Pini Muthu Palasa පිනි මුතු පලස
චානුක විසින් අයියාව නිවසට කැඳවාගෙන එන විට අනුරානි පෙරට දිව ගියේ හඬමිනි. ඔහු මට කළ චෝදනා කෙතරම් බරපතළද..? නමුත් ඔහු කෙතරම් නීච සල්ලායෙක්ද.!
“මේක පොඩි තුවාලයක් බබා…”
අයියා අනුරානි සනසන වදන් කියන්නට වූයේ අම්මා හෝ අසලක සිටින බවක් නොතකමිනි. මම ඔහුගේ මුහුණටම සමච්චල් සිනහවක් පෑවෙමි.
චානුක ඔහුව කාමරයටම කැඳවාගෙන යන විට අනුරානි පසු ගමන් ගත්තාය. අම්මාවත් මමවත් ඔහුගේ කාමරයට හෝ නොගියෙමු.
“ගෑනු දෙන්නෙක්ම ඉන්නේ බලාගන්න…”
අම්මා කීවේ නොරුස්සුමෙනි.පසුදින අනුරානිගේ නිවැසියන් ඇයව කැඳවාහෙන යෑමට පැමිණි විට ඈ ඔවුන් සමඟ පිටව ගියේ නොකමැත්තෙනි. ඇයට අයියා මෙසේ දමා යෑමට බැරි බව කීවේ දෑස් වල කඳුළු පුරෝගෙනය. මම තරමක් හඬින් සිනහසුණේ අයියාට ඇසෙන්නටමය. ඔහුගේ තුවාලය එතරම් බරපතළ වූවක් නොවේ. ඔහු දෙදිනකට පසු යළි රාජකාරී ඇරඹීය. ඒ අතරේ චානුක තවමත් මා පිළිබඳව බලාපොරොත්තුවෙන් පසුවන බව අයියා අම්මා හා පවසා තිබිණි.
“මම එක පාරක් කිව්වනේ…මට දෙන්න තියෙන්නේ එකම උත්තරයයි…ආයෙමත් මට ඔය මනුස්සයා ගැන කියන්න ආවොත් මම යනවා කොහේ හරි…”
“හරි හරි…මමත් ඔය ටික කිව්වා…”
අම්මා දැන් පත්ව ඇත්තේ ගිරයට අහුවුණ පුවක් ගෙඩියක් ගානටය. ඈ වැවට යෑමට එළියට බැස්සේ කුඩයද ඉහළාගෙනය. ඈ පිටව යන දෙස බලා හිඳ මම ගෙතුළට ආවෙමි. සේදීමට ගත් රෙදි බෑගය ඈ සැටිය මත දමා ගොස් තිබූ බව මා දුටුවේ එවිටය. මම එයත් රැගෙන ගුරු පාර දිගේ වැව දෙසට පා තැබුවෙමි. ඈ ඒ වන විටත් වැව අසලටම පැමිණ සිටියාය.
“මම මේ ආයේම යන්න හැදුවේ…”
මා දුටු අම්මා කීවාය.
“එක එක ඒවා ඔළුවේ තියාගෙනනේ වැඩ කරන්නේ…”
මම ඇනුම්පදයක් එල්ල කළෙමි. ඈ කිසිත් නොකී අතර ගෙනා රෙදි ටික සෝදන්නට පටන් ගන්නා තුරුම මමද මඳ වේලාවක් එහි රැඳී සිටියෙමි. වැව අසල කිසිවෙකු නැත. වැව් දිය මතට ඇද වැටුණු හිරු රැසින් දිය රැලි දිලිසුණේ දියමන්ති ඇතිරුවාක් මෙනි. සුදෝ සුදට පිපුණු නෙළුම් මල් දිය මත හිනැහෙයි. මඳ වේලාවක් එහි රැඳී හුන් මම නැවත හැරී නිවස දෙසට පා තැබුවෙමි.
“මංදාකිණි…”
සිහිනෙන් මෙන් ඇසුණු හඬින් මම තිගැස්සී ගියෙමි. පාරේ අයිනකට වෙන්නට යතුරු පැදිය නවතාගෙන බලා සිටින රජිව් දැක මම පුදුමයටත් සතුටටත් පත්වූයෙමි.
“ර…ජිව් අයියේ…ඔයා…?”
“මම තමා…නැතුව වෙන කවුරු හරිද…?”
ඔහු ඇසුවේ දඟකාර සිනහවක් මුව මත රඳවාගෙනය.
