More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 69

    Pini Muthu Palasa පිනි මුතු පලස – 69

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    නිරෝෂා සැරසෙන්නේ කුමක් හෝ වැදගත් යමක් පවසන්නට යැයි කියා මට සිතිණි.

    “අක්කාට මතකද අර ප්‍රියංකරව…?”

    ඈ විමසන විට මම මඳක් කල්පනා කළෙමි.

    “කවුද…?”

    “ඇයි අනේ අර රාජකරුණාගේ ගෙදර ඩ්‍රයිවින් කළේ…”

    මට ඒ මොහොතේ ඔහු පිළිබඳව මතකයට ආවේය. කීප දිනක්ම ඔහු අම්මා හමුවට නිවසට පැමිණියේ පූජිත නැති වේලාවක්ම බලාය.

    “ඉතින්…මට දැන් මතක් වුණේ…මොකද වෙලා තියෙන්නේ…එයා ආවේම පූජිත නැති වෙලාවටනේ…”

    මම එසේ කියන විට නිරෝෂාගේ මුව මත ඇඳුණේ මනමාල සිනහවකි. ඈ ඔහු පිළිබඳව සිතනවා වත්ද..? ඔහු කඩවසම් බව සැබෑ මුත් ඔහුව නම් මට කිසිසේත්ම සිතට ඇල්ලුවේ නැත. ඔහු අම්මා සමඟ කුළුපඟ වූයේ වුවමනාවටත් වැඩියෙනි. දෙදෙනා කාමරයට වී කතා බස් කරනුද මට ඇසී තිබිණි.

    “එයා ඔයාගෙන් යාලුවෙන්නවත් ඇහුවද…?”

    සැකමුසු හඬකින් මම ඇසුවේ එවැන්නකට නම් ඇයට ඉඩ නොදෙමියි යන සිතුවිල්ලෙනි.

    “ඊයා අනේ…පිස්සු….නැතුවට හොඳයි…”

    නිරෝෂා පිළිකුල් හඬකින් කෑ ගසන විට මම සිනහසුණෙමි.

    “ඒ මොකද ඒ…ඒ කොල්ලා ලස්සනයිනේ…”

    “අපෝ අක්කේ…එයා ලස්සන වුණාට මට නම් එපා…එයා නැන්දා එක්ක සම්බන්ධයක් තියනවා…එයා ඉන්නේ දැන් එහේ…”

    මම ඒ අසා පුදුම නොවූයෙමි.

    “ගෙදරද ඉන්නේ…?”

    “ඔව් අක්කේ…ඔයත් ආවට පස්සේ නැන්දා තනියම නිසා මුල් දවස් වල මායි අම්මායි රෑට එහේ නැවතුණා…පස්සේ නැන්දා කිව්වා එයාට තනියම ඉන්න පුළුවන් කියලා…ඉතින් අපි ගියේ නැහැ…මුළින් මුළින් රෑට රෑට ප්‍රියංකර එනවා…පහුවදා පාන්දර යනවා…බයික් එක දාන්නේ පිටිපස්සේ දොර ගාව…දවස් කීපයක්ම මම දැක්කා එයා රෑ වෙලා එනවා…පිටිපස්සේ දොරින් තමා නැන්දා එයාව ඇතුළට ගන්නේ…දැන් එයා බයක් සැකක් නැතුව දවස් ගණන් නැවතිලා ඉන්නවා…”

    මා සිතේ ඇති වූයේ පිළිකුල් ජනක හැඟීමකි. ප්‍රියංකර පූජිතගේ මෙන් වයසැති අයෙකි. අම්මා දැන් හතළිස් ගණන් වියේ පසු වෙයි. ඈ විවාහ වී තිබුණේ අඩු වයසින් බව මම අසා තිබුණෙමි. තවමත් ඈ පිරුණු අඟ පසඟින් යුතු වූවාය.

