More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 33

    Pini Muthu Palasa පිනි මුතු පලස – 33

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    දරාගන්නට නොහැකි තරම් වේදනාවක් මා හිසින් නැගේ. එය කොතනකින් නැගුණක්ද කියා සිතා ගන්නට බැරි තරම්ය. දෑස් විවර කරගන්නට වුවමනා වුවද ඇසි පියන් එකට ඇළී ඇතිවාක් මෙනි. මා දෙපා යුගළ පවා ඇදුම් කයි. අත පය සෙළවීමට බැරිය. ඒවා තළා පෙළා දමා ඇතිවාක් මෙනි. මා මුවින් කෙඳිරිල්ලක් නික්මුණේ මුළු සිරුරින්ම නැඟෙන වේදනාව දරා ගත නොහැකිවය.

    “අක්කේ…ඔයාට කොහොමද…?”

    මා සවන් අසලින්ම ඇසුණු එම හඬ මට හුරුපුරුදුය. ඒ කවුද කියා සිතන්නට මම මඳක් වෙහෙස වූයෙමි.

    “අක්කේ…මංදාකිණි අක්කේ…”

    ඒ නිරෝෂා බව මට වැටහුණේ මඳ වේලාවකට පසුවය. කතා කිරීමට වුවමනා වුවද මා මුවින් වචනයක් හෝ පිටකර ගන්නට නොහැකිය. බොහෝ වෙහෙසක් දැරීමෙන් පසුව මම සෙමෙන් දෑස් විවර කර ගතිමි. හැර දමා තිබූ ජනේලයෙන් වැටුණු ආලෝකය දෑසට හුරු නොවූ බැවින් මම යළිත් තරයේ දෑස් පියා ගතිමි.
    මා අසල සිටි නිරෝෂා යළිත් මා අමතමින් මගේ අත සෙමෙන් අල්ලා ගන්නා විට මම සෙමෙන් දෑස් විවර කොට ඈ දෙස බැලීමි. ඈ මා වෙත නැඹුරුව අනුකම්පා මුසු දෑසින් මා දෙස බලා සිටියාය. මා සිටින්නේ කොහිද, මට සිදුවූයේ කුමක්ද කියා මට සියල්ල කෙමෙන් කෙමෙන් සිහි වන්නට විය. මා තවමත් ජීවතුන් අතරය. එය සැනසුමකට වඩා මා සිත තව තවත් කළකිරීමකට පත් කළේය. මා සිටින්නේ පූජිතගේ නිවසේ නොවේ.

    “ම…ම…මේ…කොහේ…ද….නි…රෝ…ෂා…?”

    වචන ගලපමින් මම ඇසුවේ අසීරුවෙනි.

    “ඔයා ඉන්නේ අපේ ගෙදර අක්කේ…”

    “මගේ…ඔ…ළු…හො…ඳ…ට…ම…රි…දෙ… න…වා…”

    නැඟිට යහන මත හිඳ ගැනීමට වුවමනා වුවද මට එසේ කිරීමට හෝ වාරු නැති සෙයකි.

    “ළමයෝ…”

    මල්ලිකා නැන්දා කාමරයට පිවිසියේ නිරෝෂා අමතමිනි.

    “ආනේ…! කෙල්ලට සිහිය ආවද…? කෙල්ලේ මම වතුර ටිකක් රත් කළා…ආයේ පාරක් මෙන්න මේ පොට්ටනියෙන් ඔය තැළුම් ටික තවලා දාහන්…”

    ඈ කීවේ උණු වතුර භාජනයක් යහන අසල බිම තබමිනි. මට නැඟී සිටීමට වුවමනා බව මම කියන විට මල්ලිකා නැන්දාත් නිරෝෂාත් එකතුව මට යහන මත හිඳ ගැනීමට සහාය විය.

