Pini Muthu Palasa පිනි මුතු පලස
එදින රාත්‍රියේ නැවත රජිව් පැමිණියේ නැත.දුරකථන ඇමතුමක් දී ඔහු ඒ බව දැන්වූ බව ප්‍රේමා නැන්දා කීවාය. පසු දින ඔහු පැමිණියේ සවසය. මා සිටියේ චිත්‍රා මිස්ගේ කාමරයට වී ඈ අසල හිඳගෙන ඇයට ඇසෙන්නට නවකතා පොතක් කියවමිනි. පෝටිකෝව යට නැවතූ රථයක හඬින් මම චිත්‍රා මිස් දෙස බැලීමි. ඇයටද එය ඇසී තිබුණ බවක් පෙනිණි. ඈ දෑස් කරකවා මදෙස බැලුවේ ඒ රජිව්දැයි අසන්නාක් මෙනි.
“මම බලන්නම් මිස්…”
පොත අසුන මත තබා මම ආලින්දයට පැමිණ වීදුරු ජනේලයෙන් පිටත බැලීමි. පැමිණ සිටියේ ඔහුය. මම වහා දොර විවර කරන විටම ඔහු දොරකඩය. ඔහු දැකුමෙන් පවා මා හද පිරී ගිය බවක් මට දැනිණි.
“මංදාකිණි…”
ඔහු ගෙතුළට පියවර තැබුවේ මා අමතමිනි. මසිතට සැනසුම් මුසු හැඟීමක් දැනුණේ මන්ද කියා මට සිතා ගැනීමට අපහසු විය. ඔහුගේ මුහුණින් පළ වූයේ දැඩි වෙහෙසකර බවකි.
“රජිව් අයියේ…හරි මහන්සි පාටයි…”
“ඔව්…මංදාකිණි…හරි තෙහෙට්ටුයි…අම්මා නිදිද…?”
“නැහැ…ඇහැරිලා ඉන්නේ…යන්න…වාහනේ සද්දේ ඇහිලා මිස් හිතන්න ඇති ඔයා ආවේ කියලා…ගිහින් කතා කරන්න…මං ඔයාට තේකක් හදන් එන්නම්…”
“ඒක නම් හොඳයි…”
ඔහු චිත්‍රා මිස්ගේ කාමරයට යන විට මම පිටුපසට පැමිණියෙමි.
“පුංචි මහත්තයා ආවා නේද මංදාකිණි නෝනා…?”
එසේ අසමින් ප්‍රේමා නැන්දා පිටුපස දොරින් ඇතුළට පැමිණියාය.
“ඔව් ප්‍රේමා නැන්දේ…මං ආවේ මේ තේකක් හදන්න…නැන්දටත් හදන්නද…?”
“අනේ එපා නෝනේ…මං මේ දැන්නේ දවල්ට කෑවෙ…මමත් මේ ගෙට ගොඩ වුණේ පුංචි මහත්තයාගේ කාර් එක එනවා දැකලා…පුංචි මහත්තයා ඉතින් ගෙට ගොඩ වෙන්නේ තේකක් බොමුද අහන්නේ…ඒකයි මං මේ රෙදි ටික බාගෙට වැලේ වන වනා ඉඳලා දුවන් ආවේ…තේ ටිකක් හදන්න…”
“රජිව් අයියට හරි මහන්සි පාටයි…මං මේ ඒකයි තේකක් හදන්න ආවේ…”
තේ සෑදීමට අඩුම කුඩුම සූදානම් කරමින් මම ප්‍රේමා නැන්දා වෙත හැරී කීවෙමි. ඈ තවත් කුමක් හෝ යමක් කීමට සැරසෙන සෙයකි.
