More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 42

    Hima Mal Renu හිම මල් රේණු – 42

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    මා මුළු ගතම තළා දැමුවාක් මෙන් වේදනාවක් නැඟේ. අත පය පවා සෙළවීමට බැරි තරම් අප්‍රාණික බවක් මෙන්ම වේදනාවක්ද වූ අතර තදබල ලෙස වේදනාවක් නැඟුණේ හිසෙනි. මා දෑස් පියන් විවර කිරීමට වුවමනා වුවද ඒවා එකිනෙකට ඇළී ඇතිවාක් මෙනි. කෙඳිරිල්ලක් මා මුවින් නික්මෙන්නට ඇත්තේ මා සිරුරින් නැඟි වේදනාව නිසා විය හැක. මා දෙතොල් වියළී ඇති බව මට දැනිණි. තද බල පිපාසයක් මට දැනේ. කතා කිරීමට වුවමනා වුවද හඬක් පිට නොවන සෙයකි.

    “ලොකු බේබි…ලොකු මැණිකේ…”

    කිසිවෙකු මා සවන් අසළම මුමුණන හඬ ඇසුණද මා දෙනෙත් විවර කරන්නට නොහැකිය. නැතිනම් ඒ කවුද කියා බලා ගන්නට තිබිණි. මා මුව විවර කර යමක් මිමිණීමට වුවමනා වුවද කෙඳිරිල්ලක් විනා මුවින් පිටවූ වචනයක් නැත. මට දැනුණේම දැඩි වෙහෙසක් මෙන්ම නිදිබර බවකි. මට යළිත් නින්ද යන්නට හෝ සිහි නැති වූවා වන්නට ඇත. මම නොදනිමි. සිදු වූයේ කුමක් වුවත් මම යළි අවදි වූයේමි. ඒ කොපමණ වේලාවකින්ද කියා මම නොදනිමි. එය රාත්‍රිය වන්නට ඇතැයි කියා මම සිතමි. මන්දයත් මම සෙමෙන් දෙනෙත් විවර කරන විට සියල්ල තිබුණේ දැඩි අඳුරක නිසාවෙනි. මා සිටින්නේ කොහිද කියා මම නොදනිමි. මෙහි තද අඳුරක් හැරුණු කොට කිසිවක් නැතැයි කියා මම සිතුවෙමි. මා ගතේ වේදනාව තවමත් එලෙසමය. දැඩි පිපාසයක් මට දැනේ.

    “ව්..වා…තු…ර…” කෙඳිරිල්ලක් එසේ මා මුවින් පිට විය.

    “දුව…” මා සවන් අසළින් ඇසුණේ කාන්තාවකගේ කටහඬකි.

    “වා…තු..ර…” මා මුවින්‍ යළිත් පිට විය.

    “ඉන්න දුව…එක පාරම වතුර බොන්න හොඳ නැහැ…”

    ඒ හඬ පැවසීය. තෙත රෙදි කඩකින් මා දෙතොල් තෙත් කරන විට මට දැනුනේ කෙතරම් විශාල සහනයක්ද…! පසුව මා දෙතොලට වතුර බිඳු කීපයක් වැටෙන විට මහා ආශ්වාදයක් මට දැනිණි.

    “ම…ම…ම..කො..හේ…ද….මේ…ඉන්නේ…?”

    එය මා මුවින් පිට වූයේ කෙඳිරිල්ලක ස්වරූපයෙනි. පිළිතුරක් ලැබීමට බොහෝ වේලාවක් ගත වූ බවක් මට දැනිණි.

    “ටිකක් නිදා ගන්න දුව…ඔයාට ඉක්මනින් සනීප වෙයි…”

    පෙර මා ඇමතූ හඬම යළි පැවසීය. මට ඇගේ හඬ පමණක් ඇසෙන්නේ මන්ද කියා මට සිතා ගත නොහැකිය. දුව කියා මා ඇමතූ ඒ හඬ කාගේද.? සනීප වෙයි කීවේ කුමක් නිසාද.? මට ඇති අසනීපය කුමක්ද.? මේ සියල්ල මට මහත් ප්‍රහේලිකාවකි. මා සිටින්නේ කොහිද…?

