෙමි. පාසල ඇරී යෑමට පෙර ඔහු එය මාලිකා අත යළිත් වරක් මවෙත එවා තිබුණද මම එය ආපසු හරවා යැවීමි. පසු දින මාලිකා මා හා කීවේ ඔහු එය බස් නැවතුම දෙසට යනවිට කඩා දමා ඉවත විසි කළ බවය. ඉන් මා සිතේ අලුත් හැඟීමක් නම් නොඉපදිණි.

-හෙටත් හමුවෙමු-

Latest news

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...
- Advertisement -spot_img

රත් දෝතළු – 50

රත් දෝතළු - 50 තද සුළඟට වැසී ගිය ජනෙල් කවුළු පියන හැර දමා කොක්ක දැමු මම විත් යළි විනිෆ්‍රීඩා මහත්මිය...

රත් දෝතළු – 49

රත් දෝතළු - 49 මම වහා අත ඉවත ඇද ගතිමි ඔහු මේ මොහොතේ පැමිණියේ මන්ද කියා මම සිතුවෙමි. "සර්... ආවේ...?" මම ඇසීමි. "මම......

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you