Hima Mal Renu හිම මල් රේණු
නිවස තුළ මොහොතක නිහැඬියාවක් පැතිර ගියේය. තාත්තාට කෝප ගැනීමට තරම් දෙයක් නැති බව වටහා ගන්නට නොහැකි මන්ද කියා නොමනාපයක් මා සිතේ ඇති විය. ඔවුන් දෙදෙනාගේ සිත් අමනාපකම් හෝ සතුරු කම් වලට අපි කුමක් කරන්නද…? ඇරත් අපි මිතුරන්ම පමණකි. ඔහුගේ සිතේ ඇති සැකය සාධාරණ නැත.
“තාත්තලා අතර ප්‍රශ්න තිබුණා කියලා අපි මොනවා කරන්නද…? ඒකට අවීශ්ගේ වරදක් නැහැනේ…අනික මේ තරම් දෙයක් කරන කල් තාත්තා මොකුත්ම දන්නේ නැහැ කියන්න බැහැනේ…අන්න ඒකයි මට තියන ප්‍රශ්නේ…”
නිතරම සිදුවන්නාක් මෙන් මේ ප්‍රශ්නය අසන විට තාත්තා මේ මොහොතේද නිහඬ විය. පුංචි අම්මා එනු දැක මම වහා නිහඬ වූයේ මාත් තාත්තාත් අතර පුංචිම හෝ මත ගැටුමක් ඇති බව ඈ දකිනවාට මා තුළ වූ අකමැත්ත නිසාය. ඈ විත් තාත්තා පසෙක අසුන් ගන්නා විට මම වහා හුනස්නෙන් නැඟී සිටියෙමි.
“මම මෙතන්ට ආව නිසාද නැඟිට්ටේ…?”
ඈ කුමක් හෝ ඇදයක් සොයමින් මා සමඟ එල්ලෙන්න්නටම දරන වෑයම කෙරෙහි මා සිතේ ඇති වූයේ කෝපයකි.
“තමුන්ට ප්‍රශ්නයක් නැත්නම් නිකන් හරි ප්‍රශ්නයක් ඇති කරගන්න තමා හදන්නේ නේද…?” තාත්තා ඇසුවේ නොමනාපය මුසු හඬකිනි.
“මං ඇවිත් ඉඳ ගත්තා විතරයි…මෙයා නැඟිට්ටේ මං මෙතන්ට ආවට අකමැත්තෙන් වගේනේ…” ඈ ඇනුම්පද කියන්නට වූවාය.
“අකමැත්තෙන් වගේ නෙවේ… අකමැත්තෙන් තමා…මායි තාත්තායි කතා කර කර ඉන්නවා දැක්කොත් ඇති…මැද්දට පනිනවා…ඒ මදිවට මොනවා හරි කරලා ප්‍රශ්නයක් ඇති කරවන්න තමා හදන්නේ… ඔයා මෙතන්ට ආවාට විතරක් නෙවේ…මේ ගෙදර ඉන්නවාටවත් මං කොටින්ම කැමති නැහැ…”
ඈ කෝප දීප්ත දෑසින් මා දෙස බලා සිටියාය.
“බලන්න මාවන්…මං බලෙන් ඔයා එක්ක ආවා වගේනේ…මේ ගෙදරට…”
“බලන්න දෙයක් නැහැ…මට දැන් බලලා… බලලා ඇති වෙලා තියෙන්නේ…”
තාත්තා කීවේ නොසතුටෙනි.
“බලෙන් ආවා නෙවේ…බලෙන් රිංගා ගත්තා…එහෙම කළේ…මගේ අම්මාගේ මළ කඳ උඩින් කියලා අමතක කරන්නත් එපා…”
එසේ කී මම එතැනින් මෑත් වූයේ කෝපයෙනි.
“අනේ ඇයි මාවන්…ඔයා මට මෙහෙම කතා කරන්න ඉඩ දීලා බලන් ඉන්නේ…”
පුංචි අම්මා හඬන හඬ මා පසු පසින් ගලා ආයේය.
