More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 64

    Hima Mal Renu හිම මල් රේණු – 64

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    අප පැමිණියේ බොරු ගමනක්, එසේ නොවේ නම් තේරුමක් නැති ගමනක් බව මට මේ වන විටත් වැටහී තිබිණි. නිරංගා ඇන්ටි මෙහි ඇතැයි මා සිතූ සිතුවිල්ල නිවැරදි නොවන බව මට අවබෝධ විය. අනික් අයගේත් කාලය නාස්ති කරගෙන මම ඔවුන්වත් මෙහි කැඳවාගෙන පැමිණීම කෙරෙහි වරදකාරී හැඟීමක් මා සිතේ විය.

    “කමක් නැහැ…අපි යන්නම්…ආන්ටිට කියන්න අපි ඇවිත් ගියා කියලා…පුළුවන් නම් අපිට කතා කරන්න හරි කියන්නකෝ…”

    මම අසුනින් නැඟී සිටිමින් කියන විට මා අනුගමනය කළ නදීරා තෙෂාරා සහ ගුණතුංග මාමා ද අසුන් මතින් නැඟී සිටියෝය.

    “දුව…” එවර ඈ මා ඇමතුවාය

    “ඔහොම වාඩිවෙන්නකෝ…ආව ගමන් යන්න හදිසි මොකද..?”

    එවර ඈ සුහද හඬින් පවසන විට අපි එයට කීකරුව යළිත් අසුන් ගත්තේ තරමක මවිතයෙනි.

    “අපි බයෙන් තාම ජීවත් වෙන්නේ…” සුසුමක් හෙළමින් ඈ කීවාය.

    “දන්නවා ඇතිනේ…ඒ.ගෙදරට පැනලා…වෙඩි තියපු කතාව …?” අපි එය දන්නා බව පැවසීමු.

    “අපිට බොරුවක් කියලා ඔයාලව පිටත් කරන්න තිබුණා…ඒත්…” ඈ පැකිළෙමින් කිවාය.

    “ඒත්…කිව්වේ…?” මම නොඉවසිළිමත්ව ඇසීමි.

    “බොරුවක් කියන්න දිව නැමෙන්නේ නැහැ ළමයෝ…”

    “ඒ කිව්වේ…?” මම යළිත් ඇසීමි.

    “නංගී ඉන්නේ මෙහේ…එයාලා ඇවිත් වැඩි කාලයක් නැහැ…”

    එවර අපි තිදෙන මුහුණින් මුහුණ බලා ගත්තේ සතුටට පත්වය.

    “මොනවා…ඔය ඇත්තමද…නිරංගාන්ටි ඉන්නවද…කෝ දැන් එයා…?”

    මම කළබලයෙන් අසන විට නදීරාත් තෙෂාරාත් මගේ අත් දෙකෙන් අල්ලා ගත්තෝය.

    “හා…හා…කළබල වෙන්න එපා…දැන් එයි… පොඩ්ඩක් එළියට ගියා…බඩු වගයක් ගේන්නත් එක්ක…අපි එතකල් මොනවා හරි බොමු…ගෙදරටම ආපු එකේ… නංගී එනකල් ඉඳලා කතා කරලාම යන්න…”

    මා සිතට දැනුණේ අසීමිත වූ සහනයකි.

    “මම නැන්දට කෝල් එකක් ගන්නද අම්මා…” එවර අර තරුණිය විමසුවාය.

    “ඕන නැහැ…එයාල දැන් එයිනේ…නංගී බය වෙයි…”

    ඈ කියන්නේ ඇත්තය. ඈ පැමිණෙන තුරු සිටීම සුදුසුය.

    “එතකල් ඔයා ගිහින් මෙයාලට අර පරණ චිත්‍ර ටික පෙන්නන්නකෝ…”

    නැන්දා දියණියට පවසන විට අපි පුදුමයෙන් ඈ දෙස බැලීමු.

    “චිත්‍ර…?” මම පුදුමයෙන් ඇසීමි.

