Hima Mal Renu හිම මල් රේණු
පන්තියට ආ සැණින් මම සෙව්වේ තෙෂාරාවය.ඈ එතෙක් පැමිණ නොසිටියාය.පසුගිය දින කීපයේ ඈ අප සමඟ වුවද එතරම් කතා බහක් නොකළ තරම්ය. ඇගේ බුම්මා ගත් මුහුණට හේතුව ටෙලාන් සමඟ ඇති කරගත් ආරවුළක් ද කියාත් සැකයක් මා සිතේ ඇති වී තිබිණි. මා මේ තරම් ඒ පිළිබඳව උනන්දු වූයේ ඔවුන්ගේ සබඳකමට අතරමැදියෙක්ද එකතුව සිටි නිසාය. ඒ වෙනත් කිසිවෙකු වූවා නම් මා ඒ පිළිබඳව උනන්දු වන්නේ නැත. නංගීව කෙසේ හෝ ටෙලාන් ගෙන් මුදවා ගත යුතු බව පමණක් මගේ සිතේ වූ කාරණය විය.
“අද තෙෂාරා ක්ලාස් ආවේ නැද්ද…?” මම නදීරාගෙන් විමසීමි.
“ආවේ නැත්තේ නැහැ…ආවා…”
උපහාසය මුසුව ටිරෝන් කියන විට මම පුදුමයෙන් ඔහු දෙස බැලුවේ ඒ කීමේ අරුත වටහා ගන්නට නොහැකිවය.
“ඒ මොකක්ද ඒ හතර බීරී කතාව…?”
“එයා ක්ලාස් එක ඇතුළට ආවේ නැහැ…ළඟට ආවා…වෙහිකල් එකෙන් බැස්සා…ඒක ගියාම ටෙලාන් එක්ක කතා කර කර ඉඳලා එයා එක්ක ගියා…”
“ටෙලාන්…?”
කෝපයකුත්, පිළිකුළකුත් මා ගත කිළිපොලා දැමීය.
“ඔව්…ඔව්…එයා තමා…වෙන කවුද…?”ටෙලාන් යළිත් කීවේය.
“අපරාදේ…පන්තියත් නැහැ…මේ කෙල්ලට නම් පිස්සු…” මම කීවෙමි.
“ක්ලාස් කට් කරලා ඉතින් කොහෙ යනවද කවුද දන්නේ…? කතා බහ කරන්නම නෙවේනේ මීට් වෙන්නේ…”
තේෂාන් කියන විට මා ගත හිරි වැටී ගියේ නංගී සිහි වීමෙනි.
“ටෙලාන්ට ඕවා අමුතු දේවල් නෙවේ…”
ටිරෝන් යළිත් කීවේ මා බිය ගන්වමිනි. ඔහු නංගීවත්…? නැත…නැත…එසේ විය නොහැක. මා උත්සාහ කළේ මා සිත සනසා ගන්නටය. මේ සියල්ලටම වැරදි පුංචි අම්මාය. ඈ තාත්තා ඉදිරියේ මගේ නැති අඩු පාඩුත් සෙවූවා මිස, නංගී පිළිබඳව සොයා බැලුවේ නැත. මා ගැන ගතු කේළම් කීමට තිබූ උනන්දුව, වුවමනාව නංගී පිළිබඳව සොයන්නට තිබුණා නම් මෙළෙස සිදු වන්නේ නැත. තාත්තාට මේ පිළිබඳව පවසන්නට වුවමනා වුවද, එය කරන්නේ කෙසේද කියා මට වැටහුමක් නොවීය.
“රැවුලත් බේරන් කැඳත් බොන්නයි දැන් වෙලා තියෙන්නේ.” මම මටම කියා ගතිමි.
“මොකෝ ආරාණ්‍යා මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
නදීරා මා සවනට කර විමසන විට මම තිගැස්මෙන් ඈ දෙස බලා සිනහවක් නඟා ගැනීමට උත්සාහ කළෙමි.
