More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 56

    Pini Muthu Palasa පිනි මුතු පලස – 56

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    මම මිදුල දිගේ ඉදිරිපසට එන විට ඉස්තෝප්පුවේ සිට ගෙන සිටි අම්මා මා දැක මා වෙත දිව ආවේ කළබලයෙනි.

    “යමු….ගෙදර…මේ දැන්ම…”

    ඈ මගේ අතින් අල්ලා ගනිමින් කියන විට ඇගේ අත ගසා දැමූ මම අඩියක් පිටු පසට තැබුවේ ඈ කෙරෙහි ඇති වූ නොපහන් හැඟීමෙනි.

    “මොකද මේ එකපාරම…? මට බැහැ…මං ඒ ගෙදරට එන්නේ නැහැ…”

    “හිතුවක්කාර වෙන්න එපා ළමයෝ…ඔයාට ඕන අපි හැමෝමව මරලා දාන්නද…?”

    ඈ ඇසුවේ බියපත් බවක් පළකරමිනි.

    “මරලා දාන්න…! ඒ මොකටද මං ඔයාලව මරලා දාන්නේ…? ඔයාලා එකතු වෙලානේ මාව මරලා දැම්මේ…”

    උපහාසය මුසුව මම කීවෙමි. එවර අම්මා මවෙත ළංව මගේ දෙවුර මත දෑත් තබා මා මුහුණට එබුණාය.

    “අර මිනිහා ගෙදර ආවා…ඔයා හැංගිලා ඉන්න තැන නොකිව්වොත්…අපි සේරවම මරලා දානවා කිව්වා…ඔයාට ඕන අපිවත් මරවලා…මේ ගෙදර මිනිස්සුවත් නිකරුණේ මැරෙනවා දකින්නද…?”

    ඈ එක දිගටම කියවන් යන විට මම බියෙන් බලා සිටියෙමි. එසේනම් ඔහු නැවත නිවසට පැමිණ ඇත.

    “මොනවා…!”

    මගේ ජීවිතය පිළිබඳව මට බියක් නැත. මට බියක් දැනුණේ චිත්‍රා මිස් කෙරෙහිත් රජිව් අයියා ගැනත්ය. ඈ පවසන්නේ බොරුවක් නොවන බව ඇගේ මුහුණින්ම පෙනිණි.

    “ඔව් ළමයෝ…”

    මා පැකිළෙමින් සිටියෙමි. කුමක් කරන්නද කියා සිතන විට අම්මාගේ බියපත් බැල්ම මා පසුපසින් වූ යමකට එල්ල වන විට මටද ගෙළ හරවා පසු පස බැලුණේ ඉබේමය. පූජිත බර අඩි තබමින් අප දෙසට ඇවිද එමින් සිටිනු දැක මසිත බියෙන් සළිත විය.

    “කියන දෙයක් අහලා අපි එක්ක යමු…ඌ මෙතන දෙක කරන්න හදයි දැන්…”

    අම්මා රහසින් කෙඳිරුවාය.

    “උඹ එහෙනම් මෙහෙ හිටියේ මෙච්චර කල්…මං උඹව හොයන්න නොගිය තැනක් නැහැ…”

    මවෙත ළංවූ පූජිත බියකරු හඬකින් කියන විටත් මම එක එල්ලේ ඔහු දෙසම බලා සිටියේ බියපත් බවක් නොපෙන්වමිනි.

    “මෙතන කෑ කෝ ගහන්න ලැහැස්ති වෙන්න එපා…පිට තැනක්නේ…එයා එයි අපි එක්ක…”

    අම්මා මා වෙනුවෙන් කතා කරන විට මට පුදුම සිතිණි.

    “වරෙන් යන්න…”

    රළු හඬකින් කී ඔහු මා වෙත පැනීමට සැරසෙන විට අම්මා මඟ අවුරා සිට ගත්තාය.

    “මගේ දරුවට කරදර කරන්න එපා…මං ඔයාට කියලනේ එක්ක ආවේ…”

    අම්මා මා අරක්ෂා කරගන්නට මැදිහත් වී සිටින බව දැක පුදුමයක් මා සිතට දැනිණි.