    “ඔව්…අවීශ් ඇඳපු ඒවා….මෙහෙ අරන් ආවා…”

    අපි තිදෙන අසුන් මතින් නැඟිට යුවතිය පසු පස පැමිණියේ කුහුල් සිතින් මෙන්ම ආශාවකිනි. වසා දමා තිබූ කාමරයක දොර විවර කර ඈ අපට ඇතුළට ඇරයුම් කළාය. ජනේලද වසා දමා තිබූ නිසාදෝ එහි වූයේ තද අඳුරකි. ජනෙල් තිර ඇද දමා ඈ ජනේලයක්ද විවර කළේ කාමරයට එළිය ගළා ඒමටය. මේ කාමරය නිතර භාවිතයට ගන්නක් නොවනවා වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඈ කාමරයේ විදුලි පහනද දැල්වූයේ එහි තවමත් මඳ අඳුරක් තිබූ නිසා වන්නට ඇත. මම කාමරය පුරා බැල්මක් හෙළීමි. එහි බිත්ති පුරා වූයේ ඔහු විසින් අඳින ලද විවිධ සිතුවම්ය. ඒවා සියල්ල බොහෝ කලකට පෙර අඳින්නට ඇති ඒවා බවට සැකයක් නැත. යහන අසලම බිත්තියේ එල්ලා ඇති සිතුවම දැක මම තිගැස්මෙන් යුතුව නදීරාගේ අතින් අල්ලා ගතිමි. ඇයත් තෙෂාරාත් එක්වරම එය දැක තිබිණි. යුවතිය හැරී මදෙස බැලුවේ මම එදෙස බලා සිටින විටය. දෙවියනේ…! ඒ අන් කිසිවෙකු නොව මගේම ආලේඛ්‍ය සිතුවමකි. මම එය හොඳින් දැක බලා ගන්නා පිණිස එයට ළං වූයෙමි. තරුණිය මා දුටු මොහොතේ බියට පත් වූ හේතුව දැන් මට පැහැදිලිය. මා දෑසට එක් රොක් වන කඳුළු වළකා ගන්නට මම අසීරු උත්සාහයක යෙදුණෙමි.

    “හිම මල් රේණු…”

    අවීශ් එම සිතුවම නම් කර තිබුණේ එලෙසය. ඒ කුමක් නිසාද කියා නම් මට සිතා ගන්නට නොහැකිය.

    “ඒක හරිම ලස්සනයි ආරණ්‍යා…”

    තෙෂාරා පහත් හඬින් කොඳුරන හඬ මට ඇසිණි. මටද එය එසේ බව පිළිගැනීමට සිදු විය.

    “ඔයාව දැක්කාම මං ටිකක් කළබල වුණා… මට මතක් වුණේ මේ චිත්‍රේ…”

    මෙතෙක් නිහඬව සිටි යුවතිය හඬ අවදි කරමින් කීවාය.

    “සමහර ඒවා නිවාඩු කාලේ මෙහෙ ඉද්දී ඇඳපුවා…අනික් ඒවා…ගෙදරින් ගෙනාව ඒවා…තව තියනවා…”

    ඈ එසේ කියා කාමරය කෙළවරක වූ කබඩයක් විවර කර එහි තැන්පත් කොට තිබූ චිත්‍ර අඳින දිගු පොතක් පිටතට ගෙන එය මවෙත දිගු කරන විට මම එය අතට ගත්තේ වෙවුලන දෑතිනි. තෙෂාරාත් නදීරාත් මා දෙපස සිට ගෙන එයට එබිකම් කරනවිට මම පොතේ පිටු සෙමෙන් සෙමෙන් පෙරළුවෙමි. හද ඇවිළී ගිය අලුත් වූ ශෝකයක් මා දවන විට මට එම කටු සටහන් පවා පෙනුණේ බොඳවය. පැන්සලෙන් අඳින ලද එම කටු සටහන් වල වූයේ මගේම විවිධ ඉරියව් වලින් සිටින උඩුකය රූපය. බොඳ වූ දෑස මම අතේ ගුළිව තිබූ ලේන්සුවෙන් පිස ගතිමි. යුවතිය මා අතින් පොත අරගත්තේ මා එය රැගෙන යාවිදෝ බියෙන් මෙනි. එවිට මිදුල දිගේ ඇදී ආ රථයක හඬ ඇසී අපි ඈ දෙස බැලීමු.

