මන්දාරමෙන් එහා – 02 – Mandaramen Eha
ගිරාතලාන වැවේ පිටවාන අසල අතුපතර විහිදී ගිය සුවිසල් කුඹුක් ගසකි. ගසේ කඳට හේත්තුවන්නට බට පතුරුවලින් ආවරණය කර,පොල් අතු හෙවිල්ලූ කුඩා කඩ පියසකි.වෑකන්දත්,කඩපියසත් යාවන ඉඩ පරාසයේ දකුණු පසට වන්නට තැනූ ලී බංකුවේ ගැමියන් කිහිප දෙනෙකු වාඩිලා දාං අදිමින් සිටිති. එම බංකුවට මුහුණ ලා ගල්ගෙඩි තුනක් මත තබා ඇති තඹ හැලියකි. හැලිය වසා ඇති පියන වටෙන් දුම් දමමින් එය උඩට සෙලවෙයි.උඩු රැවුල වැවූ තරමක් වයසැති මැදිවිය ඉක්මවූ ගාම්භීර පෙනුමැති පුද්ගලයකු කඩය තුළ සිට එලියට පැමිණියේය. තම දබරැඟිල්ල හා මැදගිල්ල එක්කොට දෙතොල් මත තැබූ ඔහු,ඇඟිලි කරු අතරින් බුලත් කෙළ පහරක් මුදාහැරියේය. අනතුරුව එක් අතක් නළල මත තබා සැස්සේරුවට ඉහලින් අහස නිරීක්ෂණය කළේය.
“පේන මානෙක වැස්සක ලකුණක්වත් නෑ බොලල්ලා…”
යැයි කීවේ බංකුව මත දාං අදිමින් හුන් ගැමියන්ටය.
“මෙදා යලත් පාළු වේවිද කුලේ මාමා..”
බංකුව අසළ දාං සෙල්ලම බලා හුන් අමුතු පෙනුමක් සහිත මිටි,කලු,තරබාරු කොළු ගැටයා එසේ කීවේ ඇඟමැලි කඩා කට පළල් ඈනුමක්ද අරිමිනි.
“යළ,මහ දෙක විතරක් නෙවේ.. මුළු ගමම පාළු වේවි ඔහොම ඈනුම් ඇරියම වහගං බොගෙ ඔය බෝක්කු කට ජිල්බුවෝ..”
කුලතුංග මුදලාලි එසේ කියත්ම ගැමියන් පිරිස හඬ නගා සිනාසෙන්නට වූහ.” ජිල්බු”යැයි හැඳින්වූ කොළුගැටයාගේ මුහුණ අඳුරු විය. ඔහු පොලොවට රවා ගත්තේය. නිරුවත් උඩුකය අතකින් පිරිමදිමින් කුලතුංග මුදලාලි දුම් දමන හැලිය වෙත ආවේය. හැලියේ උඩු පියන විවර කළ ඔහු, දිග මිටකින් යුතු අගට ටින් කැබැල්ලක් සවි කළ හැන්දකින් ඇළුමිනියම් ජෝගුවකට උණුවතුර පිරවූයේය.
“ඕං අදත් අතින්,කටින් එල්ලගෙන යනවා දැක්කා..”
ඒ හඬ දාං අදිමින් සිටින ගැමියෙකුගේය. තේ ගොට්ටට උණුවතුර දමා මිරිකන ගමන් කුලතුංග මුදලාලි ගැමියන් දෙසට බෙල්ල දිගු කළේය.
“ඈ බං මහතුවෝ.. මොකාද ඔය අතින්,කටින් එල්ලන් ගියාය කිව්වෙ..”
“වෙන කවුදෑ ඉතිං.. අර සමන්තියගෙ ගෙට රිංගන ආමිකාරය මිස..”
“බින්න ඇදබාන්නෙපා මහතුං අයියේ..”
ජිල්බු එසේ කියමින් ගැමියන් මැදට පැන්නේය.