“හිතා ගන්න බැහැනේ ඉතින්…ඔයා එකපාරම මතුවෙනවානේ…”
මමද සිනහවක් නංවාගෙන කීවෙමි.
“මම දැක්කා ඔයා මේ පැත්තට එනවා…වැව ගාවට යන්න යනකොට ඔයා ආයේ හැරිලා එනවා…ඒකයි මෙතන ඉඳන් බලන් හිටියේ…”
“මම දැක්කෙවත් නැහැ…බයික් එකේ සද්දේ ඇහුණෙත් නැහැනේ…”
“සද්දේ දාන් ආවා නම් ගමම ඉඳියි මෙතන…”
ඔහු කී කතාවට මා මුවට යළිත් සිනහ නැඟිණි.
“ඇයි කතා නොකළේ…?”
“කතා කරන්න නේන්නම් ආවේ…මම හිතුවේ නාන්න යනවා කියලා…රෙදි මල්ලකුත් උස්සන්…වැව ළඟට එන්න බැරි නිසා ආයේ හැරිලා එනකොට තමා ඔයා එනවා දැක්කේ…”
“අම්මා රෙදි ටික අමතක කරලා ඇවිත්… ඒක දෙන්න ආවා…”
“මගේ වෙලාව හොඳයි…”
“ම්ම්ම්…ඔව්…ඔව්…ඔයාගේ වෙලාව කොහොමත් හොඳයි…ඒක නෙවේ…ඔයා මේ ටිකේම මේ පැත්තේ කැරකුණාද…?”
“ඔව්…”
“අයියා දැක්කා නම් ගුටි කන්න වෙයි කියලා බය හිතුණේ නැත්ද…?”
“මගෙත් අත පය හොඳට තියනවා…හැබැයි ඉතින්…ඔය කාඩ් බෝඩ් වීරයා එක්ක හැප්පිලා මගේ තත්වේ බාල්දු කරගන්න නම් ඕන නැහැ…මිනිහගේ කට විතරයි…”
ඔහු කියන්නේ සැබෑය. අයියා හදන්නේ කටින් බය කර ගන්නටය.
“බුරන බල්ලෝ හපන්නේ නැහැලු…”
“බිරුවට බය නැහැ…හපන්න ආවොත් ඒකටත් බය නැහැ…අනික ආදරේ කරනකොට…බය වෙලා කොහොමද…?”
ඒ කීමට නම් මසිත අසරණ විය. ඔහු තවම මා පිළිබඳව සිතන බව එයින් පවසයි. නමුත් එසේ කියා මා මත්තේ එල්ළී සිටිය යුතු නැත. ඔහුට කියා ජීවිතයක් තිබිය යුතුය. මා පිළිබඳව සිතමින් තම ජීවිතය අඳුරු කරගන්නේ මන්ද….?
“අපි ආදරේ කළා තමයි රජිව් අයියේ…ඒත් ඔයා දැන් ඔයා ගැන හිතන්න ඕන…අවලංගු කාසි එක්ක කවුරුත් ගණුදෙනු කරන්නේ නැහැනේ…අපි අතීතය අමතක කරමු…ඔයාගේ ජීවිතේ ගැන හිතන්න…”
“මගේ ජීවිතේ තියෙන්නේ ඔයා ළඟ කියලා ඔයාට තාම තේරුණේ නැත්ද මංදාකිණි…ඔයා නැති ජීවිතයක් ගැන මම කොහොමද හිතන්නේ…?”
මට එය වැටහුණ මුත් මම එවැන්නකට ඔහුට අනුබල දෙන්නේ කෙසේද…?
“මොන අම්මාද කැමති වෙන්නේ…කසාඳ බැඳලා…කණවැන්දුම් වුණ ගෑනියෙක්ව තමන්ගේ එකම පුතා කසාඳ බඳිනවට…මිස් ආයේම ලෙඩ වෙයි…”
“අපි දෙන්නා කසාඳ බැඳලා පස්සේ අම්මට කියමු…”
තිගැස්සුණු බැල්මෙන් මම ඔහු දෙස බැලුවේ ඔහු එය කීවේ විහිළුවට දැයි සැකයෙන් මුත් ඔහු සිටියේ දැඩි කරගත් මුහුණිනි.
