Mandaramen Eha – උස්ගල පුරාණ රජමහා විහාරයේ ආවාස ගෙයට පසෙකින් ඇති රූස්ස සියඹලා ගස පාමුල සක්මන් කරමින් වැඩ සිටිනුයේ සේනපුර පොඩි හාමුදුරුවෝය. බෝමළුව දෙසට යමින් සිටි ලොකුබණ්ඩාර මැණිකේ උන් වහන්සේ දෙසට ඇවිද ආවාය. එහෙත් පොඩි හාමුදුරුවන්ගේ සක්මනට බාධා නොකොට පසෙකට වී උන් වහන්සේ දෙසම බැතියෙන් නෙත් යොමා සිටියාය. කිහිප වාරයක් දෙපසට සක්මන් කරමින් හුන් පොඩි හාමුදුරුවෝ ලොකුබණ්ඩාර මැණිකේ දුටු සේක.
“නැන්දේ…”
යැයි පවසා මුව පුරා සිනාසෙමින් තමන් දෙසට වඩිනා සේනපුර පොඩි හාමුදුරුවන් පෙරමඟට ගිය ලොකුබණ්ඩාර මැණිකේ උන් වහන්සේගේ දෙපා නැමදුවාය.
“නැන්දා කාලෙකින් දැක්කෙ..දැන් කොහොමද අසනීප තත්වෙ එහෙම..”
“බංඩාර මුත්තගෙ පිහිටෙං පහුගිය දොහේනං ඒ කිසිම අතුරු,ආන්තරාවක් තිබුන්නෑ පොඩි හාමුදුරුවනේ..”
“නැන්දගෙ මූණත් වෙනදට වඩා කළඑළියයි…සමන්ති අක්කා, කාලිංගයියා, තාරුකා නංගී, කවී පුතා එහෙම සනීපෙන්ද නැන්දේ…”
“එහෙමයි පොඩි හාමුදුරුවනේ..දැන් අපේ ලොකු එකයි, පොඩි එකියි ගල්ගමුවෙ රස්සාවකට යනව නොවැ…”
“කොච්චර දෙයක්ද නැන්දේ..ශාරික අයියත් දැන් රස්සාවකට යන එකේ,තාරුකා අක්කටත් එකක් ලැබුණෙක..”
ලොකුබණ්ඩාර මැණිකේ යමක් කියන්නට මුව අයද්දිම නායක හාමුදුරුවන් එහි වැඩියහ. වහා උන් වහන්සේ පෙරමඟට ගිය ලොකු බණ්ඩාරමැණිකේ ගෞරව පෙරදැරිව උන් වහන්සේ පා නැමැඳ සිටියාය.
“පොඩි උන්නාන්සෙ ගොහිං ගිලන් පස ටිකක් පිළියෙල කරානං..”
සේනපුර හිමියන් ආවාස ගෙය දෙසට වඩින යුරු මඳ වේලාවක් බලා හුන් නායක හිමියන් ලොකුබණ්ඩාර මැණිකේ වෙතට හැරුණහ.
“ඈ..බං ලොකුබණ්ඩාරියෙ..මොකෑ අර සමන්ති කෙල්ලව උඔල ගෙට කොරං ඉන්නවයැ කියන්නෙ..”
“ඒකිගෙත් එක,එක විගඩං නොවැ එදා ඉඳලා අපෙ හාමුදුරුවනේ..ලොකු එකා තමා ඔය ගෙදෙට්ට කොරලා ඉන්නේ..”
“අනේ මන්ද බං උඔලයෙත් පට්පාටි..ගෙදෙට්ට කරන්ඩෝනෙ උං කඹේ කඩාගෙන කුඹුරු පාළු කරද්දි, නිදහසේ තියන්ඩෝනෙ උං දිගේලි කරලා කණුව වටේ උලාකන්ඩ අරිනවා…”
“අපෙ හාමුදුරුවනේ..”
“මං කිව්වෙ බොලාලගෙ මහ පෝරිසාදයා ගැන..නටන තරමක් විගඩං නටන්නෙ ඌනේ..”
“ලොකු එකයි, පොඩි එකියි දැන් රස්සාවකට යනවා අපෙ හාමුදුරුවනේ..”