“මේ මොකද බොල මේකාට ඩෝං ගියේ..”
“ඇයි මේකත් උදේ හවා සමන්තියගෙ දුක සැප හොයන්න එහෙ ගාටනවනෙ.. ඒක වෙන්ටැ..”
නැවතත් පෙර ලෙසම ගැමියන් අතර මහ හඬින් සිනහවක් පැතුරුණහ. එය මොහොතකින් මැකී ගියේ කුලතුංග මුදලාලි
“කාලිය..කාලියා..”
කියමින් කඩේට රිංගූ නිසාවෙනි. වෑකන්දේ ඈත සිට කඩය දෙසට කිසිවෙකු එමින් සිටියේය. එකිනෙකා නිහඬව තමන්ගේ කාර්යයන්හි නිරතවද්දි, ජිල්බු කළේ කඩය දෙසට එමින් සිටි පුද්ගලයාගේ විරුද්ධ දෙසට හිමින් සීරුවේ අඩි තැබීමයි.
“ඒයි.. ජිල්බුවෝ .. ඔහොම හිටිං..”
ඒ ඇමතුම ජිල්බුට ලැබුණේ කඩය දෙසට එමින් සිටි පුද්ගලයාගෙනි. එසවූ පය එලෙසම බිම ගැසූ ජිල්බු බෙල්ල කරකවා ඔහු එන දෙස බැලූයේ රොබෝ කෙනෙක් මෙනි.
මුහුණ පුරා වැඩුණු රැව්ලක් සහිත,කාලවර්ණ හැඩි දැඩි දේහයක් ඇති තරුණයෙකු ජිල්බු දෙසට එමින් සිටියේය. කුඩා කෝටු කැබැල්ලකින් දත් අතුල්ලමින් එන අතරතුර ඔහු එක කකුලක් ඔසවා අතකින් සරමේ පොටක් ගෙන කැසකවා ගත්තේය. “තුහ්” කියා කෙළ පිඩක් ගැසූ ඔහු ජිල්බුගේ සරම් ගැටයෙන් අල්ලාගත්තේය.
“මොකෑ උඔ ආඳා ලිස්සනව වගේ මං එනව දැකලා පයින්න හැදුවෙ..”
ජිල්බු ඒ මේ අත ඇඹරෙමින් බයාදු හිනාවක් පායි.
” මොකෑ උඔ අලුත ගෙනා මනමාලි වගේ විරිත්තන්නෙ…. කියහං ඉතිං..”
“අම්මපා මං නෙමේ කාලිංගයියා…. ආං අර මහතුවා…”
ජිල්බු ඇගිල්ල දිගුකොට ගැමි තරුණයෙකු පෙන්වීය. කාලිංග ජිල්බුව සරම් ගැටයෙන් ඇදගෙන ගැමියන් සිටින බංකුව වෙත පැමිණියේය.
පිරිස වහා එහා මෙහා වූහ. බංකුව මත තිබූ දාං බෝඩය එක් අතකින් පැත්තකට තල්ලු කර දැමූ ඔහු ජිල්බුව ඔහු අසල ඉන්දවීය.
“දැන් කියහං.. අකුරක් නෑර මෙතන වෙච්ච සංගදි ටික.. ඉස්පිල්ලක්,පාපිල්ලක් හරි එහෙ,මෙහෙ උනොත් දන්නවනෙ උඔට වෙන දේ..”
“මහතුව තමා කියව්වෙ ආමිකාරය අතින් කටින් එල්ලගෙන් සමන්ති අක්කලෑ දිහා ගියාය කියලා.. බොරුනං කුලේ මාමගෙං අහපං මං නෑ කිව්වා.. මූ මටත් ඇණුම් පද කීවා.. සමන්ති අක්කා පාවලා.. බංඩාර මුත්තා පල්ලා කාලිංගයියා.. තාරුකා අක්කා ගැනනං කටේ කෙළ බිංදක් හැලුවේ නෑ ඕං..”
