Donilaye Amme – පත්තරයක් අතට ගත්තොත් තියෙන්නේ භාගෙට භාගයක් දේශපාලන උන්දලාගේ කෙරුවාවල්, එහෙමත් නැත්තං මිනීමැරුම් මංකොල්ල. පත්තරේ ටැබ්ලොයිඩ් එක ගන්න දෙයක් නෑ. නළු,නිළියන්ගෙ විකාර ඕපාදූප. ටී.වී එක දැම්මත් එච්චරයි. චැනල් තුනක් අරං බැලුවොත් එකම ප්‍රෝගෑම් ටික වෙනසකට තියෙන්නේ නම විතරයි. ඒකට හරියන්න සෝෂල් මීඩියා කියලා එකක් ආවා. ඒකෙන් සෝෂල් එකේ ඔලුව හෝදලාම දැම්මා. මිනිස්සු “ට්‍රෙන්ඩින් වන්” හොය හොයා බලනවා. බලන උන් හැමදාම අන්තිමයෝ. එක අතකට චීනය,ජපානය වගේ රටවල් සෝෂල් මීඩියා වලට සීමා පනවලා අරං තියෙන්නේ නිවැරදි තීරණයක් කියලා හිතෙන්නේ ඒවා හරහා අපේ රටේ සිද්ධ වෙන සමාජ පරිහානිය, අදහගන්න බැරි සිදුවීම් සහ අපරාධ ගැන අහන්න ලැබෙනකොට.
“නංගී…ඔයා තවත් කටගහන් ආවොත් නම් මං ඔයාට ගහනවා හොඳේ..”
කාමරේ දිහාවෙන් ලොකු කෙල්ලගෙ සද්දෙ ඇහුණා. අනුමානයක් නෑ දෙන්නත් එක්ක මොකකට හරි ඇවිලිලා.
“පේන්නැද්ද ඔයාගේ දත් ඔක්කොම ඇදයි..ඒකයි නිතරම කියවන්නෙපා කියන්නේ..”
“කමක් නෑ ..ඒවා වැටිලා අලුත් ඒවා එනවනෙ..ඒත් ඔයාට තියෙන්නෙ පොල් දත්..කැතේ බෑ….”
කංකරච්චලේ අහගෙන ඉන්න බැරි නිසා මං ඒ පැත්තට ගියා.
“මොකද දෙන්නගෙ සද්දෙ…එළියට ඇහෙනවා..”
මගේ සද්දෙට දෙන්නම බිම බලාගත්තා. පොඩි එකී හිටියේ පොළොවට රවාගෙන. ලොකු එකී නියපොතුවලින් මේසෙ දිගේ ඉරි අදින්න ගත්තා. මං හෙමින් පොඩි එකී ළඟට ගියා.
“මොකද පැටියෝ වුණේ..”
“අක්කා මට හැමවෙලේම ඇද,කිය,කියා බයිනවා…”
“බොරු කියන්නෙපා නංගී..ඔයා තමා ඕන නැති දේවල්වලට මාත් එක්ක එල්ලෙන්න එන්නේ…”
මං ලොකු එකීට අතින් කීවා පොඩ්ඩක් කළබල නොවී ඉන්න කියලා.
“තාත්තටත් ඉතිං එයාව තමා ලොකු…ඔය හුරතලේ නිසා තමා එයා දැන් ගානට වැඩි…”
මං පොඩි එකීවත් අරං ලොකු එකී ළඟට ගියා. ගිහිං ලොකු එකීගේ කරට අත දාගත්තා.
“මට ඔයාලා දෙන්නව තාම හුරතල් කරන්න පුළුවන් පුතේ..දෙමව්පියන්ට දරු හුරතල් බලන්න වයසක් අදාළ නෑ…අපි යමුකෝ එළියට..දන්නවනෙ අම්මා මෙතෙන්ට ආවොත් කොහොමද හුරතල් කරන්නෙ කියලා…”
මං දෙන්නව අරගෙන සාලෙ මැදින් එළියට යද්දි දැක්කා දෝණිලයෙ අම්මා රෙදි පොට්ටනියක් අරං ගිහිං වොෂින් මැෂින් එකට දානවා. මං කෙල්ලො දෙන්නා එක්ක ගිහිං ටිකක් වත්ත පහලට වෙන්න තියන ගහක් යට පුටු දෙකක් තියලා වාඩිවෙලා පොඩි එකීව ඔඩොක්කුවෙන් තියාගත්තා.
