FeaturesDonilaye Amme - 07 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 07 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – මං සාලෙට වෙලා ඔහේ ටී.වී එක දිහා බලං හිටියා. ඒකේ ගිය කිසි දේකින් හිතට පණක් ,ප්‍රබෝධයක් ආවේ නෑ. ඒත් ලොකු එකී දැහැනකට සම වැදිලා වගේ මොකක්දෝ නාට්‍යයක් දිහා බලාගෙන ඉන්නවා. එතනින් නැඟිටලා සාලෙට ආවේ ඒ තරම් කම්මැළි කමකින් ඇඟ රිදෙන්න ගත්තු නිසා. ලකියත් මිදුලෙ එහෙ,මෙහෙ ගිහිං බැරිම තැන වක ගැහිලා නිදාගත්තා. මං උගේ ළඟට ගිහිං ඔලුව අත ගෑවා. ඌ නිදියන එක පැත්තක තියලා මාත් එක්ක දඟලන්න ගත්තා. මං පොඩි ලී දණ්ඩක් අරං ඈතට වීසී කරා ඌ තප්පරෙන් දුවලා ගිහිං ඒක අරං ආවා. මං ආයෙත් ඒක මල් වැට පැත්තට වීසී කරා.

“ආව්ව්හ්ං…”

ඒ කටහඩ දෝණිලයෙ අම්මගෙ,මං වීසී කරපු ලී කෑල්ල ෂුවර් එකටම එයාගේ වදින්නැති. ඒ හින්ද මංම කට ඉස්සර කරා.

“මොනාද ඔය මල් පඳුරු අස්සේ කරන්නේ..”

දෝණිලයෙ අම්මා මං ළඟට ආවේ ඉනට අත් දෙක තියාගෙන.

“හිතුවද මං මැණික් ගරනවා කියලා.. මල් පැලවල මුල් පෑදිලා,කණාටු වෙලා ගිහිං,පස් ටිකක් ළංකරලා වතුර බාල්දියක් දාන්න මිනිහෙක් නැති හැටි මේ ගෙදර..”

“අර ලොකු ළමයා ටී.වී එක දිහා කට ඇරං බලාගෙන ඉන්න වෙලේ ඔය වැඩේ බාර දුන්න නම් ඉවරනේ…”

“ඇයි ඒ ළමය ඔය මහත්තයා බල්ලෝ හුරතල් කර,කර ඉන්න වෙලාවේ එහෙම එකක්වත් කරොත් තත්වෙට හරි මදිද…”

එහෙම කියාගෙන දෝණිලයෙ අම්මා ගෙට රිංගුවා. ඉන් එහා යමක් කතා කිරීම නිශ්ඵල දෙයක් නිසා මාත් කට පියාගත්තා. අපි දෙන්නගෙ සෙල්ලම,ලෙල්ලමක් වෙලා කියලා දැනිලද කොහෙද ලකියා හිමීට වත්ත පිටිපස්සට යනවා මං දැක්කා. පාරවල් හොඳටම පාළු වෙලා , පැය විසිහතරම නොකඩවා වාහන මිනිස්සු එහා,මෙහා ගිය පරිසරයකට මේ තරම් ගුප්ත නිහැඬියාවක් එකතු කරන්න එක වසංගතයකට ගියේ කොච්චර පොඩි කාලයක්ද..?

“තාත්තේ….”

මොබයිල් ෆෝන් එකත් මං දිහාට දිහාට දික් කරගෙන පොඩි එකී බලං ඉන්නවා.

“ඇයි චූටී….”

මං ඒකී ළඟට පහත් වුණේ එහෙම අහගෙන.

“තව ටිකකින් ඔන් ලයින් ක්ලාස් පටං ගන්නවා…මේ ඇප් එක වැඩ නෑනේ තාත්තේ…පොඩ්ඩක් බලන්නකෝ….”

නවීන තාක්ෂණය ගැන මෙලෝ මල දානයක් නොදන්න මං චූටි එකීයි,ෆෝන් එකයි එක්ක ගිහිං සේපාලිකා ගහ යට බංකුවේ වාඩිවුණා.