    “ඔහේ පැත්තකට වෙලා ඉන්නවා…”

    පූජිත ඇයව පසෙකට කරමින් මගේ අතින් අල්ලා ගන්නට හදන විට මම පිටුපසට විමි. ඔහු සමඟ මෙතන අරගල කරන්නට නොහැකිය. එයින් නපුරක් සිදු වීමට ඉඩ ඇත. හොඳම දේ මා ඔහුට අවනත වීමය.

    “මං එන්නම්…මට ටික වෙලාවක් ඕන…මම කියලා එන්නම්…”

    මම කීවෙමි.

    “මොකාට කියන්නද…මෙන්න මෙහෙ එනවා…”

    පූජිත ගෙරෙව්වේය.

    “මෙයා මෙතන රස්සාවක් කරන්නේ…ඒ මැඩම්ට කියලා එයි…ඒකට ඉඩ දෙනවා…තමුන් මොන මනුස්සයෙක්ද…?”

    ඔහු අම්මා දෙස බලා සිටියේ නෙරවා ගත් දෑසින් වුවද අම්මාගේ කීමට පූජිත මෙල්ල වූ සැටියකි.

    “කරන මඟුලක් ඉක්මනට…මට තව රස්තියාදු වෙන්න බැහැ උඹ නිසා…තේරුණාද…?”

    ඔහු කෑ ගැසුවේය. මම පිටුපසට පැමිණියේ චිත්‍රා මිස් පැමිණියහොත් කියා බියෙනි. ඈ පසුවන තත්වය අනුව ඇයව කළබල නොකළ යුතුය. මා ඔවුන් සොයා යන විටත් ඔවුන් නිවස දෙසට එමින් සිටියෝය.

    “මංදාකිණි…අම්මා ආවලු නේද…? යමු යමු…මං කතා කරන්නම්…එදත් කතා කරන්න බැරි වුණානේ…අපි ඩිවෝස් එක ඉල්ලමු…”

    චිත්‍රා මිස් එක දිගට කියවගෙන ගියාය. අම්මා පමණක් පැමිණ සිටියා නම් ඈ හා කතා බහ කිරීමට ඇයට ඉඩ දීමට තිබිණි. නමුත් දැන් පූජිතද පැමිණ ඇත. මේ තත්වය උඩ නම් ඇයව ඔහු ඉදිරියට කැඳවාගෙන නොයා යුතුමය.

    “දැන් එයාට කතා කරලා වැඩක් නැහැ මිස්…”

    නොහඬා සිටීමට යත්න දරමින් මම කීවේ හැඬුම් මුසුවය.

    “ඇයි ළමයෝ…ඒ මොකද…?”

    “අම්මා ඇවිත් තියෙන්නේ තනියම නෙවේ මිස්…පූජිතත් එක්ක…එයා මාව එක්ක යන්න හදන්නේ…”

    “මොනවා…!”

    චිත්‍රා මිසුත් ප්‍රේමා නැන්දාත් කීවේ එකවරමය.

    “ඒ නරුමයා ඇවිත්ද නෝනේ…අනේ දැන් මොකද වෙන්නේ…?”

    ප්‍රේමා නැන්දා බියපත් හඬකින් ඇසුවාය. චිත්‍රා මිස් මා දෙසම බලා සිටියේ මම කුමක් කරන්නේදැයි විමසන බැල්මකිනි.

    “මම යනවා…මිස්…මට වෙන කරන්න දෙයක් නැහැ…”

    ඒ මොහොතේ නම් මට හැඬුම් ආයේය. මම චිත්‍රා මිස්ට දණ නමා වැන්දෙමි. රජිව් නිවසේ නොමැති වීම වාසනාවකි. ඔහු සිටියා නම් මෙහි විශාල කළබලයක් සිදුවනු ඇත.

    “අනේ ලොකු නෝනේ…අපිට බැරිද පොලීසියට කෝල් කරන්න…?”

    ප්‍රේමා නැන්දා පවා පසු වූයේ තැතිගැන්මෙනි. ඈ බැගෑපත් හඬකින් විමසුවාය.

    “අපිට මොකුත් කරන්න බැහැ ප්‍රේමා…ඒ ඇවිත් ඉන්නේ මංදකිණිගේ මහත්තයා…”

    තව දුරටත් රැඳි සිටින්නට නොහැකිය.