    “පූජිතයියා නැති වෙන්න කලින් ඉඳන් ඕක තිබිලා තියනවා අක්කේ…”

    “ඔව්…මටත් ඇහිලා තියනවා දෙන්නා කාමරේට වෙලා කිචි බිචි ගාන හැටි…”

    “නැන්දා අක්කාව යවා ගන්න හැදුවෙත් ඕක තමා…”

    “ඕවා ගැන හිතත්දී නම් කළකිරෙනවා… නැත්ද…?”

    “ඔයා ඕවා හිතන්න යන්න එපා…ඔයාට දැන ගන්න කිව්වේ මම…”

    මම දැනගත්තා කියා කුමකටද කියා මට සිතිණි. මල්ලිකා නැන්දාත්, නිරෝෂාත් පිටත්ව ගියේ සවසය. ඔවුන් හැරළීමට මමද ගේට්ටුව තෙක් පැමිණියෙමි. බොරළු පාර දිගේ ඔවුන් නොපෙනී යන තුරු බලා සිටි මා ගේට්ටුව වසා දමා නිවසට ඒමට සූදානම් වන විට යතුරු පැදියක් විත් ගේට්ටුව අසලම නැවතිණි. පැමිණි අය මම මීට පෙර දැක තිබූ අයෙකු නොවීය. ඔහු විමසුවේ අයියාවය.

    “එයා ගෙදර නැහැ…නිශා අක්කලා ගෙදර…”

    මම කීවෙමි.

    “ආහ්…ඔයා නීලකගේ නංගීද…?”

    එයට පිළිතුරක් නොදි මම හිස් බැල්මකින් ඔහු දෙස බලා සිටියෙමි. මට සහෝදරයන් නැතැයි කියා ඔහුගේ මුහුණට වචන වලින් දමා ගසන්නට උපන් ආවේගය මම මැඩගෙන සිටියේ අපහසුවෙනි.

    “මෙන්න මේක දෙන්නකෝ…චානුක දුන්නා කියලා…”

    ඔහු ලිපි ගොනුවක් මවෙත දිගු කරන විට මම එය අතට ගත්තේ නිරායාසයෙනි. හෙල්මටය ගළවා පැති කන්නාඩියේ රැඳ වූ ඔහු අඩක් තට්ටය පෑදුණු හිස කෙස් අතින් සැකසුවේ මනමාල බැල්මක් මවෙත හෙළමිනි. නොමනාපය රැඳි රැවුමක් පාමින් මම ගෙතුළට ආවෙමි.
    ——————————————————————————————————
    බදාදා උදයේ පාසල් ගේට්ටුව අසල රජිව් මා එනතුරු බලා සිටියේය. අප දෙදෙනම ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූයේ එකටමය. යළිත් පාසල් බිමට පා තබන විට මා සිත කිව නොහැකි ශෝකයකින් ඇවිළී ගියේය. කස ගස් පෙළ තවමත් එලෙසමය. අප අවසන් වරට සිටි පන්ති කාමරය දැන් අලුත් ළමුන්ගෙන් පිරී ඇත. ඔවුනතර මා දන්නා හඳුනන කිසිවෙකු නැත.

    සුළඟේ ලෙලෙනා…මලසේ දඟ පා…
    අප පාසල් ගිය කාලයේ…
    යහළුවෝ අද නැත…
    වෙන අය එහි ඇත…
    කාලය මැවු වෙනසක අරුමේ…

    එම ගී පද මා දෙසවන් පුරා නින්නාද වන්නාක් මෙන් දැනෙන විට මා සිත සියුම් රිදුමකින් රිදී යමින් දෑස් කඳුලින් බොඳ විණි. හඬන්නට වුවමනා වුවද මේ මොහොතේ එය කළ නොහැකි නිසා මම දෙතොල් තරයේ පියාගෙන දුක සිර කරගෙන සිටියෙමි.

    “මොකෝ මංදාකිණි මේ ඇස්වල කඳුළු…?”

    ප්‍රධාන කාර්යාලය අසල රැඳී සිටින විට රජිව් මා දෙස බලා පහත් හඬකින් ඇසුවේ පුදුමය රැඳි හඬකිනි.