“මම මේ කියන්න හැදුවේ නෝනේ…අපේ පුංචි මහත්තයාගේ මහන්සියත් යයි දැන් නෝනේ තේක අරන් යත්දිම…එකාතකට දැන් පුංචි මහත්තයාව බලාගන්නත් කවුරු හරි ඉන්නවනේ…”
ඈ යළිත් වරක් එසේ කියන විට මා සිත ගැස්සිණි. ඈ කී දෙයට විරුද්ධව හෝ එකඟව කිසිත් කීමට මම බිය වූයෙමි. ප්‍රේමා නැන්දා සුසුමක් හෙළමින් යළි මිදුලට බැස්සාය. රජිව් වෙනුවෙන් සෑදූ තේ කෝප්පයත් රැගෙන මම ආලින්දයට එන විට ඔහු සැටිය මත අඩමානයට මෙන් වැතිර දෑස් පියාගෙන සිටියේ අඩ නින්දකට වැටීදෝ කියා සිතුණද මා එන බව දැනී දෝ ඔහු දෑස් විවර කොට බලා සුව පහසුව හිද ගත්තේය.
“නින්ද ගියාද…?”
“ගියා නම් කමක් නැහැ…ආව එකයි වැඩේ…”
සිනහවක් පාමින් ඔහු කීවේ මාතින් තේ කෝපය අතට ගනිමිනි.
“ඇඟ ටිකක් සෝදන් නිදා ගන්න එහෙනම්…”
මම කීවේද ඔහු කී දෙයට සිනහවක් පාමිනි.
“ඔව් අප්පා…එහෙ වැඩ ටිකක් කළා…ඊයේ ගුණදාස එක්ක එකතු වෙලා…ඒකයි ගොඩක්ම මහන්සි…”
තේ උගුරක් රස බැලූ ඔහු තවත් යමක් කීමට මෙන් මදෙස බැලුවේය.
“තේක රස නැත්ද…?”
මම වහා ඇසුවේ කළබලයෙනි.
“නැහැ…නැහැ…රසයි…කහට,සීනි ගාණට තියනවා…”
ඔහු එය අගය කරමින් කීවේය.
“ම්ම්ම්…අනේ රජිව් අයියේ…ඔයාට පුළුවන් නම් මට පොත් ටිකක් ගෙනත් දෙන්න…මිස්ට ඇහෙන්න කියවන්න…ඇඳටම වෙලා ඉඳලා…එයාටත් එපා වෙලා ඇති…”
“හ්ම්ම්…මං ගේන්නම්…මතක් වුණා නම් එනකොට ගේනවා…”
“මට ඔයාට ඒක කියන්න බැරි වුණා…”
“අම්මා ඒ දවස්වලත් හරියට පොත් කියෙව්වා…”
සුසුමක් හෙළමින් රජිව් කීවේය. මම නිහඬව සිටියේ ඔහු සිතේ අලුත් ශෝකයක් ඇති වූ බව වටහාගෙනය.
“ඉතින්…”
ඔහු යළිත් අසන විට මම මඳහසක් පාමින් ඔහු දෙස බැලීමි. පෙර දින ගෙවී ගියේ ඔහු නොමැති පාළුවෙන් සාංකාවෙන් මුත් මට ඒ බවක් ඔහු හා පැවසිය නොහැකිය. ආදරයක් සිත පතුළේ සිරකරගෙන ජීවත් වීම අසීරුය. එය වඩාත් අසීරු වන්නේ ආදරය කරන අයද එකට සිටින විටය. නමුත් අපට අප හිමි නැත.
මා කෙතරම් ඔහුට ආදරය කළද මා දැන් යුවතියක නොව විවාහය දෙදරා ගිය ගැහැණියකි. චිත්‍රා මිස්ද අසනීපයෙන් පසුවන මෙවන් මොහොතක මා ඇගේම නිවසේ හිඳගෙන ඇයට විරුද්ධව කිසිවක් නොකළ යුතුය. මා මගේ ගරුත්වය වගේම ඔවුන්ගේද ගරුත්වය ආරක්ෂා කිරීමට වග බලා ගත යුතුය. කිසිම කලෙක කිසිවෙකුගෙන් චෝදනාවක් නොඅසන්නට කටයුතු සිදු කළ යුතුය.
“ඔයා ආවට පස්සේ…මුළු ගේම එළියයි මංදාකිණි…”
ඔහු කී දෙය විහිළුවට ගෙන මම කළේ සිතා මතා සිනාසීමය.
“එහෙනම් රෑට ලයිට් දාන්න ඕන වෙන්නේ නැහැ…කරන්ට් බිල ඉතුරුයි…”
ඔහු නොමනාපය මුසු බැල්මක් හෙළමින් හිස් තේ කෝප්පය ස්ටූලය මත තබා කෙටි සුසුමක් මුදා හළේය.
