Mandaramen Eha – ලක්මාල් තමන් වෙනුවෙන් නිමවූ “සිරිවර්ධන ෆැන්සි හවුස්” හි නව කාර්‍යාල කාමරයෙහි ඒ,මේ අත ඇවිදිමින් හුන්නේය. අද තමා මෙහි රාජකාරි අරඹන ප්‍රථම දිනය වූවද, නුහුරු නුපුරුදු ව්‍යාපාරයකට කෙසේ අත ගසන්නේදැයි ඔහුට සිතාගත නොහැකිය. ඔහු හිසකේ දෑතින් අවුල් කරගනිමින් සුවපහසු පුටුවේ දිගෑදී හිඳ ගත්තේ, පෙර දිනයේ කාලිංග මෙම ස්ථානයේ හමුවූ ආකාරය මෙනෙහි කොට එහි අක්,මුල් පාදා ගැනීමට සිතාය. ලක්මාල් කාර්‍යාල කාමරයට ඇතුළු වත්දී, සිරිවර්ධන මුදළාලි තරම්වත් කාලිංග තුළ තිගැස්මක් ඇති නොවීය. ඔහු සිටියේ කාලිංගට පිටුපසිනි. සිය පියාට මුහුණ දී සිටගෙනය. සිරිවර්ධන මුදළාලි තමන් කරමින් සිටි කතාබහ මඳකට නවතා,
“මේ ඉන්නේ මගේ බාල පුත්‍රයා…”
කියා කාලිංගගේ පිටුපස හුන් ලක්මාල් දෙසට සිය අත දිගු කළේය. කාලිංග ලක්මාල් දෙසට හැරුණේ සිනහවකින් මුව සරසාගෙනය. සිනහවෙන්නට අමතක වූ ලක්මාල්, මොහොතක් ගල් ගැසී කාලිංග දෙසම බලා සිටියේ බිරාන්තවය.
“මොකෝ තමුන් තක්බීර් වුණේ..”
සිය පියාගේ හඬින් ලක්මාල් සිහි එළවාගෙන කිසිත් නොවුණු ලෙසින් සන්සුන් වන්නට වෙර දැරීය.
“තමුන් බයවුණේ මේ හාදයා තමුන්ගෙ ලියන මහත්තැන් වෙන්ට ආවා කියලද..නිස්කාරණේ ගැස්සෙන්න කාරි නෑ…ඒ මෙයැයි නෙවේ..”
කාලිංගගේ මුවට ඔහුට හුරු පුරුදු “හැක්..හැක්..” සිනහව නැඟුණේය.
“ඒ මගේ නඟා මහත්තයෝ…ඒකී මං වගේ අංගපුලාවක් නැති එකියක් හෙම නෙවේ ඕං..ඇහැට,කණට පේන්ඩ ඉන්නවා නිකං රූප සුන්දරියො පරාදයි..”
කාලිංගගේ කතාවට ලක්මාල් නැවතත් ගැස්සෙණු සිරිවර්ධන මුදළාලි හොඳින් නිරීක්ෂණය කළේය.
“පොඩි ළමයා..හා හා පුරා කියලා තමුං දැන් මේ පුටුවෙන් ඇවිත් වාඩි ගන්නවකො…විස්තර දැන කියාගන්න ඇහැකිනෙ ඒ ළමිස්සි හෙට ආවාම.”
කියා සිරිවර්ධන මුදළාලි ඉන් නැඟිට කාලිංග අසළට පැමිණියේය.
“ඉළංදාරියා…ඒනං අපි යං ගබඩා කාමරේ පැත්තට..තමුන්ගෙ අනික් වැඩේ කතාබහ කරන්නත් එපායැ ආපු එකේ..”
යැයි පවසා කාලිංගද කැටුව කාර්‍යාල කාමරයෙන් පිටවී ගියහ.
“පොඩි මාත්තියා…”
සින්නාගේ හඬට තිගැස්සුණු ලක්මාල්ට ඉබේම පුටුවෙන් නැඟිට්ටවිණි. තමා මෙතෙක් වේලා කල්පනාවක බව ඔහුට වැටහුණේ එවිටය.
“ෂොරි තමා කීනව මාතියා…යේක මාතියා අම්බෙන්න කෂ්ටිය තමා පාල ඉන්නවා..”
“කට්ටියක් කීවේ සින්නා…”
“මේ යේක කෂ්ටිය කීවට යකා වගේ යෙක මිනියයි, ෂී..දේවී වගෙ යෙක කැල්ලයි තමා මාතියා..”