    “මොකුත් නැහැ…”

    බර වූ නාසය පිසිමින් මම කීවෙමි.

    “යාළුවෝ මතක් වුණාද…?”

    මා මුවින් සුසුමක් ගිළිහිණි.

    “යාළුවෝ විතරක් නෙවේ රජිව් අයියේ…මට අපි දෙන්නගේ අතීතයත් මතක් වුණා…මට ඒවා මැවී මැවී පේනවා වගේ…”

    අකීකරු කඳුළු දෙපේළියක් කම්මුල් මතින් රූටා ගලා ගියේය. මම වහා වහා කඳුළු පිස ගත්තේ චිත්‍රා මිස් අප දෙසට පැමිණෙනු දැකය.

    “මම දැක්කා එනවා…යමු…සර්ට කියලා අස්වීම අරන් දෙන්නම්…”

    ඈ අප දෙදෙනා කැඳවාගෙන ඇතුළට පැමිණියාය. චිත්‍රා මිස් නිසා ඉක්මණින්ම එය කරගන්නට හැකි විය.

    “දැන් මොකද ළමයෝ ඔයා ගෙදරට වෙලා කරන්නේ…?”

    අප පිටතට පැමිණි ඇසිල්ලේ චිත්‍රා මිස් මා විමසුවාය.

    “මොකුත් නැහැ මිස්…ගෙදරට වෙලා ඉන්නවා…”

    “ඒ පැත්තේ ආවෙත් නැහැනේ…”

    “හ්ම්ම්…ඔව් මිස් අයියා කොහෙවත් යන්න එපා කියලා තහංචි දාලා තියෙන්නේ…”

    ආරූඪ කරගත් සිනහවක් මුව මත නංවාගෙන මම කීවෙමි.

    “පුළුවන් වුණොත් ඇවිත් යන්නකෝ…”

    මම ඇයට දණ නමා වැඳ ඇගෙන් සමු ගතිමි. පිටතට පැමිණි අප දෙදෙනා මාර ගස සෙවන යට නැවතුණේ කතා කරගත්තාක් මෙනි. ඉක්මනින් නිවසට යෑමට වුවමනාවක් මට නම් නොවිය.

    “අපි ආයේ කවද්ද මුණ ගැහෙන්නේ…?”

    ඔහු ඇසුවේය.

    “අනේ මන්දා…ආයේ ඉතින් කොහේ එනවා කියලා එන්නද…?”

    “මම එන්නම් ගෙදර…ඔයාගේ ඇඳුම් ටික අපේ ගෙදරනේ…හෑන්ඩ් බෑග් එකකුත් තිබුණා කියලා ප්‍රේමා නැන්දා කිව්වා…”

    පූජිත එදා මා කැඳවාගෙන යෑමට පැමිණි විට මම ඒ කිසිත් රැගෙන නොගියෙමි.

    “ඔයාට කරදරයිනේ ඒවා අරන් එන්න…”

    “මොන කරදරයක්ද…මං ගේන්නම්…”

    සිනහ මුවෙන් ඔහු කීවේය. අපි දෙදෙන එසේ කතා බහ කරමින් සිටින විට යතුරු පැදියක නැඟීගෙන අයියා අප පසුකර ගියේය. ඔහු හැරී මා දෙස බැලූ බැල්මට මා මුවට සිනහ නැඟිණි. පෙර දිනක ඔහු සොයා පැමිණි මිතුරාද පිටුපස අසුනේ විය.

    “කවුද ඒ ඔරවන් යන්නේ…අඳුනන කවුරු හරිද…?”

    “අඳුනන අය ඔරවන් යන්නේ නැහැනේ… හිනා වෙනවා මිසක්…ඔය අර නමට ඉන්න සහෝදරයා…”

    සිනහවක් පාමින් මා කියන විට රජිව්ද සිනහසුණේය.

