තේ වතු යායට මැදිවූ සංචාරක බංගලා එළිමහනෙහි තිබෙන උද්‍යාන බංකුවක නිම්නා සහ මිහිර වාඩිගෙන සිටිති. දෙදෙනාම සිටින්නේ උණුසුම් කෝපි බඳුන් තොලගාමිනි. පරිසරය උදා අව් රැල්ලක ආලෝකය ලබා තිබුණද, හමා එන සුළඟක තාමත් හිරිකඩ පිරී පවතී. නිම්නාගේ කෙටි දුඹුරු කොණ්ඩයෙන් මුහුණට වැටෙන කෙහෙරැළි ඈ විටින්,විට කන්පෙති අස්සේ ගසා ගන්නීය. මිහිරද නිතර තමන්ගේ නළලට වැටෙන අකීකරු කොණ්ඩය එක් රොදයකට අතින් සකසමින් සිටින්නේය.
” ඉතිං දෙයියනේ දොරට තට්ටු කරා කියලා මාලක ඇයි එව්චර තරහගත්තෙ..”නිම්නා අසන්නේ මිහිරගෙනි. ඊට ඔහුගේ පිළිතුර වූයේ සරල සිනහවකි.
“එකෙක් තමන්ගෙ බෙල්ල මිරිකලත් මේ මනුස්සයා හිනාවෙනවා.. මං එහෙමනම්..”
නිම්නා කියන්නේ දෑත් මිට මොලවාසොලවමින් ,දත්කූරු සපන අතරවාරයේය.
“මොනාද ඔයා වුණානම් කරන්නේ..”
“උගෙත් බෙල්ලෙන් අල්ලලා හොලවනවා..”
“ඊට වඩා මං කැමතියි ඔයා ඒ වෙලාවේ කරපු දේට..”
“මොකක්ද ඒ වෙලාවේ මං කරපු ඔයා කැමති දේ….”
“කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න ඒ සිද්ධියෙන් මාව මේ විදිහට බේරගත්තට..”
“ඒත් මාලකට එහෙම පිස්සෙක් වගේ හැසිරෙන්න අයිතියක් නෑ මිහිර..”
“මාත් වැරදියිනෙ නිම්නා…”
“තේ බොන්න එන්න කියන්න ගිහිං දොරට තට්ටු කරලා කතා කරපු එකද…”
“ඒක මාලක දැනගෙන හිටියෙ නෑනෙ නිම්නා..”
“නොදැන හිටියම කියමුකෝ…. ඒත් අපි නොදන්න මිනිස්සුද මිහිර…. එක ඉස්කෝලෙ, එක ක්ලාස් එකේ හිටපු යාළුවෝ…. අනික අපි කොච්චර කාලෙකට පස්සෙද මෙහෙම එකතුවෙලා ට්‍රිප් එකක් ආවේ… තවත් එකක්.. හරිනම් ඒ වෙච්චි සිද්ධියෙන් අවුල් යන්න ඕනේ තාරා… ඒත්…මේ…..”
“නිම්නා…. දැන් අපි ඒක අමතක කරමු.. ”
නිම්නා හිස ඇලකොට මිහිර දෙස බැලූයේ “අනේ මන්දා ඔයානම්..” යන බැල්මනි. මිහිර කිසිත් නොවුණා සේ කෝපී කෝප්පය තොලගාන සංයමය නිම්නාට අදහාගත නොහැකිය. සදෙව්,මාලක,මිහිර…. කෙතරම් වෙනස් පිරිමි හැඩතල සහිත චරිතද… ?නිම්නා සිය නිකට පිරිමදිමින් සිතන්නට වූවාය. ඇගේ නිකට උල් වූ හැඩයක් ගනී. සිනාසෙද්දී ඇගේ දෙකොපුල් වල ගැසේ. දෑස් නිල් පැහැයක් ගෙන ඇත්තෙ කාච පැළදීමෙන් වුවද ඉන් ඇගේ වතට ආකර්ෂණීය පෙනුමක් ගෙන එතැයි මිහිරට සිතුණේය.
“ඇයි… මගේ මූණේ නිකං මොංගල් ගතියක් පේනවද…”
නිම්නා එසේ අසද්දී මිහිර අපහසුවට පත්වූයේ තමා ඈ දෙස ඕනෑවට වඩා බලා සිටියාදෝ යන සිතිවිල්ල නිසාය.