    “දුවේ….දැන් මොකද…? තාම ඇඟට අමාරු ඇති…අනේ…අපේ පපුවේ ගිණි පත්තු වෙලා හිටියේ…”

    මා වෙත නැඹුරුව ඈ කීවේ ළමැද මත දෑත් තබා ගනිමිනි.

    “හරී..අමා…රු…යි.නැන්..දේ…”

    කෙඳිරිලි හඬින් මම කීවෙමි.

    “මම වෙනිවැල් ගැට ටිකක් තැම්බෙන්න තියලා ආවේ…ඒක බොන්න…කෙල්ලේ…මං එනකල් මේ ළමයගේ කකුල් තවපන්…උඩ බලන් ඉන්නැතිව…”

    මල්ලිකා නැන්දා පසු පසට ඇදුණේ නිරෝෂාට සැර කරමිනි. නිරෝෂා උණුවතුරෙන් පෙඟවූ පොට්ටනියෙන් කකුල් තවන විට මට කෑ ගැසිණි.

    “අනේ අක්කෙ…රිදෙනවද…? ටිකක් ඉවසන් ඉන්න…ඔයාගේ කකුල් හොඳටම ඉදිමිලා තිබ්බේ…අපි උණු වතුරෙන් තැව්වා…”

    මම ඉවසා සිටියෙමි. හිස ඇදුම් කයි. නළල පැලී ඇති බව මා දැන ගත්තේ පසුවය. නිරෝෂා එයට කෝපි කුඩු දැමූ බව කියන විට මා දෑසින් නොනවත්වා කඳුළු ගලා ගියේය. මගේ කියා කියන්නට කිසිවෙකු නැති මේ මොහොතේ මල්ලිකා නැන්දාත්, නිරෝෂාත් මේ කරන දේවල් පිළිබඳව මා සිතේ ඇතිවූයේ අනුකම්පාවකි. මල්ලිකා නැන්දා යළි කාමරයට පිවිසියේ තැම්බූ වෙනිවැල් ගැට කෝප්පයක්ද අතැතිවය.

    “මේ ළමයෝ…මෙන්න මේක බීලා ඉන්න..නිවෙන්න කළින්…”

    ඈ හකුරු කෑල්ලක්ද සමඟ වෙනිවැල් ගැට කෝප්පය මවෙත දිගු කරන විට මම එය ගත්තේ වෙවුළන දෑතිනි.

    “ඕක අප්පිරියා නොකර බොන්න…තිත්ත නැහැ…”

    මල්ලිකා නැන්දා යළිත් කීවේ මා කෝප්පය අතේ තබාගෙන බලා සිටින විටය. මම සෙමෙන් සෙමෙන් එය පානය කළේ ජිවිතය තරම් වෙනිවැල් ගැට කෝප්පය නීරස නැතැයි සිතමිනි.

    “ඉස්පිරිතාලෙට එක්ක යන්න හැටියක් තිබුණේ නැහැ දුවේ…එහෙම එක්ක ගියා නම් ළඟ කවුරු හරි ඉන්නත් එපැයි…මම හිටියත් මේ කෙල්ල ගෙදර තනියම…අනික පොලීසි ගානෙ යන්නත් වෙයි…ඒකෙන් ලැජ්ජාවත් ඔය ළමයාටමයි…අර පෝරිසාදයාට නම් ඕවා මහ ලොකු දේවල් නෙවේ…ඊයේ දවසම දුවට සිහියක් තිබුණෙ නැහැ…මං බයේ උන්නේ…පාන්දර යාමේ තමා යාන්තම් කෙඳිරිල්ලක් ආවේ…”

    මල්ලිකා නැන්දා එක දිගට කියවගෙන ගියාය. රෝහලට මා රැගෙන නොගිය එක හොඳ යැයි සිතමින් සිටින විට ඈ කියූ දෙයින් මම තිගැස්සී ගියෙමි.