“මේ…මනෝරි…ඔය ඇඬියාව නවත්ත ගන්නවද…ගෙට ගොඩ වුණා විතරයි… තමුසෙත් හොටු පෙරන්න ගත්තා…”
“ඔයත් මට කරන්නේ වෙනස්කම් මාවන්…මං මේ ගෙදර පිට ගෑණියෙක් වෙලා…”
මම තරප්පු පෙල නැඟ මගේ කාමරයට පැමිණියේ එහි විදුලි පහන් පවා නොදල්වාමය. මා සිත නොසන්සුන්ය. සිතට සැනසීමක් සොයන්නට උත්සාහ දරන සෑම මොහොතකම එය සිතින් පළා යන්නේ නොසිතන ලෙසිනි. මම සඳළුතලයට පැමිණියේ නොසන්සුන් මා සිත යාන්තමට හෝ සන්සුන් කර ගැනීමේ වුවමනාව නිසාය. නංගීගේ කාමරයේ සඳළුතලයේ හිඳ ඈ කරන කතා බහ මට යාන්තමින් ඇසිණි. තාත්තා ඇයට දුරකථනය ලබා දුන්නේ ටෙලාන් සමඟ ඇගේ සම්බන්ධයක් නැතැයි දිවුරා පැවසීමෙන් පසුවය.
“ෆෝන් එක කොහොම හරි ගත්තනේ… දැන් කතා කරන්න පුළුවන්…මං කොහොම හරි එළියට එන්න බලන්නම්…මට ඔයාව මීට් වෙන්නම ඕන…දැන් කොච්චර කල්ද මීට් වෙන්නෙ නැතුව…”
මම වහා මා හුන් තැනින් මෑත් වූයේ ඈ මා දකිනු ඇතැයි සිතමිනි. නංගී මේ වතාවෙත් තාත්තා රවටා ඇත. කෝපයක් මා සිතේ ඉහිර ගියේ ඔහුත් නංගී ගැන නොසොයා මට වැට කඬුළු බඳින්නට දරන උත්සාහය කෙරෙහිය. අවීශ් හා මා අතර එවන් සබඳකමක් නැතිවත් ඔහු මා කෙරෙහි සැකයෙන් පසුවෙයි. නංගී දැන දැනම කරන වරද ඔවුන්ට නොපෙනෙන තරම් ඔවුන් දෙදෙනා දෙදෙනාම අන්ධ වී ඇත්ද….? සඳළුතලයේ දොර මම සෙමෙන් වසා දැමුවේ හඬ නොනැඟෙන ලෙසය. එසේ නොවූවා නම් නංගී මා ඇගේ රහස් සොයන්නට ආවා කියා සිතන්නට ඉඩ තිබිණි. ටෙලාන් ඇයට කුමන ඉනාවක් දුන්නාද කියා මට සිතා ගන්නට නොහැකිය.
“එයා මාර විදියට හිත් ඇද ගන්න කතා කරන්න දක්ෂයි ආරණ්‍යා…එහෙම තමා එයා කෙල්ලෝ රවට්ට ගන්නේ…”
තෙෂාරා කියූ සැටි මට සිහි විය. නංගීද රැවටෙන්නට ඇත්තේ ඔහුගේ කතා බහටය. මිහිරි වදන්, බොළඳ බස්, සමහර තරුණියන් සොයන්නේ එවන් දෑය. ටෙලාන් යනු මනුෂ්‍යයකු නොව තරුණියන්ගේ ලේ උරා බොන පිසාචයෙකු යැයි කියා මා සිතුවේ ඔහු කෙරෙහි මෙන්ම ඔහුට රැවටුණ තරුණියන් කෙරෙහිද ඇති කර ගත් කෝපයෙනි.
