Pini Muthu Palasa පිනි මුතු පලස
රථය පූජිතගේ නිවසේ මිදුල මැද නැවතිණි. ඔහු රථයෙන් බැස විත් දොර හරින විට මම ඉන් බැස ගත්තේ මහා හිස් වූ හැඟීමකින් යුතුවය. යළිත් මේ අපායට පය තැබීමට සිදුවේ යැයි මම සිහිනෙකින් හෝ සිතා නොතිබුණෙමි. රථයේ හඬින් පිටතට පැමිණි අම්මා විත් මා අතින් අල්ලා ගත්තේ යළිත් මා පැන යාවි යැයි සිතා මෙනි. ඒ අත ගසා දමන්නට වුවමනා වුවද මම පූජිතගේ දෑසින් එල්ල වූ තර්ජනාත්මක බැල්ම නිසා නිෂ්චලව සිටියෙමි. ඔහු මට රවමින් ගෙතුළට පියවර තැබුවේය.
“පූජිත…”
තවමත් මගේ අතින් අල්ලාගෙන සිටි අම්මා පූජිතව අමතන විට ඔහු හැරී බැලුවේ නිවසට ගොඩ වීමට තැබූ පය ආපස්සට ගනිමිනි.
“උඹට ලැජ්ජා නැත්ද…දාලා ගිය ගෑනියෙක්ව ආයේම මේ ගෙදරට වැද්ද ගන්න…?”
අම්මා ඔහුව අමතන්නේ එසේ අසන්නට යැයි කියා මට සිතිණි.
“මොකද…?”
පූජිත ඇසුවේ කෝපයට පත්වය.
“උඹ ආයේම මේ කෙල්ලට අතක් උස්සලා තිබ්බොත්…මමයි මේ කෙල්ලව ගෙදරට ඇරළවන්නේ…ගෑනු අපි ඉන්නේ උඹලාගේ වහල් කමට නෙවේ…”
මම පුදුමයෙන් අම්මා දෙස බැලීමි. මෙය ඇගේ උප්පරවැට්ටියක් කියා මට මුළින් සිතුණද ඇගේ මුහුණින් එවැන්නක් පළ නොවීය.
“අම්මද බොල…ඒ පාර නැන්දම්මලා ලේලිලා එක පැත්තක් අරන් මාව හදන්නද ලැහැස්තිය…?”
උපහාසය මුසුව ඔහු ඇසීය.
“ඔව්…මට උඹව මට ඕන විදියට හදා ගන්න බැරි වුණ එකේ වරද තමා මේ…උඹේ තාත්තා මට කරපු දේම…උඹත් කරන්න හදන්න එපා…උඹට එහෙම බැරි නම්…මං දැන්ම මෙයාව ගෙදරට ඇරළවනවා…උඹ ආයේම ප්‍රශ්න ඇති කළොත් මම ගිහින් පොලීසියෙ ඇන්ට්‍රියක් දානවා…”
“අනේ…මේ…බයිලා නොගහා රෑට කන්න මොනවා හරි හදන්න…ආවා මෙතන මඟුලක් කියවන්න…”
ඔහු අප වෙත කෝප බැල්මක් එල්ල කොට ගෙතුළට පියවර තැබුවේය. අම්මා ගෙතුළට පැමිණියේ මගේ අතින් අල්ලාගෙනමය. ඒ ගෙතුළට පය තැබීමට පෙර මා මිය ගියා නම් කියා මට සිතිණි.
“මේ වෙච්ච හැමදේටම මටත් සමාවෙයන් දුවේ…”
අම්මා කියන විට මම පුදුම වූයෙමි. මා ඇගෙන් මෙවැන්නක් කිසි විටක බලාපොරොත්තු නොවූයෙමි. පූජිත කාමරයේ සිටි නිසා මම කාමරයට යෑමට බිය වූයෙමි. අම්මා සමඟම මම මුළුතැන්ගෙයට පැමිණියේ ඒ නිසාය. ඇයත් මාත් එකතුව රාත්‍රී ආහාර සූදානම් කළෙමු. ඇගේ වෙනස මට වටහා ගන්නට අසීරුය. මුල පටන් මේ සියල්ල මෙලෙස සිදුවූවා නම් කියා මම සිතුවෙමි. නමුත් මෙතෙක් කල් සිදුවූයේ අප සිතන පතන දේමද….?
