Sadewthara – නින්දක අවශ්‍යතාවය තදින් දැනී තිබුණද නිම්නාගේ ඇස් නිදි සුව ලැබීමට තරම් මානසික සූදානමක නොතිබුණාය. විටෙක ඇස් පියවීගෙන එද්දීම විකාර සිහිනයක් පෙනී ඈ අවදි වන්නීය. තවත් විටෙක අද දහවල් මිහිරගේ නිවසට ගිය ගමනේ විවිධ සිදුවීම් එකින් එක මතකයට පැමිණ හිත වසාගෙන හිඳින්නීය. ඇය කොට්ට කිහිපයක් ඇඳ වියලට තබා ඊට හේත්තු වූවාය. මධුරව රෝහලෙන් රැගෙන ගොස් නිවසට ඇරලවීම තමා කළ හිතුවක්කාර කමකැයි ඇයට හැඟෙන්නට වූයේ, මිහිර එය අගය කිරීමට වඩා පුදුමය පල කිරීමට වූ නිසාය. ඔහුගේ සෑම ක්‍රියාවක්ම තමා අනවශ්‍ය ක්‍රියාවක් කළේය යන පිළිඹිබුව සහිත වූයේය. එහෙත් තමා ඔහුට උදයේ රෝහලට පැමිණීමට පැවසූ බවත්, තමා ඔහුගේ නිවසට යන තෙක්ම ඔහු ඒ සඳහා සූදානමක නොසිටි බවත් නිම්නාට මතකය. තමා රෝහලට යන විට මධුර නිවසට ඒම සඳහා සූදානමින් සිටියද, කිසිවෙකු ඔහු රැගෙන යෑම සඳහා පැමිණ තිබුණේ නැත. ඇත්තෙන්ම නිම්නා මධුර සමඟ මින් පෙර කිසිඳු දිනයක එකඳු වචනයක් හෝ කතා කර තිබුණේද නැත. එහෙත් තමා ඉදිරියේ සිටින්නේ මිහිරගේ සහෝදරයා බව දන්නා හෙයින්, මුනිවත රකින්නට ඇයට හැකියාවක් තිබුණේද නැත.
“ඔයාව ඩිස්චාජ් කරාද..”
කියා නිම්නා ඇසූයේ ඒ නිසාය. මධුර වටපිට බලා, ව්‍යාකූල සිනහවක් පෑවේය.
“ටිකට් කැපුවද..කෝ මිහිර..”
නිම්නා නැවත ඇසූයේ මධුර තමා කී දෙය තේරුම් නොගත් බව හැඟුණු හෙයිනි.
“ඔව් නංගී..මල්ලි එක්කන් යන්න එයි. කෝල් එකක්වත් දෙන්න මගෙ අතේ ෆෝන් එකත් නෑනේ..කළබලේට එදා ගෙදර දාලා ඇවිත්..”
නිම්නාට තිබූ එකම සහනය වූයේ, මධුර මිහිර මෙන් කුලෑටි නොවී කතාබහ කිරීමය. ඔහු සෘජුය. එමෙන්ම දැඩිය. එසේ නොවුණානම්, මේ ප්‍රශ්නයේදී මාලකගෙන් පහර කන්නේ මධුරය. ඒ වෙනුවට මධුරගෙන් මාලක පහර කෑම නිම්නා තුළ කුරිරු සතුටක් ඇති කළේ ඇයිදැයි ඇයටම තේරුම් ගත නොහැකිව තිබුණාය.
“මං අයියව ගෙදරට ඇරලලා එන්නද..”
එවේලේ නිම්නා මධුරගෙන් ඇසූයේ තමා ඔහු සමඟ කිසිවක් කතා කළ යුතු නිසා මිස මධුරව ගෙදර ඇරලවීමට යෑම අරමුණු කරගෙන නොවේ.
