Pini Muthu Palasa පිනි මුතු පලස
එදින නිවාඩු දිනයක් වූ බැවින් කමල් එදින උදෑසන එහි පැමිණියේය.
“දැන් මෙයා කෑම කනවද…?”
රජිව් දෙස බලා උපහාසය මුසු සිනහවක් පාමින් ඔහු විමසුවේ මගෙනි.
“නැහැ…බොනවා විතරයි…”
සිනහසෙමින් මම කියන විට රජිව්ද දුබල සිනහවක් පෑවේය.
“කාලා බීලා ෆිට් එකේ ඉඳපන්…දැන් ඉතින් ප්‍රියම්බිකාවත් ළඟ ඉන්නවානේ…”
කමල් එසේ කියන විට චිත්‍රා මිස්ද අසල සිටි නිසා මා පත් වූයේ අපහසුතාවයකටය. ඈ නැඟිට ඉවත ගියේ නොසතුටින් යැයි කියා මට සිතිණි. අසරණ හැඟීමෙන් මමද පිටතට පැමිණෙන විට කමල්ද මා පසුපස පැමිණියේය. මා සමඟම ඉස්තෝප්පුවට පැමිණි කමල් දෙස මම හැරී බැලුවේ තරුෂිට කෙසේදැයි විමසමිනි.
“ඒක තමා…මාත් මේ කියන්න හැදුවේ…අද රෑට නම් මට එන්න විදියක් නැහැ…එයාට කොයි වෙලේ අමාරුවෙයිද දන්නැහැනේ…තව දවස් නම් තියනවා තමා..ඒත්…”
“ඔයා එන්න ඕන නැහැ…දැන් ප්‍රශ්නයක් නැහැනේ…”
“හදිසියක් වුණොත් මට කෝල් කරන්න…රෑ කීය වුණත් කමක් නැහැ…ෆෝන් එක මම ඔන් එකේ තියන් ඉන්නේ…”
මම හිස සැළුවේ එවන් දෙයක් වුවමනා වනු නැතැයි සිතමිනි.
“ගෙදර ගියෙත් නැහැ නේද ඔයා…?”
“කොහේ යන්නද…දැන් නම් ගියොත් අයියා මාව ගහලා පන්නනවා…”
සිනහමුවෙන් මා කීවද මට මුහුණ පෑමට සිදුවන සත්‍යයත් එයම බව මම හොඳාකාරවම දැන සිටියෙමි. මහ වැස්සක් ඇද වැටෙන්නට වූ බැවින් කමල් පිටව ගියේ රජිව්ගේ මෝටර් රථයෙනි. මේ වර්ෂාව බොහෝ වේලාවක් අල්ලා සිටිනු ඇතැයි කියා මට සිතිණි.
“පුංචි මහත්තයාගේ පපුවේ සෙම පිරිලා වගේ…හුස්ම ගන්නකොට ගොර ගොර ගානවා නෝනේ…බයේ බැහැ…”
මම ගෙතුළට එන විට ප්‍රේමා නැන්දා රජිව්ගේ කාමරයේ සිට පිටතට එමින් පහත් හඬින් කීවාය.
“මටත් ඒක දැනුණා…ප්‍රේමා නැන්දේ…කෝ ඉතින් ඩොක්ටර් කිව්වේ මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා…”
“අපි හෙට ඉස්පිරිතාලෙටවත් එක්ක යමුද බලන්න…?”
“මාත් කියන්නේ ඒක තමා…මෙයා තවම හරියට කන්නේ බොන්නේ නැහැනේ අප්පා…කැඳ බිබී තව කොච්චර කාලයක් ඉන්නද…”
“දවල්ට බත් ටිකක් කවන්න බලනවද නෝනේ…බෙරි කරලා හදන්නම්…”
ප්‍රේමා නැන්දා කියන විට මම හිස සැළීමි. ඈ කෙසේ සෑදුවද රජිව් කෑම ගැනීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රේමා නැන්දා නැවතත් කැඳ සෑදුවාය. රාත්‍රියේද ඔහු බීවේ කැඳ ස්වල්පයක් පමණි. ඔහුගේ පපුවේ සෙම පිරී ඇතැයි කියා මට සිතුණේ පපුවෙන් නැඟී ගොර ගොරය නිසාය. තවත් බලා නොඉඳ ඔහුව රෝහලට නම් රැඟෙන යා යුතුමය. රාත්‍රියේ ඔහු නින්දට වැටෙන තුරුම මම ඔහු අසලට වී සිටියෙමි.