කට්ටඩියකු මන්තර ජප කරන්නාක් මෙන් ජිල්බු මුළු කතාවම හැල්මේ කියාගෙන ගොස් හුස්මක් උඩට ඇද කෙල පිඩක් ගිල්ලේය. කාලිංග හැරුණේ ගැමියන් දෙසටය.
“මේ අහපල්ලා…. මට ඉන්නෙ නංගිලා දෙන්නයි… හිතූමනාපෙට දීග ගිහින් එකියක් කණවැන්දුම් උනා තමයි. ඒකයි අනිත් එකී ඇවැස්ස මස්සිනාට දීග දෙන්න තනන්නෙ.. කඩපිළවල්වල මගෙ නංගිලාට මිනිස්සු ජෝඩු කරන්න කතා කරලා ආයෙ මගේ කනට ඇහුණොත්… උඔලා මට කියන්නා වගේ…. මේ කාලිංගගේ කාලි වරම බලාගන්න පුළුවන්….”
දාං බෝඩය පොලවේ ගසා කඩේ එල්ලා තිබූ කෙසෙල් කැන වෙත ගිය කාලිංග, එයින් ගෙඩි කීපයක් ගලවා අතට ගත්තේය. එකක් ලෙලි හැර ගෙඩිය පිටින් කටේ ඔබාගත් ඔහු තව ගෙඩියක් ගෙන ජිල්බු අත තැබීය. කාලිංග වාන දෙසට යන්නට හැර පිරිසට දිව ඇදකොට විරිත්තූ ජිල්බුද දුව ගොස් ඔහු හා එක්වීය.
සමන්තීගේ නිවසට එමින් සිටි ශාරිකගේ නැගණිය සරලා, කඩුල්ල අසලදී ගමනේ වේගය අඩු කළාය. ඒ සමන්තීගේ කුඩා පුතු සමඟ ගෙමිදුලේ සෙල්ලම් කරන තරුණයා දැකීමෙනි. අඩක් නිමකළ නිවසේ බිත්තියකට පිටදී එදෙස සිනාමුසු මුහුණින් බලා හිඳිනා සමන්ති නිවස දෙසට පැමිණෙන සරලා දුටුවාය.
“කවී… අන්න සාලු පුංචි එනවා..”
යැයි හඬ ගා ඇය සිය පුතුට ඇසෙන්නට කීවාය. තරුණයාගෙන් මිදුණු පුතු සරලා එන පෙරමගට දිව්වේ ඇගේ නම කියා කෑගසමිනි. තරුණයා සරලා දෙස වරක් බලා ඒ බැල්මම සමන්තී වෙත පාකර හැරියාය.
“නැන්දි මේ.. අප්පච්චි ගෙනාවෙ..”
කුඩා පුතු දෑතෙහි ඇති සෙල්ලම් බඩු සරලා වෙත පාමින් පැවසුවේ ප්‍රීතියෙන් උඩ පනින අතරවාරයේය. පුතුට සිනහ වූවද ඇගේ මුහුණෙන් සිනාවක ලකුණු පහල වූයේ නැත. කුඩා පුතුව ඔසවාගෙන එන පෙරමග හිනැහෙන තරුණයාට ඇය මදහසක් පෑවාය.
“නිවාඩු ආවද අයියේ..”
“ඔව් නංගී.. එන ගමන්.. පොඩි එකාව බලලා යන්න ආවෙ..”
ඔහු කීවේ වැරැද්දක් කර අසුවූ දරුවෙකු වැඩිහිටියන්ට නිදහසට කරුණු කියනා ස්වරයෙනි. සමන්තීද ඔවුන් අසලට පැමිණියාය.
“ලක්මාල්ට ඉඳගන්නවත් දුන්නෙ නෑ මේ ළමයා නංගී…. ආව වෙලාවෙ ඉඳලා අප්පච්චී ,අප්පච්චී කිය,කියා සෙල්ලමමයි.. දැන් පැය කීයක්ද….”
