NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 55

Hima Mal Renu හිම මල් රේණු – 55

-

spot_img

Hima Mal Renu හිම මල් රේණු

මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ බිය මුසු හැඟීමකි. මම කීප වතාවක් ඔහුව සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය නිරර්ථක විය. ගුණතුංග මාමා සමඟ එන අතරේ මම නදීරාද කැඳවාගෙන යෑමට ඇගේ කාර්යාලය අසළට පැමිණියෙමි. ඒ වන තුරු ඈ පිටතට පැමිණ නොසිටි නිසා මා පසු වුයේ නොඉවසිළිමත් සිතිනි. ටිරෝන්ට ඇමතුමක් ගත්තද ඔහු එයට පිළිතුරු නොදුන්නෙන් මා සිත තුළ වූ පීඩාව බලවත් විය. සිදුව ඇත්තේ කුමක්ද…? නිරංගා ඇන්ටි හෝ දැරණියගල අංකල් නිවසට පැමිණ ඇතුවාවත්ද…? නදීරා දිව විත් රථයට නඟින විට මා සිතට දැනුණේ අපමණ සහනයකි. ගුණතුංග මාමා රථය පණ ගන්වාගෙන ඉදිරියට ධාවනය කරන අතරේ නදීරාද ඇසුවේ සිදුව ඇත්තේ කුමක්ද කියාය. මම කිසිත් නොදන්නා බව ඈ හා කීවෙමි. මගේ සිත නොසන්සුන්ය. එය ගමන් කරන තරමට වේගයෙන් රථය ගමන් නොකරන විට එම නොසන්සුන් බව වඩා වැඩි විය. නදීරා මා අත තරයේ අල්ලා ගෙන සිටියේ මා සිත හැඳින්නාක් මෙනි. මේ මොහොතේ මාර්ග තද බදය වැඩිය. අවසන අපි අවීශ්ගේ නිවසාසන්නයට එන විට මා සිතට යම් තරමක සහනයක් දැනිණි. නිවස ඉදිරිපිට සිටින තේෂානුත්, ටිරෝනුත් දැක මම රථයෙන් බැස ගත්තේ එය නැවතීමටත් පෙරය. තේෂාන් මා වෙත දිව ආවේය.

“ආයේ මොනවා හරි කරගන්නද…?”

ඔහු නොසතුටෙන් ඇසූ මුත් මම ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළෙමි.

“මොකද වුණේ…?”

මම තවමත් දරා ගත නොහැකි කුතුහළයෙන් ඇසීමි. ටිරෝන්ද ඒ සමඟම අප වෙත පැමිණියේය.

“මූට පිස්සු…”

ඔහු තේෂාන්ට දොස් පවරන්නට විය. නදීරාත් අප වෙත පැමිණි අතර මම ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් සිතා ගත නොහැකිවය.

“ඇයි අනේ කියන්නකෝ…මොකක්ද වෙලා තියෙන්නේ…ඔයාලා අපිව බය කරනවානේ…”

මම කෑ ගැසීමි.

“ඔෆිස් එකෙන් එළියට බහිද්දීම මම දැක්කා ප්‍රසාද් වගේ කෙනෙක් කාර් එකක යනවා…මං බයික් එක අරන් ෆලෝ කළා…මං හිතුවේ එයාම කියලායි…එයා නම් මෙහෙට එයි කියලා හිතලයි ඔයාලට එන්න කිව්වේ…”

කිසිත් සිතා ගත නොහැකිව මම තේෂාන් දෙසම බලා සිටියෙමි.

“ඔක්කොමල්ලාව කළබල කරලා මෙතන්ට ගෙන්නලා…ඇත්තමයි උඹට නම් පිස්සු… ”

ටිරෝන් කෑ ගැසුවේ කෝපයෙන් නොව ශෝකයෙන් බව මට වහා වැටහී ගිය අතර මම ඔහුගේ බාහුවක් අල්ලා ගත්තේ දෑස් වල කඳුළු පුරෝගෙනය.