***** ***** ***** ***** ***** ***** *********** ***** ***** ***** ***** *****
අහස තරමක් අඳුරුව තිබුණේ වැස්සක් ළඟ ළඟම එන බව කියා පාමිනි. කැඩපත ළඟ මම වෙනදා මෙන් කල් නොමරා වහා පහළට දිව ආවේ මා තරමක් පමා වී තිබූ නිසාය. නැන්දා සාදා ඇති කුමක් හෝ දෙයක් රැගෙන ඉක්මණින්ම යෑමට වුවමනා වුවද තවමත් එය සූදානම් නොවූ නිසා මා පිටව යාමට සූදානම් වූයෙමි. ඈ සැමදාම අවීශ්ටත් සමඟ බත් මුලක් බැඳීමට සැදී පැහැදී සිටියාය.
“ටිකක් ඉන්න ළමයෝ…අද ඇහැරෙන්න ටිකක් පරක්කු වුණා…කළුවර නිසා මං හිතුවේ තාම එළි වෙලා නැහැ කියලා…”
ඈ කෑම පාර්සලය ඔතන තුරු මම ආලින්දය දෙසට පැමිණියේ ගුණතුංග මාමා මා බලාපොරොත්තුවෙන් ඇතැයි සිතාය. තාත්තා ද ආලින්දයට වී පුවත් පතක් කියවමින් සිටිනු දැක මම පුදුම වූයේ ඔහු මෙදින නිවසේ සිටිනු දකින්නට බලාපොරොත්තු නොවූ නිසාවෙනි.
“අදත් ක්ලාස් යන්නද…?” තාත්තා මා දැක මවිතයෙන් ඇසුවේය.
“ඔව්…අදත් ක්ලාස්නේ…අද සිකුරාදනේ…”
මම සිහි කළේ එය තාත්තා ට අමතකව ඇතැයි සිතාය.
“අද ඔයා ගෙදර ඉන්න…”
කවදාවත් නොවූ ලෙස ඔහු පැවසුවේ මා පුදුම කරවමිනි.
“ඒ ඇයි තාත්තේ…කවදාවත් නැතුව…?”
“අද මගේ යාළුවෙක්ගේ ෆැමිලි එකේ අය අපේ ගෙදර එනවා…ලන්ච් වලට…”
“එයාලා ඇවිත් යයිනේ…මම මොකටද මගේ වැඩ පාඩු කරගන්නේ…? අපිට එක්සෑම් එකත් ළඟයි…” නොසතුටෙන් මම කීවෙමි.
“ඔයා හිටියා නම් හොඳයි…දුව…”
තාත්තාගේ වහෙන් ඔරෝ කතාව මා සිත් ගත්තේ නැත. කීප දිනක පටන් ඔහු වටෙන් නහය අල්ලන්නට සැරසෙයි.
“හිටියා නම් හොඳයි කියන්නේ…නොහිටියා කියලා නරකකුත් නැහැ කියලානේ…? කවුරු ආවා වුණත් මට මගේ වැඩ පාඩු කරගන්න බැහැ…මං යනවා තාත්තා…”
එසේ කියා මා මිදුලට බැස්සේ නැන්දා මා අමතන හඬද නොතකාමය. උදෑසනම මා සිත නොසන්සුන්ය. ඒ අතරේ ගුණතුංග මාමාද මෝටර් රථය සෝදමින් සිටිනු දැක එය තවත් වර්ධනය විය.
“මාමේ…ඔයා ලැහැස්ති වෙලා නැහැනෙ…”
ඔහු සිය කාර්යය නවතා හැරී බැලුවේ මවිතයෙනි.
“ලොකු දුව අද මේ පන්ති යන්නද…? මාවන් කිව්වේ අද යන්නේ නැහැ කියලා…”
“එයා නෙවේනේ…යන්නේ…මමනේ…මම කිව්වේ…මාමට ඊයේ….”