——————————————————————————————————
මා පැමිණි බව දැනගත් මොහොතේම නිරෝෂා මා සොයා දිව ආවාය.
“ඔයා ආයේ ආවද අක්කේ…? මට නම් හිතා ගන්නත් බැහැ…”
නිරෝෂා කීවේ ශෝකයෙනුත් පුදුමයෙනුත් පිරි හඬකිනි.
“මගේ කරුමේ තවම ගෙවලා ඉවර නැහැ වගේ නිරෝෂා…”
“ඔය දෙන්නා කතා කර කර ඉන්නවා දැකලා පූජිතයියට කියලා තියෙන්නේ බඩු කඩේ මුදලාලි…”
නිරෝෂා කියන විටත් මම එය අනුමානයෙන් සිතා තිබුණෙමි.
“එදා ඔයා මෙහෙන් ගිය දවසේ…පූජිතයියා ඔයා නැහැ කියලා දැනගෙන යකා නැටුවා…මහ රෑ ඔයාව හොයන් අපේ ගෙදර ආවා…එතකල් නැන්දා හිතන් ඉඳලා තියෙන්නේත් ඔයා ගෙදර ඉන්නවා කියලා…මාත් අසනීපෙන්නේ හිටියේ… අම්මා පූජිතයියාට හොඳට බැනලා…මොන ගෑණියෙක් වත් ඔය වධ හිංසා ඉවසන් ඉන්නේ නැහැ…මේ ළමයා හිටිය තරම්වත්…උඹට හොඳ ගෑනියෙක් හම්බෙලත් උඹට වරම් නැහැ කිව්වා පවුලක් වෙන්න…උඹේ කරුමේ තමා…
කියලා…”
මා මුවින් සුසුමක් ගිළිහිණි.
“මාව හොයන් අක්කලා ගෙදර ඇවිත් තිබුණා කීප වතාවක්ම…”
“ඔව්…අපි දන්නවා…ඔයා කොහෙද හිටියේ අක්කේ…?”
එය පිළිතුරක් දීමට අසීරු පැනයකි. මට නිරෝෂා සමඟ වුවද මා සිටියේ රජිව්ගේ නිවසේ කියා පැවසිය නොහැකිය.
“ඉස්කෝලේ මිස් කෙනෙක්ගෙ ගෙදරක…”
“කොහෙ වුණත් කමක් නැහැ…ඔයා පරිස්සමින් හිටියානේ…අක්කා ලස්සන වෙලා…පාට වැටිලා…”
නිරෝෂා කීවේ මඳහසක් පාමිනි.
“අනේමන්දා නිරෝෂා…පූජිත ආයෙමත් මට කරදර කරන්න ගත්තොත් මට යන්න එන්න තැනක් නැහැ…මට මැරෙන්න තමා වෙන්නේ…”
“අනේ…එහෙම කියන්න එපා…ඔයාට තියෙන්නේ පූජිතයියට නොකියා හොරෙන්ම රට යන්න…කොහෙන් කියලා හොයන් එන්නද…?”
මම පුදුමයෙන් නිරෝෂා දෙස බැලීමි. එය නම් හොඳ අදහසකි. මා මෙරට කොහේ සැඟව සිටියද ඔහු මා සොයා ගනු ඇත.
“ඔයා කියන කතාවත් ඇත්ත…”
“ඔයාලගේ අම්මට කිව්වොත් මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ…”
අම්මට කීවොත් අක්කා දැනගනු ඇත. අක්කා හරහා සුමිත් අයියා දැනගනු ඇත. ඉන්පසු පූජිත. නැත. එවැන්නක් සිදු විය නොහැකිය.
“තිලක්ට කිව්වොත්…?”
“අම්මෝ අක්කේ…ඔයාගේ මොළේ ඇලේද තියෙන්නේ…එයා පූජිතයියාගේ යාළුවනේ…එයා ඒක අනිවා පූජිතයියාට කියනවා…”
එය මට කල්පනා නොවීය.
“එතකොට මොකද කරන්නේ…?”
