Hima Mal Renu හිම මල් රේණු
මම තාත්තාට කෑමකවන අතර තුර ආච්චි අම්මාද අප අසළට වී සිටියාය.
“අ…නු…රා…ග්…හො…ඳ…කො…ලෙ…ක්…”
තාත්තා අපහසුවෙන් වචන එකතු කරමින් කීවේය.
“මං දන්නවා තාත්තා…”
“එ…ඒ…යා…ඔ…යා…ව…ස…තු…ටි…න්… තියා…යි…”
“මම දැනුත් සතුටින් තමා ඉන්නේ…” මම කීවෙමි.
“දරුවන්ගේ ජීවිත වලට අනවශ්‍ය බලපෑම් කරන්න එපා මාවන්…පේනවනේ රේඛාට වුණ දේ…අද එයා මොන තරම් දුකක් උහුළන් ඉන්නවා වෙන්න ඇත්ද…අපි පසු තැවෙන දේවල් කළොත් පස්සේ කාලෙක අපිට විඳව විඳව ජීවත් වෙන්න වෙයි…”
“ම…ම්…ම…න..ර..කා..ක් නෙවෙ…”
“ඉස්සල්ලා ඔයා සනීප වෙන්නකො…හොඳ නරක ප්‍රථිපල ලැබෙන්නේ ඒ මොහොතේ නෙවේ…පහු වෙලා…”
ආච්චි අම්මා නොමනාපය මුසුව කීවාය.
“අ…නු…රා…ග්…හො..ඳ…”
“මේ…මාවන්…පිහිය රත්තරන් වුණත් ඇන ගන්න සිරිතක් නැහැ…ටිකක් ඉවසන් ඉන්න…මඟුල් තුළා කළඹල වෙලා කරන ඒවා නෙවේනේ…ඊට පස්සේ අඬ අඬා ඉන්න වෙයි…”
එවර ආච්චි අම්මා තරමක දැඩි හඬින් කියන විට තාත්තා නිහඬ විය.මම ආච්චි අම්මා ඔහු අසළ තබා පිටතට පැමිණියේ තාත්තා මාව අනුරාග් හා විවාහ කර දීමට මෙතරම් උනන්දු වන්නේ මන්ද කියා මවිතයෙනි.
නැන්දා සොයා ඇගේ කාමරයට එබෙන විට ඈ සිටියේ දුරකථනයට නැඹුරු වූ හිසින් කඳුළු සළමිනි.අනේ…ආච්චි අම්මා කියූ දේවල් වත් ඇයට ඇසුණාවත්ද.?
“නැන්දා…අනේ…ඇයි මේ…ඔයා අඬන්නේ…?”
මම ඈ අසළින් හිඳ ගෙන විමසන විට ඈ වහා වහා කඳුළු පිස ගත්තාය.
“නි..නිකන්…ළමයෝ…”
“අනේ…නැන්දා…නිකන් වෙන්න බැහැ… ඔයා නිකන් අඬන කෙනෙක් නෙවේනේ… මොකද වුණේ නැන්දේ…අනේ මට කියන්නකෝ…ඔයාට දුක් වෙන්න තරම් දෙයක් වුණාද…?”
“සතුටු වෙන්න කාරණාත් මට සිද්ද වෙලා නැහැ…”
“ඒක මං දන්නවා නැන්දේ…ඒත් මේ හදිසියේ…?”
“බන්දුලගේ වයිෆ්ට කැන්සර් එකක් කියලා මං ඔයාට කිව්වේ නැහැනේ…”
“කැන්සර් එකක්…අනේ…ඔයා මට කිව්වේ නැහැනේ…”
“පහුගිය ටිකේ සිද්ද වුණ දේවල් එක්ක මට ඒ මොකුත් කියන්න වුණේ නැහැ…”
“ඔව්…අපි හිටියේ මෙලෝ සිහියකින් නෙවේනේ…ඉතින් ඔයා කොහොමද දන්නේ…?”