“අනේ…මම දන්නේ නැහැ ලොකු දුව… මාවන් මට මේ දැන් කිව්වේ…ඔයා.අද යන්නේ නැහැ කියලා…ඉන්න මං ඉක්මනින් ලැස්ති වෙලා එන්නම්….”
“එපා මාමේ…ඕන නැහැ….මට ට්‍රයිෂෝ එකක් නවත්තලා දෙන්න…මම යන්නම්…”
නොපහන් සිතින් මම කීවෙමි. නැන්දා මිදුලට දිව ආවේ මා පිටතට ඒමට සූදානම් වන විටමය.
“අනේ…අනේ…බත් එක බඳින කල් වත් නොඉඳ දුවන් ආවා…”
මට සිතුණේ එයත් එපා යැයි කියා දමා ඒමට වුවද උදෑසනම අවදිව ඈ මහන්සි වී උයා දුන් බත් මුල දමා ඒමට සිත් නොවූයේ ඈ ගැන උපන් අනුකම්පාව නිසාය.
නැන්දාගේ කම්මුලක් සිප ගත් මම පාරට දිව විත් ගුණතුංග මාමා නවතා දුන් ත්‍රී රෝද රථයකට නැඟුණෙමි.
“මම ගිහින් එන්නම් මාමේ…හවස මාමා එන්න ඕන නැහැ…මම එන්නම්…”
මෘදු හඬකින් මම පැවසුවේ මීට පෙර කවදාවත් ඔහුට සැරෙන් කතා කර නොමැති නිසාය. පසුතැවිල්ලක් මා සිතේ ඇති විය. මේ සියල්ලටම මුල තාත්තාය. මඳ දුරක් පැමිණෙන විට මා සිත කෙමෙන් කෙමෙන් සන්සුන් වන්නට වුවද එය මුළුමණින්ම පහව ගියා කියා මම නොසිතමි. නදීරාත් කැඳවාගෙන යෑමට ඇගේ නිවස අසළට එන විට අවීශ්ගේ රථය දුර තියා දුටු මා සිතේ පුදුමයකුත් සතුටකුත් එක සේ ඇති විය. මම ත්‍රී රෝද රථයෙන් බසින විටම නදීරා දුවගෙන මවෙත පැමිණියාය.
“මොකද අනේ…කෝල් ගන්නවා…ගන්නවා…ෆෝන් ආන්සර් නැහැ…”
දුරකථනය හැඬ වෙන හඬ හෝ මට එය බැලීමට හෝ සිහියක් නොතිබීම පුදුමයකි.
“ඇහුණේ නැහැ…”
යාන්තමට හෝ මුවට සිනහවක් නංවා ගැනීමට උත්සාහ දරමින් මම කීවෙමි. අවීශ්ගේ රථය ඇති නිසා ත්‍රී රෝද රථය පිටත් කළ අපි එයට නැඟුණෙමු.
“මොකෝ අවුල නදීරා…?”
ප්‍රසාද් රථය ඉදිරියට ධාවනය කරන අතරේ අවීශ් විමසුවේ ඔහුගේ විමසිළිමත් දෑසට සියල්ල හසුව ඇති නිසාවෙන් විය හැක. නදීරාද මවෙත හැරුණාය.
“මාත් මේ අහන්න හිටියේ…අද ආරණ්‍යා මිස්ගේ මූණ හරි නැහැ…”
ප්‍රසාද් ද පසුපස බලන කන්නාඩියෙන් මදෙස බලමින් කීවේය.
“මූණ සත පහ වෙලා…මාත් දැක්කා…මොකෝ වුණේ…?” නදීරා මගේ සුරත තද කරමින් කීවාය.
“අද උදේම තාත්තා මූඩ් අවුල් කළා…” නොසතුටෙන් මම කීවෙමි.
“මූණ බලපුවාම පේනවා…නේ ප්‍රසාද් අයියා..?” නදීරා කීවේ විහිළුවට නොවේ.