“එතකොට ලොකු එකී ගෙදෙට්ට වෙලා ළමයි පරක් කොරාම අනාගතේ අර නොදරුව රස්සා කරන්නෙ කොහොමද බං බංඩාරියෙ..”
“අපේ ලොකු එකා….”
“බොගේ ලොකු එකාට තියෙන්නෙම මහ එකාට තිබ්බ නාහෙට නාහන ලොකුකම් විතරයි බංඩාරියෙ..හෙට අනිද්ද මඟුල් තුලා යන්ඩ ඉන්නෙකීව ඔහොම ගෙයිං පිටමං කොරාම හරිද මං අහන්නෙ..”
“ඒවා කෙරෙන දීග නෙවේ අපෙ හාමුදුරුවනේ..”
“අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෙ කියන්නැහේ,ඔහොම ගිහිං ඒ කෙලිත් කැමති දීගෙක ගියාම උඔ වරෙංකෝ බලන්ඩ මෙතන දුම්මල වරම අතට අරං..”
ලොකු බණ්ඩාරමැණිකේ කිසිත් කියන්නට මුව විවර නොකළේ නායක හිමියන්ගේ ස්වාභාවය දන්නා හෙයිනි. උන් වහන්සේ “පොඩි නම….” කියා ආවාස ගෙය දෙසට හඬ නඟනා අතරවාරයේ ඇය හිමින් සීරුවේ බෝමළුව දෙසට මඟහැර ගියාය.
“උඔත් උඔගෙ මිනිහ ගානට කවදහරි ජීවිතේ අතෑරෙනකං දරුවන්ගෙ ප්‍රශ්න මගෑර,මගෑර හිටහං බංඩාරියේ.. එතකොට දරුවො උඔල ඉන්න තැනකට යසට පිං දෙයි මෙහේ ඉඳං..”
නායක හිමියන් එසේ හඬ නඟා කීයේ තමන් මඟහැර යන ලොකු බණ්ඩාරමැණිකේටය.
සිරිවර්ධන ෆැන්සි හවුස් හි කාර්‍යාල කාමරයෙහි එක් කොනක තබා ඇති මේසයක වාඩිවී කිසියම් කටයුත්තක යෙදී හුන් තාරුකා, ලක්මාල් එහි ඇතුළු වනු දැක වහා නැඟී සිටියාය. ලක්මාල් ඉන් පත්වූයේ දැඩි අසීරුවකටය.
“නංගී…” ඔහුගේ ඇමතුම තාරුකා තිගැස්සවීය.
“අ..යි…… මහත්තයා…..”
ලක්මාල් අතෙකින් නළල පොඩි කරමින් ගොස් සිය මේසයෙහි වාඩිවී සෘජුවම තාරුකා දෙස බලා කතා කළේය.
“මං ඔයාව දන්නෙ සමන්තිගෙ නංගි විදිහට..අවංකවම කීවොත් වතාවක්, දෙකක් හම්බවෙලා තිබ්බට මට ඔයාගේ නමවත් මතක නෑ නංගී..”
“තා…රු..කා….”
තමා කිසිවක් නොකීමෙන් ඔහුව නොසළකා හරින්නේය යන සිතිවිල්ල නිසා ඇය එසේ තම නම උච්චාරණය කළාය.
“හරි..මං ඔයාට නමින් කතා කරන්නම්..ඒක මට ලේසියි..ඔයත් මට ලක්මාල් කියන්න..අපි දෙන්නගෙ වයසත් එච්චර ලොකු පරතරයක් නැති නිසා, ඔය අයිය,නඟෝ කතාවලට වඩා ඒක පහසුයි..”
තාරුකා හිස පමණක් වනා සිය කැමැත්ත පළ කළාය.
“ඇත්තටම ඊයේ ඔයා දකිනකං මං දැනගෙන හිටියෙ නෑ මෙහේ රස්සාවට එන්නෙ සමන්තිගෙ නංගි කියලා…”
“මාත් දන්නෑ අයියෙ..අක්ක තමා මේකට එන්න හිටියෙ..ඒත් අයිය ඒකට කැමති වුණේ නෑ..”
“දැන් ඉතිං ඒකට කරන්න දෙයක් නෑනේ..මට මේ බිස්නස් තේරෙන්නෑ නංගී..ඒත් ආමි එකෙන් අයින් වෙලා ආපු නිසා මට අපේ පප්පගෙන් ගැළවුමකුත් නෑ..”