“සීතලයි…”
කෙඳිරිලි හඬකින් ඔහු කියන විට මම ඔහුගේ පොරවනයෙන් ඔහුව පෙරවූයෙමි. සුළු මොහොතකින් ඔහු නින්දට වැටුණු පසු මම කාමරයෙන් පිටතට ආවෙමි. චිත්‍රා මිස් ආලින්දයට වී සිටියාය.
“පුතා නිදිද මංදාකිණි…?”
“දැන් නිදා ගත්තේ මිස්…”
“මං ඉන්නද ටිකක් ළඟට වෙලා…?”
“මිස් ඇහැරන් ඉන්න එපා…මං බලන්නම්…මිස්ට නිදි වරන්න හොඳ නැහැනේ…”
“හ්ම්ම්…අද නම් පුදුම සීතලක් තියෙන්නේ…මේ වැස්ස නම් අද නවතින පාටක් නැහැ…”
මම නිහඬව සිටියේ පිටතට දැල්වුණු දෑසිනි. වහලයට ඇද වැටෙන වැසි හඬින් පරිසයේ නිහඬ බව බිඳී ගියේය.
“ඔයාටත් නින්දක් නැහැ නේද මේ ටිකේම…”
“ඒකට කමක් නැහැ මිස්…මං එලාම් එක තියලා සැරෙන් සැරේ බලන්නම්…”
“ඔයාට වදේ…”
“මට වදයක් නැහැ මිස්…ගෙදරට වෙලා හිරකාරියක් වෙලා හිටිය එක තමා මට වදයක් වුණේ…මේක මොන වදයක්ද…?”
“හ්ම්ම්…”
ඈ නැඟිට ඉවත යන විට මමද කාමරයට පැමිණියෙමි. යහනට වැටුණද නින්දක් මාවෙත නොවීය. එහෙටත් මෙහෙටත් පෙරළී, පෙරළී මම අඩ පැයක් පමණ නිදිවර්ජිතව සිටියෙමි. වර්ෂාව තවමත් නතරව නැත. නින්දක් නොආ නිසා මම යහනින් නැඟිට රජිව්ගේ කාමරයට පැමිණියෙමි. ඔහු සුවසේ නිදන බවක් පෙනෙන්නට තිබූ නිසා මම යළිත් කාමරයට පැමිණියෙමි. රාත්‍රියේ මා නිදා ගත්තේ කඩින් කඩය. කුඩා ටයිම් පීස් ඔරලෝසුවේ පැයෙන් පැයට වෙලාව තබා මම ගොස් රජිව් ගැන සොයා බැලීමි. වැඩි වෙලාවක් මම ඔහු ළඟ නොරැදුණේ ඔහුගේ නින්දට බාධාවක් වනු ඇතැයි සිතාය. පරිසරයේ වූ සීතලත්, වර්ෂාවත් නිසාවෙන්දෝ මට නින්ද යන්නට ඇත. ඔරලෝසුවේ එලාම් නද මට නැසුණේ වර්ෂාවේ හඬ නිසා වෙනැයි කියා මම සිතමි. පාන්දර යාමයේ මා අවදි වුණේ කුකුළෙකුගේ හඬළෑම නිසාය. වෙලාව පාන්දර හතරට ආසන්න වූ අතර වර්ෂාව මේ වන විට නැවතී තිබිණි. තිගැස්මෙන් මම යහනින් බැස ගත්තද මා ගතට දැනුණේ දුබල බවකි. මම අවසන් වරට රජිව්ගේ කාමරයට ගියේ එකට පමණය. දැන් හතරටද ආසන්නය. කළබලයෙන් මම කාමරයෙන් පිටතට එන විටම ප්‍රේමා නැන්දාද අවදිව පිටතට පැමිණියාය.
“නෝනා ඇහැරුණාද…මට හොඳටම නින්ද ගියා…”
“මටත් නින්ද ගියා ප්‍රේමා නැන්දෙ…එලාම් එක වදිනවාවත් ඇහුණේ නැහැනේ…දැන් නම් ඇඟටත් පණ නැහැ වගේ…”
“පුංචි මහත්තයා නම් නිදි ඇති හොඳට…”
“මං බලන්නම්…”
මම එසේ කියා රජිව්ගේ කාමරයට එන විට ප්‍රේමා නැන්දාද මා පසු පසම පැමිණියාය. ඔහුගේ පොරවනය බිම වැටී තිබූ නිසා මම එය රැගෙන නැවත පොරවන්නට සූදානම් වන මොහොතේ මට දැනුණේ අමුත්තකි. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබූ අතර හුස්ම වැටෙන බවක්ද පෙනෙන්නට් නොතිබිණි. ඔහුගේ නිරුවත් ළය මඬලට මම දෑත තබා බැලුවේ ගැහෙන සිතිනි. ඔහුගේ සිරුර සීතල වී ඇත. බියෙන් මා සිත වෙව්ලන්නට විය. හෘද ස්පන්දනයද නැවතී ඇති බවක් මට දැනිණි.