“ඔයා දන්නවද පැටියෝ තාත්තලා ඉස්කෝලේ යන කාලේ මෙහෙම පහසුකම් තිබ්බේ නෑ අපිට…”

ෆෝන් එක පැත්තකින් තියපු චූටී එකී ලොකු කතාවක් අහන්න හරි,බරි ගැහිල මං ළඟ වාඩිවුණා.

“අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ හොඳටම හවස්වෙලා…අඹ ගස්,පේර ගස්,කෝන් ගස් නැඟලා ,වැව්වල,ඇලවල් වල බැහැලා නාලා…”

” ඇයි ඉස්සර ස්කූල් වෑන් තිබ්බේ නෑ… ”

“ස්කූල් වෑන් තියා බස් එකක්වත් තිබ්බේ නෑ හරියට….මං ඉස්කෝලේ ගියෙ පයිං… ”

“පයිංං..”

කෙල්ලගේ කට පළල් වෙන හැටි මං දැක්කා. ඒකෙන් මගේ අතීතකාමය තව,තවත් ඇවිස්සුණා.

“ඔව් වෙල් මැදින් මඩ නාගෙන අපි ඉස්කෝලේ ගියේ…ගෙදර එද්දි සුදු ඇඳුම් මඩ පාටයි…”

“ඉතිං තාත්තෙ හදිසියක් වුණාම කොහොමද දැනගන්නෙ… ”

“දැන් ඔය ඔයාලට තාම උගන්නනවා නේද ටෙලිග්‍රෑම් යවන හැටි,රාජකාරී ලියුම් ලියන හැටි,පෝස්ට් කාඩ් යවන හැටි…”

“ඔව් ඒ වුණාට මං ටෙලිග්‍රෑම් එකක්,පෝස්ට් කාඩ් එකක් දැකලවත් නෑ තාත්තේ…”

කෙල්ලගේ මූණ බෙරිවුණු එකට දොස් කියන්න ඕනේ කාටද කියලා දැනගත්තත් මං කරබා ගත්තා.

“මං ඔෆීස් පටං ගත්තම මයෙ දූට පෝස්ට් කාඩ්,එකකුයි,වෙසක් කාඩ් එකකුයි තැපෑලෙන් එවන්නම්..”

“හා…”

“එතකොට ඔයාට පුළුවන් පියුම් මාමා එනකං අර ගේට්ටුව ගාවට වෙලා බලාගෙන ඉන්න…ඉස්සර තාත්තත් එහෙම හිටියා…”

මගේ කල්පිත ලෝකය ඒකිට තේරුණාද දන්නෑ…හැබැයි අලුත් බලාපොරොත්තු එක්ක ඒ පුංචි ඇස් හිනාවුණා.

“චූටීඊඊඊ…….”

ඒ හඬ ගේ ඇතුලෙන් ආවේ දෝණිලයෙ අම්මගෙන්. කෙල්ලගෙ ඇස් ලොකුවුණා.

“තාම ඕක හදාගත්තෙ නැද්ද….ක්ලාස් පටං ගන්න තව විනාඩි දහයයි…”

“ඒක ඩවුන්ලෝඩ් වෙන්නෑ…සිග්නල් මදි…”

මට චූටී එකීව බේරගන්න කියන්න තිබුණේ එච්චරයි. දෝණිලයෙ අම්මා අපේ ළඟට ආවා. මායි,කෙල්ලයි දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ,මෙතන මොකක් හරි වෙලා තියනවා කියන සැකෙන්.

“හදාගන්න බැරිනම් ඔතන දපලා හිටියම හරිද ළමයෝ….අරහෙ ටීචර් බලං ඉන්නවා…තාත්තටම හරියන දෝණියැන්දැ….කර අරිනෙකට උපන් හපන්නු……..”

දෝණිවත් ඇදගෙන ගෙට යන එයාගේ කතාවේ අවසාන වචන ටික මට ඇහුණේ ගේ ඇතුලෙන්.

