FeaturesAlutha Upan AppachchiAlutha Upan Appachchi - 01 අලුත උපන් අප්පච්චී

Alutha Upan Appachchi – 01 අලුත උපන් අප්පච්චී

-

spot_img
Alutha Upan Appachchi – ආදරයෙන් හෝ ආදරයේ නාමයෙන් පණ ගැසූ කළල ඔබේ මෙන්ම මගේ ජීවිතයේද තිබෙනවා යැයි මම විශ්වාස කරමි. ඇඟ ගැහුණු රුධිරයට පෙමින් පණ ගැහුණු කළල ආරක්ෂා කළ උන් මෙන්ම, ලෝකයාට බයේ ගැහෙමින් ,එහෙව් කළල මරා දැමූවන් ඇත්තේද අප අතරමය.මම මේ ලෝකයට මගේ අවනඩු කියනවා නොවේ. හිත හදාගන්නට මගේ හිතෙන්ම නඩු අසනවාද නොවේ. මගේ කයි කතන්දර පසිඳලන්නට අනුකම්පාවේ උසාවි සොයනවාද නොවේ. මේ ප්‍රේමයෙන් පණ ගැහෙන කළලයක් වෙනුවෙන් හිත ගැහෙන රිද්මයක් පමණි.මේ ටික කියන්නේ මගේ පෘතග්ජන නෑසියන් වෙනුවෙනි. සරම් කැහැ කවා ගන්න.. චීත්ත ඉඟ නෙරියේ රුවාගන්න.. ඒත් ඔබ උඩ බලනවානම්කෙල පිඩක් ගසන්නට පෙර, එය නැවත ඔබේ වත මත වැටෙන සම්භාවිතාව මෙනෙහි කරන්න. මට සැනසීමෙන් මේ දුක්ක දෝමනස්සයන් විඳදරාගන්නට ඉඩ දෙන්න. මේ කතාව මාතින් ලියවුණාට අද සිට එය ඔබේය. මගේ කතාවෙන් ඔබ සහ අවට ලෝකය කියවාගන්නැයි ඉල්ලමි.

මයෙ පුතේ කවී,

උඔගෙ අප්පච්චිට තියනවා දින වකවානු මතක තියාගන්න බැරි ලෙඩක්. මගේ අම්මගේ උපන් දිනේ ඉඳලා උඔලයෙ අම්මගෙ උපන් දිනේ දක්වා ඒ ලෙඩේ තිබුණා. ඒත් උඔ ඉපදෙන්න උඔලයෙ අම්මා ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා සීයගෙන් ලැබුණු කෝල් එක මට අද වාගේ මතකයි. ඒ 2012 අවුරුද්දේ බක් මාසේ 25 වෙනිදා හැන්දෑවේ. අප්පච්චී උන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ කෙළවර ගමක. පුංචි පහේ මධු සාදයක. ඒ ආරංචියෙන් මගේ මුළු බමන ලෝකයම තප්පර ගානක් ඇතුලත සීතල වෙලා, අයිස් වගේ ගල් ගැහිලා මිදුණා. ඒ ගල් වුණු හිතින් මං ගල්ගමුවේ ඉඳලා කොළඹටත්, කොළඹ ඉඳලා දියතලාවටත් දුර මැනලා ගණන් හැදුවා. අප්‍රේල් මාසෙ 26 වෙනිද වෙනකම් මට ඒ ගණව් හිලව් හදාගන්න කල් ගියා. එදා බිම් කළුවර අරං මං කොළඹ එමින් ඉද්දි, “පුතෙක් හම්බවුණා” කියලා උඔගෙ සීයගෙ දෙවෙනි ඇමතුම ලැබුණා. සිදුහත් කතාවේ වගේ මට “රාහුලයෙක් උපන්නා.. බන්ධනයක් ඇතිවුණා” කියලා කියවුණේ නෑ. ආයෙත් මට අර අයිස් සීතල හැදුණා. අත්වල රෝම කූප කෙලින් වුණා. නිකං දත කට පූට්ටු වෙනව, කන් අගුල් වැටෙනවා වගේ හැඟීමක් දැණුනා. මං හිතෙන් කොටුවේ කොලෝනියල් එකටයි, ෆ්‍රෙස් ක්ලබ් එකටයි දුර කොච්චරද කියලා හිතුවා. ලංගම රියදුරා එලවන වේගේ මදි වගේ දැණුනා. කොටුවෙ ලංගම බස් නැවතුමට එද්දි හුඟක් රෑ බෝ වෙලා තිබුණේ. එතනින් එළියට ඇවිත් පසුම්බිය අතට අරං ඒකට ඔලුව දාලා බැලුවා. කොලෝනියල් එකයි, ෆ්‍රෙස් ක්ලබ් එකයි අමතක කරලා කෙලින්ම කෙසෙල්වත්ත බස් නැවතුමේ තිබුණු, බදුල්ල – කොළඹ 99 බස් එකකට ගොඩවුණා.
වෙනදා මේ බස් එකට මං ගොඩවෙන්නේ අඩ සිහියෙන්. දියතලාවට කිට්ටු වෙද්දි කොන්දොස්තර දාන තට්ටුවෙන් තමා පැය අටකට කිට්ටු නින්ද කැඩෙන්නේ. එදා තමයි මං කොළඹ ඉඳලා දියතලාවට ඇහැරිලා හිටපු පළවෙනි දවස. ඇස් ඇරගෙන හීන බලපු දවස. මයෙ පුතේ කවී… උඔලයෙ අම්මා ලේබර් රූම් එකට දාලා ඒ ළඟ නොසන්සුන්ව එහෙ මෙහෙ යන බයිස්කෝප් අප්පච්චී කෙනෙක් මගේ හීනේ හිටියා. හා..හා පුරා කියලා ලේ සුවඳ දැනෙන උඔව මගේ අතට දෙන නර්ස් නෝන කෙනෙක් මං දැක්කා. උඔගෙ නළලටත්, වෙහෙසකර හිනාවක් රැඳි උඔලයෙ අම්මගෙත් නළලටත් හාදු දෙන තිරයේ සංවේදී අප්පච්චිව මං හීනෙන් දැක්කා. ඇහැරිලා දැකපු මේ හීන එක්ක දියතලාවට එන්න ගතවුණු දිගම දිග රෑ එළිවුණා.