සින්නා පවසන කිසිත් තේරුම්,බේරුම් කරගත නොහැකිවූ හෙයින්, ලක්මාල් සිය කාර්‍යාල කාමරයේ සිට පහළ බැලිය හැකි වීදුරු කවුළුව වෙතට සමීප වූයේය. සින්නාද ලක්මාල් අනුගමනය කරමින් ඔහු පසුපස වැටුණේය. පහළ බැලූ ලක්මාල්ගේ නෙතට හසුවූයේ තාරුකා සහ කාලිංගය. ඔහු ක්ෂණයකින් පිටුපසට පැන්න හෙයින් සින්නාගේ ඇඟේ හැපී සින්නා බිම ඇඳගෙන වැටිණි.
සරලා කැලේගම වලව්වේ සොහොන් කොත් අසළ ඇවිදිමින් සිටියාය. ඇයට මේ සොහොන් කොත් යට සැඟවුණු ගුප්ත කතාව කියවිය යුතුය. එහෙත් ඊට සහය විය හැකි කිසිඳු හෝඩුවාවක් මේ තාක් ඇයට මුණගැසී නැත. රිදී නැන්දාගෙන් හෝ ඉස්කෝලෙ නැන්දාගෙන් ඒ සඳහා අනුබලයක් ලැබෙතැයි විශ්වාස කළ නොහැකිය. අදීෂ…. ඇගේ මතකය නිරායාසයෙන් ඔහු වෙත ඇදී ගියාය. ඇය ගේට්ටුවෙන් එපිට ගුරු පාර සහ වැව් බැම්ම වෙත නෙත් යොමු කළේ කිසිවෙකු බලාපොරොත්තුවෙන් මෙනි. එහෙත් ඒවාද මිනිස් රූප රහිත මූසළ නිහඬතාවයක ගිලී පැවතිණි.
“මොනවැයි ඔය හැටි කොකං පපා හොයන්නේ..”
ඒ ඉස්කෝලෙ මැණිකේය. සරලා ගෞරවය පෙරදැරි සිනහවක් සිය නැන්දණිය වෙත හෙළමින්, ඈ අසළට ගමන් කළාය.
“ඉස්කෝලෙ නැන්..නැන්දම්මේ…”
සරලාගේ ඒ අමුතු ආමන්ත්‍රණයට ඉස්කෝලෙ මැණිකෙගේ මුවට සිනහවක් නැඟිණි.
“රිදී නැන්දත් සරලට යමක් උගන්නලා ඇති පාටයි..”
කියා ඉස්කෝලෙ මැණිකේ කීයේ ඒ සිනහවත් සමඟය.
“නැන්දා කියලා මට කීවට කාරි නෑ,..අපෙ මැණිකෙට හෙම කියනව නෙවෙයි කියලා කීවා…”
“ඒක හරි..මටයි ඔයාලයෙ අප්පච්චිටයි පොඩි කාලේ රෙදි නැන්ද කියාගන්න බැරිවුණු නිසයි තාමත් එයා රිදී නැන්දා…”
“දැන්නම් ඔය කුල,මල,වාසගම් කවුද ගණං ගන්නෙ නැන්දම්මේ..”
එය සරලාගේ මුවින් ඉබේ පිටවූවකි. එහෙත් මෙතැන සිටින්නේ එය කිව යුතු පුද්ගලයා නොවන බව ඇයට වැටහුණේ, ඉස්කෝලෙ මැණිකේ තමා දෙස හෙලූ සූක්ෂම බැල්ම හේතුවෙනි.
“නෑ.. මේ.. මං…”
“සරලා කියපු දේ හරිනම් ඒක ආයෙ හරිගස්සන්නෙ ඇයි..”
“නැන්දම්මා ඒක පිළිගන්නෑ කියලා මට දැණුනු නිසා…”
“ඒ සරලට දැණුනු දේට කියන නම මොකක්ද දන්නවද..”
“නෑ..නැන්දම්මෙ..”
“ගෞරවය..”
ඉන් සරලා නිරුත්තර වූවාය. එය දාර්ශනික පිළිතුරකි. තර්ක කළ හැකි කාරණයකි. එහෙත් මේ තර්ක කළ යුතු තැනැත්තියක නොවේ.