“ඒකනේ…නදීරා මිස්…ආරණ්‍යා මිස් අවුලෙන් කියන්නේ…අපේ සර්ත් අවුල්…”
මා මුවට යාන්තම් සිනහවක් නැඟිණි. ඒ මොහොතේ මට ඔහුගේ මුහුණ බලා ගන්නට තිබුණා නම් කියා මට සිතිණි.
“ඔව්…ඔව්…වෙන නැතුවට…” අවීශ් ගෙරවිළි හඬින් කීවේය.
“නැතුවට නේන්නම්…දැන් කවුද එතකොට ආරණ්‍යා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියා, කියා නාහෙන් අඬ, අඬා හිටියේ…ත්‍රී වීල් එකෙන් බහින කොටම මොකක් හරි අවුලක් කිව්වේ…දිවැසින්ද…?”
නදීරා ඔහුට වද කරන්නට වන විට මම පුදුම වූයේ මේ සියල්ල එලෙස සිදු වූවාද කියාය. මම වහා බෑගය හැර ජංගම දුරකථනය අතට ගෙන එය පරීක්ෂා කළේ නදීරා කීවේ ඇත්තමදැයි දැන ගන්නටය. එහි මඟ හැරුණු ඇමතුම් විස්සක් පමණ වූ අතර ඒවා නදීරා සහ අවීශ් ගත් ඇමතුම් විය.
“මං උඹව අල්ලා ගන්නම්…”
ඔහු පිටුපසට හැරී නදීරාට තර්ජනය කළේය.
“අපි යාළුවෝනේ ඉතින්…”
“මරණවා උඹව…”
“අනේ මාව බේර ගනින්…ආරාණ්‍යා…”
නදීරා කෑගැසුවේ අවීශ් සැබෑවටම එයට සැරසෙන්නාක් මෙනි. මා මුවින් සිනහවක් පිට පැන්නේය.
“ඔන්න දැන් තමා හරි…”
ප්‍රසාද් කියන විට මම සිනහව සඟවාගෙන ඉවත බලා ගතිමි.
**** **** **** **** **** ***** **** **** ********* **** **** **** **** ***** *
පිටත සිහින් වැස්සක් ඇද වැටේ. පරිසරය අඳුරුය. එහි අමුතු සුන්දරත්වයක් ඇතැයි මට සිතිණි. දිවා විවේකයේ අපි අසල වූ කුඩා කෝපිහලකට පැමිණියේ කිරි කෝපි බීමටය. මා මෙන්ම අවීශ්ද කිරි කෝපි ප්‍රිය කළේය. අපි තිදෙන එක මේසයකත්, තේෂාන් ටිරෝන් සහ තෙෂාරා එක් මේසයකත් හිඳ සිටියෝය. උදෑසන මා නොසන්සුන්ව සිටියේ මන්ද කියා අවීශ් ට දැන ගන්නට ඕනෑ වී තිබිණි. ඔහු මෙතෙක් ඒ පිළිබඳවම සිතමින් සිටියා වන්නට ඇතැයි කියා සිතූ මා ඒ පිළිබඳව සතුටු වූයේ ඔහු මා පිළිබඳව වද වෙනවා දකින්නට ආසා වූ නිසා වන්නට ඇත.
“දැන්වත් කියනවා…උදේ ඉඳන් ඕක දැනගන්නකල් ඉවසිල්ලක් නැතුව ඉන්නේ…නැත්නම් අද රෑට ගෙදර ගිහින් නිදා ගන්න එකකුත් නැති වෙයි…”
මා මුවේ සිනහවක් නංවමින් නදීරා කියන විට එය එසේදැයි අසන බැල්මකින් මම ඔහු දෙස බැලීමි. අපි තත්පර ගානක් එලෙස බලා හිඳින්නට ඇත. මට ඔහුගේ සිතුවිලි කියවන්නට හැකි වූවා නම්…?