“ඇයි අනේ ඔයා ඔහොම…”
නැවතත් එසේ ඇසුයේ නිම්නාමය.
“මගෙන්ද ඇහුවෙ..”
“නැතුව.. ඔයා හිතුවද මට භූතාත්ම එක්ක කතා කරන බලයක් තියනවා කියලා..”
“සොරි නිම්නා..”
“මොනා කරාටද දැන් ඔය සොරි කිව්වේ..”
“මං එහෙම වැරදි අදහසකින් නෙවේ ඔයාගේ මූණ දිහා බලන් හිටියේ…”
“ෂාහ්ං… ඔයා මගෙ මූණ දිහා බලන් හිටියද… දන්නවනම් ඩිස්ටර්බ් නොකර තව ටිකක් බලන් ඉන්න දෙනවා… ”
නිම්නාගේ ඒ වචන කිහිපය මිහිරගේ මුහුණ වරදකාරී හැඟීමකින් බිමට නැඹුරු කරවූයේය. නිම්නා ඔහුගේ නිකටින් අල්ලා මුහුණ උඩට හරවා ගත්තේය. මිහිරගේ පළල් යටි තොල වෙව්ලනු ඈ දුටුවාය.
“කොල්ලො ඕනවට වඩා අහිංසක වුණාම කිසි ගතියක් නෑ… මං ආස නැව ගිලුනත් බෑන්ඩ් චූන් වගේ ඉන්න කොල්ලන්ට….”
කියා නිම්නා මිහිරගේ නිකට කිහිපවරක් දෙපසට සොලවා හිඳ උන් තැනින් නැඟී සිටියාය. මිහිරද නිම්නා සමඟම නැඟී සිටින්නට සැරසුණේය.
“ඉඳගන්න…”
නිම්නා කීවාය. මිහිරද එසේම කළේය.
“උඔවනම් හදන්න බෑ බං මිහිරෝ…. අපි කියන හැමදේම කරන්නෝනෙ නෑ ඕයී.. තමන්ට හිතෙන මොනාහරි දෙයක් කරන්නත් බලනවා.. මං මේ කල්පනා කරේ උඔලා තුන්දෙනාගෙන් එකෙක්ව කසාද බඳින්න වුණොත් කාවද තෝරගන්නෙ කියලා…”
නිම්නා කීයේ උස් හඬින් සිනාසෙමිනි. මිහිර සිනාසෙන්නට උත්සාහ කළද, ඔහුගේ මුව විවර වූවා මිස සිනහවක සැබෑ සේයා ඒ මුව මත ඇඳුණේ නැත. නිම්නා ඔහුගේ නිතරම නළලට වැටෙන කෙස් අවුල් කොට අත මිට මොලවා ටොක්කක් අනින්නට මෙන් අත එසවුවාය. මිහිර හිස හකුලා දෑස් පියනු දැක සෙමෙන් හිස අත ගාන්නට වූවාය.
මේ සියල්ල වෙත ඈතක සිට නෙත් යොමා සිටියේ මාලකය. ඔහුගේ දෑස් කෝපයකින් මෙන් දිලිසෙන්නට වූයේය. ඔහු අත මිටි කොට අසල බිත්තියට වැරෙන් පහරක් ගැසුවේය. එකෙණෙහිම නිම්නා තමන් සිටින දෙසට එනු දැක වහා ඔහු ඇය එන පෙරමඟට යන්නට වූයේය.
තාරා උන්නේ නිල්පාට කුඩා මල් පිපුණු, උස්ව ඉහළට අතු විහිඳී ගිය පඳුරක් අසළය. ඈ අත කුඩා පීරිසියක් වූවාය. බෝගන්විලා මල් වලට සමාන එම මල් වර්ගයේ නම කියන්නට ඈ දැන සිටියේ නැත. එහෙත් පුරුද්දට උදෑසන අවදිව මල්,පහන් පූජා කිරීමේ පුරුද්ද ඇයට නිවසින් පිටව සිටියද නවතා ගත නොහැකි වූවාය. රෝස ඇතුළු නොයෙක් විසිතුරු මල් බංගලා උද්‍යානය සහ ඒ අවට තිබුණද, ඒවා නෙළාගන්නට ඈ බිය වූවාය. මේ මල් පඳුර බංගලාව විසින් නඩත්තු කරමින් ඇති එකක් නොව කැලෑ මල් පඳුරකැයි සිතූ නිසා, ඉන් මල් කිහිපයක් නෙලා ගත්තාට දොසක් නොවෙතැයි ඈ තීරණය කළාය. එහෙත් මේ පඳුරේ මල් ඇත්තේ අගිස්සේ, තරමක් උසිනි. ඈ එතරම් උස එකියක නොවූවාය. එබැවින් පාඟිලි තුඩු වලින් ඉහලට එසවෙමින් ඈ අතු අග ඇති මල් නෙලාගන්නට උත්සාහ කරමින් සිටියාය.