“නංගිට කරදරයක් නැත්තං ලොකු දෙයක්..මං හිතන්නේ අපේ මලය අම්මගෙ වැඩ එක්ක හිරවෙලා ඇත්තෙ..”
මධුර සෘජුවම තම ඉල්ලීමට එකඟ වීමෙන් කියූ වචන ආපසු ඇද ගන්නට නිම්නාට නොහැකි වූවාය. ඇය මධුරව ඇරලවන්නට මිහිරගේ නිවසට ගිය ගමන යෙදුණේ එලෙසිනි. කාරයට නඟිද්දී සිය බෑග් සහ කොට්ටය පිටුපසට දැමූ මධුර කෙලින්ම නිම්නා අසළට පැමිණ ඇය වෙතට අත දිගු කොට කාරයේ යතුර ඉල්ලුවේය.
“මං එළවන්නම්, නැත්තං නංගි මගේ ඩ්‍රයිවර් වෙනවනෙ..”
ඔහුගේ ඒ සෘජු විලාසය නිම්නාගේ සිත් ගත්තේ තමාද එවන් තරුණියක් නිසාය.
“ආයේ මාලක එක්ක රණ්ඩුවට යන්නෙපා අයියේ..”
මධුර වාහනය පදවන අතරවාරයේ නිම්නා එසේ කීවාය.
“මං පාඩුවෙ හිටියෙ නංගී..ඌ එල්ලීගෙන ඇවිත් ඉල්ලගෙන කෑවා..”
“මං කීවේ ආයේ රණ්ඩුවට යන්නෙපා කියලා…”
“මං කොහොමත් යන්නෑ නංගී..හැබැයි කවුරුහරි රෝං ආවොත් අපේ මලය වගේ ලෙස්සලා යන්නෙත් නෑ…රෝමෙ නම් රෝමේ..”
මිහිර සහ මධුර එකම පවුලේ සහෝදරයන් වුවද දෙවිදිහක පිරිමි ගති ලක්ෂණ ඇත්තෝය. මධුරට තිබූ ගති ලක්ෂණ මිහිරට පිහිටා තිබුයේනම් එය ඔහුගේ පෞරුෂයට කෙතරම් පෙනුමක් එක් කරන්නේදැයි නිම්නාට සිතුණාය. නිම්නාගේ දුරකතනයට වට්ස් ඇප් පණිවිඩයක් ලැබෙන හඬ ඇසී ඇය කල්පනාවෙන් මිදී එය අතට ගත්තාය. පණිවිඩය ලැබී තිබුණේ මිහිරගෙනි.
“අයිය වෙනුවෙන් මං වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතියි නිම්නා…මං හිතනවා ඔයාට අපේ ගෙදර තත්වය තේරුම් යන්නැති කියලා..”
පණිවිඩයේ සඳහන්ව තිබුණේ එසේය. නිම්නාට යම් සහනයක් දැණුනාය. දහවල් ඔහු හැසිරුණේ තමා කරදරයක්‍ය යන ආකාරයෙනි.
“ඇයි ඔයා අයිය වගේ නොවුණේ..”
හිනා ඉමෝජියක් සහිතව නිම්නා මිහිරට පිළිතුරු යැව්වාය.
“අයියා මං වගේ වුණානම් අද අපි කාටවත් කරදරයක් නෑනේ..රස්සාවත් කරගෙන පාඩුවෙ ඉන්නවා..”
කඳුළු මුහුණක් සහිත ඉමෝජියකින් මිහිර ඊට පිළිතුරු එව්වේය.
“එහෙම තමන්ගෙ ආත්මෙ නැති කරගෙන කා ළඟවත් රස්සා කරන්නෝනෙ නෑ මිහිර…ඇන්ඩ් ඩෝන්ට් වොරි අබවුට් හිම්..මං අයියට ජොබ් එකක් හොයලා දෙන්නම්..”
