Pini Muthu Palasa පිනි මුතු පලස
සිහින්වට ඇද වැටෙන වැසි බිඳු, විදුලි පහන් එළියට දිලිසෙන හැටි ජනේලය අසල සිටගෙන මම බලා සිටියේ හිස් දෑසිනි. නිශා කීප වරක්ම දොරට ගසා කතා කළද මට දොර හැරීමට සිත් නොදිණි. උදෑසන පටන්ම මා සිටියේ කාමරයට වීමය. අයියාත් මාත් අතර බහින්බස් වීමක් සිදිවූයේ චානුක මුල් කොටගෙනය. එය දුරදිග ගොස් ඔහු මට පහර දුන්නේ පූජිතටත් වඩා අන්ත ලෙසිනි. අතට අසුවන දෙයින් මමත් ඔහුට පහර දුනිමි. නිශා මැදට පැන මා බේරා ගත්තාය. ඔහුගෙන් කෑ පහරවල් නිසා මා ගත තවම රිදුම් දෙයි. මා එදා චානුකට බැන වැදුණා යැයි කියා අයියා මට දොස් පැවරුවේය. ගැටුමට මුල එය විය.
“මං තෝව බලෙන් හරි ඌට බන්දලා දෙනවා…දැනගනින්…”
අයියා මට තර්ජනය කළේය.
“ඔව්…බන්දන හැටි බලමුකෝ…”
මමද ඒ මොහොතේ වේදනාවෙන් වුවද කෑ ගැසීමි.
“චූටි නංගී…අනේ දොර අරින්නකෝ…”
නිශා යළිත් වරක් පැමිණ දොරට ගසන විට මම ගොස් දොර විවර කළේ ඈ ගැන උපන් අනුකම්පාවෙනි.
“ඔයා උදේ ඉඳන්ම බඩගින්නේනේ ළමයෝ…මම බත් බෙදන් ආවා…කෝ එන්න…මං කවන්නම්…”
නිශා කතා කළේ මා කුඩා දැරියක කියා සිතා මෙනි. කෑමට පිරියක් මා තුළ නොවීය.
“මට කන්න බැහැ…”
“බත් කටක් කන්න ළමයෝ…ඔහොම බඩ ගින්නේ ඉඳලා…ඔයා ලෙඩ වෙනවා මිසක්…වෙන කාටවත් රිදෙන්නෙ නැහැනේ…අනික් අය ගැන හිතලා හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න…”
ඈ ඉන් අදහස් කළේ රජිව් මිස වෙනත් අයෙකු නොවන බව වටහාගෙන මම බත් කටවල් කීපයක් කෑවෙමි.
“හොඳ ළමයා…”
ඈ ගෙනා වතුර වීදුරුව මම එක හුස්මට පානය කළෙමි.
“චූටි නංගී…”
ඈ පිටතට යාමට සූදානම්ව යළිත් කුමක් හෝ සිහි වූවාක් මෙන් හැරී මා ඇමතුවාය. මමද යහන මතින් නැඟිට ඈ දෙස බැලීමි. මීට සුළු මොහොතකට පෙර සිහින්වට ඇද වැටුණු වැසි පොදය මහා වර්ෂාවක් බවට පරිවර්තනය වී තිබිණි. විවර කර තිබූ ජනේලයෙන් සීතල සුළඟක් කාමරයට හමා ආවේය.
“අපිට හෙට වෙඩින් එකක්…”
මම හිස් බැල්මකින් ඈ දෙස බලා සිටියෙමි.
“ඉතින්…?”
“අයියා කියනවා ඔයාව තනියම ගෙදර දාලා යන්න බැහැ කියලා…”
එවිට මා මුවට නැගුණේ සෝපහාසය මුසු සිනහවකි.
“ඇයි…මම පැනලා යයි කියලා බයේද…?”
“පුළුවන් කමක් තිබුණත් ඔයා එහෙම යන්නේ නැහැ කියලා මම දන්නවා…ඒත් ඉතින් ඔයා තනියම ගෙදර ඉන්නේ කොහොමද…? අපි එනකොටත් හවස් වෙයි…තරූලා ගෙදර යන්න බැරිද…? මම අහන්නේ ඔයා තනියම නිසා…”
“එහෙ යන්න බැහැ…අනික මේ වෙලේ එහෙ ගියොත් එයාලට කරදරයි…මං ගෙදර ඉන්නම්…”
“තනියම ඉන්න පුළුවන්ද…?”