“සරලා දන්නවද ඔය සොහොන් කොත් දෙක ඇතුලෙ ඉන්නෙ එහෙම ගෞරවනීයව මැරුණු දෙන්නෙක්. මේ මං.. මැරෙනකං ඒ ගෞරවය රැකගෙන ජීවත්වෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්..”
සිය නැන්දණියට දිගටම කතා කරගෙන යෑමට ඉඩ දීම මැනවැයි සරලා සිතුවාය.
“ඔයාගේ අප්පච්චිත් දැන් මේ ඔයා කිව්වා වගේ එහෙම ඒවා ඕන්නෑ කියලා හිතපු කෙනෙක්…අද මං මෙහෙම තනිකඩ ජීවිතයක් ගෙවන්නෙත්, ඔයාගේ අයියට කාගෙදෝ යටතේ මාස් පඩි කාරයෙක් වෙන්න වුණෙත් ගෞරවය නිකංම,නිකං වචනයක් කියලා හිතපු ඔයාගේ අප්පච්චි නිසා…”
“මට මේ කිසි දේක අග,මුල තේරෙන්නෑ ..නැන්දම්මේ..”
“නොතේරෙණ බව දන්න නිසයි මේ තේරුම් කරවන්නෙ..” කියූ ඉස්කෝලෙ මැණිකේ සිය කතාව නොනවත්තාම කරගෙන ගියාය.
“රට,රටවල් වල විවිධ භාෂාවල් කතා කරන මිනිස්සු ඉන්නව..ඒ ගොල්ලොන්ට වෙන,වෙනම ආගම් තියනව..හැමෝටම එකම රස්සාව කරන්න බෑ….ඒවත් ලොකු,පොඩි කියලා බෙදිලා තියනව..ලංකාව විතරක් අරං බැලුවත්, පලාතෙන් පලාතට ආවේණික වුණු සංස්කෘතික බෙදීම් තියනව…ලෝකේ ඒවා වෙනස් කරමු කියලා කරපු කිසිම අරගලයකින් අද වෙනකං ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බැරිවෙලා තියනවා …අඩුම තරමෙ නවීන විද්‍යවෙන් පවා නොවෙනස්ව තාමත් ඒ දේවල් පැවතෙනවා….මොකක්ද ඒකේ තේරුම…”
විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර සපයද්දී දැනෙන පීඩනය සහ සූක්ෂම බව සරලාට දැණිනි. මේ තමා කතා කළ යුතු මොහොත නොවන බව ඇය දැඩිව විශ්වාස කළාය.
“මං කැමතියි ඒක නැන්දම්මගෙන්ම දැනගන්න..”
“ඒකේ තේරුම ඒවා වෙනස් කරන්න යන්නෝනෙ නෑ….පවතිනවනම් පවතින්න දෙන්නෝනෙ කියනෙක..ඒ පැවතීම තව කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒක ඒ කෙනාගේ, පවුලේ හෝ රටේ ගෞරවය..කුලයත් එහෙමයි…”
සරලා උන්නේ දේශනයක කෙටි සටහන් තබාගන්නා සිසුවියකගේ මානසික මට්ටම සහිතවය. ගේට්ටුව අසළ යතුරු පැදියක් නවතන හඬ ඇසී දෙදෙනාම එකවර එදෙස බැලුවෝය.
“කාලිංගයියා….” සරලාට එය කියවුණේ විමතිය සහ කුහුල පිරි හඬකිනි.
“මොන හුයන්නක්ද බං මේ වෙන්නේ….”
අදීෂ එසේ ඇසූයේ ලක්මාල්ගෙනි. ඔවුන් දෙදෙනා සිටියේ අරසන් වැව් තාවුල්ලෙහි පිහිටි අවන්හලෙහි මේසයක මුහුණට,මුහුණලා වාඩිගෙනය. දෙදෙනා අතම සිසිල් බීර වීදුරු දෙකක් තිබිණි. ලක්මාල් සිය වීදුරුව තොලගා ඉතා බැරෑරුම් ස්වරූපයෙන් අදීෂ දෙස බැලීය.
“මං ලොවෙත් හිතුවෙ නෑ අර යකා නංගි කියලා කිව්වට, අපේ වැඩේට මේ කෙල්ල ඇදගෙන එයි කියලා බං..”
ලක්මාල් එසේ කියද්දීම, එකවර සිනහවක් නැඟුණෙන්, අදීෂට බීර ඉස්පොල්ලේ ගියේය.
