Mandaramen Eha
“හාහ්….හා…”
කියා හඬ නඟමින් බරට පපුවේ හිරවූ හුස්මක් වේගයෙන් එළියට ඇද වීසී කර දමමින් සමන්තී නිදි පැදුරෙන් නැඟී සිටියාය. සියොළඟම දහඩියෙන් තෙමී තිබියදී පවා, දෑත් පැදුරේ දෙපසට ගසාගෙන ඈ මොහොතක් එලෙසම හුස්ම ඉහළ,පහල හෙලුවාය. මේ රාත්‍රිය නොවන බවත්, තමා දහවල් සිහිනයක් දැක ඇති බවත් වටහාගන්නට ඈට තවත් මොහොතක් ගත වූවාය. දිවා ආහාරයෙන් පසුව සිය පුතු කවිරූ නින්දට ගිය හෙයින්, ඔහුත් සමඟ පැදුරේ කොනක යාන්තමට ඇලවූවා පමණක් සමන්තීට මතකය. එක්වරම නැවත ඇගේ පපුව හිරවී ගියේ සිය පුතු පැදුරේ අනෙක් පස නොවනා බව දැකීමෙනි.
“බංඩාර මුත්තේ..”
යැයි කෑගසාගෙන පැදුරෙන් නැගී සිටි ඈ පිම්මේ එළියට පැන්නාය. මිදුලේ කිසිම තැනෙක පුතු පෙනෙන්නට නොවීය. වේගයෙන් ගැහෙන ළැම අතකින් හිර කරගෙන ඈ ගේ වටා රවුමක් දිව්වාය. එහෙත් පෙනෙන මානයක පුතුගේ රුව සමන්තීට දර්ශනය නොවූයෙන්, ඇගේ දෑස් ක්ෂණිකව නතර වූයේ වත්ත පහළට වන්නට ඇති ලිඳ වෙතය. ගැහෙන දෙපා එදෙසට ඇදී ගියේ කිහිප වාරයක් ඈ අඩපණව බිම ඇදවැටෙන්නට යද්දීය.
“අනේ මයෙ අම්මේ..”
සමන්තීට එසේ කෑගැසුනේත්, බිම ඉන්දවුනේත් එකවරමය. ලිඳේ බොලොක්කය මත ලණුව හෝ පනිට්ටුව පෙනෙන්නට නොවීය. ඉතිරි දුර ඈ ලිඳ දක්වා ගියේ බිම දිගේ රූටමිනි. තමා දැන්,දැන් සිහිමුර්ජා වේවිය යන සිතිවිල්ලෙන් දෑස් වසාගෙන ලිඳ තුළට හිස පෙවූ සමන්තී, හිතෙන් දස දහස් වාරයක් දෙවියන් බුදුන් යැද්දේ දුකක්,නපුරක් දෑසට නොපෙනේවා කියා සිතමිනි.
“සමන්තී..”
තමන්ගේ නම කියා මිදුල දෙසින් ඇසුණු ගෝරනාඩුවට සමන්තී දෑස් හැර පිටුපස බැලුවාය. හඬ එන්නේ මිදුල දෙසින් වග හඳුනාගත් ඈ, දණි,පණි ගා නැගිටගෙන මිදුල තෙක් හැල්මේ දිව ආවාය. පැමිණි වේගය බාල වූයේ මිදුල මැද හිටගෙන ගේ දෙසට මොර දෙන කාලිංග දැකීමෙනි. සමන්තී දුටුවනම ඔහු අඩියට,දෙකට විත් ඈ ළඟ හිටගත්තේය. කෙලින් බැලීමට නොහැකි තරමට ඔහුගේ මුහුණ රෞද්‍ර පෙනුමක් ගෙන තිබුණේය.
“කෝ යකෝ කොල්ලා..”
“කො..කොල්..ලා ..තමා අයියෙ මාත් හොයන්නෙ..”