    “සනීප වෙ…යි…ඇ…ඇ..යි..ම..මට මො… මො..ක..ද වෙලා තියෙ..න්නේ…මට… මොකුත් පේන්නේ…නැත්තේ…ඇයි…මම කොහේද මේ…ඉන්නේ…?”

    ගොත ගසමින් මම ඇසීමි. යළි නිහඬ බවක්. ඈතින් ඇසෙන රථ වාහන වල විවිධ ශබ්ද මා සවනට ගලා ආයේය.

    “ඔයාට…පොඩි අනතුරක් වුණා දුව…”

    සුළු මොහොතකට පසු එම හඬ යළිත් කීවේය.

    “ඒ…කොහොමද…මට මොකද වුණේ…ඇයි මට ඒ ගැන මතක නැත්තේ…? මට මොකුත් පේන්නේ නැහැනේ…”

    හඬ ආ දෙසට හිස හැරවීමට තැත් දරමින් මම කියන විට මා හිසින් නැඟුණේ දැඩි වේදනාවකි. මම නිශ්චලව එලෙසම සිටියෙමි. මා අසළ සිටින අය කවුද කියා හෝ මට දැක ගැනීමට නොහැකි මන්ද..? කවුරුන් වුවත් ඒ අය හඬනවා ඇතැයි මට සිතුණේ යාන්තමට ඇසුණු ඉකි බිඳුම් හඬ නිසාය. දහසකුත් ප්‍රශ්න මා මනසේ හොල්මන් කරන්නට විය. ඈ තවමත් මට පිළිතුරක් නොදුන්නාය.

    “ම..ට කියන්න…මට මොකද වුණේ….මම කොහෙද මේ ඉන්නේ…?” මම යළිත් ඇසීමි.

    “දුව…ඒ හැමදේම හිමින් කියන්නම්…වෙහෙස වෙන්න එපා…ඔළුව වෙහෙසන්න හොඳ නැහැ…ඔයා ටිකක් නිදා ගන්න…”

    මම නිහඬ වීමි. ඈ කියන්නේ සැබෑවක් බව මට වැටහිණි. මා හිස රිදුම් දෙයි. මම යළිත් වරක් නින්දට වැටෙන්නට ඇත. කිසියම් ශබ්දයක් නිසා මම යළි අවදි වීමි. ඒ කොපමණ වේලාවකින්ද කියා මම නොදනිමි. මට පිටතට යාමට වුවමනා විය. මම ඒ බව කීවේ මා අසළ සිටි අයෙකුටය. එවිට ඈ කිසිවෙකු කැඳවූ අතර දෙදෙනාගේ සහායෙන් මම යහනින් බැස ගත්තේ අපහසුවෙනි. මා හිස වඩාත් රිදුම් දෙන්නට වූ බැවින් මම සුළු මොහොතක් එලෙසම හිඳ සිටියෙමි. මා ගත අප්‍රාණිකය. මුළු සිරුරම තලා දැමුවාක් මෙන් වේදනාවක් නැගේ.

    “හිමින් බිමට අඩිය තියන්න…ඔයාගේ දකුණු කකුල ටිකක් තුවාලයි…කකුල හිමින් තියන්න…දකුණු අතත් හිමින්…හරි පරිස්සමෙන්…”

    දෙදෙනෙකුගේ සහායෙන් මම යහනින් බිමට බැස ගතිමි. එක් අයෙක් එලෙස මට උපදස් දුන්නාය. ඒ හෙදියක බව මා දැන ගත්තේ පසුවය. මා සිටින්නේ පෞද්ගලික රෝහලක බව ඈ මා හා කීවාය.