    “නැන්දා ආවා …”

    ඈ එසේ කියා පිටතට යාමට සැරසෙන විට අපිද ඈ අනුගමනය කරමින් පිටතට පැමිණ පෙර අසුන් වලම අසුන් ගතිමු. ඒ පැමිණියේ නිරංගා ඇන්ටි බව නැන්දා අප සමඟ කීවාය. ඈ යම් චකිතයකින් සිටින බවක් මට දැනුණේ මා දෙස බලා සිටි අමුතු බැල්ම නිසාවෙනි. මාද සිටියේ චකිතය මුසු බියකිනි. නිරංගා ඇන්ටි හට මා කෙසේ මුහුණ දෙන්නද කියා මම සිතුවෙමි. නදීරා මා අතක් දැඩිව අල්ලා ගත්තේ මා සිටි නොසන්සුන් බව වටහා ගත්තාක් මෙනි.

    “ප්‍රසාද්…ඔය බඩු ටික අරන් එන්න…” එම හඬ නිරංගා ඇන්ටිගේය.

    “ප්‍රසාද්…දෙවියනේ…! ඔහුත් සිටින්නේ මෙහිද…?”

    අපි ඔවුනොවුන් මුහුණින් මුහුණ බලා ගත්තේ මවිතයෙනි. එවිට ඔහුව රැකියාවෙන් නෙරපා දැමුවා යැයි සුමනදාස කී කතාව කුමක්ද…? අවීශ්ගේ නැන්දා නැඟී සිටියේ පිටතට යෑමට මෙනි. මම තැති ගත් සිතින් බලා සිටියේ නිරංගා ඇන්ටි දැන් එන විට ඇයට මුහුණ දෙන්නේ කෙසේද කියාය. මා හද ගැහෙන්නට වූයේ බිය මුසු හැඟීමකිනි. ඈ මට දොස් පවරනු ඇත. මා දකින විට ඈ හඬා වැටෙනු ඇත. කඳුළු පෙරී කම්මල් මතින් ගලා යන විට මම වහ, වහා ඒවා පිස ගතිමි. ඈ මට ශාප කළද, බැන වැදුණද මට කම් නැත. මම දරා ගනිමි.

    “අප්…ප…ත්…තී…”

    කුඩා දරුවෙකු ගේ හඬද අපට ඇසිණි. තරුණිය දිව යන්නට ඇත්තේ දරුවා ගැනීමට විය හැකිය.

    “ඉන්න පුතේ…මං වඩා ගන්නම්…”

    ඈ පවසනුද අපට ඇසිණි. නිරංගා ඇන්ටි නිවසට ගොඩ වූයේ එවිටය. අපි තිදෙනම අසුන් මතින් එකවරම නැඟී සිටියෙමු. ඈ දොරකඩ හුන් තැනම නැවතී බියපත් දෑසින් අප දෙස බලා සිටියාය.

    “දූ…ව…ඔයා…ලා…මෙහෙ….?”

    ඒ හඬේ වූයේ කළබලකාරි බවක්, මවිතයක් මෙන්ම තිගැස්මකි. මා දෙපා මුල් ඇද්දාක් මෙන් පොළවට ඇළීගෙනය. දෙපා වෙවුළන බවක් මට දැනුණද මම දුව ගොස් ඈ වැළඳ ගෙන මහ හඬින් හැඬුවෙමි.

    “මට සමාවෙන්න ඇන්ටි…මේ හැමදේම මං නිසයි…වුණේ…මට කවදාවත් සමාවක් නැහැ…”

    “අනේ…අනේ…දුව..අඬන්නැතුව ඉන්නකෝ…ඒවා දැන් වෙලා ඉවරනේ…”

    ඈ මා සනසන්නට වන විට නදිරාත් තෙෂාරාත් “ආරණ්‍යා…” කියා කෑ ගැසුවේ බියට පත් හඬකිනි. තිගැස්මට පත් මා හැරී ඔවුන් දෙස බලන විටම සැරයටිකට බරදීගෙන දොරකඩ සිටගෙන විශ්මයෙන් අප දෙස බලා සිටි රුව දුටු මට කෑ ගැසිණි.

    “අ…වී…ශ්…”

    එය ප්‍රිතියෙන් පිට වූ හඬක් වන්නට ඇත. මා දෑස් නිලංකාර වී ඇද වැටෙන්නට යන විට කිසිවෙකු මා වත්තන් කරගනු මට සිහිනයෙන් මෙන් මතකය.
    මා දෑස් විවර කරන විට නදීරාත් තෙෂාරාත් මා අසළ හිඳගෙන මා මුහුණට නැඹුරුව සිටිනු මම දුටිමි. මා සිහිනයක් දැක අවදී වූ බව මට හැඟී ගියේය. එය නම් සැබෑවක් බඳුය.