ස්තූතිය හඟවන ඉමෝජියකින් මිහිර ඊට පිළිතුරු එවූ අතර ඒත් සමඟම ඔහුගෙන් නිම්නා වෙත ෆේස්බුක් ලින්ක් එකක් ලැබී තිබිණි. ඇය එය විවෘත කර බැලුවාය. එහි තිබුණේ ව්‍යජ ෆේස්බුක් ගිණුමක පළ කර තිබූ මිහිරගේ සහ තාරාගේ ජායාරූපයයි. වහාම නිම්නාගේ සිහියට නැඟුණේ, මීට දෙදිනකට පෙර කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී තමා මාලක මුණගැහුණු අවස්ථාවයි. එහිදී ඔහු තමාට මෙම ජායාරූපය පෙන්වමින් මිහිර සහ තාරා අතර සම්බන්ධයක් ඇතැයි ඒත්තු ගන්වන්නට උත්සාහ කළ අයුරු ඇගේ මතකයට නැඟී එන්නට වූයේය. ඇය එම පෝස්ටුව ස්ක්‍රීන් ෂොට් එකක් ගසාගෙන, ජායාරූපය සිය ජංගම දුරකතනයෙහි සේව් කරගත්තාය.
සන්ධ්‍යාවේ නිවසට පැමිණි මොහොතේ සිට තාරා කළේ බලාගත්,අත බලාසිටීම පමණය. මිහිර තමාව වත්තන් කරගෙන සිටිනා ජායාරූපයක් සමාජ මාධ්‍යයක දුටු පළමු මොහොතේම ඇයට එය අදහාගත නොහැකි වූවාය. දෙවනුව බලවත් ලෙස කම්පාවට පත් වූවාය. අවම තරමේ ඇය සතුව ජංගම දුරකතනයක් පවා නොමැතිය. සදෙව් තමා ඉදිරියේ නොසිටියේනම් ඒකාන්තයෙන්ම ඇය ඉකිගසා හඬන බව ඇය දැන සිටියාය. එතරම් තිගැස්මක සහ කම්පනයක මෙන්ම ලැජ්ජාවකට ඇය පත්ව සිටියාය.
“ප්ලීස් කාම් ඩවුන් තාරා…”
ඒ මොහොතේ සදෙව් කී වග ඇයට මතකය. ඇතුලාන්තයෙන්ම උපරිමයට නොසන්සුන් වී සිටියද, තාරා උත්සාහ කළේ වාට්ටු කාමරය තුළ නොහඬා සිටින්නටය.
“ඇයි මිනිස්සු මෙහෙම ජරා වැඩ කරන්නේ..”
තාරාට එසේ කියවුණාය. සදෙව් ඇය අසළට විත් උරහිසට තට්ටු කළ ආකාරය ඇයට හොඳින් මතකය.
“මං ඒ පෝස්ට් එක රිපෝර්ට් කළා…ඉන්ෆොමේෂන් ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්ගෙ පුතා මගෙ යාළුවෙක්..ඌටත් මැසේජ් එකක් තිබ්බා…ඩෝන්ට් වොරි වී විල් ෆයින් අවුට් හු ඩිඩ් දිස්..”
ඇත්තෙන්ම තාරාට මේ මොහොතේ තමා සිටින තත්වයට ඒමට අවශ්‍ය ශක්තිය ලැබුණේ සදෙව්ගෙනි. තමා ගියේ ඔහුට රැකවරණය සලසා දීමටය. එහෙත් අවසන සදෙව්ට සිදුවූයේ තමාගේ ආරක්ෂාව රැකවරණය වෙනුවෙන් පෙනී සිටීමටය. වෙහෙසීමටය. පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන එවැනි අන්තර් සබඳතාවයක් ගැඹුරින් පහදාගන්නට තාරාට නොවැටහේ. එය මිතුරුකමකට නෑදෑකමකට එහා ගිය බැඳීමක් වග පමණක් ඇයට වැටහී ගියාය.