“අනේ එයාට කෑ ගහන්න එපා ටිරෝන්…”

බිඳුණු හඬින් මම කීවෙමි. තේෂාන් වහ වහා තම දෑස් පිස ගන්නා බව මා දුටුවේද බොඳ වුණු දෑසිනි. ටිරෝන් තේෂාන්ගේ කර වටා දෑත යැවුවේ සමාව යදිමිනි.

“නොකීවට මගෙ පපුවත් ඇවිළෙනවා බං….”

බිඳී ගිය හඬකින් ටිරෝන් කීවේය.

“මං මේ ගෙදර ඉන්න සර්වන්ට් එක්ක කතා කළා…සුමනදාස තාම මෙහෙ වැඩ…”

ඒ ඇසූ පුවතින් අපි තුළ ඇති වූයේ අලුත් බලාපොරොත්තුවකි.

“මොනවා තේෂාන්…ඉතින් එයාට කතා කළේ නැත්ද…?”

මම කළබලයෙන් ඇසීමි. සුමනදාස යනු අවීශ්ලා සිටි කාලයේ නිවසේ සිටි මුරකරුය.

“නැහැ…එයා ගමේ ගිහින්…තව සතියකින් වගේලු එන්නේ…”

යළිත් බලාපොරොත්තු කඩවීමක්.

“අයියෝ…ඉතින් මෙහෙ අය දන්නේ නැත්ද විස්තරයක්…?”

නදීරා අසන විට තේෂාන් කළේ හිස වැනීමය. පසුව අපි පිටව පැමිණියේ තව දින කීපයකින් යළි පැමිණ සුමනදාස හමුවන අදහසිනි. ටිරෝන් යතුරු පැදිය පැදවීමට භාර ගත්තේ තේෂාන් මේ මොහොතේ සිටින්නේ අවුල් වූ සිතින් බව වටහාගෙනය.

“පරිස්සමින් යන්න ටිරෝන්…”

ඔහු මා දෙස බලා දුන් පිළිතුරෙන් මා සිත තවත් අලුත් වූ ශෝකයකින් බර විය.

“මං බොක්කේ යාළුවෙක් නෙවේ…වෙන්නැති…ඒත් මාත් ඌ එක්කම මැරෙන්න තිබුණා කියලා හිතෙනවා…”

මා දෑසට කඳුළු පිරෙන විට මුවින් කිසිත් නොකියා මම බොඳ වූ දෑසින් ඔහු දෙස බලා සිටියෙමි. යතුරු පැදිය හඬ නංවා ඉඟිළ යන විට මම එදෙස බලා සිටියේ හිස් බැල්මකිනි. නදීරා මා අතින් අල්ලාගෙන විත් රථයට නැංවූවාය.

ඉන් දින කීපයකට පමණ පසුව මිතුරු මිතුරියන් සියළු දෙන අප නිවසට එකතු වූයේ බොහෝ කලකට පසුවය.

“මචංලා…අපි මොනවද දැන් මේ අවුරුද්දේ කරන්නේ…අවු…?”

තේෂාන් ඒ ඇසුවේ කුමක් ගැනදැයි මා සිතේ එක්වරම අදහසක් ඇති නොවූවද ඔහු අතර මඟ කතාව නවතන විට මට එය වැටහී ගියේය. යටි තොළ සපාගත් මම හිස බිමට නැඹුරු කොට ගත්තේ දෑස් වලට එක් වන කඳුළු සඟවා ගැනුමටය.

“දෙවියනේ අවුරුදු දෙකක් වෙන්න එනවද…?”

මට නම් එය සිහිනයක් මෙනි. මට ඔහු නැතැයි සිතන්නට හෝ පිළිගන්නට නොහැකිය.