“වයිෆ් හොස්පිට්ල් ඉන්න දවස් වල එයා මෙහේ ආවා…මාත් දවසක් දෙකක් ගියා… ඔයා එතකොට හොස්පිට්ල් එකේ… අයියා එක්ක…ඊට පස්සේ ඔෆිස් යන්න එන්න තිබුණා නේ…”
“ආහ්…ඉතින්…දැන් මොකද…?”
“එයා නැති වෙලා…එක දවසින් හැමදේම කළාලු…කාටවත් කිව්වෙ නැහැලු…”
“අනේ…”
නැන්දා යළිත් හඬන්නට වූවාය.
“අර ළමයි දෙන්නා පව්…මට දුක ඒක…”
මා දෑස්ද තෙත් වූයේ ඔවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙනි.ඒ මොහොතේ නැන්දා සනසන්නට මා කුමක් කිව යුතුදැයි කියා මට නිනව්වක් නොවීය.ඇයට නිදහසේ හඬන්නට ඉඩ හැර මම නිහඬව සිටියෙමි.
“දැන් අපි මොනවද නැන්දා කරන්නේ…?”
මොහොතකට පසුව ඇගේ හැඬුම බාල වන විට මම ඇසිමි.
“දැන් මොනවා කරන්න්ද දුව…කරන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ…”
“බන්දුල මාමාට දුක ඇති නේද…?”
“ලෙඩේ හොයා ගනිද්දී ගොඩාක් පැතිරිලාලු…බන්දුලත් අඬනවා…දැන් කෝල් කරපු වෙලෙත් ඇඬුවා…පව්…”
“අනේ…පව්…දෙවියනේ…!”
මා මුවින් පිට විය.මම නැඟිට පිටතට පැමිණියේ නැන්දාට තනිව හිඳින්නට ඉඩ හරිමිනි.නැන්දාත් තනිවම විඳවන අයෙකි. තම සිතුම් පැතුම් සියල්ල මරා දමා ඈ දැන් ජීවත් වන්නේ සිතින් මැරි මැරි ඉපදෙමින් නොවේද.?
එසේ ඈ ගැන සිතන කල මා සිතට දැනුණේ අනාගතය පිළිබඳව අනියත බියකි. අනුරාග් නිසා මට එවන් ඉරණමක් හිමි නොවනු ඇති මුත් කුමක් දෝ කිව නොහැකි හැඟීමක් මා සිතේ ඇතිව තිබිණි.මා අනුරාග් සමඟ විවාහ වන්නට යන බව අසන විට අවීශ් කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි කියා මම සිතා ගැනීමට උත්සාහ කළෙමි.
එදින නංගී යළිත් වරක් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තාය. පුංචි අම්මාට තවම සුවයක් නැති බව ඈ කීවාය.
“මට බයයි ලොකූ…එයාට මොනවා හරි වුණොත්…?”
බිය නොවී සිටින ලෙස පවසනවා හැරුණු කොට මට ඈ වෙනුවෙන් කළ හැකි කිසිත් නොවීය.
“තාත්තා තාම දන්නේ නැහැ…එයා ඇක්සිඩන්ට් වුණ එක…”
“ඒක එයාට කියන්නත් එපා ලොකූ… එයා ෂොක් වෙයි…”
නංගී කියන විට මා සිතේ ඇති වූයේ නොසතුටකි.තාත්තා අප රවටා ඇතැයි කියා සිතන විටත් මා සිතේ කළකිරීම උත්සන්න විය.
නදීරා පැමිණියේ මෙසේ මා සිතුවිළි දැහැනක අතරමංව සිටින විටය.අප දෙදෙන එකතුව බොහෝ දේ ගැන කතා කළෙමු.අතීතය, වර්ථමානය ,අනාගතය ගැන අපේ සිහින බලාපොරොත්තු ගැන අපි දෙදෙන බොහෝ වේලා කතා බහ කළෙමු.ඒ අතීතය කෙතරම් සොඳුරුද ඒ තැන්වල අවීශ්ද අප සමඟ සිටියේය. මම නැන්දා ගැනත් ඈ හා කීවෙමි.මා මෙන්ම නදීරාද ඈ ගැන ඉතා කනගාටු වූවාය.