****** ****** ******* ****** ******* ******** ****** ****** ******* ******
අවීශ්ගේ නිවස පිහිටා තිබුණේ නගරයෙන් මඳක් බැහැරව නිහඬ වටපිටාවක් සහිත පෙදසකය. නිවස වටා උස්ව නැගුණ තුරු වලින් සෙවන වූ අතර ගෙවත්ත පුරාම විවිධ වර්ගයේ මලින් අලංකාර වී තිබුණේ ඒවාට මනා සාත්තුවක් ලැබෙන බව කියා පාමිනි.
“ෂා…! හරිම ලස්සනයි අවීශ්…මාර සයිලන්ට්…” නදීරා වටපිට බලමින් කීවාය.
“ලස්සන බලන්න බැරියැ පස්සේ…යමු ඇතුළට…”
අපි තවමත් මිදුලට වී සිරි නරඹමින් සිටිනා විට අවීශ් ඇරයුම් කළේය. ටිරෝන් සහ තේෂාන් සමඟ ඔහු පෙරමුණ ගන්නා විට මාත් නදීරාත් ඔවුන් පසුපස පියවර තැබීමු. එය විසල් දෙමහල් නිවසකි. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයකට සෑදූ නිවසින් විහිදී ගියේ මහේශාක්‍ය බවකි. අවීශ් අපට අසුන් පනවා ගෙතුළට වැදුණේ අම්මා කැඳවා ගෙන ඒමටය. තේෂාන් කියූ ලෙස ඈ පසුවන්නේ අසනීපයෙනි. මා මනසේ ඇඳී තිබුණේ වියපත් වූ දුර්වල කාන්තා රූපයක් වූ මුත් අවීශ් සමඟ පිටතට පැමිණියේ රූමත් නිරෝගී කාන්තාවකි. මා සිත සතුටට පත් වූයේ ඈ මා සිතූ තරම් දුර්වල, දුබල අයෙකු නොවූ නිසාය. ඈ දුටු මුල් මොහොතේම මට දැනුණේ යම් හුරුපුරුදු බවකි. ඈ අම්මා මුණ ගැසීමට නිවසට පැමිණ ඇතිවාට සැක නැති මුත් මා හට ඒ පිළිබඳව ප්‍රභල මතකයක් නොවීම අවාසනාවකි. ඈ අනතුරට පත් වූ බව කී වමත එල්ලා වැටෙන නිසා දකුණතින් එය අල්ලා ගෙනම සිටියාය. ටිරෝන් සහ තේෂාන් මිට පෙර ඈ දැක ඇති නිසාදෝ ඈ ආලින්දයට පැමිණියේ මාත් නදීරාත් වෙත දල්වා ගත් දෑසිනි.
“ගැහැණු ළමයි දෙන්නෙක් මාව බලන්න එනවා කියද්දී මං ඒත් පුදුම වුණා…මෙයාට කොහෙද ගැහැණු යාළුවෝ කියලා…”
ඈ සිනහාසෙමින් කියන විට මාත් නදීරාත් සිනහ මුවෙන්ම ඉදිරියට ගොස් දණ නමා ඇයට වැන්දෙමු.
“අම්මා මේ අපේ ක්ලාස් එකේ…මෙයා නදීරා…මේ ආරාණ්‍යා…”
අවීශ් අපව හඳුන්වාදෙන විට ඈ මදෙස බැලුවේ තිගැස්සුණු බැල්මකිනි.
“ආරණ්‍යා…?” ඈ පුදුමයෙන් කීවාය.
“ඇයි අම්මා…ඒක නිකන් පුදුමෙන් වගේ ඇහුවේ…?” අවීශ් වහා ඇසුවේ සැකමුසු හඬකිනි.
“ඔයාගේ තාත්තා…මාවන් අනුරුද්ධ අමරතිලකද…?”