“අපි එකතු වෙලා මොනවා හරි කරමු…”

භාෂිත ගේ හඬ ඇසෙන විට මම හිස ඔසවා ඔවුන් දෙස බැලුවේ බොඳ වුණු දෑසිනි.

“මට බැහැ තේෂාන්…”

මම එක එල්ලේම පවසන විට ඔවුන් සැමගේ විමතියට පත් දෑස් මා වෙත එල්ල විය. තෙෂාරා මගේ අතින් තරයේ අල්ලා ගෙන මා වෙත නැඹුරු වූවාය.

“අනේ…ඇයි ආරණ්‍යා…?”

“මට බැහැ…අවීශ් නැති වුණා කියලා හිතාගෙන කොහොමද එයා වෙනුවෙන් එහෙම දෙයක් කරන්නේ…? ඒක කරන්න බැහැ…එයා මැරුණේ නැහැ…මට බැහැ…”

මට හැඬිණි. නදීරාත් තෙෂාරාත් මා පසෙක හිඳගෙන හිසත් පිටත් පිටත් පිරිමදිනු මට දැනිණි. විනාඩි කීපයක් නිහඬව ගෙවී ගිය අතර මම කඳුළු පිසගෙන හිස එසවූයෙමි.

“මට හිත හදාගන්න බැහැ…එයා තාම මගේ හිතේ ජීවත් වෙනවා…එයා නැහැ කියලා හිතන්නවත් මම බයයි…එහෙම වෙන්න බැහැ…”

යළිත් හැඬෙන විට මා සමඟ නදීරාත් තෙෂාරාත් දෙදෙනාම හඬන්නට වූහ.

“අපිටත් ඒ හැඟීම නැතිව නෙවෙයි ආරණ්‍යා…ඒත් අපි ඇත්තට මූණ දෙන්න ඕන…කවදා වෙනකල් අපි හිත රවට්ට ගන්නද…?”

තේෂාන් ඇසුවේ බොහෝ හැඟීම්බර හඬකිනි.

“මේ හැමදේම හීනයක් වගේ තමා හිතද්දීත්…වෙලාවකට පිස්සු හැදෙන්න එනවා…”

ටිරෝන් කඳුළක් පිසිමින් කියන විට අපේ කඳුළු අලුත් විය.

“අතක් පයක් කැඩිලා හරි මූ ජීවත් වෙලා හිටියා නම්…ළඟ ඉඳන් බලා ගන්නවා බං…”

ඒ තේෂාන්ය. ඔහුගේ හඬ බිඳී තිබිණ.

“අපි ඌව වැඩිකල් ආශ්‍රය කළේ නැහැ තමා…ඒත් ඌ පට්ටම පොරක්…මාරම යාළුවෙක්…”

“ඒක ඇත්ත මාධව…ඌ පට්ටම හොඳ කොල්ලෙක්…”

මාධවගේ කතාව අනුමත කරමින් භාෂිත කීවේය. අවීශ් වෙනුවෙන් කඳුළක් නොවැටුණු දෑසක් තිබුණා යැයි කියා සිතීම අපහසුය. චන්ද්‍රාම්මා බීම බන්දේසිය ස්ටූලය මත තබා පසුපසට දිව ගියේ ඇයටද මේ කතා බහ ඇසී හැඬුම් ආ නිසා බවට සැකයක් නැත. නිහඬ බවින් ගෙවී ගිය කාලය දිගු යැයි මට සිතෙන විට ටිරෝන් එම නිහඬ බව බිඳ දැමුවේය.

“මං පෙරේදා ගියා දැරණියගල හොටෙල් එකට…”

ඔහු පවසන විට අපි වහා ඔහු දෙස බැලුවේ වඩා උද්‍යෝගයෙනි.

“ඉතින්…අංකල් හිටියද…?”

තේෂාන් ඇසුවේ ටිරෝන්ගේ නිහඬ බව නිසාය.