සරලාගේ බැල්ම සමන්තී වහා හඳුනාගත්තාය. තමා අනවශ්‍ය යමක් කීවා නොවේදැයි ඇයට සිතුණේ,ලක්මාල් කියන්නට වචන හොයනවා මෙන් ඒ මේ අත බලද්දීය.
” ගල්ගමුවට යන්න බස් එක කීයටද සමන්තී..”
“කටුගම්පළගමින් එන්නෙ පහයි දහයට ලක්මාල්…”
“එහෙනම් මම යන්න ඕනෙ… ඒක මගෑරුනොත් ආය යන්න එකකුත් නෑනෙ..”
“තව වෙලා තියනවනෙ..ආවට ගෙටවත් ගොඩවුණේ නෑනෙ… ඉන්න මං තේ එකක් හදන්නම්..”
“ඒකට කමක් නෑ සමන්ති.. බස් පාරට ඇවිදගෙන යද්දි වෙලාව හරියයි….නංගී.. පුතාව ටිකක් ඇතුලට අරන් යනවද.. නැත්තං මෙයා මට යන්න දෙන එකක් නෑ..”
දරුවාද කිහිළි ගන්වාගෙන සරලා ගෙට වැදුනාය. ලක්මාල් බිත්ති කන්ද මත තිබූ බෑගය ගෙන හරහට කරේ ලා ගත්තේය.
” යන්නම් සමන්තී.. ආපහු යන්න කලින් තව දවසක් දරුවා බලලා යන්න එන්න බලන්නම්..”
“පිං සිද්ධවෙනවා ලක්මාල් .. මගේ කොල්ලව එක දවසක් හරි මෙහෙම සතුටින් තිබ්බට…”
“මං මේ දේවල් කරන්නෙ පිං එකතු කරන්න නෙවෙයි සමන්ති. වසන්ත වෙනුවෙන් එයාගෙ හොදම යාලුව විදිහට වෙන්න ඕනෙ යුතුකම. එකකුස ඉපදුනේ නැති උනාට,මායි වසන්තයි හිටියෙ සහෝදරයෝ වගේ..”
“ඇයි වසන්ත මෙච්චර ඉක්මනට මායි දරුවයි දාලා ගියේ ලක්මාල්…”
ඒ හඬ ආවේ සමන්තිගේ උගුරෙනි. තවත් තප්පර කීපයකින් ඇගේ දෑස් කඳුලෙන් පිරිනි. සමන්තීගේ හිස දෙසට එසවුන ලක්මාල්ගේ අතක්,යමක් සිහිකැඳවීමකින් මෙන් යළි පහත හෙලුවේය.
“සුරංගනා කතා කියලා රවටන්න ඔයා පොඩි ළමයෙක් නෙවෙයි සමන්ති… ඒත් මගේ හිත කියනවා වසන්ත කොහේ හරි ජීවත් වෙලා ඇති කියලා…”
තවත් තත්පර කිහිපයකින් ඔහු කඩුල්ල පැන අවසන් ය. අරමුණකින් තොරව ඔහු යන දෙස බලා සිටි සමන්තී ආපිට හැරුණාය. ඒ මොහොතේ සරලා උන්නේ ඇගේ පිටුපසය. ඇය පිටිඅල්ලෙන් කඳුලු හූරා සංසුන් වන්නට වෙර දැරුවාය.
“කෝ නංගී දරුවා..”
“අතේම නින්ද ගියා… මම පැදුරෙන් තියලා ආවෙ..”
“ඒක හොඳා… නැත්නං මෙතන අප්පච්චි ගියා කියල බෙරිහන් දෙද්දි මට මැරෙන්න හිතෙනව නංගී..”
“මෙහෙම බොරු කරලා තව කොච්චර කාලයක් හිත රවට්ටගන්නද අක්කා..”