    “න..නදීරා…ම..ම…ම..හීනයක්.දැක්කා…”

    යහන මත හිඳ ගැනීමට උත්සාහ දරමින් මම කියන විට ඔවුන් දෙදෙන මට සහාය වූහ.

    “ඒක හීනයක් නෙවේ… ආරාණ්‍යා.. ඇත්තක්…අවීශ්…ඉන්නවා…ඔයා…මම… අපි හැමෝම වගේ…එයත් ජීවත් වෙනව…”

    ඈ එසේ කියන විට මම පුදුම වූයෙමි. එසේ නම් එය සිහිනයක් නොවේ.

    “අනේ…ඒක ඇත්තද නදීරා…? මාව එයා ළඟට එක්ක යන්න නදීරා…”

    මට හැඬිණි. සතුට, දුක, පුදුමය මා සිතට එක සේ දැනිණි.

    “ඔයාට යන්න පුළුවන්ද…?” නදීරා අසන විට මම හිස සැළීමි.

    “උඹ මහා එපා කරපු එකෙක්…” පිටතින් උස්ව නැඟුණු හඬ තේෂාන්ගේය.

    “ඒ…තේෂාන් නේද…ඇයි එයා කෑ ගහන්නේ…?” තැති ගත් හඬකින් මම ඇසීමි.

    “ඒ අවීශ්ට කෑ ගහන්නේ…” මම විදහා ගත් දෑසින් නදීරා දෙස බැලීමි.

    “අපි යමුකෝ…”

    ඈ මගේ අතින් අල්ලාගෙන පිටතට පැමිණියාය. මා.දෙපා පවා මට අවසඟව ඇති සෙයකි. දෙදෙනාගේ දෑත් වලට වාරු වී මම ඇවිද ආවෙමි. අවීශ් මිතුරන් මැද හිඳ සිටිනු දකින විටත් මට සිතුණේම මේ මා දකින සිහිනයක් කියාමය. අනේ ඒක හීනයක් වුණත් මාව ඉන් අවදි කරන්න එපා යැයි මම සිතින් යැදීමි. නිරංගා ඇන්ටි හෝ ගුණතුංග මාමාද අවීශ්ගේ නැන්දාද එහි නොවූහ. ප්‍රසාද් අවීශ් පිටුපස සිටගෙන මා දෙස හෙළුවේ අනුකම්පා මුසු බැල්මක් කියා මට සිතිණි. තේෂාන් තවමත් ඔහුට දොස් පවරයි.

    “උඹව මෙහෙම දකින්න ලැබුණු එකට අපිට පට්ට සතුටුයි මචං…උඹ අතක් පයක් නැතුව හරි…අපි එක්ක හිටියනම් කියලා අපි හිතුවා…ඒත් උඹ අපිට මෙච්චර දෙයක්…මේ තරම් බොරුවක් කරයි කියලා අපි හිතුවේ නැහැ බං…එක කෝල් එකක් දුන්නනම්…අපි අද වන තුරු මැරි, මැරී ඉපදෙන්නේ නැහැ…බලපන්….මේ කෙල්ල දිහා…මේකිත් අද වන තුරු කී වාරයක් නම් මැරී මැරී ඉපදෙන්න ඇත්ද…උඹ වෙනුවෙන් දානයක් දෙන්න වත් මේකිට හිත හදා ගන්න බැරි වුණා…ඊයේ උපන් දිනේට කේක් කපලා අපිට කැව්වා… අවීශ් මැරුණේ නැහැ…එයා හැමදාම මගේ හිතේ ජීවත් වෙනවා කිය කියා හැම වෙලේම අඬනවා…එහෙම එකීටත් උඹ මෙහෙම කළා…ඇයි උඹ අපිට මෙහෙම කළේ…?”

    මට හැඬිණි. තේෂාන් කෑ ගසන්නේ දුකටය. සිත තුළ ඇති ආවේගයට මෙන්ම අවීශ්ව ජීවතුන් අතර දැකීමට ලැබීමෙන් ඇති වූ සතුටටය.