    “ඔළුව සොළවන්න එපා…හිමින් යමු…බිම බලන්න එපා…කෙළින්…හරි…”

    ඈ මෙලෙස මට උපදෙස් දෙන හේතුව මා හා පැවසුවේ මා අන්ධ අයෙකු නිසා බව මට ඔවුන්ගේ කතා බහෙන් වැටහී ගියේය. මට ඒ කිසිත් සිහි නොවන්නේ මන්ද කියා මම පුදුම වූයෙමි. ඔවුන්ගේ සහායෙන් මම නාන කාමරයට පැමිණියෙමි.

    “පරිස්සමෙන් මිස්…ඔහොම වාඩි වෙන්න…කකුල දිග් කරන්න…හරි…මම එළියෙන් ඉන්නම්…මිස් කතා කරන්න…”

    දොරක් වැසෙන හඬ මට ඇසිණි. ඈ පිටතට යන්නට ඇත. අසරණ හැඟීමක් මා සිතට දැනුණ අතර දකුණතද සෙළවිය නොහැකිය. වමතින් නම් එතරම් වේදනාවක් නොනැඟේ. සිදු වූයේ කුමක්ද කියා මට සිහි නැත්තේ මන්ද…?

    “දුව…දුව…ඔයා හරිද…?”

    දොරට සෙමෙන් තට්ටු කරමින් කතා කරන හඬින් මම තිගැස්සී ගියෙමි. කාලය පිළිබඳව හැඟීමක් මට නැත. නැතිනම් එසේ නොදැනේ.

    “ඔ…ඔ..ව්…”

    මා මුවින් එසේ පිට වූවාද කියා හෝ මටම නෑසිණි. දොර විවර වන හඬ. පෙර දෙදෙනම යළි පැමිණ මා කැඳවාගෙන විත් යහනට නැඟීමට මට සහාය විය. ඒ වන විට මට දැඩි කුසගින්නක් දැනෙමින් තිබූ බැවින් මම ඒ බව පැවසුවෙමි.

    “දියර මොනවා හරි දෙන්න…එක පාර ගොඩාක් දෙන්න එපා…ටික ටික පොවන්න…දවස් කීපයකින් බඩට මොකුත් නැති නිසා එක පාර කන්න බොන්න හොඳ නැහැ…”

    ඈ මෘදු හඬකින් උපදෙස් දෙන විට මම නිහඬව අසා සිටියෙමි. ඈතින් ඇසෙන නොයෙක් ශබ්ද වලට මම ඔහේ සවන් යොමා සිටියෙමි. ළඟින්ම තැනකින් “ටික් ටික්” ශබ්දයක් නොනවත්වා ඇසුණු අතර ඒ කුමක්ද කියා සිතන්නට මම වෙහෙස වූයෙන් හිස නැවත රිදුම් දෙන්නට විය.

    “දුව…සුප් ටිකක් බොමු…”

    කිසිවෙකු පැවසූ අතර ඈ මට ඉන් ටික ටික පොවන්නට වූවාය.

    “දැන් ඇති…ආයේ තව ටිකකින් බොමු…”

    ඈ එය නවතා කියන විටත් මම නිහඬව එයට එකඟ වූයෙමි.

    “ඇයි මට මොකුත් පේන්නේ නැත්තේ…?”

    සුළු මොහොතකට පසු මම ඇසීමි.

    “ඒ අර ඇක්සිඩන්ට් එක නිසා දුව…”

    බරටම හෙළූ සුසුමක්ද සහිතව ලැබුණේ එම පිළිතුරය.

    “ආහ්…මට මොකුත් මතක නැහැනේ…ඒත් ඒ ඇක්සිඩන්ට් එක නිසා වුණ දෙයක්ද…?”

    “ඔව්…දුව…ඒත් ඔයා ඒ ගැන හිතන්න ඕන නැහැ…ඩොක්ටර් කියන්නේ…මේක තාවකාලික අන්ධ භාවයක් කියලා…ඔයාගේ නළලයි…ඔළුව පිටිපස්සෙයි තද පාරක් වැදිලා…ඒකලු මේ නොපෙනෙන එකටයි…මතක නැති එකටයි හේතුව…ඒක ඉක්මනින් හරි යයි…”

    ඈ එසේ පවසන්නට ඇත්තේ මා සිත සනසන්නට සිතාද කියා මට නොසිතුණා නොවේ.