එක්වරම තමාගේ ඉන පෙදෙසින් යෙදූ බලයක් හේතුවෙන් තාරා ඉහලට එසවී ගියාය. අනපේක්ෂිත සිදුවීමෙන් දැඩි සේ බියට පත් වූ බැවින් ඈ අත වූ පීරිසිය බිමට වැඩී බිඳී ගියාය. එසැණින්ම නැවත ඇගේ පාද පොළොවේ ස්පර්ෂ වන්නට වූයෙන් වහා හැරී පිටුපස බැලුවේ තමාට වූ දෙය වටහා ගැනීමටය. ළඳරුවෙකු සේ සිනා මුහුණෙන් තාරා දෙස බලා උන්නේ සදෙව් ය.
“එක්ස්ට්‍රීම්ලි වෙරි සොරි… මං හිතුවෙ ඔයාට සපෝර්ට් එකක් දෙන්න… ”
තාරා වෙව්ලන්නට වූවාය. ඇගේ ඇස්වල කඳුළුය. කොපුල් දෙපස ඉදිරියට නෙරා ආ මස් පිඩු නළියන්නට වූවාය.
“තාරා..”
සදෙව් ඇය අමතන විට ඇය නින්දෙන් පිබිදුනාක් මෙන් ඒ,මේ අත බලන්නට වූවාය.
“ඔයා වෙව්ලනවා… මේහ්ං…. මාත් වෙව්ලනවා… ෂේප්…ඒ සීතලට ගණං ගන්නෙපා…”
සදෙව් තාරාව අස්වස්සන්නට කොතෙක් ප්‍රයන්ත දැරීද, ඒ සිදුවීම ඇයව දැඩි ලෙස කම්පනය කොට ඇති වග වටහාගන්නට සදෙව්ට අපහසු නොවීය.
“ඔයා බයවුණාද තාරා… ”
තාරා කළේ හිස වැනීම පමණෙකි. සදෙව් ඇගේ දෑත් අල්ලා ගත්තේය.
“ටේක් ඉට් ඊසී තාරා… ”
තාරා සදෙව්ගෙන් සිය අත් දෙක මුදාගන්නට ඒවා තමා දෙසට අදිමින් උන්නාය. සඳෙව් ඇගේ අත් දෙක අතහැර දමා බිම බලාගත්තේ ඈ වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ නිසාය.
“ඕ… මයිගෝඩ්…”
සදෙව්ට එසේ කියවුණේ තාරාගේ දෙපා දර්ශනය වීමෙනි. ඇය සිටගෙන සිටින්නේ බිඳී ගිය පීරීසියේ කැබලි මතය. ඇගේ ඇඟිලි කරු තුළින් ලේ මතුවෙමින් තිබේ. සදෙව් වහා ඇගේ දෙපා අසලට පහත් වනවාත් සමඟම, තාරාද බිමට නැඹුරු වූවාය. සිය ලේ වැකුණු දෙපා ඇය දුටුවේ ඒ මොහොතේය. මොහොතකින් ඈ ක්ලාන්තව කඩා හැලුණාය. සදෙව් වහා පැන ඇයව වත්තන් කරගත්තේය. සිදුවූ කිසිවක් සිතාගත නොහැකිව ඔහු වටපිට බලන්නට වූයේ උදව් ඉල්ලන්නට කිසිවෙකු ඇත්දැයි කියාය. ඔවුන් දෙසට එමින් සිටි මාලක සහ නිම්නා, සදෙව් තාරාව ඔහුගේ උරහිසට වත්තන් කරගෙන බිම හිඳ සිටිනු දැක, එකිනෙකාගේ මුහුණු බලාගෙන ආ මඟ එලෙසම නතර වූවෝය.