“නැහැ…උන් කවුරුත් විස්තරයක් දෙන්නේ නැහැ…ආටිගලට ෂෙයාර්ස් ටික විකුණලා කියලා තමා දැන ගන්න ලැබුණේ…ආටිගලත් ලංකාවේ නැහැලු…නැත්නම් එයාගෙන් හරි නම්බර් එකක් ඉල්ල ගන්න තිබ්බා…වැඩ කරන අය විස්තර දෙන්න කැමති නැහැ…”

එය එසේ විය හැකිය. නිරංගා ඇන්ටි සිටින තැනක් දැන ගත හැකි වූවා නම්….?

නිදහස් මොහොතක අනුරාග් මා හා කතා බහ කරමින් සිටින විට මා පත් වූ අනතුර ගැන මගෙන් විමසා සිටියේ ඒ ගැන පුවත් පත් මඟිනුත් ඔහු දුටු බවත් තාත්තාත් ඔහු සමඟ පැවසූ බවත් කියමිනි.

“මං ඒ ගැන කතා කළාට කමක් නැත්ද…? ඒක කතා කරන එක ප්‍රශ්නයක් නම් අපි ඒ ගැන කතා නොකර ඉමු…මං ඒ ගැන කතා කරලා ඔයාගෙ හිත පෑරුවා නම් සමාවෙන්න…”

ඔහු පසුතැවිළි ස්වරයෙන් කීවේය.

“ආහ්…නැහැ…නැහැ…මිස්ටර් අනුරාග්…ඒකට කමක් නැහැ…ඒක අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ…මොකද මට හිටපු හොඳම යාළුවෙක්ව ඒ අනතුරෙන් නැති වුණා…”

අලුත් වූ කඳුළින් දෑස් පෙඟෙන විට මම කුඩා අත් ලේන්සුවෙන් දෑස් පිස ගතිමි.

“මට කනගාටුයි ආරණ්‍යා…”

“ඒකට කමක් නැහැ මිස්ටර් අනුරාග්…”

“ඔය වගේ දෙයක් අමතක කරන එක ලේසි නැහැ…”

ඔහු සුසුමක් හෙළූ අතර මම කීවේ මට එය අමතක කිරීමට වුවමනා නැති බවය. පසුව මම නැඟිට පිටතට පැමිණියේ සමාව යදිමිනි.

“මිස්ටර් අනුරාග් ඔයා ගැන ඉන්ට්‍රස්ට් වගේ නේද…?”

දහවල් කෑම වෙලේදී අප අංශයේම නිහාරා කීවේ අමුතු හඬකිනි. මම වහා ඈ දෙස බැලුවේ විදහාගත් දෑසිනි. අන් අයගේ සවන්ද ඒ කතා බහ කෙරෙහි යොමු වී ඇති බව මට ක්ෂණකයකින් වැටහී ගියේය.

“ඇත්තටම…? මම දන්නේ නැහැනේ එහෙම කතාවක්…” උපහාසය මුසු හඬකින් මම කීවෙමි.

“අනේ…අපිට නම් පේනවා…” සමච්චල් සිනහවක් පාමින් ඈ කීවාය.

“ඇත්තට…පේන හැමදේම එහෙමයි කියලා පිළිගන්න ලෑස්ති වෙන්න එපා…” නොරිස්සුමෙන් මම කීවෙමි.

“ඒත් ඉතින් එහෙම පේනවනේ…නැත්නම් ඉතින් චාරුකා ඉද්දි ඇයි ඔයාටම ඔෆිස් රූම් එකට එන්න කියන්නේ…?”

“ඔයාට හිතෙන්නේ ඇයි කියලාද…?”