ඈ එක් වරම මා විමසුවේ අවීශ් ඇසූ දෙයට පිළිතුරක් නොදීමය. මා නම ඇසූ සැණින් තාත්තාගේ නම කියා එසේ විමසන විට අවීශ්ද පුදුමයට පත්ව සිටියේය. ඇයට මගේ නම මතක තිබෙන්නට ඇත. ඈ අම්මාගේ මිතුරියයි.
“ඔව්…ආන්ටි…”
මම කියන විට ඈ මා අසළට විත් සිය වමත අල්ලාගෙන සිටි දකුණත මුදා හැර මගේ අතින් තරයේ අල්ලා ගන්නා විට වමත් ඔහේ එල්ලා වැටිණ.
“ආරණ්‍යා…” ඈ යළිත් කීවාය.
“අම්මා දන්නවද…එයාගේ තාත්තාව…නම කියපු ගමන් අම්මා ආරාණ්‍යාගේ තාත්තාගේ නමත් කිව්වානේ…?”
අවිශ් ඇසුවේ මවිතයෙනි.
“ආහ්…ඔව් පුතේ…මං දන්නවා…එන්නකෝ…අපි යමු…තේ මේසේ ලෑස්තියි…තේ ටිකක් බීලාම ඉමු…”
ඈ කතා බහ වහා වෙනස් කර අපට ඇරයුම් කළාය.
“එයාට ඔයාගේ නම මතකයි නේ…?”
නදීරා මට රහසින් කෙඳිරුවේ අවීශ් අම්මාද පෙරටු කොටගෙන යන අතරය. තේෂාන්ට හෝ ටිරෝන්ට මේ කිසිත් එතරම් වැදගත් දේ නොවීම වාසනාවකි. නොඑසේ නම් ඔවුන් හාර, හාරා ප්‍රශ්න අසන්නට ඉඩ තිබිණ.
“කෝ මේ ප්‍රසාද්…?”
නිරංගා ඇන්ටි එසේ ඇසුවේ අපි මැද මිදුලක්ද සහිත කෑම කාමරයකට පිවිසි විටය.
“ඒකනේ අපිටත් අමතක වුණා…”
තේෂාන් එසේ පවසන විට අවීශ් ඔහුව කැඳවා ගෙන ඒමට ගිය අතරේ නිරංගා ඇන්ටි මා ඇමතුවාය.
“ඔයාලා ගොඩාක් කාලයක් කොළඹින් ගිහින් හිටියානේ…කවද්ද ආයේ මෙහෙ පදිංචියට ආවේ…?”
“දැන් මාස හතරක් පහක් වගේ ආන්ටි…” මම කීවෙමි.
“එතකොට ආන්ටි ආරාණ්‍යාලව දන්නවද…?” ටිරෝන් පැනයක් නැඟීය.
“ඔව්…ඒ කාලේ අපි යාළුවෝ…”
ඈ පිළිතුරු දුන්නේ නොසැළකිලිමත් ලෙසිනි. ඈ එම අතීතය සිහි කිරීමට අකමැති වන්නට ඇතැයි කියා මට නිකමට සිතිණි. තාත්තා සමඟ අමනාපව සිටියා නම් ඈ මාව වුවද යළි නිවසට පිළිගනු ඇතැයි කියා සිතන්නට නොහැකිය.
“කෝ අනේ මේ දෙන්නා…?”
නදීරා කතාව වෙනතකට යොමු කරන්නට මෙන් විමසුවේ නිරංගා ඇන්ටි අපහසුතාවයට පත්ව ඇති බව වටහා ගත්තාක් මෙනි. ප්‍රසාද් ද සමඟ අවීශ් පැමිණියේ එවිටමය.
“කොහෙද අප්පා ගියේ…?” මම ප්‍රසාද් විමසුවෙමි.
“මෙයා කාමරේට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා…”
අවිශ් කීවේ ඔහුව බලෙන් මෙන් අසුනක් ඇද හිඳවමිනි.
“හරි ෂෝක්…අපිව එක්ක ඇවිත්…කාමරේට වෙලා ඉඳලා හරියනවද…?” මම නෝක්කාඩු කීවෙමි.