    “ඊයේ දවසම…? එතකොට මේ සියල්ල සිදුවූයේ අද නොවේද.? මා දවසක්ම සිහිසුන්ව පසු වූවාද..? මා මුවින් සුසුමක් ගිලිහී ගියේ මාද නොදැනුවත්වමය.

    “හාල් ටිකේ ළිපේ තියලා ආවේ…ඕක බිලා ඉන්නකෝ ළමයෝ…මං එන්නම් සුටුස් ගාලා…”

    මල්ලිකා නැන්දා යළි පිටුපසට ගියේ එසේ කියමිනි. මම එක හුස්මට වෙනිවල් ගැට කෝප්පය පානය කළෙමි.

    “ඇයි අක්කේ අර මිනිහා ඔයාට අර විදියට ගැහුවේ…පිස්සු හැදිලද…? දෙවියනේ ! මං හිතුවේ ඔයා මැරෙයි කියලා…ඔයා ළිඳට පනින්නම ලැහැස්ති වුණා…මට කෑගැහුණා බයටම…මම පන්ති ඇරිලා ආවා විතරයි…අම්මාත් හංදියට ගිහින් මා එක්කම ආවේ ඒ වෙලේ…කලබලේ මොකක්ද බලන්න අපි දුවන් ආවා…”

    මට ඉකි ගැසී හැඬිණි. පූජිත යනු තිරිසනෙකි.

    “අනේ…අක්කේ…අඬන්න එපා…”

    නිරෝෂා මගේ බාහුවක් යළිත් පිරිමදිමින් කීවාය. මගේ හැඬුම බාල වූයේ හිස ඇදුම් කන්නට වූ බැවිනි. හැඬුම නවතා ගත් මා නිරෝෂා හා පෙර දින සිදුවීම පැවසුවේ සුළු මොහොතක් ගෙවුණු පසුවය.

    “ඔය නැන්දා තමා අක්කා සේරම කරන්නේ…ඊයේ හවස ආවා මෙහෙ…ඔයාට මොකද බලන්න…අම්මා බැනලා එළව ගත්තා…”

    “මාව කවුද නංගි මෙහෙට අරන් ආවේ…?”

    “මායි අම්මායි…අල්ලපු ගෙදර නෙල්සන් මාමයි එයාගේ පුතා මංජු අයියයි…ගමේ අය කවුරුත් පූජිත අයියාට වැඩිය කැමති නැහැ…මූණට කතා බහ කළාට අක්කේ…ගොඩාක් අය තරහයි…ඒ වෙලේ මායි අම්මායි දුවන් එනකල්…කවුරුත් ඔයාව බේරගන්න උදව්වට නාවේ පූජිතයියට බය නිසයි…”

    වැට දිගට හිඳ මිනිසුන් බලා සිටි බව මට යාන්තමට සිහි විය. මා මුවින් සුසුමක් ගිළිහී ගියේ නිතැනිනි.
    ——————————————————————————————————
    දින හතරක් පහක් ගෙවී යන තුරුම මම සිටියේ මල්ලිකා නැන්දාගේ නිවසේය. පූජිත නිවසේ නොමැති බව මා හා කීවේ මල්ලිකා නැන්දාය. ඔහු මේ සිදුවීම සිදු වූ දාට පසු දිනම කොළඹ ගිය බවක් අම්මා මල්ලිකා නැන්දා හා පවසා තිබිණි. පසුගිය දින කීපයේ මා සිටියේ තනිව ඇවිද ගන්නටවත් නොහැකි තත්වයකය. නිරෝෂා හෝ මල්ලිකා නැන්දා මගේ සහයට සිටියාය. තරමක සුවයක් ලැබෙන විට මම නැවත නිවසට පැමිණියද අම්මා මට මුහුණ දී කතා කිරීමට තරම් එඩිතර නොවූවාය. මමද මින්පසු ඇයට බිය නොවී සිටීමට තීරණය කලෙමි. දහවල ඈ නිදා සිටින මොහොතේ මම ඇගේ කාමරයට ගියේ මාළු කැපීමට ගන්නා දිගු පිහියද අතැතිවය. පරිසරය දිගු නිහැඬියාවක ගිළී ඇත. දොර අඩවන් කර මම හඬ නොනැගෙන සේ ඇගේ යහන අසළට ගියෙමි. මා සිතේ වෛරය කැකෑරෙන සෙයකි. මගේ ජීවිතයේ සැනසීම සහනය නැතිකර ඇයට මෙසේ සැනසීමෙන් දෑස් පියා නිදන්නට ඉඩ දී මේ සියල්ල විඳ දරාගෙන මා ජීවත් විය යුතුද…? කිසිවෙකු කාමරයට පැමිණි බව දැනීදෝ අම්මා දෑස් විවර කර බලා මා අත දරා සිටි මන්නා පිහිය දැක මුව හයා බලාගෙන එලෙසම වැතිර සිටියේ මර බියෙන් මෙන් කතා කර ගත නොහැකිවය.