“අමුතුවෙන් දැනෙන්න තනිකමක් මට නැහැ…”
“හ්ම්ම්…මං කියන්නම් එහෙනම් අරයට…”
ඈ මා උරමතට තට්ටුවක් දමා පිටතට ගියාය.
පෙරදින රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව නිසාදෝ පරිසරයේ වූයේ තුනී සීතලකි. ඉස්තෝප්පුවේ අසුනක හිඳගෙන මම පාර දෙස බලා සිටියේ අලස ලෙසිනි. නිශා කීවාක් මෙන් තරුෂිගේ නිවසට යෑමට තිබුණානම් කියා මට සිතුණේ නිවස තුළ වූ පාළුව නිසාය. නමුත් දැන් ඊට පමා වූවා වැඩිය. යළිත් තුනී වැහි අඳුරක් පරිසරය පුරා පැතිර යන විට මම ගෙතුළට ආවේ බොහෝ වේලාවක් මම එහි හිඳ සිටි නිසාය. කරන්නට කිසිත් නැති නිසා මම කාමරයට පැමිණ යහන මත වැතිර ගතිමි. රජිව් කුමක් කරනවාදැයි කියා මට සිතුණේ නිකමටය. සාංකාකූල හැඟීමක් සිතට එබුණේ ඔහු සිහි වූ නිසාය.
කොයි මොහොතේ නින්ද ගියා දැයි කියා මට මතකයක් නොවීය. කිසිවෙකු මා අමතන හඬ ඇසී මම තිගැස්සී දෑස් විවර කළෙමි. සිහින් පොදයක් ඇද වැටෙන බව මම ජනේලයෙන් දුටුවේ එවිටය. මා දුටුවේ සිහිනයක් වන්නට ඇතැයි කියා සිතී මම අනෙක් ඇළයට හැරී යළි දෑස් පියා ගතිමි.
“මංදාකිණි…”
මෙවර නම් එය සිහිනෙන් ඇසුණක් නොව සැබෑවටම කිසිවෙකු මා අමතන හඬය. යහනින් බිමට පැන මම ජනේලයෙන් පිටත බැලීමි. ඉස්තෝප්පුවේ සිටගෙන සිටි කමල් දුටු මා සිතේ ඇති වූයේ තැති ගැන්මකි. ඔහු පැමිණ ඇත්තේ තනිවම බව දැක බියක් වන් හැඟීමක් මා සිත වටා එතී ගියේය. තරුෂි රෝහල් ගත කොට ඇතැයි යන සැකයෙන් මම වහා පිටතට දිව විත් දොර විවර කළෙමි.
“කමල් අයියේ…මොකද මේ…හදිසියක්ද… කෝ තරූ…?”
මගේ හඬේද කළබල ගතියක් තැවරී තියෙන්නට ඇත.
“තරූ ගෙදර නංගී…”
“සේරම හොඳින්ද…? ඔයා තනියම ඇවිත් ඉන්න නිසයි මං කළබල වුණේ…”
“අපි නම් හොඳින්…ඒත් මේ…”
අදි මදි කරමින් ඔහු පවසන විට මා සිත අලුත් බියකින් ගැහිණි.
“කාටද ප්‍රශ්නේ කමල් අයියේ…? අනේ කියන්නකෝ…”
ඔහුගේ බාහුවක් අල්ලා සොළවමින් මම නොඉවසිළිමත් හඬින් කීවෙමි. චිත්‍රා මිස් යළිත් වරක් අසනීප වූවාවත්ද….?
“මේ අපේ රජිව්…”
දෙවියනේ! රජිව්…? ඇයි ඔහුට කුමක් සිදු වීද..? ඔහු අනතුරකටවත් මුහුණ පෑවාද…? බියෙන් මා සිතත් ගතත් වෙව්ලන්නට විය.
“අනේ කමල් අයියේ…රජිව් අයියට මොකද…එයා හොඳින් නේද…?”
බියපත්ව මම ඇසීමි.