“කියන්න අනේ…වේලාව ඉවර වෙන්නත් ළඟයි…”
නදීරා ඇවිටිලි කරන විට මම එය ඔවුන් සමඟ පැවසුවෙමි.
“මොකක්…? ෂුවර් එකටම ඔය අර එදා එක්ක ආවා කිව්ව උණහපුළුවගේ ගෙදර අය වෙන්නැති…දැන් ඉතින් හුට්ටප්පර ජාලයයි…ඕක නම් පුතෝ ප්‍රොපෝසල් එකක්…දැන් ගැලවිල්ලක් නැහැ…ඔයාව බන්දලා තමා තාත්තා පස්ස බලන්නේ…”
නදීරා එක දිගටම කියවාගෙන ගියේ මා සිත තුළ අලුත් තැති ගැන්මක් ඇති කරමිනි. අවීශ් නිහඬ කල්පනාවක නිරතව සිටියා විනා කිසිත් නොකීවේය.
“ඕක මටත් නොහිතුණා නෙවේ නදීරා…”
සුළු මොහොතක නොහැඬියාවකින් පසු අවීශ් කීවේය.
“දැන් මොකද කරන්නේ…?”
“මොනවා කරන්නද…? මං හවස් වෙනකල් ගෙදර යන්නේ නැහැ…එච්චරයි…” හිතුවක්කාර ලෙස මම කීවෙමි.
“හ්ම්ම්…තාත්ත බය වෙලා ඇති…” නදීරා යළිත් කීවාය.
“අර මොකටද…?” මවිතයෙන් මම ඇසීමි.
“අද කාලේ වෙන දේවල් නිසා…අනික ඉතින් නංගී කරන හිතුවක්කාරකම් නිසා ඔයත් එහෙම කරයි කියලා හිතන් ඉන්නවා වෙන්න බැරිද…?”
“විකාර…නංගී වෙනයි…මම වෙනයි…වෙනදට මා එක්ක හැමදේම කතා කරන තාත්තා…දැන් මේ කරන හැංගී මුත්තන් සෙල්ලම ගැන මට හරි තරහයි…”
“එයා තවත් බය වෙන්න එක හේතුවක් තමා…එයාගේ එනමි ගේ පුතා එක්ක…ඔයාගේ තියෙන ආශ්‍රය…”
අවීශුත් මාත් එකිනෙකා දෙස බැලීමු. ඒ දෑස් වල වෛරයක් නැත. ඔහු දෑස් වලින් පවා සිනහාසෙන සෙයකි. ඔහු කෙනෙකුට වෛර කරන කෙනෙකු නොවන බව මට විශ්වාසය. තරහා ඇත්තේ තාත්තාත් දැරණියගලත් අතර නම් එයට අපව ගාවා ගන්නේ මන්ද…?
“ඕකෙන් වෙන්නේ මායි තාත්තායි අතර පළුද්දක් ඇති වෙන එක විතරයි…”
“අපරාදේ අනේ…තාත්තා අද අර කට්ටියව ගෙදරට ගෙන්නලා ඔයාට සර්ප්‍රයිස් එකක් දෙන්න හිතන් ඉන්න ඇත්තෙ…”
“ඔව්…මට එච්චරයි අඩු…” මම අසුනින් නැඟී සිටිමින් කීවෙමි.
“ඔන්න අවීශ් බලන් ඉඳලා හරියන්නේ නැහැ…දැන් නම් මොනවා හරි කරන්න වෙනවා…”
ඔහු එයට මඳහසක් පාමින් මා අනුගමනය කර අසුනින් නැඟී සිටියේය. ඔහු කියා කුමක් කරන්නද..? තාත්තාට වුවද මගේ ජීවිතයට බලපෑමක් කරන්නට මම ඉඩ නොදෙන්නෙමි. මේ සියල්ලෙහිම පිටුපස සිටිමින් තාත්තා උසි ගන්වන්නේ පුංචි අම්මා විය නොහැකිද කියා සැකයකුත් මා සිතේ ඇති විය.