“පව්…අනේ…වැඩිහිටියන්ගේ වැරදි තීරණ නිසා අසරණ වෙන දරුවෝ කොයි තරම් ඇත්ද…?නැන්දාට තියෙන්නේ දැන් එයාව හරි මැරි කරන්න…”
එම කාරණය පිළිබඳව මමද සිතා තිබූ නිසා නදීරා එසේ කියන විට මම පුදුම නොවූයෙමි.
“ඒක එහෙම වුණොත් මාත් සතුටු වෙනවා…”
“අපි හිමින් සැරේ නැන්දාගේ ඔළුවට මේක දාමු…වෙන්වෙලා හිටපු දෙන්නෙක්… අවුරුදු ගානකට පස්සේ ආයෙම එකතු කරනවා කියන්නේ…කොච්චර ලොකු දෙයක්ද…?”
නදීරා එසේ කීවේ ඔවුන් දෙදෙනා එකතු වන බව මනසින් ඇඳගෙන සතුටු වන හඬකිනි.
“අනේමන්දා…මටත් බයක් දැනෙනවා… කවදාහරි මටත් එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් කියලා…”
සුසුමක් හෙළමින් මම කියන විට නදීරා උස් හඬින් සිනහසුණාය.
“ඒකත් වෙන්න බැරි කමක් නැහැ… අපි නිකමට හිතමු… ඔයා අනුරාග්ව මැරි කරනවා…එයා ඔයාව මැරි කරන්නේ ඇත්තටම ඔයාට තියන ආදරේට නෙවේ… මේ බිස්නස් වලට තියන ආසාවට…කෑදර කමට…එයාට ඩව්රියට මේ සේරම ලැබෙනවා…ඊට පස්සේ එයා ඒ සේරම එයාගේ නමට හරවගෙන…ඔයාව අතාරිනවා…අනේ…අසරණ ආරණ්‍යා… ඊට පස්සේ එයා මොකද කරන්නේ…එයා ගමට යනවා….ගිහින්…එහෙට වෙලා හුදකලා ජීවිතයක් ගත කරනවා…පන්සල් යනවා…හතර පෝයට සිල් ගන්නවා… පින් දහම් කරනවා…දුප්පතුන්ගේ දුකට පිහිට වෙනවා…පොඩි ළමයින්ට උගන්වනවා…ඒ විදියට යත්දී ඔයා දැන් තිස් පහ පැනපු කෙනෙක්…තරමක් වියපත් වෙලා…ඔය අතරේ දවසක් ඔයාගේ පරණ පෙම්වතා…එනවා ඔයාව හොයාගෙන… එයාත් දැන් වියපත් පිරිමියෙක්…හැබැයි තාමත් කඩවසම්…එදා වගේම අර නපුරු බැල්ම…දැඩි පෙනුම…ශක්තිමත් බව… එහෙම්මමයි…රැවුළ ටිකක් පැහිලා විතරයි…එයා වාහනෙන් බැහැලා…ඇවිත් දොර ළඟ හිටගෙන “ආරණ්‍යා…” කියලා කතා කරනවා…ඒ වෙලේ ඔයා ඉන්නේ කාමරේට වෙලා බණ පොතක් කියවන ගමන්…ඒ හඬට ගැස්සිලා ඔයා එළියට එනවා…” අවීශ්…” ඔයා හිමින් මුමුණනවා… “ආරණ්‍යා…”දැන් අවීශුත් එහෙම කියලා දෙන්නට දෙන්නා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා…ඉස්සල්ලා කතා කරන්නේ අවීශ්…ඔයා තාමත් පුදුමෙන් අන්ධ මන්ද වෙලා බලන් ඉඳලා කියනවා…” එන්න එන්න ” කියලා කළඹලෙන් වගේ…ඉතින් එයා ඇවිත් ඔයා එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා… එයාගෙ වයිෆ් නැති වුණා…මං දැන් තනි වෙලා…මට ඔයාව නිතරම මතක් වුණා… මං හැමදාම ඔයා ගැන හිතුවා…මට ඔයාව ඕන ආරණ්‍යා…මං දැන් නිදහස් මිනිහෙක්… අපි මැරි කරමු කියලා…”
ඈ කතාව නිම කරන විට මා මුවින් සිනහව පිට පැන්නේය.කඳුළු ගළන තුරු මම සිනහසුණෙමි.