“ඇයි රජිව් අයියේ…මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
කළබලයෙන් මම ඇසීමි.
“මීට වඩා තව මොන ප්‍රශ්න එන්නද මංදාකිණි…”
මවා ගත් සිනහවක් මුව මත තවරාගෙන ඔහු නැඟිට ඉවතට ගියේ ඇඟ පත සෝදා ගන්නටය. මමද නැඟිට පිටුපසට පැමිණියෙමි.
——————————————————————————————————
කාලය ගතව ගියේ ඉතා වේගයෙනි. මා රජිව්ගේ නිවසට පැමිණ දැන් තෙමසකුත් ඉකුත්ව ඇත. චිත්‍රා මිස්ද පෙර සිටියාට වඩා දැන් තරමක් දුරට හෝ සුවපත් වෙමින් සිටියාය. ඇගේ අප්‍රාණික අත බෙහෙත් හේත් වලින් මෙන්ම ව්‍යායාම් මඟින් කෙමෙන් කෙමෙන් සුවපත් වෙමින් තිබිණි. අත ඉහළට එසවීමට නොහැකි වුවද ඇඟිලි ක්‍රියා කරවීමට තරම් සුවයක් ලැබී තිබුණා සේම, වම් පාදයත් දැන් දැන් යථා තත්වයට පත් වෙමින් තිබීම වාසනාවකි. ඇදව ගිය මුවද දැන් ව්‍යායාම් නිසා පෙර මෙන් ඇදව නැත. එයද ඉක්මනින් පෙර තත්වයට ගනු හැකි වනු ඇත. කෑම පවා ඈ දැන් දැන් සෙමෙන් සපා ගිලියි. ශරීරයද පෙර මෙන් කෘෂ නැත. එය මා සිතට මෙන්ම රජිව් සහ ප්‍රේමා නැන්දාටද සතුටට කාරණයක් විය.
“ඔයා අම්මව හොඳින් බලා ගත්තා මංදාකිණි…ඒ නිසයි මෙහෙම හරි සනීප වුණේ…”
රජිව් දිනක් කීවේය.
“ඒක මං විතරක් නෙවේ රජිව් අයියේ…ප්‍රේමා නැන්දත් කොච්චරවත් මහන්සි වුණාද…තව ටික දවසකින් හොඳට අත පය හොළවන්න පුළුවන් වෙයි…කටේ ඇදෙත් දැන් හරි යාගෙන එන්නේ…”
“මං තනියම බැලුවා නම් මට මේ තරමටවත් කර ගන්න බැරි වෙනවා…”
“එහෙම හිතන්න එපා…ඔයා නිකම් හිටියේ නැහැනේ…”
“ඩොක්ටර්ත් කියන්නේ බෙහෙත් හේත් නිසා විතරක් නෙවේ හොඳ හෙද කමත් අම්මාව මේ තත්වෙට ගේන්න උදව් වුණා කියලායි…”
එය එසේ වූවා නම් මම ඒ පිළිබඳව නිහතමානීව සතුටු වෙමි. පාසල් ගුරුවරුන් ඉඳහිට චිත්‍රා මිස් බැලීමට මෙහි පැමිණෙන විට මම ඔවුනට මුහුණ නොදී සැඟවී සිටීමට ප්‍රවේශම් වූයෙමි. පූජිතටද දැන් මා ගැන සෙවීමට වුවමනා නැතැයි කියා සිතා මම යම් තරමක නිදහස් සැහැල්ලුවකින් කල් ගෙවීමි. සමහර විට ඔහු විදෙස් ගත වූවාද විය හැක. එසේ වූවා නම් හොඳ යැයි කියා මම සිතුවේ මට ටික කලකට හෝ සැනසීමෙන් කල් ගෙවනු හැකි වෙනු ඇතැයි සිතාය. මල්ලිකා නැන්දාත් නිරෝෂාත් මට නිතර දෙවේලේ සිහි විය. තරුෂිද ඉඳ හිට පැමිණියාය. දිනක් ඈ පැමිණියේ අලුත් පුවතක් රැගෙනය.