එකුස උපන් සොයුරියක නොවූවද මේ නෑ සොයුරිය කියන්නේ කුමක්ද යන්න සමන්තීට හොඳින් වැටහේ. සැමියා අහිමි ගැහැණියට මේ සමාජය පුදන බුහුමන්ද ඇය හොඳින් දනී. එසේ කියා තම පුතු මේ නන්නාඳුනන තරුණයාගෙන් ලබන පියෙකුගේ සෙනෙහස උදුරා ගන්නේ කෙසේද..? දරුවාගේ සැනසීම වෙනුවෙන් මේ අසම්මත බැඳීමට ලොබ දැනෙනවා විනා, වසන්ත නොමැති හිඩැස මේ ආගන්තුක බැඳීමෙන් පිරවිය නොහැකි බව, තාම විසිවියවත් නොඉක්මවූ තම නෑ සොයුරියට වටහා දෙන්නේ කෙසේද..?
“ඒ ගමන ඔයා බිත්ති අතගගා ගඩොල් ගනිනවද අක්කා…”
“නෑ සරලා.. මං මේ ගනින්නෙ වසන්තගෙ මතක..”
“අයියා නැති අඩුව අපිටත් දැනෙනව අක්කා… දරුව ගැන හිතලවත් හිත හදාගන්න..”
“දරුව ගැන හිතද්දි තමා හිත හදාගන්න අමාරු නංගි..”
“දරුවෙක් එක්ක තනිවුන මේ ලෝකෙ එකම ගෑණි ඔයා නෙවෙයි..”
“ඔයාට තේරෙන්නෙ නෑ නංගී.. මිනිහෙක් නැති ගෑණියෙක්ට ඒ දුක බදාගෙන විඳවනවා ඇරෙන්න බෙදාගෙන විඳින්න බෑ…”
සරලා ඉන් එපිට කිසිදු වචනයක් කියන්නට නොගියාය. ඇය තම එකුස උපන් සොයුරා ශාරිකට මෙන් සමන්තීටද දැඩිව ආදරය කළාය. තම ඇවැස්ස නෑනා වූ තාරුකාට වඩා ඇයට ළංව උන්නාය. මේ බැඳීමට දෙන්නට නමක් ඈ දැන උන්නේ නැත.
කාලිංග ගුරුපාරේ ඒ මේ අත ඇවිද ගියේ නොඉවසිල්ලෙනි. ජිල්බුද ඒ සමාන වේගයෙන් කාලිංග පසුපසම යයි. වරක් ඉදිරියට ගොස් ආපසු හැරුණු කාලිංගගේ ඇඟේ වැදී ජිල්බුව පසෙකට වීසි විය.
“කේජු කන්නද යකෝ මගෙ පස්සෙ කැරකෙන්නෙ..”
“ඔය බලහල්ලකො ඉතිං දැන් කියන දිව දෙකේ කතා.. ඉස්සෙල්ල කීව නොවැ පොල්ලත් ඇන්න මගෙ පස්සෙම වර කියලා..”
“ඒ ඉස්සෙල්ලා…. කණ පලාගන්නෙ නැතුව දැන් පැත්තකට වෙලා හිටු..”
“එතකොට මේ පොල්ල…..”
“ඒක ගහගං තොගෙ………………..
කාලිංගට ඉතිරිය කියාගන්නට ඉඩක් ලැබුණේ නැත. ලක්මාල් වෙල් යායෙන් පාරට මතු විය.
“ආං…. ඔය එන්නෙ සොල්දාදු උන්නැහේ.. මෙහාට දීපිය ඔය පොල්ල…”
කාලිංග ජිල්බු අත තිබූ මුඟුර උදුරා සිය දෑතේ සිරකර ගත්තේය. ඇස් ගෙඩි දෙක එළියට පනින තරමට අයාගෙන ජිල්බු තමන් දෙසට එන ලක්මාල් දෙසත්,කාලිංග දෙසත් මාරුවෙන් මාරුවට බැලීය.
මන්දාරමෙන් එහා