“ඒක දන්නේ ඉතින් ඔයානේ…”

“ඒකනේ නිහාරා…ඔයා නොදන්න දේවල් ගැන නිකන් කතා මවාගන්න උත්සාහ කරන්න එපා…මං මෙතන්ට වැඩට ආවේ එක එක්කෙනාගේ ඕප දූප කතා වලට මාතෘකාවක් වෙන්නවත් මිස්ටර් අනුරාග්ගේ කරේ එල්ලෙන්නවත් හිතාගෙන නෙවේ…ඔය කතාව මිස්ටර් අනුරාග්ට දැනගන්නවත් තියන්න එපා… එයා ඕවා දැන ගත්තොත් නිහාරා…ආයෙ ඔයාට මෙතන ඇඳුමක් ඇඳන් රස්සාව කරන්න පුළුවන්ද කියලත් දෙපාරක් හිතන්න…”

අන් අයටද ඇසෙන සේ මම එසේ පවසන විට නිහාරාගේ මුහුණේ ඇති වූයේ ලැජ්ජාවකුත්, තැතිගැන්මකුත් බව මම පැහැදිලිවම දුටුවෙමි.

“අනේ…නැහැ…මම එහෙම කිව්වා නෙවේ…” ඈ ඇඹරෙමින් එසේ කීවාය.

“ඔයා කිව්වේ කොහොම වුණත්…ඒකේ අර්ථය මොකක්ද කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා…මාත් මන්ද බුද්ධික වෙලා ඉපදිලා නැහැ නිහාරා…මං මෙතන්ට ආවේ රස්සාව කරන්න මිසක් පරස්ථාවක් කරගන්න නෙවේ…කාගෙවත් කරේ එල්ලෙන්න මට අමාරුවකුත් නැහැ…”

දැඩි හඬින් එසේ කී මම අඩක්වත් නොකෑ කෑම පාර්සලය එසේම ඔතා හඬ නැඟෙන පරිදි කුණු බඳුනට විසිකොට දෑත් සෝදාගෙන පිටතට පැමිණියෙමි. මෙතෙක් දිනක් මට ඔවුන් ඉදිරියේ මෙය කියා ගැනීමට දැඩි වුවමනාවක් තිබූ අතර කිව යුතු දේ ඇසිය යුතු කන් වලට ඇසෙන්නට පවසන්නට ලැබීම ගැන මම සිත යටින් සතුටු වූයෙමි.

“ඔයාට ඔෆිස් එක ඇතුළේ මොකුත් ප්‍රශ්නයක් නැහැ නේද ආරණ්‍යා…?”

එදිනම සවස අනුරාග් මා විමසන විට මා සිතේ ඇති වූයේ පුදුමයකි.

“අනේ නැහැ…මිස්ටර් අනුරාග්…ඇයි එහෙම ඇහුවේ…?”

“නැහැ…නැහැ…මං නිකන් ඇහුවා…” මඳහසක් පාමින් ඔහු කීය.

“ඇහුවට ස්තූතියි…එහෙම ප්‍රශ්නයක් නැහැ…” මම සිනහසෙමින් කීවෙමි.

කාර්යාලය නිම වී බස් නැවතුමට ඇවිද එන අතරේ අනුරාග්ගේ රථය අප අසළ නවතමින් ඔහු වම් පස රිය කවුළුව හැර මා අමතන විට මම වහා රථය අසළට දිව ගියෙමි. ඔහු මා නිවසට හැරළීමට කළ ඉල්ලීම මම කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි.

“මිස්ටර් අනුරාග්…යන්න…රුචිකාත් ඉන්නවානේ…අපි දෙන්නා එන්නම්…මාමාත් දැන් එයි…”

ගුණතුංග මාමා එදින ගමේ ගොස් සිටියද මම එසේ කීවේ ඔහුගේ සිත නොරිදෙන ලෙසය. ආපසු පැමිණි මා රුචිකා සමඟ එක් වූයෙමි.

“සර් කතා කළේ ඩ්‍රොප් කරන්න නේද…ඇයි ගියේ නැත්තේ…?”