“හරි දැන් කියමුකෝ බලන්න වෙච්චි සිද්ධිය..”
“අර ටයිනැනික් ෆිල්ම් එකේ ජැක් ළඟදී ට්විටර් එකේ දාලා තිබ්බනෙ ලංකාවෙ අලි කුණු කනවා කියලා..”
“ආහ්..එහෙමත් එකක් තිබ්බද..ඉතිං දැන් ඒකට ඔයාලා දෙන්න මොකටද රණ්ඩු වුණේ..?”
“නංගී කියනවා එයා නළුවෙක් නෙවේලු..”
“නෑ ..තමා එයා චිත්‍ර අඳින එක්කෙනෙක්..”
පොඩි එකී සැරෙන් කියාගෙන අක්ක දිහාට හැරුණා.
“හැබැයි ඔය මනුස්සයා ෆිල්ම් එකේනම් චිත්‍ර ඇන්දා වගේ මට මතකයි..”
“දැක්කනෙ..මං කීවා හරි අක්ක පචමයි කියන්නේ..”
“නංගී..නොදන්න ඉටිගෙඩි නොකියා ඉන්නවද..”
“හරි..හරි..දැන් දෙන්නම නිශ්ෂබ්දව මං අහන දේට උත්තර දෙන්නකෝ ..මොකක්ද ලොකු ළමයා ඔය අලි කුණු ඇදපු මනුස්සයගෙ නම..?” මං ඇහුවේ ලොකූ දිහාට හැරිලා.
“ලියනාර්ඩෝ ඩී කැෆ්‍රියෝ..”
“නෑ අනේ..ලියනාර්ඩෝ ඩාවින්චි..”
පොඩි එකී ආයෙත් අක්කගෙ ඇඟට කඩා පනින්න හදනවා.
“මං කීවනෙ පැටියෝ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ…ඔයාලා දෙන්නම හරි..අක්ක කියන කෙනා ජනප්‍රිය බටහිර නළුවෙක්, ඔයා කියන කෙනා ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්..”
දෙන්නම මොහොතකට එකිනෙකා දිහා පුදුමෙන් බලන්න ගත්තා.
“ලොකු ළමයා දන්නවද ලියනාර්ඩෝ ඩාවින්චි ගැන.?”
“තාත්තා කියපු ටික තමා දන්නේ වැඩි විස්තරයක් දන්නෑ…”
“එහෙනම් මෙහෙම කරන්න..ඔයා ඔය ටයිනැනික් හාදයා ගැන දන්නවනෙ..නංගි ඔය හාදයව දන්නැති නිසා මිනිහ ගැනයි, ඔය ටයිනැනික් නැව ගැන ඉතිහාස කතාවයි නෙට් එකෙන් සර්ච් කරලා නංගිට පෙන්නන්නකෝ..”
ලොකු එකී ඔලුව කසන්න ගත්තෙ උගුලකට අහුවුණා වගේ.