මහ පාන්දර ඉදිකටු අනින දියතලා සීතලේ මට දාඩිය දැම්මා. මං උඔව බලන්න ආවේ ගැහෙන හදවතයි, වෙව්ලන අත් දෙකයි විතරක් ඇතුව. උඔගෙ අම්මට මල් පොකුරු, උඔට තෑගි බෝග තියා අඩුම තරමෙ ලෙඩෙක් බලන්න යන මිනිහෙක් අතේ තියන ක්‍රීම් ක්‍රැකර් එකක්, කෙසෙල් ගෙඩි දෙක තුනක්වත් මගෙ අතේ තිබුණෙ නෑ. උඔ තොල් දෙක තදින් පියාගෙන, ඇස් දෙක තදට වහගෙන අත්දෙක කිටි කිටියේ මිට මොලවගෙන අම්මගෙ පපුවට කිට්ටුව හිටියා. තොල් වලින් හිනාවෙනව අඩු උඔගෙ අම්මා එදත් ඇස්වලින් හිනාවුණා. වෙනදා වාගෙම ඒ ඇස්වල කිසිම චෝදනාවක් තිබුණේ නෑ. උඔගෙ ආච්චී උඔව මගේ අතට දෙන්න හැදුවත්, මට උඔව වඩාගන්න බය හිතුණා. අත පණ නැතුව ගිහින් උඔව බිමට වැටෙයි වගේ මහ අමුතු බයක් ඒක. දවස් හතරක් එක දිගට ඒ බය මට තිබුණා.

මයෙ පුතේ කවී… පුංචි උන් මල් වගේලූ.. උන් ගාවින් එන්නේ ලේ සුවඳලු, කිරි සුවඳලු. ඒත් මට උඔව පෙනුනෙම වරක මදුලක් වගේ. මට උඔ ළඟින් ආවෙම වරක සුවඳ. උඔගෙ අම්මවත් මමවත් එහෙමට සුදු නෑ. ඒත් උඔගෙ පෙනුමේ තිබුණා අමුතු කහ පාටක්. දොළ දුකට උඔගෙ අම්ම කෑවෙම වරකා නිසා වෙන්නැති. ඒ කාලේ උඔලයෙ අම්මට ආස දේවල් අරන් දෙන්න උඔගෙ අප්පච්චිට පුළුවන්කමක් තිබුණෙ නෑ. අප්පච්චිට තිබුණේ සංචාරක ජීවිතයක්. උඔගෙ අම්ම කැමති වුණේ නෑ, අප්පච්චී නැතුව ඉන්න. ඉතිං එයාට සිද්ධ වුණා ටෙලිනාට්‍ය ලොකේෂන් වලට වෙලා වැඩි හරියක් ගත කරන්න. ඒ ලොජ් වල, ගෙවල්වල රැය ගෙවන්න. උඔ ලැබෙන්න මාස කීපෙකට කලින් තමා එයා බොහොම අමාරුවෙන් දියතලාවේ සීයලාගේ ගෙදර එන්න කැමති වුණේ.