“හොයඤ්ඤෙ..තෝ දැන්ද හොයඤ්ඤෙ..මෙච්චර වෙලා මොන රෙද්ද අස්සෙද මකබෑවිලා හිටියෙ..ඈං යකෝ….”
“ටික..ක්..නින්ද ගියා අයියේ..”
“චටාස්” හඬින් සමන්තීගේ කොපුල් හරහා වැදුණු අතුල් පහරට, ඈ අසළ තිබූ මල් පෝච්චි දෙකක්ද පෙරළාගෙන බිම ඇද වැටුණාය. කාලිංග වේගයෙන් වෙව්ලන අතෙහි දබරැඟිල්ලද උරුක් කරගෙන සමන්තී වෙත නැඹුරු වෙද්දී, ඈ බියෙන් ගැහෙමින් පොළොවට හැකිළුනාය.
“මීට පස්සෙ තෝ මොන කඩප්පුලියා එක්ක නිදාගත්තත් මට කමක් නෑ වම්බියේ..ඒත් අද ඉඳලා අර කිරි සප්පයා ඉන්න ඕනේ මහ ගෙදර අපේ අම්මා එක්ක..උගේ අම්මය කියන හැඟීම අංශු මාත්‍රයක් හරි තොගේ හිතේ තියේනම්, දෙයියන්ගෙ නාමෙට එහේ ඇවිත් නතර වෙය..බංඩාර මුත්තා දිවුරලා මේ කියන්නෙ..තව එකම එක දවසක් අර නොදරුවා මේ ගෙදරදි මට දකින්න ලැබුණොත්, ආය දෙකක් නෑ මං තෝව මේ ගෙටම දාලා ගිණි තියනවා..”
කිහිප වරක් සිය දබරැඟිල්ල සමන්තී වෙතට දිගු කොට සෙලවූ කාලිංග, සරම කැහැකවාගෙන ගොස් කඩුල්ල පනින තෙක්ම, සමන්තී සිටි ඉරියව්වෙන්ම තුෂ්නිම්භූතව උන්නාය.
ගිරාතලාන වැව් බැම්මේ පිටවානට විරුද්ධ දෙසින් බැම්ම ආරම්භයේම වූ රූස්ස තිඹිරි ගසේ, වැව තුළට විහිදී ගිය බංකුවක ආකාරයේ කඳ මත දෙපා සොළවමින් හිඳ උන්නී තාරුකය. ඇගේ දෑස් යොමුව තිබුණේ වැව් තාවුල්ලේ වන රොද මුදුනින් පෙනෙනා සැස්සේරුව කන්ද වෙතටය. ශාරික ඈට මඳක් සමීපව ඈ අසලින් වාඩි ගෙන උන්නේ ඇගේ ඉරියව් පිරික්සමින්ය. තාරුකාගේ කල්පනාව ඇත්තේ තමාට නොපෙනෙන ඉසව්වක බව හැඟී ගියෙන් ඔහු ඈ සමීපයට පැමිණියේ දෑත් කඳ මත තබා පිටුපසින් එසවෙමිනි. එනමුදු තාරුකා ඒ වගක් නොදුටුවාය. ශාරික ඔහුගේ එක් පාදයකින් තාරුකාගේ නොනැවතී සෙලවෙන පාදවලට තට්ටුවක් දැම්මේය. සමබරතාව ගිලිහී ගිය තාරුකා වහා දෑතින් තිඹිරි කඳ බදාගත්තේ ශාරික වෙත නෝක්කාඩු බැල්මක් හෙලමිනි.
“මොනාද ඔය හැටි හිතන්නෙ..”
ශාරික විමසූයේ තාරුකා උල් වූ දෙතොලින් තමන් වෙත හෙලා සිටිනා නෝක්කාඩු බැල්ම මායිම් නොකරය.
“අර සැස්සේරුව මේ වැවේ ගිල්ලන්නෙ කෝමද කියලා..”