    “උ..ඹ…මා…ව…මරන්නද….හදන්නේ…?”

    වෙව්ළමින් ඈ ඇසුවේ මුහුණ සිය දෑතින් මුවා කොට ගනිමිනි.

    “ඔව්…මං උඹව මරනවා…උඹව විතරක් නෙවේ උඹේ පුතාවත් මරනවා… උඹ බොරු කේළම් කියලා මාව මරවන්න නේද හැදුවේ…? උඹ ආයේ බොරු කේළම් කියලා උඹේ පුතාව අවුස්සලා තිබුණොත් මං උඹලා දෙන්නවම මරනවා…”

    ඇගේ හිසට උඩින් පිහිය අමෝරා ගත් මම වේගයෙන් එය ඇගේ හිස වෙතට පාත් කරන විට ඈ මර බියෙන් කෑ ගැසුවාය.

    “උඹ කෑ ගැහුවට උඹව බේරගන්න කවුරුත් එන්නේ නැහැ…උඹ ආයේ බොරු කේළම් කියනවද…?”

    “න්…නැහැ…අයියෝ…මාව මරන්න එපා…”

    “උඹේ පුතා මිනිමරුවෙක් වුණේ උඹ නිසයි…උඹේ හොර වැඩ උබේ මිනිහට අහුවුණ නිසායි…මං උඹේ පුතාට මේවා කිව්වොත් මොනවා වෙයිද…එයා උඹවත් මරයි…”

    “නැහැ…නැහැ…එහෙම කරන්න…එපා… එයා මේ මොකුත් දන්නේ නැහැ…”

    ඈ දෑත් එක්කොට බියෙන් කෑ ගැසුවාය.

    “මීට පස්සෙ මං කියන විදියට ඉන්න ඕන…උඹට තේරුණාද…?”

