Tharu Mal Viyan තරු මල් වියන්
රෑ අහස දෙස බලාන අංජලී සුසුම් කීයක් නම් පිට කළාදැයි ඇයම නොදත්තාය. මාලක එදා සමුගෙන ගිය පසුව මේ වන තුරු ඇමතුමක් වත් නොදුන්නේය. දැන් සතියකුත් ඉක්ම ගොසිනි. මාලක කළ යෝජනාව මේනක හා පවසමු යැයි ගයානි කී දේ අංජලී ප්‍රතික්ෂේප කළේ තැති ගත් සිතිනි.
“එයා ගැන හූල්ල හූල්ල ඉන්නෙ නැතුව වෙන අතක් බලා ගන්න…”
වරෙක රංගිකා කීවේ නොමනාපයත් නොසතුටත් මිශ්‍ර වූ කෝපයකිනි.
“ඔව් අනේ…අපි කියන්නේ අෆෙයාර් එකක් පටන් ගන්න නෙවේ…පාඩුවේ ඉන්න කියලා…”
ගයානිද කීවේ එයට එකඟවය. අංජලී ඒ මොහොතේද කිසිත් නොකියා මුණිවත පිරුවාය. මිතුරියන් සියල්ල පවසන්නේ තමාගේම හොඳට බව ඈ නොදැන සිටියා නොවේ. නමුත් එක්වරම මාලක අමතක කරන්නට හැකියාවක් ඇයට නොවීය. මුලින් පටන් ගන්නා විට තම සිතේ ඔහු කෙරෙහි ආදරයක් තිබුණා කියා කිව නොහැකි වුවද මේ වන විට එය දළු ලා වැඩුණු ශාකයක් මෙන් වර්ධනය වී තිබිණි. ආදරෙන් රැක බලා ගන්නා පැළයක් වුවද කපා දමන්නට නොහැකිය. එය සිතේ මුල් බැඳ අවසන්ය.
“ඒ පාර ආයෙමත් හූල්ලන්න ගත්තා…මොන එකක්ද මේක…”
ගයානිගේ නොමනාපය මුසු කෑ ගැසීමෙන් අංජලී තිගැස්සී ගියාය.
“මාලක ගැන හිත හිතා කවදා වෙනකල් හූල්ලන්නද අනේ…?”
ගයානි යළිත් කීවේ කෝපයෙනි.
“මොකුත් කියන්න එපා ගයා…අන්තිමට එයාට අපිවත් එපා වෙයි…හොඳම දේ එයාටම දැනෙන්න ඉඩ අරින එක…”
රංගිකා කීවේ මෙතෙක් දුන් අවවාද වලින්ද පළක් නොවූ තැනය. අංජලී කිසිත් නොකියා නිහඬව සිටියාය.
ගයානි ශාමින්ද හා සිය ප්‍රේම සබඳතාවය පවසා තිබුණෙන් ඔහුට ඉරේෂ් මුණ ගැසෙන්නට වුවමනා විය. ගයානි මේ සබඳකම නවතමු යැයි කොතෙක් කීවද ඉරේෂ් එයට එකඟ නොවුණේ ඔහුට ඇයව වුවමනා බව කියමිනි. ඈ අවසන ශාමින්දව මුණ ගැස්සවීමට එකඟ වූයේ ඉරේෂ්ගේ වද කිරීම නිසාය.
“අයියා අකමැති වුණා කියන්නේ කොහොමත් මේවා වෙන්නේ නැහැ…මට දැන් ඔයාව එපා වෙලා තියෙන්නේ…”
අවසන ඈ ඉරේෂ්ට පැවසුවේ කෝපයෙනි. ඉරේෂ් එයට මඳහසක් පාමින් එකඟ වූයේ කෙසේ හෝ ශාමින්දව කැමති කරවා ගන්නා අටියෙන් වුවද ඔහු ඉරේෂ් සමඟ කළ කතා බහෙන් ඔහු කවුදැයි මනාව හඳුනා ගත්තේය.