“මෙහෙමනෙ පුතේ..නංගිත් ඔය නම අහලා තිබ්බට ඩාවින්චි ගැන දන්නෑනේ හරියට…ඔයා දන්න ලියනාර්ඩෝ ගැන එයාට කියලා දීලා, දෙන්නත් එක්කම ලියනාර්ඩෝ ඩාවින්චි ගැනත් තොරතුරු හොයන්න..එතකොට ඔයාලා දෙන්නගෙ ප්‍රශ්නෙට ඉබේම විසඳුම් ලැබෙනවා…”
දෙන්නත් එක්කම ඔලුව වනලා නැඟිටලා යන්න ගියා. තව ටිකක් එතනම ඉඳගෙන මං ඒ ගැන හිතන්න ගත්තා. තාම ඉගෙනගන්න මගේ දරුවො දෙන්නට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ මේක. මුළු රටේම දරුවන්,වැඩිහිටියන් නිතර මුහුණ දෙන ප්‍රශ්නයක්. අපි ආසයි වාද කරන්න,පිල් බෙදෙන්න, තමන් කියන දේ තමයි හරි කියලා ඔප්පු කරන්න. අපි කැමති නෑ අනෙකාට ඇහුම්කන් දෙන්න. අනිත් කෙනා දන්න දෙයක් ඉගෙනගන්න. අනෙකාව රසවිඳින්න. සාමුහිකව ප්‍රශ්න වලට විසඳුම් හොයන්න. අපිට ඕනේ තමන් දන්නවා කියලා අනෙකාට අඟවන්න. එහෙම බැරි වුණාම පෞද්ගලිකව අනෙකාගේ චරිතය විනාශ කරලා හරි අපිට ඕනේ දිනන්න. හැබැයි අවසානෙට එක සිද්ධියක් සමාජගත වෙලා, වාද,විවාද වෙලා නිකංම ඒක ඉවරවෙලා අලුත් එකක් ඇවිල්ලා. පරණ එක එහෙම්මම යට යනවා. අලුත් එකට උඩ දදා ගහනවා. කාලෙකින් ඒකත් ගිහිං තව එකක් එනවා. අපි ඒ විදිහට විසඳුම් නැතුව ජනප්‍රිය ප්‍රශ්න එක්ක බොරු,තර්ක විතර්ක වලින් කාලෙ කනවා. ඇක්සිඩන් එකක් වුණාම වාහනේට ගිණි තියනවා. හොරකමක්, අපරාධයක්, අපයෝජනයක් වුණම, ඒ පුද්ගලයව ගස් බැඳලා ගහනවා. එක්කො ඒ පුද්ගලයාව මානසිකව මරලා දානවා. හැබැයි රිය අනතුරු එහෙමමයි. මංකොල්ල,අපරාධ,අපයෝජන මිනීමැරුම් එහෙමමයි. ඒවට කවි,සිංදු ලියලා ටික දවසකින් අලුත් එකට ආයේ ලියනවා. දරුවන්ට උගන්නන්න ඕනේ ඕනෑම දේක හේතුව හොයාගන්න. ආන්න ඒ හේතුවට විසඳුම් දෙන්න. ඔය,අලි කුණු කන ප්‍රශ්නෙ ගැන ටයිනැනික් පෙම්බරා කියන්න කලින් අපේ රටේ පරිසරවේදියො කොච්චර කිව්වද, විදෙස් මාධ්‍ය කොච්චර වාර්ථා කරාද..? අද වෙනකං අපේ රටේ එක බලධාරියෙක්ගෙ ඇස් ඇරුණද ඒ ගැන.. ? අපි දරුවන්ට තේරුම් කරන්නෝනෙ ඒක. වන අලි ප්‍රහාර නිසා මේ වෙනකොට අපේ රටේ දරු පවුල් කීයක් අසරණ වෙලා අනාථ වෙලා තියනවද..? දරුවන්ට තාත්තා, අම්මා.. දෙමව්පියන්ට දරුවො කී දෙනෙක් අහිමි වෙලා තියනවද…? ඒකට වගකියන්න ඕනේ කුසට අහරක් හොයාගෙන ගම් වදින අහිංසක වන අලිද..? අපි දරුවන්ට කියලා දෙන්නෝනෙ කරඬුව අරං යන ඇතා හොඳයි, බඩගින්නට ගම්වදින අලියා නරකයි කියලා නෙවේ. ගෙදර ඇති කරන ෆොමනේරියන් බල්ලා “ෂෝක්”, දඩාවතේ ඇවිදින බල්ලන්ට “පිස්සු” කියලා නෙවේ. බෙදීම් කියන්නෙ මිනිස්සු තමන්ගෙ වාසියට හදාගත්තු දේවල්. කොයි ගොඩෙත් හොඳ,නරක දෙකම තියනවා. අද දරුවන්ට අමාරු ඒ දෙක වෙන් කරලා අඳුරගන්න. දෙමව්පියො බුද්ධිමත් නම් කරන්නෝනෙ ඒක දරුවන්ට කියලා දීලා උන්ගෙ ඇස් සෝබන ලෝකේ, මිත්‍යාදෘෂ්ටික මිනිස් හෙවනැලි වලින් වෙන් කරලා තියනෙක.