“ඇයි…දැන් ඔයා කියන්නේ ප්‍රසා ඇවිත් ඔයාට ආවතේව කරන්න ඕන කියලාද…?”
තේෂාන් මා ඇවිස්සීම්ට මෙන් ඇසීය.
“ඇයි මොකද වෙන්නේ ආවතේව කළාම…?” මමද ඇසීමි.
“ඒකනේ…මෙයාටනේ ජෙල…” නදීරාද මා පස ගෙන කීවාය.
“ආරණ්‍යා මිස්ට නම් ආවතේව කළත් මොකද…?”
ප්‍රසාද් කියන විට මාත් නදීරාත් එකතුව තේෂාන්ට දිව ඇද කළෙමු.
“ඇද්ද අහ ගත්තා…?” මම කීවෙමි.
“මදැයි කොළා…මූත් උන්ටම අදිනවා…මුව බේරන්න ගිහින් මට වෙච්ච දේ…”
ලැජ්ජාවෙන් මෙන් තේෂාන් කියන විට අප අතර පැතිර ගියේ සිනාහඬකි. තේ පානයෙන් අනතුරුව අවීශ් ටිරෝන්ලා ඉවත කැඳවා ගෙන ගියේ අපට අම්මා සමඟ කතා බහ කිරීමට මඟ සළසමිනි. අප පැමිණියේ ඈ බලන්නට බව ඔහු දැන සිටියේය.
“දුව…මං ඔයාව අන්තිමට දකිද්දී ඔයාට අවුරුදු හතරට ළඟයි…”
ඈ මා සමීපයට විත් මේසය මත වූ මගේ අතක් අල්ලා ගනිමින් කීවේ ලෙංගතු හැඟීමෙනි. මා සිතුවේ ඈ මා මෙහි පැමිණියාට අකමැති වනු ඇතැයි කියා මුත් මෙසේ අසන්නට ලැබීමෙන් පෙර සිතුවිල්ල පහව ගියේ ක්ෂණයෙනි.
“ආන්ටිව දකිද්දිම… මට මහා හුරුපුරුදු හැඟීමක් දැනුණා…”
ඇගේ මුවේ ඇඳී ගියේ සුන්දර සිනහාවකි.
“එහෙම වෙන්න එපැයි…අනූයී මායි හොඳ යාළුවෝනේ…අම්මා ඉස්සර ඉඳලා, හිටලා ඔයාව මෙහෙ එක්ක ආවා…මාත් නිතර එහේ ගියානේ…ඔයා දන්නවද…දෙයක්…”
මාත් නදීරාත් ඒ කුමක්දැයි කුහුළින් බලා සිටියෙමු.
“මට පුතා හම්බෙන්න මාස හතරක් වගේ තියෙද්දී තමා අනූත් ප්‍රෙග්නන්ට් වුණේ…අපි දෙන්නාම කතා වෙලා තමා ඔයාලට නම් දැම්මේ…අනූ තමා පුතාට නම් දැම්මේ අවිශ් කියලා…අනූගේ බබාටත් “අ”යන්නෙන්ම නමක් දාන්න ඕන වුණා අනූට…ආරණ්‍යා කියලා නම තේරුවෙ මම…ඔයාගේ නම කියනකොටම මට හිතුණා ඔයා අනූගේ දුව කියලා…මොකද ඒ නම හැම කෙනාටම නැහැනේ…අනික මමනේ ඔයාට ඒ නම දැම්මේ…”
ඈ එසේ කියන විට මම පුදුම වූයෙමි. මගේ නමට එවන් කතාවක් ඇතැයි කියා මම නිකමට හෝ නොසිතුවෙමි. ඒ නම් පුදුමාකාරවූ හමුවීමකි.
“හරි පුදුමයි නේ ආන්ටි…”
නදීරා කීවේ අදහන්නට නොහැකිවාක් මෙනි.
“ඔව්…මටත් හිතා ගන්න බැහැ…හැමදේම හරි පුදුමයි තමා දුව…” සුසුමක් හෙළූ ඈ කීවාය.