    “ආහ්…අපේ කාඩ් බෝර්ඩ් වීරයා…දැන් ගෙදර ගියාම අහයි…මොකා එක්කද මුකුළු කළේ කියලා…”

    මා මුවේ සිනහව පැතිර ගියේ ඔහු අයියාට දමා තිබූ විකට නම නිසාය.

    “එහෙම නොවුණොත් තමා පුදුමේ…”

    “පරෙස්සම් කරන්න ඕන කාලේ…ඔයාව පරෙස්සම් කළා නම්…අද මෙහෙම ඔරවන් යන්න ඕන නැහැනේ….”

    “එ කාලේ පැත්තටවත් නාපු උන් දැන් තමා මං ගැන වද වෙන්නේ…”

    “ඔයාට ප්‍රශ්නයක් වෙයිද…?”

    “එහෙම වුණොත් මං ඒක බලාගන්නම්කෝ…”

    “දැන් චණ්ඩියා වෙලා නේද…?”

    “චණ්ඩි වෙන්න ඕන වෙලාවලුත් තියනවා…අර කතාවකුත් තියෙන්නේ…ඉඳලා ඉඳලා හරි පෙනේ පිප්පුවෙ නැත්නම් නයාව දර මිටි වලටත් බඳින්න ගන්නවා කියලා…”

    අපි දෙදෙනම එකතුව සිනහසුණෙමු. මොහොතකට හෝ සිතට සැහැල්ලුවක් දැනුණා නම් ඒ මේ මොහොතේදීය. නිවසට ගිය පසු යළිත් සුපුරුදු පරිසරයේ මා හුදෙකළා වනු ඇතැයි සිතන විටත් සාංකාවක් මා සිත වටා එතිණි. රජිව් මා නිවසට හැරළීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට මම ඔහුට සමු දී ඇවිද ආවෙමි.

    අයියා සවස වැඩ නිම වී නිවසට එන විට මම සිටියේ කාමරයේය. ඔහු පැමිණි විගසම අම්මා සමඟ උදෑසන සිදුවීම පවසනු මට කාමරයට ඇසිණි. සමහර පිරිමි ගැහැණුන්ට වඩා අන්තයැයි කියා මම ඒ මොහොතේ සිතුවේ මුවේ ඇඳුණු උපහාසය මුසු සිනහවකින්ද යුතුවය.

    “ඉස්කෝලෙට ගියා නම් ගිය වැඩේ කරගෙන එන්නේ නැතුව මොකා එක්කද මුකුළු කර කර ඉන්නේ…?”

    “ඒ ළමයට කා එක්කවත් කතා කරන්න හොඳ නැත්ද…පැනලා ගියා නෙවේනේ…”

    “පැනලා ගිහින් හිටියේ පහුගිය කාලේ…ඌද දන්නේ නැහැ හිටියේ අද… චානුක නොහිටින්න මම අද දෙන්නටම එතන තියලා නෙළන්නේ…”

    තව දුරටත් අසා සිටින්නට නොහැකි තැන මම කාමරයෙන් පිටතට ආවෙමි.

    “නෙළන්න…මොනවා නෙළන්නද…? තමුසෙට දැන් තමා මං ගැන කැක්කුම තියෙන්නේ…ඔය සහෝදර ප්‍රේමය මෙච්චර කල් කොහෙද හංගන් හිටියේ…අරකි මාව බන්දලා දෙන්න යනකොට තමුසේ කොහෙද හිටියේ…අර මිනිහා මාව මරන්න යනකොට, මට වද දෙනකොට හිටියේ නැති එකා…දැන් මගේ මිනිහත් මැරුණාට පස්සේ එනවා මාව පරෙස්සම් කරන්න…ඊට කළින්නේ ඔහොම ඇවිත් කතා කරන්න තිබුණේ…කෙල්ලෙක් වෙලා ඉන්නකොට පැත්තටවත් නාපු මිනිහා මට වෙන්න ඕන සේරම වුණාට පස්සේ එනවා මෙතන කාඩ් බෝර්ඩ් වීරයා වෙලා ලකුණු දාගන්න…මෙච්චරකල් නොතිබුණු සහෝදරකම් ඉස්සරහාටත් ඕන නැහැ… මට මගේ පාඩුවේ ඉන්න දුන්නා නම් ඇති…”