    “ඔයා කවුද…?”

    එවිට යළිත් මා සවන් වැකුණේ ඈ හෙළූ සුසුමක බර හඬය. මගේ අතක් තරයේ තද වුණු බව මට දැනිණි.

    “මම ඔයාගේ නැන්දා දුව…නැන්දා විතරක් නෙවේ…අපි දෙන්නා හොඳ යාළුවෝ වගේ හිටියේ…”

    ඈ පැවසුවේ හැඟුම්බර හඬකින් බව මට වැටහී ගියේය.

    “ආහ්…මට මතක නැහැ…මට ඉන්නේ ඔයා විතරද…?” මම ඇසීමි.

    “ඇයි තාත්තා…ආච්චි අම්මා…”

    “ආහ්…වෙන…?”

    “වෙන කවුරුත් නැහැ…ඔයා හුඟාක් ප්‍රශ්න අහනව ළමයෝ…”

    “මට දැන ගන්න ඕන…මං කවුද කියලාවත්…මට මොකද වුණේ කියලාවත්..මං දන්නේ නැහැ…”

    “හැමදේම හිමින් හිමින් පුළුවන් දුව…”

    මා දෑසට පිරුණු කඳුළු ගුළි කම්මුල් මතින් ගලා ගියේය.

    “අනේ…ළමයෝ…ඇයි මේ අඬන්නේ…? අඬන්න එපා දුව…අපි ඔයා එක්ක ඉන්නවනේ…”

    ඈ මගේ කඳුළු පිස දමන බව මට දැනිණ.

    “ම…මට…බය…යි…” මම කෙඳිරිළි හඬකින් කීවෙමි.

    “බය වෙන්න එපා දුව…දැන් හැමදේම හරි…තව ටිකෙන් තාත්තා එයි…ඔයාගේ යාළුවොත් එයි…එයාලා මේ ටිකේම ඔයා ළඟ හිටියා…”

    ඒ ඇසූ මම පුදුම වීමි.

    “යාළුවෝ…ඒ කවුද…?”

    “ඇයි…අනේ…නදීරා…ශ්‍රීමා…තෙෂාරා… භාෂිත…මාධව…තව තේෂාන්…ඒ සේරම අය…අර ටිරෝන් තමා නැත්තේ…එයා රට ගිහින් නේ…”

    “පිරිමි යාළුවොත් ඉඳලනේ…”

    පැහැදිය නොහැකි හැඟීමකින් මම කීවෙමි.

    “නැතුව ඉතින්…ඔයාට වැඩිපුරම හිටියේ පිරිමි යාළුවෝ තමා…”

    ලැජ්ජා මුසු හැඟීමක් මා සිතේ ඉහිර යනු මට දැනිණි.

    “මං ගොඩාක් කල් ඉඳන් මෙහෙම ඇඳට වෙලා හිටියාද…?” එවර යළිත් නිහඬ බවක්.

    “ඔව්…මෙහෙට ගෙනත් සතියයි…ඇක්සිඩන්ට් වෙලා ඔයාව හොස්පිට්ල් ඇඩ්මිට් කරලා තිබ්බනේ…එහේ හිටියා දවස් කීපයක්…”

    මා හිස යළිත් රිදුම් දෙන්නට විය. මගේ නැන්දා යැයි කී අය මට කීවේ මඳක් නිදා ගන්නා ලෙසය. මම ඇගේ සහායෙන් යහන මත සෙමෙන් වැතිර ගතිමි.
    මට නින්ද යන්නට ඇත. කොපමණ වේලාවක් මා නිදා සිටියාද කියා මම නොදනිමි. මා අසළින්ම ඇසුණු කෙඳිරිලි හඬවල් කීපයක් නිසා මම අවදි වූයෙමි. නින්දෙන් අවදි වුවද මට කිසිත් නොපෙනේ. මා සිත වඩ වඩාත් වේදනාවට පත් කළ කාරණය එයයි. මතකය මා තුළින් මැකී ගියද මට අඩුම තරමින් මගේ පෙනීම හෝ තිබුණා නම් මා අවට සිටින රූප දෙස බලා හෝ මට නැති වුණ මගේ මතකය නැවත නංවා ගැනීමට යාන්තමට හෝ උත්සාහ දරන්නට තිබිණි.