“ඇ…ඇ…යි නෝනේ….?”
ප්‍රේමා නැන්දා විමසුවේ බියපත්ව සිටි මා දෙස බියෙන් බලානය.
“අන්…නේ…නැන්දේ…රජිව් අයියා…”
බියට පත්ව සිටි මා මුවින් හඬක් පිට නොවූ තරම්ය.
“නෝනේ…ඇයි…නෝනේ…මොකද…?”
“අනේ…බලන්න…එයා…හුස්ම ගන්නෙත් නැහැ…”
ප්‍රේමා නැන්දාද ඔහුගේ නිසල සිරුරට දෑත තබා බැලුවේ බියෙන් තැති ගෙනය.
“අනේ….නෝනේ…හොඳටම සීතල වෙලා…”
ඈ කෑ ගැසුවාය. පොරවනය ගෙන මම ඔහුගේ පපුව වැසෙන සේ පොරවා මුහුණට අත තබා බැලීමි. එහි යම් උණුසුමක් තිබුණද දෙතොල් පවා නිල් පැහැයට හැරී තිබිණි. මම ඔහුව සොලවමින් කීප වරක් ඔහු අමතන විට පපුවෙන් නැගුණේ ගොර ගොර හඬක් පමණි.
“අනේ…ප්‍රේමා නැන්දේ…අපි.එයාව ඉස්පිරිතාලෙට ගෙනියමු…”
මම කෑ ගැසීමි.
“අනේ…නෝනේ…කමල් මහත්තයාට කතා කරමුද…?”
ප්‍රේමා නැන්දා කියන විට මම දුරකථනය වෙත දිව ආමි. වෙව්නල ඇඟිලි තුඩින් මම කමල් ලියා දී තිබූ ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් බව මට අවසිහියෙන් වුවද මතකය.
රජිව්ගේ පපුවේ සෙම නරක් වී ඇති බවත් ඔහුට නිව්මෝනියාව වැලඳී ඇති බවත් තව සුළු මොහොතක් හෝ පමා වූවා නම් ඔහුගේ ජීවිතය පවා නැති වීමට ඉඩ තිබූ බවක් දොස්තරවරුන් පැවසීය. ඉක්මන් ප්‍රතිකාර ලබා දී ඔහුව වාට්ටුවට දැමුවේය. කමල් නිවසට යවා මම ඔහු ළඟ රැඳුණේ වෛද්‍යවරයාගේ විශේෂ අවසරයෙනි. චිත්‍රා මිසුත් ප්‍රේමා නැන්දාත් බියෙන් පසුවනු ඇතිවාට සැක නැත. දහවල් වන විට නම් ඔහු යාන්තමින් සුව අතට හැරෙමින් සිටියේය. කමල් සමඟ චිත්‍රා මිසුත් ප්‍රේමා නැන්දාත් දහවල රෝහලට පැමිණියෝය. චිත්‍රා මිස් ඔහු දුටු සැණින් දෑස්වල කඳුළු පුරෝගෙන හඬන්නට වූවාය.
“මිස් මෙතන අඬන්න නම් ලෑස්ති වෙන්න එපා…මේකගේ ලෙඩ වැඩිවෙනවා…”
තරවටුවක විලසින් කමල් කියන විට ඈ රජිව්ගේ හිස පිරිමැද්දේ ලේන්සුවෙන් මුව වසාගෙන හැඬුම පාලනය කරගනිමිනි.
“මේ හැමදේම මම නිසයි…”
ඈ ඉවතට ගියේ සිය හැඬුමත් හැඟීමත් පාලනය කරගන්නට නොහැකිවය.
“නෝනේ…බත් ගෙනාවා…කාලා ඉමුද…?”
ප්‍රේමා නැන්දා මා විමසුවාය.
“මට බඩගිනි නැහැ නැන්දේ…”
කෑමට පිරියක් හෝ කුසගින්නක් මා තුළ නොවීය. උදෑසන කමල් ගෙන්විත් දුන් කිරි පැකට්ටුවත් බනිසුත් තවම එලෙසමය.