“කියන්න නම් ලේසියි…එහෙම තීරණයක් අරගෙන…මිස් ඉන්න තත්වෙත් එක්ක…මිස්ට මොනවා හරි වුණොත්…මට කවදාවත් මගෙන්ම සමාවක් ලැබෙන්නේ නැහැ…ඔයා දැන් කොහොම කිව්වත් රජිව් අයියේ…එහෙම දෙයක් වුණොත්…ඔයා හිතින් පසු තැවී තැවී…ජීවත් වෙයි…අපි දුරදිග නොබලා ගත්ත තීරණේ නිසයි මෙහෙම වුණේ කියලා…මටත් විඳව විඳව ජීවත් වෙන්න වෙයි…ඔයා කැමතිද එහෙම වෙනවට…? අපිටත් අපිව එපා වෙයි…මං කැමති නැහැ එහෙම වෙනවා දකින්න…හොඳම දේ ඔයා මිස් කැමති කෙනෙක්ව මැරි කරන එක…අම්මලා තාත්තාලා හැමදාම අපි එක්ක ඉන්නේ නැහැ…ඉන්න කාලේ එයාලව සතුටින් තියන්න…එයාලා ඔයා දෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියනවා…අපිත් අපිට පුළුවන් දෙයක් එයාලා වෙනුවෙන් කරන්න ඕන…එයාලා නැති කාලෙක වුණත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එතකොටනේ…”
“අපි එයාලාගේ සතුටට අපේ සතුට පූජා කරන්න ඕනා කියලද ඔයා කියන්නේ…? ඒක හරි අසාධාරණයි…වෙන කෙනෙක් බැන්දත් මට වෙන්නේ විඳව විඳව ජීවත් වෙන්න තමා…”
ඔහු මා කී දේ ගැන මායිමකට හෝ නොගෙන කීවේය. ඔහු කියන්නේත් සත්‍යයක් බව සැබෑය. නමුත් සිතා මතා මට ඔහු කියන්නකට එකඟ විය නොහැකිය. චිත්‍රා මිස්ට කුමක් හෝ වුව හොත් එය මිනීමැරුමක් හා සමාන නොවන්නේද…?
“ආයේ මෙහෙම පාරේ රස්තියාදු වෙන්න එපා…මං කැමති නැහැ…ඔයා මං වෙනුවෙන් වුණත් මෙහෙම කාලේ නාස්ති කරනවට…මිස්ව බලාගෙන ඉන්න…අපි ආයේ හමුවෙන්න ඕන නැහැ…”
ස්ථීර හඬකින් මම කීවෙමි.
“ඔයා ඔය ඇත්තටමද කියන්නේ…?”
“ඔව්…ඇත්තටම…මං විහිළු කරනවා වගේද ඔයාට පේන්නේ…?”
දැඩි හඬින් මම කීවේ එක එල්ලේ ඔහු දෙස බලානය. ඔහු කෙටි සුසුමක් හෙළුවේය.වෙනත් යමක් කතා කිරීමට අවස්ථාවක් මට නොවූයේ අක්කා ගුරු පාර දිගේ ඇවිද එනු දුටු නිසාය. මම ඔහුට සමුදී නිවස වෙත ඇවිද ආවෙමි. අක්කා මා පසුකර පියමැන්නේ සැකමුසු බැල්මක් මවෙත හෙළමිනි. ඉන් මට ඇති කාරිය කුමක්ද…? මම නිවසට පැමිණියේ තරමක් අවුල්ව ගිය සිතිනි. හිමි නොවන දෙයක් පිළිබඳව සිතා පළක් නැත. රෙදි සෝදාගෙන ආ අම්මා ඒවා වැලේ වනනු මම දුටුවේ ජනේලයෙනි. අසුන මත හිඳ ගෙන මම අම්මා ගෙනා සඟරාවක පිටු පුරළුවේ අරමුණකින් තොරවය. මා සිත වටා සැරුසැරුවේ රජිව්ය. ඔහුට මාවත් මට ඔහුවත් තවම අමතක කරනු නොහැකි වී ඇත. නිවස වටා ඔහු සැරිසරන්නේ ඒ නිසාය. අම්මා ගෙට ගොඩ වූයේ තෙත දෑත් හැඳ සිටි ගවුමෙන් පිස දමමිනි.
“ආහ්…චූටි දුව…?”
ඈ කුමක් හෝ දෙයක් කීමට සූදනමිදෝ මා ඉදිරියට විත් සිට ගත්තාය. මම හිස ඔසවා අම්මා දෙස බැලීමි.
“මම අච්චර එපා කියලා තියනකොටත් අර ළමයා අදත් ඇවිත්නේ…”
අක්කා දැනටමත් ගින්න අවුළුවා ඇත. උපහාසය මුසු සිනහවක් පාමින් මම අම්මා දෙස බලා සිටියෙමි.