“මංදි…අද මට හොස්පිට්ල් එක ළඟදි ඔයලාගෙ අක්කව හමුවුණා…”
එවිට මම අලුතින් තිගැස්සී ගියෙමි. ඈ කුමක් පවසන්නට ඇතිද කියා මා සිතේ ඇති වූයේ දැඩි කුතුහළයකි.
“ඉතින්…?”
තැති ගත් හඬකින් මම ඇසීමි.
“උදේ බස් එකෙන් බැහැලා යනකොට අක්කත් හොස්පිට්ල් එකේ ඉඳන් එන ගමන්…මා එක්ක බලෙන්ම කතා කළේ… පුතාට බේත් ගන්න ආවා කිව්වා…”
අක්කාගේ පුතාව මා දැක තිබුණේම නැත. තරුෂි කතාව කරගෙන යන තුරු මම නිහඬව සිටියෙමි.
“අරයා කීප වතාවක් ඇවිත් තියනවාලු ඔයා ගැන හොයන්න…එයා පුදුම තරහවකින්ලු ඉන්නේ…මාත් ඇහුවා ඔයා ගැන ආරංචියක් නැත්ද කියලා…උන්නද මළාද දන්නැහැ කිව්වා…මං කිව්වා හරි ෂෝක්…එයා ඔයාව මරලා දාලද දන්නෙත් නැහැ…එහෙම වුණත් ඔයලා නිකන් උඩ බලන් ඉඳියි නේද කියලා…ආහ්…එහෙම වෙන්න බැහැ…ඔයා කා එක්ක හරි පැනලා ගිහින් ඇතිලු…”
ඒ ඇසූ මා සිතේ ඇති වූයේ දැඩි කෝපයකි.
“පැනල යන්න එකෙක් හිටියා නම් පැනලා යන්නේ…ඕකව බඳින්න කළින්…”
දත් මිටි සපමින් මම කීවෙමි.
“ඔය ටික මාත් කිව්වා එයාට…ඔයා කළු ගලේ ඔළුව හප්පන් කවදා හරි විඳවන්න වෙයි කිව්වා…මං කිව්වා ඊට වඩා ඔයාට නම් විඳවන්න වෙනවා ඔයා කරපු අපරාදෙට කියලා…”
මම පූජිත ගැන සිතූ දෙය නිවැරදි නොවේ. ඔහු තවම මා පිළිබඳව සෙවීම අත්හැර නැතුවා සේම විදෙස් ගතවද නැත. හදිසියේ හෝ ඔහු මා සොයා ගත හොත් යැයි කියා සිතන විටත් මම බියෙන් වෙව්ළා ගියෙමි.
“ඔයා දන්නෙ නැහැනේ මංදි…”
තරුෂි යළිත් කියන විට මම වුවමනාවෙන් ඈ දෙස බැලීමි.
“ඔයාලගේ අම්මා රට ඉඳන් ඇවිත්…දැන් සතියක් දෙකක් වගේ ඇතිලු…”
ඒ ඇසූ මා තවත් පුදුම වූයෙමි. අම්මා ගැන මට අලුතින් සිතන්නට තරම් දෙයක් නැත. ඈ අප සමඟ සිටියා නම් මෙවන් ඉරණමකට මා ගොදුරු වන්නේ නැත.