“එනිවේ..කවුද මේ ෆොටෝ එක ගත්තේ..”
ඒ මොහොතේ සදෙව් ඇසූ ප්‍රශ්නයෙන් තාරා බිරාන්තව ගියාය.
“දෙයියනේ මේක සෙල්ෆියක් නෙවෙයි සදෙව්..”
“සොරි..සොරි..ක්ලියර්ලි වී කැන් සී..හී ඊස් ගොයින්ටු හෙල්ප් යූ..අයි මීන්..කාට හරි හොරෙන් ඔය දෙන්නගෙ ෆොටෝ අරන් ෆේස්බුක් දාන්න තියන වුවමනාව මොකක්ද.”
රෝහල් කාමරයේදී සදෙව් ඇසූ ප්‍රශ්නයම මේ මොහොතේත් උත්තරයක් නොමැතිව තමා අභිමුව ඇති බව පමණක් තාරා දන්නේය. සදෙව්ගේ අසනීපයට පෙර ඔවුන්ගේ සමූහ ජායාරූප සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇති වග ඈ නිම්නා හරහා දැක තිබුණද, මෙවන් නිර්ලජ්ජ ක්‍රියාවක් තමන් මිතුරන් යැයි හඳුනාගත් කිහිපදෙනාගෙන් සිදුවෙතැයි ඇය බලාපොරොත්තු නොවූවාය. ඇගේ වේදනාව දෙගුණ,තෙගුණ වන්නේ තමා ආශ්‍රය කරන අතලොස්සක් දෙනා අතරද අවස්ථාවාදීන් සහ පසමිතුරන් සිටීය යන්න හැඟීමෙනි.
“වැඩිය හිතන්නෙපා තාරා…මං මේ ගැන බලාගන්නම්..මාව විශ්වාස කරන්න..”
සදෙව්ගේ ඒ වචන ඇයව ධෛර්යමත් කළාය. මේ මොහොතේත් ඇයට ඒ වචන විශ්වාසය. එහෙත් තැතිගැන්ම සහ ලැජ්ජාව ඇය කෙරෙන් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත. ඇය මෙතෙක් කල් සිතා සිටියේ තමන්ගෙන් කිසිවෙකුට කරදරයක් නොවන බැවින් තමාටද කිසිවෙකුගෙන් කරදරයක් නොමැති බවයි. එහෙත් තමන්ගේ අයහපත හෝ අපකීර්තිය අපේක්ෂාවෙන් සැඟවුණු සතුරෙකු සිටිනවායැයි දැනෙන්නට ගැනීම ඇයව බියට පත් කර තිබුණාය.
“දැන් ඔයා ගෙදර ගිහිං පොඩ්ඩක් රෙස්ට් කරන්න..හෙට උදේ මට අර කැඳ එකකුත් අරං එන්න..”
සදෙව් තමාගේ දෑත් අල්ලාගෙන ආදරයෙන් එසේ කියද්දී, හැඟීම් විරහිතව ඔහු දෙස බලා සිටියා මිස ප්‍රතිචාර දක්වන්නට කල්පනාවක් ඒ මොහොතේ ඇයට නොතිබුණාය. කෙසේ වෙතත් ඇය වේලාසන රෝහලෙන් පිටව ආයේ සදෙව් ගැන බලාගන්නට සිය මව රෝහලෙහි සිටිනා නිසාය. රෝහලෙහි ප්‍රවාහන කටයුතු සිදුකරන වාහනය ගේට්ටුව අසල නවතනු තාරා අඳුරේ වුවද ජනේලයෙන් දුටුවාය. ඇය වහා ගෙයින් එළියට දිව ගියාය. ගේට්ටුව අසලට ගොස් එය විවර කරද්දි සිය මව වූ සමදරා ඒ අසල සිටිනු දැක ඇය මවිත වූවාය.