“ටිකක් හරි කාපන් කෙල්ලේ…මෙතන උඹත් ලෙඩ වුණොත් එහෙම…!”
කමල් මා හිස පිරිමදිමින් කීවේ මහා වූ ලෙංගතු හඬකිනි.
“ඒකනේ නෝනේ…බත් ටිකක් කමු…මම කවන්නම්…”
ප්‍රේමා නැන්දා පව් කියා මට සිතිණි. මම බත් කටවල් කීපයක් කෑවේ ඈ කැවූ නිසාය. චිත්‍රා මිස් අප අතරට පැමිණියේ ඊටත් සුළු මොහොතකට පසුවය. ඇගේ මුහුණ රතු වී තඩිස්සි වී තිබිණි.
“අද රෑට පුතා ගාව කාව හරි තියන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙයිද පුතේ…?”
ඈ කමල් විමසුවාය.
“ඒක තමා මාත් කල්පනා කළේ…කාව හරි බලන්න වෙනවා…මට ඉන්න නම් තිබුණා…ඒත් මේ වෙලේ තරූ ඉන්න සිටුවේෂන් එකත් එක්ක තමා මට බය…”
“නැහැ…නැහැ…ඔයා ඉඳලා බැහැ පුතේ…”
චිත්‍රා මිස් වහා කීවාය.
“මෙතන ඉන්න කාට හරි බලන්න කියමු… දවල්ට නම් අපි කවුරු හරි එනවානේ…”
කමල් කීය.
“රෑට ඉන්න පුළුවන් නම් මං ඉන්නම්…මේ මිනිස්සුන්ව නම් විශ්වාස කරන්න බැහැ…උන් සල්ලි අරන් එහෙ මෙහෙ යනවා…ලෙඩා ගාව නවතින්නේ නැහැ…”
“පිරිමි වාට්ටුවේ ඉන්න දෙයිද දන්නැහැ…”
කමල් පුදුමයෙන් කීවේය.
“අහලා බලන්නකෝ…මෙච්චර වෙලා හිටපු එකේ රෑට හිටියාම මොකද…?”
කමල් හෙදියක හමුවීමට ගියේ මගේ බලකිරීමටය. ඔහු නැවත පැමිණියේ බැරෑරුම් බවක් ආරූඪ කරගෙනය.
“ඇයි පුතේ…?”
“මිසී අහනවා වයිෆ්ද කියලා…මං ඔව් කිව්වා…”
වෙන යම් මොහොතක මෙවැන්නක් අසන්නට ලැබුණා නම් මා කෙතරම් සතුටු වනු ඇතිද කියා මට සිතිණි. නමුත් මේ මොහොතේ මසිතට දැනුණේ අසරණ බවකි.
“කමක් නැත්ද දරුවෝ…ඔයාට ඉන්න පුළුවන්ද…? අපි කාව හරි හොයා ගන්න බලමු…”
කාරුණික හඬකින් චිත්‍රා මිස් මා විමසුවාය.
“අදට එහෙනම් මංදාකිණි හිටපුදෙන්…මං බලන්නම් කාව හරි හොයා ගන්න…”
නමුත් කිසිවෙකු සොයා ගන්නට නොහැකි වූ නිසා රාත්‍රී දෙකක් මම ඔහු අසළ සිටියෙමි. තනිව ඇවිද යෑමට ඔහුට වාරු නැත. ගත තවමත් දුබලය. රජිව්ගේ යහනේ පසෙක යහනේ හුන් තරුණයා ළඟ සිටි ඔහුගේ මිතුරා රජිව්ට පිටතට යෑමට වුවමනා වූ විට ඔහුව කැඳවාගෙන යෑමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වූවේය.
“අක්කා ඉන්න…ඔය පිරිමින්ගේ ටොයිලට් වලට ඔයා යන්න එපා…”
ඔහු අනුකම්පා මුසු හඬකින් කීවේය.
“මෙහෙම නෝනලා ලබන්නත් වාසනාව තියෙන්න ඕන…”
රාත්‍රී සේවයේ සිටි හෙදියක කීවේ මා අගය කරමිනි.
“ඔය දෙන්නාගේ පවුල් දෙකේම පිරිමි අය නැත්ද…ඔයා රෑ ඉඳන්ම.මෙතනනේ…”
දහවල් වන තුරුම මම රජිව් ළඟ සිටි බැවින්දෝ එක් හෙදියක මා විමසුවාය.
“නැහැ…මිස්…”
ඒ මොහොතේ මම කෙටියෙන් පැවසුවෙමි.