“ඔයාලගේ අයියාට හොඳ තැනකින් මඟුලක් කතා කරලලු තියෙන්නේ…ඔයා ගැන ඒ මිනිස්සුන්ට ආරංචි වෙයි කියලා බයයිලු…මං කිව්වා නංගිව අඩු වයසින් නොදන්න මිනිහෙක්ට බන්දන්න කළින් ඕවා හිතන්න තිබුණා කියලා…අනික ඔයාටත් හොඳ තැනකින් මඟුලක් කරලා දුන්නා නම් බය වෙන්න ඕන නැහැනේ කියලා…ඔයාව ඉන්න තැන හොයලා අර මිනිහට සමාදාන කරන්න ඕනලු…”
“ඔව්…බලන් ඉමුකෝ…මගේ මළකඳ තමා සමාදාන කරන්න වෙන්නේ…”
“ඔයා කලබල වෙන්න එපා…මං මේවා කිව්වේ ඔයාව කේන්ති කරවන්න නෙවේ… ඔයා මේව දැනගන්න ඕන නිසා…ඔයා ගෙදර නොයා මෙහෙ හිටපු එක හොඳට ගියා…නැත්නම් අරයා දැනටමත් ඔයාව එක්ක ගිහින්…”
ඒ ගැන සිතන විට පවා මා සිතේ ඇති වූයේ බියකි. ගෙවුණු සමහර රාත්‍රීන් වල පවා මම පූජිතව සිහිනෙන් දැක තිගැස්සී අවදි වුණ අවස්ථාද නැතුවා නොවේ. ටික දිනක් ගෙවුණු පසු සියල්ල යථා තත්වයට පත් වනු ඇතැයි මා සිතුවද දැන් සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වුවකි. පූජිත තවමත් මා පිළිබඳව සෙවිල්ලේය. තවමත් අම්මලාගේ වුවමනාව මා ඔහු හා සමාදාන කිරීමය. එය නම් කෙදිනකවත් ඉටු නොවන බව මම මටම දිවුරා පොරොන්දු වූයෙමි. ඔහු සමඟ සමාදාන වනවාට වඩා මා සිය දහස් වාරයක් වුව මිය යාමට සූදානම්ය.
“දැන් ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ මංදි…?”
තරුෂි ගේ හඬින් තිගැස්සුණු මා වහා ඈ දෙස බැලීමි.
“අනේ මංදා තරූ…මං ආයෙමත් කොතනින් ජීවිතේ පටන් ගන්නද කියලා මට හිතා ගන්න බැහැ…මට කිසිම අරමුණක් වත් ඉෂ්ඨ කරගන්න කියලා අමුතු බලාපොරොත්තුවක් වත් නැහැ…”
සුසුමක් හෙළමින් මම කීවෙමි.
“මට තේරෙනවා මංදි…ඔය වයසට ඔයා විඳවන්න ඕනවට වඩා දුක් වින්දා…මේ හැමදේම ඔයාලගෙ ගෙවල් වල අයගේ වැරදි…ලොකුම වරද කළේ අම්මා…නැති බැරි කමට රට ගියා කියමු…කීයක් හරි හම්බ කරන් එයාට එන්න තිබුණා…අද රජිව් කෙනෙක් නොහිටියානම් මංදි… ඔයාට මොනවා වෙන්න තිබුණද කියලා දෙවියෝ තමා දන්නේ…”
මා සිතත් ගතත් හිරිවට්ටමින් තරුෂි කීවාය. විවාහක ගැහැනියකට පිරිමියෙකු ළං වන්නේ හුදෙක් ඇයට ඇති ආදරය නිසා නොව තම සිතැඟි සපුරා ගන්නටය. රජිව්ද මාගෙන් බලාපොරොත්තු වූයේ එයම නම් අද මට ජීවිතයක් නොතිබීමට ඉඩ තිබිණි. නමුත් ඔහු වැරදි ඇසකින් මා දෙස බැලුවේ හෝ නැත. තම නිවසේදීම ඔහුට වුවමනා වූවා නම් රිසි දෙයක් කිරීමට නිදහසත් අයිතියත් තිබෙන කල ඔහු කළේ මා ආරක්ෂා කිරීමය. මගේම නිවැසියන්ට වඩා ඔහු මා පිළිබඳව තැවුණේය. ඔවුන් සිහි වන විටත් මා සිතේ ඇති වන්නේ ශෝකයකුත් කලකිරීමකුත් කෝපයකුත් පමණි. ඇරඹුමටත් පෙර මගේ ජීවිතය අවසන් වූවාක් මෙනි. දිය උල්පතකින් දිය උනන්නාක් මෙන් මා සිතේ වේදනාව, කලකිරීම, දුක උතුරා සිත වේදනාවට පත් කළේය. තරුෂි මා සිත සනසන්නට නොයෙකුත් දේ කීවද ඒ කිසිත් මා සවනට නොඇසිණි. නොමැතිනම් සිතේ හෝ මනසේ නොරැඳිණි. ඈ මා කෙරෙන් වෙන්ව ගිය පසු මා සිතට දැනුණේ බලවත් තනිකමක් මෙන්ම පාළුවකි.