තාරුකාගේ පිළිතුරට එක්වරම ශාරිකගේ මුවඟට සිනාවක් නැග ආවද, ඔහු එය නොපෙනෙන්නට තොල් විකා ගත්තේය.
“සැස්සේරුව වැවේ ගිල්ලවීම කෙසේ වෙතත් මං තව ටිකක් හයියෙන් ඔයාගේ කකුලට තට්ටු කරානම් හෙම, මේ අත්තෙන් පතබෑවිලා ඔයාටයි වැවේ ගිලෙන්න වෙන්නෙ..”
“මේ වැවට බෑ මට ඒ තරම් නපුරක් කරන්ඩ..”
“ඇයි..මේ වැවටත් එහා ඔයා නපුරු හින්දද.”
“නෑ….මේ වැව මට කොච්චර නපුරුකම් කරත් ඊට වඩා දාස් ගුණයක් මං මේ වැවට ආදරේ නිසා…”
එය තාරුකා කටට ආවාට කී දෙයක් නොවන වග වෙනතක බලාගෙන ඈට ඇහුන්කම් දුන්නද ශාරිකට වැටහී ගියේ, සැහැල්ලුවෙන් ඇරඹි ඒ හඬ අවසානයේ බිඳී ගිය රිද්මය නිසාවෙනි.
“තාරූ…ඇත්තටම ඔයාට වෙන අහන්න දෙයක් ඇත්තෙම නැද්ද මගෙන්..”
“තියනවා ශාරූ…හැබැයි ඒ ඔයා ඔය අහපු ප්‍රශ්නෙමයි..”
“මරුනෙ..එහෙනම් එකම ප්‍රශ්නෙ මාරුවෙන් මාරුවට දෙන්නගෙන් අහ,අහා රෑ වෙනකම් අපි මේ අත්ත උඩට වෙලා ඉමුද..”
කලකට පසු තාරුකාගේ උස් හිනා හඬ වැව පුරා රැව් දුන්නාය. මෙතෙක් වේලා හිත පුරා කැකෑරුන මහා දුක් කන්දක් හිතෙන් පහව ගියා වැනි සැනසුම් බැල්මකින් ශාරික තාරුකාගේ මුහුණට එබුණේය. ඒ බැල්මට හසුව තාරුකාගේ පළල් හිනාව මුහුණ මත හැකිළී ගියාය.
” ඉතිං කිව්වෙ නෑනේ..කොහොමද අලුත් රස්සාව..”
“ඒකනෙ..ඔයාට මතකද දවසක් අපි දෙන්නා මෙතන ඉද්දිම මනුස්සයෙක් බයික් එකක ඇවිත් කඩයක් තියෙන්නෙ කොහෙද කියලා ඇහුවා…”
“මොකෝ නැත්තෙ..පස්සෙ ඒ මනුස්සයා ජිල්බුව බයික් එකේ දාං යනවා දැක්කා කියලා ඔයා කිව්වෙ..”
“ආන්න එයා තමා මගේ ලොක්කා..”
“නෑහ්ං…එයා එච්චර ලොක්කෙක්ද..ඉතිං එයා ඔයාව අඳුරගත්තද..”
“නෑනේ..ලොක්කා මාත් එක්ක කතා කරේම අපි ජීවිතේට මුණ ගැහුණෙ නැති ගානටනෙ..”
“ඒ මනුස්සයට හතලිස් ඇඳිරියද කොහෙද..”
“මට කියන්නම හිතුණා එදා සිද්ධිය..ඒත් මාධවී කිව්වනෙ බොස් ඕනවට වඩා කියවනවට කැමති නෑ කියලා..ඒ නිසා අහපු දේවල්වලට උත්තර දීලා කරබාගත්තා..”
“කවුද මාධවී කිව්වෙ..”
“ආහ්ං..කැෂියර් එකේ ඉන්න ගෑණු ළමයා..”