“නංගි දැන් ඔයාට කැමති නැහැනේ…ඒක එයා කීප වතාවක්ම කියලා තියනවා නේද…මේක මෙතනින් ඉවරයි…ආයේ කෝල්ස් බැහැ…මීට් වෙන්න හදන්න බැහැ…එහෙම වුණොත් තමුන්ට වෙන දේ තමුන්ටවත් හිතා ගන්න බැරි වෙයි…”
ශාමින්ද ඒ කළේ නිකන්ම තර්ජනයක් නොවන බව වටහා ගත් ඉරේෂ් සිතේ ඇති වූයේ තරමක බිය මුසු හැඟීමක් මුත් ඔහු ශාමින්දට පවසා සිටියේ තමා ගායනිට කෙතරම් ආදරය කරනවාද කියාය.
“ආදරේ කියන්නේ වුවමනාවක් නෙවේ…අයිති කරගන්න දේකුත් නෙවේ…තමුන් ඇත්තට ආදරේ නම් පාඩුවේ ඉන්නවා…මානසික වදයක් නොවී…මං ආයේ කිය කිය ඉන්නේ නැහැ…පාරේ හන්දියේ කකුල් දෙකෙන් එල්ලලා හම ගහනවා…ආයේ කෙල්ලෙක් පස්සෙන් නොයන්න…”
ශාමින්ද එසේ පැවසූ බවක් ගයානි දැන ගත්තේ ආදිත්‍ය හා මාලක පවසා තිබූ නිසාය.
“හොඳ වැඩේ…”
රංගිකා කීවේ සතුටිනි. ගයානි සිය දුරකථන අංකය මාරු කළේ ශාමින්දගේ වුවමනාවටය.
“අපි ඔයාට වෙන කෙනෙක් බලමුකො…”
ශාමින්ද කීවේය. ගයානි නිහඬව සිටියේ යළිත් වතාවක් ප්‍රේමයක පැටළීමට තරම් සිතක් ඈ තුළ නොවූ නිසාය.
“අයියා කියන දෙයක් තමා…මට ආයේ නම් ලව් එපා…”
ඈ කීවේ කළකිරීමට පත් හඬකිනි. අංජලී කිසිත් නොකියා නිහඬව සිටියේ මියුර ඈ පිළිබඳ සිතකින් පසුවන බව දැනය. ටික කළකින් එය ගයානි හා පැවසිය යුතුය. දැන්ම හදිසි වන්නේ කුමකටද…? ඊට පෙර ඔහුව ශාමින්දට මුණ ගැස්විය යුතු යැයි අංජලී තනිව සිතුවාය.
——————————————————————————————————
එදින තරමක අඳුරු දවසක් විය. පෙරදින රාත්‍රියේත් ඇද හැලුණු වැස්ස නිසාවෙන්දෝ පරිසරයේ වූයේ සීතලකි. යහනින් බැසීමට තරම් සිතක් නොවූ නිසා අංජලී පොරවනය ගෙන තවත් යහනේ ගුළි වූවාය.
“මේ මොකද මේ ආයේම රෙද්ද පොරව ගත්තේ…නැඟිටිනවා…අදත් පරක්කු වෙන්නද හදන්නේ…?”
ගයානි අංජලීගේ ක්‍රියාව දැක කෑ ගැසුවාය.
“අද නම් කම්මැලියි වගේ අනේ…”
ඇඟ මැලි කඩමින් අංජලී කීවාය. ගයානි ඇගේ පොරවනය අදින විට අංජලී කෑ ගැසුවාය.
“සීතලයි අනේ…”
“නැඟිටිනවා…කම්මැළි නැතුව…අපිවත් කම්මැළි කරනවා…”
ගයානි කෑ ගැසුවාය. රංගිකා නාන කාමරයෙන් පිටතට පැමිණියේ එවිටය.