“ඕකනේ ඉතින්…ඔයත් කළබල වෙලානේ…එහෙම ප්‍රශ්නයක් නෙවේ…”
“එහෙනම්…?”
“රජිව් මීට දවස් කීපෙකට කලින් ගෙදරින් ගිහින්…මාරවිල යනවා කියලා…එහෙ ඉඳන් කාමරේ ඇතුළටම වෙලා දොරත් ලොක් කරන්…කන්නේ බොන්නෙත් නැහැලු…කියලා මුරට ඉන්න මනුස්සයා මිස්ට කෝල් කරලා කියලා…”
“අනේ…ඉතින්…ඇයි එයා එහෙම කරන්නේ…මිස් එක්ක තරහා වෙලාද…?”
“ඒ විස්තරයක් මං දන්නේ නැහැ මංදාකිණි…මිස් මට කතා කරලා කිව්වාම.. මං ගිහින් මූව එක්ක ආවා…මිනිහා මේ ටිකේම කාලා නැහැ…ඇඟත් හොඳටම බැහැලා…හිටියායින් භාගයක් නැහැ…දකිත්දිත් බය හිතෙනවා…සේලයින් දීලා තියන් ඉන්නේ…”
මා දෑස් කඳුලින් බොඳ වූයේ නිමේෂයකිනි. ඔහු මෙසේ හැසිරීමට හේතුව කුමක්ද…?
“එයාට අමාරුද කමල් අයියේ…?”
“ඌට අමාරුවට වඩා මිස් ඌව දැකලා ෆේන්ට් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වුණා…අද තමා මිස්ව එක්ක ආවේ…මං ඔයාට කියන්න ආවේ මංදාකිණි…ඌ ළඟ ඉන්න කවුරුත් නැහැ…ප්‍රේමා නැන්දාටත් දෙන්නවම බලන්න බැහැ…තරූව කොයි වෙලේ හොස්පිට්ල් ගෙනියන්න වෙයිද කියලා කියන්න බැහැනේ…නැත්නම් මං ළඟ ඉන්නවා…මිස්ට ඇඳෙන් බහින්න එපා කියලා ඩොක්ටර් කිව්වා…”
ඔහු එක දිගට කියවාගෙන ගියේය.
“මං එන්නම් යන්න…”
දෙවරක් නොසිතා මම කීවෙමි.
“ඒත්…ගෙදර අය…?”
“ගෙදර අය මේ වෙලේ නැහැ…වෙඩින් එකකට ගිහින්…”
“ඔයාට කරදර කරන්නත් බැහැ මංදාකිණි…ඒත් මේ වෙලේ කරන්න දෙයක් ඇත්තෙත් නැහැ…ඔයා ඇවිත් පොඩ්ඩක් කතා කරන්න…ප්‍රේමා නැන්දා හදලා දෙන කිසිම දෙයක් කටේ තියන්නේ නැහැ…මංදාකිණි…මංදාකිණි…කියා කියා කෙඳිරි ගානවා…”
ඔහු මෙසේ හැසිරෙන්නේ මා නිසාද…? මට හැඬුම් ආ මුත් මම එය සිරකර ගතිමි. මේ හඬන්නට සුදුසු මොහොතක් නොවේ. ඇඳුමක් ලා ගත් මම කමල් සමඟ රජිව්ගේ නිවසට පැමිණියෙමි. ඔහු යහන මත වැතිර සිටිනයුරු දුටු මා සිතේ ඇති වූයේ දරාගත නොහැකි වේදනාවකි. දෑස් කඳුලින් බොඳව යන විට මම ඔහු අසළින් හිඳ ගෙන ඒ හිස මෘදුව පිරිමැදීමි. ඒ පහසින්දෝ ඔහු සෙමෙන් දෑස් විවර කර බැලීය.
“ම…දා…කි…ණි…”
දුබල හඬින් කළ කෙඳිරිගැමක් වූ එය මට ඇසුණේද යාන්තමටය.
“අනේ…ඇයි…රජිව් අයියේ…මෙහෙම කරන්නේ…?”
මහා හඬින් හැඬේවි යැයි මම බිය වූයෙමි.
“ඔ…යා…?”
