Pini Muthu Palasa පිනි මුතු පලස – 77 වන කොටස
පරිසරය තුළ වූ නිහැඬියාව සිතට අමතර බරක් මෙන් දැනිණි. නිවස පාළුය. වෙනදා මෙහි දැනෙන සැහැල්ලු බව මෙදින සිතට නොදැනිණි. කමල් පෙනෙන්නට නොසිටි නිසා මම රජිව්ගේ කාමරයට එබිකම් කළෙමි. ඔහු රජිව්ගේ යහන අසල වූ අසුනක හිඳගෙන නිහඬ දෑසින් රජිව් දෙස බලා සිටිනු දැක මසිත ඇවිළී ගියේය. රජිව් මෙසේ ගිලන්ව යහන මත වැතිර සිටින විට මට ඔහු දමා නිවසට යාමට සිත හදා ගත නොහැකිය. නමුත් මා අයියලා නැවත ඒමට පෙර නිවසට යා යුතුය. මම ඇඳුමක් හෝ රැගෙන නොආවෙමි. මා පහත් හඬින් කමල් අමතන විට ඔහු වහා හැරී මදෙස බලා අසුනින් නැඟිට පිටතට ආවේය.
“ඔයාට පරක්කු වෙනවා නේද මංදාකිණි…?”
මම ඔහු ඇමතුවේ ඒ නිසාවෙනැයි සිතා ඔහු විමසූ බව මට වැටහිණි.
“රජිව් අයියා මෙහෙම ඉන්නකොට මම ගෙදර යන්නේ කොහොමද…? මම ඉන්නම්… ඒත්…මට ඇඳුම් මොනවා හරි ගේන්න නම් ගෙදර යන්න වෙනවා…”
ඔහු කල්පනාකාරී දෑසින් මදෙස බැලීය.
“ගිහින් ඇඳුම් ටිකක් අරන් එමු…ඒත්…ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැත්ද?”
“ප්‍රශ්න එකක් නෙවේනේ වුණේ කමල් අයියේ…ඕන දෙයක් වෙච්චදෙන්…අපි ගිහින් එමු…”
ප්‍රේමා නැන්දා අප එන විට සූපය සාදා තබනු ඇත. අයියා ඒමට පෙර නිවසට ගියා නම් හොඳය. නොඑසේ නම් තවත් වරක් ඔහු සමඟ රණ්ඩු කිරීමට සිදුවනු ඇත. චිත්‍රා මිස්ට පවසා අපි දෙදෙන යළි නිවසට පැමිණියෙමු. ඇඳුම් කීපයක් බෑගයට ඔබා ගත් මා නිශාට කෙටි සටහනක් ලියා තබා විත් රථයට නැඟුණෙමි. යනෙන අතරේ කමල් කිසිදු වචනයක් හෝ කතා නොකිරීම ගැන මම ඔහුට සිත යටින් ස්තූති කළේ මගේ සිතුවිලි වලට බාධාවක් නොවූ නිසාය. ප්‍රේමා නැන්දා සූපය සාදා තිබූ අතර මම එයත් රැගෙන රජිව්ගේ කාමරයට පැමිණියෙමි. පරිසරයේ වැසි අඳුරත් නිවස තුළ වූ පාළු නිහැඬියාවත් මා සිත තුළ කිව නොහැකි අමුතු හැඟීම් දහසක් පුරවා තිබිණි.
“රජිව් අයියේ…”
ඔහු අසළ හිඳ ගනිමින් මම අමතන විට ඔහු සෙමෙන් දෑස් විවර කර බැලීය. ඇඟිලි තුඩු කෙස් අතරින් යවා මම ඔහුගේ හිස මෘදුව පිරිමැදීමි. යමක් පැවසීමට මෙන් මුව විවර කළද ඉන් කිසිදු හඬක් පිට නොවීය.
“කතා කරන්න එපා…මේක බොන්න…”
හැන්ද ගෙන මම ඔහුට සූපය පොවන විට ඔහු සෙමෙන් සෙමෙන් එය පානය කළේය. කමල් ඒ අතරේ කාමරයට එබිකම් කළේය.
“වැඩිය පොවන්න එපා මංදාකිණි…තව ටිකකින් ආයේ පොවන්න…එක පාර ගොඩක් බඩට වැටෙන්න හොඳ නැහැ…”
කමල් කියන විට මම එයට එකඟව හිස සැළීමි.
“ඇති ඔහොම හරි බිව්වා…”
සැනසුම් සුසුමක් පිට කරමින් කමල් කීය.
“තරූ බය වෙලා ඇති දැන්…ඔයා යන්න එහෙනම්…”
මම කමල්ට කීවෙමි.