“ආරණ්‍යාට තමා…ආන්ටිව ගොඩාක්ම බලන්න ඕන කම තිබුණේ…” නදීරා මා වෙනුවෙන් කීවාය.
“ඔයාලා මෙහෙ ආවා කියලා මං දැනන් හිටියේ නැහැ…ඉස්සර නම් මං නිතරම එහෙ ආවා ගියානේ…”
“අවීශුත් ආවාද…?” නදීරා වහා විමසුවාය.
“ඔව්…ඒත් ඉතින් සමහරදාට තමා… මොකද…මේ දෙන්නා එකට හිටියොත් හැමදාම රණ්ඩු…මෙයා මෙහේ ආවොත් පුතා මෙයාට කිසි දෙයක් අල්ලන්න දෙන්නේ නැහැ…මෙයත් ඒකට වාඩුව ගන්නවා අවීශ් එහෙ ගියාම…ඉතින් දෙන්නා රණ්ඩු…”
නිරංගා ඇන්ටි ඒ කී දේට නදීරා සිනහසෙන විට මා සිතේ ඉහිර ගියේ සියුම් ලැජ්ජා මුසු හැඟීමකි. ඒ සිදුවූ කිසිත් මා මතකයේ නොමැති වීම කණගාටුවකි.
“දැන් කියලත් දෙන්නගේ මහ ලොකු වෙනසක් නැහැ ආන්ටි…කොයි වෙලේත් යුද්දේ…අපිට තමා කරදරේ…”
“ස්කූල් එකෙදිත් රණ්ඩු වෙනවද…?” ඈ පුදුමයෙන් ඇසුවාය.
“ස්කූල් එකේදි විතරක් නම් බැරියෑ… වාහනේ යද්දී එද්දීත් රණ්ඩු…”
“ඔයාලා යන්නේ එන්නේ අවීශ් එක්කද…?”
ඈ පුදුමයෙන් අසන විට අපි දෙදෙන මුහුණෙන් මුහුණ බලා ගතිමු.
“සමහර දාට…” මම වහා කීවේ වරදකාරී හැඟීමකිනි.
“මම නිකමට ඇහුවේ…ඔයාලගේ තාත්තා දන්නවද ඒ ගැන…?”
ඈ සැකමුසු හඬකින් විමසුවාය.
“න්..නැහැ ආන්ටි…ආන්ටියි අම්මයි යාළුවෝ කියලාත් මම දැන ගත්තේ ළඟදී…ඒත් ඒ නැන්දා කියනකොට…එයා සමහර දේවල් මා එක්ක කිව්වා…තාත්තායි අංකලුයි දැන් අමනාප වෙලාලු නේද…?”
ඈ කිසිත් නොකියා සුසුමක් හෙළුවාය.
“ඒක ලොකු කතාවක්…මොනවා වුණත් මට හරි පුදුමයි පුතා වෙනස් වුණ එක ගැන…පහුගිය කාලේ එයා හිටියේ පිස්සු පිහාට්ටා වගේ…ඔයාලත් දකින්න ඇතිනේ…කොණ්ඩෙවත් කැපුවේ නැහැ…මං කොච්චර කිව්වත්…”
“ඒ ඇයි ආන්ටි…?” මම වහා ඇසුවෙමි.
“තාත්තා…පුතා ආරවුල් තමා…එයා ඒකට පළිගත්තේ තමන්ගෙන්මයි…ඒත් මෙන්න හදිසියේ දවසක් කොණ්ඩෙ කපන් එනවා…මං නොදැක්කා වගේ හිටියා…අම්මේ..මගේ වෙනසක් පේන්නේ නැද්ද…අහද්දී…මං නිකන් බලලා කිව්වා..ආහ්…කොණ්ඩෙ කපලානේ…? කියලා…පහුවදා උදේ ස්කූල් යන්න ලෑස්ති වෙලා එද්දි නම් මට සතුට දරා ගන්න බැරි වුණා…”
නදීරා උස් හඬින් සිනහාසෙන විට මම ඇයට රැව්වෙමි.