    මම කෑ ගැසුවෙමි. මෙතුවක් කල් මා සියල්ල නිහඬව දරා ගතිමි. ඉදිරියටත් එය එසේ විය යුතු නැත. අයියා ගිනි කන දෑසින් මදෙස බලා සිටින විට මම දොර රෙද්දත් ගසා දමා කාමරයට ආවෙමි.

    “මේකිගේ කට තළන්න…”

    ඔහු දත් මිටි සපමින් කෑ ගසනු මට ඇසිණි.

    “ඒකි කියපු කතාව ඇත්තනේ…ඕවා ඔහොම නොවෙන්න තිබුණා…උඹලා මේකිව හරියට බලා ගත්තා නම්…”

    “ආහ්…දැන් ඒකත් එතකොට මගේ වැරැද්ද කියලාද කියන්නේ…? ඒ ටික ඔයාටම කරන්න තිබුණානේ මෙහෙට ඇවිත්…ඔයා මොනවද කළේ…?”

    “මොනවද කළේ?…මං මොනවද නොකළේ කියලා අහපන් චූටි පුතා…මං එවපු සල්ලි වලට උඹලා දෙන්නා එකතු වෙලා මොනවද කළේ කියලා මට කියපන්…මේ කෙල්ලව බන්දලා දෙන එකවත් මං දන්නවද ලංකාවට එනකල්…උඹලා එකතු වෙලා මාවත් රවට්ටලා මේ කෙල්ලවත් විනාශ කළා…අරකි දැන් සුදනි වගේ පැත්තකට වෙලා ඉන්නවා…”

    අම්මා හඬ හඬා කියූ දෙයින් මම පුදුමයට පත් වූයෙමි. දෙවියනේ…! ඈ ඒ කියන්නේ සත්‍යයක්ද…? මා විවාහ කර දුන් බව ඈ දැන නොසිටියේද…?එසේනම් අක්කා මේ සියල්ල අම්මාගෙන් වසන් කොට තිබුණාද..? මා සිතේ ඈ කෙරෙහි වූ පිළිකුල් හැඟීමත් වෛරයත් තවත් වැඩි විය. ඈ මගේ ජීවිතය සමඟ කර තිබුණේ පිළිකුල උපදන සුලු ක්‍රීඩාවක් නොවේද..? අම්මාට මට මේ පිළිබඳව ලියා යවන්නට තිබුණා නොවේදැයි කියා මම සිතුවේ පසුතැවීමකිනි. නමුත් ඒ දිනවල මම ඈ සමඟ පසුවූයේ බලවත් අමනාපයකිනි. මම ඇයට නොලීවේ ඒ නිසාය. සියල්ල එසේ වුවද දැන් ඒ කිසිත් සිතා පලක් නැත. මට ඉතිරිව ඇත්තේ දුකම පමණි. සිත පුරා බලපැවැත්වුණ දැඩි වේදනාවෙන් යුතුව මම යහන මතට ඇද වැටුණෙමි.

    “ඕවා අම්මලා දූලා බලාගන්න එකයි…මට ඕවා අදාළ නැහැ…අරකි මෙහේ ඉන්නවා නම් මං කියන විදියට ඉන්න වෙයි…”

    “ආහ්…උඹ හිතන් ඉන්නේ එහෙමද…උඹ මහා එකා නොවී ඉඳින්…ඒකිගේ අම්මා මැරිලා නැහැ තව…මම ඒකිවත් අරන් යන්නම් කොහේ හරි…උඹලාට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි එතකොට…”

    අම්මා එසේ කියන විට නම් මා සිතේ ඈ කෙරෙහි අනුකම්පාවක් ඉපදිණි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page