“මොකද බං..”
ලක්මාල් ඇසූයේ ඔහු මේ මොහොතේදීවත් සංයමෙන් හැසිරෙන්නේ නැතැයි යන මැසිවිලි ස්වරයෙනි.
“උඔ හරි සංතෝෂෙන් ඉන්නැති වස්සගෙ ගෑණි සමන්ති එයි කියලා නේහ්..”
“අදීෂයා මේහ්…මං උඔව ඩබල් එකේ මෙතෙන්ට ගෙන්නගත්තෙ මේක ජෝක් එකක් කරගෙන මට හින්ට් පාස් කරගන්න නෙවේ හරිද..”
“හරි..හරි මචං, දැන් මට කියපංකෝ ඒකට ෆේස් නොකර උඔ ඔෆිස් එකෙන් පැනලා ආවේ ඇයි කියලා…”
“පැනලා යන්න මං වරෙන්තු කාරයෙක්ද යකෝ….ඒක මගේ පප්පගෙ බිස්නස් එක..”
“ඒක තමා යකෝ මාත් අහන්නෙ, එහෙම එකේ උඔ අර සමන්තිගෙ නසරානි අයියට බයේ මාව හොයාගෙන ආවේ ඇයි කියලා…”
“මචං, උඔ කතාවක් අහලා තියනවනෙ අර, ඌරෙක් එක්ක පොරබදද්දී ඒක ඌරට ආතල් එකක් වුණාට පොර බදන්න යන එකාගේ ඇඟේ තමයි මඩ ගෑවෙන්නෙ කියලා…”
“ඌ උඔගෙන් ගේම ඉල්ලුවද..”
“එහෙම වුණානම් මට ඕකව සීන් එකෙන් අයින් කරන්න හේතුවක් හරි හදාගන්න තිබුණනෙ බං..සමන්තිලාගේ ගෙදරට දවසක්, දෙකක් ගියා කියලා පොල්ලක් අරං මට නෙලන්ඩ ආපු එකා, අද නිකං දෙකට ගනින්න බැරි ගානට මට “මහච්චයා..මහච්චයා..” ගගා ඉඳලා, එකපාරටම “එහෙනම් අද ඉඳලා මගේ නංගිගෙ වගකීම මහත්තයා බාරගන්න ඕනේ..” කියලා පඬි ටෝක් එකකුත් දීල ගිය එකනෙ මට දිරවගන්න අමාරු බං..”
ලක්මාල් ඇත්තේ කෝපයටත් වඩා ක්ෂණිකව තමා ඉදිරියේ නිර්මාණය වූ උහතෝකෝටිකය අදහාගත නොහැකිව බව අදීෂ වටහාගත්තේය.
“එතකොට මූ මොකාටද මේ එන්න හදන්නේඒඒ….”
අදීෂ කල්පනාබරව අවසන් වචනය දීර්ඝව අදිමින් හිඳ නැවත කතා කළේය.
“දැන් ඔය ඩබල කොහාටද ගියේ කියලා උඔ දැක්කද..”
“මොන ඩබලක්ද මීමෝ….අරූ විතරයි ගියේ තාරුකා තාම ඔෆිස් එකේ..”
“මමද මීම තෝද..ඌත් ගියානම් තොට අර කෙල්ලගෙන් අපූරුවට විස්තරේ අහගන්නනෙ තිබ්බේ..”
“උඔටනම් ඇත්තටම දෝදුද කොහෙද අදීෂයා…මේ වෙනකං මං ඒ කෙල්ලත් එක්ක වචන හතර,පහකට එහා කතා කරලා නෑ…අනික ඒකී අපේ ළඟ රස්සාවකට ආවා කියලා දැන,දැන පළවෙනි දවසෙම වල්,පල් අහන්නද උඔ මට කියන්නේ..”
මහන්සි වූ කළෙක මෙන්, දෙදෙනා අතර මඳ නිහඬතාවයක් පැවතිණි. එය බිඳිමින් අදීෂ කතා කළේය.
“වරෙං…අපි කැලේගම ගිහිං අර සරලා කියන කෙල්ල හම්බවෙමු..”
ලක්මාල් වටපිට බැලූයේ, අදීෂට පහර දෙන්නට යමක් සොයන්නට මෙනි. එය වගකට නොගත් අදීෂ, හුන් තැනින් නැඟිට, හිසින් ලක්මාල් වෙත “යමු” යි යන්න හැඟවූයේය.