“ඒක තමා…ඔයා මෙහෙ හිටියොත් නම් ඔයාට ආයේම දුක් විඳින්න තමා වෙන්නේ අක්කේ…”
මට හීල්ලිණි. මල්ලිකා නැන්දා පැමිණියේ නිරෝෂා කැඳවාගෙන යන මුවාවෙන් මා බලන්නටය.
“උඹ ආයෙමත් ආවද කෙල්ලේ මේ අපායට…?”
ඈ අනුකම්පා මුසු සෙනෙහසකින් මා හිස පිරිමදිමින් විමසුවාය.
“ආවා නෙවේ නැන්දේ…බලෙන් ඇදන් ආවා…ගෙදර අයවත් මරලා දානව කියලා පූජිත තර්ජනය කළාලු…”
“අනේ ඕකගේ හයිරං ගෑනුන්ට තමා…ගෑනු වෙලා ඉපදුණ අපි හරිම කරුමක්කාරයෝ කෙල්ලේ…මුගෙන් නිදහස් වෙන්න නම් ඉතින් උඹ මැරෙන්න නැත්නම් ඌ මැරෙන්න ඕන…ඉවසන් ඉඳපන් කෙල්ලේ…මේ කරුමේ කවදා හරි ගෙවලා ඉවර වෙයිනේ…”
මා මුවින් සුසුමක් ගිළිහුණේ ඉබේමය. ඔවුන් දෙදෙන පිටව ගොස් මොහොතක් ගත වන තුරු මම මිදුලට වී රාත්‍රී අහස දෙස බලා සිටියෙමි. පසු දින පෝය නිසාදෝ සඳ එළියෙන් මුළු අහසම එළිය විණි. නමුත් මගේ ජීවිතයට කවදා නම් සඳ එළියක් වැටේවිදෝ කියා මට සිතා ගන්නට පවා නොහැකිය. මම නිවසට ගොඩ වී මොහොතකට පසු පූජිතද කොහේදෝ සිට නිවසට ගොඩ විය. ඔහු බීමතින්ද කියා සැකයක් මා සිතේ ඇති විය. මා ඉදිරියේ සිට ගත් ඔහු කට කොණින් සිනහසුණේ සමච්චලයට මෙනි. කාමරයේ සිටි අම්මාද පිටතට පැමිණියේ ඔහු පැමිණි බව ඇසී වන්නට ඇත. ඔහු මඟ හැර මම කාමරයට ඒමට සූදානම් වන විට ඔහු මා මඟ අවුරා සිට ගත්තේය.
“හිතාගෙන ඉන්නේ මං උඹව එක්ක ආවේ ආදරේට කියලද…?”
මම එක එල්ලේ ඔහු දෙස බැලුවෙමි. එවර සමච්චල් සිනහවක් නැගුණේ මා මුවටය.
“ආදරේ නිසා…! තමුසෙ වගේ කළු ගලක් වගේ මිනිහෙක්ගේ පපුව ඇතුළේ කොහේද ආදරයක්, කරුණාවක්…තමුසේ මාව හොයන් ආවේ මට ඇති ආදරේකට නෙවේ කියලා මං දන්නවා…ආදරයක් කරුණාවක් නොලබපු කෙනෙක් කොහොමද තව කෙනෙක්ට ආදරේ කරන්නේ…එහෙම කෙනෙක් මොනවද ආදරේ ගැන දන්නේ…? තමුසේ අඩුම තරමේ දන්නවද මාව තමුසෙට කසාඳ බැන්දුවේ ඇයි කියලා…මං ඉගෙන ගන්න එකත් නවත්තලා තමුසෙව බඳින්න යන්නෙ ඇයි කියලවත් මගෙන් ඇහුවද…මම තමුසෙව දාලා ගියෙ ඇයි කියලාවත් හිතුවද…?”
මම එක දිගට කියවන් ගියෙමි. පුදුමයකට මෙන් පූජිත මට බාධා කළේ නැත.