“එයා ගෙදරට ආවේ නැහැනේ…පාරේ යනකොට දැකලා කතා කළා…එච්චරයි…”
නොසතුටෙන් මම කීවෙමි. අයියාගේ යතුරු පැදිය විත් ඉස්තෝප්පුවේ නැවතුණේ එවිටය.
“අම්මේ…”
ඔහු නිවසට ගොඩ වුණේ මහ හඬින් අම්මා අමතමිනි.
“මොකද බෙරිහන් දෙන්නේ…? මං මෙතනනේ ඉන්නේ…”
ඔහු අම්මා කී දේ ගානකට වත් නොගෙන හෙල්මටය ගළවා ස්ටූලය මත තැබුවේ හඬ නැඟෙන පරිදිය.
“මොකද මේ සද්දේ චූටි පුතා…ඕවා හිමින් තියපන්…කෝ නිශා…?”
අම්මා නොමනාපයෙන් මෙන් කීවාය.
“නිශාගෙන් වැඩක් නැහැ…මෙන්න මේකිට කියන්න අපිට ලැජ්ජා නොකර ඉන්න කියලා…හන්දි ගානෙ…ගස් ගල් අස්සේ එක එකා එක්ක මුකුළු කරන්න ලැජ්ජ නැත්ද…?”
අත රැඳි සඟරාව ස්ටූලය මතට දමා ගසා මම නැඟී සිටියේ කෝපයෙනි.
“අරකි ගිනි තියලා තියෙන්නේ ලස්සනට…ගස් ගල් අස්සේ මම කරපු මුකුළුවක් නැහැ…ගෙදරට මනුස්සයෙක් ආවොත් අවේශ වෙලා දඟලනවා…පාරෙදි කතා කළොත් මුකුළු කරනවාලු…මම දහ පහළොස් දෙනෙක් එක්ක කතා කරන්න ගියේ නැහැ…ලැජ්ජ වෙන්න දෙයක් කළෙත් නැහැ…ලැජ්ජ නැති වැඩ කර කර…මට කියනවා ලැජ්ජ කරනවා කියලා…තමුන් කරන්නේ සුද්දවන්ත වැඩ වෙන්නැති…”
“මොකක්ද බැල්ලියේ මම කරපු වැඩේ…?”
“අක්කායි නංගියි දෙන්නාම දෙපැත්තේ තියන් නිදා ගන්න එක නම්බුකාරයි කියලා වෙන්නැති හිතේ…තමුසේ වගේ මම බලු වැඩ කළේ නැහැ…මම ආදරේ කළේ එකෙක්ට විතරයි…ඌ එක්ක කතා කළා විතරයි…ගස් ගල් අස්සේ රිංගුවේ නැහැ… තමුසේ මේ ගේ ඇතුළේම ඊට වඩා ලැජ්ජ නැති වැඩ කළේ…”
“උඹට මම…”
අයියා ගැසූ කම්මුල් පහරට මා තොල් පට පැලී ලේ ගළනු මට දැනිණි. ස්ටූලය මත වූ හෙල්මටය අතට ගත් මම වැර යොදා ඔහුගේ මුහුණටම දමා ගැසීමි. එවන් පහරක් බලාපොරොත්තු නොවූ ඔහු වැදුණු පහරින් මොහොතක් අන්දුන් කුන්දුන් වූ බවක් පෙනිණි.
“නවත්ත ගනිල්ලා දෙන්නම…උඹලා මරා ගන්නද හදන්නේ…”
“මම මරනවා මේකිව…”
“මරපන් පුළුවන් නම්…”
මමද කෑ ගැසීමි. ඔහු මට නැවත පහර දෙන්නට සැරසෙන විට අම්මා මැදට පැන ඔහුව ඉවතට තල්ලු කළාය.
“චූටි පුතා පලයන් අහකට…”
“මම උඹව බලාගන්නම්…බැල්ලි…”
“උඹනේ බල්ලා…මම නම් බලු වැඩ කරලා නැහැ…”
“චූටි දුව නවත්තනවා…”
අම්මා කෑ ගැසුවේ මටය. ඇයටත් රවමින් මම කාමරයට ආවේ තවමත් අත රැඳි හෙල්මටය අසුන මතට විසිකර දමාය. අයියා යතුරු පැදිය පණ ගන්වාගෙන යන හඬ මා සවන් වැකුණේ ඊටත් මොහොතකට පසුවය.