“එතකොට ඔයා ආමි එකෙන්..”
“අයින් වුණා…නිදහසේ ඉන්න ඕන නිසා…ඒත් පප්ප බලෙන් මේක මගේ කරේ ගැහුවා…”
“ප…ප්…පා….”
තාරුකා එය පුනරුච්චාරණය කළ ආකාරයට ලක්මාල්ගේ මුවට සිනහවක් නැගිණි.
“ආහ්..ඒ කියන්නෙ මගේ තාත්තා…මායි,අයියයි දන්න කාලේ ඉඳලා තාත්තට එහෙම තමා කතා කරේ…”
“එතකොට අයියගෙ අම්මා…”
ලක්මාල් ඊට පිළිතුරක් දෙන්නට මුව හදද්දීම, ඈත තමන් වෙත පැමිණෙන සිය සොහොයුරා වූ සුදු මහත්තයා දිටීය.
“තාරුකා….අපේ අයියා එනවා…ඔයයි,මායි අඳුරනවා කියලා එයා දැනගන්න බෑ හොඳද..”
කාලිංග සිය මේට් වර්ගයේ යතුරුපැදිය හුරිගස්වැව හන්දියේ නවතාගෙන ඒ මත නැඟී කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙන් ඔබ,මොබ බලමින් හුන්නේය. ඔහුගේ මතකය පෙරදා කැලේගම ගිය ගමන වෙත ඇදී ගියේ නිරායාසයෙනි.
කාලිංග කැලේගම නිවසින් පිටවීමට සැරසෙද්දී, සරලා ඔහු සමඟ ගේට්ටුව තෙක් ඇවිද ආවාය.
“මේහ්..මස්සිනේ…”
ඇය කාලිංගගේ උරහිසට තට්ටුවක් දමා ඔහු ඇමතුවාය. සුපුරුදු ගොරෝසු බැල්මෙන් හිඳියා මිස ඔහු සරලාට “හූම්” කියාවත් ප්‍රතිචාර නොදැක්වීය.
“මට සැකයි මෙයා මාව බලන්නාවද නැත්තං වෙන…”
“ඔව් මං අර අබ්බගාත වයසක උන්දා බලලා යන්ඩ ආවේ..ඇයි මොකෝ අහන්නෙ..”
සරලාගේ මුවට උස් හිනාවක් නැඟුණාය. එසැනින්ම ඈ වහා කැලේගම වලව්ව දෙස බැලූයේ, කිසිවෙකුට ඒ හඬ ඇසුනාද යන සැකයෙනි.
“හරි අපූරුයි නෑනා බලන්ඩ ආ හැටි..නිකංම අත හොල්ල,හොල්ලා….”
“ආවේ උඔගෙ බෙල්ල හොල්ලලා යන්ඩ, පැදුරටත් නොකියා ගමෙං ඇවිත් මෙහේ පදිංචි වුණාට…”
“ඉන්ඩ නෙවේ අනේ ආවේ…අරයා යන්ඩ දෙන්නෑනේ..”
සරලා රහසින් මෙන් එය කීයේ කාලිංගගේ සමීපයට පැමිණය.
“එයැයිට කුද ගහගන්ඩ කියලා වරෙං යන්ඩ එනවනං..”
“මේ..දැන්..ඔය ලදරමේ…”
“ඇයි උඔට දෝළාවක් ඕනෙද වඩම්මන්න..”
“එහෙනං දෝළාවෙන් ඇවිත් මාව ඇන්න යන්ඩ..පිරිවර එක්ක..”
“අනින්නෙ බොට මං පයිං..”
කාලිංග සරලා දෙසට පා එසවූ සැනෙන් ඇය පසුපසට පැන්නාය. එම මතකයට සමඟාමිව කාලිංගද සිය යතුරුපැදිය මතින් බිමට පැන්නේය. තමාට මීටර කිහිපයක් ඉදිරියෙන් හුරුපුරුදු මුහුණක් ඔහුගේ නෙත ගැටිණි. ඔහු සිටියේ යුවතියක් සිය යතුරු පැදියෙන් හුරිගස්වැව හන්දියෙන් බස්වන ගමන් ය. ඒ ශාරික බව කාලිංග හඳුනාගත්තේය. යුවතිය මාධවීය.