    මම ඇයට තර්ජනය කළෙමි. බියට පත්ව සිටි ඈ මා කියන දේට හිස සලමින් එකඟ වූවාය. මම මගේ කාමරයට පැමිණ මන්නා පිහිය නිදන යහනේ මගේ පස මෙට්ටය යට සැඟවූයෙමි. මින්පසු මා පූජිතට බියෙන් ජීවත් නොවෙමි. මට මිහිපිට කිසිවෙකු නැති බව වටහා ගෙන බොහෝ කලකි. ඉතින් මා කිසිවෙකුට බියේ ජීවත් විය යුතුද..? මට නැති වන්නට දෙයක් නොමැත. මගේ ජීවිතය නැති වුවත් මම පූජිතට යළිත් වතාවක් මට හිරිහැර කිරීමට ඉඩ නොදෙමි. පූජිත නැවත නිවසට පැමිණියේ දින ගණනකට පසුවය. ඔහු මට මුහුණදී කතා නොකළේ සිතේ බලපැවැත් වූ වරදකාරී හැඟීම නිසා වන්නට ඇත. මීට පෙර ඔහු දකින විට පවා මා තුළ බියක් ඇති වුවද මෙදින මා සිතේ කිසිදු බියක් නම් ඇති නොවිණි. නිදි යහනේ වුවද ඔහු මා සමීපයට නොආවේය. එය මා සිතට මහත් සැනසීමක් විය. පසු දිනම ඔහු නැවත නිවසින් පිටට වූයේ බොහෝ දිනකට යළි නිවසට නොපැමිණෙන නිසා නිවසේ වියදමට මා අතට මුදල්ද දෙමිනි. අම්මාද නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර ඈ මා හට බියෙන් පසු වනු දැක මම සිත යටින් ඇයට සිනහසුණෙමි. සති පොල දිනයේ මම මල්ලිකා නැන්දා හෝ නිරෝෂා සමඟ ගොස් නිවසට වුවමනා දෑ රැගෙන පැමිණියෙමි. අම්මා නිවසේ වගකීම් මා හට පවරා පසෙකට වී සිටියාය. දින සති ගෙවී ගිය අතර පූජිත ඉතා කාර්යබහුල වී සිටියේ එළඹීමට නියමිත ජනාධිපතිවරණ කටයුතු නිසාවෙනි. ඔහු නිවසේ රැඳුණේ හෝ නිවසට පැමිණියේ ඉඳ හිට දවසකය. ඔහු නිවසේ නොමැති වීම මා සිතට සහනයකි. පක්ෂ විපක්ෂ කාර්යාල දෙකම පිහිටා තිබුණේ නිවසාසන්නයේම නිසා නිතර නිතර දෙපක්ෂයේ ගැටුම් ඇති විය. මේ නිසා අපි නිවසේ ගත කළේ තරමක බියකිනි. ආණ්ඩුව නොසිතූ ලෙස අනික් පසට පෙරළුණේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසය. විපක්ෂය නොසිතූ ජයක් ලැබූ නිසා රාජකරුණා ඇමතිවරයා පෙර සූදානම් කරගෙන සිටි ලෙස විදෙස් ගත වූයේ ජීවිත ආරක්ෂාව පිණිසය.

    “මිනිහා හොඳ එකෙක් නෙවේනේ…බයටම තමා රට පැන්නෙ…”

    මල්ලිකා නැන්දා මා හා කීවාය. පූජිත මෙන්ම අනෙක් සහචරයන්ද සැඟවී සිටියේ බෙලහීන වූ නිසාය. මුල් දින වල නිවසට ගල් මුල් ප්‍රහාර පවා එල්ල වන විට අපි සිටියේ බියෙනි. නිවසට ගිනි තබාවිදැයි සැකයකුත් මා සිතේ විය. රාත්‍රිය අපි ගත කළේ නිදි වර්ජිතවය. බොහෝ විට අපි නිදා ගත්තේ පාන්දර යාමයේය. නිවසට වුවමනා බඩු ආදිය පවා ගෙන ඒමට පොලට හෝ අසළ කඩයකට හෝ යෑමට අපි බිය වූයෙමු. මල්ලිකා නැන්දා වුවමනා දෑ ගෙනවිත් දුන් අතර දහවල වුවද අපි නිවසට වී සිටියේ දොරඟුළු ලා ගෙනමය.

    නිරෝෂා පාසල් නිමා වී විත් මල් පැළ වලට වතුර දමා ගෙමිදුල අතු ගා දැමුවාය. වරක් දෙවරක් පමණ පූජිත නිවසට පැමිණියේ මහ රෑ ජාමයේය. ඔහු මුදල් හදල් දී වහා පිටව ගියේ නිවසේ වැඩි කාලයක් නොරැඳෙමිනි. ඔහු නැවතී සිටින්නේ කොහිද කියා මා සමඟ හෝ පැවසුවේ නැත.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...
    - Advertisement -spot_img

    Arrested හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    Arrested - හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක්...

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page