“ආන්ටි දන්නවාද…? එක්කෙනෙක් පලු යන්න බැනලා තමා ඔහොම වෙනස් වුණේ…”
මම යටි තොළ සපාගෙන බිම බලා ගතිමි.
“කොහෙන් හරි ගැහැණු පුළුටක් ගෑවිලා ඇති කියලා මට හිතුණා…මටවත් කරන්න බැරි වුණ දේ ඔයා කරපු එකට නම් මං ගොඩාක් සතුටු වෙනවා දුවේ…”
මම එවිට හිස ඔසවා ඈ දෙස බැලීමි.
“මම කරපු දෙයක් නැහැ ආන්ටි…” ඈ කෙටි සුසුමක් මුදා හැරියාය.
“රේඛා ඉන්නේ තාම ඔයාලා එක්කද…එයා ආයේ මැරි කළේ නැද්ද…? කාලය පුදුම විදියට ගෙවිලා ගිහින්…මං රේඛාව මතක් කළා කියන්න…ඔයා ආයේ එන්න රේඛා එක්ක…”
ඈ එක දිගටම කියවගෙන ගියාය. අපි අවිෂ්ගේ නිවසින් පිටත්ව එන විට රාත්‍රී අඳුර වැටී තිබිණි.
******** ******* ******** ******* ****** ************* ******* ********
රේඛා නැන්දා අප ගිය තැන ඉවකින් මෙන් දැන සිටින්නට ඇත. නිවසට පැමිණ මම ඇඟ පත සෝදාගෙන සැහැල්ලු ගවුමකට මාරු වන අතරේ ඈ කාමරයට පැමිණියාය.
“ඩින(ර්) එකත් අරන්මද ආවේ..නැන්දාම්මා සනීපෙන් ඉන්නවද…?” ඇගේ හඬේ වූයේ උපහාසයකි.
“නැන්දාම්මා…?”
“නැතුව…නැතුව…දැන් තකහනියේ බලන්න ගියේ එයාව නෙවේද…?”
“අම්මෝ නැන්දා…ඔයාත් වැඩිය කපටි නැහැ…තාත්තා යන්න කළින් දාහක් දේවල් ඇහුවා…දැන් ඔයා දාහක් ඒවා එක වචනෙන් කියලා දානවා…”
“නැතුව ඉතින්…මම මාවන්ගේ නංගීනේ…”
“ඒක ඉතින් මම නොදන්නවැයි…එහෙම වුණත් ඒ මගේ නැන්දාම්මා නම් නෙවේ…හොඳද…?”
“බලමුකෝ…බලමුකෝ…කොහොම වුණත් කමක් නැහැ…යන තැනක් කියලා ගියා නම් තමා හොඳ…තාත්තා මගෙන් දාහක් ඒවා ඇහුවා…අර කිව්වත් වගේ… හදිසියේ මොකුත් කරදරයක් වුණත් අපි දන්නේ නැහැනේ…ගියේ කොහෙද…කින්ද… මන්ද…කියලා…”
“එහෙම මොනවා හරි වුණොත් ඉතින් පොලිස්සියෙන් කෝල් කරයි නේ…”
නැන්දා කී කතාව උපහාසයට ගෙන මම එසේ කීවද එය යම් දිනක සිදුවීමට තිබූ සිදුවීමක අනාවැකි පළකිරීමක් වේ යැයි කියා මට ඒ මොහොතේ නිකමට හෝ නොසිතුණා සේම එවන් දෙයක් වේ යැයි කියා සිතුවිල්ලක් හෝ නොවීය. නැන්දා මා දෙස බැලුවේ නපුරු බැල්මකිනි.
“ඔය කිව්වේ කතාවක්…දෙන්න හිතෙනවා මට…” ඈ කීවේද කෝපයෙනි.