“මට මූව දාලා යන්න බැහැ මංදාකිණි…”
දිගු හුස්මක් ඇදගත් කමල් කීවේ ශෝකී හඬකිනි. ඔහු සිතේත් මොන තරම් වේදනාවක් ඇතිදැයි කියා මට වටහා ගැනීම අපහසු නොවීය. සුළු මොහොතකට පසුව රජිව් නින්දට වැටුණු නිසා අපි පිටතට පැමිණියෙමු.
“හදිසියක් වුණොත් මට කෝල් එකක් දෙන්න…මං ගාව මොබයිල් එකක් තියනවා…”
කමල් සිය ජංගම දුරකථන අංකය ලියා මවෙත දෙමින් කීය. මම එය දුරකථනය තබා තිබූ ටීපෝව මත වූ කුඩා මල් බඳුන යටින් තැබුවේ එවන් හදිසියක් ඇති නොවනු ඇතැයි සිතමිනි. චිත්‍රා මිස් කාමරයෙන් පිටතට ආවේ එවිටය. ඈ රජිව්ගේ කාමරය දෙස හෝ නොබැලුවේ ඔහු දුටුවෝතින් සිය සිත් වේදනාව බලවත් වනු ඇතැයි සිතා නිසා වන්නට ඇත.
“පුතා සුප් ටික බිව්වද ළමයෝ…?”
ඈ මා විමසුවාය.
“ටිකක් බිව්වා මිස්…ඇහරියාම තව ටිකක් පොවන්නම්…”
කමල් දොරකඩ හිඳ බලා සිටියේ ඇද වැටෙන මහ වර්ෂාව දෙසය. යතුරු පැදියේ නැඟී නම් නිවසට යෑමට නොහැක.
“පුතේ කාර් එක අරන් යන්න…මේ වැස්සේ යන්න බැහැ…”
චිත්‍රා මිස් කමල්ට කීවාය. ඔහු මොහොතක් බලා හිඳ මෝටර් රථයේ නැඟී පිටව ගියේ වර්ෂාව නවතින පාටක් පෙනෙන්නට නොවූ නිසාය. චිත්‍රා මිස් අසුනක හිඳ ගත්තේ මටත් ඈ සමීපයේ හිඳ ගන්නා ලෙස පවසමිනි. මම ඇයට කීකරුව ඈ අසලින් හිඳ ගතිමි.
“මගේ හිතට හරි වේදනයි ළමයෝ…”
හැඬුම් මුසු හඬකින් ඈ කීවාය. රජිව් මාරවිල ගියේ ඇයත් සමඟ ඇති කරගත් සිත් අමනාපයකින්ද කියා සැකයක් මා සිතේ ඇති වූ මුත් මට එවැන්නක් ඇසිය නොහැකි නිසා මුණිවත් පිරීමි.
“මිස් කල්පනා කරන්න එපා…මේ කරදර අස්සේ මිසුත් අසනීප වුණොත් කොහොමද…?”
“කල්පනා කරනවා නෙවේ…වෙනවා….”
“හිතන එකෙන් වෙන්නෙත් හිත ලෙඩ වෙන එකනේ මිස්…”
මම කියන විට ඈ දිගු හුස්මක් ඇද්දාය.
“මිස් බෙහෙත් බිව්වද…?”
මම යළිත් ඇසීමි.
“උදේ බිව්වා…ආයේ ඉතින් රෑට බොන්න තියෙන්නේ…”
“මිස් ටිකක් විවේක ගන්නකෝ…ඊයෙ පෙරේදාත් මිස්ව ආයේම අසනීප වුණාලු නේද…?”
“ගතට නෙවේ විවේකයක් ඕන…හිතට ළමයෝ…ඔයාගේ ගෙදර අය සනීපෙන්ද…? ඔයාව මෙහෙම එවපු එකත් ලොකු දෙයක්…”
“අද ගෙදර කවුරුත් නැහැ මිස්…අයියලා වෙඩින් එකකට ගියා…අම්මත් ආයේ රට ගියානේ…”
චිත්‍රා මිස් මදෙස බැලුවේ විදහා ගත් දෑසිනි.
“මොනවා…! ආයෙමත් රට ගියාද…? පුදුමයිනේ ළමයෝ…මේ කාලේවත් දරුවෙක් ළඟට වෙලා නොඉඳ…ආයේ කාට හම්බ කරන්නද රට ගියේ…?”
ඇගේ හඬේ වූයේ නොමනාපයකුත් නොසතුටකුත්ය.