    “මම යන්නම් මිස්…මම යනවා ප්‍රේමා නැන්දේ…මෙච්චරකල් මට මෙහෙ ඉන්න දුන්නට මිස්ට ගොඩාක් පින්…ප්‍රේමා නැන්දා…රජිව් අයියට කෝල් කරලා එන්න කියන්න…මිස්ව තනියම තියන්න එපා…මිස් අපි යනකල් ඒ පැත්තට එන්න එපා…”

    අවසන් වශයෙන් මම කීවෙමි. කඳුළු ගලා යන විට මම වහා වහා ඒවා පිස ගතිමි. චිත්‍රා මිස් හුන් තැනම නැවතී බලා සිටියද ප්‍රේමා නැන්දා මා පසුපසම පැමිණියාය.

    “අනේ…පුංචි මහත්තයා හිටියා නම්… මොනවා හරි කරයි…”

    ඒ එන අතරේ ඈ කීවාය. ඔහු නොසිටි එකම හොඳය. සිටියානම් පූජිත සමඟ විශාල ආරවුලක් ඇති වනු නිසැකය. පූජිත මා කැඳවාගෙන ආවේ අතින් ඇදගෙන මෙනි. ප්‍රේමා නැන්දා හඬමින් කෑ ගසමින් අප පසුපස පැමිණියාය.

    “ඔය ළමයාට හිරිහැරයක් එහෙම කරන් නැහැ…අනේ මගේ නෝනා…පරිස්සමින්…”

    ඈ කෑගසන විට හැඬුණේ මටය. පූජිත මා රථය ඇතුළට තල්ලු කර දමන විට ප්‍රේමා නැන්දා කෑ ගසනු මට ඇසිණි. අම්මාද රථයට නැගුණු පසු මහ හඬින් දොර වසා දැමූ පූජිතද රථයට නැඟුනේය. ප්‍රේමා නැන්දා ගේට්ටුවේ එල්ලී හඬනු මම දුටිමි. ඇයව නොපෙනී යන තුරුම මම ජනේලයෙන් බලා සිටියේ මා හද ඇවිළී ගිය ශෝකයෙනි. පැමිණ සිටියේ පූජිතත් රථයේ රියැදුරුත් පමණි. මා සිතුවේ ඔහු සහපිරිවරද සමඟ පැමිණියා කියාය. අම්මාව කුරුණෑගල පාරත් අනුරාධපුර පාරත් බෙදෙන තැන හංදියේ බස්සවා යෑමට සූදානම් වන විට ඈ කෑගැසුවාය.

    “ගෙදරට ඇවිත් මාව එක්ක ආවා නම් ගෙදරටම ඇරළවන එකයි…”

    නැවතූ රථයෙන් නොබැස අම්මා කෑ ගැසුවාය. පූජිත කෝපයට පත්ව කෑ ගසනු ඇතැයි කියා මම සිතුවද එවැන්නක් සිදු නොවීය.

    “අම්මත් එකයි දුවත් එකයි…”

    ඔහු කීවේ එපමණකි. කුමක් සිදුවේදැයි කියා මට සිතා ගන්නට නොහැකිය. මට වුවමනා වූයේ කෑ ගසා හඬන්නටය. නොමැති නම් රථයෙන් පැන දුවන්නටය. නමුත් ඒ කිසිත් කළ නොහැකිය. කුමක් සිදු වුවත් මා දැන් එයට මුහුණ දිය යුතුය. රථය නවතන විට මම රිය කවුළුවෙන් පිටත බැලීමි. එය නවතා තිබුණේ අපේ පැරණි නිවස ඉදිරියේ වුවද එහි පැරණි නිවස නැත. ඒ වෙනුවට එහි වූයේ නවීන පන්නයේ නව නිවසකි. මුවින් පිට වන්නට ගිය සුසුම මම ආයාසයෙන් නවතා ගතිමි. අසරණ හැඟීමක් මා සිතට දැනුණේ මන්ද කියා මම නොදනිමි.