    “අන්…නේ…තේෂා…න්…ඔය ඇති…”

    බිඳුණු හඬින් මම කීවෙමි. අවීශ් මා දෙස බලා සිටින බව මා දුටුවේ බොඳ වුණු දෑසිනි. තේෂාන් පිටතට යන විට ඔහු පසු පස අනෙක් අයද පිටතට ගියේ අපි දෙදෙන පමණක් එහි තනි කරමිනි.

    “ආරණ්‍යා…”

    යළිත් වරක්…බොහෝ කලකට පසු මට ඒ හඬ ඇසිණි. මෙය සිහිනයක් නොවේවා කියා මම පැතුවෙමි. ඔහු මිය ගිය බව, මරණ දැන්වීම, මේ සියල්ල මට එක වරම සිහි වන්නට විය.

    “අවීශ්…” පහත් හඬකින් මම ඔහු ඇමතුවෙමි.

    “අවීශ්…ඔයා ජීවත් වෙනවා…ම…ට සතුටුයි…ඔ..ඔයාව ආයෙම දකින්න ලැබුණු එකට…ඒ…ත් ඇයි…මෙහෙම කළේ…? අඩුම තරමේ…එක මෙසේජ් එකක්…”

    මට යළිත් හැඬිණි. කෑ ගසා මහා හඬින් මට හඬන්නට වුවමනා විය. අසුනින් නැඟිට මම හඬමින් පිටතට දිව ආවෙමි. මා දිව යන්නේ කොහිද කියා හෝ නොදැන මම දිව ආවෙමි. සැවොම මා අමතා කෑ ගසන හඬ පවා නොඇසුණාසේ මම නොනැවතීම දිව ආවෙමි. පාර අයිනේ වූ උස්ව නැඟුණු ගසක් පාමුළ හිඳගෙන මම දෙකකුල් අතර මුහුණ සඟවාගෙන මහා හඬින් කෑ ගසමින් හැඬුවෙමි. කිහිප දෙනෙකු විත් මා වටකර ගන්නා බව මට දැනුණද මම හිස නොඑසවූයෙමි. දුක සතුට සියල්ල එකට එකතු වී කඳුළු වලින් සේදී ගියේය.

    “අඬන්න එපා ආරණ්‍යා…දැන් අවීශ් ඉන්නවානේ…”

    නදීරා මා අසළම හිඳ ගෙන මා හිස පිරිමදිමින් කීවාය. මඳ වේලාවක් හැඬූ පසු මා සිතට යම් සහනයක් දැනිණි. මා සිත තුළ වසර ගණනක් පමණ තෙරපුණු වේදනාව දිය වී ගිය බවක් මට දැනිණි. අන් අය නිහඬව සිටියා මිස කිසිත් නොකීවෝය. පරිසරය නිහඬය. එකිනෙකා වරින් වර හෙළන සුසුම් හඬවල් පවා මට ඇසිණි. මම හිස එස වූයේ ඊටත් බොහෝ වේලවක් ගත වූ පසුවය. මිතුරන් සියළු දෙනම තැන් තැන් වල හිඳ ගෙන ඔහේ බලා සිටින බව මම දුටුවේ එවිටය. අපි සැවොම ඔහු නමින් මොන තරම් දුකක් ඉසිළුවාද..? ඔහු ජීවත් වන බව අපට නොදන්වා සිටීමට තරම් අප ඔහුට කළ වරද කුමක්ද…? ප්‍රසාද්ද සිටින බව මා දුටුවේ පසුවය. සුමනදාස කීවේ ඔහුව රැකියාවෙන් නෙරපා දැමූ බවකි. මොන තරම් බොරුවක්ද….? සුමනදාසව පවා අපව රවටා ඇත. ඇයි…? මෙලෙස අප සැවොම රවටා දැමුවේ ඇයි…?කළකිරීමක් මා සිතට දැනිණි.

    “ආරාණ්‍යා මිස්…අපි යමුද ගෙට…?”