“මොකද මේ දෙන්නා උදේ පාන්දර කෙහෙවළු පටලන් කෑ ගහන්නේ…”
දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමින් රංගිකා ඇසුවාය.
“මේකි ආයේම නිදා ගන්න හදන්නේ…අපිවත් කම්මැළි කරනවා…”
ගයානි කියන විටත් අංජලී පොරවනය ඇද යළිත් අනෙක් ඇලයට හැරී නිදන්නට සූදානම් වූවාය.
“නැගිටිනවා ළමයෝ…දැන් තුෂාරලා එයි…”
ගයානි නැවත කෑගසන විට අංජලී අදිමදි කරමින් යහනින් බැස ගත්තාය. සිතට කිව නොහැකි හැඟීමක් දැනෙන්නේ මන්ද කියා ඇයට නොවැටහේ. අද නම් වැඩට නොයා සිටීමට තිබුණා නම් හොඳය කියා ඇයට සිතිණි. මහා අලස හැඟීමකින් සිතත් ගතත් පෙළේ. ඈ ඉක්මනින් දිය නාගෙන පැමිණියේ ගයානි දොරට ගසමින් කතා කරන විටය. තුෂර ඒ වන විටත් පැමිණ සිටි අතර ඔහුට අංජලී පැමිණෙන තුරු විනාඩි කීපයක් බලා සිටින්නට සිදු විය.
“බනින්න තුෂර…හැමදාම පරක්කුයි…”
අංජලී රථයට ගොඩ වන විටම ගයානි කීවේ තුෂර කවදාවත් ඇයට දොස් නොකියන බව දැන දැනමය. ඔහු නිහඬවම රථය මාවතට දැමුවේය.
තරමක කාර්‍ය්බහුල දිනයක් වූයේ තුෂරද කාර්යාලයේ නොවූ නිසාය. දිවා ආහාරය ළංවන තුරුම හිස ඔසවන්නට අවස්ථාවක් අංජලීට හෝ රංගිකාට නොවීය. උදෑසන දහයට සාදාගෙන ආ තේ කෝප්පයත් තවම මේසය මතය. යාන්තමින් වැඩ ටික අවසන් වන විට දිවා ආහාරයද ආසන්නය. මියුරත්, ගයානිත්, හිමානි සහ සෙනුරත් පහළට පැමිණියේ ඒ මොහොතේය. අංජලීත් රංගිකාත් යාබද කුටියට යෑමට සූදානම් වන මොහොතේ අංජලීගේ දුරකථනය හැඬ විණි. දොරට තැබූ අත යළිත් ගෙන අංජලී ආපසු හැරුණේ සමහරවිට ඒ තුෂර වන්නට ඇතැයි සිතමිනි. නමුත් ඒ ඇමතුම ඔහුගෙන් නොවේ. ඒ මාලකය. ඔහු අමතන්නේ බොහෝ කළකිනි. රංගිකා දොර ළඟ පමා වූයේ දෑසින් ඒ කවුද කියා විමසමිනි. ඒ මාලක බව අංජලී ඇයට කීවේ ඇමතුමට පිළිතුරු දෙන්නට පෙරය.
“ඕක පස්සේ ගන්න…නැත්නම් දැන් කන්න වෙන්නේ නැහැ…”
නොසතුටෙන් රංගිකා කීවාය.
“යමු…මං එන්නම්…”
ඈ එසේ කියා ඇමතුමට සම්බන්ධ වූයේ මාලක තමා අමතන්නේ බොහෝ දිනකින් වු නිසාය.
“අංජු…මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා…පොඩ්ඩක් එළියට එන්න පුළුවන්ද…?”
මාලක ඇසුවේ නිවුණු හඬකිනි. මේ ඔහුගේ ස්වභාවය නොවේ. ඇයට පුදුම සිතුණේ ඒ නිසාය. මේ මොහොතේ එළියට යන්නේ කෙසේද…?
“ෆෝන් එකෙන් කතා කරන්න බැරි තරම් වැදගත් දෙයක්ද…?”