“අනේ…හරිම ලස්සනයි…ඔයා කතාවක් ලියන්න…”
අවසන සිනහව නවතාගෙන මම කීවෙමි.
“ඔව්…ලියන්න ඕන…”
“හැබැයි ඉතින්…ඔයා කියන විදියට නෙවේ වෙන්නේ…මොකද අනුරාග් මට කැමති වුණේ දේපළට නෙවේනේ…”
“හ්ම්ම්…ඒක නම් මාත් පිළිගන්නවා… එයා හරිම හොඳ කොල්ලෙක්…ගතිගුණත් අවිශ් වගේ…වෙනසකට තියෙන්නේ… එයා නදීරා…නදීරා නොකියන එක විතරයි…”
ඈ කෙටි සුසුමක් පිට කළාය.
ඒ වෙනස නම් මටත් දැනෙනු ඇත. මම එයට ප්‍රිය කළ බව මම දනිමි.අපි පුංචි පුංචි ඇනුම්පද එල්ල කර ගත්තේ ඔවුන් හරහාය.ඒ සිහිවී මා සිතට අලුත් දුකක් ඉපදිණි.
“ඔන්න… ආයේම මනෝ පාර…දැන් ඉතින් හරිනේ…අනුරාග් නිසා ඔයාට සිත් වේදනාවක් නම් විඳින්න වෙන එකක් නැහැ කියලා මට ෂුවර්…එයා ඔයාට හුඟක් ආදරෙයි…ඔයාව හොඳට බලා ගනියි…”
නදීරා මා මුහුණට එබී කීවේ දැඩි විශ්වාසයකිනි.මම මඳහසක් පෑවා මිස කිසිත් නොකීවෙමි.
“හෙට අනුරාග් එයිද…?”
“හ්ම්ම්…හවස එයි…”
“හැමදේම හොඳින් වෙයි…හැබැයි තව දෙයක්…”
මම වුවමනාවෙන් ඈ දෙස බැලීමි.
“ඔයා අවීශ්ට ආදරේ කළා නේද…ඒක වචනෙන් නොකීවට…?”
එය නැතැයි කියා මට බොරුවක් කිව නොහැකිය.එසේ කළහොත් එය නිගරුවකි.
“ඔව්…මං තාමත් එයාට ආදරෙයි…”
ස්ථීර හඬකින් මම කියන විට නදීරා මවෙත හෙළුවේ අමුතු බැල්මක් වුවද මම එය නොතැකුවෙමි.
තාත්තාට මා හා කුමක් හෝ දෙයක් කීමට වුවමනා වී ඇති බව මට වැටහුණේ මම ඔහුට සෑදූ සූපය පොවමින් සිටින මොහොතේය.කීප වරක් ඔහු කුමක් හෝ පවසන්නට ගොස් වහා නිහඬ වූයේ තම අදහස වෙනස් කර ගත්තාක් මෙනි.මම ඒ මොහොතේ ඒ පිළිබඳව කිසිදු සැළකිළ්ලක් නොදැක්වූයෙමි.උදෑසන බෙහෙත් වේල ලබා දී මම ඔහුගේ කාමරයෙන් පිටතට පැමිණියේ ගුණතුංග මාමා තාත්තා සමඟ රැඳී සිටීමට පැමිණෙන විටය. ගේට්ටුවේ විදුලි සීනුව නද වන හඬ ඇසී පිටුපසට යාමට සූදානම් වූ මා ආපසු හැරී ගොස් පැමිණ ඇත්තේ කවුද කියා බැලීමට ගේට්ටුව මඳක් විවර කරමින් පිටතට එබිකම් කළෙමි. ඒ නිරංගා ඇන්ටී බව දැක මම වහා ගේට්ටුව මුළුමනින්ම විවර කළේ ගැහෙන සිතිනුත් වෙවුළන දෑතිනුත්ය.