“ගෑනු කියන්නේ පිරිමින්ගේ අතේ නැටවෙන රූකඩ නෙවේ…විවාහය කියන්නේ ආත්මීය බැඳීමක්…මිසක්…එකට නිදා ගන්න එක විතරක් නෙවේ…තමුන් මැරිච්ච මිනිහෙක් පූජිත…මැරිච්ච මිනිහෙක්ට පුළුවන්ද ආදරය කරන්න…? තමුන්ගේ ආත්මයත් මැරිලා…තමුසෙගේ විතරක් නෙවේ…තමුසෙව බැඳපු දවසෙම මගේ ආත්මෙත් මැරුණා…පණ පිටින් වගේ පෙණුනට මගේ පපුවත් මැරිලා…ආත්මෙත් මැරිලා…තමුසේ ජීවත් වෙන්නේ මගේ මළ කඳ එක්ක පූජිත…ඉදිරියටත් තමුසෙට ජීවත් වෙන්න වෙන්නේ මේ මළකඳ එක්ක තමා…”
පූජිත පුදුමයෙන් බලා සිටින විට මම හඬමින් බිම හිඳ ගතිමි. පූජිත අසළ පුටුවකට පයින් පහරක් ගසා කාමරයට වැදුණේය.
පූජිත පසෙක යහන මත මම වැතිර ගත්තේ බියෙනි. ඔහු නිසා ලැබූ ශාරීරික වේදනාව මා මනසින්, සිතින් මැකී ගොස් තිබුණේ නැත. ඔහු ගැඹුරු නින්දකට වැටී ඇති බව ඔහු හුස්ම ගන්නා තාලයෙන් මම හඳුනා ගතිමි. රාත්‍රියේ මට නින්ද නොගිය තරම්ය. නින්ද යාගෙන එන විටම මම තිගැස්සී අවදි වූයෙමි.
සඳ එළිය ජනෙල් වීදුරු අතරින් පෙරීගෙන කාමරයට වැටිණි. පූජිත සුව නින්දේය. ඔහු අවදි වේයැයි බියෙන් මම හැරෙන්නට පවා බිය වූයෙමි. රාත්‍රිය පුරා වූයේ නිහැඬියාවකි. එළිය වැටෙන්නට තව කොපමණ වේලාවක් ඇතිද කියා මම සිතුවෙමි. ඒ අතරේ මට රජිව් සිහි විය. ඔහු නිවසට පැමිණ ඇතිවාට සැක නැත. ඔහු කෙසේ හැසිරෙන්නට ඇතිද කියා මට සිතා ගන්නට නොහැකිය. ඔහු කෙරෙහි අනුකම්පාවක් මා සිතේ ඉපදිණි. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගතිමි.
මට නින්ද යන්නට ඇත්තේ පානදර යාමයේය. පූජිතගේ ගොරහැඬි හඬින් මම තිගැස්සී අවදි වූයෙමි.
“හීන බැලුවා ඇති…නැඟිටිනවා…”
යහන මතින් නැඟිට මම ලෙහුණු කොණ්ඩය බඳිමින් පිටුපසට පැමිණියෙමි. අම්මා තේ සාදමින් සිටිනු දැක මම පුදුම වූයෙමි.
“දුව ඇහැරියද…මම තේ හැදුවා…”
“දුව…”
ඈ එසේ මා ඇමතූ දෙවන වතාවය. මම පුදුම වූයෙමි. පූජිතගේ තේ කෝප්පය කාමරයට ගෙන ගොස් දී මම වහා ආපසු පිටුපසට පැමිණියෙමි. ඔහු අසල කඩයෙන් ඉඳි ආප්ප ගෙනවිත් තිබූ නිසා මම පරිප්පු හොඳි සමඟ සම්බෝලයක් සෑදුවෙමි. පොල් ගා දුන්නේ අම්මාය. අපි තිදෙන එක්ව හිඳගෙන කෑම ගත්තද කිසිවෙකු කිසිත් කතා නොකළ තරම්ය.
“කාලෙකට පස්සෙ රසට කෑම ටිකක් කෑවා…”
අත සෝදාගෙන වතුර වීදුරුව හිස් කරමින් පූජිත කීවේ මවෙත පෑ මඳහසක්ද සමඟය. එය අම්මාට එල්ල කළ ඇනුම්පදයක් වුවද ඇයද සිනහවක් මුවේ තවරාගෙන මදෙස බැලුවාය. මෙවන් වර්ණනාවක් ඔහු කළ පළමු වතාව නිසාවත් මා සිතේ අමුතු හැඟීමක් ඇති නොවීය. සිත හිස්ය. දැන් එයට හැඟීම් නොදැනෙන තරම්ය.