    “දුව…ඔයා ඇහැරුණාද…?”

    ගැඹුරු පිරිමි හඬක් මා සවන් අසළම ඇසුණ අතර ඔහු මගේ අත සිය දෝතට ගන්නා විට මම බියෙන් වහා මගේ අත ඉවතට ඇද ගතිමි.

    “ක…ක…වු..ද…ඔයා…?” කළබලයෙන් මට කෑ ගැසිණ.

    “දුව…ඒ තාත්තා…”

    තවත් හඬකින් එසේ පැවසූ අතර මම සන්සුන් වීමට උත්සාහ දැරීමි.

    “මට….ස…මා..වෙන්න…”

    ඔහු හඬනවා ඇතැයි කියා මට සිතුණ මුත් මා සිතට කිසිදු හැඟීමක් ඇති නොවීම පුදුමයට කරුණක් නොවේ. මේ කිසිවෙකු පිළිබඳව මට කිසිදු මතකයක් නැත. මා හිස කිසිවෙකුගේ රළු වූ අතකින් පිරිමදින විට නම් ඒ උණුහුම මා හදට දැනිණි.

    “දුව…” එම ගැඹුරු හඬ යළිත් මා ඇමතුවේය.

    “දැන් කොහොමද ඔයාට…?” ඔහු ඇසීය.

    “මම දන්නේ නැහැ…”

    “දුව ආච්චි අම්මත් ඉන්නවා මෙතන…තව ශ්‍රීමත් ඉන්නවා…”

    නැන්දා යැයි කී අයගේ හඬ දැන් මට හුරුය. ඈ එසේ පවසන විට මෘදු අතකින් මගේ අත අල්ලා ගැනිණි.

    “ආරාණ්‍යා…මම ශ්‍රීමා…”

    ඈ ඉතා මිහිරි හඬකින් පවසන විට මා දෑස උණුසුම් කඳුළින් තෙත්ව යන බව මට දැනිණි.

    “අනේ…ඇයි කෙල්ලේ මේ අඬන්නේ…?” ඈ මගේ කම්මුල් පිසිමින් ඇසුවාය.

    “මට මොකුත් මතක නැහැනේ…”

    නොනවත්වා ගලා යන කඳුළු මට නවතා ගන්නට නොහැකි තරම්ය.

    “අඬන්න එපා….අනේ…හැමදේම හෙමින් මතක් වෙයි…”

    ආච්චි අම්මා යැයි කී අයද මා සමඟ කතා කළ අතර ඇයත් මා පිළිබඳව කණගාටු වන බව ඇගේ කතා බහෙන් මට වැටහී ගියාය. පසුව ශ්‍රීමා යැයි කී අය සමඟ මා තනිකර ඔවුන් කාමරයෙන් පිටව ගිය බව ශ්‍රීමා මා සමඟ කීවාය.

    “මාව කොහොමද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ…?” මම ඇගෙන් විමසීමි.

    “කාර් එකේ යද්දිලු…අපිත් වැඩි විස්තරයක් දන්නේ නැහැ ආරණ්‍යා…”

    මා මුවින් දිගු සුසුමක් ගිළිහිණි. සියල්ල මට නුහුරු නුපුරුදුය. නන්නාඳුනන පිරිසක් මැද මා තනිවී ඇති බවක් මට දැනිණි. නමුත් ඔවුන් පවසන්නේ මා ඔවුන්ගේ පවුලේ අයෙකු බවය. ආගන්තුක අසරණ හැඟීමක් හැරුණු කොට මට දැනුණු අන් හැඟීමක් නැත.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page