    “ගෙට ඇවිත් තේ ටිකක් බීලා යමු…”

    රථයෙන් බැසීමට පෙර අම්මා පූජිතට කළ ඇරයුමෙන් මම පුදුම වූයෙමි. ඈ ඉඟියෙන් කීවේ මටද රථයෙන් බසින ලෙසය. අලුත් නිවස දැක බලා ගැනීමට මටද ආසාවක් ඉපිද තිබුණේ නිතැනිනි. නිවසකට කියා යළි කවදා මෙහි එනු හැකි වේවිද කියා කාට කිව හැකිද….? අම්මා සමඟ මමද රථයෙන් බැස ගත්තේ පූජිත කිසිත් කීමට පෙරය. ඔහු කෑ ගසමින් විරෝධය පළ කරනු ඇතැයි සිතූ මුත් මගේ පුදුමයට මෙන් ඔහුද රථයෙන් බැස ගත්තේ අම්මාගේ ඇරයුම පිළිගනිමිනි.

    “කරන කෙහෙම්මලක් ඉක්මනට…අපිට පරක්කු වෙනවා…”

    පූජිත ගෙරෙව්වේය.

    “අනේ…ඉතින්…පත්තරේ ළිපට දාලා ඇවිත් වගේනේ මෙයාගේ කතාව…”

    අම්මා එසේ කියා උස් හඬින් සිනහසුණේ තමාගේම විහිළුවටය. ඈ පූජිත සමඟ මෙසේ විහිළු තහළු කරන්නේ හරියට බොහෝ කාලයක් ඔහුව දැන හැඳින සිටින්නාක් මෙනි. අම්මා පසුපසම පැමිණි මම ඈ ඉදිරිපස දොර විවර කරන තුරු බලා සිටියෙමි. එය විවර වන විටම නාසයට දැනුණේ අලුත් තීන්ත සුවඳය. මා පසුපස පැමිණි පූජිත ඉස්තෝප්පුවේ වූ අසුනක හිඳ ගත්තේ මට රවමිනි.

    “ඇතුළට එන්න ළමයෝ…”

    අම්මා දොර විවර කරමින් ඇරයුම් කළේ පූජිතටය.

    “ඕන නැහැ…මෙහෙම හොඳයි…”

    මම අම්මා සමඟ නිවසට ගොඩ වූයෙමි. අලුත් දැව භාණ්ඩ වලින් නිවස පිරී ඇත. ගෙබිම කිරි පැහැ ගත් ටයිල් කැට වලින් හැඩ වී තිබිණි. මම නිවස පුරා ඔහේ ඇවිද ගියෙමි. අයියා නිවසේ නොවීම හොඳය. ඔහු සිටියා නම් මම මෙහි ඒමට සිතන්නේවත් නැත. මුළුතැන්ගෙයද ඉතා අලංකාරය. නවීන පන්නයේ සියළු විදුලි උපකරණ එහි විය. ගෑස් ළිප දැල්වූ අම්මා ළහි ළහියේ තේ සූදානම් කිරීමට සැරසුණාය. මට අතීතය සිහි විය. පෙර මෙහි තිබූ නිවස එක් කාමරයකිනුත් කුඩා ආලින්දයකින් සහ කුස්සි කෑල්ලකිනුත් සමන්විත වූවකි. මේ නිවසට නම් අංග සම්පූර්ණ නිවසක් කිව හැකි වුවද මා සිතට සතුටක් දැනුණේ නැත. සියුම් වූ දුකක් මා සිත කොනිත්තන්නට විය. අම්මා දුක් මහන්සියෙන් මුදල් උපයන්නට ඇති මුත් ඇයට සිය දරුවන්ගේ සී සී කඩ වුණු ජීවිත නැවත සැකසිය හැකිද….?
    ඈ තේ සාදන තුරු මම එහි වූ අසුනක හිඳ සිටියේ ඔහේ බලා ගත් අත බලාගෙනය. තසිමක් මත පිළිවෙළකට තැබූ කේක් කැබලි කීපයක් ඈ මට පිළිගැන්වූවාය.

    “කන්න ළමයෝ…මම හැදුවේ…කාලා බලන්න රසද කියලා…”

    මා එය අතට ගැනීමට මැළි කමින් සිටින විට ඈ කීවාය. මම කේක් කැබැල්ලක් අතට ගතිමි.