“එක අතකට අම්මට දොස් කියන්නත් බැහැ මිස්…අයියා එක්ක ඒ ගෙදර ජීවත් වෙන්න අමාරුයි…අම්මා හම්බ කරන් ආව සේරම ගේ හදන්න වියදම් වෙලා…අයියා ගේයි ඉඩමයි…එයාට ලියන්න කියනවා…අම්මා ආයේ ගියේ මේ ප්‍රශ්න නිසා…ටික දවසකින් මාවත් ගනියි…”
“මොනවා…! ඒ පාර ඔයත් යන්නද හදන්නේ…? පිස්සු නැතුව මෙන්න මෙහෙට වෙලා ඉන්න ළමයෝ…”
ඈ එය කියූ ආකාරයට මා මුවට සිනහ නැඟිණි.
“අයියා එක්ක ඉන්නවට වඩා හොඳයි මාත් යන එක…මෙහේ හිටියොත් එයා ආයෙමත් මාව කාට හරි බන්දලා දෙයි…”
හැඬුම් මුසුව මම කීවෙමි.
“පිස්සුද එයාට…?”
“පිස්සු නේන්නම් මිස්…”
“අනේ මන්දා ළමයෝ…මට නම් තේරෙන්නේ නැහැ මෙව්වා…අපිට වඩා ඔයාලට ප්‍රශ්නනේ…”
“මිස් ඕවා ගැන නොහිතා ටිකක් විවේක ගන්න…රජිව් අයියා ඇහැරියාම මම සුප් ටිකක් පොවන්නම් ආයේ…”
මඳහසක් පාමින් මම කීවෙමි.
“ඔයා ආව එක හොඳයි දරුවෝ…දැන් ඉතින් මේ ළමයට සනීප වෙයි…”
ඈ කීවේ විශ්වාසයෙන් මෙනි. චිත්‍රා මිස් කාමරයට යනවිට මම ප්‍රේමා නැන්දා සොයා පිටුපසට පැමිණියෙමි. ඈ වතුර මුට්ටියක් ළිප තබා එයට දර කොට දමමින් ළිප ගිනි අවුළුවන්නට තැත් දරමින් සිටියාය. මා පැමිණි බව දැනීදෝ ඈ මදෙස බැල්මක් හෙළා ඉවත බලාගෙන දෑස් පිස ගත්තාය. ඈ හඬමින් සිටින්නට ඇත.
“පුංචි මහත්තයාගේ ඇඟ ටිකක් තෙමන්න කියලා වතුර ටිකක් ළිපේ තිබ්බේ නෝනේ…දර ටිකත් පොඟලා වගේ…පත්තු වෙන්නේ නැහැ…”
“ළිපත් එක්ක ඔට්ටු වෙන්න ඕන නැහැ ප්‍රේමා නැන්දේ…හීටරේ ගහලා වතුර ටිකක් රත් කරමු…”
“ඔව්…ඒක තමා මාත් හිතුවේ…”
ඈ වතුර මුට්ටිය ළිපෙන් බා , හීටරයට මුට්ටියට දමා පේනුව ගැසුවාය. මම අසල වූ අසුනක හිඳ ගතිමි.
“රජිව් අයියාට මොකද ප්‍රේමා නැන්දේ හදිසියේම වුණේ…එයා ඇයි මාරවිල ගිහින් හිටියේ…?”
“හිතේ අමාරුව මිසක් වෙන මොකක්ද…?”
“හිතේ අමාරුව…ඒ ඇයි…?”
පුදුමයෙන් මම අසන විට ඈ අත් පිස්නාවෙන් දෑත් පිසගෙන මවෙත හැරුණාය.
“පහුගිය ටිකේ මෙහෙ හරි හරි දේවල් තමා වුණේ…නෝනෙත් මඟාරිනවාලු…ඒ පැත්තේත් එන්න එපා කීවාලු කිය කියා හරි හිත් වේදනාවෙන් තමා උන්නේ…”
මම දොතොල් තරයේ පියාගෙන නිහඬව සිටියෙමි.
“බයික් එකත් අරන් යනවා…එන්නේ මහ රෑ දෙගොඩ හරි ජාමේ…ඒත් හීතලෙන් ගැහී ගැහී…කොහේද හිටියේ ඇහුවාම…කලපුව ළඟ හිටියා කියනවා…ඔය සීතල හොඳද ඇඟට…අනික මහ රෑට…බයික් එකේ යන එනකොට මොනවා හරිවෙලා අතක් පයක් කඩා ගත්තා නම්…! මෙහෙම වුණ එක හොඳයි එක අතකට…”
මා ගත හිරිවට්ටවමින් ප්‍රේමා නැන්දා කීවාය. ඔහු මෙතරම් සිත් වේදනාවෙන් පසුවන්නේ මා නිසා යැයි අසන විට එය මට ඉසිළුම් නොදෙන්නක් විය. මේසා වේදනාවක් විඳි බවක් මම දැන සිටියේ නැත.