“ගෑණියෙක්ද නැත්තං ළමයෙක්ද..”
“මගේ වයසෙම වගේ ඇති..”
“ඔයාලා තුන්දෙනා විතරද එතන වැඩ කරන්නෙ..”
“තුන්දෙනා කිව්වෙ..”
“ඔයයි,ලොක්කයි අර කෙල්ලයි..”
“ලොක්කා නිතරම එන්නෑ…දවසකට සැරයක් ඇවිත් යනවා…සමහර දවස්වලට එන්නෙම නෑ…අපි දෙන්න තමා වැඩ ටික කරගෙන යන්නෙ..ඒ අතින් මාර නිදහස් රස්සාව..මං ඉතිං ඔය කම්මැළි…”
කතාව මඳකට නවතා ශාරික එක්වරම තාරුකාගේ දෙසට හැරුණේ යමක් ඇසීමට සිතාය. දෑසේ පිරුණු කඳුලු සහිතව ඔහේ වැව් දියට එබී හුන් ඈ දැකීමෙන් නොසන්සුන් වූ ශාරික ඇගේ උරහිස මත අතක් තැබුවාය.
“ලොකූ..”
තමාගේ උරහිස මත වැදුණු අතකින් තිගැස්සී ගිය ශාරික වහා හිඳ හුන් හාන්සි පුටුවෙන් නැඟී සිටියේය. තේ කෝප්පයක් අතැතිව තමා අසළ උන්නේ සිය මව වූ හීන් බංඩාරමැණිකේය. තමා මෙතෙක් හිඳ ඇත්තේ අතීතාවර්ජනයක බව සිහිවීමෙන් ශාරිකට සියුම් ලැජ්ජාවක් දැණිනි.
“මං බලාගෙන ලොකූ දැන් සෑහෙන වෙලාවක ඉඳලා උන්නෙ බර කල්පනාවක..”
“වැඩ කරල,කරලා එකපාරටම නිවාඩුවක් ලැබුණාමත් කම්මැළියි අපෙ අම්මා..”
“අද ඉස්කෝලෙ අක්කා පණිවිඩයක් එවලා තිබුණා..”
“මොකක් හරි හදිසියකටද අපෙ අම්මා..”
“රිදී නැන්දට ටිකක් සනීප මදිලු.”
“ඒ මක්වෙලාද..”
“දන්නැද්ද වයසක උදවියනෙ..චූටිව තව ටික දවසකට නතර කරගන්ඩ ඇහුවා..”
“ඉතිං..”
“ඉස්කෝලෙ අක්කගෙ වචනෙකට කටක් ඇරලා බෑයි කීවැහැකිද ලොකූ..”
ශාරික සිය මව වෙතට හැරුණේ යමක් විමසීමට සිතාය. එහෙත් ඒ වනවිටත් හීන් බංඩාරමැණිකේ ආලින්දයෙන් ගෙට ඇතුළු වෙමින් සිටියාය.
“අයියට තරහ ගිය එක සාධාරණයිනෙ අක්කා..”
තාරුකා එසේ කීයේ ඇහැළ ගස පාමුල ලී බංකුවේ සමන්තීට විරුද්ධ පසින් වාඩිවෙමිනි. සමන්තී තාමත් ඇත්තේ පපුවට අතක් ගසා ගත්වනමය.
“මට තාමත් හිතාගන්න බෑ නංගියේ..මයෙ කොල්ලා මෙච්චර දුරක් තනියම ඇවිදන් ආවා කීවම..”
“කොල්ලා හොඳටම බයවෙලා හිටියෙ..එක හුස්මට වතුර ජෝග්ගුවක්ම බීවා..ඒ තරම් පිපාසෙන් ඉඳලා තිබ්බෙ..”
“අනේ මගේ අසරණයා නැගිටලා වතුර හොයන්නැති..”