“හරි…හරී…අනේ…මං විහිළුවක් කළේ…ඔයා දන්නවානේ…මං කවදාවත් වැරදි ගමනක් යන්නේ නැහැ කියලා…අනික අවීශ් එක්ක යනවා කියලා දන්නවානේ…? ඒ නිසා බය වෙන්නම එපා…”
“මං දන්නවා…මට ඔයා ගැන විශ්වාසයි…අවීශ් ගැන වුණත් ඒ විශ්වාසේ එහෙම තමා…”
“ඔයාට නොකියා ගියේ මේ ගමන විතරනේ…ඒත් ගියේ නිරංගාන්ටිව බලන්න…”
“හ්ම්ම්…”
“ආන්ටි ඔයාවත් මතක් කළා…”
“එයාට මාව මතක් තිබුණා නම් ඇති…” නැන්දා නෝක්කාඩු කීවාය.
“ඔයාව අමතක වෙලා නැහැ…එයා මගෙ නම කියද්දීම ඇහුවානේ මං මාවන්ගේ දුවද කියලා…එයාලු මට නම දැම්මේත් කිව්වා…එයා කිව්වා ඔයාව එක්කන් එහෙ ආයේ එන්න කියලා…නිදහසේ කතා බහ කරන්න ඕන කියලා…”
“ඔයාත් හරි කෙනා තමා දුව…ආයෙමත් යන්න පොටකුත් පාදගෙනම ඇවිත්…” ඈ සරදම් සහගතව කීවාය.
“මං කරපු දෙයක් නෙවේ අනේ…ආන්ටිමයි කිව්වේ…”
“හ්ම්ම්…යන්න ඕන තමා එයාව බලන්න… ඒක නෙවේ දුව…මං අද තාත්තට කිව්වා… නංගී ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්න කියලත්…එයා ගැන මීට වඩා හොයලා බලන්නත් කියලා…”
කතා බහ වෙනතකට යොමු කරමින් නැන්දා කීවාය.
“ඉතින්…තාත්තා මොකද කිව්වේ…?”
“එකපාරටම ඔයා කියන්නා වගේ එයා ඉතින් දාහක් ඒවා අහන්න ගත්තා…මං කිව්වා ෆෝන් එකේ කොයි වෙලෙත් කා එක්ක හරි කතාව…බෝයි කෙනෙක් වගේ…පොඩ්ඩක් හොයලා බලන්න…අපි කිව්වොත් ප්‍රශ්න නේ කියලා…”
“ඉතින්…?”
“ඉතින්…මොනවද…? පන්න පන්නා ඕවා කියන්න දෙයක් නැහැනේ…යුතුකමක් විදියට එයාට කිව්වා…දැන් එයාගේ අතේ තමා ඉතුරු දේවල් තියෙන්නේ…”
නැන්දා එසේ කියා පිටතට යන විට මම දිගු හුස්මක් ඇද්දෙමි. දුරකථනයට කෙට් පණිවිඩයක් ලැබෙන නදින් මම එය අතට ගෙන විවර කළෙමි. මා සිතූ ලෙසම එය අවීශ් ගෙනි.
“අම්මාට ඔයාව හොඳටම හිතට අල්ලලා…ගිය වෙලේ ඉඳන් කියවනවා…” මා මුවට සිනහාවක් නැඟිණි.
“අම්මාට හරි හිතට අල්ලපු එක ලොකු දෙයක්…සමහරුන්ට අපිව දිරෙව්වේ නැහැනේ…” මම ලියා යැවීමි.
“කවුද දන්නැහැ…ආවදාම මගේ ඇඟට කඩන් පැන්නේ…”
ඇදවුණු මුහුණක්ද සහිතව ඔහු ලියා එවීය.
“නරකක් වුණේ නැහැනේ…”
සිනහා මුහුණක්ද සහිතව මම ලියා යැවීමි.
“හ්ම්ම්…”
ඔහු එවා තිබූ අතර මම බස්සෙකුගේ රූපයක් යවා දුරකථනය පසෙක තැබුවේ තනිව සිනහාසෙමිනි.