මුවට නැඟි උපහාසය ඈ එලෙසම පිට කළාය.
“ඔව්…එහෙම කියන්න බැරි දෙයක් අංජලී…ප්ලීස් ටිකක් එන්න…”
එවර ඔහු බැගෑ හඬකින් කීය. ඈ පුදුමයෙන් කුමක් කළ යුතුද කියා සිතන්නට වූවාය.
“ඔයා දැන් කොහෙද ඉන්නේ…?”
ඈ එසේ ඇසුවේ මාලක එන්නේ කාර්යාලයේ සිට නම් තමාට කල්පනා කර තීරණයක් ගන්නට කාලයක් ලැබෙන නිසාය.
“මං එළියේ ඉන්නේ…ඔයාලගේ ෆැක්ටරි එක ඉස්සරහා…”
ඈ මවිතයට පත් වූයේ එය අසන විටය. ඔහු ඇමතුම ගත්තේ මෙතන්ටත් පැමිණද…? එසේනම් කළ හැකි කිසිත් නැත. පිටතට යා යුතුමය.
“හරි…මං එන්නම්…”
ඈ එසේ කියා ජංගම දුරකථනයත් මේසය මතම තැබුවේ ඔහු සමඟ කතා බස් කර සැනින් නැවත කාර්යාලයට එන නිසාය. කෑම කන කුඩා කාමරයේ දොර හැරගෙන අංජලී එයට හිස පෙව්වාය.
“ඔයාලා කන්න…මාලක ඇවිත්…එළියේ ඉන්නවාලු…මං ඉක්මනට කතා කරලා එන්නම්…”
ඈ එසේ කියා කිසිවෙකු කිසිත් කීමට පෙර දොර වසා දමා පිටතට පැමිණියාය. ගයානිට වුවමනා වූයේ ඇයව වළක්වන්නටය. නමුත් ඊට පෙර ඈ පිටව ගියාය.
“මේ මාලක නම් සාපයක්…”
ඈ කෝපයෙන් සිතුවා මිස මුවින් එම වදන් පිට නොකළාය.
“අපි මොකද කරන්නේ…එයා එනකල් බලන් ඉන්නවද…?”
මියුර ඇසුවේ අංජලී දැන්ම ඒවිදැයි සැකයෙන් යුතුවය.
“අපි කමුකෝ…එයාගේ කෑම එක තියලා තියමු…”
ගයානි කීවාය. අංජලී පිටතට පැමිණ මාලකගේ රථය නවතා තිබූ තැනට පියවර තැබුවාය. ඔහු සුක්කානමට දෑත් බර කොටගෙන කල්පනා බරව සිටිනු. ඈ දුර තියා දුටුවාය. වම් පස අසුනේ දොර විවර කරගෙන ඈ ඊට ගොඩ වූවාය. මාලක මුවේ සිනහවක් පවා නොමැතිව ඈ දෙස බැලුවේ බැරෑරුම් බවක් පළකරමිනි. මුවට නැඟි සිනහව එසැණින් වියැකී ගියේ මාලකගේ අඳුරු මුහුණ නිසාය. කුමක් හෝ වරදක් සිදුව ඇති බව ඇයට ඉවකින් මෙන් දැනිණි. ඔහු රථය පණ ගන්වා ගන්නා විට ඈ බියපත්ව ඔහු දෙසම බලා සිටියාය. තමා පැමිණියේ ඉක්මනින්ම යන්නටය. ඔහු මේ යන්න සූදානම් වන්නේ කොහිද කියා සිතමින් ඈ ඔහු දෙස බැලුවාය.
“ඔයා…කතා කරන්න ඕන කියලානේ කිව්වේ…අපි මේ කොහෙද යන්නේ…?”
ඈ ඇසුවේ බියපත් විලසිනි. මාලක ඒ නෑසුණා සේ ඉදිරියට රිය පැදවූවේය.