මට තේරෙනවා දෝණිලයෙ අම්මේ…මේක අපි කියලා ඉල්ලගත්තු වසංගතයක් නෙවෙයි. මේ කාලෙදි කාටවත් දොස් කිය,කියා දරුවොන්ගෙ අනාගතේ අඳුරට දාන්නත් අපිට බෑ. ඒ අතින් ඔයා හරි. එළඹිලා තියන මොහොතට අපි මූණ දෙන්නෝනේ. ඒ වගකීම ඔයා හරියටම කරනවා. ඒත් දරුවො මොකක්දෝ රොබෝ හැඟීමක මැරෙනවා මට පේනවා. මේ ඩිවයිස් එක්ක උන්ගෙ ළමා කාලය වැරදියට අප්ඩේට් වෙනවා නේද කියලා මට හිතෙනවා.
තාම අපේ දරුවො ඉන්නේ තියරි වල. උන් කවදාහරි මේ සමාජෙදි ඕකට ප්‍රැක්ට්‍රිකලි මූණ දෙන්න ඕනෙ. එදාට මෙහෙම හරි අපේ අතීතකාමය උන්ගෙ ඉස්සරහට ගේන්න ඔයාවත් මමවත් ජීවත් වෙලා ඉන්නෙකක් නෑ. උන් මේ සමාජය අප්ඩේට් කරපු ඩිවයිස් එක්ක හැඟීම්,දැනීම් නැති රොබෝ මිනිස්සු වෙනවට,මං බයයි දෝණිලයෙ අම්මේ. ඔව් උන් තව දුරටත් වැදි යුගයේ,එඬේර යුගයේ ඉන්නෝනෙ නෑ. මේ නවීන ලෝකය එක්ක මුහු වෙන්නෝනේ. හැබැයි ඒ මුහුවීම මානූෂීය හැඟීම් එක්ක බද්ධ වුණු එකක් වෙන්නෝනේ. ප්ලග් එක ගලවපුවාම වැඩ නැති ඩිවයිස් වගේ දවසක උන් මේ සමාජය මැද අක්‍රීය වුණොත් ඔයාටයි,මටයි ඉන්න ලෝකෙක ඉඳං බලං ඉන්න පුළුවන් වෙයිද..?

“තාත්තෙ ආං….”

තේ කෝප්පයක් අරං ලොකු එකී මං ළඟ.

“නංගිගෙ ඔන්ලයින් ක්ලාස්….”

මට එහෙම ඇහුණේ ඉබේටම.

“මාත් අම්මට කීවා ඇප් එක ඩවුන්ලෝඩ් වෙන්නෑ කියලා. අම්මා ටීචර්ට කෝල් කරා මං හිතන්නේ….”

“කෝ දැන් චූටී එකී…”

“අම්මා එයාට ගූගල් එකෙන් පෝස්ට් කාඩ්,ටෙලිග්‍රෑම් පෙන්නනවා….”

තේ පිට උගුරේ ගිහිං කැස්සක් ආවා. ලොකු කෙල්ල ගෙට යන දිහා බලං ඉඳලා මං ආයෙම බංකුව උඩට ආවා.

ජීවිතය චක්‍රයක් වගේ දෝණිලයෙ අම්මේ…මොන තාක්ෂණික ලෝකෙත් හිතත් එක්ක තමා කැරකෙන්නේ. මෙවලම් නිර්මාණය කරන්නෙත් මිනිස්සු තමන්ගෙ හිත යොදාගෙන. ඒ නිසා යකඩ ගොඩක් උණු කරලා හදන්නෙ කඩුවක්ද,තොටිල්ලක්ද කියලා ඒ හිතට දැනෙනවා. අපි දරුවො හිතන ක්‍රමය මේ අධිවේගී තාක්ෂණයට විතරක් තනිකරම බාරදෙන්න හොඳ නෑ. දෙමව්පියො විදිහට අතීතයේ අපි අත්දැකපු,අද උන්ට අහිමි වුණු සුන්දර දේවල් පෙන්නන්නෝනේ. ජීවිතේ කියන්නේ ඩිවයිස් එකම නෙවේ කියලා උන් තේරුම් ගන්නෙ එදාට. මං දන්නවා ඒක කරන්න පුළුවන් එකම කෙනා ඔයා. සල්ලි අතෑරලා මාව තොඉරගත්තු ඔයා,වැරදි දේ අතෑරලා දරුවන්ට හරි දේ තෝරගන්න පාර පෙන්නයි. මේ අරාජික කාලේ ඉක්මනින් ගෙවුණාම අපි දරුවො එක්ක දුර පලාතකට ට්‍රිප් එකක් යමු.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you