” අක්කෙ ඔයා ඒ වෙලාවෙ නිදාගෙන හිටියා කිව්වෙ ඇත්තටමද..”
තාරුකාගේ වචන කිහිපය සමන්තීට දැණුනේ තවත් අතුල් පහරක් ලෙසිනි. නින්දේදී දකින සිහිනයක් පවා තමන්ට අකැප නොවේදැයි සිතී සමන්තීට හීල්ලිනි.
“මං ඔච්චර හූල්ලන්න දෙයක් ඇහුවයැ අක්කා..”
“ඔයාගේ වචන ටිකෙන් මට අයියා කණට ගැහුවට වඩා රිදුණා නංගී..”
“අනේ අක්කා..මං ඒක කටට ආවට ඇහුවෙ..”
“කටට එන්නෙත් හිතට එන දේවල්නෙ නංගී..”
“ඔය ඉතිං..ඔයාටත් වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑනෙ අක්කා..”
“ඔයාලා වැරදි නෑ නංගී..එදා ඉඳලා මේ පවුලට වැරදි කළේ මං..ඒවට තාම මං දඬුවම් විඳලා ඉවර නෑ.. මට බය මං ගැන නෙමේ නංගී..මං හින්දා මයෙ කොල්ලටත් මේවට දඬුවම් විඳින්න වෙයිද කියලයි..”
“ඔන්න ඔහේ ඔයා මෙහාට වෙලා ඉන්න අක්කා.. අර පාළු ගෙදෙට්ට වෙලා තට්ට තනියම ඉන්නෙ මොකටද..”
“අයිය කණට ගහලා කියපු දේමයි ඔයත් කියන්නෙ..ඒ ගෙදර පාළුයි තමා, තනියි තමා…හැබැයි ඒ ගෙදරින් තමා මට ජීවිතේ ලැබුණෙ..”
“අක්කා කැමති තීරණයක් ගන්න..මං මේ දේවල් කීවෙ කුඩුකේඩුකමට නෙමේ..සහෝදරකමට..”
“මට තේරෙනවා නංගී..මං මගේ කොල්ලා වෙනුවෙන් ජීවිතේ ඕනෑම දෙයක් අතාරින්න ලෝබ වෙන්නෑ..”
“අක්කා මොනාද කරන්ඩ හිතං ඉන්නෙ..”
“කරන්ඩ දෙයක් හිතාගන්ඩ බෑ.. ඒත් මොනාම හරි කරන්ඩ වෙනවා නංගී..”
“අක්ක වෙනුවෙන් මට පුළුවන් දෙයක් මං කරනවා අක්කේ..”
“එකම එක දෙයක් කරපං මගෙ නංගියේ..ටික කාලෙකට හරි මට මගේ කොල්ලගෙන් ඈත්වෙන්න සිද්ධ වුණොත්, කවදාවත් මයෙ අහිංසකයට මං නැති අඩුව දැනෙන්න දෙන්නෙපා..”
“අක්කේ…”
කුහුලෙන් විසල්ව ගිය තාරුකාගේ දෑස් ප්‍රශ්නාර්ථයෙන් නතර වූයේ සමන්තීගේ මුහුණ මතය. එකෙනෙහිම කඩුල්ලේ උණ බම්බු පහත හෙළන හඬ ඇසිණි. ලොකු බංඩාරමැණිකේ සහ ජිල්බු කඩුල්ල අසළ වූහ. සමන්තී කඩුල්ල පැන තමන් දෙසට පැමිණෙන සිය මව පෙරමඟට ගියාය. එහෙත් ලොකු බංඩාරී සමන්තීව නොතකා කෙලින්ම ගොස් ගෙට වැදුනාය. කඩුල්ල පනින්නේද,නැද්ද යන්න තීරණය කරගත නොහැකිවාක් මෙන් ඒ අසළ කැරකෙන ජිල්බුව නිරීක්ෂණය කරමින් සිටි තාරුකා එදෙසට ඇදුනාය.