“අනේ ප්‍රේමා නැන්දේ…”
මා මුවින් පිට විය.
“කාගේ ඇස් වහක් වැදුණද මංදා මේ පවුලට…මුලින් ලොකු මහත්තයා නැති වුණා…ඊට පස්සේ ලොකු නෝනා ලෙඩ වුණා…දැන් පුංචි මහත්තයා…”
ශෝකී හඬකින් ඈ කීවාය.
“මිසුයි රජිව් අයියායි අතරේ මොනවා හරි කතා බහක් වෙලාද ඉතින් රජිව් අයියා මාරවිල ගියේ…?”
“ලොකු නෝනා එක්ක නෙවේ…”
“එහෙනම්…?”
“අර මහ ජෝඩුව ලැජ්ජාවක් නැතුව රෙදි ඇඳගෙන මෙහෙ ආවානේ මඟුල් තුලා කතා කරන්න…”
“ඒ…ඒ…කවුද ප්‍රේමා නැන්දේ…රජිව් අයියලාගේ ලොකු අම්මාද…?”
“හපොයි…ඒ අනික් උන්දෑ…නැහැ නැහැ…අර සක්කරවට්ටමගේ මහ දෙන්නා…රුවින්දි නෝනලාගේ…”
“මොනවා…?”
එයට නම් මට පුදුම නොවී බැරි විය.
“ඔව්…ලැජ්ජාවක් නැති කමනේ…දෝණියැන්දෑ කරපු හරිය මදි වෙලා වගේ…මුං තව මඟුල් කතා කරන්න ආවේ…ඒකේ කේන්තියටත් එක්කම තමා ඔය පුංචි මහත්තයා යන්න ගියේ…”
“හ්ම්ම්…”
මා මුවින් සුසුමක් ගිළිහිණි.
“මහ ගෑනි කියපු කතාවනේ අහන්න වටින්නේ…”
ප්‍රේමා නැන්දා යළිත් කියන විට මම ඈ දෙස බැලීමි.
“දුව අතින් නොදැනුවත් කමට වරදක් වුණා තමා…ඒත් ඉතින් දැන් ඕවා මිනිස්සුන්ට මතකත් නැහැ…අනික ඉතින් බැඳලා රට ගියාම හරිනේ…ඔන්න ඔහොම කියාපි…”
“මිස් මොකුත් කිව්වේ නැත්ද ඉතින්…?”
“ම්ම්ම්හ්…මොකුත් කීවේ නැහැ…පුංචි මහත්තයාට කේන්ති ගියෙත් ඕක නිසා තමා…අම්මාට ලැජ්ජාවක් නැති වුණාට මගේ ලැජ්ජා නහර කැපිලා නැහැ කියලා තමා ඔය යන්න ගියේ…”
“මිස් තාම රුවින්දිට කැමති ඇති…”
“අනේ මන්දා නෝනේ…ඒක තමා මටත් හිතා ගන්න බැරි…මේ ආපු ටිකට ලොකු නෝනාට ඉනාවක්වත් දුන්නද මංදා…”
ප්‍රේමා නැන්දාද කීවේ සුසුමක් හෙළමිනි. අලුතින් අසන්නට ලැබුණු මේ පුවතින් මා සිතේ ඊර්ෂ්‍යා මුසු හැඟීමක් ඇති වූවා යැයි කියා මම නොකියමි. නමුත් රුවින්දි වන් කෙනෙකුට රජිව් හිමිවනු දැකීමට නම් මා තුළ කිසිදු කැමැත්තක් නැත. වතාවක් ඈ සියළු දෙනම රවටා තිබුණාය. ඒ බව දැන දැනත් චිත්‍රා මිස් මේ සූදානම් වන්නේ රජිව්ගේ ජීවිතය විනාශ කිරීමටද…? ඔහු මේ සියල්ල නිහඬද දරා සිටින්නේ ඇගේ අසනීපය ගැන සිතාය. නමුත් මේ කිසිත් කතා කිරීමට මට අයිතියක් නැත. සුසුමක් මා මුවින් ගිළිහෙන්නට ඇත්තේ ඔහු පිළිබඳව උපන් ශෝකය නිසා වන්නට ඇත. එසේ කියා මා කුමක් කියා කරන්නද….? මට ඔහුට පිහිට විය නොහැකිය.