    අප අතර වූ මහා නිහඬ බව බිඳිමින් ප්‍රසාද් අසන විට මම ඔහු වෙත හෙළුවේ නිහඬ බැල්මකි. අවීශ් සැරයටියට වාරු වෙමින් සෙමෙන් ඇවිද එනු දැක මම හුන් තැනින් නැඟී සිටියෙමි. සෙස්සෝද මා අනුගමනය කරමින් නැඟී සිටින්නට ඇත්තේ මා ප්‍රසාද් පැවසූ නිසා නිවසට යාමට අදහස් කළ බවක් සිතා වන්නට ඇත.

    “තේෂාන්…” මම පහත් හඬින් ඔහු ඇමතුවෙමි.

    “ගුණතුංග මාමා එක්ක එන්න… අපි යමු…”

    ප්‍රසාද්ගේ මුහුණේ විමතියක් සටහන් වූ අතර අනෙක් අය මා කීදේ අනුමත කරන බවක් පෙනී ගියේය.

    “ආරණ්‍යා මිස්…” ප්‍රසාද් මා අමතන විට මම ඔහු වෙත හැරුණෙමි.

    “ප්‍රසාද් අයියා…ඔයාලා මෙහෙම කරන්න මොකක් හරි හේතුවක් ඇති…ඔයාගේ සර්ට කියන්න…මං සමාව ඉල්ලුවා කියලා…මේ හැමදේම මගේ වරදින් වුණේ…”

    මම ආපසු හැරුණෙමි. මා කී දේවල් අවීශ්ට පවා ඇසෙන්නට ඇත.

    “නදීරා…කවුරුත් යන්නේ නැහැ…අම්මලා කෑම ලැහැස්ති කරනවා…”

    ඒ හඬින් මට බැලුණේ නදීරා දෙසය. ඈ දෙතොල් පට සපා ගෙන වේදනාව සඟවා ගන්නට දරන උත්සාහය මට පෙනිණි. මම ඇගේ අතක් තරයේ අල්ලා ගත්තේ ඈ මා හා දිනක් පැවසූ කතාවක් සිහි වීමෙනි.

    “අවීශ්…කොයි වෙලේ හරි ඇවිත් නදීරා…නදීරා කියලා කතා කරයි කියලා මට හිතෙනවා…”

    ඇයටත් එය සිහි වූවා වන්නට ඇත. ඔහු ජීවතුන් අතර සිටීම ගැන අපි සතුටු වන බව සැබෑ මුත් ඔහු අපට මෙවන් දෙයක් කළේ මන්ද කියා සිතන විට සිතේ වේදනාව බලවත් විය.

    “අපි ආවේ කන්න බලන් නෙවේ…අපිව පිට උන් කරපු එකෙක් ළඟ අපි මොකටද තවත් ඉන්නේ…?”

    ටිරෝන් මෙවර කෑ ගැසුවේ කෝපයෙනි.

    “ටිරෝන්…මගේ යකා අවුස්ස ගන්න එපා…” එවර අවීශ් කෑ ගැසීය.

    “ඇයි…උඹේ යකා ඇහැරියාම අපි බය වෙයි කියලද හිතන් ඉන්නේ…?”

    ටිරෝන්ද එයට නොදෙවෙනි සේ කෑ ගසන විට අවීශ් නිහඬ විය.

    “ටිරෝන්…අපි යමු…ප්‍රශ්න ඇති කරගන්න නෙවේනේ අපි ආවේ…අපි එයා ගැන වද වුණාට…එයා අපි මැරිච්ච අය ගාණට දාලා තියෙන්නේ…”

    නදීරාගේ හඬේ වූයේ සිය සිතේ වූ ශෝකී හැඟීම බව මට නම් පැහැදිලිවම පෙනිණි. මම නදීරා අතින් අල්ලාගෙන පියවරක් ඉදිරියට තබන විට කිසිවෙකු මා අතින් අල්ලා නවතන විට මම හැරී බැලීමි.ඒ ප්‍රසාද්ය.

    “යන්න එපා ආරණ්‍යා මිස්…” ඔහු කීවේය.

    “ඔයාලා නොදන්න ගොඩාක් දේවල් තියනවා…ඒවා දැන ගන්න ඕන නැත්ද…? එක පාරම මෙහෙම තීරණ ගන්න එපා…”

    මම තේෂාන් දෙස හැරී බැලීමි.

    “අපි ආන්ටි එක්ක කතා කරලා යමු…”

    ඔහු කියන විට මම නිහඬව ඊට එකඟ වූයෙමි.

    -හෙටත් මුණ ගැසෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page