    “එන්න යමු ඉස්සරහට…”

    ඈ තේ බන්දේසියත් රැඟෙන පෙරමුණ ගන්නා විට මමද යන්ත්‍රානුසාරයෙන් මෙන් ඈ පසු පස ආවෙමි. ඈ පූජිතටත් මිතුරාටත් කේක් සමඟ තේ පිළිගැන්වූවාය. මා අතේ වූ කේක් කැබැල්ල මම මුවේ තබා ගතිමි. එය සැබැවින්ම රසැතිය. ඇගේ තේ කෝප්පයද රසය. මා මේ අම්මා සෑදූ තේ කෝප්පයක රස බලන්නේ කොපමණ කාලයකට පසුවද..? සියල්ල රස වූ මුත් ඈ නොමැතිව ගෙවුණු ජීවිතය කෙතරම් නීරසද කටුකද කියා ඈ කවදාවත් දැන නොගනු ඇත.

    “රසද ළමයෝ…? තව කේක් කෑල්ලක් කන්න…”

    අම්මා මා හිස පිරිමදිමින් කියන විට මා නොරුස්සුමෙන් පසෙකට වූයෙමි.

    “කන බොන දේවල් රස වෙලා මොකටද…මුළු ජීවිතේම තිත්ත වුණාට පස්සේ…”

    අතේ වූ ඉතිරි කේක් කැබැල්ල ඉවතට විසි කොට උගුරක් පමණක් රස බැලූ තේ කෝප්පයත් මම ස්ටූලය මත තැබුවේ හඬ නැඟෙන පරිදිය. ස්ටූලය පුරා කිරි විසිර ගියේය. අම්මා පුදුමයෙන් මදෙස බලා සිටියාය.

    “පූජිත යන අපායකට මාව එක්ක යනවා…”

    කෝපයෙන් මම කීවද ඔහු මා කී දේ ගැන හෝ වගක් නැතිව තවත් කේක් කැබැල්ලක් ගෙන රස බලන්නට විය.

    “මාව එපා කියලා දාලා ගිය ගෑනිට මොකද මේ හදිසි කුළප්ප්පුවක්…? පොඩ්ඩක් ඉන්නවා තේක බීලා යමු…”

    කිසිදු තැකිමක් නැතිව ඔහු කියන විට මම ඔහුට රවමින් විත් රථයට නැඟුණෙමි.

    “චූටි දුව…”

    අම්මා මා අමතමින් මා පසුපස රථය තෙක් පමිණියාය.

    “මොකද මේ ළමයෝ…? මේ තේ ටිකවත් බොන්නකෝ…”

    “මට ඕනැති තේකක් නැහැ…ඕකත් පොවා ගන්න එකයි ඇත්තේ අර මිනිහටම…ඌ මාව එක්ක ගිහින් මරලා දැම්මත්…පැත්ත පළාතකටවත් එන්න එපා…මරයි කියලා බයේ ගැහිච්ච උන්…දැන් ගේ ඇතුළට කතා කරලා කිරිත් පොවනවා…”

    මම අම්මාට කෑගැසීමි.

    “වෙන මොනවද උඹ මට කරන්න කියන්නේ…උඹ ඉන්න තැනක් මං දන්නේ නැහැ කියල මං මේ මනුස්සයාව පිටත් කරලා අරින්න හදනකොට තමා සුමිත් ඇවිත් කිව්වේ ඌ දන්නවා ඉන්න තැන කියලා…මං බලෙන් වාහනේට නැඟලා ආවේ එතන කළබලයක් කරයි කියලා… උඹ මටත් කෑ ගහනවා…”

    අම්මා කතා කළේ නොසතුටෙනි. මා සිතේ කෝපය එවර එල්ල වූයේ සුමිත් අයියා කෙරෙහිය. කවදා හරිම දවසක ඔහුගෙන් පළි ගනිමියි මම මටම දිවුරා ගතිමි.

    “මොකා කොහොම කිව්වත් උඹලා සේරම එකතු වෙලා මගේ ජීවිතේ විනාශ කරලම දැම්මා…තව මොනවා වෙන්නද මට…”

    මම වේගයෙන් රථයේ දොර වසා දැමීමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page