“ගියා නම් හෙට එද්දී තව කතාවක් හැදිලා තියෙයි…”

මම කියන විට රුචිකාගේ මුව ඇද වී ගියේ මා බලා සිටියදීමය.

“සර් මොනවා හරි හිතුවද දන්නේ නැහැ…” ඈ පසුතැවිළි ලෙස කීවාය.

“සර් කොහොම හිතා ගත්තත් ඒක මට වැදගත් නැහැ රුචිකා…මිස්ටර් අනුරාග් කියන්නේ බුද්ධිමත් මනුස්සයෙක්…එයා තේරුම් ගනියි…මේකේ ඉන්න සමහර අයටනේ නොතේරෙන්නේ…”

“ඔය කට කතාවලට ඔයා බය නැහැනේ…?”

“මම බය නැති එක නෙවේ වැඩේ…ඒත් එහෙම එක එක්කෙනාට කතා බහ කරන මාතෘකාවක් වෙන්න මට ඕන නැහැ…මොන දේටත් අපි අපේ සීමාවේ හිටියාම හොඳයි…නැත්ද…?”

මම කියන විට ඇයත් හිස සළමින් එය අනුමත කළාය. මම නිවසට ගොඩ වන විට නැන්දා පෙරමඟ බලා සිටියාය.

“ගෙදරට එනකල් මං මේ පණ බයේ හිටියේ…”

ඈ මා දැක සහනයට පත් බවක් පළ කරමින් කිවාය.කියන්නට සිතුණු දේ නොකියා මම නිහඬව සිටියේ ඉන් ඇගේ සිත පෑරෙනු ඇතැයි සිතාය.

“තේ ටිකක් බීලා ඉමුද…වොෂ් එකක් දාගන්නවද…?”

මම හිස සළමින් කාමරයට පැමිණෙන විට නිවසේ දුරකථනය හැඬ වෙන හඬ මට ඇසිණි. එයට නැන්දා පිළිතුරු දෙනු ඇතැයි සිතා මම කාමරයට පැමිණ යහන මත හිඳ ගත්තේ විඩාබර සිතිනි. මම කොපමණ වරක් බලා සිටියත් අවීශ් ඇඳි සිතුවම මට එපා නොවන තරම්ය. දිනකට මා කොපමණ වෙලාවක් එදෙස බලා සිටිනවාද කියා මමම නොදනිමි. ඔහු මට තිළිණ කළ එකම සහ අවසන් තිළිණයද එයමය. සුළු මොහොතකට පසු නැන්දා කාමරයට එන විටත් මම සිටියේ එවෙත ඇලුවුණ දෑසිනි.

“මොකද අනේ මේ…තාම ඇඳන් ගිය ඇඳුම පිටින්…මං හිතුවා දැන් වොෂ් එකකුත් දාන් ඇති කියලා…”

නැන්දා මා දෙසත් බිත්තියේ එල්ලා ඇති සිතුවම දෙසත් මාරුවෙන් මාරුවට බලමින් කීවේ නොසතුටු හඬකිනි.

“තේ බීලාම ඉන්න හිතුවා…නැත්නම් ආයේ දාඩිය දානවානෙ…”

ඒ මොහොතේ ගැළවීමට මම කීවෙමි. සුසුමක් හෙළූ නැන්දා මා පසෙකම යහන මත හිඳ ගත්තේ කුමක් හෝ දෙයක් පැවසීමට බව මට ඉවකින් මෙන් දැනිණි.

“ඔයා බස් එකේ යන්න එන්න නම් එපා…ඌබර් එකක් දාන් එන්න හවස ඕෆ් වෙලා එත්දී…ගුණතුංග මාමා එනකල්…”

නැන්දා එසේ ආවාට ගියාට කිසිත් නොපවසන නිසා මා සිතේ ඇති වූයේ කුතුහළයකි. කුමක් හෝ යමක් සිදුව ඇති බව නම් සහතිකය. ඒ කුමක්ද….?

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you