“දුව…”
නිරංගා ඇන්ටි මගේ අතින් අල්ලා ගත්තේ මම යළි ගේට්ටුව වසා දමන විටය.අවීශ් සමඟ දැරණියගල අංකල් රථයෙන් බැස ගන්නා විට මා හද ගැස්ම වඩා වේගවත් වන්නට වූයේ අවීශ් දැකය.ඔහු දැන් සැරයටි නොමැතිවම ඇවිඳින බව දැක මා සිත සතුටින් පිරී ගියේය.ප්‍රසාද්ද රථයෙන් බසිම්න් මා වෙත පෑවේ සුපුරුදු සිනහවමය.
“ආන්ටි…අපි ඇතුළට යමු…”
සිතේ ඇති වූ කැළඹීම පිටතට නොපෙන්වා මම ඇරයුම් කළෙමි.
“නැහැ දුව…අපි ටිකක් එළියේ ඉඳන් කතා කරමු…කෝ නැන්දා…ඉන්නවද…?”
මගේ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් ඈ කීවාය.දැරණියගල අංකල් තවමත් තාත්තා සමඟ ඇති නොමනාපය නිසා මෙසේ නිවසට ඒම ප්‍රතික්ෂේප කරනවා වන්නට ඇතැයි කියා සිතූ බැවින් මම බල කිරීමට නොගියෙමි.ඔහු අවීශ් සහ ප්‍රසාද් සමඟ මිදුල කෙළවර වූ බංකු පේළිය දෙසට ඇවිද යන විට මම නැන්දා සොයා ගෙතුළට දිව ආමි.
“මොකෝ දුව…නිරංගාක්කලා ආවද…?”
මුළුතැන්ගෙයට මම දිව යන විටම නැන්දා මා මුහුණේ වූ හැඟීම් වටහා ගෙනදෝ මා විමසුවාය.
“ඔව්…ආන්ටි ඔයාව ඇහුවා…ඔයා එනවද ඉස්සරහට…?”
“යමු…චන්ද්‍රා එහෙනම් කුස්සිය අස්පස් කරලා දාන්න…”
ඈ චන්ද්‍රම්මාට පවරමින් මා සමඟ පැමිණියාය.
“මට බයයි වගේ නැන්දා…”
ඇගේ අතින් අල්ලා ගනිමින් මම කීවේ අලින්දය මැද ඈ නවතා ගනිමිනි.
“අර මොකටද ඔයා බය වෙන්නේ…?යමු… මාත් ඉන්නවනේ…නිරංගාක්කා මොනවද කියන්නේ කියලා බලමු…දැරණියගලට මොනවාද දන්නැහැ තව කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ අපි එක්ක…”
නැන්දා කතා කළේ නොමනාපය මුසුවය.
අපි දෙදෙන මිදුල දිගේ බංකු දෙසට ඇවිද ආවෙමු.නැන්දා කෙසේ කීවද මා සිත අනියත බියකින් ගැහෙමින් තිබිණි. නදීරලා පැමිණීමට තව පමා වනු ඇතැයි කියා මට සිතිණි.ඈ වත් ළඟ සිටියා නම් කියා මට යළි යළිත් සිතිණි.තාත්තා වෛර කරන පුද්ගලයා මේ මොහොතේ නිවසට පැමිණි ඇති බව ඔහු දැන සිටියා නම් ඔහුගේ අසනීපය උත්සන්න වනු ඇතැයි කියා මට ඒ අතරේද කල්පනා විණි.