ලෝකේ අප්පච්ව්ලාගේ ආදරේ මනින මිම්මක් තියනවනම් මං ඇත්තේ ඒකේ පහලම දර්ශකේ මයෙ පුතේ. යුතුකම්, වගකීම් මනින ඒකකයක් තියනවනම් ඒකට මේ අප්පච්චිගෙ මනින්න දෙයක් නැතුවැති. ඒත් ඇයි දන්නෑ මයෙ පුතේ එදා කටුනායකින් අහසට නැඟපු දවසේ “අප්පච්චි ගියා…” කියලා උඔ කෑ ගහපු සද්දෙ තාම මගේ කන් අගුල් වට්ටනවා. “ඇයි හුඟ කාලෙකින් ආවේ නැත්තෙ” කියලා උඔ අහනකොට මට උත්තර නැතිවෙනවා. එතකොට මං “දරුවන්ට හෙටක්” , “ගෙයක්, දොරක් වාහනයක්” කියන සුරංගනා හීන වලට තිත්ත කුණුහරපෙන් බනිනවා.මං මේ දූවිලි හුළං අතර උඔ එක්ක හුස්ම ගන්නවා. මේ පතාක බිල්ඩින් අස්සේ ඉඳගෙන, උඔත් එක්ක ගම්බැද්දේ කඳු උඩ ෆයිනස් ගස් අතර ඇවිදපු මතකය විඳිනවා. මෙහේ ඇපල්,දොඩම්, මිදි දැකලා , උඔ සාලේ ප්ලාස්ටික් මිදි කාපු හැටි මතක් වෙනවා. ඒ දවස්වල මං මහ රෑ ඇවිත් උඔට හොරෙන් බෙඩ් ෂීට් එක යටට රිංගලා නිදාගන්නවා. පාන්දර ඇහැරෙන උඔ බෙඩ් ෂීට් එක උස්සලා මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා දැනිලා මං හිටි ගමං මහ රෑට ගැස්සිලා ඇහැරෙනවා. මේ ලෝකේ මිනිස්සු හීන දකිනවා වැඩියි මයෙ පුතේ. මට වගේ හුඟක් අප්පච්චිලාට සිහියෙන් නිදාගන්න බැරි ඒ හීනවලට බය නිසා.පළවෙනි වැකේෂන් එක ඇවිත් ආපහු එන්න දවසකට කලිං උඔයි, මායී ඇවිදින්න ගියා. එතකොට උඔට අවුරුදු තුනක් විතර ඇති. අපි දෙන්නා හෝර්ටන්තැන්න පාරේ දිරපු ෆයිනස් කොටයක් උඩ එක ළඟ වාඩිවෙලා හිටියා මතකද..?

“අප්පච්ව් ගිහිං එන්නද කවී…”

මං ඇහුවාම උඔගෙ ඇස් ලොකු වුණා. උඔ මට ලොකූ සර්පයො, ගෝනිබිල්ලෝ, රාක්ෂයෝ ගැන කීවා. ගියොත් ඒ අය මාව අල්ලගනී කියලා අත පය දිගෑරල උන්ගේ තරම මට පෙන්නුවා. ඒ මට යන්න එපා කියන්න උඔ දැනගෙන හිටපු හැටි. පළවෙනි වතාවෙ එයාර්පෝර්ට් එකේදී ඇහුණු උඔගෙ කෑගැහිල්ල දෙවෙනි වතාවට අහන්න මං ඇත්තටම බයවුණා. ඒ සැරේ උඔව රවට්ටලා නිදිකරලා උඔව දාලා එන්න මට සිද්ධ වුණා. ඇත්ත මයෙ පුතේ… මේ ලෝකේ සර්පයො, රාක්ෂයො, ගෝනිබිල්ලෝ පිරිලා. අප්පච්චිට ඒ කාලේ උන්ව අඳුරගන්න බැරිවුණා ඒ බිල්ලන්ට බයවෙන්නෙපා මයෙ පුතේ… ඒත් උන්ව අඳුරාගන්න බලපං. බිල්ලොත් බිලිදෙන ලෝකෙක උඔ ඉන්නේ. උඔ තේරුම් ගනිං මේ බිල්ලෝ මවන ලෝකේ. මං කවදාවත් කියන්නෑ උඔට මාව තේරුම් ගන්න කියලා. මොකද උඔගෙ අප්පච්චිව හුඟක් අයට තේරුන්නෑ. ඒ නිසා උඔ මාව තේරුම් නොගත්තා කියලා මගේ අහිතක් නෑ මයෙ පුතේ කවී….

සොයා සෙනෙහස ගෙවා ගිය දුර
මිරිඟුවක වී නැවතුණේ
පුතේ නුඔ මා පියෙකු කළදා, තමා සෙනෙහස හමුවුණේ….

හිතේ ඇති පෙම කියාගන්නට
වචන ඇහිලූ සන්දියේ
මගේ මුළු පෙම් පුරාවෘතයම, නුඹේ හඬටය ගොළු වුණේ….

හිතේ තිබුණා බොහෝ කවිකම්
නොවී එළියට තෙරපුණේ
පමාවී නුඔ නමට කවියක්, පුතේ ඒකයි ලියවුණේ….

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you