කෙඳිරිලි හඬින් පැවසූ ඔහු දෑස් පියා ගත්තේය. කම්මුල් තෙමාගෙන කඳුළු ගලන විට මම සෙමෙන් නැඟිට පිටතට ආවෙමි. ප්‍රේමා නැන්දා සමඟ කමල් ආලින්දයට වී කතා බහකය.
“අනේ…කමල් අයියේ…අපි එයාව හොස්පිට්ල් අරන් යමුකෝ…”
මගේ හඬින් කමල් වහා මවෙත හැරුණේය.
“ඩොක්ටර් ඇවිත් බලනවානේ මංදාකිණි…සේලයින් එක ඉවර උණාම මොනවා හරි පොවන්න කිව්වා…සුප් එකක් වගේ…මොන මඟුල පොවන්නත් මූ බොන්න එපැයි…”
“ප්‍රේමා නැන්දා සුප් එකක් හදන්නකෝ…මං පොවන්නම්…”
“හොඳයි නෝනේ…අනේ මගේ පුංචි මහත්තයා…”
ශෝකී හඬකින් කී ප්‍රේමා නැන්දා වහා පිටුපසට ගියේ දෑස් වල කඳුළු පුරවගෙනය. ඇගේ සිතේ ඇති වේදනාව මටද දැනේ. රජිව් මෙසේ පළිගන්නට හදන්නේ කාගෙන්ද..? තමාම රිදවාගෙන ඇති ඵලය කුමක්ද කියා ඔහුට නොවැටහෙන්නේද…? ඇරත් ඉන් වේදනා විඳින්නේ චිත්‍රා මිස්ය. මම චිත්‍රා මිස් සොයා කාමරයට පැමිණියෙමි. ඈ යහන මත හිඳ සිටියේ ඇඳ විට්ටමට කොට්ටයක් තබාගෙන හිස ඒ මත තබාගෙන පියවුණු දෑසිනි. ඇයට නින්ද ගොස් තිබුණා යැයි සිතා මම ආපසු හැරෙන්නට සිතුවද සෙමෙන් ඇයව ඇමතුවෙමි.
“මිස්…”
මගේ හඬින් ඈ දෑස් විවර කළේ තිගැස්මෙන් යුතුවය.
“ම…මංදාකිණි…ඔයා දැන්ද ආවේ…?”
“ඔව්…මිස්…”
මම ඈ අසලින්ම යහනේ අඩමානයට මෙන් හිඳ ගන්නා විට මගේ අතින් අල්ලා ගත් ඈ එක්වරම ඉකිබිඳිමින් හඬන්නට වූවාය.
“අනේ මිස්…අඬන්න එපා…මිසුත් ආයේම අසනීප වෙයිනේ…ඔහොම හිත කළබල කරගත්තොත්…”
“අනේ දරුවෝ…මගේ කොල්ලා…මට බලත්දිත් දුකයි ළමයෝ…අනේ ඒ ලස්සන මූණ කේඩෑරී වෙලා…”
හඬ හඬාම ඈ කියන විට මා දෑස්ද අලුත් වූ කඳුලින් බොඳ විණි.
“රජිව් අයියාට අසනීපයක් නෙවේනේ මිස් තියෙන්නේ…එයා ඔය නොකා නොබී හිටපු නිසානේ ඔහොම වෙලා තියෙන්නේ…දවසක් දෙකක් යනකොට හරි යයි…”
මම එසේ කීවේ මිස්ගේ සිත සැනසීමටත් වඩා මා සිතම සනසා ගැනීමට මෙනි.
“මේ ළමයා වතුර ටිකක් වත් බොන්නේ නැහැ ළමයෝ…”
සංවේගයෙන් මෙන් ඈ නැවත කීවාය.
“ප්‍රේමා නැන්දාට මං කිව්වා සුප් ටිකක් හදන්න…මං පොවන්නම්කෝ මිස්…”
ඈ බලාපොරොත්තු සහගත දෑසින් මදෙස බැලුවාය.
“අනේ…ඔයාට පින් දරුවෝ…එක වතාවක් මාව ගොඩ දැම්මා වගේ…දැන් මට මගේ කොල්ලාව බේරලා දෙන්න දුවේ…මට ඉන්නේ ඒකා විතරයි…”
ඈ යළිත් හඬන්නට වන විට මම ඇයව සැනසුවෙමි.