“දැන් කීවෙනි මාර්ග ඵලයෙද දන්නෑ නේද ඉන්නේ..”
ඒ දෝණිලයෙ අම්මා. මං සෑහෙන වෙලාවක් කල්පනා ලෝකෙක හිටපු බව තේරුණේ ඒ ප්‍රශ්නෙන්.
“ඔයා දන්නවනෙ මං ඔය ඵලයක් නැති මාර්ගවල යන්නෑ කියලා…”
“ඒක හොඳා එහෙනම් අපි ඵලක්,ප්‍රයෝජනයක් ඇති දෙයක් කතා කරමුකෝ…”
“කියන්නකෝ බලන්න ඔයාම එහෙනම්..”
“දැන් චූටීගෙ ශිෂ්‍යත්ව විභාගෙත් ඉවරයි..අපි මොකක්ද කරන්නෙ ඊළඟට..”
“මොකක්ද කරන්නේ කියලා බලන්න ප්‍රතිඵල එනකං ඉන්නෙපෑයැ….”
“ප්‍රතිඵල එනකං ඔහොම නිකං ඉඳලා හරියනවද අනේ..”
“අවුරුදු පහක් ඔය විභාගෙට කියලා වද දුන්නා මදෑ…අඩුම තරමෙ ප්‍රතිඵල එනකංවත් ඒ ළමය නිදහසේ හුස්ම අරගත්තාවේ..”
“ඔව් තාත්තත් හරි ආසයිනෙ හැම දේකින්ම ලේසියෙන් නිදහස් වෙලා ඉන්න..”
අපේ කතාබහේ අවසාන විනිශ්චය හැමදාමත් මගේ අවාසියට ලැබෙන එක පුරුදු නිසා, මං හිනාවෙවී දෝණිලයෙ අම්මා යන දිහා බලං හිටියා. සෝමලතා සුබසිංහගෙ නාට්‍ය සිංදුවක කොටසක් තියනවා “විභාගෙ තමයි අපේ අභාගේ..” කියලා. අපේ දරුවන්ට මේ තරඟකාරී අධ්‍යපන ක්‍රමය හුරුකරපුදා ඉඳලා උන් ස්වාභාවික ලෝකෙන් ඈතයි. උන්ට හැඟීම්, දැනීම් නෑ. මැෂින් වගේ. “ඔන්” කරද්දි වැඩ. “ඕෆ්” කරද්දි නිදි. අවට ලෝකය උන්ට වගේ වගක් නෑ. පෙළපොත්, විෂය නිර්දේශ, අභ්‍යාස විතරයි ජීවිතේ. කම්පියුටරේකට “හාඩ් ඩිස්ක්” එකක්, මොබයිල් එකකට “චිප්” එකක් දානවා වගේ විෂය නිර්දේෂ පුරවපු, හැඟීම් වලින් තනිකර නිර්වින්දනය කරපු දරු පරපුරක් බිහි කරලා මොකටද..?
“ඇත්තටම ඔයාගේ මොලේ හොඳ නැද්ද සුරංග..”
ආයෙත් දෝණිලයෙ අම්මා. ඇත්ත තමා මෙහෙම කල්පනා කරොත් මොලේ අවුල් වෙන එක ෂුවර්.
“හරි..හරි..යං තේ එකක් බොමු..”
“තේ නෙවෙයි වහ එකක් අරං ගිහිං බලනවා අර ළමයි දෙන්නා මොනාද කරන්නෙ කියලා..”
“ආහ්..ඒකද මං උන් දෙන්නට කීවා ලියනාර්ඩෝ හොයාගන්න කියලා..”
“ඇත්තද..ඔය හොයාගෙන තියෙන්නෙ තාත්තණ්ඩි කියපු විදිහට..”
“මගෙ කෙල්ලො දෙන්නා දස්සයි..අම්මා වගෙ නෙවේ..”
“බම්බුව..ආන්න දෙන්නත් එක්ක ටයිනැනික් ෆිල්ම් එක බලනවා…”
මට ඉබේම කටට ආවේ “හත්තික්කේ..ලියනාර්ඩෝ..” කියලා විතරයි.